අරුණි ශපීරෝ‍ වෙතින්

ඇමෙරිකාවේ දුප්පතුන් vs යුරෝපීය ජනතාව

Posted in Uncategorized by arunishapiro on සැප්තැම්බර් 17, 2011

සුදු අප්පුහාමි ජර්මනියේ ගමක පදිංචිව සිටිය දී දිනක් ලොකු සවලයක් (shovel) රැගත් ගමේ කෙනෙක් නිවසට ආවේ ය. “අහවලා මිය ගියානේ” ඔහු කීය. “මගේ කණගාටුව” සුදු අප්පුහාමි පිළිතුරු දුනි. වයෝවෘද්ධ ඒ ගමේ සීයා මිය යන දවස වැඩි දුරක නොවූ බව ගමේ සැවොම දැන සිටියකි. පණිවිඩය ගෙනා පුරුෂයා පණිවිඩය දී තවමත් දොරකඩ හිටගෙන ය. සුපුරුදු ඇමෙරිකන් හැදියාවෙන් සුදු අප්පුහාමි හිතුවේ අවමංගල්‍යයට කීයක් හරි එකතු කරනු පිණිස පුරුෂයා දොර අසල කකුල් අද්දමින් සිටිනවා කියා ය. නමුත් රට රටවල සැරිසරා ඇති නිසාම සල්ලි දෙන්නට නොයා මඳක් බලා සිටියේ ගම්වැසියාව උරණ කරනු අකමැත්තෙනි. “ඔයාගේ වාරය,” කියමින් ඔහු අත වූ සවලය සුදු අප්පුහාමිට දුන්නේ ය. “මගේ වාරය? කුමක ට ද?” සුදු අප්පුහාමි සවලය අතට ගෙන ඇසුවේ ය. “ගමේ කෙනෙක් මිය ගියාම අපි ඉන්න පිරිමි අතරින් අයෙක් තමයි වල හාරන්නෙ. මේක ඔයාගෙ වාරය,” කියු ඔහු පිට වී ගියේය. සුදු අප්පුහාමි ගමේ සොහොන් පිටියේ රීතින් ට අනුව වල හාරා දුන්නේ ය. කවදා හෝ දවසක ඒ ගමේ ඒ සොහොන් පිටියේ මිහිදන් වෙන්නට ඔහුටත් දැන් ඉඩකඩක් ඇත. ඇමෙරිකාවේ දී මිනියක් වල දාන්නට අඩුම ගණනේ ඩොලර් හයදාහක් යන කාලයක එය සුළු පටු වරප්‍රසාදයක් ද නොවේ!!!

ඇමෙරිකාවේ දුප්පතුන් මිලියන 46.2 ක් කියන ඇමෙරිකන් සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පසුගිය දශක දෙක තුල දී අවුරුදු බොහොමයක් පුරා අඩුම ගානේ මිලියන 35 ක ජනතාවක් දුප්පත්කමෙන් ජීවත් වූ බව කියයි. අද ඇමෙරිකාවේ නීති රෙගුලාසි වැඩි වී, දුප්පතුන් සඳහා වූ රජයේ වැඩ සටහන් වැඩි වී, සුදු අප්පුහාමි විසූ ජර්මනියේ ගමේ මිනිස්සු මෙන් අන්‍යෝන්‍ය උත්සාහයෙන් එකිනෙකාට උදව් කර ගැනීම අඩු වී ඇත. එහි ප්‍රතිඵලය භාණ්ඩ සහ සේවා සඳහා මිල ඉහළ යෑම ය.

ඇමෙරිකාවේ අද පවතින අයවැය හිඟය දීමනා බෙදා දීම ගැන වූවකි. එය යුද වියදම් ගැන නොවේ. 2011 දී ඉරාක, ඇෆගනිස්තාන, හා Nato මෙහෙයවන ලිබියාව සමඟ ලෝක ත්‍රස්තවාදය මැඬලන සියලු යුද කටයුතු සඳහා වියදම් කරන්නට වෙන් කර ඇත්තේ බිලියන 159.3 කි. ලෝක ආධාර සඳහා බිලියන 28.6 කි. නාසා ආයතනයට බිලියන 19.5 කි. ඇමෙරිකාවේ ප්‍රධාන දීමනා සමන්විත සමාජ සුබ සාධන (social security, medicare, medicaid යනාදිය) සඳහා වැය ට්‍රිලියන 2.4 කි.

රටේ නිෂ්පාදනය අඩු වි ඇත්තේ එම දීමනා පොරොන්දු වූ අයට ඒවා දෙන්නට නම් වැඩ කරන අයගෙන් එකතු කරන බදු ප්‍රමාණය මදි නිසා බදු වැඩි කරන උත්සාහයක් ගත් නිසා ය.

ගර්ට්රූඩ් ජේන්වේ මිය යන්නේ 2003 දී ය. ඇය 1927 දී ජෝන් නැමති 1865 දී අවසන් වූ ඇමෙරිකන් සිවිල් යුද්ධයේ යුනියන් පැත්තට සටන් වැදි සොල්දාදුවෙක් සමඟ විවාහ වූවාය. ඇයගේ වයස 18 ක් විය. ඔහුගේ වයස 81 ක් විය! ජෝන් වෙත දුන් පොරොන්දුව රකින්නට, පුරා ශතක තුනක් ඇමෙරිකාවේ Veterans Administration වෙතින් මාසික චෙක්පතක් යැවෙයි. 2003 දී මිය යද්දී ඇය වෙත එවූ චෙක්පත ඩොලර් 70 කි. ඔව්, 2003 දී ජීවත් වන්නට එය මදි ය. ඉතින් එයට අමතර ව ඇයට සමාජ සුබ සාධන ලැබෙයි.

සමාජ සුබ සාධන පොරොන්දු වෙද්දී නොසිතූ ප්‍රතිඵල බොහොමයකි. අනාගත සේවකයන් අද සේවකයන් සේ වෙහෙස වී උපයයි ද? ඔවුන් තමනට වෙහෙසෙන්නට බැහැයි කියා රට හැර දා වෙනත් රටක් කරා ගියොත් ඔබට පොරොන්දු වූ මුදල් ලබා දෙන්නේ කවුරුන් ගෙන් ද?

අතීතයක දී දීමනා පොරොන්දු වූ අය ඒවා සැලසුම් කරද්දී නොසිතූ ප්‍රතිඵල ගැන නොසිතූහ! කාලයෙන් කාලයට දීමනා අඩු කරන්නට නොව සිද්ධ වන්නේ වැඩි කරන්නට ය. දීමනා නැවතුව හොත් අප්‍රසාදයට ලක්වන සැලසුම්කරුවන්ට ගෙදර යන්නට සිද්ධ වෙයි. ඉතින් දීමනා පටන් ගත් දා සිට අද වනතෙක් දීමනා වැඩි වූවා මිස අඩු වුයේ නැත. එමෙන් ම දීමනා ගන්නා අය ද වැඩි වූවා මිස අඩු වුයේ නැත. ඒ නිසා අද දීමනා තව දුරටත් බෙදන්නට නොහැකි, භාණ්ඩාගාරය හිස් වී ඇති තත්වය ඇමෙරිකානුවා ඉදිරියේ ඇත.

දැන් මේ ඇමෙරිකන් දුප්පතා යැයි සැලකෙන්නා කවුදැයි විමසා බලමු.

1970 දී ඇමෙරිකාවේ මුළු ජනගහණයෙන් 36% ක් පමණකට නිවාස වල වායුසමීකරණ පහසුකම් තිබිණ. 2010 දී ඇමෙරිකාවේ 80% ක් දුප්පතුන්ට වායුසමීකරණ පහසුකම් ඇත.

92% දුප්පතුන්ට මයිකේ‍රාවේව් උදුනක් ඇත.

3/4 ආසන්න දුප්පතුන්ට වාහනයක් හෝ ට්‍රක් රථයක් ද, 31% කට වාහන දෙකක් හෝ ට්‍රක් රථයක් ඇත.

2/3 කේබල් හෝ සැටලයිට් රූපවාහිනි පහසුකම් ඇත.

2/3 දුප්පතුන්ට DVD සඳහා යන්ත්‍ර ද, 70% කට VCR යන්ත්‍ර ද ඇත.

මුළු දුප්පතුන් අතරින් බාගයකට පුද්ගලික පරිගණකයක් ඇත. සෑම 7 න් 1 අයෙකුට ම පරිගණක දෙකක් හෝ ඊට වැඩියෙන් ඇත.

මුළු දුප්පතුන් අතරින් බාගයකට වඩා දරුවන් ඉන්නා පවුල් වල අයට Xbox සහ PlayStation වැනි විඩියෝ සෙල්ලම් විජට්ටු ඇත.

43% කට අන්තර්ජාල පහසුකම් ඇත.

1/3 කට පුළුල් තිර ප්ලාස්මා රූපවාහිනි LCD පැනල් ඇත.

1/4 කට TiVo වැනි රූපවාහිනිය බලද්දී ඩිජිටල් පටිගත කරන පද්ධතියක් ඇත.

ඇමෙරිකාවේ කෘෂිකාර්මික දෙපාර්තමේන්තුව ද දත්ත එකතු කරති. ඔවුන්ගේ 2009 දත්ත අනුව 96% ක් දුප්පත් දෙමාපියන් කියා සිටියේ ඔවුන්ගේ දරුවන් ඒ වසරේ කිසිම විටෙක ආහාර ගන්නට මුදල් නැති වූ නිසා බඩගින්නේ නොසිටි බව ය. දුප්පත් පවුල් අතර 83% ක් අවශ්‍ය තරම් ආහාර තිබි බව කියූහ. 82% ක් දුප්පත් වැඩිහිටියන් වාර්තා කලේ මුදල් හෝ ආහාර නැති නිසා 2008 දී කිසිම අවස්ථාවක බඩගින්නේ නොසිටි බව ය.

දුප්පතුන් ජීවත්වන නිවාස ගැන කියද්දී මේ තොරතුරු දකින්නට ලැබෙයි. තනි නිවාසයන් හි පදිංචි අය 49.5% කි. මහල් නිවාස වල 41% කි. පෙට්ටි නිවාස (කම්හලක නිපදවා ඉඩමකට ගෙනැත් දමන) 9.5% කි. ඔවුන් ජීවත් වන්නේ සෙනඟ පිරුණු කාමර වල ද නොවේ. දුප්පතුන් අතර 65% ක් ජීවත්වන්නේ ගෙදරක ඉන්නා සංඛ්‍යාව අනුව එක් අයෙකුට කාමරයක් හෝ දෙකක් තියන නිවාස වල ය.

ඊ ළඟට ඇමෙරිකන් දුප්පතා ගැන කියද්දී යුරෝපීයයන් වාසය කරන ඉඩ ප්‍රමාණයට වඩා වැඩි වූවක ජීවත් වන්නට වාසනාව ලද්දෙකි.

ඇමෙරිකාවේ පුද්ගලයෙකුට වර්ග අඩි 845 ක ප්‍රමාණයක් නිවසේ ඇත. ඇමෙරිකාවේ දුප්පත් පුද්ගලයෙකුට වර්ග අඩි 515 ක ප්‍රමාණයක් නිවසේ ඇත. යුරෝපීය දළ සාමාන්‍යය වර්ග අඩි 363 කි. තවත් විදියකින් බැලුවොත් ඇමෙරිකන් දුප්පතා අතපය දිගහැර ඉතා වැඩි ඉඩ කඩ ප්‍රමාණයක ජීවත්වෙන්නේ කිසිම යුරෝපීයයෙකුට නැති ලෙසකිනි.

මෙන්න මේ නිසයි ණය ගෙවා ගන්නට නොහැකි ග්‍රීසියට මෙන් වූ ණය අර්බූදයක් ඇමෙරිකාවට නැතැයි කියන්නේ. තව තවත් සුබ සාධන වැඩි කරන්නට ගොස් දැනට වැඩ කරන අයත් ගෙදර නවතින්නට පෙර, හනිකට සුබ සාධන සංශෝධනය කළ යුතුය. එවිට සුබ සාධන වලින් ජීවත්වන්නට අනාගතයේ බලා ඉන්නා පිරිස අඩු කරගත හැකිය.

එසේම, අපි මේ මේ දේවල් ඔබලාට දෙන්නම් කියා චන්ද දිනන්නට පොරොන්දු දෙන දේශපාලනඥයන්ට කරන්නත් වෙන යම් කාර්යයක් හනිකට සෙයාගත යුතුය!!!

මිනිස් සත්වයා, හිතන්නට මොළයක් ඇති මිනිසෙකි, එය පාවිච්චියට ගන්නා/නොගන්නා හැකියාව ඇති සත්වයෙකි. හිතන හැකියාව අඩු වී යද්දී මෘග ස්වභාවයන් පමණක් ඉතිරි ය. ආණ්ඩුවාදය (statism) සාර්ථක නැති බව අද පැහැදිලිව දකින්නට හිතන්නට මොළයක් ඇති අයට පුළුවන. ජනතාවගේ යහපත යැයි කියා ‘ලේ උරා බොන තඩියන්’ සමඟ ගණුදෙනු වලින් භාණ්ඩාගාරය හිස්වන බව වටහා ගත් අය හනිකට එයින් ගැලවෙන මාර්ග හොයති. පුද්ගය අයිතීන් රැකීම පමණකින් මිනිසා අතින් නිර්මාණ බිහිවන බවත් සාමය උදාවන බවත් විමසන්නට ලොව නන් දෙසින් හිතන්නට උත්සාහ කරන ජනතාව පටන් ගෙන ය. නිදහස් වෙළඳපොල මිසක ආණ්ඩුවාදය පතුරවන්නට කේන්සියානුවාදය සහයට ගැනීම ද අසාර්ථක බව අද පැහැදිලිව දකින්නට හිතන්නට මොළයක් ඇති අයට පුළුවන. ටිම් ගයිට්නර් යුරෝපයේ අයට ග්‍රීක ණය ගැන අවවාද දෙන්නට යද්දී ඕලන්ද ඇමතිවරයෙක් කියා සිටියේ “සමහර රටවල් වගේ අපිට වැඩ කරන්න බැහැ” යැයි කියා ය!!

“අදහසක කාලය පැමිණ ඇත්නම් එය නතර කරන්නට ලෝකයේ කිසිදු බලයකට නොහැක.” -වික්ටර් හියුගෝ
“No power on earth can stop an idea whose time has come.” -Victor Hugo

සටහන සකස් කරන්නෙ Understanding Poverty in the United States: Surprising Facts About America’s Poor By Robert Rector and Rachel Sheffield ලිපිය ඇසුරිනි.

24 Responses

Subscribe to comments with RSS.

  1. W.A. Wijewardena said, on සැප්තැම්බර් 17, 2011 at 12:45 ප.ව.

    Excellent analysis, Aruni. Keep it up.

    • arunishapiro said, on සැප්තැම්බර් 17, 2011 at 3:08 ප.ව.

      W.A. Wijewardena,

      දිරි ගැන්වීමට ඉතා ස්තූතියි විජයවර්ධන මහත්මයා. වෙනස් වෙන ලෝකයක් හැමදාම තියෙන්නෙ. හැමදාම වෙන වෙනස දකින්න අමාරුයි. ඒත් එකතුවෙලා එකතුවෙලා හදිසියේ පෙනෙන ලොකු වෙනස පැහැදිලියි.

  2. යහපත් ඇනෝ said, on සැප්තැම්බර් 17, 2011 at 2:30 ප.ව.

    ඒකනේ කියන්නේ. මුන් මේ කෝටිපති දුප්පතුන්ට සහන දිදී තුන්වෙනි ලෝකයේ රටවලට කියනවා ඒ රටවල්වල ඉන්න ඇත්ත දුප්පතුන්ට දෙන සහනත් කපපල්ලා කියලා. ඇමරිකන් කාරයට ගහන්න ඕනේ බෝම්බ නෙවෙයි නාපාම් බෝම්බ.

    • arunishapiro said, on සැප්තැම්බර් 17, 2011 at 3:13 ප.ව.

      යහපත් ඇ‍නෝ,

      මදැයි යහපත් ඇ‍නෝ අල්ල ගත්තු කොන! ට්‍රිලියන 14.7 ක් GDP තියන වෙන රටක් ලෝකයෙන් පෙන්නුවා නම් ඔය තරම් දුප්පතුන්ට සහන ලැබෙන්නෙත් කොහොම ද කියලා හිතාගන්න පුළුවන් වෙයි. තවත් විදියකින් කිව්වොත් ට්‍රිලියන 14.7 ක GDP තියන රටක් විදියට බිලියන 56 ක් GDP තියන රටක් (ලංකාව) දුප්පතුන්ට සහනාධාර දෙන්න ගියොත් මොකද වෙන්නෙ කියලා හිතන්න?!!!

      ඒ වගේම ඇපල් මැක් කොම්පැණියට (බිලියන 76 ක්), ඇමෙරිකන් රජයෙ භාණ්ඩාගාරයට (ජූනි මස අන්තිම සතියේ බිලියන 74 යි) වඩා cash reserves තියන බව අහන්න ලැබුණ. එහෙම පුද්ගලික කොම්පැණි තියනවා ද දුප්පත් රටවල් වල රජයන්ට බදු ගෙවන්න? ඔය වගේ සහනාධාර ගෙවන්න පුළුවන් මුදල් ආණ්ඩුවට ලබාගන්න? නැත්නම් යහපත් ඇනෝ කැමති ආධාර හා ණය අරගෙන සහනාධාර බෙදා දෙන්න ද? දැන් එහෙම ණය හා ආධාර පිටරටින් ගනිද්දීත් කියන්නෙ රටේ ඒකීයභාවයට ඇඟිලි ගහනවා කියලා නේද? ඉතින්, කොහොම ද ඔය සහනාධාර බෙදලා දෙන්න සල්ලි එකතු කරගන්නෙ කියලා කියන්න පුළුවන් ද?

  3. සපතේරු උන්නැහේ said, on සැප්තැම්බර් 17, 2011 at 4:36 ප.ව.

    අරුණි අක්කේ…

    මේක පෝස්ට් එකට අදාල දෙයක් නොවෙයි.. ඔයාත් වර්ඩ් ප්‍රෙස් භාවිතා කරන නිසා පොඩි උපදෙසක් දෙන්න…

    මගේ පෝස්ට් දහයක්වත් නැති බ්ලොග් කටුවෙ මැද්දට ඉබේම ඇඩ් වැටෙනවා… කොහෙන් එනවාද දන්නේ නෑ… ඔයා no ads upgrade එකක් මුදල් ගෙවා ලබාගෙන තියෙනවාද…US$ 29 කට ඒක ලබාගත්තොත් ඇඩ් වැටෙන එක නවතීවිද..?
    word press පාවිච්චි කරන කාගෙවත් එහෙම ඇඩ් වැටෙනවා මම දැකල නෑ……… මටමයි වෙන්නෙ..!!! 😦

    • arunishapiro said, on සැප්තැම්බර් 17, 2011 at 9:34 ප.ව.

      සපතේරු උන්නැහේ,

      මල්ලි, බලාගෙන ගියා ම කොන්දේසියක් නැතිව, නොමිලේ ලැබෙන කිසි දෙයක් ලෝකෙ නැහැ නේද?!!!

      මම මුදල් ගෙවා ඇඩ් නැතිකම ලබා ගෙන නැහැ. මගේ පරණ සටහන් වල දී ඇඩ් දාලා තියනවා දකිනවා. හැබැයි ඒ මම මගේ කොම්පියුටරයෙන් හරි ලොග් වෙලා හරි ගියොත් නෙවෙයි ඒ ඇඩ් දකින්නෙ. මම ලොග් වෙච්ච ගමන් ඒවා ඉවත් වෙනවා!!

      ඔවුන් මට නොමිලේ මෙහෙම බ්ලොග් සටහන් ලියන්න අවස්ථාවක් ලබා දීලා තියන නිසා මම ඔවුන්ට කැමැති ඇඩ් එකක් දා ගන්න ඉඩ දීලා තියෙන්නෙ. දැනට නම් සටහන් වලට වැඩි කරදර නොවන විදියටයි දාලා තියෙන්නෙ.

      මම මුදල් ගෙවා ඇඩ් නැතිකම ලබාගන්න කැමති නැහැ. මොකද දැන් $29 දීලා ගත්තට පස්සෙ හෙට $300 කිව්වොත් එපා කියන්න ද?!!

      දැන් මේක mutual එකඟතාවයකින් කරන වැඩක්නෙ. එයාල නොමිලේ දෙන පහසුකම් පාවිච්චියෙන්, මම සටහන් ලියන නිසා, එයාල කීයක් හරි හොයාගත්තට මගේ අකමැත්තක් නැතිකම.

    • යහපත් ඇනෝ said, on සැප්තැම්බර් 18, 2011 at 1:26 පෙ.ව.

      @සපත්තුවා,

      At WordPress.com, we sometimes display advertisements on your blog to help pay the bills. This keeps free features free!

      The ad code tries very hard to not intrude or show ads to logged-in readers, which means only a very small percentage of your page views will actually contain ads.

      To eliminate ads on your blog entirely, you can purchase the No-Ads Upgrade. The upgrade is especially attractive and useful to business blogs in order to eliminate any possibility of competitors’ ads displaying on their domains. Please note that the Possibly Related Posts, which appear at the end of your blog posts, are NOT advertisements. This feature can be disabled from Appearance -> Extras.

      No Ads is a paid upgrade that costs $29.97 per blog, per year.

      කොපි කලේ : http://en.support.wordpress.com/no-ads/ කියන තැනින්.

  4. රාජ් said, on සැප්තැම්බර් 17, 2011 at 11:03 ප.ව.

    අරුණි කියලතියන ජාතියේ උදාහරණ මෙහෙනුත් දෙන්න පුළුවන් ඕනතරම්.70 දශකයට සාපේක්ෂව අද ලංකාවෙ විදුලි පරිභෝජනය, රුපවාහිණි සංඛ්‍යාව, මෝටර් සයිකලේ ඉදලා ඉහලට තියන වාහන ගනනෙ වැඩිවීම බලන්න. “එදාවේල”කන්න නැතැයි කියන පිරිස ලග වුනත් මේ කියපු දේවල් එකක් හරි තියනව.සුඛෝපභෝගී භාවය වෙනුවෙන් දිනපතා එලියට එන භාණ්ඩ අත්කරගැනීමේ තරගයේදී එක් එක් පුද්ගලයා/සමාජය, එය අත්කරගැනීමට ගතකරන කාලය තමයි “සංවර්ධනය” කියන්නෙ මගේ හිතේ.

    • arunishapiro said, on සැප්තැම්බර් 18, 2011 at 9:53 පෙ.ව.

      රාජ්,

      //සුඛෝපභෝගී භාවය වෙනුවෙන් දිනපතා එළියට එන භාණ්ඩ අත් කරගැනීමේ තරඟයේ දී එක් එක් පුද්ගලයා/සමාජය, එය අත්කර ගැනීමට ගත කරන කාලය තමයි තමයි “සංවර්ධනය” කියන්නෙ මගේ හිතේ.//

      ඔව්, රාජ් ඔබ හරි. ඊයේ හිටියාට වඩා අදත්, අදට වඩා හෙටත් සුව පහසුකම් වැඩි නැත්නම් සංවර්ධනයක් ඇතැයි කියන්න බැහැ. එහෙත් ඒ දකින සංවර්ධනය මිනිස් උත්සාහය නිසා ද, නැත්නම් රජය විසින් ණය ආධාර වලින් පුම්බා පෙන්වන තත්වයක් දැයි විමසන්න අවශ්‍යයයි. ඔබාමා ආණ්ඩුව කළ පරිදි රටක් ණය ගෙන සුබ සාධන වැඩියෙන් බෙදා දීම සංවර්ධනයක් නෙවෙයි.

      ආණ්ඩුවල ඇඟිලි ගැසීම් නිසා ඊයේ හිටියාට වඩා අද හා හෙට අඳුරු වූ රටවල් ඉතිහාසයේ ද අද දිනයේ ද දකින්න පුළුවන්. ඒ වගේම අද පවතින ඇමෙරිකන් සුබ සාධන ප්‍රතිපත්ති වෙනස් කර නොගත්තොත් ඇමෙරිකාවේ හෙට දිනය ද අඳුරු වෙන්න පුළුවන්. ඒක නිසයි පහුගිය මැද මැතිවරණයේ දී (ඔබාමා වසරක් පාලනයෙන් පසු) අනිත් පැත්තට චන්ද ලැබි කොංග්‍රසයේ නීති පාස් කරන බලය අනිත් පැත්තට ගියේ. රටේ ජනතාව වොෂිංටනය වෙනස් කරගන්න පත් කරපු ඔබාමා අතින් (ඔහුගේ අයිඩියලොජියන් විමසීම පැත්තක දමා ඔහු කියන්න පමණකට සවන් දුන් අය!!!) බුෂ් වැඩි කරපු යුද වියදම් හා නොයෙකුත් වැඩ සටහන් මඟින් පෘථුල කල ආණ්ඩුවාදය ඔබාමා සෞඛ්‍යය පනත යනාදියෙන් පැතිරීම තවත් වැඩි වී ගියේ.

      නමුත් අන් රටවල නැති ඇමෙරිකාවේ වෙනස් කම් දෙකක්:

      1. ඇමෙරිකාවේ කතාබහ කරන්න නිදහස තියනවා. බොහෝ රටවල් වල ආණ්ඩු වලට හේත්තු වී ‘ලේ උරා බොන තඩියන්’ ගැන කතාබහ කරන්න නිදහසක් නැහැ. ආණ්ඩුවක් විවේචනය කරන්න නිදහසක් නැහැ. ඉන් පැහැදිලිව වෙනස් වන නිදහස් වාතාවරණය නිසා වසරක් තුල දී කරපු විනාශය අවම කරගන්න පුරවැසියාට බලතලය සතුයි. පුරවැසියා ඒ බලතලය පාවිච්චි කර තවත් විනාශයට ඉඩ නොදී ජනාධිපති බලතල අවම කළා. නැවත වතාවක් ඔබාමාට දිනන්න පුළුවන් යැයි සිතන අයෙක් අද හොයාගන්න අමාරු වෙන තරමට ජනමතය වෙනස් වෙලා.

      2. එසේම ලෝකයේ බොහෝ රටවල, යුරෝපීය හවුල ද ඇතුළු ව, ජනමතය වී ඇත්තේ ආණ්ඩුව රටේ සංවර්ධනය සඳහා මහත් කාර්ය භාරය කළ යුතු යැයි කියා. යුරෝපයේ නැත්තේ ‘ලේ උරා බොන තඩියන්’ (crony capitalism) ආණ්ඩුවලට හේත්තු වී වාසි ලැබීමයි. නමුත් යුරෝපා හවුල එහි සියලු සාමාජිකයන් සඳහා ප්‍රතිපත්ති සම්පාදනය කරනවා. ග්‍රීසිය වැනි රටක් අනුන් හදපු නීති ක්‍රියාත්මක කරන්නේ නැති වුනාම දඬුවම් දෙන්න ක්‍රමයක් ඔවුන් සතුව නැහැ. ඉතින් සියල්ලන් ම අමාරුවේ වැටෙනවා. යුරෝපයේ වැඩි ජනතාව දැන් ආණ්ඩුවට කරත හැකි කාර්ය භාරය ගැන විමසන්න ඉතා යාන්තමින් පටන් ගෙන. ඒ අතින් ඔවුනට ඇමෙරිකන් ආණ්ඩුවට ඇති බලතල අඩු තත්වයට අහලකින් වත් යන්නට තවම හිතන්නට හැකියාවක් නැහැ.

      ආසියානු, අප්‍රිකානු සහ ලතින් ඇමෙරිකානු රටවල ආණ්ඩු බොහොමය විනිවිද භාවයෙන් තොරයි. මහජනතාවට කතාබහට නිදහසක් නැහැ. ‘ලේ උරා බොන තඩියන්’ වැඩි කරන වැඩ සටහන් (ඒවායෙන් ආණ්ඩු කරන අය සතු බලය වැඩි වී යාම) වලින් ගැලවෙන්නට එය හඳුනාගත හැකි මානසිකත්වයක් ද නැහැ. ඒ නිසා දුප්පතුන් සූරා කන්නේ ධනවතුන් යැයි කියමින් ආණ්ඩු බලය ඇති අය සහ ආණ්ඩු වලට හේත්තු වී ‘ලේ උරා බොන තඩියන්’ දුප්පතුන් ව සූරාකමින්, සහනාධාර හා සුබ සාධන ණයට ගෙන බෙදා දෙමින් රට උගස් කරමින් රට විනාශයට ගෙන යන බව දකින්න හැකියාවක් නැහැ.

      ඊයේ ට වඩා අදත් අද ට වඩා හෙටත් ලබන සංවර්ධනය ගැන කියද්දී එය හුදු මවා පාන්නක් ද නැත්නම් මිනිස් උත්සාහයෙන් ලැබෙන්නක් ද යන්න විමසන්නට වාතාවරණයක් ද තිබිය යුතුයි.

      ලංකාවේ රාජ් දකින සංවර්ධනයට මම ස්තූතිය පුද කරන්නේ මිනිස් උත්සාහයෙන් බිලියන ගණනින් රටට මුදල් ගෙනෙන විදේශයන්හි සේවයේ නියුතු ලාංකික පුරවැසියන්ටයි, ලංකාවේ ‘ලේ උරා බොන තඩියන්’ සමඟ තරඟයේ යෙදෙමින් වෙහෙසන පුද්ගලික අංශයටයි. නැතිව ලංකාවේ පත් වූ කිසිම ආණ්ඩුවකට නොවේ!!!

  5. Chanuka Wattegama said, on සැප්තැම්බර් 17, 2011 at 11:22 ප.ව.

    After a long time Aruni has written something that I can agree.

    • arunishapiro said, on සැප්තැම්බර් 18, 2011 at 9:58 පෙ.ව.

      Chanuka Wattegama,

      //මිනිස් සත්වයා, හිතන්නට මොළයක් ඇති මිනිසෙකි, එය පාවිච්චියට ගන්නා/නොගන්නා හැකියාව ඇති සත්වයෙකි. හිතන හැකියාව අඩු වී යද්දී මෘග ස්වභාවයන් පමණක් ඉතිරි ය. ආණ්ඩුවාදය (statism) සාර්ථක නැති බව අද පැහැදිලිව දකින්නට හිතන්නට මොළයක් ඇති අයට පුළුවන. ජනතාවගේ යහපත යැයි කියා ‘ලේ උරා බොන තඩියන්’ සමඟ ගණුදෙනු වලින් භාණ්ඩාගාරය හිස්වන බව වටහා ගත් අය හනිකට එයින් ගැලවෙන මාර්ග හොයති. පුද්ගය අයිතීන් රැකීම පමණකින් මිනිසා අතින් නිර්මාණ බිහිවන බවත් සාමය උදාවන බවත් විමසන්නට ලොව නන් දෙසින් හිතන්නට උත්සාහ කරන ජනතාව පටන් ගෙන ය. නිදහස් වෙළඳපොල මිසක ආණ්ඩුවාදය පතුරවන්නට කේන්සියානුවාදය සහයට ගැනීම ද අසාර්ථක බව අද පැහැදිලිව දකින්නට හිතන්නට මොළයක් ඇති අයට පුළුවන.//

      ඇත්තෙන් ම චානුක? එහෙම නම් මට ලොකු සතුටක්.

      • Chanuka Wattegama said, on සැප්තැම්බර් 18, 2011 at 10:29 පෙ.ව.

        එකඟයි කිව්වේ ලිපියේ මුඛ්‍ය අර්ථය ගැන මිස ඔබේ “මැක්කා” ගැන නොවේ. එය වචනයෙන් වචනයට එකඟයි කීමක් සේ වරදවා තේරුම් ගත යුතු නොවේ.

        එසේම “මොළයක් ඇති අයට පිළිවන” කියා දියාරු කතා කියනවාට වඩා දත්ත මත තීරණ ගැනීමට මම කැමැත්තෙමි.

        /පුද්ගය අයිතීන් රැකීම පමණකින් මිනිසා අතින් නිර්මාණ බිහිවන බවත් සාමය උදාවන බවත් විමසන්නට ලොව නන් දෙසින් හිතන්නට උත්සාහ කරන ජනතාව පටන් ගෙන ය. / මෙවැනි දෙයක් ඔප්පු කරන්නට කිසිම සාධකයක් මට නම් මෙතෙක් හමු වී නොමැත. මෙවැන්නක් වන්නේ නම් පුද්ගල අයිතීන් ගරු නොකරන චීනය වර්තමානයේ ලබා ඇති ආර්ථික වර්ධනය පැහැදිළි කිරීමේ දැඩි අපහසුවක් වේ. හැමදාම කියන ලෙස මේවා අයින් රෑන්ඩ්ගෙ දර්ශනයේ දුබලතා පෙන්වන අවස්ථාය.

        • arunishapiro said, on සැප්තැම්බර් 18, 2011 at 10:47 පෙ.ව.

          Chanuka Wattegama,

          අර දැනිච්ච සතුට …. චානුක? ….? …. අයියෝ ඒක රූස් ගාලා බැහැලා ගියානේ!!!!

          මගේ //ලිපියේ මුඛ්‍ය අර්ථය// කුමක් දැයි ඔබ සිතන්නේ ද?

          ඔයා මේ පිළිතුරු ලියන්නේ මොළයෙන් හිතා බලා නෙමයි ද?

          මම අහංකාරයි කියන්න එපා ඉතින් ප්‍රශ්නයක් දෙකක් ඇහුවම, මොකද මම ප්‍රශ්න අහන්නෙ නොදන්න නිසා මිසක අහංකාර ලෙසකින් සියල්ල දන්නා නිසා නෙමෙයි.

      • Chanuka Wattegama said, on සැප්තැම්බර් 18, 2011 at 10:39 පෙ.ව.

        My opinion appears above. Please remove the repetition.

        • arunishapiro said, on සැප්තැම්බර් 18, 2011 at 10:54 පෙ.ව.

          Chanuka Wattegama,

          ඔබ ඉල්ලන යමක් මා කල යුතු ඇයි?

          එය මා ලවා කරවා ගන්නට මාව කැමති කරවා ගන්නට ඔබ කේවල් (bargain) කරන්නේ කෙසේද? 😀

          ඉතින් දැන්වත් මා අහංකාර නැතැයි හිතෙනවා ද?

    • Chanuka Wattegama said, on සැප්තැම්බර් 18, 2011 at 11:40 පෙ.ව.

      අදහස් අතින් අහංකාර වීම යනු එකකි. එය අනිවාර්යයෙන්ම පෞද්ගලිකව අහංකාරවීමක් සේ ගත යුතු නොවේ. මේ දෙක අතර සම්බන්ධයක් තිබිය හෝ නොතිබිය හැකිය.

      එසේම යම් සටහනක ප්‍රධාන අර්ථයට එකඟ වීමක් යනු එහි සෑම වචනයකටම එකඟ වීමක් සේ ගත යුතු නොවේ. රජයක් විසින් “දුප්පතුන්ට” සහනාධාර නිකුත් කිරීම ප්‍රතිපත්තියක් සේ මම අනුමත නොකරමි. එය කිසිම රජයක් විසින් නොකළ යුතු දෙයකි. (මෙහි සීමා විවාදාපන්නය.) නමුත් මේ එක කාරණය මත තවත් බොහෝ දේ සාධාරනීකරණය කළ නොහැක. (උදාහරණයක් හැටියට මැතිවරණයකට පෙර සහනාධාර පැකේජයක් පොරොන්දු වීම එක දෙයකි. රට ආර්ථික අර්බූදයකට මුහුණ පා ඇති අවස්ථාවක stimulation package එකක් දීම ඊට වෙනස්ය.)

      • arunishapiro said, on සැප්තැම්බර් 18, 2011 at 12:03 ප.ව.

        Chanuka Wattegama,

        අදහස් අතින් අංහකාර (proud) වීමට මා ඉතා කැමතියි. ඉතින්, ස්තූතියි එහෙම පමණකින් මා අහංකාර යැයි සලකනවා නම්.

        //මැතිවරණයකට පෙර සහනාධාර පැකේජයක් පොරොන්දු වීම එක දෙයකි. රට ආර්ථික අර්බූදයකට මුහුණ පා ඇති අවස්ථාවක stimulation package එකක් දීම ඊට වෙනස්ය.//

        යම් පොරොන්දුවක් දීමේ වටිනාකමක් ඇත් ද අයෙක් ඒ පොරොන්දුව රකින්නේ නැත්නම්?

        ඕනෑම අවස්ථාවක දී බොරු පොරොන්දු දිය යුත්තේ ඇයි?

        දුප්පතුන්ට සහනාධාර දීමෙන් දුප්පත්බව කර්මාන්තයක් (poor industry) වෙනවා මිසක දුප්පත්කම අඩු කරන්න බැරි බවත්, ලෝකයේ දුප්පතුන් කියා කොටසක් (ඔවුන් මොළය වෙහෙසන්නට අකමැති නිසා බව ඔබ පිළිනොගත්ත ද එයයි හේතුව) හැමදාම සිටිනු බවත් සමහරු පිළිනොගන්නේ මන්ද?

      • Chanuka Wattegama said, on සැප්තැම්බර් 18, 2011 at 12:27 ප.ව.

        /දුප්පතුන්ට සහනාධාර දීමෙන් දුප්පත්බව කර්මාන්තයක් (poor industry) වෙනවා මිසක දුප්පත්කම අඩු කරන්න බැරි බවත්, ලෝකයේ දුප්පතුන් කියා කොටසක් (ඔවුන් මොළය වෙහෙසන්නට අකමැති නිසා බව ඔබ පිළිනොගත්ත ද එයයි හේතුව) හැමදාම සිටිනු බවත් සමහරු පිළිනොගන්නේ මන්ද?/

        “සමහරුන්” පිළි නොගන්නේ මන්දැයි මගෙන් අසා ඵලක් නොවේ. මා ඒ “සමහරුන්” ට අයත් නොවන නිසාය. සහනාධාර සම්බන්ධයෙන් මගේ ස්ථාවරය ඔබේ ස්ථාවරයට සමානය.

        සති කිහිපයකට පෙර An open letter to Muzammil and Moragoda sahibs: Are you ready to give Colombo pukka facelift? මැයින් මා Daily Mirror පුවත්පතට ලියූ ලිපියක මෙසේ සඳහන් කළෙමි.

        Illegal dwellers

        Like any other developing world city, Colombo too has its own share of ‘illegal dwellers’. Thin is the line that differentiates them from legal residents. Some may not even be aware of their status, when their families have migrated few generations back. The numbers continue to rise. Sadly, that does not make their stay legal.

        The socio -economic issues faced by this group are grave. Unemployment is high. Drug use is not rare. The scarcity of space makes them sleep in turns. Privacy is a luxury. Poverty is more visible, than in rural areas, with a higher purchasing power parity factor. (The rural poor can at least grow part of their consumption) Many still don’t enjoy even the basic sanitary facilities. Rarely a child completes G. C. E. (O/L) and not because the lack of opportunities. It is not a problem of the education system, but the broader socio-economic system.

        The lawfully correct solution is to remove illegal dwellers. One legally owns a land with a deed. No deed – no land. Looks harsh, but that’s the law.

        A more humane solution is to relocate them. It is not the perfect solution – disturbing livelihoods create additional problems. Still, the shift will make new lives possible. At least the next generation will overcome the socio-economic issues that now burden them.

        Sadly, both key political parties appear to shun this serious issue. Both parties have promised to do the exact opposite. No relocation. Illegal dwellers stay where they are. Singapore type condominia are on the offer. At whose cost? Should the Colombo tax payers bear the cost of building condominia for illegal dwellers? Will not it be an incentive for illegal internal migration? Will this ever solve the problem? Isn’t this the same cheap, populist politics we are so familiar with? Is this different from Karunanidhi’s election promise of television sets?

        When Lee Kuan Yew pioneered public housing is Singapore, he never promised ‘free condominia’. Such election gimmicks never had a place in Singapore politics. All units were leased; not at a nominal or fixed rate. The residents paid increasing market rates, as the land value rose. Such solutions are not possible in Colombo.

        Are the two political parties ready to consider relocation – the only viable option?

        http://print.dailymirror.lk/business/127-local/55199.html

        මොළය වෙහෙසීමට ඇකැමැති නිසා දුප්පත් වන පිරිසක්ද වෙති. නමුත් මෙය දුප්පත්කමට එකම හේතු කාරකය නොවේ. දුප්පත්කම යනු මීට වඩා සංකීර්ණ දෙයකි. එසේම වඩා වැදගත් දුප්පත්කමට හේතු සෙවීම නොව දුප්පත්කම (අසමානතාව නොව) නැති කිරීමය. දුප්පත්කම නැති කළ හැකිය. එසේ විශ්වාසකළ පළමුවැන්නා කේන්ස්ය. (“Assuming no important wars and no important increase in population, the economic problem may be solved, or be at least within sight of solution, within a hundred years” – Economic Possibilities for Our Grandchildren, 1930) එහෙත් එතැනට ළඟා විය හැකි මාර්ගද සරල නොවේ.

        ඔබ අසන අනෙකුත් බොහොමයක් ප්‍රශ්න වලට උත්තර අවශ්‍ය නම් Public Choice therory එකෙන් ඒවා සොයා ගත හැකිය.

        • arunishapiro said, on සැප්තැම්බර් 18, 2011 at 2:06 ප.ව.

          Chanuka Wattegama,

          //“සමහරුන්” පිළි නොගන්නේ මන්දැයි මගෙන් අසා ඵලක් නොවේ. මා ඒ “සමහරුන්” ට අයත් නොවන නිසාය. සහනාධාර සම්බන්ධයෙන් මගේ ස්ථාවරය ඔබේ ස්ථාවරයට සමානය.//

          //එසේම වඩා වැදගත් දුප්පත්කමට හේතු සෙවීම නොව දුප්පත්කම (අසමානතාව නොව) නැති කිරීමය. දුප්පත්කම නැති කළ හැකිය. එසේ විශ්වාසකළ පළමුවැන්නා කේන්ස්ය//

          නැහැ චානුක, මෙතැන දී මගේ ස්ථාවරය ඔබේ ස්ථාවරයට කිසි සේත්ම සමාන නැත.

          මුලින් ම, දුප්පත්කමට හේතු නොසොයා ‘දුප්පත්කම නැති කරන මාර්ගය’ වටහා ගත නොහැකිය. මානසික රෝගී භාවයකින් පෙළෙන්නෙක් සමාජයේ සෙසු අය හා තරඟ කර තම ජීවිතය දියුණු කර ගනිතැයි අපේක්ෂා කිරීම දුප්පත්කමට හේතුවකි. ආණ්ඩුවට හේත්තු වී ලේ උරා බොන තඩියන් වැඩි කරන රටවල් වල නිදහස් වෙලඳපොල තරඟයක් ඇතැයි කීම දුප්පත්කමට හේතුවකි. සමහර පුද්ගලයන්ට කිසි සේත්ම ධනවත් වන්නට තියා එදිනෙදා ජීවිතයේ තම උවමනාවන් සපුරා ගන්නට ද ඕනෑකමක් (මානසික රෝගයක් නැතිව ද) නැතිකම දුප්පත්කමට හේතුවකි. මෙවැනි හේතු රාශියකි. ඒ හේතු සියල්ල සොයා ගැනීම මිනිසාට/ආණ්ඩුවකට/අර්ථ ශාස්ත්‍රඥයකුට හෝ ඒ සියල්ලන්ට ම එකතු වී වුව ද කළ නොහැකි අසීරු කාර්යයකි. දවසින් දවස නව දත්ත ගෙනෙනු ලබයි. තියන දත්ත වෙනස් කරයි.

          එනිසා ම දුප්පත්කම නැති කළ නොහැකිය. හැමදාම ලෝකයේ යම් අයෙකුට වඩා දුප්පත් වූ තවත් අයෙක් සිටිනු ඇත.

          දුප්පත් පොහොසත් බව ඒකීය මිනිස් වෑයම මත සාධාරණව තීරණය වන ආකාරය පෙන්වා දුන්නේ කේන්ස් නොවේ, ඇමෙරිකාවේ ව්‍යවස්ථාව ලියූ ආදී පීතෘවරයන් ය. නිදහස් වෙළඳපොලක, පුද්ගල අයිතීන් රකින වාතාවරණයක, කේවල් කර මිල තීරණය වන ආර්ථික ක්‍රමයක පමණක් මොළය වෙහෙසන ඕනෑම අයෙකුට තම කැමැත්ත මත දුප්පත් හෝ ධනවත් වන්නට හැකිය. සත්‍ය ලෝකයේ යුද නැති කාලයක්, ජනගහණය අඩු වැඩි නොවන කාලයක් එනතුරු ආර්ථික ගැටළු විසඳන්නට බලා සිටිය නොහැක.

          මොළය වෙහෙසන්නට බැරි මානසික රෝගීන්ට, මොළය වෙහෙසන්නට උවමනාවක් නැති කම්මැලියන්ට, මොළය වෙහෙසන්නට තවම නොදත් දරුවන්ට, මොළය වෙහෙසන්නට බැරි තරම් වයසට ගිය මහලු අයව රැක බලා ගැනීම සමාජයේ හොඳ මනුස්සකම මිස ඒවාට ඔවුනට අයිතීන් ඇතැයි කියන්නට ගියොත් ඒ අයිතීන් වල වටිනාකම අගැයුම් කරන්නට නොහැකි බව බැහැර ලා කතා කිරීමක් වෙයි. එවිට, ඔබ කියනා කොළඹ නගරයේ නීති විරෝධීව වාසය කරන්නන්ගේ ‘අයිතීන්’ වැනි අර්බුදකාරී තත්වයක් හට ගනී. මෙහිදී ඔබ කතාව මැදින් පටන් ගෙන ය. එනම් කොළඹ නගරයේ නීති විරෝධී පදිංචිකරුවන් ගෙන් පටන් ගෙන ය. ඔවුන් එසේ පදිංචියට අයිතියක් ඇතැයි සිතන්නේ ඇයි? යන්න විමසිය යුතුය. එය ඇමෙරිකාවට නීති විරෝධීව පැනගත් මෙක්සිකන් ජනතාව ඉල්ලන වරප්‍රසාද හා සමාන ය. ඔවුන් නීති කැඩූ අයයි. ඔවුන් නීති කැඩුවේ ඊට ඉඩකඩක් තිබි නිසා ය. අවශ්‍ය නීතිය කඩන්නට ඇති ඉඩකඩ ඇහිරීම ය. නැතිව ඔවුන්ට ඇතැයි කියන අයිතීන් වලට අගැයුම් දෙන්නට යාම නොවේ.

          දුප්පතුන්ට අයිතීන් ඇත් ද නැත් ද යන්න විමසද්දී පොහොසත් අයට අයිතීන් ඇත් ද නැත් ද යන්න ද විමසිය යුතුය. එවිට ඔබ ලිපියේ කියූ “කාගේ සල්ලි වලින් ද?” -At whose cost? යන්න පැහැදිලි වෙයි. එනම්, අනුන්ගේ සල්ලි වලින් ලැබෙන දෙයක් තමනට මේ තරම් ප්‍රමාණයකින් ලැබිය යුතු යැයි කියන්නට කිසිවෙකුට අයිතියක් නැත. හොඳ මනුස්සකම නිසා දෙන යමක් පමණක් ලැබීමට ඉඩකඩක් ඇතිවා පමණකි. ලෝකයේ අපි හිතනවාට වඩා මනුෂ්‍යත්වයට ආදරය කරන හොඳ මනුස්සයන් පිරී පවතී. නමුත් ඒ අස්සට රිංගා ගන්නට අප ඉඩදෙන මේ තක්කඩි දේශපාලඥන ක්‍රමය නිසා ඒ මානුෂික හිතවාදය නැතැයි සිතන්නට අපි හුරු වී සිටිමු. එහි දී අප හිතන්නට හුරු වී ඇත්තේ සැලසුම් ගහන අයට පෝසතුන් ගෙන් උදුරා දුප්පතුන්ට දෙන බලයෙන් අයිතීන් සුරකිනවා කියන බොරුව පමණකි. මෙතැන දී කොළඹ බදු ගෙවන ජනතාවගේ මහන්සියෙන් නීති විරෝධී පදිංචිකරුවන්ට සමාජයේ නීති ගරුක වූ අනිත් අයට නැති වරප්‍රසාද පොරොන්දු වන්නේ චන්දයක් දිනනු සඳහා ය. අපි විමසිය යුත්තේ ඒ වරප්‍රසාද දෙන්නට දේශපාලනඥයන් හුරු කර ඇත්තේ කවුදැයි කියා ය. ඔවුන් වනාහී සැලසුම් ගැසීමෙන් ගැටලු විසඳන්නට හැකි යැයි සිතන පිරිස ය. ඔබ අකමැති මෙම සැලසුමට ය. නැතිව මොළය වෙහෙස නොකරන්නාට අයිතීන් නැතැයි කියන්නට නොවේ. ඔබට උවමනා මේ සැලසුම වෙනස් කර වෙනත් සැලසුමක් හදන්නට ය. ඔවුන් ඉවත් කරන්නට ය. නැත්නම් ඔවුන් වෙන තැනක පදිංචි කරවන්නට ය. නැතිව ඔවුන්ට පදිංචියට තැනක් කිසිම සැලසුම්කරුවෙක් විසින් සොයා දිය යුතු නැතැයි කියන්නට නොවේ.

          කොළඹ නීති විරෝධී ව ඉන්නා අයට පදිංචියට තැන් සොයා දෙන්නට මහජන මුදල් වැය කරනවා නම් රජය විසින් වෙනත් ප්‍රදේශ වල නීති විරෝධීව පදිංචි වෙන අයටත් මහජන මුදල් වලින් පදිංචියට තැනක් රජය විසින් සොයා දිය යුතු ද?

          වෙනත් තැන් වල ඔවුන් පදිංචි කරවන්නට යන මුදලට වඩා ඔවුන් සියල්ලන්ට ම රට රැකියාවන්ට යාමට අවසර පත් ලබා දීමෙන් රටට වඩා ආර්ථික වාසියක් ලැබෙන්නේ නැත් ද?!!!! කේන්ස්ට ප්‍රශ්නය තියරියකින් විසඳන්නට නොහැකි වන්නේ ඒ නිසයි. චන්ද පොරොන්දු දෙන දේශපාලනඥයන්ට ද ප්‍රශ්න විසඳන්න නොහැක්කේ ද ඒ නිසයි. දේශපාලනඥයන් හා අර්ථ ශාස්ත්‍රඥයන් නිදහස් වෙළදපොල හසුරුවන්නට ගන්න උත්සාහයන් වලින් පැත්තකට වෙනවා නම්, රටක් පවතින නීති ක්‍රියාත්මක කරනවා නම් ප්‍රශ්නය විසඳී යනු ඇත.

          නිදහස් ලෝකයක කැමති අයෙකුට පොහොසත් වන්නට ද, කැමති අයකුට දුප්පත් වී ඉන්නට ද අයිතියක් ඇත. පොහොසත් අය පොහොසත් වූ නිසා දානපතියෝ වෙන්නට ද කියා නීතියක් නැත. එය ආගමික විශ්වාසයක් විය හැකිය. නමුත් කොමියුනිස්ට් නොවන පාලන ක්‍රමයක දී එය රටේ නීතියක් නොවන්නේ ය. දුප්පත් අයෙකුට දුප්පත් වී ඉන්නට ද අයිතියක් ඇත. ඔවුන් බලහත්කාරයෙන් ධනවත් කරවන්නට ගත් කොමියුනිස්ට් වෑයම් ඵල රහිත වූයේ මිනිස් උත්සාහය හැමට එක හා සමානව පිහිටා නැති බව නොපිළිගත් බැවිනි.

      • Chanuka Wattegama said, on සැප්තැම්බර් 18, 2011 at 10:57 ප.ව.

        @arunishapiro,

        /එනිසා ම දුප්පත්කම නැති කළ නොහැකිය. හැමදාම ලෝකයේ යම් අයෙකුට වඩා දුප්පත් වූ තවත් අයෙක් සිටිනු ඇත. /

        මා කතා කරන්නේ absolute poverty ගැන මිස comparative poverty ගැන නොවේය යන්න කිහිප වතාවක් පැහැදිළිව කියා තිබේ. සමාජයේ විෂමතා තිබේ. ඒවා නැතිකළ නොහැකිය. නැති කිරීමට උත්සාහ දැරියද නොයුතුය. නමුත් ලෝකයේ අති බහුතරයට සතුන් ලෙස නොව මිනිසුන් ලෙස ජීවත් වන්නට හැකි ලෝකයක් අපට නිර්මාණය කළ හැකිය. 1900දී ලෝකයෙන් 4/5ක් දුප්පතුන්ය. 2000දී එය 1/4 දක්වා අඩුවිය. මා කතා කරන්නේ 100%ක් බැරිනම් 99% ක් මිනිසුන්ට අවම මූලික අවශ්‍යතා හිමි ලෝකයක් ගැනය. සම-සමාජයක් ගැන නොවේ.

        දෙවනුව මා “දුප්පතුන්ගේ” අයිතීන් ගැන මොනම අවස්ථාවකවත් සඳහන් කර නැත. “දුප්පතුන්ට” නොමිළයේ ලැබෙන සෞඛ්‍ය සේවයකට හෝ අධ්‍යාපනයකට “අයිතියක්” ඇතැයි යන්න මගේ නොව මාක්ස්වාදීන්ගේ අදහසකි. මගේ මතය අප දුප්පත්කම නැති කළ යුත්තේ එය ධනවාදී සමාජයක පැවැත්මට වඩා හිතකර නිසා මිස මනුස්සකමට වත් “දුප්පතුන්ට” පොහොසත් වීමට අයිතීන් ඇති නිසා වත් නොවන බවයි.

        • arunishapiro said, on සැප්තැම්බර් 19, 2011 at 6:11 පෙ.ව.

          Chanuka Wattegama,

          //නමුත් ලෝකයේ අති බහුතරයට සතුන් ලෙස නොව මිනිසුන් ලෙස ජීවත් වන්නට හැකි ලෝකයක් අපට නිර්මාණය කළ හැකිය.

          අපට? අන්න එතනයි තියන ගැටලුව චානුක. “අපට” කියා ඔයා ‘මාවත්’ එකතු කරගන්නවා, ලෝකයේ ඉන්න හැමෝම ඊට අනිවාර්යෙයන්ම කැමති විය යුතු යැයි සිතනවා ඔයාට නිර්මාණයක් සැලසුම් ගහන්න අවශ්‍ය නිසා!!! මම දිගින් දිගට ම “මට එපෝ, මට එපෝ,” කියා කෑ ගැහුවාට ඇහෙන්නේ තකන්නේ නැහැ. එහෙම හිටියා 1900 ගණන් වල සිට වෙනත් ලෝක නායකයන් ලෙනින්ලා, හිට්ලර්ලා, මා ඕං සේතුං ලා …. දැක්ක ද ට්‍රෙන්ඩ් එක???

          ඔයා මාක්ස්වාදියෙක් නොවන බව නැවත නැවත් කිව්වාට වැඩක් නැත්තෙ ඒකයි. එහෙම කියුවාට එහෙම නොවන නිසා. මාක්ස්වාදියෙක් නොවන්නට නම් මිනිසාට සිය කැමැත්ත අනුව ධනවත් වන්නටත්, සිය කැමැත්තට අනුව දුප්පත් වී සිටින්නටත් ඉඩ දිය යුතුයි.

          ඊ ළඟට දුප්පත්කම නැති කළ යුත්තේ //එය ධනවාදී සමාජයක පැවැත්මට වඩා හිතකර නිසා// යන්නේ වැරැද්ද මේකයි: ධනවාදී සමාජයක, නිදහස් අයිතීන් අගයන, පුද්ගලික දේපල අගයන, කේවල් කර මිල තීරණය කරන පරිසරයක දී කවුරුත් දුප්පත්කම නැති කරන්න සැලසුම් ගහන්න අවශ්‍ය නැහැ. එවැනි පරිසරයක දුප්පතුන් සේ ඉන්නේ එසේ ඉන්නට කැමති අයයි.

          //1900දී ලෝකයෙන් 4/5ක් දුප්පතුන්ය. 2000දී එය 1/4 දක්වා අඩුවිය.// එහෙම වුනේ හැමෝටම පොහොසත් වෙන්න පුළුවන්, නිදහස් අයිතීන් අගයන, පුද්ගලික දේපල අගයන, කේවල් කර මිල තිරණය කරන පරිසරයන් ලෝකයේ වැඩි වී ඒකීය පුද්ගලයාට තම අභිවෘද්ධිය තීරණයට ඉඩ ලැබුණු නිසයි.

  6. kevin perera said, on සැප්තැම්බර් 18, 2011 at 3:45 ප.ව.

    //එසේම වඩා වැදගත් දුප්පත්කමට හේතු සෙවීම නොව දුප්පත්කම (අසමානතාව නොව) නැති කිරීමය. දුප්පත්කම නැති කළ හැකිය. එසේ විශ්වාසකළ පළමුවැන්නා කේන්ස්ය.//
    චානුක මා සරල ප්‍රශ්ණයක් අසන්නම්. මේක තියරි නොවෙයි. මම හැමදාම උදේ වැඩට යන්නේ එකම පාරෙන් මේ යන අතරමග මං සංදියක නැවතුම් සංඤාවක් ලඟ හැමදාම මං දකින වසර දහයක් තිස්සේ ඉන්න හිඟා කන යාචකයින් දෙදෙනෙක් ඉන්නවා. නිව්යොර්ක් නගරයේ මේ දෙන්නා මේක කරන්නේ වෙන අවස්ථා නැති නිසා නොවෙයි ඒක ඒ දෙන්නාගේ කැමත්ත නිසා. ඔයා කියන දේ මෙතනට අදාල වන්නේ කොහොමද කියනවද?දුකම කොයි තරම් සතුටක්දෝ කියල හිතන මිනිස්සුත් ඉන්නව. ඔයයි කේන්ස් ලොක්කයි එකතු වෙලා දැන් බලෙන් මිනිසුන් පොහොසත් කරන්න ද යන්නේ චානුක.
    චානුක අහලා ඇති නේ මනෝ විද්‍යාවෙ තියනව පරපීඩා ලිංගිකත්වය කියල දෙයක්. මේ පරපීඩකයගෙ මානසික අපත්තිදායක තත්වය තමයි ඔහු හිතන්නේ අනුන් සතුටු වන විදිය තමන් දන්නව කියල. ඉතින් ඔහු අනුන්ට රිද්දල තමයි අනෙකාව සතුටු කරන්න හදන්නේ.ඔයා කියන දේත් මේ පරපීඩක මානසික තත්වයට සමානයි නේද? මම සහ කේන්ස් දන්නවා අනෙකාගේ දුප්පත්කම නැති කිරීම තමයි අනෙකා සතුටු වන විදිය ඉතින් මා අනෙකාගේ දුප්පත්කම බලෙන් හරි නැති කරනවා.
    http://en.wikipedia.org/wiki/Sadism_and_masochism_as_medical_terms

    • Chanuka Wattegama said, on සැප්තැම්බර් 18, 2011 at 11:35 ප.ව.

      @kevin perera,

      කලින් කී දෙයක් නැවත පුනරුච්චාරනය කරන්නේ නම් සිය කැමැත්තෙන් “ආතල් එකට” දුප්පත් වූවන් සිටිනවා විය හැකිය. නමුත් දුප්පතුන් සියල්ලන්ම එසේය කියා ඉන් නිගමනය කළ නොහැකිය. පොහොසත් වීමට කැමැති එහෙත් ඊට අවස්ථා නොලද පිරිසක් හැම අකාර්මික රටකම වෙති. (ඇමෙරිකාව වෙනස් විය හැකිය.දුප්පත්කම ගැන කියන විට මා නිතර කතා කරන්නේ ලංකාව වැනි රටවල් ගැන මිස ඇමෙරිකාව ගැන නොවේ.)

      /ඔයයි කේන්ස් ලොක්කයි එකතු වෙලා දැන් බලෙන් මිනිසුන් පොහොසත් කරන්න ද යන්නේ චානුක./

      කෙටි උත්තරය “ඔව්”. මට කලින් කේන්ස් ගැන බලමු. කේන්ස් ඊනියා සමාජවාදියකු නොවේ. මාක්ස්වාදියකුද නොවේ. පිං අතේ වැඩ කරන්නෙකුද නොවුණාය සිතමි. කේන්ස් එංගලන්තයේ සම්ප්‍රදායික ධනපති සමාජය තුළින් බිහි වූ elitist කෙනෙකි. (අර අරුණි කලින් පළ කළ වීඩියෝ ක්ලිප් එක බලන්න. එහි කේන්ස්ව ගෞරවාන්විතව හෝටලයට පිළි ගනු ලබන අතර හයෙක් නොසලකා හරිනු ලබයි. එයින් පෙන්වන ලද්දේ හයෙක්ට සාපේක්ෂව කේන්ස් elitist කෙනකු බවයි.) නමුත් කේන්ස්ට දුප්පත්කම නැති කිරීමට උවමනා විය. (නැවත කියන්නේ මෙතැන දුප්පත්කම යනු absolute poverty මිස comparative poverty නොවේ.)

      ඇයි? ඇයි? ඇයි?

      දුප්පත්කම යනු ධනවාදී සමාජයක පැවැත්ම අඩාල කරන දැවැන්ත පිළිලයකි. (නැවත කියන්නේ හිඟන්නෙක් දෙන්නෙක් හිටියාට එය අපට ප්‍රශ්නයක් නැති බවයි. නමුත් සමාජයේ 50%ක් හිඟන්නන් නම් එය ගැටළුවකි.) දුප්පත්කම රැකගෙන දියුණු වූ සමාජ වර්තමාන ලෝකයේ නොවේ. (පුරාතන චීනයේ එවැන්නක් විය.)

      අනෙක් සියළුම කාරණා පැත්තක දැම්මත් රටක ආර්ථිකය දියුණු වෙන්නට මිනිසුන්ට ක්‍රය ශක්තිය (buying power) තිබිය යුතුය. නිෂ්පාදනය කරන දේ මිළට ගන්නට සල්ලි නැතිනම් නිෂ්පාදනය දියුණු වන්නේ කෙසේද? අළුතින් මුදල් නෝට්ටු මහා පරිමාණයෙන් මුද්‍රණය කර ඒවා වීදුරු බෝතල් වල දමා මිනිසුන්ට හාරා ගත හැකි වන සේ පොළොවේ වැළලුවත් කමක් නැතැයි කේන්ස් කියන්නේ මේ සන්දර්භය තුළය. ඇත්ත. මේ නිසා සමාජයේ ධනවතුන්ට විශාල අසාධාරණයක් සිදුවේ. නමුත් ඒ තමන්ගේ පැවැත්ම පිණිස ඔවුන් ගෙවිය යුතු මිළයි.

      නූතන සමාජයේ කිසිම මිනිසකුට ගැහැණියකට (අවස්ථා තිබේ නම්) දුප්පත් වී සිටීමට අයිතියක් ඇතැයි මම නොපිළි ගනිමි. හරියට කෙනෙකුට නීති විරෝධීව වෙසෙන්නට අයිතියක් නැතිවා වගේය. Aගේ දුප්පත්කම Aගේ පමණක් නොව සමාජයේ ප්‍රශ්නයකි. A හන්දියේ හිඟාකයි; සමහරවිට කෙනෙකුගෙන් සොරකම් කරනවාද විය හැකිය; මත්ද්‍රව්‍ය භාවිතා කරනවාද විය හැකිය. මේ vices නැති කිරීමට සමාජයට යම් මුදලක් වැයවේ. මේ නිසා A පොහොසත් කිරීම වඩා මිළ අඩු, සමාජ හිතකර විකල්පයයි. (මෙයින් කියැවෙන්නේ අප Aට BMW කාර් අරන් දිය යුතු බව නොවේ.)

      අවසාන වශයෙන් කේන්ස් සේම මාද A දුප්පත්කමින් මිදිය යුතුය සිතන්නේ ඔහු සතුටු කිරීමට නොව අපට සතුටු වීමටය. ඔහුට මුදල් ඇති නම් අපට ඔහුට යමක් විකුණා කීයක් හෝ හොයා ගත හැකිය. එසේම ඔහු විසින් අප කොල්ල කනු නොලැබේය යන සිතිවිල්ල ඇතිව බියකින් තොරව පාරේ ගමන් කළ හැකිය. මේ ඔහු නොව අප ලබන ප්‍රතිලාභය A ධනවත් වීම අපට externality එකක් පමණෙකි.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: