අරුණි ශපීරෝ‍ වෙතින්

රතු ධනවාදය

Posted in Uncategorized by arunishapiro on සැප්තැම්බර් 19, 2011

ලිබරල්වාදීන් යැයි ලෝකයේ නොයෙකුත් රටවල් වලින් තමන් ට ලේබල් අලවා ගත් අය ගැන සටහනක් විමර්ශනය නොකරන ලද ජීවිතය යන සිරස්තලයෙන් කලකට ඉහත දී ලියුවෙමි. ඔවුන් අතර ලිබරල් මතය කොතරම් සංකීර්ණ වී අවුල් සහගත ව විසිරී තිබුනේ ද කියතොත් ඔවුන් තමන් ව ලිබරල් යැයි හඳුන්වා ගන්නේ ලේබලයක් අලවා ගන්නට පමණක් යැයි සිතේ.

නැහැ නැහැ මම ලිබරල් අයෙක්/නෙමෙයි කියද්දී ලිබරල් අයෙක් කවුදැයි ගැටලුවකි!

නැහැ නැහැ මම ධනවාදියෙක්/නෙමෙයි කියද්දී ධනවාදියෙක් කවුදැයි ගැටලුවකි!

නැහැ නැහැ මම මාක්ස්වාදියෙක්/කොමියුනිස්ට්වාදියෙක්/ආණ්ඩුවාදියෙක්/නොවේ යැයි කියන්නට යන්නේ ද එය ම ගැටලුවකි!

ඒවා සරල බවින් යුතු නොවන විදියට සංකීර්ණ අවුල් ජාලයන් බවට හරවා ඉන්පසු කාලයෙන් කාලයට ජන මතයට රිසි පරිදි ලේබලයක් ගසා ගන්නේ තමනට වාසි පමණක් හොයන අයයි. ඊට වඩා සුදුසු ලේබල් ලැබෙන්නේ ක්‍රීඩා ලෝකයෙන් ය. තමන්ට මුදල් දෙන කොම්පැණි වල නාම හා වෙළඳ ලාංඡන තම ක්‍රීඩා ඇඳුම් වල ප්‍රදර්ශනය කිරීම අපිට ක්‍රීඩයකයන් වෙතින් දැකිය හැකිය. එසේ තමනට සල්ලි දෙන, සහාය දෙන අයගේ ලේබල් දේශපාලනඥයන් පළඳින්නේ නම් ලිබරල්/ධනවාදී/කොමියුනිස්ට්/සමාජවාදී යන ලේබල් වලට වඩා පැහැදිලි වනු ඇත. ඔවුන් නීති ගෙනෙන්නේ කාගේ මල්ල පුරවන්නට දැයි කියන්නට ද හැකිවනු ඇත. විවිධ කොම්පැණි ලාංඡන ධනවාදීන් වෙතින් ද, විවිධ වෘත්තීය සමිති ලාංඡන ආණ්ඩුවාදීන් වෙතින් ද, මයික්‍රෝසොෆ්ට් ලාංඡනය දෙපැත්තේ අය වෙතින් ම දකින්නට ද ලැබෙනු ඇත!!!

ආණ්ඩුවලට හේත්තු වී ‘ලේ උරා බොන තඩියන්’ ඇත. ඒ හැරෙන්නට තවත් ‘ලේ උරා බොන තඩියන්’ වර්ගයක් සිටිති. ඔවුන් යන්නේ ධනවාදයෙන් දුවන රටක සශ්‍රීකත්වයෙන් පෝෂිත වන්නට ය. එසේ පෝෂණය ලබන ගමන් ඒ රට තුල ඇති ධනවාදයට ම ගරහති. නමුත් තමන් පෝෂණය ලබන්නේ එහි ප්‍රතිඵල නිසා බව නොදකින්නට ඇස් පියා ගෙන සිටිති. පැහැදිලි කරත නොහැකි අදිසි හස්තයකින් බෙදුනු නිසා තමනට උදා කරගත නොහැකි වූ සශ්‍රීකත්වයක් ඒ යන රට තුල ඇති බව විශ්වාස කරති. තමන් ගිය අහිතකර ආර්ථික මාර්ගයක ඵල විපාක විඳින, ධනවාදී නොවේ යැයි කියා ගන්නා රටවල් ගැන, මේ ‘ලේ උරා බොන තඩියන්ට’ හැමදාම ඇත්තේ යම් සිත් වේදනාවකි.

කොමියුනිස්ට් වෙන්නට ගිහින් කඩා වැටුණු ආර්ථිකය යළි ගොඩ නංවා ගන්නට උවමනා වූ චීන දූත පිරිසක් ඇමෙරිකන් රාජ්‍ය අනුග්‍රහය යටතේ වොෂිංටනයේ වියදමෙන් මෙහි අවුත් සුපිරි හෝටලයක නැවතී ඔවුන්ගේ දැනුම වඩවා ගන්නා දිනය පටන් ගන්නට සූදානමින් සිටියහ. ටයි සූට් හැඳ සිටි ඔවුන් රූපවාහිනියක් ඉදිරියේ උදෑසන ප්‍රවෘත්ති නරඹමින් තමන් සහභාගී වන්නට නියමිත රැස්වීම් පටන් ගන්නා තෙක් බලා සිටියහ. ත්‍රස්තවාදීන් ගුවන් යානයක් පැහැරගෙන ගොස් එය නිව් යෝර්ක් නගරයේ නිවුන් කුළුණු වලට කඩා පාත්වෙන ආකාරය එසැණින් පුවත් වලින් ප්‍රචාරය වන්නට පටන් ගැනිණ. චීන දූත පිරිස නැඟිට අත් පොළසන් ගසා සතුට පළ කළහ!

ඔවුන් ඇමෙරිකාවට ආවේ කාගේ වියදමින් දැයි ඔවුනට අමතක වී ගියහ.

ඔවුන් ඇමෙරිකාවට ආවේ කුමකට දැයි ඔවුනට අමතක වී ගියහ.

ඔවුන් සතුටු වන්නේ මන්දැයි (උදෑසන නැඟිට රැකියාවට ගිය 3000 ආසන්න පිරිසක් එකතැන මිය යද්දී) ඔවුනට අමතක වී ගියහ.

ඔවුන් අත්පුඩි ගසන්නේ කාට ජය පතන්නට දැයි ඔවුනට අමතක වූහ!

ක්‍රීඩා තරඟයක දී හැමදාම දිනන, ඉදිරියෙන් ඉන්නාව පරාජය කරන්නට වෑයමක් ගන්නා ප්‍රතිවාදියාට ක්‍රීඩා නරඹන්නෝ විසින් අත්පුඩි ගසා දිරි ගන්වන්නේ ද මේ මිනිස් හැදියාව නිසා ම ය. ඒ ඇයි දැයි නොදැන නමුත් එය කරන්නට පෙළඹීම මිනිස් ස්වභාවයයි.

තරඟයට කැමැත්තක් තිබීම ලෝක ස්වභාවයකි. හැමදාම එක ම අයෙක් දිනනවාට කවුරුත් කැමති නැත! එය ඒකාකාරීය. රසවත් බවින් තොර ය.

නමුත්, ඉදිරියෙන් ඉන්නා පරාජය කරන්නට උවමනා වූ පමණින් එය ඉෂ්ට නොවේ. ජයග්‍රහණයට කුසලතා වර්ධනය කරගත යුතු ය. කුසලතා මොනවා දැයි වටහා ගත යුතු ය. පුහුණු විය යුතු ය. අනිත් කටයුතු පැත්තකට දමා ජය වෙනුවෙන් කැප විය යුතු ය. ප්‍රතිවාදියා කවුදැයි හඳුනා ගත යුතු ය. ඒ දක්ෂකම් සේ ම අදක්ෂකම් ද සොයා බැලීමෙනි. ප්‍රතිවාදියාගේ අඩුපාඩුවක් දැකි පමණින් හනිකට ක්‍රියාත්මක වී එයින් තමන් වාසියක් ගන්නට යුහුසුළු විය යුතුය. නැතිව මමයි දිනන්නේ කියා කීමෙන් පමණක් දිනූ අයෙක් ලොව නැත.

ධනවාදය යනු කුමක් දැයි අවබෝධයකින් තොර වෙද්දී එයින් ඵල නෙලා ගත නොහැකි ය. ධනවතාට ද්වේෂ කරන මානසිකත්වයෙන් ගොඩ එනතුරු කෙනෙකුට ධනවතෙක් වන්නට නොහැකි ය. මන්ද හිත යටින් නිතර කියන්නේ ඔබ වැරදි වැඩක් කරන්නේ යැයි කියා ය. තම වෑයමෙන් ගන්නා උත්සාහයෙන් තමන් ධනවත් වීම ලොව එකම සාධාරණ ක්‍රමය බව තමන් වටහා ගන්නා තෙක් ධනවත් බවේ සතුටක් සිතට දැනෙන්නේ නැත. සිතට සතුටක් නැති වෑයමක් දිගු කාලයක් කරගෙන යන්නට ද බැරි ය!

චීනය ලෝකයේ බලවත් ආර්ථිකයක් වනවා යැයි කියන්නට ඉක්මන් වන අය චීන ඉතිහාසය අමතක නොකළ යුතු ය. චීන චින්තනය ද පැත්තකට දැමිය නොයුතු ය. එසේම චීන හැදියාව ද බැහැර ලා කතා කළ නොයුතු ය.

1974 දී එක්සත් ජාතීන්ගේ සම්මේලනයට යන්න සූදානම් වූ Deng Xiaoping සමන්විත දූත පිරිස ගමන යෑම අත්හැර දමන්නට ද ඔන්න මෙන්න වූ ආර්ථික වාතාවරණයක පසුවිය. චීන බැංකුවේ -සියලුම බැංකුවල- දූත පිරිසට ගුවන් ගමන් ටිකට් පත් ගන්නට වත් ප්‍රමාණවත් මුදලක් නොතිබිණ. 1978 වෙද්දී චීනයේ ඉතිරි වූයේ People’s Bank බැංකුව පමණි. එහි වූයේ 80 ක් සේවකයන් ය. එය මුදල් අමාත්‍යාංශය යටතේ විය.

Red Capitalism: The Fragile Financial Foundation of China’s Extraordinary Rise (2010) ලියූ Carl Walter සහ Fraser Howie දෙදෙනා තවත් තොරතුරු සම්භාරයක් ඉදිරිපත් කරයි. ග්‍රීසිය බේරා ගන්නට චීනය ණය නොදුන්න හොත් ලෝක ධනවාදී රටවල කෙන්සියානු ප්‍රතිපත්ති වල අයහපත් ඵල විපාක චීනයට විඳින්නට සිද්ධ නොවේ. විදේශිකයන් චීනයේ මුල්‍ය වත්කම් (financial assets) අයිතිය කියන්නේ 2% කින් පමණක් යැයි ඉහත කතුවරුන් පෙන්වා දෙති. එහෙත් චීනයේ ගැටලු ඔවුනට එන්නේ ඇතුලතින් ය.

මුල්‍ය අවදානමට ලක් කරන නිසා ලාභ උපයන්නට හැකිය. තවත් විදියකින් කිව්වොත්, ලාභයක් ඇතිවන්නේ අයෙක් තම මුල්‍ය (capital) අවදානමට (risk) තබා ලාභයක් (profit) සොයන නිසා ය. දැන් පුද්ගලික අයෙක් මුල්‍ය අවදානමට තැබුවාම ලාභයක් නැති වුවහොත් පාඩුව දරන්නේ පුද්ගලයා ය. රජයක් මුල්‍ය අවදානමට තැබුවාම පාඩුව දරන්නේ රටේ පුරවැසියන් ය.

චීනය රටක් හැටියට ණය වී ඇත්තේ ජාත්‍යන්තර වශයෙන් සලකද්දී තම GPD න් 20% ක් පමණි යැයි ඉහත කතුවරයන් පෙන්වා දෙති. නමුත් රජයක් හැටියට ඔවුන් අවශ්‍යයෙන් කළ යුතු වූ කටයුතු (government obligations) සියල්ල එකතු කර බලද්දී එහි වැය GDP න් 75% කි. සංවර්ධනය සඳහා වැඩි අවදානමක් රජය විසින් ගන්නා කළ රජය පාඩු ලබද්දී පාඩුව දරන්නේ රටේ පුරවැසියන් බව චීනය තවමත් පැත්තකට කර ඇත්තකි. ඊට අමතර ව චීන ආර්ථික ක්‍රමය රජය ඇතුලතින් සියල්ල තීරණය කරන වෙළඳ ක්‍රමයක් වීම තවමත් නිදහස් වෙළඳපොලක වාසි ලබන්නට නොහැකි තත්වයක් ගෙන යන්නකි. මුදල් ණයට දෙන, එකතු කරන, රෙගුලාසි පනවන, සියල්ල තීරණය වන්නේ ආණ්ඩුවේ යම් කාර්යාලයක් තුලින් ය.

මේ මාසයේ දී හිටපු චීන අගමැතිවරයෙක් වූ 82 වියැති Zhu Rongji වෙළුම් කිහිපයකින් යුත් තම පාලන සමයේ කතා සහ ලියුම් රැගත් පොත් ප්‍රසිද්ධ කළේය. මේ පොත් වලින් ඔහු කියන්නේ ආණ්ඩුව පිරී ඇත්තේ එහෙයි කියන අයගෙන් නිසා ඉන් පුරවැසියනට යහපතක් වන්නේ නැතැයි කියා ය!!! චීන නායකයෝ අත දිග හැර වියදම් කරමින් සහභාගී වන සංග්‍රහ සාද වලට වැය කරන කාලය හා කමකට නැති රැස්වීම් පවත්වන කාලය අඩු කළ යුතු යැයි ද, ගැටලු විසඳන්නට වැඩි කාලයක් වැය කළ යුතු යැයි ද හේ කියයි!!! ඔහු ඉගෙන ගත් Tsinghua විශ්ව විද්‍යාලයේ කතාවක් පවත්වමින් ඔහු අද ආණ්ඩුවේ වර්තමාන ප්‍රතිපත්ති විවේචනය කරයි. තමන් මෙහෙය වූ වෙළඳපොල සංශෝධනයන් ක්‍රියාත්මක වීමේ වේගය බාල වී රාජ්‍ය බලය වැඩි වීම ගැන ඔහු ප්‍රසිද්ධියේ දොම්නස ප්‍රකාශ කරයි.

අද චීන රතු ධනවාදයේ ඉහළ පුටු රත් කරන අයට හා ආණ්ඩු තනතුරු දරන අයට පාලනයේ සිටින වයස සඳහා වූ සීමා ඇත. ජනාධිපතිට හා අගමැතිට පස් අවුරුද්දකින් වු වාර දෙකක් සඳහා (වසර 10 ක් පමණක් වන) පාලන වාර සීමාවක් ද ඇත.

චීනය ලෝක ආර්ථික බලවතෙක් වෙන්න නම් යා යුතු වූ දුෂ්කර මාර්ගයක් ඔවුන් ඉදිරියේ ඇත. හිටපු රතු සහෝදර නායකයන් පක්ෂ සුද්ද කිරීමට (purge) ලක් වී, සිරගත වී, හිටිවන ලෙඩ රෝගී වී මිය යාම හෝ කිසිත් නොකියා සදහටම නිහඬ වී විශ්‍රාම ජීවිත ගෙවීම හෝ නොමැතිව මෙසේ ප්‍රසිද්ධව විවේචනයක් කරන්නට අවස්ථාවක් පහළ වී තිබීම ලෝකයේ නිදහස කැමත්තෝ සියල්ල ආදරයෙන් බාරගත යුත්තකි. පාලන වාර සීමාවන් ස්ථාපිතය ද අවම ආණ්ඩු බලයට කැමැත්තෝ සතුටින් බාර ගත යුත්තකි. එහෙත් එයින් පමණක් චීනය ලෝක බලවතෙක් වේ යැයි කියන්නට තරම් ඉක්මන් විය යුතු නැත.

Advertisements

27 Responses

Subscribe to comments with RSS.

  1. indika27 said, on සැප්තැම්බර් 19, 2011 at 8:15 පෙ.ව.

    සාපේක්ෂව චීනෙ හොඳයි බොරු මැතිවරණ නැ…මිනිස්සුන්ට පේන්නෙ එකම විදියෙ පාලනයක්…ඒක හරි….එහෙම නැතුව විවිධ අය ආවහම ඒ අයට වාසි දේවල් තමා වෙන්නෙ…
    දැන් මට මයික්‍රොසොෆ්ට් එකයි ඉන්ටෙල් එකයි තව ඇමරිකන් කොම්පැනියකුය් එකතුකරගන ලංකාවෙ එක දිස්ත්‍රික්කයක් තොර්ගෙන ඒකෙ බහුතර තරුනයින්ට ලැප්ටොප් දුන්නොත් මට පාර්ලිමේන්තු යන්න පුලුවන් වෙයි..
    ඒත් ඒ ගියෑම අර ලැප්ටොප් ගත්ත මිනිස්සු මට වැදගත් නෑ වැදගත් ලැප්ටොප් ගන්න මට උදව් දීපු කොම්පැනි දෙක…
    රාජ ආන්ඩු වලට ඒකාධිපතියන් තබාගෙන ඉන්නෙ එක්තරා සීමිත ගණනක මිනිසුන් ටිකක් විතරයි තමුන්ගෙ වටේ..
    එහෙත් ප්‍රජාතන්ත්‍රවාදී රටක වටේ ඉන්න මිනිස්සු අසීමිතයි..ාලාකු තැන ඉඳල බෙදාගෙන එනකොට පොඩි ජන්ද දායකයොන්ට ලැබෙන්න දෙයක් ඇත්තෙම නැති වෙනව…
    කොහොම උනත් මම ආස අපිට කස්ටමයිස් කරන්න බැරි චීන ක්‍රමේට…අඩු තරමෙ ක්‍රමේ හරි ඉතිරි වෙනව..අපේ ක්‍රමයත් වේරියබල් නේ..ඉතින් අපිට ඒ ඒ ක්‍රමයට හැඩගැහෙන්නත් මහ කාලයක් වැය කරන්න ඕනි…

    • arunishapiro said, on සැප්තැම්බර් 19, 2011 at 9:28 පෙ.ව.

      indika27,

      චීනයේ බොරු මැතිවරණ නැතිබව හැබැයි. නමුත් මිනිස්සුන්ට එකම විදිහෙ පාලනයක් ලැබෙනවා කියන්න නම් බැහැ. විවිධ අයට විවිධ ආකාරයටයි සැලකෙන්නෙ. ඉහත රතු ධනවාදය යන පොතේ සඳහන් වන අන්දමට රජයේ යම් කාර්යාලයකින් තමයි හැම ණය මුදලක්, හැම ආපසු ගෙවීමක් හා හැම නීති රෙගුලාසියක් ම තීරණය වෙන්නෙ. එතකොට ඒ කාර්යාල වල ඒ බලය ඇති අය තමයි ලොක්කා. එයාගේ කැමැත්තට අනුව තමයි ආණ්ඩුවෙ වස්තුව බෙදා දෙන්නෙ.

      දේපල අයිතියක් නැති වූ කොමියුනිස්ට් සමාජයක ඒකිය පුද්ගලික වෑයමකින් වත්කම එකතු කරගන්න පටන් ගත් දා සිට හදාගත් නීති රෙගුලාසි ඉතා සංකීර්ණයි, අවුල් සහගතයි, කිසිවකුටත් වටහා පැහැදිලි කරගත නොහැකි තරම් අපැහැදිලියි කියන්නෙ හිටපු චීන නායකයාම තමයි.

      මා ඕ සේතුං මිය ගියාට පස්සෙ භූමි අයිතිය ලැබෙන්නෙ ආණ්ඩුවෙන් වසර 50 ක බද්දකට (lease). අද ඉන්න කවුරුත් දන්නෑ ඒ බදු වසර 50 ඉවර වුනාම නීතිය කුමක් ද කියල. ඒක තවම හදපු කතාබහ කරපු නැති වූවක්. ඉතින් තමන් වර්ධනය කරන ව්‍යාපාරයක් අනාගතයේ දී නීති විරෝධී වූවක් වෙයි ද? නැත්නම් කිසිත් වටිනාකමකින් නැති වූවක් වෙයි ද? ඒ අනාගතයේ විය හැකි අයිතිය ගැන විශ්වාසයක් නොතබා අද කරන ආයෝජනය කොතරම් වගකීමකින් අයෙක් කරනවා ද?!! නීතියෙන් අද අයිතිය ගැන කතාබහ කල් දැමීමෙන්, අද කොළඹ නීති විරෝධීව ඉන්න මුඩුක්කු ජනතාවට වගේ සැලසුම් ගහන්නත් එදාට කට්ටියක් ඉදිරිපත් වෙයි ද?

      චීන ආණ්ඩුවේ ක්‍රමය ලංකාවට වඩා ‘කස්ටමයිස්’ වූවක්. පළාතේ ආණ්ඩු කාර්යාලයෙන් යමක් කරවා ගත නොහැකි අයට කිසිවක් ලැබෙන්නෙ නැහැ. ඒ කියන්නෙ ලොකු ලොකු අතු අල්ලන්නට බැරි අයට යන්න තියෙන්නෙ කලු කඩ පොලියට ණය දෙන අය ළඟට. එහෙම ණය දීලා බිස්නස් කරපු කාන්තාවක් පොන්සි උගුලක් ගහලා මරණ දණ්ඩනයටත් නියම වුනා. නීති විරෝධී වූවත් ආණ්ඩුවේ නොදෙන ණය පුද්ගලික අය අතින් ලබා ගැනීම මහත් සේ චීනය තුල සිද්ධ වෙන්නක්. ආණ්ඩුවත් දැක්කෙ නැතිව වාගේ ඉන්නෙ.

      ඇයි කාටවත් මුකුත් දෙන්නෙ නැහැ, ඒත් හැමෝටම තරඟ කරන්න පුළුවන් නිදහස් පරිසරයක් හදලා දෙන්නම් කියලා චන්දයක් ඉල්ලන්න අකමැති?

      රාජාණ්ඩුවක ඒකාධිපතියන් සීමිත ගණනක් විතරක් මිනිස්සු තමන් වටේ තබාගෙන ඉන්නෙ කියන කතාවෙන් ඔබ ඒ අය කරන කියන විදියට කටයුතු කරන්න හැමෝම කැමති විය යුතු යැයි පිළිගන්නවා ද? එතකොට ඔවුන් රටේ සංවර්ධනය හැම අයෙකුට ම තමන් කැමති විදියට පමණක් භුක්ති විඳිය යුතු යැයි කියන්නත් පිළිගන්නවා ද?

      ඔබ ඇසිය යුතු වඩාත් ම වැදගත් ප්‍රශ්නය මේකයි: ඒ සීමිත අය නිවැරදි තීරණ ගන්නට සමත් දැයි ඔබ දැනගන්නේ කෙසේ ද?

      ඔයා දුන්නු උදාහරණ දෙක ගනිමු. මයික්‍රොසොෆ්ට් සහ ඉන්ටෙල්. වින්ඩෝස් තමයි ලෝකයේ දැවැන්තම ඔපරේටින් සිස්ටම් කියමු. ඉන්ටෙල් තමයි සෙමිකන්ඩක්ටර් නිපදවන දැවැන්තමයා කියමු. දැන් එයාල ගෙන් අනුග්‍රහය අරගෙන ඔයා ලංකාවේ ගමක අනුන්ට බෙදා දෙන දේශපාලන බලය අල්ලා ගත්තා යැයි කියමු. ඉතින් Gartner පර්යේෂණ ආයතන පෙන්වන විදියට ලැප්ටොප් හා ඩෙස්ක්ටොප් පුද්ගලික පරිඝනක විකිනෙනුයේ 2010 දීට වඩා 3.8% ක් පමණයි. වින්ඩෝස් ඇතුල් වූ දුරකතන 2010 ට වඩා 2011 දෙවන කාර්තුවේ දී විකිනුනේ 1.6% ක් පමණයි. ඒ කාලය තුල ගූගල් මොබයිල් ඔපරේටින් සිස්ටම් ඇතුලත් ඇන්ඩ්‍රොයිඩ් 43% ක් විකිණිලා. ඇපල් අයිපෑඩ් වගේම ඇපල් අයි පෑඩ් 2 වේගයෙන් විකිණී යනවා. ඊ ළඟට ඇමේසන් වල කින්ඩල් ඊ-පොත් ඇන්ඩ්‍රොයිඩ් දාලා විකුණන්න ලැහැස්තියි දැනටම. තවත් ඇන්ඩ්‍රොයිඩ් ටැබ්ලට් දිනපතා වෙළඳපොලට එනවා. වින්ඩෝස් 8 එනකොට මේ වෙළඳපොල තරඟය උණුසුම් වී පාරිභෝගික අවධානය අල්ලා ගත්තක් සමඟ සටන් කරන්නට වෙන්නෙ.

      මයික්‍රොසොෆ්ට් හෝ ඉන්ටෙල් හෝ අනුග්‍රහය ගන්නෙ නැතිව ඔය හැම එක්කොනට ම තරඟ කරන්න ඉඩ දුන්න ම වැඩි වාසිය වැඩි සූක්ෂම භාණ්ඩයක් අඩු මිලට පාරිභෝගිකයා අතට ලැබීම. එය ආණ්ඩුවේ කාගේ පිට කහන කොම්පැණිය ද කියන එකෙන් ටික පිරිසක් වාසි ලබන වැඩක් නොවෙනවා. ඒ වගේම, වැරදි කොම්පැණිය අල්ලා ගන්න තිරණය කරපු, තමනුත් පාඩු ලබන රටත් පාඩු ලබන දේශපාලනඥයා වෙන්නෙත් නැහැ.

      • indika27 said, on සැප්තැම්බර් 19, 2011 at 10:40 පෙ.ව.

        ඔබ හැමදාම කතා කරන්නේ අමෙරිකානු මොඩලයේ සංවර්ධනයක් ගැන…ඔබ දකින එකම මූලික දියුණු ආකෘතිය ඒක …චීන ජනපතිවරයා අමෙරිකානු ක්‍රමය දැක්කම එයාට හිතෙනව ඇති චීනය වැරදි අමෙරිකාව හරි කියල…
        ඒත් චීන ජනතාව ඔබ ඔය කියන අසාදාරනයට දැන් පයිත්තියන් හෙවත් ඉන්ස්ටෝල් වෙලා ඉවරයි…උදාහරණ විදියට ගත්තොත් අර ඉඩම් ප්‍රශ්ණ තව තියෙන ප්‍රශ්ණ දැන් මිනිස්සුන්ට නොදැනෙනව ඇති..මොකද ඒක දැන් චීනෙ සාමාන්‍ය දෙයක් වෙලා ඉවරයි…
        අපේ රටේ දුරකථන සමාගම් විසින් සිය සමාගම් පවත්වගෙන යන්න බෑ කිව්වම අවම ගාස්තුවක් නියම කලා…ඒ සමාගම් කඩා වැටුනොත් කියල…
        ඒ වැඩේ වගේම වැඩක් ඒ කියන්නෙ ජනතාවගෙ පැත් තනැතුව ටෙලිකොම් කොම්පැනි පැත්තෙන් හිතපු කේස් එකක්
        ඉංදියාවෙත් තියෙනව…
        ප්‍රජාතන්ත්‍රවාදි බොහොමයක් රටවල් වල පාලකයො මුදල් වලට යට අය…
        ඒත් චීනෙ වගේ රටකට බලපෑම් කරන්න .ලොකු කොම්පැනියකට උනත් අමාරුයි..ඇපල් වලට උනත් යම් යම් දේ කරගන්න බැරි උනා චීනෙදි…
        අපි අසාධාරනයි කියල කෑ මොර දෙන සමහර දේවල් ඇත්තටම චීන ජනයාට නොදැනෙන දෙයක් වෙන්න පුලුවන්..උදා පහුගිය දවසක ලංකාවෙ දුම්රිය දෙකක් ගැටුන..ඉංදියාවෙ මේක ඇමති අස්වෙන්න ඕනි වැඩක්..ඒත් අපේ මුකුත්ම වෙන්නෙ නෑ…අඩුතරමෙ කිහිප දෙනෙකුගෙ සේවය අත්හිටවෙන්නෙත් නෑ..
        ඒ අපේ හැටි…අපිට අනුව ඒක අවුලක් නැති දෙයක්..මටයි ඔයාටය් ඒකෙ අවුලක් පෙනුනට ගොඩක් අයට ඒක කිසිම ගානක් නෑ….
        ප්‍රජාතන්ත්‍රවාදය නියෝජනය කරන්නෙ මුදල්…ඒ නිසා මුදල් ප්‍රවාහය එන කුමන අතකට උනත් ඒකට යටයි.බලය…ඒත් චීන මොඩලය ජනතාවවත් මුදල්වත් නියෝජනය කරන්නෙ කවුරුත් නොදන්න ක්‍රමයක් එයාල නියෝජනය කරනව…
        අඩු තරමෙ වැරදි හරි ක්‍රමයක් ඒ මිනිස්සුන්ට හිමියි…
        ඒත් අපිට..කිසිම ක්‍රමයක් නෑ..චීනෙ නයක් ගන්න හමුවෙන්න ඕනි එක්කෙනයි දෙන්නයි නැත්තං එක ආයතනයයි..
        ලංකාවෙ නයක් ගන්න ගියානම් හොර ඩොකියුමන්ට් කීයක් හදන් කීදෙනෙක් ලග ඉන්න ඕනිද…
        බලය ඇතියි කියල හිතෙන කීදෙනෙක් පසුපස යන්න ඕනිද…සමහරවිට අපි හීනෙන්වත් නොහිතන අදාල ඇමතිතුමා යැලුවෙලා හෝ යාලුවෙන්න පුලුවන් ලස්සන ගෑනු ලමය ලග වෙන්න පුලුවන් බලය තියෙන්නෙ…ඒකටත් කොයි ඇමතිතුමා ඒකට අදාලද කියල හොයන්නත් ඕනි…
        සුපිරී ඉංදීය ප්‍රජාතන්ත්‍රවාදී බොරුවට වඩා චීන ක්‍රමය හොඳ බව තමයි මගේ අදහස…

        • arunishapiro said, on සැප්තැම්බර් 19, 2011 at 12:13 ප.ව.

          indika27,

          ලෝකෙ හැම තැනකම වගේ සොයලා බැලුවා. දැක්ක මූලික දියුණු අකෘතිය විතරක් නෙමෙයි, මානව හිතවාදී එකම මොඩලය මේක විතරයි.

          නැහැ චීන ජනතාව දෙන දෙයක් බලාගෙන හුරු වෙලා ඉන්න අය නෙවෙයි, ඔවුන් දැඩි සේ වෙහෙසෙන්න කැමති අය. ඒ ගැන විස්තර සතියේ ඉතිරි දවස් කිහිපය තුල ලියන්න අදහස් කරනවා.

          //ප්‍රජාතන්ත්‍රවාදී බොහොමයක් රටවල් වල පාලකයෝ මුදල් වලට යට අය// කියා හැමදාම එය වෙනස් කළ නොහැකි සදාකාලික දෙයක් සේ පිළිගත යුතු ද? ඔවුන්ට ජනතාව පවරන බලය අඩු කරන්නට මෙවලම් ඇත්තේ ද ජනතාව අත බව වටහා ගත යුතු ද?

          චීනයේත් අධිවේගී දුම්රිය මාර්ගයක් කඩා වැටිලා හෙන විපැත්තියක් සිද්ධ වුනා. කවුරුත් අස්වුනේ නැහැ!!!

          ප්‍රජාතන්ත්‍රවාදය මුදල් නියෝජනය කරනවා කියන්නෙ ‘ලේ උරා බොන තක්කඩියන්’ ඉන්න එක රටේ යහපතට යැයි කියනවා වගේ කතාවක්. නැහැ ප්‍රජාතන්ත්‍රවාදය නියෝජනය කරන්නේ පුරවැසියාගේ පුද්ගලික අයිතිය රැකීමයි.

          //චීනෙ නයක් ගන්න හමුවෙන්න ඕනි එක්කෙනයි දෙන්නයි නැත්තං එක ආයතනයයි..// ලැබෙන්නෙ ඒ අයගෙ හිතුමතය අනුව.
          ලංකාවෙ නයක් ගන්න ගියානම් හොර ඩොකියුමන්ට් කීයක් හදන් කීදෙනෙක් ලග ඉන්න ඕනිද…// ඔය දෙකම නැතිව ණයක් ගන්න පුළුවන් ක්‍රමය වඩා සුදුසු නැත්තේ ඇයි කියන්න?

  2. pitakotuwa said, on සැප්තැම්බර් 19, 2011 at 10:44 පෙ.ව.

    // කොමියුනිස්ට් වෙන්නට ගිහින් කඩා වැටුණු ආර්ථිකය යළි ගොඩ නංවා ගන්නට උවමනා වූ චීන දූත පිරිසක් ඇමෙරිකන් රාජ්‍ය අනුග්‍රහය යටතේ වොෂිංටනයේ වියදමෙන් මෙහි අවුත් සුපිරි හෝටලයක නැවතී ඔවුන්ගේ දැනුම වඩවා ගන්නා දිනය පටන් ගන්නට සූදානමින් සිටියහ. ටයි සූට් හැඳ සිටි ඔවුන් රූපවාහිනියක් ඉදිරියේ උදෑසන ප්‍රවෘත්ති නරඹමින් තමන් සහභාගී වන්නට නියමිත රැස්වීම් පටන් ගන්නා තෙක් බලා සිටියහ. ත්‍රස්තවාදීන් ගුවන් යානයක් පැහැරගෙන ගොස් එය නිව් යෝර්ක් නගරයේ නිවුන් කුළුණු වලට කඩා පාත්වෙන ආකාරය එසැණින් පුවත් වලින් ප්‍රචාරය වන්නට පටන් ගැනිණ. චීන දූත පිරිස නැඟිට අත් පොළසන් ගසා සතුට පළ කළහ! //

    මෙහිදී චීන්නු අවංකව තම හැඟීම් ප්‍රකාශ කර ඇත. එහි වරදක් නැත. ඔවුන් සතුටු වූයේ ත්‍රස්තවාදය යනු මේ යැයි ඇමරිකන්කාරයා දැන්වත් තේරුම් ගනු ඇතැයි අවංකව උපන් සොම්නසින් විය යුතුය.ඇත්ත වශයෙන්ම සැප්තැම්බර් ප්‍රහාරයෙන් මියගිය 3000ට වඩා යහපතක් සැප්තැම්බර් ප්‍රහාරය මඟින් ලෝකයට සිදු විය.

    ත්‍රස්තවාදයට එරෙහි ලංකාවේ සටනට චීනය හදවතින්ම සහයෝගය දුන්නෝය. ඔවුන් අපේ මිතුරන්ය. සැප්තැම්බර් ප්‍රහාරය නිසා ඇමරිකාවේ ඇතිවූ ත්‍රස්ත විරෝධී ජන මතය නොවන්නට ඇමරිකන්කාරයා ප්‍රභාකරන් බේරා ගැනීමට එළිපිටම මැදිහත් වන බවට කිසිදු සැක සංකාවක් නැත. දැනටත් ඊනියා මානව හිමිකම් කමිටු හරහා ලංකාවට අංචි අදින්නට තතනමින් සිටීමෙන්ම ඇමරිකන්කාරයාගේ නිරුවත හෙළි වෙයි.

    චීනයේ ඇති මහා ලොකු ගැටළු පෙන්වන්නට ඇමරිකන් ගත් කතුවරුන්ද, හොලිවුඩ් චිත්‍රපට කාරයෝද බොහෝ උත්සාහ කරමින් සිටිතත් දැන් ඔවුන් කියන කේප්ප කවුරුවත් ගණන් ගන්නේ නැත.

    ලෝකයම අනාගතය වෙනුවෙන් ඇති කර ගත් කියතෝ සම්මුතියට එරෙහි වෙමින් තමන්ගේ බලලෝභී ආත්මාර්ථකාමීත්වය ප්‍රකට කල රටක් වෙනුවෙන් ලැජ්ජා විරහිතව කඩේ යාම ගැන අරුණි ලැජ්ජා විය යුතුය.

    • arunishapiro said, on සැප්තැම්බර් 19, 2011 at 12:00 ප.ව.

      pitakotuwa,

      //සැප්තැම්බර් ප්‍රහාරයෙන් මියගිය 3000ට වඩා යහපතක් සැප්තැම්බර් ප්‍රහාරය මඟින් ලෝකයට සිදු විය.// ඔව් මේ කතාව නම් ඇත්ත. ජෝර්ජ් බුෂ් ලංකාවේ නායකයන්ටත් කලින් කොටි ත්‍රස්තවාදීන් කියා නම් කර තහනම් කරන්න හේතු වූයේ ද ඒ සිද්ධියයි. ඉන් වඩාත් ම වාසියක් ලැබුවේ ලංකාවයි.

      • pitakotuwa said, on සැප්තැම්බර් 19, 2011 at 12:57 ප.ව.

        අනිවාර්යයෙන්ම. ඒ සිද්ධිය නිසා ලංකාවට ලොකු වාසියක් ලැබුනා. එහෙම බැලුවම ලංකාව ඔසාමාට ණය ගැතියි.

        අනික ආර්ථික, දේශපාලනික වාසි තකා ලෝකය වටා ත්‍රස්තවාදී කල්ලි සවිමත් කරමින්, ත්‍රස්තවාදය වපුරමින් ගිය රටක් නියම ට්‍රැක් එකට ගැනීම ගැන ඔසාමා කරපු ලොකුම සේවයක්. ඔසාමාවත් හැඳි ගෑවිලා ගියේ ඒ ප්‍රහාරයේ පිහිටෙන්නේ. විසෙන් විස නැසීම.

  3. buwa said, on සැප්තැම්බර් 19, 2011 at 11:28 පෙ.ව.

    ලංකාවේ ගොඩ දෙනෙක් චීන වන්දනාවෙ ඉන්න නිසා මේ ලිපියකට දැඩි විරෝධයක් මතුවෙන්න පුලුවන් . කොහොම උනත් චීන මොඩලය කියන්නේ කිසිසේත්ම අපිටවත් ලෝකේ අනික් අයටවත් ගැලපෙන දෙයක් නෙවෙයි . චීනය ඒකෙන් ලබන දේවල් චීනයට ආවෙණිකයි , අනික් අයට ඒ මොඩලයට ගිහින් වාසියක් ලබන්න හැකියාවක් නැහැ . මගේ අදහස නම් දූෂණය ඉහවහා ගිහින් දැනට විකාර ගතියක් පෙන්වන ඉන්දියානු ප්‍රජාතන්ත්‍රවාදය නිසා යම් දවසක ඉන්දියාව චීනය අභිබවා යනවා . ඉන්දියාවේ දක්ෂිණාංශික බලවේගය මේ වෙනකොට විපක්ෂයේ සිටියදිත් ඉන්දියානු රජය ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනවා බොහොම අපුරුවට . ඒවායේ සාර්ථකත්වය බොහොම පැහැදිලිවම පේන්න තියනව . ලාබ ශ්‍රමය නිසා චීනුන් සතුවෙලා තියන නිෂ්පාදන අධිකාරයත් ඊටත් ලාබ ශ්‍රමය හෙතුවෙන් ඉන්දියාව කරා ගමන් කරන්න පුලුවන්ය කියල කියවෙනව . නිදහස් වෙලඳ පොලෙ වාසි නිසි පරිදි ලබන ජනතාවක් , බලහත්කාරයෙන් යටපත් කරනු නොලැබූ ආකල්ප නිසා නිර්මානශීලි ජනතාවක් ඉන්දියාවෙදි දකින්න ලැබෙවි (නිර්මාණ ශීලිතාවයෙන් මේ වෙනකොටත් ඉන්දියානුවන් චීනුන්ට ඉදිරියෙන් ) , අවශ්‍ය වෙන්නෙ දූෂනය නැති කිරීම සහ කාර්යක්ෂමතාවය ඇති කරගැනීම යි . ඒ නිසා අනගාත ලෝක බලවතා චීනයයි කියන අපේ රටේ බොහෝ දෙනාගෙ සිහිනය මම නම් දකින්නෙ නැ . චීනය තවත් කාලයක් ඉහල නගිවි . ඒ කොතනකටද කියන එක ඇමරිකාව තමන්ගෙ විසඳුම් හොයන ක්‍රමය අනුව තීරණය වෙවි . නමුත් චීනය නතර වුනු තැනක්දි චීනය පහුකරගෙන යන්න ඉන්දියාව විතරක් නෙවෙයි තවත් අය ඉඳීවි

    • arunishapiro said, on සැප්තැම්බර් 19, 2011 at 11:56 පෙ.ව.

      buwa,

      ලිබරල්වාදී ලේබල් වගේ ම තමයි චීනයේ හොඳක් කිව්වොත් චීනවාදී සහ ඉන්දියාවේ හොඳක් කිව්වොත් ඉන්දියානුවාදී වගේ සිංහලෙන් කියවන්නාට පාරම්පරිකව අල්ලා ගත් මත නිසා දැඩි විරෝධාතවන් හිත් තුල පහළ වෙනවා. ලෝකය කොතරම් වේගයෙන් වෙනස් වෙනවා ද කියන එක පෙන්නෙ නැහැ!!!

      මමත් ඔබ කියන්න දකින නිසා, එනම් //බලහත්කාරයෙන් යටපත් කරනු නොලැබූ ආකල්ප නිසා නිර්මානශීලි ජනතාවක් ඉන්දියාවෙදි දකින්න ලැබෙවි (නිර්මාණ ශීලිතාවයෙන් මේ වෙනකොටත් ඉන්දියානුවන් චීනුන්ට ඉදිරියෙන් )// කියන්න පිළිගන්නවා.

      ඊට අමතරව රටක් සංවර්ධනය වෙන්න නම් ආණ්ඩුව හදා ගන්න හැකියාව තියන බව මෙන්න මෙයින් පැහැදිලියි: //ඉන්දියාවේ දක්ෂිණාංශික බලවේගය මේ වෙනකොට විපක්ෂයේ සිටියදිත් ඉන්දියානු රජය ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනවා බොහොම අපුරුවට//

      හැබැයි ඉන්දියානුවටත් ලාංකිකයාට වගේ ම පාරම්පරිකව අල්ලා ගත් සමහර මත වලින් ගැලවෙන්න ඉතා දුෂ්කරයි. වැඩි ඈතක නොවන ‘ගෑණු හිඟය’ ඉදිරියේ දී ඔවුන්ට කුමක් වේ ද? එයින් එක ගැටලුවක් පමණයි!!!

      ගෝලීයකරණය වූ ලෝකයක //අනාගත ලෝක බලවෙතක්// ඉන්න ම ඕනා ද? ඒ පට්ටම යන්නෙ කාට ද කියල හොයන්න අවශ්‍ය ඒ අයට හේත්තු වෙලා කීයක් හරි කඩා ගන්න බලාගෙන ඉන්නවා නම්. අනගාත ලෝකය සහනාධාර වලින් ඈත් වුනොත්, හරියට රටක දේශපාලනඥයන් චන්දය ගන්න පොරොන්දු දෙනවා වගේ වැඩ වලින්, කාටවත් හේත්තු වෙන්න ඕනෑකම නැති වෙලා ගිහින් ලෝක බලවතෙක් යන්න පුස්සක් විතරක් කරන්න පුළුවන්.

      • buwa said, on සැප්තැම්බර් 19, 2011 at 12:08 ප.ව.

        අන්තිම ඡේදයෙන් මතුකරන සංකල්පය ඉතාම වැදගත් … ඒත් ඔබෙත් මගෙත් ජීවිත කාලවලදි නම් උදාවෙයිද කියල මට නම් සැකයි …

        ඉන්දියාව ගැන සඳහන් කරත්දි මට මඟහැරුණු ඉතාම වැදගත් දෙයක් තමයි ඒ අය හිරවෙලා ඉන්න ග්‍රාම්‍ය මතවාද . ඔබ කියනවා වගේම ඒක ඉතාම ලොකු බලපැමක් කරන දෙයක් .

        ඉන්දියාව එතනින් එලියට එන්න උත්සහ කරනවාද නැද්ද කියන්න නම් මම හරියටම දන්නෙ නැ ,…. හැබැයි අපි නම් තව තවත් ඒ පැත්තට යන බව නම් පේන්න තියනව . මිනිස්සු ඒවගෙ ආකල්ප වල හිර වුනාම “අන්දන්න ” ලේසියිනේ

        • arunishapiro said, on සැප්තැම්බර් 19, 2011 at 12:20 ප.ව.

          buwa,

          ඔව් බූවා, ඒක ඇත්ත. ඒත් අදහස් අතින් උදාර වෙන්න උත්සාහයක් නොගත් කල අපි යන්නේ ආපස්සට නේද? ඉස්සරහට යන්න නම් අදට වඩා හොඳ හෙට ලෝකයක් ගැන සිහින මවන්නත් පුළුවන් වෙන්න එපැයෑ 🙂

          ලැබෙතැයි නොසිතූ දේවල් බොහොමයක් අපගේ ජීවිතය කාලය තුල ම සිද්ධ වුනා. සුදු අප්පුහාමි බර්ලින් තාප්පය ඔහුගේ ජීවිත කාලය තුල කඩා වැටෙතැයි කිසි දා බලාපොරොත්තු වූයේ නැහැ.

          ග්‍රාම්‍ය මත පිරි ඉන්දියාවට වඩා නිදහස් චින්තනයකට දායාද කියන ඉතිහාසයක් සතු සිංහලයාව ‘අන්දවන්න’ පහසු වී ඇත්තේ සිංහලයා ස්වභාවයෙන් බියගුල්ලෙක් යැයි කියන නිසා ද? අයියෝ, දැන් නම් ගල් මුල් විතරක් නෙමෙයි අර ‘යහපත් ඇනෝ’ කියන එක්කෙනා නාපාම් බෝම්බත් එවයි!!!

      • buwa said, on සැප්තැම්බර් 19, 2011 at 12:43 ප.ව.

        අනාගතය ගැන සුභ සිහින දකින්න මාත් කැමතියි , ඒත් ලංකාවේ ඉඳන් ටිකක් අමාරුයි .

        ඒ පට්ටම යන්නෙ කාට ද කියල හොයන්න අවශ්‍ය ඒ අයට හේත්තු වෙලා කීයක් හරි කඩා ගන්න බලාගෙන ඉන්නවා නම්. අනගාත ලෝකය සහනාධාර වලින් ඈත් වුනොත්, හරියට රටක දේශපාලනඥයන් චන්දය ගන්න පොරොන්දු දෙනවා වගේ වැඩ වලින්, කාටවත් හේත්තු වෙන්න ඕනෑකම නැති වෙලා ගිහින් ලෝක බලවතෙක් යන්න පුස්සක් විතරක් කරන්න පුළුවන්.

        මුලු ලෝකෙම එතනට ගියත් අපි යන්නෙ වෙනත් දිහාවකට බව ඇස් පනාපිටම පේන්න තියෙත්දි සිහිනයක්වත් දකින්න අමාරුයි .අපි වගේම තවත් අය ලෝකයේ ඉන්න බවත් පෙන්න තියනවානේ..

        බර්ලින් තාප්පය බිඳ දමන්න එකතුවුනු මිනිස් බලය අපේ රටේදි එකතුවෙන්නෙ අලුතින් බැමි ඉදිකරන්න .භෞතික නොවුනත් අපි අපිම හදාගන්න මේ බැමි මේ පුංචි රට කොතනකට ගෙනයාවිද ?

        දැන් දැන් නම් රෙදි ඉල්ලගෙන තමන්ම මහල තමන්ම ඇඳගන්න තත්වයක් තියෙන්නෙ . ඒකට හේතුව බයගුලුකමද ????? ම්………. නෝ කමෙන්ට් 😀

  4. kevin perera said, on සැප්තැම්බර් 19, 2011 at 11:44 පෙ.ව.

    දැක්ක නේ අරුනි අපේ ලාංකික බුද්ධිමත් ප්‍රතිචාර.අරුනි පිස්සන්ට පිස්සු කිව්වට වැඩක් නෑ පිස්සන් හිතන්නේ අනික් අයට පිස්සු මිස මට පිස්සු නෑ කියල. ඒ වගේම පිස්සො ඉන්නෙ මාර ආතල් එකකින් නේ ඉතින් ඔවුන්ගේ ඉල්ලීම තමයි ආතල් එක කඩන්න එපා කියන එක.ඇමරිකාවට කඩේ ගියා කියා අරුනිට ලැබෙන කෙං ගෙඩියක් නැත.අරුනි සරලව පෙන්වා දෙන්නේ ඇමරිකාවෙ දියුණුවේ රහස මෙන්න මේකයි යන්නයි. සින්හලෙන් ලියන නිසා ඇය අමතන්නේ කාටවත් නොව උනුවෙමින් පවතින මුට්ටියක වතුර නටන විට මිය යාමට නියමිත ලාංකීය කකුලුවන් රැලට රැලටයි ඇයගේම උදාහරනයකින් කියන්නේ නම් කකුලුවන් මිය යන්නේ වතුර නටන නිසා බව උන් නොදනී.අරුනි තමන්ගේ කාලය කා දමමින් පෙන්වා දෙන්නේ මේ නටන වතුරෙන් බේරී දිවි ගලවා ගන්නා ක්‍රමයයි . මා නම් මේ කකුලුවන්ට කියන්නේ තොපිට හොඳ වැඩේ කියලාය.

    • pitakotuwa said, on සැප්තැම්බර් 19, 2011 at 12:06 ප.ව.

      ඒ ඇමරිකාවේ ඉන්න පොරවල් හිතන් ඉන්න හැටිය. අපි දන්නා තරමට නම් ලාංකිකයන්ට ඉහෙන් බහින ලෙඩක් වැළඳී නැත. යම් යම් ආර්ථික ප්‍රශ්න තිබුනත් ලංකාවේ බොහෝ දෙනා සතුටින් සොම්නසින් කාලය ගත කරති. එහෙත් ඇමරිකන් කාරයා පෙන්නන්නට හදන්නේ ලංකාව මියැදෙන්නට ඔන්න මෙන්න එවුන් සිටින රටක් ලෙසය. අනේද කියන්නේ?

      සරල උදාහරණයකින් කියන්නේ නම් මර්වින් සිල්වා ඉඳහිට කෙලින පිස්සු අරුණිලාට මහා ලොකු ප්‍රශ්නය. එහෙත් ඇමරිකාවේ කොල්ලෝ කුරුට්ටෝ පාසලට තුවක්කු ගෙන ගොස් දහ පහළොවක් බෑවූ විට ඒවා නිකම්ම නිකං හුදකලා සිද්ධිය. ඇත්තටම මර්වින් සිල්වා කෙලින පිස්සු ලංකාවේ අපිට නම් මහ ලොකු ප්‍රශ්නයක් නොවේ. ඒවා ඔළුවට අරන් ඔළුවේ අමාරු හදාගන්නේ ඇමරිකාවේ ඉන්න අරුණිලා වීම අපේ දුකට හේතුවේ.

      • kevin perera said, on සැප්තැම්බර් 19, 2011 at 12:28 ප.ව.

        අනේ සමාවෙන්න මම නම් එසේ සිතන්නේ නැත මා සිතන්නේ ලංකාව හෙට අනිද්දා ආසියාවේම නොව මුලු ලෝකයේම ආශ්චර්යය වන බවයි. ඔයාල වගේ බුද්ධිමත් ජනතාවක් ඉන්න නිසා මේක ෂුවර් ශොට්. මේ තියෙන්නේ ඔයාලගෙ යාලුවෙක් ඇමරිකාවෙ ඉන්නේ මරි මෝඩයන් කියල ඔප්පු කරලත් තියනව මේ බ්ලොග් සටහනේ http://sinhalabuddhist.com/2011/09/stupid-americans/
        ඉතින් පිටකොටුව මල්ලියේ අපේ මරි මෝඩ කමට කියන කතා ගනන් ගන්න එපා ඔයාලට සුභ අනාගතයක්.

      • arunishapiro said, on සැප්තැම්බර් 19, 2011 at 12:47 ප.ව.

        pitakotuwa,

        //ලංකාවේ බොහෝ දෙනා සතුටින් සොම්නසින් කාලය ගත කරති//

        Unesco world heritage හි පිහිටි මුස්ලිම් වන්දනා ස්ථානයක් චීවරධාරී අමත ධම්ම 100 සඟ පිරිසක් කැටුව ගොස් සමතලා කර දැමූහ. BBC වාර්තාව ඇසුනු කල මට මතක් වුයේ තලිබාන්ලා ඇෆගනිස්තානයේ බාමියන් බුදු පිළිම විනාශ කළ අන්දමයි.

        පානදුර දිනමිණ සමූහ වාර්තාකරු කපිල සෝමරත්න වාර්තා කරන අන්දමට චීවරධාරීන් 8 නමක් සහ කාන්තාවන් 40 ක්, බලහත්කාරයෙන් වාද්දුව පැත්තේ පුද්ගලික ඉඩමකට ඇතුල් වී වේදිකාවක් තනාගෙන ගම්මු අකමැත්ත කියද්දී එතැන අරක්කු තැබෑරුමක් විවෘත කරනවා යැයි විරුද්ධව උද්ඝෝෂණය කළහ. එසේම තැබෑරුම විවෘත කරනවාට විරුද්ධව ධම්මවංශ හිමියන් වාද්දුව ප්‍රදේශයේ දහම් පාසැල් වසා දමයි. තවත් වාර්තාවේ පළවෙන අන්දමට “කිසිම අලුත් තැබෑරුමක් මේ වනතුරු වාද්දුව නගරයේ පිහිටුවා නැත. වාද්දුව නගරයේ අරක්කු තැබැරුමක් විවෘත කරනවාට විරුද්ධ වන්නේ හොර අරක්කුකාරයන්ගෙ තැරැව්කරුවන් සහ පන්සල් වටේ නිවෙස්වල කාන්තාවන් බව අරක්කු බොන්නෝ පැවසූහ”!!

        වෙල්ලම්බොඩ 22 හැවිරිදි තරුණයෙක් විදුලි රැහැනකට අසුවී ද, හපුතලේ ගම්වැසියන් ඇණ කොටා දෙදෙනක්ව ද, ග්‍රීස් යක්කු කියා මිනීමැරෑහ. ග්‍රීස් යක්කු 50 ක් අත් අඩංගුවට ගනිනු ලැබිණ.

        ශ්‍රී ලංකා ගුවන් විදුලි සේවයේ මාතර රුහුණු ශාඛාවේ සේවා මැදිරිය තුල 15 හැවිරිදි දැරියක් එහි සහය නිෂ්පාදකවරයෙක් අතින් කෙළෙසී ඇත.

        තවත් බ්ලොග් ප්‍රවෘත්තියක් තමයි දර්ගා නගරයේ ගුරු විද්‍යාලයක හකීම් අතින් සල්ලම් වන මුස්ලිම් තරුණියන්.

        අනේ ද කියන්නේ?!!!!!

      • indika kumara said, on සැප්තැම්බර් 19, 2011 at 12:59 ප.ව.

        මොනව උනත් පිටකොටුව කියන දේ ඇත්තක් තියෙනව..සිස්ට්ම් එකට පිටින් ඉන්නකොට වැරදි වගේ පෙනුනට සමහර දේවල් ඒක ඇතුලෙදි සාමාන්‍යයි..අපිට කවදාහරි මේ ක්‍රම වෙනස්කරන්න ලැබුනත් අපිට අර ශක්‍ර දෙවියන්ට වගේ තැනක් ලැබෙන්නෙ නෑ..මේ මිනිස්සු මේ ආකල්ප මේ මාධ්‍යම තමා එදත් ඉන්නෙ…
        පිටින් බලන අයට මේව හරි සිම්පල් විදියට විවේචනය කරන්න පුලුවන්..ඒත් ඇතුලෙදි මේ ක්‍රම වෙනස් කරන එක හිතන තරම් ලේසි නෑ..
        අපිට දෙයක් වැරදි කියන්න ලේසි උනාට ඒ වැරදි නිවැරදි කරන ක්‍රම සෙවීම සරල දෙයක් නෙමෙ…

        • arunishapiro said, on සැප්තැම්බර් 19, 2011 at 1:04 ප.ව.

          indika kumara,

          ඉතාමත් සරල වූ ක්‍රමයක් තියනවා …. කොච්චර සරලයි ද කිව්වොත් කවුරුත් විශ්වාස කරන්නෙ නැති තරම් සරලයි!!!!

          දේශපාලනඥයන් වෙතින් කිසිවක් ඉල්ලන්න එපා. කොන්දේසි නැතැයි කියා දෙන කිසිම දෙයක් වුවත් ගන්න එපා. වැඳ වැටිලා දුන්නත් කිසිම දෙයක් ගන්න එපා!!!!

  5. Chanuka Wattegama said, on සැප්තැම්බර් 19, 2011 at 10:57 ප.ව.

    මිනිසා ස්වභාවයෙන්ම ගෝත්‍රවාදී සත්ත්වයෙකි. අප අයත්වන ගෝත්‍රය අපට මාරය. අරුණිට ඇමෙරිකාව මාරය. පිටකොටුවට ලංකාව මාරය. එසේම චීනාටද චීනය මාර වනු ඇත. මේ කවුරුත් වැරදි නැත. අනෙක් අතට සම්පූර්ණයෙන් නිවැරදිද නැත.

    සතුරු ගෝත්‍රයකට වඩා අපේ ගෝත්‍රය හොඳයිද නැද්ද යන කතා බහ වලින් මම සාමාන්‍යයෙන් ඈත් වී සිටිමි. එය අවසානයේ යම් හෝ එකඟතාවයකට පැමිණිය හැකි සාකච්ඡාවක් නොවේ. සංවාදයට එළඹෙන පුද්ගලයන් එලෙසින්ම සංවාදයෙන් බැහැර වේ නම් එය ඵලදායක සංවාදයක් නොවේ.

    අවශ්‍ය නම් ඇමෙරිකාව/චීනය/ලංකාව හොඳද නැද්ද කියන ප්‍රශ්නය පැත්තකින් තියා මේ රටවල ආර්ථික ප්‍රතිපත්ති ගැන කතා කරමු. අද නොවේ. මේ අරඹන්නේ කාර්ය බහුල දවසකි.

    • kevin perera said, on සැප්තැම්බර් 20, 2011 at 9:33 පෙ.ව.

      “As man advances in civilization, and small tribes are united into larger communities, the simplest reason would tell each individual that he ought to extend his social instincts and sympathies to all members of the same nation, though personally unknown to him. This point being once reached, there is only an artificial barrier to prevent his sympathies extending to the men of all nations and races.”
      ― Charles Darwin, The Descent of Man
      අනේ චානුක මාව නම් ගෝත්‍ර වලට දාන්න එපා ඉහත ඩාවින් කියල තියන දේ ඉතා සැලකිල්ලෙන් බලන්න.තමන් මිනිස් පරිනාමය තුල සහ ශිෂ්ටාචාරය තුල ඉන්නේ කොතනද යන්න මත තමන් ගොත්‍රික ද පාර ජාතික ද යන්න තීරණය වේ. අරුණි වැන්නෙකු මා දකින අන්දමට ගොත්‍රය නොව ජාතිය යන කෘතීම සීමාව ද පරිණාමය තුල පසුකර ඇත. ඇය ගෝත්‍රික ලෙස ඇමරිකාව නියෝජනය නොකරයි.ඇය හැමවිටම ජතිය නොතකා දක්ශයා නියෝජනය කරයි. උදාහරණක් මේ ඇය ඇමරිකාව පරදා ජයගත් ටෙනිස් ක්‍රීඩිකාවට සුභපැතූ අන්දමයි.
      //දක්ෂයාට ජයග්‍රහණය ලැබෙන ක්‍රීඩා ලෝකයේ US Open ටෙනිස් තරඟය ජයගත් සමන්තා ස්ටෝසර්ට මගේ ප්‍රණාමය! ජයවේවා!!!//

      • Chanuka Wattegama said, on සැප්තැම්බර් 20, 2011 at 11:02 ප.ව.

        @kevin perera,

        ඔබේ ඩාවින් උපුටනය දුටු විට මට කාලෝ සිහිවිය. “මිනිසා කුඩා ගෝත්‍ර ලෙස වෙසෙන සත්ත්වයෙකි” වසර විසි පහකට ඉහත මා මේ අදහස මුල් වර ඇසුවේ කාලෝගේ දේශනයකදීය.

        ඩාවින් කියන්නේ ඇත්තය. මානව පරිණාමයේ යම් අවස්ථාවක මිනිසා “කුඩා ගෝත්‍රිකයකු” වීමෙන් මිදී “විශාල ගෝත්‍රිකයකු” විය යුතුව තිබිණි. නමුත් මතු පිටින් එසේ පෙනුනද එය සම්පූර්ණයෙන්ම එසේ වූයේ නැත. ඩාවින්ගේ මතය යුරොපීයයකු ලෙස යුරෝපයේ දහස් ගණනක් principalities ඇදවැටී වඩා විශාල රටවල් (nations) බිහිවනු දැකීමෙන් අති කර ගත්තක් විය හැකිය. එහෙත් මේ වෙනස හැම තැනෙකම සිදු වූයේ නොවේ. උදාහරණයක් හැටියට ලිබියාවේ තවමත් ප්‍රධාන ගෝත්‍ර 130කට ආසන්න ගණනක් ඇති බව සති කිහිපයකට පෙර කියැවීමි.

        අවශේෂ ලෝකයාද කොයි තරම් කිව්වත් එක්තරා මට්ටමකට තවමත් අර “කුඩා ගෝත්‍රයේ” සාමාජිකයෝ වෙති. ලංකාවේ නම් ඊට ඇති තරම් නිදර්ශන මට හමුවේ. සමහර විට මම පවා එසේ හැසිරෙමි. මගේ බ්ලොග් එකේ ආනන්දය, අසෝකය ගැන පෝස්ට් කීයක් ඇත්ද බලන්න. (මමද පරිනාමය වෙමින් පවත්නා මානවයෙක්මි!)

        මෙතැන ගෝත්‍රය කීවේ එහි සම්ප්‍රදායික අරුතින් නොව සත්ත්ව විද්‍යාත්මක අරුතිනි. පොදු නිරීක්ෂණ personal මට්ටමින් ගත යුතු නොවේ.

  6. kathandarakaraya said, on සැප්තැම්බර් 20, 2011 at 6:21 පෙ.ව.

    /* 1974 දී එක්සත් ජාතීන්ගේ සම්මේලනයට යන්න සූදානම් වූ Deng Xiaoping සමන්විත දූත පිරිස ගමන යෑම අත්හැර දමන්නට ද ඔන්න මෙන්න වූ ආර්ථික වාතාවරණයක පසුවිය. චීන බැංකුවේ -සියලුම බැංකුවල- දූත පිරිසට ගුවන් ගමන් ටිකට් පත් ගන්නට වත් ප්‍රමාණවත් මුදලක් නොතිබිණ.

    */

    අපේ ලොක්ක වගේ සිය ගාණක අන්තේවාසිකයෝ පිරිසක් එක්ක වෙන්නැති යූ එන් මීටිමට යන්න ප්ලෑන් කලේ!

  7. pitakotuwa said, on සැප්තැම්බර් 20, 2011 at 10:23 පෙ.ව.

    අරුණි,

    මගේ අන්තිමට දාපු කොමෙන්ට් එක කෝ?

  8. දොස්තර මාමා said, on සැප්තැම්බර් 20, 2011 at 8:01 ප.ව.

    අරුණි අක්කේ, බොහොම ස්තුතියි ඔබේ හරබර ලිපි වලට. දැනට ඔයා ලියපු හැම දෙයක්ම වගේ කියවලා තියෙනවා. මටනම් දේශපාලනයවත් ආර්ථිකය ගැනවත් එච්චර දැනුමක් නැහැ. වාද වලට සහභාගී නොවෙන්නේ ඒකයි. නමුත් ඔබේ ලිපි කියවීමෙන් පසු ඒ ගැන තව කියවන්න ආසා හිතෙනවා. මගේ පාඩම් වැඩ ටිකක් අඩු උනහම බලමු. 🙂

  9. dayal-bathee said, on සැප්තැම්බර් 21, 2011 at 2:08 පෙ.ව.

    මටත් කට දාන්න හිතුන,….
    මා කලිනුත් මෙය කියා තිබෙනව, හිතට දැනෙන දේ නිසා කියනව ඔන්න ආයිත්.

    චීනයට ඊලඟ ප්‍රජාතාන්ත්‍රික පියවරයන් ගැන නිකමට හෝ සිතිය හැක්කේද පසුගිය කාලයේ ගෙනගිය පොදු දේපල ක්‍රමය නිසා බවයි මගේ අනුමානය;
    පවුලක් ගන්න, අමාරු කාලයේදී සැමදේම share කරගන්නව, පසුව ඉගෙන හදාගෙන ටිකක් දියුනු උනාට පස්සෙ නිදහස වැඩිවෙනව, ලොකු ලොකු දේවල් ගැන සිතන්නටවත් පුලුවන් වෙනව.

    • arunishapiro said, on සැප්තැම්බර් 21, 2011 at 9:39 පෙ.ව.

      dayal-bathee,

      ඔන්න ඒ ගැන සටහනක් දැම්මා. අවුල් වියවුල් වලින් ගොඩ එන්නේ කොහොම ද යන්න මත ප්‍රජාතන්ත්‍රවාදය රැකගන්න චීන අයට අති මහත් උත්සාහයක් ගන්න වෙනවා.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: