අරුණි ශපීරෝ‍ වෙතින්

අනාවැකියට ඇබ්බැහිය

Posted in Uncategorized by arunishapiro on ඔක්තෝබර් 4, 2011

ආර්ථිකය ගැනත්, ජනාධිපති වන්නේ කවුදැයි කියාත්, ක්‍රීඩා තරඟයක් දිනන්නේ කවුදැයි කියාත් ඇහෙන අනාවැකි අහලකින් වත් හරියන ඒවා නොවන බව දැන දැනත් ඒත් ඒවා අහන්නට ඇබ්බැහියක් මිනිස් ස්වභාවයේ ඇත. තව මිනිත්තු පහකින් වන්නේ කුමක් දැයි කියන්නට බොහෝ දෙනා සමත් වනු ඇත. තව පැයකින් වන්නේ කුමක් දැයි කියන්නට ද ඊට සමාන එහෙත් මඳක් අඩු වූ පිරිසක් සමත් වනු ඇත. තව දවසකින්? සතියකින්? අවුරුද්දකින්? වසර පහකින්? යනාදී කාලය ඈතට දුවද්දී සිද්ධ වෙන දේ ගැන කියන්නට සමත් වන්නේ කොතරම් පිරිසක් ද?

කියන අනාවැකි වැරදීමෙන් සමාජයෙන් ද, අපේ මොළයෙන් ද, දඬුවමක් නොලැබේ. සමාජයත් පුද්ගලයාගේ මොළයත් අනාවැකි කියන්නාගේ වාර්තාව දිහා බැලීම නොසලකා ඉන්නට හුරු වී සිටිති. යම් දිනයක අයෙක් අනාවැකි කියද්දී ඒ අසලින් හරි ගිය/වැරදි වූ සංඛ්‍යාව පෙනෙන්නට දැමිය හැකි නම් අනාගතය ගැන කියනා අනාවැකි බාර ගැනීමත්, ඒ අසා අප ගන්නා තීරණත්, වෙනස් වෙයි ද?

“දරුවෝ වැටෙයි ඔයා හැම තිස්සෙ ම ඔහොම කලබලයෙන් දුවද්දී ..” කියා කොතරම් වතාවක් ඇසෙනවා ද? එක පාරක් වැටිච්ච ගමන් “දැක්කනෙ මම කිව්ව එක හරි ගියානෙ” යන්න ඇහෙයි!!!

දිනක් පිටරට යන්නට සූදානම් වූ තරුණයෙක් අප නිවසට ආවේ ය. ඔහුට ලන්ඩන් බලා යන්නට වීසා බලපත් සියල්ල ලැබී තිබුණි. ඔහුට දැන ගන්නට අවශ්‍ය වූයේ ගමන සාර්ථක වේ දැයි කියා ය. “ඔයා ගියාට වැඩි කලක් ඉන්නෙ නැහැ,” තාත්තා ඔහුට කීවේ ය. ඔහු සතියෙන් ආපසු ලංකාවට ඇවිත් තාත්තාගේ අනාවැකිය සාර්ථක බව කීවේය!!! දෙමාපිය හුරතලයට හැදුණු එම පවුලේ එකම දරුවා වූ තරුණයා තනිවම කිසිත් කර කියාගන්නට නොහැකි අයෙක් බව කතාබහ දී තාත්තා දැනගෙන තිබුණි. පිටරටවල් කිහිපයක තනිකඩයෙක් ලෙස ජීවත් වී අත්දැකීම් තාත්තාට තිබි නිසා (මේ 1970 ගණන් වල දී) මේ තරුණයා කිසිසේත්ම පිටරටක ටික කලකට වත් තනිවම වාසයට නොහැකි අයෙක් බව තාත්තා වටහා ගෙන තිබුණි.

අනාවැකි අහන්නට එන බොහෝ දෙනෙක් සොයන්නේ තමන් සිතන පතන දෙය ඉෂ්ට කර ගන්නට ද? නැත්නම්, සත්‍ය දැනගන්නට ද? නැත්නම් හිතේ තියන කෙනහිල්ලක් සමනය කර ගන්නට ද?

වැඩේ අසාර්ථක වූයේ මගේ වැරැද්දෙන් නොවේ හඳහනේ කියලා තිබිච්ච නිසා යැයි, තමන්ගේ උත්සාහය අත් හරින්නට ගැලවීමේ මාර්ගයක් පාදා ගනු සඳහා ද?

රුමේනියාවේ witch (මේ වචනයට වඩාත් සුදුසු සිංහල වචනය කුමක් ද?!!) යන නමින් හැඳින්වෙන කාන්තාවන් අනාගතය ගැන කියන්නට හැකියාව ඇති අය සේ සැලකේ. සමහරුන්ට රෝග නිවාරණයටත් බලය ඇතැයි ප්‍රසිද්ධ ය. මිය ගිය සැමියා හෝ භාර්යාව හා කතා කරන්නට ඔවුන් මළවුන් ගෙන් නැවත ගෙන්වන්නට හැකියාව ද ඇතැයි කියැවේ. යුරෝපයේ ඔවුන් වෙතින් අනාගතය දැන ගන්නට යන දේශපාලනඥයන් අතර ප්‍රංශ ජනාධිපති නිකලස් සාකෝසී ද සිටියි! එසේ වාර්තා කරන්නේ රුමේනියාවේ බුකරෙස්ට් අගනුවර මාධ්‍යවේදියකු වන Vlad Mixich නැමැත්තා ය.

ඒ රුමේනියානු අනාවැකි කියන කාන්තාවන් වැඩි සංඛ්‍යාවක් රුමේනියාවේ ධනවත් අය වෙති. රත්තරන් පාට ගෑ දිලෙන වහල වල් ඇති විසල් නිවස් වල ඔවුන් ජීවත් වෙති.

සමාජයක ඕනෑම අංශයක් මුදල් හම්බ කරනවා නම් ඒ අංශයට බදු ගැසීම, රෙගුලාසි ගෙන ඒම ආණ්ඩුවක හැදියාවයි. ඉතින්, රුමේනියානු අනාවැකි කර්මාන්තයට ද රෙගුලාසි හා බදු පනවන්නට වෑයමක් දියත් විය. දැන් මේ වෑයමේ දී ඔවුන් ඉදිරියේ වූයේ නොසිතූ ගැටලුවකි.

අනාවැකි කියන්නන් අතින් වැරදි අනාවැකි කියැවුන කල ඔවුන්ට දඬුවම් දෙනවා ද? අනාවැකි කියන අයව ප්‍රමිතියකට ලක් කරන්නේ කෙසේ ද?

ඕනෑම කර්මාන්තයක දී පාරිභෝගිකයාට දෙනවා යැයි කියන භාණ්ඩය හෝ සේවාව වෙළඳාමේ දී ප්‍රචාරය කරන අන්දමට නොවන්නේ නම් කර්මාන්තකරුවා දඬුවම් ලබයි. වන්දි ගෙවයි. ඒ වෙළඳපොල රීතියයි. ඉතින් රුමේනියාවේ යෝජනා වූ නීතිය වූයේ අනාවැකිය හරි ගියේ නැත්නම් ආණ්ඩුවට දඩයක් ගෙවන්නට සිද්ධ වීමට ය. පිට පිට අනාවැකි වැරදුන හොත් මාස හයක සිට වසර 3 ක් දක්වා සිර දඬුවම් විඳින්නට සිද්ධ වීමට ය.

එවිට තම රාජ්‍ය ව්‍යාපෘති ගැන අනාවැකි කියන දේශපාලනඥයන්ටත් දඬුවම් දිය යුතු දැයි ද සංවාදයක් පැන නැඟිණ!!! අපේ මේ මේ සැලසුම් වලින් රට මේ තරම් දියුණු කරන්න පුලුවන් යැයි උදම් අනිද්දී කියන්නේ අනාවැකියක් ද?!!!

දඬුවම් රෙගුලාසි හිමිහිට සංවාදෙයන් තුරන් විය!!!

නමුත් 2011 ජනවාරියේ සිට රුමේනියානු අනාවැකි කියන්නන් වෙතින් බදු අය කරන්නට පටන් ගැනින. රුමේනියාවේ ජනාධිපති Traian Basescu හැම බ්‍රහස්පතින්දාවක ම දම්පාට වස්ත්‍ර අඳින්නේ බදු වලට කෝපාවිෂ්ට වූ witches ලා ගේ වස් දොස් නොවැදෙන්නටලු! රුමේනියාවේ බදු පැනවීම ගැන කෝපයට පත් වූ witches ලා ඩැනියුබ් ගඟට ගුරුකම් වලට ගන්නා වස අල වලින් යුතු mandrake (Mandragora officinarum) හලා ඇත.

2011 දී බදු ගහන්නට ආණ්ඩුව සූදානම් වෙනවා යැයි මුලින් ම අනාවැකියක් කීවේ කොයි කාලයේ ද? කොයි රුමේනියන් witch දැයි මා දැනගන්නට කැමතියි!!!

“අපේ දැනුමේ හොඳම කොටස නම් දැනුම නැවතී මුලාව පටන් ගන්නා තැන කියා දෙන ස්ථානයයි.” -ඔලිවර් වෙන්ඩල් හෝම්ස්

“ The best part of our knowledge is that which teaches us where knowledge leaves off and ignorance begins. ”
Oliver Wendell Holmes

25 Responses

Subscribe to comments with RSS.

  1. buddie-බුඩී said, on ඔක්තෝබර් 4, 2011 at 9:32 පෙ.ව.

    මරු කතාව, අනාවැකි අහලා ඒක අපි හිතන දේට සමාන නම් හුගාක් වෙලාවට ඒක වැලදගන්න තමා මිනිස්සු කරන්නේ.

    ඒක නෙමේ මම ඇස් දෙකට දැකපු අනාවැකි කියන සිස්ටම් එකක් තියෙනවා කුල්ලෙන්. කුල්ලට මතුරලා කුල්ල අල්ලන් ඉද්දි ඒක කරකැවිලා ප්‍රශ්න ව්ලට උත්තර දෙනවා. මාරයි. හැබැයි මම අහපු එකට දුන්නු උත්තරේ නම් වැරදුනා. හරි ගිය ඒවත් තියෙනවා. 50% නේ සම්භාවිතාව, හැබැයි කුල්ල කැරකෙවෙන්නේ කොමද මම දන්නේ නෑ හැබැයි සිරාවටම කැරකෙනවා.
    ඔන්න මෙහෙම අපි දැන් හිතා ගන්නවා ප්‍රශ්නේ ඔන්න කපුවා කියනවා අනේ දේවතාවුන් වහන්ස ඒ ප්‍රශ්නේට උත්තරේ ඔව් නම් වම් පැත්තට හැරිලා අපිට පෙන්නුම් කරන්න. ඔන්න කුල්ල දකුනට හැරෙනවා, ඒ කියන්නේ උතත්රේ නෑ කියලා. හිතා ගත්තු ප්‍රශ්නේ මේ කුල්ලෙන් දෙන අනාවැකි විශ්වාස කරන්නද? මල කෙලියයි නේද?
    මම් මේ ක්‍රමේ හැල්ලු කරනවා නෙමේ ඒත් මේ මතම මිනිස්සු විශ්වාස කරලා අන්ධ විදිහට හැසිරෙන එක නම් මෝඩ වැඩක්. මොකද අරුණි හිතන්නේ???

  2. arunishapiro said, on ඔක්තෝබර් 4, 2011 at 9:36 පෙ.ව.

    buddie-බුඩී,

    //මේ මතම මිනිස්සු විශ්වාස කරලා අන්ධ විදිහට හැසිරෙන එක නම් මෝඩ වැඩක්// මොකද //50% නේ සම්භාවිතාව// කියා තමයි මාත් හිතන්නෙ.

    රබන් කරකරවන නැටුම් දැකලා තියනවා ද? ඒ අය අතට කුල්ලක් දීලා බලන්න ඕනා!!! නැත්නම් ඇමෙරිකන් බාස්කට් බෝල් ක්‍රීඩකයෙක් අතට බෝලයක් වෙනුවට කුල්ලක් දීලා වෙදැඟිල්ල උඩ ඒක කරකවන්න පුලුවන් ද කියලත් හොයන්න ඇහැකි!!!

    • buddie-බුඩී said, on ඔක්තෝබර් 4, 2011 at 10:23 පෙ.ව.

      කුල්ල කැරෙකෙන එක ඇත්තටම වෙන දෙයක්, මොකද මම ඒක අල්ලන් ඉදලා තියෙනවා, එතකොට ඒක දැනෙන විදිහට හැරවෙනවා. වෙන්නේ මොකක්ද ඒක කොහොමද දන්නේ නෑ . . .

      • arunishapiro said, on ඔක්තෝබර් 4, 2011 at 10:41 පෙ.ව.

        මෙහෙම කරකවලා මගේ ඇඟිල්ලට දුන්නම මට මුකුත් නොකර අල්ලා ගෙන ඉන්න පුලුවන් තවත් කැරකෙමින් පැවතිය දී.

      • දුකා. said, on ඔක්තෝබර් 4, 2011 at 2:59 ප.ව.

        මම හිතන්නේ බුඩී ගේ ප්‍රශ්නෙට පිලිතුරු ලැබෙයි වෛද්‍ය සනත්දේව මුරුතැනෙගේ මහතා ලියපු “මරණය, මනෝකාය සහ සසර ප්‍රගමනය” පොත කියෙව්වොත්.

  3. kathandarakaraya said, on ඔක්තෝබර් 4, 2011 at 9:45 පෙ.ව.

    Witch ?
    මන්තරකාරී
    බටකොල ආච්චී
    මහදැනමුත්තී
    විජ්ජාකාරී
    (බ්ලොග්කාරී!)

  4. Ravi said, on ඔක්තෝබර් 4, 2011 at 10:25 පෙ.ව.

    අපූරු ලිපියක් අරුණි,

    “හොඳම කොටස තමා…./ 2011 දී බදු ගහන්නට ආණ්ඩුව සූදානම් වෙනවා යැයි මුලින් ම අනාවැකියක් කීවේ කොයි කාලයේ ද? කොයි රුමේනියන් witch දැයි මා දැනගන්නට කැමතියි!!! /

    කියන වචනෙට ආසන්නම සිංහල වචනෙ මම හිතන්නෙ “මායාකාරි”,

    මේ අනාවැකි ගැන පොඩි කතාවක්….කලින් අහල ඇතිනම් සමාවෙන්න.

    එක තරුණයෙකුට සුප්‍රසිද්ධ අනාවැකි කියන්නෙක් මෙහෙම කිව්ව. ” තව මාස දෙකයි ඔබ ජීවත් වෙන්නෙ….. මාස දෙහෙකින් හරියටම ජූලි විසිපස් වෙනිද ඔබ මියයන එක වලක්වන්න කාටවත්ම බෑ……..”

    අනේ ඉතිං අර අහිංසකය කල්පනා කලා මැරෙන එකේ ජොලියෙ ඉමු මේ ඉන්න මාස දෙක කියල දේපල ඔක්කොම විකුණල දාල රස්සාවෙනුත් අස්වෙල හැමෝගෙන්ම පුලුවන් තරම් ණයටත් අරගෙන තියෙන හොඳම හෝටලේ උඩම තට්ටුව වෙන් කරගෙන අන්තිම මාස දෙකේ මදියි නොකියන්ඩ සැප වින්ද….

    දැන් ඔන්න ජූලි විසිපස්වෙනිදත් ආව…..මනුස්සය උඩ තට්ටුවට වෙලා එදා දවසම ගතකලා මරණය බලාපොරොත්තුවෙන්…..රෑත් උනා….ම්හු මැරෙන පාටක් වත් නෑ……මිනිහට මාර ප්‍රශ්නෙ….දේපල ඔක්කොමත් විකුණල රස්සාවෙනුත් අස්වෙල….එව්ව නම් කමක් නෑ කියමුකො මේ ගත්තු ණය කන්දරාව ගෙවන්නෙ කොහොමද?……..

    අන්තිමට විසිපස් වෙනිද ගෙවෙන්ඩ විනාඩි දහයක් තියෙද්දි මිනිහ හෝටලෙන් පල්ලෙහාට පැනල දිවි නහ ගත්ත…..අනාවැකිය කිව්ව විදිහටම ඉෂ්ඨ උනා……….

  5. chandi said, on ඔක්තෝබර් 4, 2011 at 11:31 පෙ.ව.

    මම නම් පුද්ගලිකව අනාවැකි විශ්වාස කරන්නෙ නෑ අරුණි. කේන්දර පලාපල බලන්නෙත් නෑ. පුතාලට කේන්දර හැදුවෙත් නෑ. මේවාට ඇබ්බැහි උනාම හරිම අපහසුයි දෙයක් උන වෙලාවට තීරණගන්න. ඒ වෙලාවට ඒව පස්සෙ යන්නමයි හිත. අපේ බිල්ඩිම උඩ අපි අඩි 8 ක් පමණ උස සමාධි පිලිමයක් වඩා හිදෙව්වා. ඒක දැකපු කෙනෙක් මට කියනවා ඒක අපිට හොඳනෑ කියල. මම කීවා වටේම තියෙන කාර‍යාල හා කඩ සාප්පු වල අය ඒකට වැඳලා නේ වැඩ ආරම්භ කරන්නෙ කියල. එයා කියනවා ඒ අයට ඒක හොඳ උනාට ගෙදර ඉන්න අයට ඒක හොඳනෑ කියල. ඇත්ත නැත්ත මම දන්නෙ නෑ. විච් නම් මායාකාරියන් හරියට අප්‍රිකාවෙ ඉන්නවා. ඒ අය ගෙන් රටේ ජනධිපති පවා උපදෙස් ගන්නවා. ඒ විතරක් නෙමෙයි ගැහැනු දරුවෙකු වැඩිවිය පැමිණුනාම එයාල තමයි සුන්නත් කිරීම් පවා සිදුකරන්නෙ. හැබැයි කියන අනාවැකි හරියටම හරියන අවස්ථා එමටයි.

    • arunishapiro said, on ඔක්තෝබර් 5, 2011 at 8:21 පෙ.ව.

      chandi,

      යමක් හිතේ නළියන්න ගත්තොත්, කොච්චර හිත ධෛර්යය කෙනෙකුට වුවත් සිතුවිල්ලෙන් ගැලවෙන්න අමාරුයි. ඒ නිසා පසුව පසුතැවිලි වෙන්න පුංචි දෙයක් සිද්ධ වුනත් අර හේතුව තමයි පාදක වූයේ කියලා හිත කියනවා. වට පිටාවේ ඉන්න අය අපේ සිතුවිලි වලට බලපෑම් කරන්නෙ එහෙම. එහෙම පරිසරයක දී එහෙම සිතුවිලි වලින් ගැලවීම ඉතා අසීරු වු තත්වයක්.

      චාන්දි අක්කගෙ හිතට හරියන, හිත පිළිගන්න දේ සැකයෙන් තොරව හිතට දැනෙන දවසට, ඔයාගෙ හිතට බලපෑම් කරන්න කාටවත් බැහැ.

  6. maathalan said, on ඔක්තෝබර් 4, 2011 at 12:49 ප.ව.

    මෙහෙත් ටැක්ස් කලානම් හොඳා. ලෑන්ඩ් කෘෂර් වල යන්නේ කශ්ටිය. ජීවිතය කියන්නේ දුකක් කියලා 365 දවසෙම බන අහලා මැරුනාම වලට පනින්න යන කශ්ටිය ඉන්න රටනේ.

    • දුකා. said, on ඔක්තෝබර් 4, 2011 at 3:02 ප.ව.

      “ජීවිතය කියන්නේ දුකක් කියලා 365 දවසෙම බන අහලා මැරුනාම වලට පනින්න යන කශ්ටිය ඉන්න රටනේ.”

      නියම කතාව මාතලන් ගොයියෝ . .

    • arunishapiro said, on ඔක්තෝබර් 5, 2011 at 6:38 ප.ව.

      maathalan,

      මේක දැක්කම මාතලන් දේශපාලනයට බහින්න ලෑස්ති වෙනවා ද හිතුන. ලෑන්ඩ් කෲසර් යන කට්ටිය දැක්කම බදු ගහන්න හිතුන නිසා! දේශපාලනඥයොන්ට තමයි සල්ලි තියන මිනිස්සු දැක්කම බදු මතක් වෙන්නෙ. : )

  7. දුකා. said, on ඔක්තෝබර් 4, 2011 at 3:05 ප.ව.

    අනාවැකි කියන අහන එකේ මම දකින එක පැත්තක් නම් අපිට ඒ අනුව පොඩ්ඩක් හැඩගැහිලා ඉන්න පුලුවන් වෙන එක.
    මෙහෙම හිතමු . .

    ජ්‍යෝතිෂ කාරයෙක් කියනවා මේ කාලයේ උඹට මාරක අනතුරු තියෙනවා කියලා . . .

    මම නම් කරන්නේ ඒ කාලයේ වෙනදට වඩා පරිස්සමින් වාහනේ එලවන එක සහ පාරේ යන එක. (ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් එක්ක සම්බන්ධ කරලා හිතුවොත් නම් අනතුරක් වෙනවා වෙනවා කියලා හිත හිත ඉන්න නිසා ම අනතුරක් වෙන්න තියෙන සම්භවිතාව වැඩී තමා) ඒත් අමතර පරිස්සමක් වෙන්න හිතට ගන්න එක නරක් නැද්ද.

  8. Dy Abeysinghe said, on ඔක්තෝබර් 4, 2011 at 9:15 ප.ව.

    Dear Aruni,

    Thank you very much for your contributions offered through your site to the Sri Lankan readers .

    Normally witches are females. I want to know whether males are practicing witchcraft in Europe and the term used for them. In Sri Lanka also, Soothsayers / Manthracharyayos are very rich.

    Recently, one such very rich person from Ruwanwella area, who was pretending as a Buddhist monk, has been taken in to custody for his misbehavior with young girls.

    We would like to know more about European witchery in future. Is there any similarity between Huniyam and Voodoos practiced in Caribbean countries?

    • arunishapiro said, on ඔක්තෝබර් 5, 2011 at 8:54 පෙ.ව.

      Dy Abeysinghe,

      පුරාතන ග්‍රීසියේ පටන් witch යන සංකල්පය තිබිච්ච එකක්. අද යුරෝපයේ වැඩියෙන් පාවිච්චි ඉන්නෙ psychic කියන අය. මොකද එයාලට අනාවැකි කියන්න අවසරය තිබුණත් මැජික් බෙහෙත් විකුණන්න තහනම් නිසා. රුසියාවේත් බහුලව එහෙම අය ඉන්නවා. ඇමෙරිකාවේ දකුණු ප්‍රාන්ත වල ලොකු බෝඩ් ගහගෙන අනාවැකි කියන අය දකින්න පුලුවන්.

      රුවන්වැල්ලෙ එක්කෙනා නම් අනාවැකි කියන්න දන්න අයෙක් නෙමෙයි!!!

      බ්‍රිතාන්‍ය ඇතුලු යුරෝපීය රටවල් වල සෑහෙන්න මන්තරකාරියෝ ඉඳලා තියනවා. මන්තරකාරීයන් තුන් දෙනෙක් කල්දේරමක මැජික් බෙහෙත් හැඳිගාන දර්ශනය විලියම් ශේක්ස්පියර් ලියන්නෙ Macbeth නාට්‍යයේ:

      A dark Cave. In the middle, a Caldron boiling. Thunder.

      Enter the three Witches.

      1 WITCH. Thrice the brinded cat hath mew’d.
      2 WITCH. Thrice and once, the hedge-pig whin’d.
      3 WITCH. Harpier cries:—’tis time! ’tis time!
      1 WITCH. Round about the caldron go;
      In the poison’d entrails throw.—
      Toad, that under cold stone,
      Days and nights has thirty-one;
      Swelter’d venom sleeping got,
      Boil thou first i’ the charmed pot!
      ALL. Double, double toil and trouble;
      Fire burn, and caldron bubble.
      2 WITCH. Fillet of a fenny snake,
      In the caldron boil and bake;
      Eye of newt, and toe of frog,
      Wool of bat, and tongue of dog,
      Adder’s fork, and blind-worm’s sting,
      Lizard’s leg, and owlet’s wing,—
      For a charm of powerful trouble,
      Like a hell-broth boil and bubble.
      ALL. Double, double toil and trouble;
      Fire burn, and caldron bubble.
      3 WITCH. Scale of dragon; tooth of wolf;
      Witches’ mummy; maw and gulf
      Of the ravin’d salt-sea shark;
      Root of hemlock digg’d i the dark;
      Liver of blaspheming Jew;
      Gall of goat, and slips of yew
      Sliver’d in the moon’s eclipse;
      Nose of Turk, and Tartar’s lips;
      Finger of birth-strangled babe
      Ditch-deliver’d by a drab,—
      Make the gruel thick and slab:
      Add thereto a tiger’s chaudron,
      For the ingrediants of our caldron.
      ALL. Double, double toil and trouble;
      Fire burn, and caldron bubble.
      2 WITCH. Cool it with a baboon’s blood,
      Then the charm is firm and good.

      මේ තවත් එංගලන්ත මන්තරකාරියක් ගැන :The Life and Legend of Mother Shipton

      පිරිමි අයට කියන්නෙ warlock කියලා.

      හැබැයි යුරෝපයෙන් පිරිමි අය අතරින් වැඩියෙන් අහන්න පුලුවන් wizard ලා ගැන. එයාල මැජික් වලින් වැඩ ගත්ත අය මිසක් හදි හූනියම් කරන, අනාවැකි කියන අය නෙමෙයි. ප්‍රසිද්ධ ම ප්‍රබන්ධය Merlin චරිතයයි.

      කැරීබියන් දූපත් වලට අප්‍රිකාවෙන් ආපු අපි හූනියම් කියන්නට සමාන දේවල් එමට තියනවා. ලුයිසියානා, මිසිසිපි, ඇලබෑමා හා ෆ්ලෝරීඩා වැනි දකුණු ඇමෙරිකන් ප්‍රාන්ත වලට හොරෙන් ඒවායේ නිරත වෙන අය අහුවෙන කතාවල් ඉඳහිටක අහන්න ලැබෙනවා.

      මට කැලිෆෝර්නියාවේ ඉන්න ලංකාවෙන් ආපු යාළුවෙක් කතා කරලා ලොස් ඇන්ජලීස් පැත්තෙ ඉන්න ලාංකිකයෝ එකිනෙකාට හදි හූනියම් කරගන්න හැටිත් දවසක් කිව්වා!!!!

  9. රාජ් said, on ඔක්තෝබර් 5, 2011 at 12:41 පෙ.ව.

    අපේ තාත්තගේ යාළුවෙක් ඉන්නවා ඉස්සර එයා ගෙදර ආවම තාත්ත මගේ කේන්දරේ දෙනව බලන්න. එයා කියන්නෙ මූණ බලලද කොහේද?:)
    එයා කිවුව මම හොදට ඉගෙනගන්නවා කියලා.(අධ්‍යාපනයට එච්චර යොමු නොවුන අපේ ගම්වල ළමයි අතරෙ මම ටියුෂන් පන්ති එහෙම ගිය බව එයා දන්නවා.)
    ඊලගට කිවුවා අහවල් ග්‍රහටගෙ අහවල් දශාව නිසා මගේ කෙට්ටු ගතිය දිගටම තියනව කියලා (ඒකාලෙ මම හොදටම කෙට්ටුයි, එයා හිතන්න ඇති මම ඒ විදියටම ඉදීවි කියල). ඒ වගේ ඔක්කොම අනාවැකි වැරදුනා.
    රාජ්‍ය ව්‍යාපෘති ගැන අනාවැකි කියන දේශපාලනඥයන්ට දඬුවම් දෙන්න ක්‍රමයක් තියනවා නං හොදයි අපේ රටට.

    • arunishapiro said, on ඔක්තෝබර් 5, 2011 at 9:02 පෙ.ව.

      රාජ්,

      //රාජ්‍ය ව්‍යාපෘති ගැන අනාවැකි කියන දේශපාලනඥයන්ට දඬුවම් දෙන්න ක්‍රමයක් තියනවා නං හොදයි අපේ රටට.//

      ලංකාවට විතරක් නෙමෙයි මේක හැම රටකට ම හොඳ වේවි!

  10. නවම් said, on ඔක්තෝබර් 5, 2011 at 1:18 පෙ.ව.

    මටත් ඔය අපේ ජනාධිපති උතුමානන්වහන්සේට උපදෙස් දෙන, ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙ අධ්‍යක්ෂක කෙනෙක් වෙන තට්ට ගොයියෙක් අපූරු අනාවැකියක් කිව්ව මිනිහගෙ බෑන පොඩ්ඩත් එක්ක එහේ ගිය වෙලාවෙ. මාත් මේ බල බල ඉන්නෙ කවදා හැබෑවෙයිද කියල. එදාට මේ බ්ලොග් කෙරුවාව නවත්තන වෙයි මට.

    • Ravi said, on ඔක්තෝබර් 5, 2011 at 1:34 පෙ.ව.

      @ නවම්,

      අර අරුණි කියන්න වගෙ ඔය වගෙ අනාවැකි කියන්න එහෙම අමුතු හැකියාවක් ඕන නෑ නවම්….මම කියන්නද ඔය කිව්වයි කියන අනාවැකිය…

      ” මේ ලමය ඔය බොලොග් කෙරුවාවෙයි කියල දෙලොවටම වැඩක් නැති බහුබූතයක් කරනව නේද?…..ඔය ළමයගෙ හාමිනේට ඕක ඉවසල ඉවසල එපා වෙච්ච දවසට බඩු මුට්ටුත් පටෝගෙන යනව ඒ ළමයගෙ මහ ගෙදර….ඔය කෙහෙල්මල් බොලොග් කෙරුවාව නවත්තල දානකල් මම ආයෙ මේ ගෙදර පස් පාගන්නෙ නෑ…තේරුණය ඔහෙට?…..ඔන්න ඔහොම කියල”

  11. හර්ෂ said, on ඔක්තෝබර් 6, 2011 at 3:01 පෙ.ව.

    Witch කියන වචනයට ‘යක්දෙස්සිය’ කියලත් කියන්න පුළුවනි.

    • arunishapiro said, on ඔක්තෝබර් 6, 2011 at 8:22 පෙ.ව.

      හර්ෂ,

      ශබ්දකෝෂයේ එන්නෙ ‘යක්දෙස්සිය’ යන්නට devil-dancer කියලා. මමත් කැමතියි මේ වචනයෙ උච්චාරණයට, ඒත් ඒක නැටුම් වලින් පමණක් witch වැඩ කරනවා කියල සීමා වෙන්නෙත් නැහැනෙ. හැමෝම දීලා තියන අර්ථ සේරම වගේ (බ්ලොග්කාරී නම් ෂුවර් නැහැ!!!) ඔවුන් අතින් වෙන වැඩ ගැන කියැවෙනවා, ඒත් එකක් වත් ඒ සියලුම වැඩ එකතු කර කියනවා ද?

      මන්තරයක් මතුරන්නෙ නැතිව අනාවැකියක් කියන්න පුලුවන්.
      බටකොළ ආච්චී නොවී ලෑන්ඩ් කෲසර් වලින් ගමන් බිමන් යන්න පුලුවන්.
      විජ්ජාකාරී නොවී වස අලයකින් වින කරන්න පුලුවන්.
      මායාකාරී නොවී අයෙක් සිත තුල කොනහන ඔහුට/ඇයට නොපෙනෙන දෙයක් දකින්න පුලුවන්.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: