අරුණි ශපීරෝ‍ වෙතින්

අනාවැකි කීම නවතා අනාවැකි හැදීම

Posted in Uncategorized by arunishapiro on ඔක්තෝබර් 8, 2011

දවස නිවසට සීල් තබා වසා දැමූ කාලයේ තමයි තාත්තා අනාවැකි වැඩියෙන් කිව්වෙ. රටේ නොසන්සුන් තත්වයක් හට ගනිද්දී අනාගතය ගැන හොයන්න ආසාව පුද්ගලයන් තුල වැඩි වුනා ද දන්නෙ නැහැ.

උදේ පාන්දර ගෙදර දොරවල් අරින කොට ඈත පළාත් වලින් රෑ බස් වලින් ආපු අය හිටගෙන ඉන්නවා. හඳහන් බලවා ගෙන කොළඹ වැඩ ටිකත් කරගෙන යන්න ආපු අය. රෑට තමයි තමන්ගෙ වාහන වලින් එන අය ගොඩ වදින්නෙ. දවල් කාලේ ටිකක් නිවාඩුයි. දවාලට කෑම උයන්නෙ තාත්තා. මම ඉස්කෝලෙ ඇරිලා ගෙදර දුවගෙන එන්නෙ තාත්තගේ කෑම රහ බලන්න. අනාවැකි කියන එක ආදායම් මාර්ගයක් බව හිතුවෙ නැති මගේ කැමැත්ත කවුරුත් හඳහන් බලාගන්න ඇවිත් නැතුව තාත්තා අතින් මාළු කූරියෙක් ඔළුව පිටින් ම උයලා තියනවා බලන්න!!!

තාත්තා කියන පලාපල හිමිහිට වෙනස් වෙන්න ගත්තෙ මේ කාලයේ දී. එන අයගෙ වාසනාවන් (fortune) ගැන වැඩියෙන් හා අවාසානවන් (misfortune) ගැන අඩුවෙන් කියන්න ඔහු පටන් ගන්නවා. සාර්ථක ව්‍යාපාර අරඹපු අය, කඩා වැටි ව්‍යාපාර යළි වර්ධනය වූ අය, ගුරු විභාග සමත් වෙච්ච අය, ස්ථාන මාරු ලැබිච්ච අය, ගැලපෙන කෙනෙක් හා විවාහ වූ අය, සමරසිංහ මහත්තය කියපු විදියට ම පැතුම් ඉටු වෙච්ච බව කියන්න ගත්ත. ඒක ඇහිලා අනාගතය ගැන දැනගන්න එන අය වැඩිවුනා.

කළින් සටහනේ මනෝවිද්‍යා පර්යේෂකයන් හොයා ගන්න උත්සාහ කරපු දැය, එනම් ජන සමූහයක් විසින් තීරණ ගන්නේ කෙසේද, ඒ තීරණ අනාගතය වෙනස් කරන්නේ කෙසේද යන්න කාටවත් ම මෙන්න මේ කාරණය නිසා යැයි කියන්න බැරි දෙයක්. ඒකයි ඔවුන් දිගින් දිගට ම තවත් පර්යේෂණ කරන්නෙ. තාත්තා හමුවන්න ආපු අයගේ ජීවිත සාර්ථක වූයේ තාත්තා කේන්දර බලන්න හපනෙක් යැයි සිතූ නිසා ද, නැත්නම් ආපු අය යමක් කරන්න දැඩි උවමනාවකින් පසු වූ නමුත් කුමන හෝ තල්ලුවක් අවශ්‍ය වූ අය නිසා ද, නැත්නම් ඒ හඳහන් තිබිච්ච අය සේරම වාසනාව පෙරදැරි කරගත් අය වූ නිසා ද, රටේ ආර්ථික හා සමාජීය වෙනස්කම් රැසක් සිදු වූ නිසා ද, වෙන මොන කාරණයක් නිසා ද, කවුද දන්නෙ?!!!

ඔය කාලයේ දී තමයි තාත්තා මිනිස් හිත ගැන ලියන්නෙ. හඳහන් බලවාගන්න එන අයට සිතෙන් වැඩ ගන්න හැටි ගැන කියලා දෙන්න පටන් ගත්ත. සමහරු කැමති වුනේ නැහැ ඒවා අහන්න. එයාලව යැව්වා හඳහන් බලන හිතවතුන් ළඟට. මගේ මතකයේ තියන නමක් තරිඳු, නුවර පාරේ හිටපු කෙනෙක්.

හිතෙන් වැඩ ගන්න හැටි පාඩම් පහක් ලියලා, ඒ කොළ ටික ස්ටෙන්සිල් ගහලා, එකක් රුපියල් පහ ගානේ විකුණුවා. වැඩිය කවුරුත් අහලා නැති මාතෘකාවක් ඒ කාලයේ. ඉතින් හඳහන් බලද්දී ලැබෙන මුදල් වලට වඩා ආදායම දැන් ගොඩක් අඩුයි. කුමුදු පින්තූ, සුමේද උඩවත්ත වගේ අය මුල් කාලයේ දී ම මේ මොකක් ද කියලා හොයන්න ආපු අය. තව ගොඩ කාලයක් යනකොට ගිහාන් ගොඩකන්ද (වෙන්ඩෝල් අයිති), ලතා වල්පොල ගායිකාව, විද්‍යාජෝතී මහාචාර්ය වී. කේ. සමරනායකගේ භාර්යාව වගේ අයත් සිත ගැන දැනගන්න යන්න එන්න පටන් ගන්නවා. කුමුදු පින්තු වගේ කිහිප දෙනෙක් තාත්තා හා කාලයක් ඇසුරු කළත් හඳහන් විශ්වාස කරන එක අත්හැරියේ නැහැ.

ආපහු ‘ඉරණම’ පත්තරේ පටන් ගත්තට පස්සෙ මැද පිටු දෙක වෙන් වෙන්නෙ තාත්තා ලියන මිනිස් සිත ගැන ලිපි වලට. පත්තරේ අලෙවිය නැඟලා ගියා. ඒත් ‘ඉරණම’ පුවත්පතට ලියන අනිත් අය මිනිස් හිත ගැන දැනගන්න තිබූ උනන්දුවට වඩා විශ්වාස කළේ හඳහන. තාත්තා රස්සාව දාලා ගෙදර ඇවිත් මිනිස් සිත ගැන තනියම පත්තරයක් ගහනවා කියපු දවස අමතක නොවන දවසක්!!! ඒ පත්තරේ මාස්පතා තැපෑලෙන් ගෙන්වා ගත්තු මුල් 350 දෙනාගේ නම් හා ලිපිනයන් ඔක්කොම මට කටපාඩම් තිබිච්ච කාලයක් තිබුණ. මොකද මමයි මාසයකට සැරයක් ගහන පත්තරේ ඔතලා ලිපිනයන් ලියන්නෙ.

තාත්තා හිත ගැන සමාජයට කියා දෙන්න ගත්තු තීරණය නිසා අපේ පවුල සෑහෙන්න පාඩු වින්ඳ. තවමත් පෑරුණ හිත් වැඩියි. සිත් කැළැල් මකන්න බැරි තරමට දැඩියි. ඒත් සිංහලෙන් කියවන අයට ඔහු අනාවැකි කීම නවතා අනාවැකි හදන්න පටන් ගත්ත එකෙන් සිද්ධ වූයේ මහත් සේවයක්. කවදාවත් තාත්තාව දැකලා වත් නැති අය ඔහු ලියූ පොත් පත් වලින් සිත හැඩගස්වා ගෙන ජීවිතය ජයගත් බව කියද්දී, එදා එහෙම තීරණයක් ඔහු ගැනීම ගැන ලොකු වේදනාවක් එක්ක දැඩි සතුටක් ද දැනෙනවා.

ධනවාදය ගැන, නිදහස් අයිතීන් ගැන, ඔස්ට්‍රියන් අර්ථ ශාස්ත්‍රය ගැන, ලිබටේරියන්වාදය ගැන, ලියන්න ගිහින් එහෙම වෙන්නෙ කොහොම ද අහපු අය දැන් සිතින් වැඩ ගන්න හැටි මෙහෙම වෙන්නෙ කොහොම ද අහන්නත් පටන් ගනියි!!! එහෙමයි කියල සිතින් වැඩ ගන්න හැටි ගැනත් නොලියා බැහැනෙ. ඉතින් ඊ ළඟට ඒක ගැන ලියන්නම්!!!!!

Advertisements

30 Responses

Subscribe to comments with RSS.

  1. buddie-බුඩී said, on ඔක්තෝබර් 8, 2011 at 9:07 පෙ.ව.

    සමහර තීරණ නිසා අපට පාඩුවක් උනත් අනාගතයට එය යෝධ පිම්මක් වෙන්න පුලුවන් – බූඩි කිව්වා කියලා තමා තියෙන්නේ 😛

  2. Ravi said, on ඔක්තෝබර් 8, 2011 at 10:00 පෙ.ව.

    අරුණි, ඔබේ පියාගේ මිනිස් සිතේ හාස්කම් පොතක් මම මුලින්ම දුටුවෙ පුංචි බොරැල්ල තැපැල් කාර්යාලය අසල එකල තිබූ කුඩා පොත් හලේදි……මම මේ කියන්නෙ හැත්තෑවන දශකයෙ අග භාගයෙ…..

    පාසලේ එදිනෙද වියදමට ලැබෙන සුළු මුදල ඉතිරිකොට පොතක් මිළදී ගැනීම මගෙ ඒ කාලෙ පුරුද්දක්…..මට තාම මතකයි ඒ දවස් වල නිකුත් වුනු ජේ. බී. දිසානායක මහතාගෙ සිංහල ජන වහර පොත ගන්නටයි මම ගියෙ. ඒත් මිනිස් සිතේ හාස්කම්…..මුල පිටුව දැක්කම මට ජන වහර අමතක වෙලා, ඔය පොත ගත්ත…..මට මතක විදිහට මුල් කොටස වෙන්න ඕන…ඊට පස්සෙත් පොත් දෙක තුනක් ගත්ත කියල මතකයි…..ඒවට වෙච්ච දෙයක් නෑ අද වෙනකොට….ආයෙම මුල ඉඳල කියවන්න නම් හරිම ආසාවක් තියනව…….හෙහ්, හෙහ්,

    • arunishapiro said, on ඔක්තෝබර් 8, 2011 at 11:55 පෙ.ව.

      Ravi,

      බලමු ආසාව ඉටු කරදෙන්න පුලුවන් වෙයි ද කියලා … අර පොඩි කුමාරිහාමි කියන විදියටයි මම නම් හිනා වෙන්න කැමති!!!!

      • Ravi said, on ඔක්තෝබර් 9, 2011 at 12:57 පෙ.ව.

        Aruni,

        ස්තූතියි, ස්තූතියි බොහෝමත්ම,

        ඥාණ දානය වනාහී ඉතා උතුම් වූ දානය වේ.

        හී….හී….හී…..මෙහෙම නේද පොඩි කුමාරිහාමි හිනාවෙන්නෙ?……..හෙහ්, හෙහ්, හෙහ්,

  3. W.A. Wijewardena said, on ඔක්තෝබර් 8, 2011 at 11:35 පෙ.ව.

    Excellent. Continue this.

  4. maathalan said, on ඔක්තෝබර් 8, 2011 at 11:38 පෙ.ව.

    ඔන්න නෝනේ මගේ අනාවැකියක් හරි ගිහින්. කියල දවස් දෙකයි. ඔය ලින්ක් එකේ පළවෙනි කොමෙන්ට් එක කියවන්න.

    http://w3lanka.blogspot.com/2011/10/what-is-difference-between-killers-and.html

  5. anithkona said, on ඔක්තෝබර් 8, 2011 at 12:29 ප.ව.

    මම මිනිස් සිතේ හාස්කම් පොත කියෙව්වේ අක්කේ.. 10 වසරේ ඉඳෙද්දි… අදයි දැන ගත්තේ මම ඒ තරම් ආසා කළ , මගේ හිතිවිලි වල වෙනසක් කල, හිත ශක්තිමත් කර මේ දක්වා ආ ගමනට අඩිතාලමක් උනු ඒ පොත ඔබේ පියා ලියූවක් කියා. ඕ ලෙවල් ඒ ලෙවල් ඉඳලම දිගටම හිත ගැන හොයන එක නවත්තලා නෑ. ඒ කාලේ අධි මානසික විද්‍යාව ගැනත් ගොඩක් කියවලා අත්හදා බැලීම් කර්‍රන්නත් උනන්දු උන කණ්ඩායමක්ම ඒ කාලේ හිටියා. අදනම් නොයෙක් හේතූ නිසා හැමෝම විසිරිලා. සමහරුන්ට හිතන්නවත් බැරි තරම් දරු බර පවුල් බර රැකියා බර…. බොහෝ කලකින් නිදහසේ ලිපි කියවන්න පටන් ගත්තේ.
    ඔබ අසා තිබූනා දවසක් “ලංකාවේ psychopaths ලා ගැන මොකද කරන්නේ කියලා” ඒකෙන් අදහස් කලේ.. ප්‍රතිකර්ම කරන අයුරුද ? ලිපියක් ලියන්නවත් ඉන්ටර්නෙට් ලිපි කියවන්නවත් බැරි වුන නිසා ඔබට පිළිතුරු ලිවීම ප්‍රමාද වුනේ.. ගොඩක් වෙලාවට මෙවැනි අය එක්කෝ පොලිස්සියෙන් අල්ලා අප වෙත ගෙන එන්නන්, නැත්නම් සමාජය විසින් පොලිසියට සහ ඉන්පසු අධිකරණයට ඉන්පසු ඉස්පිරිතාලෙට. මානසික රෝග අංශවල ඕනෑ තරම් එවැනි අය ප්‍රතිකාර ලබමින් ඉන්නවා..නිවැරදි පුනුරුත්ථාපනය සහ ප්‍රතිකාර අවශ්‍යමයි.

    • arunishapiro said, on ඔක්තෝබර් 8, 2011 at 8:24 ප.ව.

      anithkona,

      නංගිත් තාත්තගෙ පොත් කියවපු කෙනෙක් බව දැන ගන්න ලැබීම ලොකු සතුටක්.

      ඔව්, ඒ ඇහුවේ ලංකාවේ තියන ප්‍රතිකර්ම ගැනයි. මට ඒ දවස්වල ලංකාවෙ වාසය කරපු psychopath රෝගී තත්වය ඇති අයෙක් වෙනුවෙන් පවුලේ ඉල්ලීම මත උදව් කරන්න සිද්ධ වෙලා තිබ්බා. දැන් එයාව ඉන්දියාවේ යවලා තියෙන්නෙ. ඒ සිද්ධියේ දී මට දැනගන්න ලැබුණ තරමින් ලංකාවේ ඒ රෝගී තත්වය හඳුනාගන්න හැකි වූ අය ද බෙහෙවින් දුර්ලභයි.

  6. kandyan said, on ඔක්තෝබර් 8, 2011 at 12:48 ප.ව.

    මිනිස් සිතේ හාස්කම් පොත කියෙව්වා වගේ මතකයි. ඉස්කෝලෙ ලයිබ්‍රරි එකෙන් අරගෙන. ආයෙමත් කියවන්න තියෙනවානම් හොඳයි. දැන්නම් අනාවැකි කියන අය වැහිවැහැලා.

    • arunishapiro said, on ඔක්තෝබර් 8, 2011 at 8:27 ප.ව.

      kandyan,

      ආයුබෝවන්! තවමත් පොත් කඩවල් වල විකිණෙන පොත්. දැනට මම දාන සටහන් කියවන්නකො එතකොට මතකය අලුත් වෙලා තව කියවන්න හිතෙයි ද බලමු!!!

  7. The Lion said, on ඔක්තෝබර් 8, 2011 at 4:48 ප.ව.

    ඉතා හොඳ ලිපියක් …..

  8. praveena said, on ඔක්තෝබර් 9, 2011 at 12:13 පෙ.ව.

    ඔන්න මමත් අනාවැකියක් කියනවා. අරුනී ඊලඟට ලියන්ට යන්නේ “සිතින් වැඩ ගන්න හැටි” ගැන… 🙂

  9. praveena said, on ඔක්තෝබර් 9, 2011 at 12:16 පෙ.ව.

    අරුනී ප්‍රශ්නයක් තියනවා. අර පොත් පෙල කියවන්ට රවි කැමතියි කියනකොට ඔයා දීලා තියන උත්තරේ ගැන. ඒ පොත් කීවාම හිනාවෙන්ට බැරිද?

    ඕනේ නැති ප්‍රශ්නයක් ඇහුවද දන්නෙත් නෑ.

    • arunishapiro said, on ඔක්තෝබර් 9, 2011 at 9:40 පෙ.ව.

      praveena,

      රවී උත්තරය දාලා තියනවා, ඒත් හිනාවේ මුල් කොටස මඟහැරිලා … //හෙහ් හෙහ්// කියලා හිනාවෙනවා වෙනුවට මම කැමතියි කිව්වේ ඔයාගේ සටහනක තිබිච්ච //ඊඊඊඊඊඊඊඊඊඊඊ…………….හී හී හී හී හී ………..// කියලා හිනාවෙන්නටයි!!!

      ඒ පොත් කියෙව්වා ම හිනාවෙන්නට බැරි ද පුලුවන් ද කියලා කියවන පුද්ගලයා අනුව තමයි තීරණය වෙන්නෙ. කියවපු කොටසක් දාලා තියන පිළිතුරු මේ බ්ලොගයෙන් හොයාගන්න පුලුවනිනෙ. තවත් කොටසක් ඉන්නවා කියවා දැඩි එදිරිවාදී වූ. ඒ පොත් කියවන්නෙ නැතිව පොතේ තියන ඒවා බොරු කියන අයත් ඉන්නවා. තවත් අය පොත් පිටු පෙරලලා අපොයි අපි මේවා විශ්වාස කරන්නෙ නැහැයි කියන අය. තවත් අයෙක් (දැන් ජීවතුන් අතර නැහැ) අපෝ එයාගෙ තාත්තා අහවලා ද, එහෙනම් පුතේ අරුණි එක්ක තියන යාළුකම අත්හරින්න කිව්වා…. ඒකට නම් මට හිනා ගියේ නැහැ!!!

      ඕනේ නැති ප්‍රශ්න කියලා දෙයක් නැහැ. උත්තර දෙන්න අකමැති ප්‍රශ්නයක් ඇහුවොත් උත්තර නොදී ඉන්න මට පුළුවන් නෙ.

  10. දුකා said, on ඔක්තෝබර් 9, 2011 at 10:02 පෙ.ව.

    අරුණි අක්කේ .. මම ඔයාට ස්කයිප් එකට මෙසේජ් එකක් එව්වා . . වෙලාවක ඒක පොඩ්ඩක් බලන්න . . .

  11. දුකා said, on ඔක්තෝබර් 9, 2011 at 10:06 පෙ.ව.

    අරුණි අක්කේ අපි දෙන්නට ටෙලිපති තියෙනවාද කොහේද?

    නැති නම් එකම දේ ගැන ලියන්න ඕන කියලා දෙන්නටම එකම මොහොතේ හිතන්නේ කොහොමද . . .

    මේ ගැන ලිපියක් ලියන්න හිතලා ඊට කලින් අක්ක එක්ක කතා කරන්න ඕන කියලා ඔයාගේ ස්කයිප් එකට ඊයේ රෑ මෙසෙජ් එක දැම්මේ . . .

    ඊයේ රෑ වෙලාව තිබ්බේ නැති නිසා දැනුයි මේ ලිපිය කියෙව්වේ . . .

    මාරයි . .

    • arunishapiro said, on ඔක්තෝබර් 10, 2011 at 10:02 පෙ.ව.

      දුකා,

      විශිෂ්ඨ මොළ එක විදියට හිතනවා කියලා මගේ නිබන්ධනයක ලියුවේ ගාමිණි හත්තොටුවේගම!!

      එකම දේ ගැන වැඩි දෙනා ලියද්දී අගේ වැඩියි. මම ස්කයිප් යනවා අඩුයි. දුකා මල්ලි ඔයත් ලියන්න, අඩුපාඩු හදා ගනිමින් අපි යමු …

  12. ඉන්දික උපශාන්ත said, on ඔක්තෝබර් 9, 2011 at 10:48 පෙ.ව.

    ඔබේ පියාගෙ පොත් කියෙව්ව වගේම යමක් ඉගෙනත් ගත්ත. තාම ගෙදර මිනිස් සිතේ හාස්කම් පොත් ටිකයි අර රුපියල් පහේ චූටි පොතුයි ඇති!
    හැබැයි ඔබේ පියාව අන්ධානුකරනයෙන් අදහපු අයත් දැක්ක. ඒ වගේම සමහර එකඟ විය නොහැකි දේත් තිබ්බ. කොහොම උනත් පස්සෙ රන්ජන්ල, නාලකල, ප්‍රියංගල ඉස්සරහට ගෙනිච්චෙ එතුම පටන් ගත්ත ටික කියලනං පිළිගන්නව.

    • arunishapiro said, on ඔක්තෝබර් 9, 2011 at 11:36 පෙ.ව.

      ඉන්දික උපශාන්ත,

      ඔව්, සහතිකයෙන් ම අන්ධානුකරණයෙන් ‘අදහපු’ අය එදත් සිටියා, අදත් ඉන්නවා, මටත් හමුවෙලා තියනවා, මාත් පුදුම වෙලා තියනවා!!!

      මා කියවන, හදාරන අනිත් සියලු අදහස් ඉදිරිපත් කරපු අය ගැන වගේ ම, තාත්තා ලියපු කියපු දේවල් වලත් එකඟ නොවෙන අවස්ථා බොහොමයක් තියනවා. ඒත් අනිත් මා කැමති අයගේ ඒ අකමැති දේවල් ගැන වැඩියෙන් ලියා ඵලක් නැතිවා වගේ ම මෙහිදී ද මා ලියන්නේ මා දකින අනිත් අයට වැදගත් වේ යැයි සිතන කොටසයි. අනිත් හරිය කියන්න ඕන තරම් අය ඉන්නවානෙ!!

  13. chandima said, on ඔක්තෝබර් 9, 2011 at 1:44 ප.ව.

    ;Hey so whats happenning in wallstreet?what about police brutality?what about the so called freedom u preach?why r these people r shoutin slogns against capitalsm?

    • arunishapiro said, on ඔක්තෝබර් 10, 2011 at 8:35 පෙ.ව.

      chandima,

      ආණ්ඩුව රටේ ව්‍යවස්ථාව අනුගමනය කරන්නෙ නැත්නම් විරෝධතා දක්වන්න රටේ පුරවැසියන්ට අවස්ථාව තියනවා. Wall Street විතරක් නෙමෙයි අද රටේ වෙනත් නගර වලත් එවැනි විරෝධතා පැවැත්වෙනවා. පසුගිය වසර පුරාත් රට පුරා තේ පාටියේ ඔයිටත් වඩා විශාල ජනකායක් එකතු වූ විරෝධතා පැවැතුනු බව අහන්නට ලැබුනේ නැද්ද?

      ඔව්, නිව් යෝර්ක් සමාජවාදී නගරාධිපති අතින් මෙහෙය වූ පොලීසිය හැසිරිච්ච අන්දම අන්තිමයි .. ඒත් අනිත් රටවල් එක්ක බැලුවම ඇමෙරිකන් පොලිස්කාරයා සෑහෙන්න හොඳයිනෙ !!!!

      මේක ම තමයි නිදහසක් ඇතැයි කියා මා කියන්නෙ: අයිෆෝන් අයිපෑඩ් තියන අයටත් පෙළපාලි යන්න නිදහසක් තිබීම කොතරම් ආශ්චර්යමත් ද?

      අකමැති ඕන දෙයක් ගැන සටන් පාඨ කියන්න අයිතියක් තියෙන්න ඕන. හරි වැරැද්ද දන්නැහැ වුනත්, ධනවාදයෙන් සැප විඳිමින් ඒ ගැන බැන වදින්නත් අයිතියක් තියෙනවානේ!!!!

      තව විස්තර සඳහා කියවන්න:
      reason.com/blog/2011/10/08/reasoncom-on-occupy-wall-stree

      Come gather round people
      come and join your hands
      we’re taking Wall Street
      and we’re making demands
      and we’re heeding the call
      and we’re crying for help
      only 1% of us have wealth

      but first we need posters
      we need to make signs
      but to do so it seems
      that we need some supplies

      We need poster board
      I can’t make it myself
      but it’s 10 cents a sheet
      at the store it’s on sale
      an example of economies of scale
      it’s so evil

      They’re saying that freedom
      has done little to stop
      Corporations from keeping
      the wealth at the top
      But at what point in history
      would a kid and a king
      both have clean water to drink?

      George Washington was
      the richest man of his age
      But he lost all his teeth
      at a very young age
      Because they didn’t have Scope
      and they all crapped in trays
      we’re not wealthy?

      now there’s fountains on streets
      from which clean water pours
      Four dollar generics
      at all big box stores
      a sultan and student
      both have iPhone 4s
      it’s not fair

      Come gather young people
      come on everyone
      and I’ll tell you a tale
      of a fortunate son

      He’s born in a country
      and given vaccine
      and rendered immune
      to all kinds of disease
      the Kardashians are on
      all his TVs
      it’s not perfect

      Banks don’t need bailouts
      on that we agree
      so let’s start up a group
      and let’s take to the streets
      because if we do that then
      you know what that means
      we’re racist.
      [End]

      http://www.youtube.com/watch?v=4QTfNEDgusQ&feature=player_embedded

  14. හීනියට said, on ඔක්තෝබර් 10, 2011 at 6:46 පෙ.ව.

    මිනිස් හිතේ හාස්කම් පොත දැනුත් තියෙනව කාමරේ…….ගොඩාක් පිං කිව්ව ඕං තාත්තල දුවල දෙන්නටම…

  15. prasad wijerathna said, on නොවැම්බර් 25, 2015 at 7:38 පෙ.ව.

    සුමනදාස සර් ගේ ජීවිත කතාවක් ලියන්න අක්කේ


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: