හිතට බොරු කියා හිතෙන් වැඩ ගන්න බැහැ
සිතෙන් වැඩ ගන්න නම් සත්‍ය ලෝකය හමුවේ විචාරය මෙහෙයවිය යුතුයි. සිතෙන් වැඩ ගන්න හැකි යැයි කියා දෙන බොහොම පිරිසක් හිතේ ස්වභාවය කියා දෙන්නෙ නැහැ. වාහනයක් පදවා ගෙන යන්න නම් වාහනයේ ස්වභාවය දැනගන්න ඕනා. වාහනය හදපු ඉංජිනේරුවා වෙන්න ඕන කියනවා නෙමෙයි. වාහනය වැඩ කරන හැටි ගැන දැනුමක් තියෙන්න ඕන. දැනුම වැඩි තරමට වාහනෙන් කාර්යක්ෂම ව දිගු කාලයක් වැඩ ගන්න පුලුවන්. වැඩ කරන බල්ලෙක් නොවූවත් සුරතලයට හදා ගන්න බල්ලාගේ ද ස්වභාවය දැන ගැනීමෙන් බල්ලා සුරතල් කරන්නාට වැඩි වාසියක් ලැබෙනවා.
මිනිස් හිතත් එහෙමයි. ඒ ගැන අවබෝධයක් නැතිව අරයා කියන විදියට සහ මෙයා කියන විදියට හිතෙන් වැඩ ගන්න යන අය අන්ධානුකරණයේ යෙදෙන්නෝ වෙන නිසා හිතෙන් වැඩ ගන්න හැකියාව දුර්වලයි.
ඉතින්, මිනිස් සිතට ලැබෙන දත්ත සංකල්ප බවට හරවන්නෙ විචාරය බව කළින් සටහෙනන් කිව්වානේ. සංකල්ප වලින් අප අවබෝධ කරගන්නේ ලෝකයයි. හිතෙන් වැඩ ගන්න නම් සත්‍ය ලෝක ස්වභාවය කුමක් දැයි හඳුනාගන්න ඕනා.
ප්ලේටෝ කීවේ රූපක (Form) නම් වූ ‘තවත් ලෝකයක’ සත්‍ය පවතින බවයි. අපට ශුද්ධ විචාරයෙන් (pure reason) ඒ රූපක අවබෝධයට හැකියාව ලැබෙන බවයි. ප්ලේටෝගේ ගෝලයෙක් වූ ඇරිස්ටෝටල් කියන්නේ පවතිනුයේ සත්‍ය ලෝකයක් පමණක් බවයි. අපි ඉන්නේ ඒ ලොව මැද්දේ යැයි ඔහු කියයි.
රූපක (Forms) වනාහී යම් යම් වස්තු වල සාරය (essence) නම් සාරයට කොහොම ද ඒ වස්තු වලින් බැහැර ව පවතින්න හැකි? ඒ වස්තු වලට හේතුව සාරයයි. ඒ නිසා ඒවා වෙනත් ලොවක පවතිනු නොහැකියි.
අයිඩියල් බල්ලා යන සංකල්පයෙන් අප අවබෝධයක් ලබන්නේ බල්ලා යන රෑපකය නොව බල්ලා යන වස්තුව යි. ඒකීය වූ බල්ලන් සෙවනැලි පමණක් නොවෙයි. ඒවා බල්ලා යන වස්තු වෙයි.
වස්තුවක ඇති රූපකය යනු එය කුමක් දැයි කීම ය. කිසි දා බල්ලෙක් දැක නැති කුඩා දරුවෙක් බල්ලාට ඇඟිල්ලක් දිගු කර “ඒ මොකක් ද?” යැයි අසයි. රූපකය යනු ඒ මොකක් ද යැයි කීම ය. එනම් “ඒ බල්ලෙක්.” රූපකය නම් වස්තුවක සාරයයි. එහි ස්වභාවයයි. එය වැඩ කරන හැටි (function) ගැන වූ විස්තරයකි.
බල්ලා යන රූපකයට අයිති වන ලොව සියලුම බල්ලෝ අතර ඒකීය බල්ලා සුවිශේෂී ය. ලොව බල්ලෝ දෙදෙනෙක් කිසිදාක එක හා සමාන වූවන් නොවෙති. අනිත් වස්තු ද එසේම ය. ඒ ඒ වස්තුවට අනූපම (unique) වූ දැය ඇරිස්ටෝටල් විසින් හඳුන්වන්නේ “this-ness” යන සංකල්පයකිනි.
අපි ලෝකය තුල ජීවත්වන නිසා අපට වෙනත් තැනක තියන සත්‍ය නොව අවශ්‍ය වන්නේ අප ඉන්නා ලෝකයේ සත්‍ය කරා ළඟා වීමට යි. මිනිසාට සුවිශේෂී වූ විචාරයෙන් හැකියාව ලැබෙන්නේ ඥාන විභාගයක් තුලින් ඒ සත්‍ය කරා ළඟා වෙන්නට ය. තවත් විදියකින් කිව්වොත් බුද්ධියෙන් වටහා ගත හැකි ලෝකය හුදු රූපක වලින් යුතු නොවේ. එය ‘හොඳ’ යන්නට ළඟා වෙන්න දරණ උත්සාහයක් පමණක් නොවේ. එය දැන් මේ ලෝකයේ සිටිය දී ම ‘හොඳ’ කරා (විචාරයේ උදව්වෙන්) ළඟා විය හැකියාව මිනිස් සිතේ ස්වභාවය වීමක්.
හිතෙන් වැඩ ගන්න නම්, සාරය අඩංගු සුවිශේෂී වස්තු අවබෝධයට අපි විචාරයට ලක් කරන ප්රස්තුත (premises) මොනවාදැයි සැලකිල්ලට ගත යුතුයි. දුර්වල ප්රස්තුත වලින් ලැබෙන්නේ දුර්වල වූ නිගමන. හොඳ ප්රස්තුත වලින් අපට නිවැරදි නිගමන වලට එළඹෙන්නට හැකි වෙයි.
කාට කිව්වත් හිතට බොරු කියන්න බැහැ කියලා අහලා ඇතිනෙ. හිතන්න ඇහැකි පුද්ගලයා ගැන වැඩියෙන් ම දන්නෙ ඒ හිතන්න පුලුවන් හිත ම තමයි!!! හැම වස්තුවක් ම සුවිශේෂීයි. ඒකීයයි. නමුත් මිනිසාට පමණක් විචාරයට/හිතන්න හැකි හිතක් තියනවා. පුද්ගලයා ඒ ඒකීය වූ පුද්ගල සුවිශේෂී විචාරයට ඇති හැකියාව බැහැර ලා හිතෙන් වැඩ ගන්න වෑයමක් දරනවා නම් කරන්නේ හිතට බොරු කිරීමක්. අපි හිතන දේවල් විචාරයට ලක් වෙනවා ද දැන ගැනීමට අපි භාවිතා කරන්නෙ ප්රස්තුත.
දත්ත වලින් සංකල්ප හදා ගන්නා විචාරය භාවිතා කළ යුත්තේ හොඳ ප්රස්තුත.
බල්ලෝ සුවිශේෂී වූ ඒකීය වූ වස්තු. ඒත් උන්ට විචාරයට හැකියාවක් නැහැ. මිනිසාට විචාරයට හැකියාවක් ඇති නිසා හොඳ ප්රස්තුත සොයා යෑමත් ඒකීය වූ වෑයමක්.
/ ඒ ඒ වස්තුවට අනූපම (unique) වූ දැය…./
සමාවෙන්න අරුණි, ” අනූපම ” ට වඩා මෙතනට ගැලපෙන්නෙ මට හිතෙන්නෙ ” ආවේණික ” කියන වචනෙ …..අනූපම කියන්නෙ උපමාවක් නොමැති (Incomparable),
ප්රස්තුතය = Perception නෙවෙයිද?…..Premises කිව්වම පරිශ්‍රය නැත්නම් භූමිය කියන අර්ථයකුත් තියෙනවා
Ravi,
ආවේණික වූ දේවල් (hereditary) දෙදෙනෙක් අතර තියෙන්න පුලුවන්. ඒත් අනූපම දැයක් ඔයා කිව්වා වගේ ම උපමාවක් නැති (Incomparable) අර්ථය නිසා ඒ පුද්ගලයාට පමණක් විශේෂිත වූවක්. බල්ලෝ අතර එක එක විශේෂ දස්කම් වලට ආවේණික වූ කුසලතා ඇති බල්ලෝ ඉන්නවා. ඉව අල්ලන්න දක්ෂ, සත්තු ගාල් කරන්න දක්ෂ යනාදී. ඒත් ඒ ආවේණික කුසලතා ඇති බල්ලෝ අතර ද හැම බල්ලා ම එක හා සමාන කුසලතා වලින් යුතු නැහැ. ඒකීය බල්ලෙක් ගත්තම ඌ අනූපම වූ, වෙන කිසිම බල්ලෙක්ට සමාන කළ නොහැකි, ඌට ම පමණක් විශේෂිත වූ ලක්ෂණයන් වලින් වූවෙක්.
සමහර විට රවි ඔයාට ඊ ළඟ සටහන කියවද්දී වැටහෙන්නත් ඇති ප්රස්තුත මොනවා දැයි කියලා. Perception කියන්නේ අවබෝධයක්. ඒකට එන්නයි ප්රස්තුත අවශ්‍ය වෙන්නෙ. තර්ක ශාස්ත්රයේ දී ඒක භාවිතා වෙන්නෙ ඒ විදියට.
සමාවෙන්න, වැරදීම මටයි…..Premises වචනෙ තර්ක ශාස්ත්‍රානුකූල අර්ථය මට හමුවුනේ නැහැ…..දැන් පැහැදිලියි,
නියමයි …………:D
The Lion,
ස්තූතියි.
අගෙයි!
dayal-bathee,
ඔයාටත් ස්තූතියි.
තේරුනේ නැති උනාට කමක් නෑ….එළ……
ඔබ නොදුටු ලොවක්,
😀
මනස සඟරාවේ කතෘ සුමනදාස සමරසිංහ මහතා ඔබේ පියානන් ද?
මේ පුද්ගලිකත්වය අවුස්සනවා නොවේ..එහෙත් එකල එතුමා කුමක් කලාදැයි මා නොදනි..
අද එතුමන්ගේ නම විකුනා විවිධාකාරයේ සෙල්ලම් දමන මනස සඟරා වත්මන් කතෘ මන්ඩලය මට දිරවන්නේ නැත..සමාරවිට ඒ ඔබේ නෑ කෙනෙක් වෙන්ටත් පුලුවන්..
indika27,
ඔව්, සුමනදාස සමරසිංහ මගේ පියා. ඔහු මුලින් ම පටන් ගත්ත පත්තරයේ නම ‘චිත්ත ධර්ම විද්‍යාව’. පස්සෙ 80 ගණන් වල අග දී තමයි ‘මනස’ යන සඟරාව පටන් ගන්නෙ අනික නවත්තලා. ඔහු මිය ගියාට පසුව කුරුණෑගල සාන්ත ජයසුන්දර නැමැති අය විසින් මනස සඟරාව කරගෙන යන්නෙ. ඔහු නෑදෑයෙක් නෙවෙයි. තාත්තාගේ ගෝලයෙක්. මම 2004 දී විතර මනස ට ලිපි ලිව්වා. ඒත් සඟරාව ඉතා දුර්වල මට්ටමක තියෙන්නක් නිසා, එය මට වෙනස් කරන්නත් බැරි නිසා!! මම ලිපි ලියන එක නැවැත්තුවා.
ඔබ ඔහුුගේ දුවනිය නම් ඒ සියලු පොත්පත්වල අයිතිය තිබෙන්නෙ ඔබට..එහෙම නැතුව ගෝලයට නෙමෙ…ඔබ පියා විසින් පලකල පොත් 15-20ක පමණ අයිතිය ඔහුගේම(සාන්ත) කියල හිතන් ඉන්නව කියලමං දකින්නෙ…
කොහොම උනත් ගෝලයෙක් උනත් ඔබේ පියා දැන් ජීවතුන් අතර නැති නිසා ඔබට අයිතිය තියෙනව පියාගෙ නම විකුනන එක නවත්තන්න..
නැත්තං මං වගේ මනස සඟරාව අද ඊයෙ දකින අය හිතන්නෙ සාන්ත ජයසුන්දර වගේම ඔබේ පියත් මහ මොංගල් අදහස් තියෙන ජනප්‍රිය ධනාත්මක චින්තන ප්රවාහයට අයිති කෙනෙක් කියල…
indika kumara,
නැහැ ඉන්දික කුමාර, නීතියෙන් ඉන්න දරුවෝ හතර දෙනාට අමතර තාත්තා පියා වූ තවත් දරුවෝ ඉන්නවා!!! අවසන් කැමති පත්‍රයෙන් තාත්තා සිය බුද්ධිමය දේපල අයිතිය පවරලා තියෙන්නෙ මගේ නංගිට. පියාගේ මරණයෙන් පසු දේපල අයිතීන් ඉල්ලා සටන් වැදි බොහෝ පිරිසක් නඩු මඟට පිවිසුනා. ඔවුන් අතර මා සිටියේ නැහැ.
මහජන කටයුතු කරගෙන ගිය අයකුගේ උත්සාහයක් ඉදිරියට ගෙන යෑම මහජනයා අතර ඕනෑම කෙනෙකුට තියන අයිතියක්, ඒක මගේ අයිතියක් පමණක් නෙමෙයි. මනස සඟරාව හැරෙන්නට තවත් ගෝලයන් රටේ තැන තැන නොයෙක් විදියේ සංවිධාන පවත්වා ගෙන යනවා. මනස වැඩියෙන් ම ප්‍රසිද්ධ වූව පමණයි.
සාන්ත ජයසුන්දරටත් තාත්තාටත් එකම ආකාරයක “මොංගල් අදහස්” තියනවා කියල පෙනුනට හොයා බලන්න අයෙක් උත්සාහ කෙරුවොත්, ඒ කියන්නෙ මනස සඟරාවේ සාන්ත ජයසුන්දර ලියන ලිපි හා මිනිස් හිතේ හාස්කම් පොත්වල තාත්තා ලියූ දේවල් කියවා බැලුවොත් වෙනස වැටහෙයි. ඒක වටහා දීම මගේ කාර්ය භාරයක් නොවෙයි. දැනුම සොයා යන්නා විසින් කළ යුතු කාර්යයක්. නැත්නම් මට ලෝකේ තියන හැම මොංගල් (හරි ලස්සන වචනයක් ඉන්දික, කියා දුන්නට ස්තූතියි, ඒක ශබ්දකෝෂයක නැහැ!!!) අදහස් ගැන ම හෙළි කරන්න ජීවිතේ ම වැය කරන්න වෙනවා. තාත්තාගේ පමණක් නෙමෙයි ඇරිස්ටෝටල්ගෙ අදහස් ද වෙනස් කරලා පොත් ලියැවිලා තියෙනවා. ලියන්නාගේ කැමැත්ත පරිදි තවකෙක් ලියූ කියූ දැයක් තවත් විදියකට කියන්න අයෙකුට ඇති අවස්ථාව කවදා වත් තමන්ට උවමනා වූ පමණින් පාලනය කරන්න බැරි වෑයමක්. මට පාලනය කරගත හැක්කේ මම බාරගන්නේ මොකක් ද කියන්න පමණයි.
මමත් දැකලා තියෙනවා .. ටික කලෙක සිට බස් රථවල පවා ”මනස” සඟරාව විකුණනවා. ඒවා ඔබේ පියා ගේ බව දැනගෙන හිටියා[ඔබේම ලිපි කියවීම නිසා]
වරක් මම ඇහුවා විකුණන්නෙකුගෙන් .. මේවා අහවලාගේ නේද කියා. ඔහු කිව්වා ” ඔව්.. ඒ ගොල්ලො තමයි මේක අලුතෙන් කරන්නෙ” කියලා. ඊට පස්සෙ මම ඇහුවා .. එතුමා දැන් මිය ගිහින්නෙ.. එතුමගෙ ගෝලයොද කරගෙන යන්නෙ කියලා.
ඔහු ඒකට හිනාවුනා පමණයි .. පිළිතුරු දුන්නෙ නෑ.
මම මේ බව ඔබට දන්වන්න හදලත් එය මට අයිති දෙයක් නොවේය යන හැඟීම නිසා නිකම් සිටියා.
නමුත් ඉන්දික ගෙ කමෙන්න්ට් එක දැක්ක නිසා ලියන්න හිතුනා.
kumaraya,
මම දන්නවා මනස සංවිධානයේ හා මනස සඟරාවේ සිද්ධ වෙන්නේ මොනවාදැයි කියා. ඒත් ඒවා තාත්තාගේ ගෝලයෝ කරගෙන යන දේවල්. තාත්තාගේ බුද්ධිමය දේපල අයිති අවසරය ඔවුනට අවශ්‍ය නැහැ. ඔවුන් කරන සමහර දේවල් වටිනාකමක් ඇති ඒවා. සමාජීය අවශ්‍යතාවයකට ඇති ඉල්ලුමක් සපයන්න ඒ සංවිධානය නැත්නම්, ඒ සඟරාව නැත්නම් තවත් කවුරු හරි එවැන්නක් පටන් ගනිවී.
‘මනස’ සඟරාවේ මොනවා තිබුණත් ඒක කියෙව්ව පමණින් හිත දියුණු වෙනවා යැයි හිතන අයත් ඉන්න නිසා මොනවා කරන්න ද?!!!!
හොඳටම කල්පනා කරන්ට ඕනි ලිපියක්. කෑම මේකට ආදේශ කරගන්ට හැකියාවක් නෑ. රූපකයක් ගැන අහලා තීරනයක් ගන්නවාට වඩා, වස්තු සාරය අවබෝධ කරගැනීම වැදගත් බව තේරුනා. විචාර බුද්ධියෙන් වටහා ගත්තා කීවා නම් හරි. අමාරු පාඩමක්නේ. ඒ උනාට සරල බසින් ඉදිරිපත් කිරීම නිසා ටිකක් තේරුම් ගැනීම පහසු උනා… 🙂
praveena,
ඉතා සතුටුයි පොඩි කුමාරිහාමි!!!
හිතට බොරු කිරීම…..
ඉතා අමාරුවෙන් ලබාගත්ත මේ මනුස්ස ජීවිතය පුරාවටම සමහර අය සිදුකරන්නේ තමන්ගේ හිතට බොරුකරන එක. එත් මිනුස්සු බොහොමයක් උත්සහ කරන්නෙ අනිකෙකුට උගන්වන්න හිතෙන් වෑඩගන්නා විදිය සහ එය තමාගේ විශේෂ හෑකියාවක් ලෙස පෙන්වීමට.
සිත ක්‍රියාකරන රාටාවත් එහි හෑසිරවීමත් හදුනා ගෙන එය පාලනය කරමින් සහ යහපත් ලෙස හසුරුවා ගනිමින්, මනස උසස් සත්වයන් ලෙස ජීවත් වන්නන් සමග ඈසුරු කීරීමට වාසනාව කොපමනක් අපට ඈත්ද?.
ලියන්න ඔබේ උපරිමයෙන්. අදහස් එකතු නොකලත් ජීවිතයට එකතු කරගන්නා දෑනුම නම් බොහෝමයි.
asela,
//ඉතා අමාරුවෙන් ලබාගත්ත මේ මනුස්ස ජීවිතය පුරාවටම සමහර අය සිදුකරන්නේ තමන්ගේ හිතට බොරුකරන එක// මේක ගැන හිතලා දවසක් කෑ ගහලා අඬන්න තරම් දුක හිතුනා.
“දවසක් කෑ ගහලා අඩනවා යනු” අපේ සිත අපේ පාලනයෙන් නෑති බව සහ එහි රටාව අප හදුනාගෙන නොමෑති බවයි. එම හෑසිරීම මණස උසස් සත්වයෙකුට නොගෑලපෙන බවයි මගේ අදහස.
අවට ලෝකයේ සිදුවන වෙනස් වීම් වලට සාපේක්ෂව අපගේ සිත අපේ පාලනයෙන් මිදෙනවා යනු සරළ කාරනා බොහෝමයක් අප මගහෑර ඈති බවම නෝවේද?
asela,
සිත පාලනය කරගන්නවා කියන්නෙ සිත ගල් කරගෙන හැඟීම් වලට ඉඩ නොදී සිටීම නෙමෙයි. එතකොට ඒක මිනිස් සිතක් වෙන්නෙ කොහොම ද? මිනිස් සිතක් නම් හැඟීම් වලින්, ආවේග වලින් පිරුණ එකක්. මනස ගැන අවබෝධයක් ඇත්තාට ඇති, ඒ ගැන අවබෝධයක් නැති අය අතර තියන වෙනස තමයි සිතට එන ආවේග, හැඟීම් හඳුනා ගන්න හැකියාවක් තිබීම. ඒවා හට ගත්තේ මන්ද යන්න විමර්ශනය කරන්නට කුසලතාවයක් තිබීම. මිනිස් සිතට අහිතකර වූ ආවේග හා හැඟීම් වලින් දුරස් වෙන්නට හැකියාවක් වර්ධනය කරගැනීම. නමුත් හැඟීම් හා ආවේග එන එක නතර කරන්න පුලුවන් යැයි කියද්දී එතැන මිනිස් සිතක් ඇත්දැයි ගැටලුවක්.
//අවට ලෝකයේ සිදුවන වෙනස් වීම් වලට සාපේක්ෂව අපගේ සිත අපේ පාලනයෙන් මිදෙනවා යනු සරළ කාරනා බොහෝමයක් අප මගහෑර ඈති බවම නෝවේද?// මේ ප්රශ්නය මට හරියට වටහා ගන්න බැහැ. තවත් විදියකින් ලියන්න පුලුවන් ද?
සිතට එන සිතුවිලි නවතා දෑමීම නොවේ මම අදහස් කලේ. අපට දෑනෙන බොහෝ සිතුවිලි එකිනෙකට වෙනස්. එම සිතුවිල්ලක් නිසාම වන තවත් සිතුවිලි ක්‍රියාවලියක් ඈතිවිමෙදී, එම ක්‍රියාවලිය පාලනය කීරීමේ කුසලතාවයක් අප ගොඩනගා ගතයුතු නොවේද?
මම තේරුම් ගෙන ඈති අකාරය අනුව නම්, අප අතර බොහෝ අය භාහිර ලෝකයේ සිදුවන බොහෝ සිද්දීන් වලට සාපේක්ෂව ඉතා ඉක්මනින්ම තමන්ගේ අරමුනු හා සිතුවිලි ක්‍රියාවලියන් වෙනස් කරගන්නවා. මෙයයි මා අදහස් කලේ. මට දෑනෙන අකාරයටනම් ඈත්තේ එකම රටාවක්. එය අප ඉදිරියට පෑමිනෙන ස්වරූපය වෙනස් වීමක් පමනක් ඈති බවයි
asela,
//සිතට එන සිතුවිලි නවතා දෑමීම නොවේ මම අදහස් කලේ. අපට දෑනෙන බොහෝ සිතුවිලි එකිනෙකට වෙනස්. එම සිතුවිල්ලක් නිසාම වන තවත් සිතුවිලි ක්‍රියාවලියක් ඈතිවිමෙදී, එම ක්‍රියාවලිය පාලනය කීරීමේ කුසලතාවයක් අප ගොඩනගා ගතයුතු නොවේද?// ඔව්, පැහැදිලි ව ම. ඒත් ‘පාලනය’ යන්නට වඩා ‘හසුරැවා ගැනීම’ හෝ ‘මෙහෙයවීම’ යන වචන වඩා සුදුසු වේවි.
//මම තේරුම් ගෙන ඈති අකාරය අනුව නම්, අප අතර බොහෝ අය භාහිර ලෝකයේ සිදුවන බොහෝ සිද්දීන් වලට සාපේක්ෂව ඉතා ඉක්මනින්ම තමන්ගේ අරමුනු හා සිතුවිලි ක්‍රියාවලියන් වෙනස් කරගන්නවා. මෙයයි මා අදහස් කලේ. මට දෑනෙන අකාරයටනම් ඈත්තේ එකම රටාවක්. එය අප ඉදිරියට පෑමිනෙන ස්වරූපය වෙනස් වීමක් පමනක් ඈති බවයි// ඊ ළඟට දාපු සටහනින් මේ ගැන තව පැහැදිලි කරන්න වෑයමක්. මෙතැන දී ඉක්මණින් වෙනස් කරගන්නේ “තමන්ගේ අරමුණු හා සිතුවිලි” ද කියා විමසිල්ලට භාජනය කළ යුත්තක්.
අරුණි, මම මේ ටිකේ ලිපි හැම එකම කොහොම හරි කියවන්න බලනවා, නමුත් කාලය නම් මට ටිකක් හරස්වෙනවා. ඒ උනාට ඉඩලදවිට කොහොම හරි කියවනවා. මනස සඟරව දැන් කරන කෙනා රූප මාධය්යට එනවා. කිසිම පෞර්ශයක් නෑ. වැදගැම්මක් ඇති දෙයක් නැති වල්පල් ඇදබාල යනවා. මම දැන් බලන්නේ නෑ. නමුත් ඔයාගේ තාත්තාගෙ නම විකුණන බව හැගෙන්නෙ, අසන්නන් ගේ ප්‍රශ්ණවලට දෙන පිලිතුරු අනුවයි. කනගාටුයි, ඒ ගැන. ගෝලබාලයො නිසා කරන්නට දෙයක් නැතුව ඇති. මගෙ මහත්තයා එක උදාහරනයක් ඔබේ පියාගේ පොත් අනුගමනය කරපු. පාසැල් කාලයේ බොරැල්ලේ පොත් සාප්පුවකින් ගත් මිනිස් සිතේ හාස්කම් පොත් තාම ආදරෙන් තියා ඉන්නවා. කොයිම වෙලාවකවත් හිත වට්ටා ගන්නේ නෑ. ව්‍යාපාර ලෝකයේ මෙපමණ දුරක් ඔහු ආවේ ඒ ශක්තියෙන්. අද ඉන්නා තැන ගැන මම අවංකව සතුටු වෙනවා. මම විවාහ වෙන කොට ඔහු අතේ තිබුනේ ඉතාම සුලු මුදලක් පමණයි. නමුත් ස්ව උත්සාහයෙන් ඉහලට යන්න ශක්තියක් උනේ ඒ ලබාගත්ත දැනුමයි. හරියට තමන් විශ්වාස කරනවා. හරිදේ හැම විටම කරනවා. ධර්මයේ හැසිරෙනවා. වංචා කිසිවෙකුටත් කරන්නේ නෑ. ඒ අර කුඩා කල ලබපු ආභාෂයයි. පොත් පෙල ගොඩාක් ප්‍රයෝජන උනා කියල නිතරම කියනවා. ලඟක් වෙනකල් හඳහන් විශ්වාස කලා. 2001 දී විතර ඒවාත් අත්හැරියා. දැන් ඔනේම දෙයක් කරන්නෙ එයාට හොඳයි කියල හිතෙන වෙලාවක් යොදා ගෙනයි. හිතට නිතරම commands දෙනවා තමන් කරන්න යන වැඩය ගැන. භාවනා කිරීමෙන් ලබන දැනුමත් ඉවහල් කරගන්නවා දෙයක් සිතට දා ගනිත්දි. මටත් නිතර කියනවා එලෙස කරන්න. මම ඒ විදිහට පුරුදු වෙලා නෑනෙ. ඔබේ පියා ඉන්න තැනකින් මේ පින් අනුමොදන් වෙයි කියල එතුමාට පින් දෙනවා.
chandi,
පාර්ලිමේන්තුවේ අයටත් හිතෙන් වැඩ ගන්න හැටි කියලා දුන්නා කියල ආරංචියි. දැන් පේන්න තියෙන්නෙ ඒ විදියට වැඩ කරන හැටි ද කියලත් හිතුනා!!! ස්තූතියි චාන්දි අක්කා ඔයා සහ ඔයාගේ මහත්තයා වැනි අය හරියට වටහා ගෙන එයින් ප්‍රයෝජනයක් ගන්න බව ඇසීම දැඩි සතුටක්!
lipipela ithama mama manasa sngarawa 2007 sita me wena thuru balanawa namuth samahara welawata ekama de thamai
liyawenne mama sumanadasa samarasinghe uthumata garu karanawa .ethumage sangara pilibnda vistharayak mata mail karanawanam sthuthi.
ඔබේ ඉල්ලීම අදාල අය වෙත යොමු කළා, ඔබට ඊමේල් පිළිතුරක් එයා එවාවි.