ඔබේ විශ්වය කොහොම ද?
පුද්ගලයෙක් හැම දෙයක් දිහා ම බලන්නේ තමන් කෙන්ද්‍රීය වූ තැනක සිට. රෙනෙ ඩෙකාට් කිව්වා වගේ හිතන්න පුළුවන් හැම පුද්ගලයාට ම විශ්වයේ එකම එක දෙයක් ගැන සම්පූර්ණයෙන් නිසැකව දත හැකියි. ඒක තමයි තමන් ඉන්න බව. ඒ නිසයි ඩෙකාට් ‘මම හිතනවා, ඒ නිසා මම ඉන්නවා,” (cogito ergo sum) කිව්වෙ. වැඩි දෙනෙකුට හිතන එක ගැන වැඩි වැටහීමක් නැති නිසා “මට මහන්සියි, ඒ නිසා මම ඉන්නවා,” කියලත් පාවිච්චියට ගන්නවාලු, ඒත් එහෙම ලතින් වලින් ලියන්නෙ කොහොම දැයි මම දන්නෙ නැහැ!!!
‘මනෝ පුබ්බංගමා ධම්මා’ කියන හැම ධර්මයකට ම සිත මුල් වන බව කියද්දී ත් ඒ කියැවෙන්නෙ වෙන කාගේවත් හිතක් හෝ විශ්වයේ තියන හිතක් ගැන නෙමෙයි. යමක් හිතද්දී ඒ ගැන හිතන ඒ පුද්ගලයාගේ හිත ගැනයි. මහන්සිය දැනෙන පුද්ගලයා ගැනයි. හිතන්න පුළුවන් මිනිස් සිත ගැනයි.
විශ්වය ගැන මා දැනගන්නේ මගේ සිතෙන්. දත්ත එකතු කරලා විචාරයෙන් සංකල්ප හදා ගනිද්දී මා භාවිතා කරන්නේ වෙන කාගේ වත් හිතක් නොව මගේ හිත යි. ඉතින් වෙන කිසිවකුට වඩා ‘මගේ විශ්වය’ දැන ගන්නට හැකියාව ඇත්තේ මට ම පමණයි. එක හා සමාන සදාචාර වූ අගයන් තියන අය වුවත් ඒ සමාන වූ අගයක් කරා යන්නෙ ඒකීය පුද්ගලයා විසින් සිතන විදිය අනුව.
දත්ත කොච්චර එකතු කරගෙන අප ඉදිරියේ තිබුණත් ඵලක් නැහැ ඒ දත්ත වලින් සංකල්ප ගොඩ නඟා ගන්න දන්නෙ නැත්නම්. සංකල්ප ගොඩ නඟන්න අපට උපකාර වෙන්නෙ තාර්කික ක්‍රියාවලියක්.
තර්ක ශාස්ත්යේ වැදගත් වූ ඉදිරිපත් කිරීමක් ලැබෙන්නෙ ඇරිස්ටෝටල් වෙතින්. ඔහු කියා දුන් (syllogism) විදියට තාර්කිකව හිතන්න අපිට යම් ප්‍රස්තුතයක් (premise) එනම් යම් මූලික වාක්‍යයක්, ඒකට සාධ්‍ය අවයවයක් කියලත් කියනවා, අවශ්‍යයයි. ඒකෙන් තමයි අපිට නිගමනයට නැත්නම් අපි අන්තිමේ දී මෙන්න මේක තමයි ප්‍රාප්ත වූ හරි උත්තරය කියන තැනට යන්න ආරම්භයක් ලබා දෙන්නෙ. අර මූලික ප්‍රස්තුතයට අමතර ව, විස්තරාත්මක වූ වාක්‍යයක් (proposition) නැත්නම් පක්ෂ අවයවයක් ද අවශ්‍ය වෙනවා නිගමනයට (conclusion) එළඹෙන්න.
රෙනෙ ඩෙකාට්ගේ ප්රස්තුතය නැත්නම් සාධ්‍ය අවයවය තමයි “මම හිතනවා” යන්න. නිගමනය තමයි “ඒ නිසා මම ඉන්නවා” යන්න.
මිනිස් සිතේ ස්වභාවයක් තමයි තාර්කික බව. පුංචි දරුවෝ තාර්කික වූ අදහස් ගෙනහැර පාන අය. ඒක එහෙම නම් මෙහෙම වෙන්නෙ කොහොම ද කියලා බය නැතිව අහන අය. වැඩිහිටියෝ ‘ඒක එහෙම වෙන්නෙ මම ඒක එහෙමයි කියන නිසා’ කියලා ඒ තාර්කික බව නැති කර දමනවා. අන්තිමේ දී ඉතුරු වෙන්නෙ තාර්කික බව නැති වී ගිය අනුන් කියන නිසා පිළිගන්නා අය. ඒ අය තමයි යම් සංවාදයක දී තාර්කික වෙන්නෙ කොහොමදැයි නොදැන පුද්ගලිකත්වය ඇදගෙන, හාස්‍ය පිරි නැත්නම් අවඥා සහගත වූ ප්රස්තුත ඉදිරිපත් කරන්නෙ. කතාබහක දී නම් එන්න එන්න ම ඒ අයගේ කටහඬේ සද්දය ඉහළ යනවා. තවත් සමහරු ඉන්නවා අඬන්නත් පටන් ගන්න!!!
අපි හිතන කොට අපි හිතන්නෙ ප්රස්තුත වලින්: “අනේ එයා හරි හොඳ ළමයා.” ඒ ප්රස්තුතය හැදෙන්නෙ අපි එකතු කරන දත්ත වලින් අමුණා ගත්තු සංකල්ප වලින්. අපි දකිනවා ඒ ළමයා අපි හොඳ යැයි අල්ලා ගත් සංකල්ප (ක්රයාවන්) වල යෙදෙනවා: ඒ ළමයා වයසක අයෙක් දැක්කම නැඟිටලා සීට් එක දෙනවා! මිනිස් සිතක් ඇත්තාට පමණක් (සත්තුන්ට සංකල්ප නැති නිසා) තමාගේ විශ්වය අවබෝධයට (තමා වටා සිද්ධ වෙන්නෙ කුමක්දැයි වටහා ගන්න) මෙවැනි ප්රස්තුත අවශ්‍යයි. ඒ ප්රස්තුත හදා ගැනීමෙන් තමයි මිනිසාගේ ජීවිතය ආරක්ෂා වෙන්නෙ. වයසක අයෙක් ව තල්ලු කරලා දාලා සීට් එකේ වාඩි වෙච්ච අයෙක් දැක්කාම අපි “අනේ එයා හරි හොඳයි” කියන ප්‍රස්තුතයට එළඹෙනවා ද?!!!
සත්‍ය ලෝකයේ දේවල්, මගේ විශ්වයේ දේවල් ගැන මම බොරු ප්රස්තුත හදා ගත්තොත් මගේ පැවැත්මටයි පාඩු සිද්ධ වෙන්නෙ. දත්ත එකතු කර, තාර්කික වූ ප්රස්තුත විග්රහයකින් පසුව මම අමුණා ගන්නා (විචාරයෙන්) සංකල්පය සත්‍යයක් නොවන්නේ නම් පාඩුව කාට ද?!!!
මගේ විශ්වය අවබෝධයට, මගේ හිතෙන් වැඩ ගන්න මට බැහැ මගේ ප්රස්තුත දෝෂ සහිත නම්. මොකද වෙන කවුරුත් පිළිගන්න ඕන නැහැ මගේ හිත ම දන්නවා ඒවා දෝෂ සහිත වූ ප්රස්තුත කියලා.
ඉතින් අපි යමක් විචාරයට පටන් ගනිද්දී, අපට නිශ්චිතව ම නිවැරදි යැයි කියන ප්රස්තුත අවශ්‍යයයි. එහෙම නැති සැක සහිත, දෝෂ සහිත වාක්‍යයන් ගත්තම අපිට ලැබෙන්නෙ සැක සහිත හා දෝෂ සහිත වූ නිගමන.
දැන් කෙනෙක් අහන්න පුලුවන්, අපිට තියෙන්නෙ දෝෂ සහිත වූ ප්රස්තුත නම් එතකොට මොකද කරන්නෙ කියලා?
එතකොට අපි ඒ දෝෂ සහගත ප්රස්තුත වලින් නිගමන වලට එළඹීම නොකළ යුතුයි. අපි නිවැරදි ප්රස්තුත පමණකින් නිගමන කරා යන්නට ඕනා.
විචාරයට උත්සාහයක් ගන්නා අයෙකු හිතන්නෙ නැතුව දැවැන්ත තොරතුරු සම්භාරයක් එකතු කරගත්තාට මදි. ඥාන විභාගයක් සිද්ධ වෙන්නෙ තමන් ඉදිරියේ තියන දත්ත විශ්ලේෂණය (analyse) හා පිළිවෙලකින් සිදු කිරීමෙන් (process). එය කරන්නෙ තාර්කිකව සොයා බලනා නිවැරදි ප්රස්තුත වලින්.
ඔබේ විශ්වය කොහොම ද යන්නට වැඩියෙන් ම බලපාන්නේ තාර්කිකව ගොඩ නඟන ඔබේ නිවැරදි ප්රස්තුත.
මේ විදියට බලාගන යද්දී, නිවැරදි ප්රස්තුත මොනවද කියලා හොයාගන්න එකත් ප්‍රශ්නයක් වෙනවා. මේවායේ නිවැරදිබව තීරනය කරන්නේ කවුද? ඒවා නිවැරදිවෙන්නේ කොහොමද? අනෙක් කරුන, තමා ජීවත්වන පරිසරය අනුව මේ ‘ප්රස්තුත’ වෙනස්වෙනවා නේද?
praveena,
නිවැරදි බව තීරණය කරන්න හිතන පුද්ගලයා. මොකද ඒ ඇසුරින් එනම් සංකල්ප හදා ගත්තම, ඒවා ජීවිතයේ පාවිච්චියට ගනිද්දී, ඒ ඇසුරින් ගන්න තීරණ වලට වගකියන්නෙ වෙන කවුරුත් නෙමෙයි තමන්.
උදාහරණයක් හැටියට අර බස් එකේ සීට් එක වයසක අයට දීලා නැඟිට්ට එක්කෙනා ඇසුරු කරනවා ද, නැත්නම් වයසක අයව තල්ලු කරලා සීට් එකේ වාඩි වෙච්ච එක්කෙනා ඇසුරු කරනවා ද, දෙන්නා ගෙන් කොයි එක්කෙනාගේ ක්‍රයාව අගය කරනවා ද යන්න මත තීරණ ගන්නේ ඒ දැකීමෙන් එකතු වූ දත්ත වලින් සංකල්පයක් ගොඩනඟා ගන්නා අය විසින්. ඒ අගැයුමෙන් ජීවිතය වෙනසකට ලක් වෙන්නේ ඒ දෙන්නාගේ නොව අගැයුම ගොඩ නඟා ගත් තමන්ගේ.
ජීවිතය සාර්ථක වේ නම් තමන් ගොඩ නඟා ගන්නා සංකල්ප නිවැරදියි. ජීවිතය අසාර්ථක වී දුකින් කල් ගෙවනවා නම් තමන් ගොඩ නඟා ගත් සංකල්ප වැරදි සහගතයි.
නැහැ, ප්රස්තුත වටහා ගැනීම බුද්ධිමය විචාරයකින් කරනවා ද නැද්ද නැත්නම් සමාජයේ අපේක්ෂාවන් වලට පටහැණි නොවී සිටීමට විචාරයෙන් තොරව කරනවා ද යන්න විමසා බැලිය යුතුයි. මිනිස් ජීවිතයක අගය අවතක්සේරු කරන ‘මරාගෙන මැරෙන්නට’ යන අයෙක් එවැනි ක්‍රියාවක් අගයන පරිසරයක ජීවත් වූ පමණින් ඒ ප්රස්තුතය නිවැරදි නැහැ. ‘මරාගෙන මැරෙන’ හැදියාව අගයන අයෙක් තම ජීවිතයට අගයක් දෙන්නෙක් නෙවෙයි. අගයක් දෙන්නෙ නැති නිසයි ජීවිතය නැති කරගන්න ඉදිරිපත් වෙන්නෙ. තමන්ගෙ ජීවිතයට අගයක් නොදෙන කෙනෙක් අනුන්ගෙ ජීවිතයට අගයක් දෙන්නෙ කොහොම ද? එතකොට අන්තිමේ දී කාව ‘මරාගෙන මැරෙනවා’ ද කියන එකට හේතු දක්වන්න හැකියාවට පදනමක් ලැබෙන්නේ තවත් කවුරු හරි එසේ යැයි කියූ නිසා පමණින් ද? එතකොට ඒ කියූ අයවත් මරා දමන්න තවත් (ඊ ළඟට තමන්ට එය හරි යැයි කියන්නා) අයෙක් නිසා පෙළඹෙන හැකියාව ඇතිවෙනවා නේද?
නියම ලිපියක් අක්කේ. ආසාවෙන් කියෙවුවා. ලොජික් කරන කොට කියාදීපු සමහර දේවලුත් මතක් වුනා.
ගෝල්ඩ් fish,
එක කාලයක් උසස් පෙළ හැමෝටම ලොජික් ඉගැන්විය යුතු යැයි අදහසක් ගෙන ආවා ලංකාවේ. අපරාදේ ඒක සිද්ධ වුනේ නැහැනෙ.
ඔව් පොඩ්ඩිගේ කතාව හරි. ප්රස්තුත වල නිවැරදි භාවය දැන ගැනීම ප්‍රශ්නයක් තමයි.
සමහර වෙලාවට අපි ‘ප්රස්තුත’ කියල ගන්නේ ඇත්තටම උපකල්පන. උදාහරනයක් හැටියට X රටේ මිනිස්සු අපිරිසිදුයි කියල කෙනෙක් කියනවා. එයාගේ ඔලුවේ තියෙන්නේ ඒක ප්‍රස්තුතයක් හැටියට. නමුත් එයා X රැටියන් සම්බන්ධව පර්යේෂනයක් කරලා නෙවෙයි එහෙම කියන්නේ. එක්කෝ එයාට වෙන කවුරු හරි කියපු දෙයක් – නැත්නම් X රටේ එක පුද්ගලයෙක් නිසා ලබා ගත්ත අත්දැකීමක්. අපේ ප්රස්තුත ගොඩනැගිල තියෙන්නේ කුමන පදනමකින්ද කියල කල්පනා කරලා බැලුවොත් නිවැරදි භාවය දැන ගැනීමට උදව්වක් වේවි නේද? ඒ කිව්වේ, ‘හැමෝම කියන්නේ එහෙමයි’ කියන ඒක නිවැරදි ප්‍රස්තුතයකට සාක්ෂියක් නෙවෙයි. නැත්නම් ‘මගේ දර්ශනයට වඩාත් ගැලපෙන නිසා’, ‘මගේ වාසිය නිසා’, ‘කාලයක් තිස්සේ පැවත ආ නිසා’ – මේවත් නිරවද්‍ය භාවය මනින මිනුම් නොවේ. නමුත් අපි ස්වභාවයෙන්ම සමහර වෙලාවට මිනුම් ලෙස ගන්නේ ඒවායි.
බුද්ධිමත් විවාදයට එරෙහිවන ප්‍රධාන සාධකයක් හැඟීම් වලට වහල් වීම. සමහරු අඬන්න ගන්නේ – තව අය විවාදයට ලක්වෙන කරුණ පුද්ගලික දෙයක් කරගෙන ලේ කෝප කරගෙන කෑ ගහනවා. තමන්ගේ විශ්ව දෘෂ්ටිය වැරදියි කියලා පැහැදිලිව පෙනුනත් තමන්ගේ ප්රස්තුත නිවැරදි කරගන්නේ නැහැ. සදා අඳුරේ ඉන්නවා.
‘Contradictions do not exist. Whenever you think you are facing a contradiction, check your premises. You will find that one of them is wrong.’ Ayn Rand
අපුරු ලිපියක්!
අමා,
අමා නංගිත් අයින් රෑන්ඩ් රසිකාවියක් වීම ගැන ඉතා සතුටක්. අයින් රෑන්ඩ් “කොහොම ද සැප සනීප?” කියලා අහන්නෙ නැතිලු. එයා අහන්නෙ “කොහොම ද ඔබේ විශ්වය?” කියලාලු. සමුගෙන යද්දී “ගුඩ් බායි” වෙනුවට කියන්නෙ “ගුඩ් ප්‍රෙමිසස්” කියලාලු.
දැන් “රටේ මිනිස්සු අපිරිසිදුයි” කියලා අයෙක් ප්‍රස්තුතයක්, ඔව් එවැනි උපකල්පනයක්, පටන් ගනිද්දී, ඒක නිගමනය කර ගන්න එකයි වැරැද්ද!!! ප්‍රස්තුතයක් කියන්නෙ පටන් ගන්න තැන. ඉන් නිගමනයක් කරා යන්න පැහැදිලි වූ සාධක තියෙන්න ඕනා.
ඔව්, හැමෝම කිව්වෙ එහෙමයි- කීම නිවැරදි ප්‍රස්තුතයක් නෙවෙයි. හැමෝම මහ පොළව පැතලියි කියලා හිතපු කාලයක් තිබුණානේ. ඒක හරියට දැනගන්න තෙක් ඒ ගැන නිගමනයක් ගැනීම වැරදියි. පෘතුවිය නෙමෙයි විශ්වයේ මැද කියලා කිව්ව Nicholas Copernicus (Mikolaj Kopernik) සංකල්පය ගොඩ නඟා ගත්තෙ පැවතිච්ච මතවාදයට, හැමෝම කිව්ව විදියට එරෙහිව ගිහින්, ඒ වගේ ම අද ගගනගාමීන් වගේ පෘතුවියෙන් නික්ම වෙලා ගිහිනුත් නෙමෙයිනෙ. උපකල්පනයකින් පටන් ගෙන නිරීක්ෂයෙන් හා දත්ත විචාරයෙන් එළඹිච්ච නිගමනයක්.
අර අනාවැකි කියන අයගේ ප්‍රධාන දුර්වලකම හැටියට ඒ පර්යේෂකයෝ ද පෙන්වා දුන්නේ මිනිසාගේ මතවාදී එල්බ ගැනීම. ඔයා කියන විදියට //තමන්ගේ විශ්ව දෘෂ්ටිය වැරදියි කියලා පැහැදිලිව පෙනුනත් තමන්ගේ ප්රස්තුත නිවැරදි කරගන්නේ නැහැ. සදා අඳුරේ ඉන්නවා.//
අඳුර දුරු වෙන ඉසව්වකට අප ගෙන යයි,(අප කියල කියන එක හරිද මන්ද, අපගේ විශ්වය කියල එකක් නෑනෙ, නෑ එහෙමත් නොවෙයි; කුලක ඡේදනය වන තැනක් පොදු තැනක් තියෙන්නම ඕන. අනුමානය වැරදියි, ඒ නිසා මං ‘අප’ කපල ‘මා’ ගෙන යයි කියල කියනව. තව ප්‍රශ්නයක් තියෙනව මමය මාගේය ගැනීම වැරදියි, මොකද එහෙම කෙනෙක් නෑ, එහෙම ඉන්නවනම් තමගේ ශරීරය, සිතුම් පැතුම් ලෙඩ රෝග පාලනය කරන්න පුලුවන් වෙන්න එපායෑ, ඒ නිසා මා කියන පදයත් ඉවත් කරනව )
විහිලුවකට ගත්ත නොවෙයි. ප්‍රතිචාරයක් බලාපොරොත්තුවෙන් නොදන්න කමටයි ලිව්වෙ.
කොහොම උනත් අලුත් දෙයක් ඉගෙන ගත්ත.
dayal-bathee,
“අප ගෙන යයි” කියද්දී දයාල් – බතී අනුමාන කරනවා ඔයා එක්ක යන තවත් අය ඉන්නවා කියල. ඒ අනුමානය හරි වෙන්නත් පුලුවන් -දාලා තියන අනිත් ප්‍රතිචාර දැක්කම- ඒත් නිශ්චිතව ම දයාල් – බතී යන ගමනේ ම (ඒ වේගයට, අවසානය අඳුරු දුරු වුවත් ඊට දයාල් – බතී යන මාර්ගයේ ම) යන්නෙ නැති වෙන්නත් පුලුවන්. කුලක ඡේදනය වන තැන මිනිසත් බව, උවමනාව, උත්සාහය යනාදී වූ පොදු දේවල් තියනවා. නමුත් ඒවා ඒකීය වූ විධි වලින් හැඩ ගැසුණු දේවල් …. ඉතින් ‘අප’ කියන්නට වඩා ‘මා’ කියන්න සුදුසුයි.
මම ය, මාගේ ය නැත්නම් දයාල් – බතී හිතන්නේ කාගේ හිතින් ද?
ශරීරය පුරා දුවන කෝපයකින් ලේ රාත්තලක් ක්ෂණයකින් අඩු වෙනවා. මනස සතුටින් තියාගන්න පුලුවන් අය ශාරීරිකව නිරෝගීයි. ඒකීය පුද්ගලයාගේ සිතුම් පැතුම් ඔහුගේ ශරීරෙය් ලෙඩ රෝග වලට බලපානවා. ඒ ගැන ඉදිරියේ දී තව විස්තර ලියන්නම්.
praveena ගෙ ප්‍රශ්නෙ වැදගත්,
ප්රස්තුත නිවැරදිද කියන ගැටළුව ගැන මට නම් හිතෙන්නෙ ඒ අවස්ථාව සහ පුද්ගලයා අනුව බොහෝ දුරට තීරණය වෙනස් වෙන්න පුලුවන්ය කියල…අපි හැමෝම Unique පුද්ගලයින් නිසා අපි හැමෝටම Unique අදහස් තියෙන්න ඕන,එතකොට ප්රස්තුත නිවැරදි ද කියන එකට නිරපේක්ෂ පිළිතුරක් නැහැ නේද?
.—————————————————
අරුණි, මුල් කමෙන්ටුව මකා දමන්න,
Ravi,
සාපේක්ෂ (relative) යන වචනයට විරුද්ධ වචනය නිරපේක්ෂ (unexpected) නොවේ මම හිතන විදියට. එය අපණ්ණ (absolute), සම්පූර්ණ, පරම, නියත, ඒකාන්ත යන වචන වලින් එකක් විය යුතුයි.
ඉතින් අපණ්ණ වූ නොහොත් පරම සත්‍යය යන්න බෞද්ධාගමට හුරු පුරුදු වූ සංකල්පයක් නේද? ලේබල් එකක් ගහන්න ඕන නැහැ, බුද්ධාගමට විතරක් අයිති වූ, වෙන් වූ සත්ය්යක් ද නොවෙයි. සත්‍යය සොයා යන්නෙකුට කොහෙන් දැයි අදහස් එන්නෙ කියන එක වැදගත් නැහැ. වස්තුව දැකීම හා සාරය හඳුනා ගැනීමයි වැදගත්.
මිනිස් හිතක් ඇති සෑම අයෙකු ම තමන් ට ඒකීය වූ සුවිශේෂී වූ ලක්ෂණ වලින් වැඩ කිරීම නිසා මිනිසත් බවේ අපණ්ණ බව නැති වී යන්නෙ නැහැ. පරිසිද්ධි යනු පරිසිද්ධි මිසක් අපේ ඕනෑවට ඒවා වෙනස් වෙන්නෙ නැහැ. පාන් කෑල්ලක් පාන් කෑල්ලක් මිසක් අපිට ඕනා වෙච්ච පලියට කේක් කෑල්ලක් වෙන්නෙ නැහැ. යම් සිද්ධාන්තයක් ඥාන විභාගයකට ලක් කරද්දී ඒ සංන්දර්භයට විතරක් කියලා ඒක විශේෂ වෙනස්කමකින් කරන්නත් (exception) බැහැ. පාන් කෑල්ලක් අනිත් හැම වෙලාවක දී ම පාන් කෑල්ලක් වෙනවා ඒකට සීනි, චොකලට් එකතු කෙරුවාම චොක්ලට් කේක් කෑල්ලක් වෙනවා කියන්න බැහැ. ඒක සීනි හා චොකලට් එකතු කරපු පාන් කෑල්ලක් විතරයි.
දිර්ග වෙහෙසකර කටුක උත්සහා කිරිම් වලින් පසුව ඔබ නිවරදි මගට පිවිසිම පිලිබද මගේ සුබ පෑතුම්.(මට හිතෙන විදිහට )ලගදි දාපු ලිපි වල කරුනු තර්කනුකුලව කන්ඩනය කිරිමට තරමක් අපහසු ලෙසට නිවරදිව ගලපා තිබෙනවා.
ඉහතදි ඔබ ලියන ලද බොහොමයක් ලිපි වල මුලදි ඔප්පු කරන්න හදන තර්ක/කරුනු අවසානයෙදි අනවබොදයෙන් ඉදිරිපත් කරන ලද සමහර කරුනු නිසා ඔබ විසින්ම බිද දමා ගත්තා.ඔබ දෑන් එම වෑරද්ද නිවරදි කරගෙන
aravinda,
සුබ පැතුම් වලට ස්තූතියි. වැරදි නිවැරදි කරගන්න පුලුවන් හැකියාව පාවිච්චියට ගත්තෙ නැත්නම් හිතන්න පුලුවන් සිතකින් ඵලක් ඇත් ද?
කෝ අපේ චානුක මහත්තයා ?
කොමෙන්ට් කොරන්නෙ නැද්ද දැන්.
ano,
අනේ ඇනෝ ට ත් තියන ප්‍රශ්න. අනුන් ගැන හොයන්න හිතෙන හිතෙන් තමන් ගැන හෙව්වොත් මොකද?!!!