අරුණි ශපීරෝ‍ වෙතින්

ධනාත්මක චින්තනය කියන්නේ කුමකට ද?

Posted in Uncategorized by arunishapiro on ඔක්තෝබර් 19, 2011

මිනිස් සිතෙන් වැඩ ගන්න නම් මම කළින් ලියපු සටහන් වටහා ගන්නෙ නැතිව මෙතැනින් පටන් ගන්නවා නම් ඵලදායීත්වය අඩුයි. එතකොට වෙන්නෙ හරියට පර්යේෂණ මීයෙක් වගේ බොත්තමකට තට්ටු කළාම කෑම ලැබෙන එක. තට්ටු කරන්න බොත්තම් නැති වෙච්ච දාට හාමතේ ඉන්නයි වෙන්නෙ!!!

මෙය පහසුවෙන් වටහා ගත හැකි චිත්‍රපටියක්: Limitless (2011). ප්‍රබන්ධයේ තේමාව මොළය තීක්ෂණ කරන රසායන පෙත්තක් මඟින් එසැණින් ජයග්‍රහණ ලබන හැකියාව ඇති වීම. හැම දෙයකට ම යන කෙටි පාරක දී මඟ හැරෙන වැදගත් දේවල් වලින් ඇතිවන ඵල විපාක කතාව දිග හැරෙද්දී දකින්න පුළුවන්. කතාවේ අවසානයේ දී අනිත් අය පරදවා ජයගන්න මොළය තීක්ෂණ කරන රසායනයක් අවශ්‍ය ද නැද්ද කියන්නත් දැනගන්න පුළුවන්.

කළින් දාපු සටහන් වටහා ගන්න හැකියාවක් සෑම මනුෂ්‍යයෙකුට ම තියනවා. ඒත් ඒකට වෙහෙසන, ඊට කාලයක් ගන්නා, වටහා ගැනීමෙන් පසු ක්‍රියාවට නඟන කට්ටිය තමයි ලෝකයේ සාර්ථකත්වය අත් කරගත්තවුන් වෙන්නෙ. වටපිට බැලුවාම ඇයි ඒ අය ස්වල්පයක් කියලා දකින්න පුළුවන්. මොකද ඒකට බොත්තමක් නෑනේ ඔබන්න!!!

බොත්තමක් ඔබලා ධනාත්මක චින්තනයෙන් හිතෙන් වැඩ ගන්න හැටි කියා දීලා ප්‍රසිද්ධ වුනේ නෝර්මන් වින්සන්ට් පීල්. එයා තමයි The Power of Positive Thinking (1952) පොත ලියලා ඉදිරිපත් කළේ. 2010 අවසානයේ දී ඇමෙරිකාවේ පමණක් බොත්තම් ඔබලා ධනාත්මක චින්තනයෙන් වැඩ ගැනීම සඳහා වූ නිෂ්පාදන බිහි කිරීම ඩොලර් බිලියන 10.5 ක කර්මාන්තයක්.

චෛතසික ස්වභාවයක් (attitude) කියන්නෙ පවතින වාතාවරණයක් වෙනස් කරන්නට සමත් වෙන්නක්. ධනාත්මක (positive) වූ චෛතසික ස්වභාවයක් අධ්‍යාපනය, රැකියාව, විවාහය යනාදියේ අගය වැඩි කරන්නට දායක වෙනවා. පවතින රෝගී තත්වයන් වලින් ගැලවෙන්නත්, රෝග වලට නිතර භාජනය නොවී ඉන්නත් හැකියාව ලබනවා. ධනාත්මක චින්තනය යනු ධනය = මුදල් ගැන වූවක් ම නෙවෙයි. ධනය, මුදල්, කාසි පණම් නැතිව ජීවිතයක් ගෙවන්න අමාරුයි. නමුත්, ධනාත්මකව ජීවිතය ගත කරන්න කාසි හැමදාම වැඩි වැඩියෙන් අවශ්‍ය නැති අය ඉන්න නිසා තමයි ධන චින්තනය ධනය ගැන පදනම් වූවක් නොවන්නෙ. ධනාත්මක චින්තනය යනු චෛතසික ස්වභාවයක් මත පදනම් වූ ජීවිතයේ සෑම අදියරක දී ම සතුට සඳහා නැතිවම බැරි වූවක්.

තමන්ගෙ ස්වභාවික ධනාත්මක/ඍනාත්මක හැදියාව මොකක් ද නොදන්නවා නම් වතුර භාගයක් තියන/නැති වීදුරුව දිහා බලන්න ඕන. බැලුව ගමන් දකින්නෙ පිරිලා තියන වතුර ද නැත්නම් හිස් හරිය ද?!!! භාගයක් පිරිලා තියෙනවා දකින්නෙ ස්වභාවයෙන් ධනාත්මක හැදියාව තියන අය. භාගයක් අඩු බව දකින්නෙ ඍනාත්මක හැදියාව තියන අය. මොන විදියකින් කිව්වත් බාගයක් අඩුයි කියලා දකින අයට කවදාවත් බාගයක් පිරිලා යැයි දකින අයගේ කෝණය පේන්නෙ නැහැ. අනිත් පැත්ත ද එහෙමමයි. ඒ අයට පෙන්නෙ බාගයක් පිරිලා තියන විදිය මිසක් බාගයක් අඩුයි කියලා නෙමෙයි.

දෙපැත්තම වටහා ගන්න පුලුවන් තාර්කික විචාරය (reason) පාවිච්චියට ගත්ත අයෙක් ට. නමුත් මෙහි දී තමා යථාර්ථවාදියෙක් (rationalist) යැයි අයෙක් කියා ගන්නවා නම් එයා දකින්නෙ සත්‍යෙයන් බැහැරක සිට, තමාගේ එදිනෙදා කටයුතු විමසන්නේ නැතිව හිතන කෙනෙක්; දාර්ශනිකව යථාර්ථවාදියෙක් කියන්නෙ එහෙම අයෙක්ට. එවැන්නා තමා දිහා නොබලා, තම දිනපතා චර්යාව දිහා නොබලා හැම අත දුවන සංකල්ප වලින් පමණක් ලෝකය දිහා බලන්නෙක්. එයාට ලෝකය කළු සුදු නැහැ. අළු පාටයි. යමක් හරි වෙන්නත් වැරදි වෙන්නත් පුළුවන්.

වතුර භාගයක් තියන/නැති වීදුරුව කොයි පැත්ත ද දකින්නේ කියා දන්නා අයෙක් සහ විචාරයෙන් එහි දෙපැත්තම වටහා ගන්නා අයෙක් යථාර්ථවාදියෙක් නෙවෙයි. පළමුවැන්නා, දකින දෙයක සංක්ෂේපය වටහා ගන්නෙක්. දෙවැන්නා, විචාරයෙන් තමන්ව සහ ලෝකය අවබෝධයට පාවිච්චියට ගන්නා අයෙක්. ඉන් නිවැරදි පැත්ත දකින්නත්, එය ම පමණක් තෝරාගත යුතු ය යන්නත් දකින්නෙක්. පැත්තක සිට දෙපැත්තම දැක, කුමක් වුවත් මට කමක් නැහැ කියන්නේ යථාර්ථවාදියා.

ඇයි ඒ විදියට විවිධ මිනිස් ගති? ඒක තාම හොයාගත්තු නැති දෙයක්!!! ලන්ඩනයේ University College, හාවඩ් වෛද්‍ය විද්‍යාලය, සැන් දියාගෝ හි කැලිෆෝනියා විශ්ව විද්‍යාලය, සූරිච් විශ්ව විද්‍යාලය නිවුන්නු දාහක් සම්බන්ධ කරගත් පර්යේෂණයක් පැවැත්වූවා සතුට තියෙන්නෙ DNA වල ද කියල හොයන්න.

මිනිසුන් අතර ස්වභාවයෙන් ධනාත්මකව හිතන අයත්, ඍනාත්මකව හිතන අයත්, මන්දෝත්සාහයෙන් (apathy) ඉන්න අයත් දකින්න පුළුවන්. ඍනාත්මකව හිතන හා මන්දෝත්සාහයෙන් ඉන්න අය කොච්චර පොත් කියෙව්වත්, කොච්චර දේශන ඇහැව්වත්, කොච්චර පුහුණු පංති යැව්වත් සම්පූර්ණයෙන් වෙනස් කරන්න බැහැ. ඒ වගේ ම ධනාත්මකව හිතන හැකියාවක් ඇති අයෙක් ඍනාත්මකව හෝ මන්දෝත්සාහයෙන් තබන්නත් අපහසුයි. ලබා උපන් හැටි තුනෙන් එකක් නම් ඉතිරි තුනෙන් දෙකට වග කියන්න ඕනා තමන්. උත්සාහයක් කරලා බැලුවේ නැත්නම් තමන්ගෙ ස්වභාවය මෙවැනි යැයි හිතාගෙන ඉන්න අය හරියට ම තමන් එහෙම ද කියල දැනගන්නෙ කොහොම ද? තමන්ට වෙනස් විය හැකි දැයි දැනගන්නෙ කොහොම ද?

ස්වභාවයෙන් ධනාත්මක, ඍනාත්මක හා මන්දෝත්සාහී බවක් පුද්ගලයාට පිහිටා තියනවා නම් ඉතින් මක්කටැයි ධන චින්තනයක් කියල කෙනෙක් හිතන්න පුළුවනි. වීදුරුව බාගෙට පිරිලා යැයි දකින්නාට තම ස්වභාවික කුසලතාවය නාස්තියට නොයා දී එයින් වැඩි සාර්ථකත්වයක් කරා යන්නට පුළුවනි. ඍනාත්මකව හිතන හැදියාවෙන් යුතු වූ අයෙකුට ඕනෑ කමක් ඇත්නම්, වීදුරුවේ භාගයක් අඩුයි ඒ නිසා ඒ භාගය පුරවා ගන්නේ කොහොමදැයි විමසන්න පටන් ගන්න පුළුවන්. ඒ කියන්නෙ ඍනාත්මකව හිතන්න අය නැත්නම් ලෝකයේ පැරෂූට් හා ජීවිත රක්ෂණය වගේ දේවල් බිහිවෙයි ද වගේ කතාවක්!!!

ඉතින් මොකක් ද මේ ධනාත්මක චින්තනය?

ඒක තමයි ඔබට දැඩි වේදනාවක් දැනෙන වෙලාවක ඔබව ඉතාමත් සතුටට පත් කරවන්නෙ.

නොයෙක් ජීවිත අදියරයන් හි දී සිත් වේදනා වලින් දුක් විඳි නැති අයෙක් ලොව නැහැ. ඒ දුකින් බැහැර වෙන හැටි තමයි ධනාත්මක චින්තනයෙන් කියන්නෙ. ලෝකයේ ධන කුවේරයන් වූ අය, මහත් කීර්තියක් අත් කරගත් අය, දස්කම් කුසලතා බෙහෙවින් ඇති අය වූ පමණින් ඔවුන් සිත් වේදනාවෙන් ගැලවෙන අය වෙන්නේ නැහැ. අයෙක් උපකාරයට ගන්නා ධනාත්මක චෛතසිකයෙන් ඒ සිත් වේදනා වලින් ගොඩ එන්න හැකියාව ලබනවා. මන්දෝත්සාහයෙන් ගොඩ එන්නටත්, චෛතසිකය ධනාත්මකව පවත්වා ගෙන දියුණුව කරා සීඝ්‍රයෙන් යන්නත් හැකියාව ලබනවා.

චෛතසික ස්වභාවයක් ධනාත්මකව පවත්වා ගැනීමේ (positive attitude) හැකියාව හැම අයෙකුට ම එක හා ප්‍රමාණයකින් ස්වභාවිකව පිහිටලා නැහැ. එයට ස්වභාවික වූ හැකියාව වැඩි අයට අඩු මහන්සියකින් ද අඩු අයට වැඩි මහන්සියකින් ද ප්‍රතිඵල ලැබෙන්නක්. පුද්ගලයාගේ වැරැද්දක් නෙමේ. උපන් හැටි වෙන්න පුළුවන්. හැදියාවෙන් පුරුදු වූවක් වෙන්න පුළුවන්. උවමනාව ඇති නැති පමණින් වූවක් වෙන්න පුළුවන්. වෙනත් කිසිම බාහිර ව පෙන්විය නොහැකි සාධකයක් නිසා අයෙකුට යමක් පහසු වීමත් තවකෙකුට එය දුෂ්කර වීමත් අපි ඒකීය පුද්ගලයන් යැයි තහවුරු කරන තවත් කාරණයක් පමණයි.

“I am not saying a Positive attitude can make you successful.
I am saying a Positive Attitude will make you successful.” –Norman Vincent Peale

“මම කියන්නෙ චෛතසිකය ධනාත්මකව පවත්වා ගැනීම නිසා ඔබට සාර්ථක වෙන්න පුළුවන් කියා නෙමෙයි.
මම කියන්නෙ චෛතසිකය ධනාත්මකව පවත්වා ගැනීම නිසා ඔබ සාර්ථක වෙනවා කියලයි.” -නෝර්මන් වින්සන්ට් පීල්

Advertisements

6 Responses

Subscribe to comments with RSS.

  1. aldskfjals said, on ඔක්තෝබර් 19, 2011 at 10:49 පෙ.ව.

    thaththage poth walin udaharanayak denna barida?

    • arunishapiro said, on ඔක්තෝබර් 20, 2011 at 7:20 පෙ.ව.

      aldskfjals,

      මොකක් ගැන ද උදාහරණයක් ඉල්ලන්නේ කියා හිතා ගන්න බැහැ …. ඉතින් ඒ නිසා මගේ මේ සටහනේ මූලික තේමාව ගැන උදාහරණයක් මෙහෙම ලියන්නම්:

      “අද කොහොම හරි, මොන ක්‍රමයකින් හරි ධනය හරිහම්බ කරගත හොත් එය තමයි සමහරුන්ගෙ ආගම ධර්මය. එහෙත් එසේ රැස් කරගන්නා ධනය සමඟ සතුටින් ජීවත්වීමට නම් හා ජීවිතය සාර්ථක ජීවිතයක් බවට පත්කර ගැනීමට නම් ධනයට වඩා අගනා උතුම් හා ශ්‍රේෂ්ඨ දෙයක් ද අවශ්‍යමය. එනම් සහනශීලී සිතක් තිබීමය. කරදර, කම්කටොළු, චිත්ත පීඩා, ලෙඩ දුක්, අසහන මිශ්‍ර කොට රැස් කරන ධනස්කන්ධයකින් සතුටක් නොලැබේ. මෙහි සත්‍යතාවය බොහෝ ධනවතුන් අවබෝධ කරගන්නා විට ඔව්හු අසහනයන්හි ‘රතු ඉර’ පන්නා හමාරය.” -සුමනදාස සමරසිංහ, අප්‍රකට දේශන 1 (1998)

  2. Observer said, on ඔක්තෝබර් 19, 2011 at 7:40 ප.ව.

    වතුර වීදුරුවෙ බාගයක් හිස් කියල කනගාටු නොවී, බාගයක් තියෙනව තියෙන එක ගැන සන්තෝෂ වෙලා, තියෙන බාගෙන් ප්‍රයෝජනයක් ගැනීම ගැන හිතන්න පුළුවන් මානසිකත්වය?

    • arunishapiro said, on ඔක්තෝබර් 20, 2011 at 7:22 පෙ.ව.

      Observer,

      ඔබා අයියා හරියට ම හරි. එහෙම ස්වභාවයෙන් දකින්න හැකියාව නැති අයෙකුට වුනත්, එහෙම හිතන්න පුළුවන් හැකියාව තියන නිසා, ඒ මානසිකත්වයේ රැඳී ඉන්න නිතර නිතර තමන්ට මතක් කර ගන්න ඕනා.

  3. praveena said, on ඔක්තෝබර් 19, 2011 at 9:28 ප.ව.

    ඔන්න මට ප්‍රශ්න දෙකක් තියනවා.

    1. කාට හරි පේන්ට බැරිද (“මේ වතුර වීදුරුවේ බාගයක් පිරී ඇත. බාගයක් හිස් ඇත. ඒ හන්දා එය බාගයක් පිරීද නැත්තේය. බාගයක් පිරීද ඇත්තේය”.) කියලා.

    2. අපි ගොඩාක් වෙලාවට, මේ ධනාත්මක, සෘනාත්මක, හා මන්දෝත්සාහී චිත්ත සොබාතුනේම ඉන්නවා නේද?

    • arunishapiro said, on ඔක්තෝබර් 20, 2011 at 7:28 පෙ.ව.

      praveena,

      1. ස්වභාවයෙන් එහෙම පේන අය නැහැයි කියලා තමා කියන්නෙ. ඉන්නෙ දෙවර්ගයක්. ඉතිරියට වීදුරුව පිරිලා/නැහැ වුනාට කමක් නැති අය. විචාරය උදව්වට ගන්නා අයට “පේන්නෙ” නැහැ ඒත් “අවබෝධයට” හැකියාව තියනවා. මෙහෙම කල්පනා කරන්න: අර දැකීම —> සංකල්ප අවබෝධය ඇති වූ ආකාරය වගෙයි.

      2. අපි එක අවස්ථාවක දී ඉන්නෙ එක ස්වභාවයක. ඒක තත්පරයකට අඩු කාලයක් වෙන්නත් පුළුවන්. නමුත් එක ස්වභාවයක. එයින් මිදුණා ම තමයි අනිත් ස්වභාවයට යන්නෙ. එකම අවස්ථාවක එකකට වඩා වූ චෛතසික ස්වභාවයක ඉන්නට බැහැ. නමුත් ක්ෂණිකව ගලා යන අවස්ථා තුන අතර වේගයෙන් නියුරෝන පත්තු වී යන නිසා එහෙම ඉන්නා බවක් දැනෙන්නට පුළුවන්.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: