අරුණි ශපීරෝ‍ වෙතින්

චේතනාව සහ අධිෂ්ඨානය

Posted in Uncategorized by arunishapiro on ඔක්තෝබර් 24, 2011

චෛතසික ස්වභාවය අයෙකුගේ ජීවිතයේ හැම අවස්ථාවක් ම හසුරුවයි.

ඍනාත්මක චෛතසික ස්වභාවයන් වැඩ කරන අයුරු:

නොසැලකිල්ල: “අයියෝ, ඒකට කමන් නැහැ.”

නූගත්කම: “මම දැනන් හිටියෙ නැහැ.”

දෛවය: “වෙන්න තියනවා නම් එහෙම වෙයි.”

හැම දෙයකම දෝෂ දකින්නා (cynicism): “මේවා අපිව රවට්ටන්න හදපු මනස්ගාත.”

කම්මැලිකම: “ඕවා හොයලා බලන්න කාලේ කොහෙද?”

අනවධානය: “එන විදියට බලමු.”

පමණට වඩා තමන් ගැන විශ්වාසය: “මට කිසි කරදරයක් වෙලා නැහැ ජීවිතේට ම. ඉතින් මක්කටැයි බය වෙන්නෙ?”

ධනාත්මක චෛතසිකයක් වැඩ කරන අයුරු:

අනාගත සැලසුම් හැදීම: “ඒකට ටිකක් වැඩියෙන් කල් යාවි, ඒත් මම නිවැරදි විදිය අනුගමනය කරන්න ඕනා.”

තොරතුරු හඹා යෑමට තමන්ව දිරි ගැන්වීම: “දැනන් හිටියෙ නැති නිසයි එහෙම වුනේ, මීට පස්සෙ වැඩක් කරන්න කළින් විස්තර හොයා ගන්න ඕන.”

හොඳ නරක දැනීමේ බුද්ධිය (conscientiousness): “මේක මේ විදියට වුනේ කොහොම ද? ආයේ මේ විදියට සිද්ධ වෙන්න/නොවෙන්න හදා ගන්නෙ කොහොම ද?”

අගය කිරීම: “කියලා දුන්නට ස්තූතියි. මාත් හොයා බලන්නම්.”

මුළු මනින් ම සොයා බැලීම: “පළමු සැරේ ම හරියන්න කරන්න අවශ්‍ය කොහොම ද?”

සෝදිසියෙන් සිටීම: “මම අවධානයකින් හිත යොමු කරත යුත්තේ මොනවාට ද?”

සාර්ථකත්වය සඳහා කුසලතාවය හා දැනුම පමණක් මදි. ධනාත්මක චෛතසිකයක් ඇත්තෙක් තමන් වටා සිටින අනිත් අයවත් දිරි ගන්වන්නෙක් වෙනවා. එසේම අනිත් අයගේ වෙහෙස ද අගය කරන්නෙක් වෙනවා. එහෙම වෙද්දී ඒ පුද්ගලයා අනුන් ගැන තැකීමක් කරන්නෙක් ද වෙනවා. සියල්ලට ම මූලික වන්නේ තමන්ව හදා ගන්න උවමනා වූ ආත්මාර්ථකාමීත්වයෙන්!!! මේක වටහා ගන්න බොහෝ දෙනෙක් උත්සාහ ගන්නෙ නැති කාරණයක්. තමන් ගැන ගෞරවයක් නැති අයෙකු අනුන් වෙත දක්වන ගෞරවයක් ද පුස්සක් විතරයි.

තමන්ගේ දක්ෂතාවයන් ගැන ආඩම්බර වෙන්න පුළුවන් කෙනෙකුට විතරයි අනුන්ගේ දක්ෂතා ගැන ද හිත පතුලෙන් ම අවංක ව ම ආඩම්බර වෙන්න පුළුවන් වෙන්නෙ.

තමන්ගේ හතුරා වැඩිපුර වශයෙන් ඉන්නෙ තමන් ඇතුලෙ බව බොහෝ දෙනෙක් පිළිනොගන්න කාරණයක්. මිනිස් සිතක හතුරා නම් ඍනාත්මකව හිතන චෛතසික ස්වභාවයයි. ඍනාත්මක චෛතසිකයෙන් හැකි තරම් බැහැර වී ධනාත්මක බවින් සිටීම වැඩි වෙද්දී හිතන පතන සියල්ල ම ඉටු වීම හාස්කමක් (miracle) ඒත් මැජික් නොවේ. හාස්කමක් වෙන්නෙ විද්‍යාත්මක ව එය එසේ වන බව ඔප්පු වුනාට, වූයේ කෙසේ දැයි කියා තවම පැහැදිලි කරන්න පුළුවන් කමක් නැති නිසා පමණයි.

අපේ චේතනාව ස්ථාවරයි කියල අපි හිතාගෙන හිටියට ඒක හැම තිස්සෙ ම අපේ හිත දුවන විදියට යන්න ඉඩ දෙනවා. මේක දොස්තර එමිල් විස්තර කළේ මේ උදාහරණයෙන්. අඩියක් පළල අඩි 30 ක් දිග ලෑල්ලක් බිම තියලා ඒකේ ඇවිදින්න ඕන කෙනෙකුට පුළුවන්. ඒත් ඒක උස බිල්ඩින් දෙකක් අතරින් තියලා ඇවිදින්න කිව්වොත් කී දෙනෙක් ඉදිරිපත් වෙයි ද? චේතනාව කොයි තරම් දැඩි වුවත් අපේ හිත දුවන එක (imagination) අපිට ඉඩ දෙන්නෙ නැහැ ඒ මත ඇවිදින්න. හිතට කොයි තරම් කිව්වත් වැඩියෙන් හිත කියන්නෙ ලෑල්ලෙන් බිමට ඇද වැටෙන බවයි. බය නිසා ම ඇවිදින්න ගියොත් ඇද වැටෙනවා!!!

හැබැයි උස ගොඩනැඟිලි ඉදි කරන අය, කඹ වල කරනම් ගහන අය, පුහුණුවෙන් තමන් ට පුළුවන් යැයි දන්න නිසා එහෙම ඇවිදින්න පුළුවන් හපනුන්.

සිත ව්‍යාකූල තත්වයක තියෙද්දී හැම තිස්සෙ ම දිනන්නෙ සිහින මවන්න පුළුවන් සිත (imagination) මිසක් ඉෂ්ට කරගත යුතු චේතනාව තියන සිත (will) නොවේ. මෙය ඉෂ්ට කරගත යුතුයි යන චේතනාවකින් (will) ඒ අධිෂ්ඨානය (determination) සපුරාගන්න නම් සිහින මවන්න පුළුවන් සිත (imagination) හසුරුවා ගත යුතුයි. අයෙක් කොච්චර හිතුවත් එයාට කැමති විදියට වැඩ කරන්න පුළුවන් සිතක් එයාට තියෙනවා කියලා, එයාගේ සිහින මවන්න පුළුවන් සිත තමයි සේරම හසුරුවන්නෙ. ඉතින් හිතෙන් වැඩ ගන්න නම් අයෙක් ඉගෙන ගන්න ඕනා මේ සිහින මවන්න පුළුවන් සිතට මාර්ගෝපදේශකයක් දෙන්නෙ කොහොම ද කියලා. එතකොට තමයි ඉටු කරගත යුතු චේතනාවක් ඇත්තාට ඒ අධිෂ්ඨානයක් කරා යද්දී, සිහින මවන්න පුළුවන් හිතේ රූකඩයෙක් වීමෙන් ගැලවෙන්න පුළුවන් වෙන්නෙ.

Advertisements

16 Responses

Subscribe to comments with RSS.

  1. රාජ් said, on ඔක්තෝබර් 24, 2011 at 9:24 පෙ.ව.

    මට හිතෙන්නෙ මාත් ඍනාත්මකව හිතන්නෙක්.මෙන්න මේ ටික මට හරියට හරියනව.
    //සිත ව්‍යාකූල තත්වයක තියෙද්දී හැම තිස්සෙ ම දිනන්නෙ සිහින මවන්න පුළුවන් සිත (imagination) මිසක් ඉෂ්ට කරගත යුතු චේතනාව තියන සිත (will) නොවේ//

  2. mahesh said, on ඔක්තෝබර් 24, 2011 at 10:05 පෙ.ව.

    many thanks for your artical my English is not so good as well as i can not write sinhala. i really like read your artical everyday i am open my mail read your new artical. i am just barman work in Maldives but i like to read much. did you wach low of attraction

    • arunishapiro said, on ඔක්තෝබර් 24, 2011 at 6:28 ප.ව.

      mahesh,

      කියවන්න එන එක ගැන බොහොම සතුටුයි. ඔබ වැදගත් රැකියාවක් කරන්නෙ, එය සුළු කොට තකන්න එපා. ඇමෙරිකාවේ අද ඉන්න කතානායකවරයා බාර් එකක බිම අතුගාන රස්සාව කරපු කෙනෙක්!!! නැහැ මම ඔයා කියන චිත්‍රපටිය දැක නැත්තෙමි. ඉඩක් ලැබුණු වෙලාවක බලන්නම්.

  3. dawkinssdodo said, on ඔක්තෝබර් 24, 2011 at 10:45 පෙ.ව.

    ඔබ තුමිය කියන්නේ “යටි සිත” පාලනය කල හැකි නම් වඩා “පාලනයට නතු” ජීවිතයක් හදාගන්න පුලුවන් කියලද?

    හිප්නෝසිස් වලින් යටි සිතට පණිවිඩ දීම, ඔය සබ්ලිමිනල් මැසෙජස් ආදියේ ඇත්තක් තිබේද?

    • arunishapiro said, on ඔක්තෝබර් 24, 2011 at 7:28 ප.ව.

      dawkinssdodo,

      ඔබතුමිය කියන්න නම් අවශ්‍ය නැහැ, යන එන අනිත් අය වගෙ අරුණි අක්කා කිව්වම හොඳටම ඇති. යටි සිත යැයි කිව්වට එය උඩ සිත යටතේ තියෙන්නක් නොවේ. මොකද අපිව ජීවත් කරවන හුස්ම ගන්න වගේ වැදගත් දේවල් තනිවම කරන නිසා ඒක පාලනය කරගන්න පුළුවන් දැයි කියා ද ප්‍රශ්නයක් ඇති වෙනවා. අපි අර ගනිමු පිටේ යන්න පුරුදු නොකරපු අශ්වයෙක්. ඌ පිටට කාට හරි නඟින්නවත් ඉඩක් දෙන්නෙ නැහැනෙ. ඒත් පුරුදු පුහුණු කළාට පස්සෙ අශ්වයා පිටේ යන්න පුළුවන්. ඒත් තමන් යන්නෙ කොහේදැයි දන්නෙ නැත්නම් ඉතින් අශ්වයා යන යන තැන තමයි යන්න වෙන්නෙ. තමන්ට යන්න ඕන තැනට යෑමට නම් අශ්වයා හසුරුවා ගන්න ඕනා. ඒ වගේ යටි සිත කියන්නෙ ඊට හැකියාව ඇති දේවල් හඳුනාගෙන ඉන් අපිට වැඩ ගන්න පුළුවන් තැනක්. පුහුණු කරපු අශ්වයෙක් වගේ තමයි තමන් යන්න ඕනා කොහෙද කියා දන්නවා නම් තම ජීවිතයට ඵලදායක වෙන විදියට යටි සිතෙන් වැඩ ගන්න පුළුවන්.

      ඔව්. පැහැදිලිව ම. හැබැයි ඔයා අදහස් කරන ‘ඇත්ත’ සහ මම අදහස් කරන ‘ඇත්ත’ එකම ‘ඇත්ත’ ද?!!! යම්තාක් දුරට වෙනත් අයෙකුගේ යටි සිත හසුරුවන්න හැකියාවක් තවත් අයෙකුට තියනවා. ඒත් කැමැත්තක් නැති හා විචාරය කරන උඩු සිතක් තියෙන අයෙක්ව (බෙහෙත් මඟින් උඩු සිත අඩපණ නොකර) මෝහනය කරන්න හැකියාවක් නැති බවයි පැහැදිලි. සමහර අය නම් එහෙම බෙහෙත් මුකුත් නැතිව මුළු සමාජයක් පිටින් මෝහනයෙන් වශී වෙලා ඉන්නවාත් දකින්න පුළුවන්!!!

      ඇමෙරිකාවේ මම හිතන විදියට වැඩියෙන් ම හිප්නොතෙරපි කියන්න භාවිතා වෙන්නෙ දරු ප්‍රසූති වේදනා නැති කරගන්නත්, මත්පැන් හා සිගරට් බීම නවතා ගන්නත් හා බර අඩු කරගන්නත් වගේ දේවල් වලට. The American Society of Clinical Hypnosis, The Society for Clinical and Experimental Hypnosis,The American Association of Professional Hypnotherapists යනාදිය ඒ කටයුතු කරන සංවිධාන.

      ඊ ළඟට ගූගල් එහෙමත් දැන් ඇඩ් වලින් සබ්ලිමිනල් මැසේජ් දානවා දැකලා තියනවා ද? බඩුවක් ගන්න අන්තර්ජාලයෙන් හෙව්වට පස්සෙ ඒ බඩුව විකුණන තැන් වලින් ඇඩ් වෙන පිටු අරින කොටත් ඇරෙනවා දැකලා තියනවා ද?!!

      දැන් අළුත් ම සොයා ගැනීම මේක: වෙබ් සයිට් එකකට යද්දී දාලා තියන ඇඩ් වලට ඇස් දුවන හැටි පිරික්සා කරන එක. ඔයා ඒක ක්ලික් කරන්නෙත් නැහැ. හැබැයි කියමු හිනාවක් ගියා කියල ඒක දැකලා. ඊට පස්සෙ වෙන වෙබ් අඩවි වලට යද්දී අරකෙ දැන්වීම් තව තවත් ඔයා හඹා එනවා. ඒකට අකමැති වෙලා ඒක අයින් කරන්න කතිරය ඔබද්දි රුව්වොත් ‘සමාවෙන්න’ කියලා ඒක අතුරුදහන් වෙනවා.

      තාම වෙළඳපොලේ නැහැ ඒත් තාක්ෂණය නිපදවලා තියෙන්නෙ. ඒක පාවිච්චියට ගන්නෙ ඔයා පාවිච්චි කරන පරිගණකයේ කැමරාව!! ඒක දැන්වීම් වලට පමණක් සීමා ද වෙන්නෙ නැහැ. ආරක්ෂාව, පරිගණක සෙල්ලම්, අධ්‍යාපනය සහ සෞඛ්‍යයටත් පාවිච්චියට විජට්ටු හැදෙන්නෙ. 1970 දී Paul Ekman නැමති මනෝවිද්‍යාඥයා මුහුණේ ඉරියව් වලින් ආවේග වර්ග කරන ක්‍රමයක් හැදුවා. මේ වගේ ක්‍රමයක් තමයි අර වෙබ් සයිට් ඇඩ් අය පාව්චිචියට ගන්නෙත්. ලන්ඩනයේ තියන Realeyes එහෙම ඇස් වලින් ආවේග කියන විජට්ටුවක් නිර්මාණය කරලා තියෙනවා. දැන් මේ වගේ උත්සාහයක දී ඔයා දැනුවත් නැත්නම් ඒ වගේ දේවල් ඔයා යන වෙබ් අඩවියේ සිද්ධ වෙනවා කියා … එතකොට ඇස්වල හා මුවේ දක්වන ඉරියව් වලින් මැන බලා ඔයාගේ යටි සිතට බලපෑම් කරන්න ඒ දැන්වීම් වලට හැකියාව ලැබෙනවා. ඒක අර ඉහළ කියන විදියෙ මෝහනයක් නෙමෙයි, ඒත් දැන්වීම් වලින් වෙන්නෙත් එක්තරා ආකාරයක මෝහනයක් නේද?!!!

      Sony කොම්පැණිය වෙබ් කැමරා වලින් පරිගණක සෙල්ලම් කරන අයගෙ ඉරියව් අරගෙන, ඔවුන් හදා ඇති software වලින් සෙල්ලම් කරන අයගේ subconscious behavior හඳුනා ගෙන සෙල්ලම ඔවුන්ට කැමත්ත වැඩි කරන විදියට වෙනස් කරන්න වෑයම් කරනවා. ඒ කියන්නෙ සෙල්ලමක් කරද්දී ඒක දුෂ්කර නම් පහසු කරවන්නත්, පහසු නම් දුෂ්කර කරන්නත්, පුද්ගලයා ඈනුම් අරිනවා නම් කුතුහලය දනවන්න වෙනස් කරන්නත් වගේ අත්දැකීම අනගි කරන පරිගණක ක්‍රීඩා හදන්න පුළුවන් කියලා ඔවුන් කියන්නෙ.

      Philips කොම්පැණිය දැනටමත් හදලා තියෙනවා කැමරාවකින් බලලා හදවත ස්පන්දනය මනින්න පුළුවන් විජට්ටුවක්. වැඩි කාලයක් යන්න මත්තෙන් ඇපල් අයිපෑඩ් 2 න් ඒකෙ තියන කැමරා දෙකෙන් මැනලා තමන්ට අයිපෑඩ් දිහා බලලා තමන්ගේ heart and breathing rate දැනගන්න පුළුවන්.

      ඔය ඔක්කොම දැනට යටි සිත ගැන දන්නා තොරතුරු අනුව බිහි වූ දේවල්. තව ඉස්සරහට දැනුම වැඩි වෙද්දී තමන්ට තමන්වම මෝහනය කරගෙන මත්පැන්, සිගරට් බොන එක නවත්තගන්නත් අයි පෑඩ් ඇප් එකක් ලැබෙයි ද?!!!!

  4. roshanrh said, on ඔක්තෝබර් 24, 2011 at 12:00 ප.ව.

    ඒ වුනාට හැමවිටම ධනාත්මක වීමත් හැමවිටම සෘණාත්මකවීමත් හොඳ නෑ නේද? (අධිතක්සේරුව හා අවතක්සේරුව ඇතිවෙන්න පුලුවන් නිසා)

    • arunishapiro said, on ඔක්තෝබර් 24, 2011 at 7:34 ප.ව.

      roshanrh,

      ධනාත්මක කියන්නෙ නැති තත්වයක් මවා ගැනීම නෙමෙයි. කිසි සේත් ම අධිතක්සේරුවක් නෙමෙයි. ධනාත්මක සිතුවිලි වලින් යුතු වූ පමණින් සිතක ඍනාත්මක සිතුවිලි හට ගැනීම නවතින්නේ නැහැ. වෙන එකම දෙය තමයි ඍනාත්මක සිතුවිලි වල හිර වී සිටීමෙන් ඉක්මණින් ගැලවෙන්න හැකියාවක් ලැබීම. ඉන් මේ ඉතා කෙටි වූ ජීවිතයේ කාලය නැමති වටිනා වස්තුව නාස්ති නොකර අයෙකුට ජීවිතය පහසුවෙන් සාර්ථක කරගන්න පුළුවන්.

  5. chaminda said, on ඔක්තෝබර් 25, 2011 at 7:30 පෙ.ව.

    Auruni Akka,
    Oyage lipi bagayak withara kiyawaga enne. hoda lipi tiyenawa
    Me sathiya atulatha serama lipi kiyawanna thami hithagena inne.
    Danathma Chinthnaya gana dan thiyena lipi walata thami mama godak kamathi .

  6. Ravi said, on ඔක්තෝබර් 25, 2011 at 8:50 පෙ.ව.

    අරුණි,

    බුදු දහමේ සඳහන් වන උපේක්ෂාව සෘනාත්මක සිතුවිල්ලක් නේද?

    • arunishapiro said, on ඔක්තෝබර් 25, 2011 at 9:04 පෙ.ව.

      Ravi,

      නැහැ රවී බුදු දහමේ එන උපෙක්ඛා යන්නේ නිවැරදි තේරුම Equanimity යන්නයි. එනම් Mental calmness, composure, and evenness of temper, esp. in a difficult situation. එය ධනාත්මක චෛතසිකය අත්‍යාවශ්‍ය අංගයක්. නිවැරදි ප්‍රස්තුත කරා යන්න හැකියාව ඇත්තේ සිත සංසුන් වුනාම.

  7. Asanka said, on අප්‍රේල් 15, 2015 at 5:35 පෙ.ව.

    අරුණි අක්කගේ අදහස් තාත්තගේ අදහස් වලට නව මානයක් එකතු කරල තියෙනව…ඇත්තටම ඊටත් එහා ගිය දේවල් තියෙනව..සන්තෝසයි ඔබ වගේ කෙනෙක් ලංකාවට දායාද වුනු එක ගැන…මම පාසල් ගුරුවරයෙක්..මට ගොඩක් වටිනව මේ අදහස්..මොකද මම උගන්නවට අමතරව විනාඩි 5ක් විතර අරන් මේ වගේ අදහස් ලමයින්ට කියල දෙනව..මම හිතන්නෙ උගන්නන එක කියන්නෙ විෂය කරුණු පුරවන එක නෙවෙයි..පාරෙ බැහැල කරදරයක් නොවි ගිහින් ගෙදර එන හැටිවත් ලමයි අද කාලෙ දන්නෙ නෑ…දැනගන්න උවමනාවකුත් බහුතරයකට නෑ..අධ්‍යාපන තරගයට වහ වැටිල ඉන්නෙ…ඉතින් මේ අදහසුත් ඒ ලමයින්ට දෙන්න පුලුවනි…ගොඩක් ස්තුතියි..ගොඩක්ම…ඔබ වගේ කෙනෙක් අපේ ඉස්කෝලෙට ගෙන්නල ලමයින්ගෙ ඔලුවලට හරබර අදහස් ටිකක් දෙන්න තියෙනව නම් හරි ආසයි..

    • arunishapiro said, on අප්‍රේල් 15, 2015 at 8:16 පෙ.ව.

      Asanka,

      ස්තූතියි. විදේශිකයන්ට (මම ඇමෙරිකන් පුරවැසියෙක්) ලංකාවේ මහජන දේශන පැවැත්වීමට තිබුණ නීති දැන් ටිකක් ලිහිල් බව පෙනෙනවා. ඒ නිසා වැඩිකල් නොගිහින් ඔය පැත්තෙ ඇවිත් හැකි පමණින් මගේ දැනුමෙන් කොටසක් බෙදා ගන්න උත්සාහ කරන්නම්.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: