අරුණි ශපීරෝ‍ වෙතින්

ධනාත්මක සිතක් පවත්වා ගන්නා හැටි

Posted in Uncategorized by arunishapiro on ඔක්තෝබර් 25, 2011

චෛතසික ස්වභාවයන් බොහොමයක් මිනිසා සතුයි. අයෙක් කුතුහලයෙන්, විවෘත බවකින්, සලකා බැලීමකින්, ජවයකින් ලෝකය දිහා බලද්දී තවත් අයෙක් මුරණ්ඩුව, අලසව, කුසීතව, අල්ලා ගත් මතවල එල්බ ඉන්නවා. පළමු වැන්නා ධනාත්මක හැදියාවක් ඇත්තෙක්. දෙවැන්නා ඍනාත්මක හැදියාවක් ඇත්තෙක්. පළමුවැන්නාගේ මොළයේ නියුරෝන ක්‍රියාවලිය නිසා ඇතිවන මොළයේ රසායන මඟින් මොළයත් සිරුරත් නිරෝගී හා වඩාත් ඵලදායී කරද්දී දෙවැන්නාගේ මොළයේ ඇතිවන අහිතකර රසායන මඟින් මොළයත් සිරුරත් රෝගී හා ඵලදායිත්වයෙන් අඩු කරනවා.

ධනාත්මක සිතක් කියන්නෙ හැම තිස්සෙ ම මවා ගත්තු සිනාවකින් තමන් රවටා ගැනීමක් නෙමෙයි. එදිනෙදා ජීවිතයේ මුහුණ දෙන සිදුවීම් වල දී ආවේග අත්දකින්න හැකියාව ඇති සිතක්. අනිත් අය තමන් මුහුණ දෙන ආවේගයකින් අඩපණ වෙලා පසුබසිද්දී, එයින් පසුබට නොවී සාර්ථකත්වය කරා ඉක්මණින් යන්න පුළුවන් සිතක් ඇති අයෙක්.

තමන්ව පුරුදු පුහුණු කරගත්තාම ඍනාත්මක හැදියාවක් ඇති අයෙකුට ද, කැමැත්ත හා වෑයමේ තරමට, ධනාත්මක හැදියාවක් ඇති කරගන්න හැකියාව මිනිස් මොළයේ තියෙනවා.

තමා අතින් වූ නිශ්ඵල ක්‍රියාවන් දැක මනස්තාපයට පත් නොවී ඉන්න ධනාත්මකව සිතන්නාට පුළුවන්. ඍනාත්මකව සිතන්නා යම් බලාපොරොත්තු කඩ වීමක දී වෙනත් බලාපොරොත්තු ඇති කර ගැනීමට පසුබටයි. සමහර විට බලාපොරොත්තු ඇති කර ගැනීමෙන් ඒවා කඩ වේ යැයි කියා බලාපොරොත්තු ඇති කර ගැනීමෙන් ඈත් වී සිටියි.

යමකින් ඵලක් නැතැයි වැටහීමෙන් එය අත්හැර දැමීම වැඩි උත්සාහයක් නැතිව දරා ගන්න පුළුවන් චෛතසිකයක ධනාත්මකව සිතන්නා ඉන්නෙ. කාලයක්, මුදලක්, කැප කිරීමක් කරපු යමක් නිශ්ඵල යැයි දැක්කාම ඒක අත්හැරලා දාන්න හැකි ශක්තියක් ඇති අය. කාලය, මුදල් හා වෙහෙස යට කරපු නිසා, එහි ම නියැලී ඉන්න අය ඒ ගැන වෙනසක් කරන්න හිතන්නත් අකමැතියි.

ධනාත්මකව සිතන්නෙක් හැම විට ම තමන් ගැන විමසන්නෙක්. නිතරම තමන්ගෙ ප්‍රස්තුත නිවැරදි දැයි සොයා බලන්නෙක්. ඒවා වැරදි නම් නිවැරදි කරගන්න පසුබට නොවෙන්නෙක්.

ධනාත්මකව සිතන්නා තරඟ කරන්නෙ පිරිසිදු බවකින් මිසක් හොර බොරු වංචාවෙන් නෙමෙයි. තමන්ගෙ සිතේ හයිය ගැන විශ්වාසයක් ගොඩ නැඟෙන්නෙ හිතට හොර බොරු වංචා කරලා නෙමෙයි.

එකට එකක් කරන්න හිතෙන ආවේගයන් අයින් කරගන්න ධනාත්මක චෛතසිකයක් ඇත්තාට පහසුයි. මොකද, අනික් එක්කෙනාට වඩා ඉහළින් නෙමෙයි තමන් වැඩ කර යුත්තේ. මා වැඩ ගන්නේ සියල්ලන්ට ම වඩා ඉහළ තැනක ඉන්නා මගේ සිතින්. ඒ නිසා මගේ සිතින් වැඩ ගනිද්දී මා වැඩ කළ යුත්තේ මගේ සිත සතුටු කරන්න මිසක් වෙන කාටවත් පෙන්වන්න නෙවෙයි.

ඒ වගේම ජයකින් මත් වෙන්නෙත් නැහැ. ධනාත්මක චෛතසිකය දන්නවා එයයි ජයගන්නෙ කියලා … ඉතින් ජයගත්තාම කුල්මත් වෙන්නෙ අහවල් කාරියකට ද?!!!

පැරදුනාම කනස්සල්ලෙන් කාලය ගෙවන්නෙත් නැහැ. පැරදුනේ කුමක් හෝ නිවැරදි ව කරපු නැති නිසයි. ඒ කුමක් දැයි සොයාගන්න උත්සාහයේ දී කනස්සල්ලට සිතේ ඉඩක් නැහැ. ඊ ළඟට එය නිවැරදි කරගන්න උත්සාහයේ දී ද කනස්සල්ලෙන් කාලය ගෙවන්න සිතේ ඉඩක් නැහැ.

ඕනෑම වැඩකට අත ගහද්දී ධනාත්මක චෛතසිකයක් ඇත්තාට නීතිමය, ආචාර ධාර්මික හා සදාචාර වූ සීමා දකින්න පුළුවන්. ඒවා පැත්තකට දාලා වැඩේට අත ගහන්නෙ ඍනාත්මකව සිතන අය. ඍනාත්මක සිතක් තමයි නීතිය, ආචාර ධර්ම හා සදාචාරයෙන් බැහැර වි මිසක් නැත්නම් වැඩක් කරගන්න බැහැ කියල හිතන්නෙ.

ධනාත්මක සිතක හැදියාව තමයි සිහින මවන්න හැකියාව තිබ්බට සිහින මාලිගාවක ජීවත් නොවීම.

අපේ හිත්වල ඔටෝමැටික් සිතුවිලි නිතර නළියනවා. ඔටෝමැටික් සිතුවිලි කියන්නෙ යම් දෙයක් ගැන උවමනාවකින් කල්පනා නොකරද්දී හිතේ නළියන සිතුවිලි. ඒ සිතුවිලි මොනවා ද කියා අවධානයක් යොමු කළොත් කොතරම් නිශ්ඵල සිතුවිලි වලට අයෙක් තම මොළයේ කොතරම් ඉඩක් දී තියෙනවා ද කියලා අවබෝධයක් ලැබේවි. ඉතින් හිතන්න, ඒ සියළු සිතුවිලි ධනාත්මක වූ හා අරමුණක් ඉලක්ක කරගත්තා වූවා නම්?!!!

ඉබේම පහළ වන සිතුවිලි ගැන අවධානයක් යොමු කිරීමෙන් ඒවා ධනාත්මකව හසුරුවා ගන්න හැකියාවක් ද පටන් ගන්නවා. උදාහරණයක් මෙසේ ඉදිරිපත් කරන්නම්: තමන්ට නැති අනිත් අයට ඇති දෙයක් දකිනා විට (සිද්ධිය) සිතේ ඒ ගැන අප්‍රසාදයක්/මට ඒක නැහැ/ඕවා මොකට ද? යනාදී වූවක් (ඔටෝමැටික් සිතුවිල්ලක්) හට ගැනීම. එවිට සිතට දැනෙන්නේ දුක, ඊර්ෂ්‍යාව, කුසීත බවක් (චිත්ත ආවේගය) ඉන් මොළයේ හටගන්නා වූ අහිතකර රසායන සිරුර පුරා පැතිර යනවා. ඒ හැදියාවෙන් ගොඩ එන්න නම් තමන්ගේ සිතේ ඉබේම හටගන්නා සිතුවිලි ගැන අවධානයකින් ඉන්න ඕනා. ඇයි මේ අප්‍රසාදය? ඇයි මේ දුක? ඇයි මේ තරහ? ඒ ආවේග වලින් ඉවත් වෙන්න තමන් විසින් නිවැරදි ප්‍රස්තුත වලින් විචාරයක් කරන්න ඕන.

ඉබේම පහළ වන සිතුවිලි වලට අවධානයක් යොමු කිරීමෙන්, ඒවා පහළ වූ සැනින් හඳුනා ගෙන වෙනස් කරගන්න උත්සාහයේ තරමට, වෑයමේ තරමට පුද්ගලයාට ඊට හැකියාව ලැබෙනවා. කිසිම අවස්ථාවක දී, ලෝකයේ සිද්ධ වෙන ඕනෑම සිද්ධියක දී, වෙනත් අයෙක් ගැන හෝ තමන් ගැන වුව ද, අප්‍රසාදයක්, කෝපයක්, හෝ වේදනාවක් ඇති වීම නිසා ඒ ඍනාත්මක සිතුවිලි වලට අරක් ගන්නට තම මොළයේ ඉඩක් දීමෙන් අහිතකර රසායන නිපදවෙන්නේ ද තම මොළයේ ම යි. අහිතකර වූ ඍනාත්මක සිතුවිලි හඳුනා ගැනීමත්, තමා තුලින් ඒවා ඉවත් කර ගැනීමත් සත්‍ය ලෝකයෙන් බැහැර යාමක් නොවේ.

Advertisements

16 Responses

Subscribe to comments with RSS.

  1. dawkinssdodo said, on ඔක්තෝබර් 25, 2011 at 8:25 පෙ.ව.

    ඔලුව ගිනියන් වෙනකන් ලියලා ලියලා, අතපය ගෙවෙනකං ලැබ් එකේ වැඩකරලා යවන පේපර් එකට “අරක නෑ, මේක නෑ ” කියල රිවිව්වර්ස්ලා රිජෙක්ට් කරාම උන්ගේ පරම්පරාවම මතක් කරල බැනලත් තියෙනව (හිතෙන්).

    ඒ වගේම අමාරුවෙන් යවපු එකක් පබ්ලිෂ් උනාම කරටි කැඩෙන්න අනුමත වෙලාත් තියෙනවා

    මේ දෙකම වැරදියි නේද? 🙂

  2. Ravi said, on ඔක්තෝබර් 25, 2011 at 9:08 පෙ.ව.

    අරුණි,

    මිනිසාට ආවේණිකවම දුක, ඊර්ෂ්‍යාව, සතුට,කෝපය වගෙ හැඟීම් ඇතිවෙනව..එතකොට ඒ සිතුවිලි සියල්ල වළක්වනවයි කියන්නෙ මිනිසාගෙ ස්වභාවයම වෙනස් වෙනව නේද?….එහෙමද වෙන්න අවශ්‍ය?

    • arunishapiro said, on ඔක්තෝබර් 25, 2011 at 9:17 පෙ.ව.

      Ravi,

      සිතුවිලි ඇතිවෙන එක වළක්වන්න මිනිස් මොළයට හැකියාවක් නැහැ.

      දුක, ඊර්ෂ්‍යාව, කෝපය වගේ ම සතුට, මුදිතා (capacity to participate in the joy of others, to take happiness in the happiness of others), ප්‍රීතිය වගේ ආවේගයන් ද මිනිසාට ආවේණිකයි.

      මොළයට හානිකර වූ රසායන නිපදවන ආවේග ඇතිවෙද්දී ඒවා හිතකර රසායන උපදවන ආවේග බවට හරවා ගැනීමට හැකියාවක් මිනිස් මොළයට තිබීම ද ස්වභාවික මිසක් අස්වාභාවික වූවක් නොවේ.

      //එහෙම වෙන්න ද අවශ්‍ය?// මගෙන් අහන්න එපා රවී … හිතන්න පුළුවන් සිත් තියන අය තමන්ගෙ හිතෙන් අහන්න ඕනා දෙයක්!!!

      • Ravi said, on ඔක්තෝබර් 26, 2011 at 1:04 පෙ.ව.

        අරුණි,

        ස්තූතියි ඔබේ පැහැදිලි කිරීමට,

        / මගෙන් අහන්න එපා රවී … හිතන්න පුළුවන් සිත් තියන අය තමන්ගෙ හිතෙන් අහන්න ඕනා දෙයක්!!! /

        හෙහ්, හෙහ්…..සමාවෙන්න, සමාවෙන්න, කොච්චර කිව්වත් ඇබ්බැහිය අත අරින්න බැරි කම නෙව වෙලා තියෙන හෙණේ……….

    • යහපත් ඇනෝ said, on ඔක්තෝබර් 25, 2011 at 2:48 ප.ව.

      අනේ රවියෝ,
      ඒකට තමයි උඹට ඔළුවක් කියලා එකක් දීලා තියෙන්නේ. හිතට එන එන හැඟීම පිට කරන්න ගියොත් වෙනදේ පොඩ්ඩක් පාරට බැස්සම හිතලා බලපන්. හිකිස්.

      වෙලාවකට විතරක් අයහපත් වන යහපත්_ ඇනෝ

      • arunishapiro said, on ඔක්තෝබර් 25, 2011 at 5:28 ප.ව.

        යහපත් ඇනෝ,

        අපැහැදිලි තැනක් පැහැදිලි වීම නිසා රවීට නම් මගේ පිළිතුර කියෙව්වාම සතුටක් දැනෙන්න ඇති. ඒත් යහපත් ඇනෝට පුංචි ජොලියක් ගිහින් තියෙන්නෙ රවිට වැරදුනා කියලා හිතිලා ද?!!!

      • Ravi said, on ඔක්තෝබර් 26, 2011 at 1:06 පෙ.ව.

        යහපත් ඇනෝ,

        / හිතට එන එන හැඟීම පිට කරන්න ගියොත් වෙනදේ පොඩ්ඩක් පාරට බැස්සම හිතලා බලපන්. හිකිස්. /

        පාරට බහින්ටම ඕන නෑ යහපත්, ඔයාගෙ කමෙන්ට් එක කියෙව්වම මට ඒක අගේට පැහැදිලි උනා…..බොහොම ස්තූතියි,

  3. lansakara said, on ඔක්තෝබර් 25, 2011 at 1:59 ප.ව.

    Arunita,
    Thanks lot ur sinhala blog .I joined ur blog only one week. i like to write in sinhala. but i dont know. in this week i learned and got many things from ur blog. thanks again. i knew ur father and u through Manasa papaer and Mr shantha jayasunda.i have red abt 10 books wriitten by ur father.thats very vast subject. we can see evrey where in d world Hon, s, samarasignhe’s thoery.because of that i’m living happy,healthy,& enjoyble life in this happy world. but i can tell what Hon, s,samarasingha needed, now its happening through Mr shantha jayasundara.it has many example we can see in srilanka.thousand & thousand people know what is the life,how to earn money correct ways. also u can know from ur sister gayani,how sales of books before 10 yrs and now. i’m not talking abt money. we can know how much books are reading by people. I think thats Hon s’samarasingha wanted. i like if u are reply in sinhala. thanks.

    • arunishapiro said, on ඔක්තෝබර් 25, 2011 at 5:27 ප.ව.

      lansakara,

      ආයුබෝවන්!

      ඔබ සිංහලෙන් ලියන්න කැමැති නම් මෙතැනින් එසැණින් යුනිකේත පරිවර්තනය පුළුවන්: http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

      ඔබ සතුටින් දිවි ගෙවන බව දැන ගැනීම මට ද සතුටක්. ජය වේවා!

      දැනට වසර 10 කට පෙර තාත්තාගේ පොත් අලෙවිය හා දැන් පොත් අලෙවියේ වැඩි වෙනසක් නැහැ. මීට වසර 30 කට කළින් නම් උණු කැවුම් වගේ පොත් අලෙවි වුණා!!! ඒ පොත් මගේ නංගිගේ ප්‍රධාන ආදායම් මාර්ගය ද නොවේ. හැබැයි එදා ඒක තාත්තාගේ නම් ප්‍රධාන ආදායම් මාර්ගයයි. තාත්තා ඒ පොත් සඳහා තිබිච්ච ඉල්ලුමක් සපයා ඉන් මුදලක් උපයා ගත්තා. මිනිස්සුන්ට අවශ්‍ය දැයක් දීමෙන් මුදලක් උපයා ගැනීම කිසි සේත් ම ලැජ්ජාවට කාරණාවක් නොවෙයි. ලැජ්ජා විය යුත්තේ බලහත්කාරයෙන් මුදල් උදුරා ගැනීම හා අඩු ප්‍රමිතියේ බඩු විකිණීම ගැනයි නේද?!!! //i’m not talking abt money// කියා තිබ්බ නිසයි ඒ ටික ලිව්වෙ. මුදල් නැතිව පොත් ගහන්න බැහැනෙ … ඉතින් මුදල් ගැන කතා නොකර මිනිසුන්ට කියවන්න පොත් ඉදිරිපත් එක ගැන කතා කරන්නෙ කොහොම ද?

  4. Gimhani said, on ඔක්තෝබර් 25, 2011 at 10:52 ප.ව.

    ඔලුවට හොඳ විවේකයක් අරගෙන ලිපිය කියෙව්ව . අරුණි අක්කගෙ ලිපි හදිසියට කියවන්න බෑ …
    …හොඳ පැහැදිලි කිරීමක් . ස්තූතියි …

  5. Observer said, on ඔක්තෝබර් 26, 2011 at 12:33 පෙ.ව.

    පසුගිය දවස් කීපයෙ මග හැරුණු ලිපිත් දැන් කියෙව්වෙ. මේ දවස් වල උත්සාහය ධනාත්මකව හිතන්න පුරුදු වෙන්න.

  6. henryblogwalker said, on ඔක්තෝබර් 26, 2011 at 3:47 පෙ.ව.

    මේකට කෙලින්ම අදාල නැතත් මට මෙන්නමේක මතක් වුනා. ශර්ව ශුභවාදියා සහ සර්වාශුභවාදියා යන දෙදෙනාම සමාජයට අවශ්‍යය. සර්ව ශුභවාදියා ගුවන් යානාව නිපදවූ අතර සර්ව අශුභවාදියා පැරෂූටය නිපදවීය.

    • arunishapiro said, on ඔක්තෝබර් 26, 2011 at 9:04 පෙ.ව.

      henryblogwalker,

      Both optimists and pessimists contribute to our society. The optimist invents the airplane and the pessimist the parachute. ~Gil Stern

      මම හිතන්නෙ පැරෂූට් නිපදවන්නෙ සර්ව අශුභවාදියා නෙමෙයි. මොකද පැරෂූට් එකත් හරියට ඇරෙන්නෙ නැතිව වැටිලා මැරෙයි කියන සිතුවිල්ල තමයි සර්ව අශුභවාදියෙකුට තියෙන්නෙ!!! ඉතින්, පැරෂූට් නිපදවන්නේ සර්ව ශුභවාදියා විසින් ලෝකේ ඉන්න සර්ව අශුභවාදීන්ටයි!!!!

      ඒත්, ධනාත්මක චින්තනය සර්ව ශුභවාදයක් නෙමෙයි. හැම දෙයක් ම ඒකාන්තයෙන් හරියනවා කියන සිහිනයක ඉඳීම ධනාත්මක චින්තනය යැයි වරදවා සිතන අය බොහොම වැඩි. සිතෙන් වැඩ ගන්න සිත පුහුණු කර ගැනීමයි ධනාත්මක චින්තනය.

  7. lansakara said, on ඔක්තෝබර් 26, 2011 at 11:22 පෙ.ව.

    who are in this picture?

  8. අමිල.. said, on ඔක්තෝබර් 27, 2011 at 9:40 පෙ.ව.

    අෙන් මන්දා? මේව විකුණගෙන කන කණ්ඩායමක් ලංකාවෙ බිහිවෙලා ඉන්න නිසා තවත් බොරුවක් කියලා කාලයක් මම හිතාගෙන හිටියා.. එ්ත් ලෝකයෙ හොදම දේවල් ලැබෙන්නෙ නොමිලෙ ලු.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: