අරුණි ශපීරෝ‍ වෙතින්

ඔටෝමැටික් සිතුවිලි

Posted in Uncategorized by arunishapiro on ඔක්තෝබර් 26, 2011

මේවායෙන් ඔබගේ සිතේ නිතර නළියන ඉබේම පහළ වන සිතුවිලි මොනවා ද?

___ මීට වඩා හොඳින් මගේ ජීවිතය හැඩගසා ගත යුතුයි.

___ ඔහුට/ඇයට මාව වටහා ගන්නට බැහැ.

___ මට ඒක ආයේ හදාගන්න පුළුවන්.

___ ඔහු/ඇය මා අසතුටට පත් කළා.

___ මට කිසිවකින් ප්‍රීතියක් ලබන්න බැහැ.

___ ඇයි මම මේ තරම් දුර්වල?

___ කිසිම කෙනෙන්ව විශ්වාස කරන්න බෑ.

___ මම හැම තිස්සෙම වැඩ අවුල් කර ගන්නවා.

___ මගේ ජීවිතේ අරමුණක් නැතිව හැම තැනම පාවෙන්නක්.

___ මම හොඳ යාළුවෙක්/සැමියෙක්/බිරිඳක්/පුතෙක්/දියණියක්

___ මගේ ජීවිතය ගෙවෙන්නෙ මට ඕනා විදියට නෙමෙයි.

___ මම පැරදුනා.

___ මට වැරදුනාට මට වැරදිච්ච තැන හදාගන්න පුළුවන්.

___ මේක කාටවත් කියලා කරවාගන්න බැරි වැඩක්.

___ මට එච්චර වැදගත් අනාගතයක් කියලා දෙයක් නැහැ.

___ මගේ පාලනයෙන් සියල්ල ගිලිහිලා.

___ මම හිතවත් පුද්ගලයෙක්.

___ මට සේරම අත්හැරලා දාන්න හිතෙනවා ඕන දෙයක් වෙද්දෙන් කියලා.

___ මොකක් හරි අවාසනාවක් වෙන්නයි යන්නෙ.

___ මගේ මොකක් හරි වැරැද්දක් ඇති.

___ මම කම්මැලියෙක්.

___ අනිත් අයව සතුටු කරන්න නම් මම ඒ අය කියන දේට එකඟ වෙන්න ඕනා.

___ මොනවා කරත් මට හරියන්නෙ නැහැ.

___ ආවේග පිටතට පෙන්වන්න නරකයි.

___ මම සාර්ථක නම් විතරයි මට තැනක් ලැබෙන්නෙ.

ඉහත ඇත්තේ උදාහරණ වෙති. එවැනි ඔටෝමැටික් සිතුවිල්ලක් හිතේ පැන නැඟුන විට ඒ සිතුවිල්ල නිසා හට ගත්තේ දුක, කෝපය, සතුට යනාදී ආවේග අතරින් කුමක්දැයි විමසන්න. ඒ සිතුවිල්ල විමසීමෙන් එහෙම සිතන විදියේ වැරැද්දක් ඇත්දැයි ඔබට සොයා ගත හැකිය. ආවේගයකට හේතු වූ සිතුවිල්ල සොයාගත නොහැකි මානසිකත්වයක ඉන්නේ නම් වහාම මනෝවිද්‍යාඥයෙකු හමුවිය යුතුයි!!! දුක, කෝපය ඇති කරන ඔටෝමැටික් සිතුවිල්ලේ වැරැද්ද සොයා ගත් විට එය වෙනස් කරන්නට කැමැත්තක් ඇති අයෙක් කළ යුත්තේ ඒ ඉබේටම පහළ වන සිතුවිල්ල නැවතත් පහළ වෙද්දී ඒ වෙනුවට විචාරයෙන් ඒ ගැන සොයා බලා තමන් සොයා ගත්, තමන්ට යහපතක් ඉටු කරන සතුටු සිතුවිල්ල මතක් කර ගැනීමයි.

ඔටෝමැටික් සිතුවිල්ල: මට වෙන්නෙම මෙහෙම අකරතැබ්බමයි.

විචාරය: මට විතරක් නෙමෙයි වැඩ කරන ඕන කෙනෙකුට මෙහෙම අකරතැබ්බ වෙන්න ඉඩ තියනවා. වැඩ නොකරන අයටයි අකරතැබ්බ වෙන්නෙ නැත්තෙ. මට අකරතැබ්බය වුනේ මම වැඩයට අත ගහපු නිසයි. ඉතින් එක පාරක් වුනා කියල ආයේ නැවත නැවතත් අකරතැබ්බ වෙන්න මම ඉඩ තියෙන්නෙ නැහැ. මෙවර අකරතැබ්බයක් වූයේ මම කරපු වැරද්දක් තිබි නිසයි. ඒ වැරැද්ද හොයා ගෙන එය නිවැරදි කරගන්නම අකරතැබ්බය වීමෙන් ගැලවෙන්න පුළුවන්.

ඊ ළඟට අර කළින් ඔටෝමැටික් සිතුවිල්ල වූ “මට වෙන්නෙම මෙහෙම අකරතැබ්බමයි” යන්න ආයෙත් සිතට ආ සැණින් “වැඩේ හරියනවා” කියලා සිතුවිල්ල ක්ෂණිකව වෙනස් කරගත යුතුයි. කිහිප දිනක් යනතුරු එසේ ක්ෂණිකව සිතුවිල්ල වෙනස් කර ගැනීමෙන් යටි සිත ඊට පුරුදු පුහුණු වී අනතුරුව හැදියාව වෙනස් වෙයි. ධනාත්මක ඔටෝමැටික් සිතුවිල්ල මුල් අල්ලන්න කාලය ගන්නවා. හැබැයි ඒක පැල වුනාම අර කළින් තිබිච්ච ඍනාත්මක ඔටෝමැටික් සිතුවිල්ල ආයේ එන්නෙ නැහැ.

අයෙක් තමනට ඉබේම පහළ වන “අද නම් හෙම්බිරිස්සාවක් හැදෙයි,” “මේ ගමන යද්දී මොකක් හරි වින්නැහියක් වෙනවාමයි,” නැත්නම් “ඔන්න හිසරදයක් හැදෙනවා අනුමානයක් නැහැ,” යනාදී වූ ඔටෝමැටික් සිතුවිල්ලක ලගියි. ඒ විදියට ම හෙම්බිරිස්සාව, ගමෙනේ දී “ඔයින් ගියා ඇති” තත්වයක් හෝ හිස රදයක් හටගත් විට “දැක්ක ද ඒක නිච්චියට ම හරි ගියානේ,” කියයි. එහෙම නම්, ඇයි බැරි ඒ ඍනාත්මක සිතුවිල්ල වෙනුවට ධනාත්මක සිතුවිල්ලකින් ධනාත්මක ප්‍රතිඵලයක් ගන්න?!!!

සිතේ ඇතිවන ඔටෝමැටික් සිතුවිලි නිසා කොතරම් ලෙඩ රෝග වලින් පුද්ගලයා පෙළෙනවා දැයි මුලින් ම ඔප්පු කළේ දොස්තර එමිල්. ඒ සිතුවිලි වෙනස් කර ගැනීම නිසා රෝග වලින් සුවය ලබත හැකි බව ද මුලින් පෙන්වා දුන්නේ ඔහු.

සිතුවිලි දෙකකට එකවර හිතේ ඉඩක් නැති නිසා අහිතකර සිතුවිල්ල ඇතිවන හැම විටෙක ම වෙනස් කරගත් සිතුවිල්ල මතක් කර ගැනීමෙන් යටි සිතේ ඔටෝමැටික් සිතුවිලි හසුරුවා ගන්නට පුළුවන.

සාමාන්‍යයෙන් ඇති සවිඥානික අවුල්:

1. හැම දෙයක් ම එක්කෝ සර්ව සම්පූර්ණ යැයි සිතීම, නැත්නම් කිසිත් ඵලකට නැතැයි සිතීම. පුද්ගලයෙක් ගැන සිතද්දී එයා හරි ෂෝක් කෙනෙක් නැත්නම් හරි නපුරෙක් යැයි දෙකින් එකක් අල්ලා ගැනීම. සර්ව සම්පූර්ණ යැයි සිතන දේ මුළුමනින් විමසිල්ලකින් තොරව පිළිගැනීමට හුරු වී සිටීම. ඵලකට නැතැයි සිතූ දෙයක් විමසන්නට උත්සාහයක් නොගැනීම. හරි ෂෝක් කියා සිතූ අය කෙරෙහි සම්පූර්ණ විශ්වාසය තැබීම. හරි නපුරා යැයි සිතා නපුරෙක් දැයි සොයා නොබැලීම.

2. යම් සිත් කණගාටුවක් වූ සැනින් එය “ලෝකෙ විනාසය” යැයි සිතීම.

3. සාක්කි දිහා නොබලා හැම විටම වඩාත් ම අයහපත් වූ තත්වය ඇති වී ඇතැයි සිතීම.

4. ධනාත්මක දේවල් නොසලකා හැරීම. ඒවා වැදගත් නැහැ කියා ධනාත්මක අත්දැකීමක් සිද්ධ වූවත් ඉන් ඉක්මණින් බැහැර වීම.

5. මගේ වැරැද්ද යයි සිතීම. ඔබේ කාර්යයක් නොවන කල් හි ද, ඔබට පාලනයක් නොතිබි දෑ වල ද වරද ඔබ අත යැයි සිතීම.

6. යම් යම් කර්තව්‍ය්‍යන් කවුරු හරි විසින් කරත යුතු වූ දෑ යයි මතයක එල්බ සිටීම. තමන් විසින් හෝ අනිත් අය විසින් මේ මේ දේවල් කරත යුතු ම වූ දේවල් යැයි අල්ලා ගෙන සිටීමෙන් ඒවා අතපසු වෙද්දී විවේචනය කිරීම.

ඒ අවුල් බේරා ගැනීම විචාරයෙන් ඔබ කළ යුත්තකි. වැඩියෙන් ඔබේ සිතේ නළියන ඔටෝමැටික් සිතුවිලි මොනවා දැයි දන්නේ ඔබ ම පමණයි. ඒවා ගැන විමසිල්ලෙන් සිටීමෙන් ඒවා ධනාත්මක කරගත හැකියාව ඇත්තේ ද ඒ නිසා ඔබට ම පමණයි.

පුද්ගලයෙකුගේ මොළයේ එක දිනක දී ඔටෝමැටික් සිතුවිලි හැටදාහක් හටගන්නා බව සැලකුනත්, ඒ ගැන විද්‍යාත්මක වූ පර්යේෂණයක ප්‍රතිඵල මූලාශ්‍රයක් මට නැති බව සඳහන් කරන්නම්.

පින්තූරය ගූගල් ඉමේජස් වෙතින්. එය පෙරේදා ඇමෙරිකාවේ සමහර පැතිවල දකින්නට ලැබිච්ච Aurora explosion නෙමෙයි, සිතන මොළයක නියුරෝන පත්තු වෙන ආකාරයයි.

Advertisements

18 Responses

Subscribe to comments with RSS.

  1. aravinda said, on ඔක්තෝබර් 26, 2011 at 10:05 පෙ.ව.

    හොද මනෝ වෙදදුරා නියම පිස්සෙකි.
    මනස පාලනය කිරිමට හෑකිනම් එයින් කරගත හෑකි වෑඩ සිමාවක් නෑත.ඉන්දියනු බමුනන් විසින් හදුන්වදෙන ලද බුදුන් විසින් වෑඩි දියුනු කරන ලද ක්‍රමයකි. ධනාත්මක චින්චනය යනු බටහිර විසින් පෙරදිගින් හොරකන් කරන ලද දෙන ලද නමයි.
    ඔබට හෑකිනම් මනස පලනය කරගන්න ක්‍රම පිලිබද ලිපි පෙලක් ලියන්න උත්සහ කරන්න.එය බොහො අයට උපකාරයක් වෙවි.එය ඔබට “භාවනාව” ලෙස නොව ” ධනාත්මක සිතිවිලි ඈතිකර ගෑනිම ” ලෙස වෙනස් කරගන්න පුලුවන්.මොකද “භාවනාව” කියන වචනය බටහිරට අරහන් නිසා.

    • arunishapiro said, on ඔක්තෝබර් 26, 2011 at 10:46 පෙ.ව.

      aravinda,

      //හොද මනෝ වෙදදුරා නියම පිස්සෙකි.// ඔබ මේ ප්‍රස්තුතය නිවැරදි යැයි තීරණය කළේ කොහොම ද?

      ‘පිස්සු’ කියන්නේ නීතිමය අර්ථ දැක්වීමක්. හොඳ (right) සහ නරක (wrong) දකින්නට නොහැකියාව නිසා අයෙක් මවාගත් ලෝකයක ජීවත්වීම ‘පිස්සු’ යැයි නීතිමය වූ අර්ථ දැක්වීමක්. සමාජයීය නීති රීති වල ඇති හොඳ/නරක වටහා ගන්නට බැරි වූවෙකුට දඬුවම් දීම නොහැකි නිසා එයා හිරගෙදරට නොව මානසික රෝහලකට යැවෙනවා. මේ කියන්නේ ආගමික වූ හොඳ (good) නරක (evil) නොවන බව ද සලකන්න.

      බටහිර මනෝවිද්‍යාත්මක රෝග විස්තර කරන The Diagnostic and Statistical Manual of Mental Disorders (DSM) හි “insane” diagnosis නොහොත් ‘පිස්සු’ යැයි රෝග විනිශ්චයක් අඩංගු නැත.

      //ඉන්දියනු බමුනන් විසින් හදුන්වදෙන ලද බුදුන් විසින් වෑඩි දියුනු කරන ලද ක්‍රමයකි. ධනාත්මක චින්චනය යනු බටහිර විසින් පෙරදිගින් හොරකන් කරන ලද දෙන ලද නමයි.// ඉන්දීය බමුණන් ධනාත්මක චින්තනයක් දැන සිටියා යැයි මූලාශ්‍රයක් පෙන්වන්න. බුදුන් ඉදිරිපත් කරන ලද්දක් බවට සාක්ෂි නම් එමට ඇත. එහෙත් චින්තනයක් බටහිර හොරකන් කරන් ගියේ කොහොම ද?!!!! යමක් හොරකම් කරගත්තාම ඒක තිබිච්ච අයට නැහැනේ. ඒ කියන්නෙ දැන් පෙරදිගට ධනාත්මක චින්තනය නැතිවෙලා ද?

      //මනස පාලනය කිරිමට හෑකිනම් එයින් කරගත හෑකි වෑඩ සිමාවක් නෑත.// මිනිස් ස්වභාවය හා ලෝක ස්වභාවය බැහැර ලා ප්‍රස්තුත හදා ගැනීම නිවැරදි ද?

      //ඔබට හෑකිනම් මනස පලනය කරගන්න ක්‍රම පිලිබද ලිපි පෙලක් ලියන්න උත්සහ කරන්න.// මනස ‘පාලනය’ දන්න අයට ඒවා ලියන්න ඉඩ දෙන්නම්!!!!

      //මොකද “භාවනාව” කියන වචනය බටහිරට අරහන් නිසා.// ඔයා එහෙම හිතන්නෙ ඇයි? 2007 දී (මට දත්ත හොයා ගන්න ලැබිච්ච වසර එයයි) ඇමෙරිකාවේ මිලියන 20 කට වඩා පිරිසක් භාවනා ක්‍රම භාවිතා කරලා තියෙනවා. ඒ වාර්තාව හදන්න අහපු අයගෙන් 9.4% ක් පහුගිය වසර ඇතුලත භාවනා ක්‍රම භාවිතයට ගෙන තියනවා. ඇමෙරිකාවේ භාවනා මධ්‍යස්ථානයක් කියා හැඳින්වෙන තැනකට ගියොත් ඔයාට දැක ගන්න පුළුවන් වෙයි කොච්චර ‘බටහිර’ පිරිසක් එනවා ද කියලා.

  2. ගෝල්ඩ් fish said, on ඔක්තෝබර් 26, 2011 at 10:32 පෙ.ව.

    හරි පුදුම ඔටෝමැ​ටික් සිතුවිලි….!

    • arunishapiro said, on ඔක්තෝබර් 26, 2011 at 10:49 පෙ.ව.

      ගෝල්ඩ් fish,

      ඔව් යාළු මාළුවෝ, ඒවා ගැන ඉගෙන ගත්ත දවස්වල මගේ හිතේ හටගත්ත ඔටෝමැටික් සිතුවිලි දැකලා මට හිනා ගිය අවස්ථා වැඩි!!!

  3. යහපත් ඇනෝ said, on ඔක්තෝබර් 26, 2011 at 12:32 ප.ව.

    මට අහල පහල ඉන්න දෙතුන් දෙනෙකුට නෙලන්න හිතෙන ඔටෝමැටික් සිතුවිල්ලක් එනවා සමහර වෙලාවට.

    යහපත් ඇනෝ

    • arunishapiro said, on ඔක්තෝබර් 27, 2011 at 9:15 පෙ.ව.

      යහපත් ඇනෝ,

      මටත් එහෙම හිතුනා … වයස 14 විතර දී … තමන් වෙනස් වෙන්න පුළුවන් ඒත් අහල පහල අයව නම් වෙනස් කරන්න බැහැ කියලා තාත්තා කියා දීපු නිසා දැන් එහෙම අය ගැන එහෙම හිතෙන ඔටෝමැටික් සිතුවිලි ඉතා අඩුයි.

  4. mahesh said, on ඔක්තෝබර් 26, 2011 at 2:25 ප.ව.

    very good i like it write more and more like this

  5. dinesh umagiliya said, on ඔක්තෝබර් 26, 2011 at 3:36 ප.ව.

    අපූරු සිතුවිලි ටිකක්…

  6. Nihal Gurusinghe said, on ඔක්තෝබර් 26, 2011 at 4:20 ප.ව.

    මේ ඔටොමැටික් සිතිවිලි හැම එකක්ම මට පහල වෙනවා.
    අරුණි සොයුරියගේ සාර ගර්භ ලිපි හැමදාමත් මම කියවනවා. කිසිම ඔටෝමැටික් සිතිවිල්ලක් එන්නෙ නෑ මම ඔබේ ලිපි වලට මොන විදියේ ප්‍රතිචාරයක් දක්වනවාද කියා.
    ජය වේවා.

    • arunishapiro said, on ඔක්තෝබර් 27, 2011 at 9:18 පෙ.ව.

      Nihal Gurusinghe,

      නිහාල් සහෝදරයාට විෂයය හුරු වෙද්දී ඒ ගැන ඔටෝමැටික් සිතුවිලි පහළ වීමත් වැඩියෙන් සිද්ධ වේවි.

  7. Observer said, on ඔක්තෝබර් 26, 2011 at 7:10 ප.ව.

    උඩ ලිස්ට් එකේ, පොසිටිව් සහ නෙගටිව් සිතුවිලි දෙකම තියෙනව. ඔය දෙවර්ගයම මිනිස් සිතේ වරින් වර පහල වෙනව.
    අරුණි කියන්නෙ අපි හැකි තරං දුරට නෙගටිව් සිතුවිලි අඩු කර ගන්න උත්සාහ කරන්න ඕනෙ කියන එකනෙ?

    • arunishapiro said, on ඔක්තෝබර් 27, 2011 at 9:19 පෙ.ව.

      Observer,

      ඔව් ඔබා අයියේ, හැකි තරම් දුරට නෙගටිව් විතරක් නෙමෙයි කුසීත බව ඇති කරන ඔටොමැටික් සිතුවිලි ද අයින් කරගෙන, ඉලක්කයක් කරා යන සිතුවිලි වලට ඉඩ දෙන්න ඕනා.

  8. praveena said, on ඔක්තෝබර් 26, 2011 at 11:58 ප.ව.

    හැම තිස්සෙම හිතට එන ‘අර අහවලා මට ආදරේ නෑ’ කියන සිතුවිල්ල වෙනස් කරගන්නේ කොහොමද?… 🙂

    • arunishapiro said, on ඔක්තෝබර් 27, 2011 at 9:25 පෙ.ව.

      praveena,

      ඇයි එහෙම සිතෙන්නේ?

      විචාරය: අහවලා ආදරය නැහැයි කියන්නට සාධක මොනවා ද? අහවලා ආදරය ඇතැයි පෙන්වන සාධක මොනවා ද? ඒවා දෙපැත්තක ලිව්වාම වැඩි පැත්ත සොයා ගන්න පුළුවන්.

      අහවලා ආදරය ගැන හිතන විදිය වෙනස් කරන්න බැහැ. තමන් ආදරය ලබන්න සුදුස්සෙක්/නුසුදුස්සෙක් වෙන්න සිත හැඩගස්වා ගන්න පමණයි පුළුවන්. ඉතින්, අහවලා ආදරය ඇතැයි පෙන්වන සාධක වැඩි නම් තමන් ආදරය ලබන්න සුදුසුකම් වැඩි කරගත යුතුයි. ඉහළ කියපු ඔටෝමැටික් සිතුවිල්ල එද්දී ‘එයා මට ආදරෙයි’ කියා ක්ෂණිකව වෙනස් කරගත යුතුයි. අහවලා ආදරය නැතැයි පෙන්වන සාධක වැඩි නම් අහවලාව වෙනස් කරගන්න තමයි වෙන්නෙ!!!

  9. dawkinssdodo said, on ඔක්තෝබර් 27, 2011 at 4:24 පෙ.ව.

    ඔබ Creative Visualization ගැන සිතන්නේ මොකක්ද?

    • arunishapiro said, on ඔක්තෝබර් 27, 2011 at 9:38 පෙ.ව.

      dawkinssdodo,

      මේ ගැන තාත්තා දේශන වල දී කියා දුන්නා. මම පුංචි කාලේ සිට උදව්වට ගත්ත ක්‍රමයක්.

      ටෙනසි ප්‍රාන්තයේ දී ටෙනිස් ක්‍රීඩාවෙන් මම තරඟ කළ ශ්‍රේණියේ ප්‍රාන්ත මට්ටමින් 2 වැනි තැනට (පළමුවැන්නා පරාජය කළත් වෙන නගරයක පැවැත්වූ තරඟයකට මා ගියේ නැහැ) එන්න යොදාගත්තේ එයයි. 2002 වසරේ දී සහභාගී වූ හැම ටෙනිස් තරඟයකින් ම ජයගන්නට ද මට හැකිවූවා. ඊට පස්සෙ ටෙනිස් ගැහැව්වෙ කලාතුරකින් මොකද සුදු අප්පුහාමිගේ රිය අනතුරින් පසු එයාගෙ උදව්කාරිය වූ නිසා.

      ටයිගර් වුඩ්ස් මෙය භාවිතයට ගන්න අයෙක්. එයා ගොල්ෆ් පිටියේ දී තීරණාත්මක තැනක දී ඇස් වසා මොහොතක් නොසෙල්වී එහි යෙදෙනවා දකින්න හැකියි.

      ඒ ගැන ඉදිරි සටහනකින් තව ලියන්නම්.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: