අරුණි ශපීරෝ‍ වෙතින්

සරල බව අපැහැදිලි ද?

Posted in Uncategorized by arunishapiro on ඔක්තෝබර් 27, 2011

ගර්භාෂයේ සිටිය දී ම මිනිස් මොළයක නියුරෝන පත්තු වෙන්න පටන් ගන්නෙ. මාස හතර, පහ, හය යන කාල වල දී නූපන් දරුවාගේ මොළයක මිනිත්තුවකට නියුරෝන 250,000 ක් පමණ පත්තු වෙති. මේ කාලය තුල දී ගර්භාෂයක ඇති සම්පූර්ණව වැඩී නැති මොළ කට්ට තුල ස්වභාවික බුද්ධියක් (innate intelligence) ඇති බවත්, එහි මොළය, සිත හා සවිඥානය (consciousness) ඇති බවත් සොයා ගෙන ඇත.

බටහිර සම්භව්‍ය (classical music) එනම් Bach සහ Beethoven වැනි අයගේ සංගීතයෙන් ගර්භාෂයේ ඉන්නා දරුවාගේ මොළයේ වර්ධනය සූක්ෂම වී පසුකාලයේ දී ඒ දරුවන් පාසැල් කටයුතු ඉස්තරම් ලෙසින් කරන බව පර්යේෂණ වලින් ඔප්පු වී ඇත. Frances Rauscher, Gordon Shaw, Katherine Ky විසින් 1994 දී Morzart effect, ඒ කියන්නේ Morzart සංගීතයට සවන් දුන්න විශ්ව විද්‍යාල සිසුවන්ගේ මොළයේ කෙටි කාලයකට spatial-temporal reasoning තීක්ෂණ වූ අන්දම පෙන්වනවා.

ඇල්බට් අයන්ස්ටයින්ව ඉස්කෝලෙන් ගෙදර යැව්වාම මෝඩයා කියලා එයාගෙ දෙමව්පියෝ වයලීනයක් අරන් දීලා තියෙනවා. ඉතින් ඇල්බට් වැඩියෙන් ම කැමති Morzart සහ Bach සංගීතයට. ඇල්බට්ගෙ යාළුවෙක් කියන විදියට ඇල්බට් ගැටළු ගොඩක් විසඳා ගෙන තියෙන්නෙ අර සංගීත වල තමන් විසින් හදාගන්නා වෙනස් වූ රිද්ම වයලීනයෙන් ගහන ගමන්. එකම සංගීතය හැමදාම ඇහැව්ව ම මොළයට ලැබෙන ඵලයකුත් නැති නිසා.

ලෝක සත්‍යයන් කොතරම් සරලයි ද කිව්වොත් වැඩිදෙනා ඒවා වටහා ගන්න උත්සාහයක් ගන්නෙ නැහැ. නමුත් සංකීර්ණ වූ ගුප්ත දැයක් වෙනුවෙන් මුළු ජීවිතයම කැප කරනවා. සාර්ථක වෙන්න නම් තමන් විසින් වගකීමක් ගත යුතුයි. එය ඇහිච්ච නැති අයෙක් අද ලෝකයේ ඉන්නවා ද?!!!

අයෙක් වෙනුවෙන් කියවන්න තවත් අයෙකුට බැහැ. තමා විසින් අකුරු ගලපා ගෙන කියවන්න ඉගෙන ගත යුතු යුතුයි. නැත්නම් ඉතින් අනුන් කියවන දේවල් අහගෙන තමයි ඉන්න වෙන්නෙ. මොළයේ නියුරෝන පත්තු කරගෙන තමන්ගේ යහපත පිණිස වැඩ ගැනීම ද එහෙම වැඩක්. තමන් විසින් කළ යුත්තක්. කාටවත් ඔබ වෙනුවෙන් කරන්න බැහැ. ඕනෑම විෂයයක් ඉගෙන ගත්තම රැකියාවක් ලැබීම අයිතියක් කියලා හිතන දරුවෝ අද පෙළපාලි යනවා. රැකියාවක් ලබන්න තමන් සුදුස්සෙක් විය යුතු යන්න සලකා බලන්නෙ නැහැ. මම කාගෙන්වත් යැපෙන්න කැමැති නැහැ කියනවා. මගේ කියලා වස්තු පොදි ගහන්න කැමැත්තක් නැහැ කියනවා. ඒත් ඒ අය බලාපොරොත්තු වෙන්නෙ ආණ්ඩුවේ පාසැලකින් නොමිලේ අධ්‍යාපනය, ආණ්ඩුවේ තැනක රස්සාවක්, ආණ්ඩුවේ ඉස්පිරිතාලයක නොමිලේ බෙහෙත්. ආණ්ඩුව කියන්නෙ තමා වෙනුවෙන් වෙහෙසුන අයෙක් ගෙන් බලහත්කාරයෙන් අරගෙන ආණ්ඩුව කැමති අයට බෙදා දෙන තැනක් බව දැනගන්න ඕන කමක් නැහැ.

උපන් පමණින් අයෙකුට හිමි තම ජීවිතයට අයිතියක් පමණයි. ඉතිරි සියල්ල ම තමන් විසින් වෙහෙසී ලබාගත යුතුයි. වෙන කිසිම ක්‍රමයක් ලොව සාර්ථක වෙලා නැහැ. වෙන්නෙත් නැහැ.

බටහිර රටවල ගුප්ත යමක් ඇහුනම ඒ ගැන සොයා බලා, සත්‍ය්‍යක් ගෑවිලා ඇත්නම් ඒ ගැන තව හොයන්නත්, ඇත්තක් නැත්නම් අත්හැර දමන්නත් සූදානම්. යමක් වැඩ කරන හැටි දැනගත්තම, රේඩියෝව, විදුලි බල්බය, රූපවාහිනිය, සෙල් ෆෝන් එක වැනි, ඒක හැමෝටම පාවිච්චියට ඉදිරිපත් කරන්නත් (ගුප්ත බලයෙන් ටික දෙනෙකුට විතරක් හසුරුවන්න හැකි දේ නොව) උත්සාහයක් තියෙන්නෙ. ආර්ථිකය ගැන වුනත් එහෙමයි!!! වැඩ කරන්නෙ මෙහෙමයි කියලා පෙන්වලා දුන්නට ඒක නොකෙරන ක්‍රමය පිළිගන්න අය වැඩි, කෙරෙන හැටි පිළිගන්න අය අඩුයි!!!!

“මිනිසා කොතරම් නොදැනුවත් දැයි කිව්වොත් අවස්ථාවේ උවමනාව අනුව තමාව රවටන්නට ඉන්නා අයෙකු වෙතින් රැවටී දුක් විඳින්නට කැමැත්තෙන් ම ඉදිරිපත් වෙයි.” -මැකියාවෙලි 1513 දී ලියූ ‘කුමාරයා’ කතන්දරයේ එන කියුමකි.
“Men are so simple and yield so readily to the wants of the moment that he who will trick will always find another who will suffer himself to be tricked.” -Machiavelli in The Prince, 1513
(simple = lacking in knowledge or expertise බව පිළිගන්න අකමැති අය Niccolò Machiavelli ලියූ කතන්දරය කියවන්න!!!)

ඒ මොකද? ටික දෙනෙක් තමන් විසින් වගකීමක් ගෙන තමා වෙනුවෙන් වෙහෙසෙන්නට උත්සාහයක් ගන්නවා. වැඩි පිරිස එහෙම දියුණු වෙන්න බැහැ කියන මුලාවට රැවටිලා ලෙහෙසි මාර්ග සොයනවා.

සාර්ථකත්වයට යන මඟ ඉතිහාසය පුරා පෙරදිග අපරදිග ප්‍රාඥයන් පෙන්වා දුන්නක්.

“විමර්ශනය නොකරන ලද ජීවිතය ජීවත් වීමට වටනේ නැත.” –
Unexamined life is not worth living -Socrates

“අනගිත්වය දැන ගැනීම පමණක් ප්‍රමාණවත් නැත, අපි එය ලබා ගැනීමටත් පාවිච්චියටත් උත්සාහ ගත යුතුය.” -ඇරිස්ටෝටල්
With regard to excellence, it is not enough to know, but we must try to have and use it. -Aristotle

“මිනිසුන්ට තමන් නොකළ යුතු දැය ස්ථිරව ම තීරණය කරන්න ඉඩකඩක් දෙන්න, එවිට ඔවුන් තමන් කළ යුතු දෑ ප්‍රාණවත් ලෙසින් කරනු ඇත.” -මෙන්සියස්

අනාගතෙය් යම් දිනයෙක, මිනිස් මොළය සම්පූර්ණයෙන් වැඩ කරන හැටි දැනගත්ත දා පැමිණියත්, තම මොළයෙන් වැඩක් ගන්න හසුරුවා ගත හැකියාව ඇති මොළයේ අයිතිකරුවා ඊට වෙහෙසක් ගන්නේ නැත්තම් ඉන් ඵලක් නැත. තම මොළයේ පාවිච්චිය කැමැත්තෙන් ම අනුන්ට දෙන අයව බේරාගත හැකි ක්‍රමයක් නැත.

සොයා බැලීම ඔබට බාරයි. ඔටෝමැටික් සිතුවිලි සිතට එද්දී, ඒවා ගැන විමසිල්ලෙන් සිට හැකි ඉක්මණින් සිත කොනහන, කෝපයට පත් කරන, දුක ඇති කරන, එසේම කිසිත් ඵලකට නැති සිතුවිලි වෙනුවට අරමුණක් කරා යන ධනාත්මක සිතුවිල්ලක් මතක් කරගන්න. නිශ්ඵල සිතුවිලි (විශේෂයෙන්ම අනුන්ගේ දුර්වලකම් ගැන ..!!!) හිතන්නට ඔබේ වටිනා නියුරෝන පත්තු කරන මොළයේ ඉඩක් නොදෙන්න. ඊට වඩා හොඳයි එහෙම වෙලාවක බාහ්ක්, බේතෝවන් හෝ මෝසාට් වැනි අයෙකුගේ සංගීතය ඇහැව්වා නම්. ඊ ළඟට ඒ සංගීත ඇහෙන කොටම හඳුනාගන්න කාලය ආවම අයන්ස්ටයින් කළා වගේ තමන්ගෙ සංගීතය හදන්න තමයි ඕනා. අද ඇපල් නිෂ්පාදන භාවිතා කරන අයට ගරාජ්බෑන්ඩ් වලින් තමන්ගෙ සංගීතය හදන්නත් පුළුවන්.

Advertisements

14 Responses

Subscribe to comments with RSS.

  1. අමිල.. said, on ඔක්තෝබර් 27, 2011 at 10:03 පෙ.ව.

    මං නිවාඩු කාලෙ අාවාම කියවනවා..

  2. kumaraya said, on ඔක්තෝබර් 27, 2011 at 10:58 පෙ.ව.

    මේක නම් හුඟක්ම හොඳ ලිපියක්.
    අපි අතරෙ මොන තරම් වැරදි වෙනවද කියන එක මේකෙන් පේනවා.

  3. ජීවිතේ මල් said, on ඔක්තෝබර් 27, 2011 at 11:00 පෙ.ව.

    ස්තූතියි. ඉඳහිට ආව නිසා පසු ලිපි ටික මගෑරිලා. මේක වගෙම ඒවත් වෑදගත් දෙයක් දෙන බව විස්වාසයි. ඒවත් බලනවා.

  4. යහපත් ඇනෝ said, on ඔක්තෝබර් 27, 2011 at 12:30 ප.ව.

    හැකි තරම් මොළය වෙහෙසවලා හිතන්න තමයි මිනිස්සුන්ට මොළයක් ලැබිලා තියෙන්නේ.

  5. Observer said, on ඔක්තෝබර් 27, 2011 at 6:10 ප.ව.

    ලිපිය කියවන විට බවුද්ධ දර්ශනය, ඒ වගේම දේශපාලනය, යන දේවල් වලින් උදාහරණ මතක් වුනා.

    P.S.
    ජේ.ආර්. රටේ පාලනයට මැකියාවෙලි තියරිය පාවිච්චි කළා කියල ඒ දවස් වල කියන්නෙ.

    • arunishapiro said, on ඔක්තෝබර් 28, 2011 at 11:23 පෙ.ව.

      Observer,

      ඔබා අයියේ, මැකියාවෙලි තියරියන් පාවිච්චි නොකරන ආණ්ඩුවක නායකයෙක් ලෝකෙ කොහේවත් නැහැ. දේශපාලනයේ සත්‍ය පැත්ත පෙන්වා දීපු දාර්ශනිකයා නිකලෝ මැකියාවෙලි!!!

  6. praveena said, on ඔක්තෝබර් 27, 2011 at 9:41 ප.ව.

    හරිම වටිනා ලිපි පෙලක් අරුනි.

    මේ ලිපියේ මගේ හිතට තදින්ම කාවැදුනේ මේ කොටස.

    //අයෙක් වෙනුවෙන් කියවන්න තවත් අයෙකුට බැහැ. තමා විසින් අකුරු ගලපා ගෙන කියවන්න ඉගෙන ගත යුතු යුතුයි. නැත්නම් ඉතින් අනුන් කියවන දේවල් අහගෙන තමයි ඉන්න වෙන්නෙ//

    කියවීම විතරක් නෙමේ අපේ ජීවිතවල වැඩි හරියක් දේවල් මේ වගේ තමයි.

    • arunishapiro said, on ඔක්තෝබර් 28, 2011 at 11:26 පෙ.ව.

      praveena,

      ස්තූතියි ප්‍රවීනා.

      අපි ඉල්ලන්නෙ නිදහස, ස්වාධීනත්වය … ඒත් ඒක ලැබුනොත් බය වෙන පිරිසකුත් ඉන්නවා මොකද එතකොට තමන් විසින් වගකීමක් ගන්න සිද්ධ වෙන නිසා.

  7. Hishan Melanga said, on නොවැම්බර් 23, 2011 at 10:41 පෙ.ව.

    මම නම් කැමති Trance කියන Genre එකේ music වලට. ඒ music අහනකොට ඔබ කියන ආකාරයේ දෙයක් සිදුවෙනව කියල මට හිතෙනව. දැන් අවුරුද්දක විතර ඉදන් මම ඒ වර්ගයේ එකම සින්දු ටිකක් දිගටම ඇහුව. දැන් දැන් මටත් හිතෙනව ඔබ කිව්ව වගේ වෙනත් සින්දු ටිකක් සොයාගන්න වෙයි කියල 🙂

    Robert Miles,Aramin Von Buren වගේ අය මේ type music කරන පතාක යෝධයො. Robert Miles ගෙ Children කියන සින්දුව ලංකාවෙ සෑහෙන ප්‍රසිද්ධ වුනා ඒ කාලෙ මට හිතෙන්නෙ.

    • arunishapiro said, on නොවැම්බර් 23, 2011 at 11:18 පෙ.ව.

      Hishan Melanga,

      වෙනස් සංගීතය කිව්වාට දැනට වැඩියෙන් පර්යේෂණ වලින් ඔප්පු වී ඇත්තේ බටහිර සම්භව්‍ය (classical music) ඇසීමෙන් ලැබෙන වාසි ගැන. බටහිර පොප් සංස්කෘතියෙන් ඒ වාසි ලැබෙන්නේ නැහැ. වෙනස් සංගීතය නිසා වෙනස් තොරතුරු මොළයට ලබා දීමේ දී අළුත් සෛල සබඳතා වලට අවස්ථාවක් තියෙනවා. නමුත් වාසි යැයි අදහස් කරන වැඩියෙන් මොළය තීක්ෂණ වීම වන්නේ සම්භව්‍ය සංගීතයෙන්.

      මේ පිළිබඳ ව අනිකුත් සංගීත සම්ප්‍රදායන් තුල පර්යේෂණ පැවැත්වෙන්න පටන් ගත්තොත් අපිට ඒ ගැනත් දැන ගන්න ලැබේවි.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: