අරුණි ශපීරෝ‍ වෙතින්

ටොගල් ස්විච් එක සහ ඔටෝමැටික් පයිලට්

Posted in Uncategorized by arunishapiro on ඔක්තෝබර් 28, 2011

මේ සටහන් වල අරමුණ එදිනෙදා ජීවිතයට මොළය පාවිච්චි කරන හැටි කියා දීම යි. ඒ නිසා මොළයේ සම්පූර්ණ තොරතුරු හා එහි ක්‍රියාකාරීත්වයන් ගැන දැනට සොයාගෙන ඇති විස්තර ගැඹුරින් ලියන්නට නොයමි. එදිනෙදා ජීවිතයේ අපි මුහුණ දෙන්නා වූ දේවල් ඉදිරියේ මොළයේ මේ කාර්යයන් දෙක ගැන, එනම් ටොගල් ස්විච් එක හා ඔටොමැටික් පයිලට් යන අවදියන් දෙක, දැන ගැනීම මොළය පාවිච්චි කරන්නාට වාසිදායක නිසා ඒ ගැන ලියමි.

එකමත් එක කාලයක ලොව සිටියේ බඩ ගා යන සත්තු!! ඒ උරග මොළය සරල ය. එය හැදී තියෙන්නේ ජීවිතය රැක ගන්නට ය: ආශ්වාස ප්‍රාශ්වාසය, ආහාර ජීර්ණය, ලේ ධාවනය, ප්‍රජනනය යනාදියට ය. පරිනාම වූ ලෝකයේ වෙනත් සත්තු බිහිවිය. ඔවුන්ට උරග මොළයෙන් එහා මොළයක් වර්ධනය විය. එය limbic system නමින් හැඳින්වෙන ආවේග හා සංචලනය (movement) පාලනයට හැකියාව ඇති මොළයයි. මේ වර්ධනය නිසා ඒ සතුන් (දිවියා) තුල “සටන් වදිනවා ද නැත්නම් පැන දුවනවා ද” (fight or flight response) ප්‍රතිචාරය පටන් ගැණින. ඊ ළඟට ඇති වූයේ මොළයේ තෙවැනි වර්ධනයයි. එනම් ඉගෙන ගන්නට හැකි මොළයයි. ඉන් ගැටළු විසඳන්නටත්, භාෂාව හා අංක ගැන ඉගෙන ගන්නටත්, මතකයක් වර්ධනයටත්, නිර්මාණශීලී වන්නටත් මොළයට හැකියාව ලැබුණි. මොළය වර්ධනයේ අවදියන් තුන 1. protoreptilian 2. paleomammalian 3. neomammalian වෙති.

වසර මිලියන ගණනක් පුරා සිද්ධ වූ මේ මොළයේ වර්ධනය, උරගයා —> දිවියා —> ඉගෙන ගන්නා හැකියාව ඇති, දරුවෙක් ගර්භාෂයේ ඉන්නා මාස නවයේ දී වර්ධනය වීම දකින්නට හැකිය. ඒකීය කළලයක් (ontogeny) මුතුන් මිත්තන්ගේ පරිනාම වර්ධනයේ (phylogeny) අතීතය ආවර්ජනය (recapitulates) කරයි. මත්ද්‍රව්‍ය හා මත්පැන් විෂ සහ වෙනත් හේතු නිසාත් කළල මොළයේ බාධා හටගෙන එය උරග හෝ දිවියා යන ස්ථානයක නතර වී හෝ අඩපණ වී ඉගෙන ගත හැකි මොළය දක්වා වර්ධනය නොවේ.

අපේ මොළයේ යම් අවස්ථාවක දී වැඩ කරන්නේ දිවියාගේ මොළය ද නැත්නම් ඉගෙන ගන්නා මොළය ද යන්න තීරණය කරන්නේ ‘ටොගල් ස්විච්’ නමෙන් හැඳින්වෙන reticular activating system (RAS) විසිනි. මේ ටොගල් ස්විච් එක වැඩ කරන ස්ථාන දෙකකි. එක්කෝ අපි ආවේග වලින් උද්වේගයක් ලබා ඇති අවස්ථාවක, අර ‘සටන් වදිනවා ද නැත්නම් පැන දුවනවා ද’ අවස්ථාවේ දී නැත්නම් අපි සංසුන් වී ඇති අවස්ථාවක.

අපි ආවේග වලින් උද්දීපනය වූ අවස්ථාවක දී RAS විසින් ඉගෙන ගන්නා මොළය නැත්නම් cerebral cortex වසා දමයි. එතකොට මොළය දුවන්නේ ‘ඔටෝමැටික් පයිලට්’ විදියට. වැඩ කරන්නෙ සහජයෙන් ලැබි (instinct) සහ මෙතෙක් පුහුණු කරගත්තා වූ හැදියාව (training) අනුව. අපේ මොළයේ තියන limbic system නැත්නම් දිවියාගේ මොළය, එනම් ආවේග හා සංචලනය පාලනයට හැකියාව ඇති කොටස වැසී යන්නෙ අපි සංසුන් වුනාම. අපි සංසුන් වෙන්නෙ අපිට පිටතින් අනතුරක් පෙනෙන්නට නැති විටක දී. ඇඟේ මාළු නටවන කතාවක් ඇහුනේ නැත්නම්. සංසුන් සිත සුදානම් ටොගල් ස්විච් එකෙන් ඔටෝමැටික් පයිලට් වහලා නිර්මාණශීලිත්වය හා තාර්කික සිතට නැවත ඉඩ දෙන්න.

මේ ටොගල් ස්විච් එක මිනිස් මොළයට ඉතා වැදගත්. හදිසි අනතුරක් ඉදිරියේ දී අපිට තර්ක කර කර ඉන්න වෙලාවක් ලැබෙන්නෙ නැහැ. එතකොට අපි ජීවිතය බේරා ගන්න සහජයෙන් ලැබී ඇති සහ මෙතෙක් පුහුණු කරගත්තා වූ දැනුමෙන් ඉබේම වැඩ කරනවා. හිත හිත ඉන්නෙ නැහැ කිව්වට හිත තර්ක කරන, වාද කරන කොටස වහලා දාලා, අපිව බේරගන්න අපිටත් නොකියාම සහජයෙන් හා හැදියාවෙන් වූ හිතෙන් වැඩ කරනවා!!! සහජයෙන් ලැබි හා හැදියාවෙන් ලැබි දැනුමින් පමණක් යුතු නොවී පුහුණුවෙන් ද දැනුම දියුණු කරගත් අයට එවැනි අවස්ථාවක දී වාසිය වැඩියි.

සිත සංසුන් වුනාම ආවේග හා සංචලනයන් ගැන මොළයේ කොටස වැසී ගිහින් නිර්මාණශීලිත්වය හා තාර්කික මොළය වැඩ කරන්න පටන් ගන්නවා. ඒකයි පාඩම් කරන්න කළින් සිත සංසුන් කරගන්න කියන්නෙ. ගුරුතුමා පංතියට ම ඇහෙන්න දරුවෙකුට බැනලා ඊට පස්සෙ පාඩම අහගන්න කිව්වොත්, ඒ ළමයාගේ ආවේග පිරි මොළයට කියා දෙන පාඩමක් ධාරණය කරගන්න හැකියාවක් නැහැ. ගෙදර එක්කෙනා එක්ක රංඩුවක් අල්ලලා ඇවිත් කාර්යාලයේ දවස ම පාළු වෙන්නෙත් ඒ නිසයි.

හදිසි අනතුරු අංශයක වැඩ කරන හෙද වෙද මණ්ඩලය කටයුතු කරන්නෙ සහජයෙන් හා පුහුණුවෙන් හනිකට ලෙඩාගේ ජීවිතය බේරා ගන්න. ඒ අයට හිත හිත ඉන්න කාලයක් නැහැ. ජීවිතය බේරගත්තට පස්සෙ යවනවා වෙනත් වාට්ටුවකට. ඉතින් අපි අපේ ජීවිතය සාර්ථකව ගෙන යන්න නම් හදිසි අනතුරු අංශයක වැඩ කරන අය වගේ පිටතින් එන බලපෑම් වලට ටොගල් ස්විච් එක වැටෙද්දී නිවැරදි ව යමක් කරන්නේ කෙසේද කියා පුහුණුවක් දී තිබිය යුතුයි. පුහුණුව දෙන්නෙ සිත සංසුන් කාලයේ දී තාර්කික හා ගැටළු විසඳත හැකියාව උපකාරයට ගෙන නිර්මාණශීලිත්වය වඩවා ගෙන.

මිනිස් මොළයේ අදහසක් රෝපණය කර එයින් ඵල නෙලා ගැනීමට උදව් කරන්නේ ද මේ ටොගල් ස්විච් එක. අපි දකිනා අහනා දෑ බොහොමයක්. අපි එකතු කරගන්නා දෑ ඉන් ස්වල්පයක්. අපි පරිහරණයට ගන්නේ එයින් ද ඇබිත්තක්. ටොගල් ස්විච් එක අයෙක් දකිනා අහනා දෑ වලින් මොනවා ද එකතු කරගන්නේ යැයි තෝරන තැනයි. ඔබ සොයා යන්නේ මොනවා ද ඒවා වැඩි වැඩියෙන් සොයා දෙයි. ලෝකයේ ඉන්නා නපුරු, කුහක, දුෂ්ට මිනිසුන් ගැන සිතන්නාට එවැනි මිනිස්සු දැකීමට උපකාරී වෙයි. ලෝකයේ කාරුණික, අවංක, හොඳ මිනිසුන් ගැන සිතන්නාට එවැනි අය දැකීමට උපකාරී වෙයි. එසේම දුප්පත්කම හා නැතිබැරිකම ගැන සිතන්නාට වැඩි වැඩියෙන් පෙනෙන්නේ ද ඒ දේවල් ය. වැඩි වැඩියෙන් එකතු කරන්නේ වැඩි වැඩියෙන් පෙනෙන දේවල් ය. පරිහරණය ද එකතු කරගන්නා දේවල් වලින් නිසා හැදියාව ද එය ම වෙයි.

තවත් විදියකින් කිව්වොත්, හැම කෙනෙකුට ම තියන මේ ටොගල් ස්විච් එක අයෙක් තම සාර්ථකත්වයට පාවිච්චි කරද්දී තවත් අයෙක් එය නිකරුනේ නාස්ති වෙන්නට ඉඩ දී බලා සිටියි.

Advertisements

18 Responses

Subscribe to comments with RSS.

  1. පවන් රාජසිංහ said, on ඔක්තෝබර් 28, 2011 at 12:49 ප.ව.

    තනිකර ජීව විද්‍යාව පාඩමක් වගේනෙ ඔයා A/L කරන‍්නෙ Science වලින්ද?

    • Revenge said, on ඔක්තෝබර් 29, 2011 at 12:22 පෙ.ව.

      පරණ ලිපි කියවලා බලන්න.අරුණි අක්කා කොයි වගේ කෙනෙක්ද කියලා ඔයාට හොයාගන්න පුලුවන් වෙයි. මං හිතන්නේ අරුණි අක්කා උසස් පෙල කරන්න ඇති මීට අවුරුදු 15කට විතර කලිං 😀

    • arunishapiro said, on ඔක්තෝබර් 29, 2011 at 8:30 පෙ.ව.

      පවන් රාජසිංහ,

      ආයුබෝවන්!

      නැහැ මම මොළය ගැන ඉගෙන ගත්තෙ masters සහ PhD පංති වල දී.

  2. mahesh said, on ඔක්තෝබර් 28, 2011 at 2:14 ප.ව.

    නියමයි

  3. dayal-bathee said, on ඔක්තෝබර් 28, 2011 at 5:04 ප.ව.

    ඔක්කොම හොඳ දේවල් ඉගෙනගන්න, හැබැයි සාර්තකත්වය ඇර?

    සාර්තකත්වය සාපේක්ශයි නේද?
    අවුරුදු හතලිහකට පෙර ගඩාෆි බොහෝම සාර්තක මිනිහෙක්, අද මලකුණත් අයිති නෑ.
    මයිකල් ජැක්සන්…..ආදී කලාකරුවන්.ලේඛකයන්.
    විද්‍යාත්මක සොයාගැනීම් නිසා ලෝකය පසුගිය අවුරුදු දෙසියය තුල මහ පාරිසරික විනාශයකට ලක්වෙලා, …ලැයිස්තුව මහ දිගයි.
    මේව පෙනෙද්දී අහක බලං ඉන්නේ කොහොමද?
    අඩුම තරමින් වචනයකින් තම හැඟීම් ප්‍රකාශ කරන එක සර්ව අශුභවාදී වීමක් වෙයිද?

    විද්යාතමක දියුනුව නිසා දුරු රටක වෙසෙන ඔබගේ අදහස් මට කියවන්නට ලැබෙනවා.මට පිලිතුරක් ලියන්නට පුලුවන්.
    සිත කැමතියි දුරට දුරට යන්න. හරියට බැඳපු පරන ජෝඩුවක දෙන්න දෙමාල්ලො වගේ.-විශේෂයෙන් පිරිමි පක්ශය වගේ.
    ඒත් අප කල යුත්තේ සිත ලඟ තබාගැනීමයි, ඔබ කියන්නෙත් ඒකමයි!

    • arunishapiro said, on ඔක්තෝබර් 29, 2011 at 9:17 පෙ.ව.

      dayal-bathee,

      සාර්ථකත්වය ගැන ඊ ළඟ සටහන කියවන්න.

      //විද්‍යාත්මක සොයාගැනීම් නිසා ලෝකය පසුගිය අවුරුදු දෙසියය තුල මහ පාරිසරික විනාශයකට ලක්වෙලා, …ලැයිස්තුව මහ දිගයි.// මේ ප්‍රස්තුතය නිවැරදි දැයි ඔබ විසින් විමසා බලා තියෙනවා ද? අද කාර්මීකරණය වූ රටවල සෑම උප්පත්ති ලක්ෂයකට ම අළුත උපදින දරුවෙක් මිය යෑම සිද්ධ වෙන්නෙ කාන්තාවන් 9 කට. ඒත් වසර සියයකට පෙර, (විද්‍යාත්මක සොයා ගැනීම් අඩු කාලයක් කියමු) ඒක පනස් ගුණයකින් වැඩියි. අද වඳ වී යන සත්තු පවා රුකගන්න විද්‍යාව නිසා හැකියාව ලැබී තියෙනවා. මිනිස් සහ සත්ව ජීවයන් නැති පරිසරයකින් ඵලක් ඇත්තේ කාට ද?!!!

      19 වැනි ශ. ව. දී ඇමෙරිකාවේ පමණක් නගර වල වැසියන් මිලියන 30 කින් වැඩි වුනා. ඉන් භාගයක් විතර වැඩි වුනේ 19 වන ශ. ව. යේ අවසාන වසර 20 ඇතුලත. මේ අධික වූ ජනගහණය මිනිසාවත්, මිනිසාට අවශ්‍ය බඩු බාහිරාදියත් තැන තැන ගෙනියන්න අවශ්‍ය වූ නිසා මහත් ප්‍රවාහන ගැටළු ඇති වූවා. මාර්ග අනතුරු, රක්ෂණ වියදම් ඉහළ යෑම, මේසයට යන්න තිබිච්ච ආහාර ඉන්ධන සඳහා හැරවීම, ආහාර මිල ඉහළ යෑම හා ආහාර හිඟය. වායුව විෂ කරවන අපද්‍රව්‍ය නිසා පරිසරයටත් මිනිසාගේ සෞඛ්‍යයටත් හානිකර අවධියක් ඇති වුනා. ආයිත් බලන්න මේ පරිච්ඡේදයේ පටන් ගැනීම. 19 වැනි ශ. ව. අපි කතා කරන්නෙ මෝටර් රථය ගැන නෙමෙයි අශ්ව කරත්තය ගැනයි. එක අශ්වයෙක් සාමාන්‍යයෙන් බෙටි රාත්තල් 24 ක් දවසකට දානවා. අශ්ව බෙටි වලින් මේතේන් වායුව නිපැදවෙනවා, ඒක greehouse gas එකක්නෙ. ඒ කියන්නෙ අශ්වයෝ ලක්ෂ දෙකක් විසින් බෙටි රාත්තල් මිලියන 5 ක්, ඒවා කොහාට ද ගියේ?!!! මැස්සෝ, මීයෝ වගේ ම, අශ්වයන්ට දෙන්න කෑම අවශ්‍ය නිසා ඒ වගාවන් වැඩි වෙද්දී මිනිස් ආහාර මිල ද ඉහළ ගියා. 20 වැනි ශ. ව. පටන් ගනිද්දී නිව් යෝර්ක් නගරයේ පමණක් සෑම මිනිසුන් 17 දෙනෙකුටම අශ්වයන් ලක්ෂ දෙකක් වාසය කළා!! ඒත් පරිසරයටත් මිනිසාටත් හිතකර වූ සොයා ගැනීම ලැබෙන්නෙ විද්‍යාවෙන්. මෝටර් රථයෙන්. ඒක නිසා ප්‍රවාහන පහසුකම් වලින් පරිසර හානියත් මිනිසාට හානියත් අඩු කරගන්න හැකියාව ලැබුණ. 1900 දී නිව් යෝර්ක් නගරයේ අශ්වයෝ නිසා අහිමි වූ ජීවිත 200 ක්. සෑම 17,000 කට ම 1 අයෙක්. 2007 දී නිව් යෝර්ක් නගරයේ අහිමි වූ ජීවිත 274 ක්. සෑම 30,000 කට ම එක් අයෙක්.

      මිනිසා තමාවත් පරිසරයත් ආරක්ෂා කරගන්න විද්‍යාත්මක විසඳුම් හොයා ගන්න දක්ෂයෙක්:

      ක්ලීන් සූට් ඇන්ඳාම සිත පිරිසිදු වේ ද?

      කුණු වලින් ධනපතියෙක් වූ හරිතවාදියා

      අප්‍රසන්න ගැටළු විසඳන නව ක්‍රමත් අප්‍රසන්න ද?

      පීටර් තීල් හා මුහුදු වාසස්ථාන

  4. Observer said, on ඔක්තෝබර් 28, 2011 at 5:37 ප.ව.

    හදිසි අනතුරු වාට්ටු, ඇම්බියුලන්ස්, වල වැඩ කරන අය ටොගල් ස්විච් න්‍යායට හොඳ උදාහරණ තමා.

    • arunishapiro said, on ඔක්තෝබර් 29, 2011 at 9:19 පෙ.ව.

      Observer,

      අපි ගොඩක් වෙලාවට පාවිච්චියට ගන්නවා වුනත් අවධානයක් යොමු නොකරන නිසා වැඩි වැදගම්මක් දෙන්නෙ නැහැ.

  5. isuru said, on ඔක්තෝබර් 28, 2011 at 9:58 ප.ව.

    හොඳ ලිපියක්

  6. Sudath said, on ඔක්තෝබර් 29, 2011 at 12:46 පෙ.ව.

    අතිශයෙන්ම ප්‍රයෝජනවත් ලිපියක්.
    උපුටාගැනීමට අවසර දෙනවද?

  7. praveena said, on ඔක්තෝබර් 29, 2011 at 1:54 පෙ.ව.

    //අපේ මොළයේ යම් අවස්ථාවක දී වැඩ කරන්නේ දිවියාගේ මොළය ද නැත්නම් ඉගෙන ගන්නා මොළය ද යන්න තීරණය කරන්නේ ‘ටොගල් ස්විච්’ නමෙන් හැඳින්වෙන reticular activating system (RAS) විසිනි.//

    කාටහරි පරීක්ෂන කරලා හොයාගන්ට බැරිද දන්නේ නෑ අර දිවියාගේ මොලයට එන තැනදි ඔය ස්විච් එක සදාකාලිකවම ඕෆ් කරලා දාන්ට… 🙂

    • arunishapiro said, on ඔක්තෝබර් 29, 2011 at 9:26 පෙ.ව.

      praveena,

      ටොගල් ස්විච් එක ඉතා වැදගත් ප්‍රවීනා වහලා දැම්මොත් හරි අනතුරක වැටෙන්නෙ. මොකද ජීවිතය බේරගන්න හනික තීරණ ගනිද්දී හිත හිත ඉන්න වෙලාවක් නැහැ. ඒ නිසා සහජයෙන් හා හැදියාවෙන් නොසිතා කරන ක්ෂණික ක්‍රියාවන් වලින් තමයි ජීවිතය බේරගන්න පුළුවන්. ඔයාගේ පර්ස් එක උදුරාගන්න කෙනෙක් හදනවා නම් ඒක දීලා දුවනවා ද නැත්නම් ඌට හොඳ තැනකට පයින් ගහනවා ද කියන එක තීරණය කරන්නෙ ‘දිවියාගේ මොළය’ විසින්. ඒ වෙලාවේ හිත පුහුණු කරගෙන තියන හැටියට හිත දන්නවා වඩාත් සාර්ථක ක්‍රියාව කුමක් දැයි කියලා.

  8. හිෂාන් මෙලංග said, on ඔක්තෝබර් 30, 2011 at 4:23 පෙ.ව.

    ෙමම toggle switch එකට intuition කියල කිව්ෙවාත් එ්කත් යම්තාක් නිවැරදි ෙන්ද?

    • arunishapiro said, on ඔක්තෝබර් 30, 2011 at 8:31 පෙ.ව.

      හිෂාන් මෙලංග,

      ඔව් ටොගල් ස්විච් එකේ එහෙම කොටසක් තියනවා, ඒත් ඒ ටික පමණක් ම නොවෙයි තියෙන්නෙ. මොකද, හැදියාවෙන් මෙතෙක් තිබිච්ච ක්ෂණික ප්‍රතිචාරයක් වෙනුවට පුහුණු කරගත්තා වූ වෙනස් ප්‍රතිචාරයක් බවට පත් කිරීමට හැකියාව ඇති නිසා එය තනිකරම intuition වෙන්නෙ නැහැ.

      ගිනි දැල්ලක් ස්පර්ශ වුනාම අත පය ඉවතට ගැනීම ස්වභාවික වූවක්. නමුත් අයෙක්ට පුළුවන් උවමනාවකින් ඉටිපන්දමක ගිනි දැල්ල ඇඟිලි දෙකකින් අල්ලලා නිවා දාන්න.

      අපේ intuition යැයි කියන දේවල් අතර තමන් විසින් අල්ලා ගත් විශ්වාසයන්, තමන් විසින් සමාජයෙන් ලබා ගත් හුරුවන් සියල්ල මිශ්‍රණයක් දකින්න පුළුවන්. ඒවා ගැන විචාරයකින් පසු, වෙනත් විශ්වාසයන් හා හුරුවන් ඇති කරගන්නත්, එයින් ඊට පසු වෙනස් intuition ලබන්නත් පුළුවන්.

      සටහනේ දුන්නු හදිසි අනතුරු අංශයක වැඩ කරන අයෙක් තම පරම්පරාගත විශ්වාසයන් හා සමාජයෙන් ලබාගත් හුරුවෙන් නෙමෙයි ක්ෂණික තීරණ ගන්නෙ, තමන් රැකියාව සඳහා ලද පුහුණුව අනුවයි.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: