අරුණි ශපීරෝ‍ වෙතින්

ඇයි මම මෙහෙම හිතන්නේ?

Posted in Uncategorized by arunishapiro on නොවැම්බර් 1, 2011

මේක හැමෝම දන්න තවත් දෙයක්. සංස්කෘතික සදාචාරය, දෙමාපිය වැඩිහිටියන්, යාළු මිත්‍රාදීන් සහ තමන් අදහන ආගම ධර්මයෙන් අපේ තීරණ වලට ලොකු බලපෑමක් එල්ල වෙනවා. ඒවායෙන් සම්පූර්ණයෙන් බැහැරව ‘මම’ නැති වුවත්, ඒවායේ වහලෙක් සේ ‘මම’ සිටිය යුතු ද?

මිනිස් මොළයටත් මිනිස් සිරුරටත් ව්‍යායාම අවශ්‍ය බව දන්නවා වුනාට, නිරෝගී ජීවිතයක් වඩා වටිනා යැයි දන්නවා වුනාට, වැඩි පිරිසකගේ පුරුද්ද ඒ ගැන කිසිවක් නොකර සිටිම. මෙන්න මේවා කෑවම ගුණයි කියලා තව තවත් කන බොන දේවල් හොයනවා. දවසකට පැය භාගයක් වත් ඇඟ වෙහෙසන්න ඕනා කියන එක ඇහුණාට, ඒකට එකඟ වුනාට, ඒක කරන්නෙ නැහැ. වැඩිදෙනා ඇහෙන දේවල් වලින් එක්කාසු කරගන්නෙ තමන්ට “හිත ගිය” දේවල් විතරයි.

කොහොම ද හිතක් සමහර දේවල් වලට ඇදිලා යන්නෙ?

ලෝකයේ ඇති තොරතුරු සුලබයි. මතකයේ තියන දේ නිසා, ආවේග අනුව, අළුතින් ඒක්කාසු කරගන්නා දෑ ඒකීය වූ මොළයකට සුවිශේෂයි. ළමා කාලයේ වූ සිද්ධියක් ඒ සිද්ධියට මුහුණ දුන් ආවේගය අනුව අයෙකුගේ ඉතිරි ජීවිත කාලය පුරා ම ගන්නා තීරණ වලට බලපාන්න පුළුවන්. තමන් හැදෙන පරිසරය අනුව ද තොරතුරු එක්කාසු කරගන්නා ආකාරය හැඩ ගැසෙනවා.

දුකක්, තරහක් නිසා ඇතිවෙන ආවේගයකින් දකින ලෝකයට වඩා ආදරයෙන් සිත පිරී යද්දී දකින ලෝකය වෙනස්. තරහා ගියාම අවට වැරදි වැඩියෙන් පේනවා!! සිත සතුටින් පිරුණාම චුරු චුරු වැස්සක වුනත් සුන්දරත්වයක් තියෙනවා!! වාහනයක් ගන්න තීරණය කළාම හෝ අළුත් වාහනයක් ගත්තාම ඒ ජාතියේ වාහන වැඩියෙන් පාර තොටේ පෙන්න පටන් ගන්නවා!!!

අළුතින් අල්ලා ගන්න තොරතුරු ගැන මොළය වෙහෙසෙන්නෙ මෙතෙක් මොළයේ එකතු කර අමුණා ගත් දේවල් අනුව. එකම සිද්ධියකට මුහුණ දෙන නිවුන්නු වුවත් ඒ සිද්ධියෙන් තම තම මොළයට එකතු කරගන්නා දේ විවිධයි. අපේ යටිසිතේ පැලපදියම් වෙලා තියන ආවේගයක් අපිටත් නොදැනුවත්වම අපි එකතු කරගන්නේ මොනවාදැයි තීරණ කරනවා.

ඒත් මිනිස් මොළයක ආශ්චර්යය මේකයි. මිනිස් මොළයකට පුළුවන් ඒ ස්වභාවිකව මොළයට තොරතුරු එකතු කරන හැදියාව වෙනස් කරගන්න.

අනුන්ගේ අදහස් තමයි වැඩිපුර ම අපි අපේ මොළයේ විමසිල්ලකින් තොරව රෝපණය වන්නට ඉඩ දීලා තියන්නෙ. පුංචි දරුවා නොදන්න දෙයක් අහගන්නෙ දෙමාපිය වැඩිහිටියන් ගෙන්. ඉතින් දෙමාපියෝ වැඩිහිටියෝ කියන සේරම සැකයෙන් තොරව පිළිගන්න හැදියාවක් පුංචි දරුවාට තියෙනවා. කවදා හරි කියපු බොරුවක් අහුවෙච්ච දවසට තමා සැකයක් ඇතිවෙන්නෙ. ඒ සැකය ඇති වූ වෙලාවේ ඇති තම ආවේගය අනුව ඔවුනට වූ වැරදීමක් කියා එය බැහැර කරනවා ද නැත්නම් මින් පසු ඔවුන් කියන දෑ සියල්ල විමර්ශනයට ලක් කරනවා ද යන්න තීරණය වෙනවා.

අදහසක් ඇහුණ ම, ඒ ඇහිච්ච වෙලාවේ සිතට දැනුනු ආවේගය අනුව ඒක විශ්වාසයක් කරගන්න/නොගන්න මොළය වෙහෙසෙනවා. අපි විශ්වාස කරන අයෙක් වෙතින් ඇහෙන අදහසක් හෝ අපි කැමති අදහසක් ගැන අපිට ඇත්තේ ප්‍රසාදය මිශ්‍ර වූ ආවේගයක්. අපි බොරුකාරයෙක් යැයි හිතන අයෙක් කිව්ව දෙයක් හෝ අකමැති අදහසක් ඇහුනාම ඒ ගැන ඇත්තේ අප්‍රසාදය මිශ්‍ර වූ ආවේගයක්. ආවේගය දැඩි වූ තරමට, ඒ කියන්නෙ ඉතා සතුටක් හෝ ඉතා තරහක් පැන නැඟුනාමත් අපි ඒ ගැන සොයන්න වෙහෙසෙනවා වැඩියි. ආවේගය බාල වුනාම, එච්චර පැහැදීමක් නැත්නම්, එච්චර කෝපයකුත් නැත්නම් ඒ ගැන මොළයේ වැඩි සටහනක් වැදෙන්නෙත් නැහැ.

යම් දැයක් ගැන වැඩි වැඩියෙන් හොයා යන්නත්, යමෙක් කියූ දෙයක් ප්‍රතික්ෂේප කරන්න හෝ පිළිගන්නත් මොළය පියවරක් ගන්නෙ මෙතෙක් තමන් ගොඩනඟා ගෙන ඇති පදනම අනුව. ඇහෙන දේවල් වලින් ‘හිත ඇදිලා යන’ දෑ විචාරයකින් තොරව පිළිගැනීම පුද්ගලයාගේ හැදියාව නම්, ඒ අල්ලා ගෙන ඉන්නා අදහස් විශ්වාසයන් බවට පත් කරන තවත් තොරතුරු එකතු කරගන්න මොළය වෙහෙසෙනවා. එවිට මොළය ඊට පටහැනි තොරතුරු දිහා බලන්න, එකතු කරන්න හෝ විචාරයට ඉඩක් දෙන්නෙ නැහැ. අල්ලා ගත්තු විශ්වාසයන් තුලින් තමයි අළුත් අදහස් එකතු කරගන්නෙ. ඒ මොළයේ හැටි. හිට්ලර් වගේ අයට ජනතාව නතු කරගන්න හැකියාව ඇත්තේ ද ඒ නිසා. වෙනත් මතවාදයන් විමසන්නට ඉඩ නොදෙන සමාජ ක්‍රම හා ආගම් අදහන අයගේ මොළ අල්ලා ගන්න හැකියාව ලැබෙන්නෙ එහෙම.

යම් අවස්ථාවක දී යම් ආවේගයක් තුලින් වෙනස් දැයක් ගැන හිතන්න මොළයට අවස්ථාවක් ලැබුනොත්, තමන් පිළිගත් යමක් ගැන කුකුසක් පහළ වූ දාට මොළය හුරු පුරුදු මාර්ගයේ ම නොයා ඒ නව තොරතුරු දකින්න පුරුදු වෙනවා. අළුතින් ගත්ත වාහනය වැනි වාහන හැම තැනම තියනවා මුලින් පෙනුනට වාහනේ පරණ වෙද්දී ඒ වගේ වාහන පේන එක අඩුවෙලා යනවා. මොළය වෙනස් වෙලා මෙතෙක් නොසලකා හැරපු තොරතුරු එක්කාසු කරන්නෙ එවිට විශේෂයෙන් උත්සාහයක් නොගෙනම.

මිනිස් මොළය පුරුදු පදනමේ සිට වැඩියෙන් හුරු දේවල් සහ ඉඳහිටක අළුතින් දැයක් ද එකතු කරගනිමින් වර්ධනය වෙන්නක්. එකතු කරන අළුත් දේවල් නිසා සිදුවන මොළයේ වර්ධනය පුද්ගලයාගේ දියුණුවට වඩා වාසිදායකයි.

ඉඳහිට දවසක කාමරය අස් කරනවා වගේ මොළයත් අස්පස් කරගන්න ඕනා. අනවශ්‍ය කුණු කන්දල් විසි කරලා වටිනා දෑ තියාගෙන, තව තව වටිනා දෑ එකතු කරගන්නට ඉඩ හදා ගන්න ඕනා. පුටුව උඩ තියන කමිසය කිළිටි දැයි හොයන්න ඉඹලා බලනවා වගේ අල්ලා ගත් අදහස් විචාරන්න. ඇඳුම් කිළිටි නම් හෝදනවා වගේ වැරදි අදහස් නිවැරදි කරගන්නත් පුළුවන්.

මොන සාධක නිසා ද මම මේ ගැන මෙහෙම හිතන්නෙ? තමන් අල්ලා ගත් අදහස් ගැන ඇසිය යුතු ප්‍රශ්නය එයයි.

මට මෙහෙම හිතෙනවා කියලා වගකීමෙන් අයින් වෙන්න බැහැ දැන්. මගේ මොළය තොරතුරු එක්කාසු කරන හැටි මට වෙනස් කරගන්න පුළුවන් බව දන්න නිසා!!!

Advertisements

12 Responses

Subscribe to comments with RSS.

  1. යහපත් ඇනෝ said, on නොවැම්බර් 1, 2011 at 9:45 පෙ.ව.

    උපාදානයෙන් අල්ලාගන්නා සිත දිවීමෙන් නතර කලොත් එතැනයි දුකේ කෙළවර !!!!

    • arunishapiro said, on නොවැම්බර් 2, 2011 at 8:14 පෙ.ව.

      යහපත් ඇනෝ,

      උපාදානය කියන්නෙ ලොල්කම. ලොල්කමින් අල්ලා ගන්නා සිත කොහෙද දුවන්නෙ? සිතක් දුවන එක නතර කරගන්න පුළුවන් ද? නැත්නම් දුවන සිතක් දුවන අත යහපත් මඟකට යොමු කරන්න පුළුවන් ද? ජීවත්ව සිටිනා තාක් කල් දුකේ කෙළවරක් තියනවා ද?

  2. chandi said, on නොවැම්බර් 1, 2011 at 10:06 පෙ.ව.

    මොළය පවිත්‍ර කරගන්න භාවනාව ගොඩක් ඉවහල් වෙනවා. සමහර දේවල් අපි උවමනාවෙන්ම අමතක කරන්නෙ අපි ඒවාට අකමැති නිසයි. ව්යායාම නොකරන්න හේතුවත් ඒකයි. ඒ සඳහා පුරුද්දක් නැති කමත් එක හේතුවක්. මේ වගේ ජීවිතේ සමහර කාලවල අපට ඇතිවන අමිහිරි සිද්දි අපිට අමතක වෙලා යන්නෙ මේ විදිහට මොළය ක්‍රියාකරන නිසයි. මගෙ ජීවිතෙත් මේ වගේ කාල ප්‍රිච්ඡේදයක් තියෙනවා, දැන් මතකයට නගාගන්න උත්සාහ කලත් මතකයට එන්නේ නෑ. ස්තූතියි! අරුණි මේ සටහන් පෙලට. මාත් ටික ටික මගේ මොලේ පවිත්‍ර කරගන්නවා නම් හොඳයි කියල මටත් හිතුන මේ සටහන කියෙව්වහම. වැඩි මහන්සියක් නැතිවම කරගන්න පුලුවන් කාලෙ කරගත්තම හොඳයි වගේ.

    • arunishapiro said, on නොවැම්බර් 2, 2011 at 8:28 පෙ.ව.

      chandi,

      චාන්දි අක්කා, //වැඩි මහන්සියක් නැතිවම කරගන්න පුලුවන් කාලෙ// …. ඔව් ඒ වගේ කාල දුර්ලභයි ඒ නිසා ම අනගියි.

  3. kumaraya said, on නොවැම්බර් 1, 2011 at 10:52 පෙ.ව.

    මමත් හිතනවා … අපේ රටේ මිනිස්සු තම තමන්ගෙ මොළ පවිත්‍ර කරගත යුතු කාලය ඇවිල්ල කියලා. [මාත් ඇතුලුව]
    පොඩ්ඩක් උනන්දු වීම විතරයි අවශ්‍ය වෙන්නෙ.

  4. roshanrh said, on නොවැම්බර් 1, 2011 at 11:52 පෙ.ව.

    ඇත්ත.. බොහෝදෙනෙක්ගෙ තීරණ වලට තමන් අතීතයේ අත්දැකපු දේ බලපානවා. වර්තමානයට අතීත මතක බොහෝබලපෑම් කරනවා. ඒ නිසා පුද්ගලයකුගේ ආරම්බය තමයි බොහෝවිට අනාගතය තීරණය කරන්නෙත්..

    • arunishapiro said, on නොවැම්බර් 2, 2011 at 8:19 පෙ.ව.

      roshanrh,

      //ඒ නිසා පුද්ගලයකුගේ ආරම්බය තමයි බොහෝවිට අනාගතය තීරණය කරන්නෙත්..// එහෙම සිතීම වැරදියි මොකද ඒක එහෙම වෙන්නෙ ඊට ඉඩ දීලා නිකම් හිටියොත් විතරයි. සටහනෙන් ඒක වෙනස් කරගන්න හැටි කිව්ව බවත් අමතක කරන්න එපා. අළුතින් කරුණු මොළයට එක්කාසු කරන්න පටන් ගන්න. අනාගතය වෙනස් කරගන්න පුළුවන් එතකොට.

  5. dayal-bathee said, on නොවැම්බර් 2, 2011 at 12:27 පෙ.ව.

    මුලු ලෝකයම තියෙන්නේ අප තුලයි, අප යමක් බලන/දකින/පෙනෙන විදිය වෙනස් කර ගැනීමෙන් විසාල වෙනසක් අත්දකින්න පුලුවන් කියන එක තමයි, (මට හිතෙන විදියට, සමාවෙන්න) අරුනි කියන්නේ.

    මූලික අවශ්යතා නොමැති අයට මේ ‘බණ’ (බණ කීවට තරහ වෙන්න එපා) විහිලු වගේ වෙන්නත් ඉඩ තියෙනව.

    ඇත්ත හැමෝම සතුටු කරන්න අමාරුයි,

    ඒ නිසා ඔබගේ තර්කය හා තොරතුරු තවත් සාපේක්ෂ සංකල්පයක්ද?

    • arunishapiro said, on නොවැම්බර් 2, 2011 at 8:25 පෙ.ව.

      dayal-bathee,

      අපි හිටියත් නැතත් ලෝකය තියෙනවානේ දයාල්-බතී. ලෝකය ගැන අයෙක් දකින්නෙ එයා පුරුදු වෙච්ච දැක්මෙන් වුනාට ලෝකය එයා දකින විදියට පවතින්නක් නෙමෙයි. අපි වෙනස් වීමෙන් වෙනස් විදියකට දකින්න පුළුවන් බව හැබෑයි. ඒත් වෙනස් වෙන්න ඕනා කොහොම ද? ලෝකයේ සත්‍ය තත්වය දකින්න ද? වෙනසක් පතන්නා පතන්නේ කුමන වෙනසක් ද? ඒක එයාට හිතකර වෙන්නත් පුළුවන් අහිතකර වෙන්නත් පුළුවන්. ඒ නිසා ‘වෙනසක්’ සෙවීම අවදානම්. පුද්ගලයෙක් සෙවිය යුත්තේ පුද්ගලයාට හිතකර වූ වෙනසක්. එතකොට මූලික අවශ්‍යතා නැති අයට හිතකර වූ වෙනස කුමක් ද? මූලික අවශ්‍යතා ලබා ගැනීම. ඒක කිසිම ලෙසකින් විහිළුවක් නෙමෙයි.

  6. splashitelsewhere said, on නොවැම්බර් 2, 2011 at 3:59 ප.ව.

    I don’t have Sinhala on my browser, nor am I at good writing. But, I enjoy your blog very much. A friend introduced it to me. Keep on blogging 🙂

    • arunishapiro said, on නොවැම්බර් 3, 2011 at 6:46 පෙ.ව.

      splashitelsewhere,

      ආයුබෝවන්!

      දැක්ක ද? මට බැහැයි කියල පටන් ගත්තම දන්න දේවල් පවා වැරදෙන හැටි!!! ඔන්න මම දෙවනියට දාපු එකෙන් අරගෙන හැදුවා, කමක් නෑනේ.

      ස්තූතියි කියවන්න එනවාට. යාළුවාටත් ස්තූතියි කියන්නකො.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: