අරුණි ශපීරෝ‍ වෙතින්

තාර්කික පියවර තමන් වෙනස් වීම

Posted in Uncategorized by arunishapiro on නොවැම්බර් 2, 2011

තමන්ට ඕන විදියට යමක් කෙරෙන්නෙ නැත්නම් ඒ ඇයි දැයි සොයා බලන්න ඕනා. වැරැද්ද කුමක් දැයි හඳුනාගන්න ඕනා.

සමහර දේවල් දැක්කම දැක්කෙ නැහැ වගේ ඉන්න මොළය පුහුණු කරගත් අය ඉන්නවා. වැරැද්දක් ඇතැයි කියා පිළිගත්තාම වැරැද්ද දිහා බලන්න වෙන නිසා. ඒ වෙනුවෙන් යමක් කරන්න වෙන නිසා.

හැදියාවන් වෙනස් කරගන්න පුළුවන්. හැදියාවේ වෙනස් කරගන්න වැරැද්දක් තියනවා කියල දකින්න ඕන. වෙනස් කරගත්තාමයි තෝරා ගැනීම් මොන තරම් ඇත්දැයි පෙනෙන්නෙත්. හැම දෙයක් ම මේ විදියට කරාම මේ විදියට ප්‍රතිඵල ලැබෙන්න ඕනා කියා බලාගෙන ඉන්න කෙනා හැමදාම බලාගෙන ඉන්න තමයි පුරුදු වෙන්නෙ. අරමුණ වෙනස් නොකර අරමුණ සාක්ෂාත් කරගත හැකියාව ඇත්තේ තමන් වෙනස් වෙනවා නම් පමණයි.

මම කැම්පස් සිටි අවසන් වසරේ දී තාත්තා හිටි හැටියේ දවසක් පොත් ටිකත් පටවාගෙන මල්ලිවත් අරගෙන නොකියාම පිටවෙලා ගියා. ඒ දවස එන බව හිත දැනගෙන හිටියත් හිත පිළිගෙන තිබ්බෙ නැති නිසා, සෑහෙන්න දුක හිතිච්ච දවසක්. අම්මා නංගිවත් අරගෙන යාළුවෙක්ගෙ ගෙදර ගියා. සමහර විට එයාට ලෝකයාට මුහුණ දීම ලැජ්ජාවක් වෙන්න ඇති. තිබිච්ච සේරම පහසුකම් හිටිහැටියෙ නැතිවෙච්ච මම සේරම දමලා ගහලා නිකං හිටියේ නැහැ. කාට ද පාඩු? මටනෙ.

ලංගම මාසික සීසන් කාඩ් එකට සල්ලි හොයාගන්න එක තමයි මුල් ම අරමුණ. ඒක නැත්නම් කැම්පස් යන්නෙ කොහොම ද? පංති නොගියොත් කාට ද පාඩු? මටනෙ.

උසස් පෙළට තර්ක ශාස්ත්‍රය ඉගෙන ගත්තු කෙල්ලො දෙන්නෙක්ට ටියුෂන් දුන්නා. සීසන් කාඩ් එකට සල්ලි හරි. ඒකෙන් අවබෝධ වුනා තර්ක ශාස්ත්‍රය උසස් පෙළ පංතියකට උගන්වන්න මට හැකියාව තියෙන බව. මෙතෝදිස්ත විද්‍යාලයේ උසස් පෙළ තර්ක ශාස්ත්‍රය උගන්වන්න ටීචර් කෙනෙක් හොයනවා කියල දැනගත්තෙ ටියුෂන් වැඩේ පටන් ගත්ත නිසා. දැන් ඉස්කෝලෙක උගන්වන්න නම් සාරියක් ඇඳලා යන්න ඕනා. සාරියක මිල දැනගත්ත දා අඬලා සේරම දමලා ගහලා නිකං හිටියේ නැහැ. කාට ද පාඩු? මටනෙ. අම්මාගෙ පරණ සාරියක් ඇඳගෙන හා පුරා කියලා ගුරු ජීවිතය පටන් ගත්තා.

තාත්තා අහවලා නිසා හාදකම් නවත්තන්න කියපු දෙමාපියන්ට කීකරු වූ යාළු කොල්ලා මා එක්ක යාළුකම නවත්තලා වැඩි කලක් නැහැ. විරහ ගීත හිත සැනසුවාට විභාගය ඇන ගත්තොත් කාට ද පාඩු? මටනෙ.

මගේ අරමුණ වැඩිදුර ඉගෙනීමට පිටරට යන්න. අවසන් විභාගය ඉවර නැති වුනාට, යා ගත හැකි කිසිම මාර්ගයක් පැහැදිලි නැති වුනාට, අරමුණ අහක් කරගත්තෙ නැහැ. වෙනදා කාර් එකෙන් හැම තැන එක්කන් ගිහින් බස්සපු මම සීසන් ටිකට් එකෙන් යන්න බැරි තැන්වල පයින් ඇවිද්දා. එක වේලක් විතරක් කාපු දවස් වැඩි. හෑන්ඩ් බෑග්, සෙරෙප්පු, ඇඳුම් අළුත්වැඩියාව ඉගෙන ගත්ත. දන්නා හඳුනන අය මම මුහුණ දී සිටි තත්වය ගැන දැනගත්තෙ නැහැ ඒ ගැන මම හැමෝටම කිය කියා ගියෙ නැති නිසා. නිතර යමක් ඉල්ලන්නෙ නැති කෙනෙක්ව වගේම දොම්නසින් නැති කෙනෙක් වත් ඇසුරු කරන්න පහසුයි. සමාජ ආශ්‍රයෙන් නොයෙකුත් ඉඩ ප්‍රස්ථා පෑදුනා.

රධිකා කුමාරස්වාමි ඉංග්‍රීසියෙන් ලියපු ශාස්ත්‍රීය ලිපියක් සිංහලට පරිවර්තනය කරලා දුන්නෙ දන්න කෙනෙකුට. ඒ වගේ වැඩ වලට සල්ලි ගෙවනවා කියල දැනගත්තෙ ඊට පස්සෙ!! හිටපු බැංකු සභාපති කෙනෙක්ට ඔහු කැමති එහෙත් ඔහුට යන්න වෙලාවක් නැති දේශන අහන්න මම ගිහින් ඒවා සේරම සටහන් ගහපු වාර්තා දීලා සල්ලි හොයාගත්ත. ඒක නිසා අහපු ටාසි විට්ටච්චිගේ දේශනය අමතක නොවෙන්නක්. SLAAS වැනි තැන්වල පුංචි සම්මන්ත්‍රණ සංවිධානය කරලා සල්ලි හොයාගත්ත. මට කමාන්ඩර් කියල නමකුත් වැටුණ. අවසන් වසර විභාගයට සූදානම් වෙන ගමන් ඔය සේරම කරලා ලැබිච්ච සල්ලි වලිනුත් සාරියක් අළුතින් ගන්න තරම් සල්ලි ඉතුරු වුනේ නැහැ මාසේ අන්තිමට. අම්මා ශල්‍යකර්මයක් සඳහා ඉස්පිරිතාලෙ නැවතුනේ ඒ අස්සෙ.

අම්මා තාත්තා වෙන්වුනා වස ලැජ්ජාවයි කියල නෑදෑ කෙනෙක්ගෙ ගෙදරක හැංගිලා තැවි තැවී හිටියා නම් කාට ද පාඩු? මටනෙ.

කොල්ලාගේ ඇසුර නතර කරන්න වුනා කියලා වහ බිව්වා නම් කාට ද පාඩු? මටනේ!!!

ස්ථිර රැකියාවක් පේන මානයක නැහැ, පිටරට විශ්ව විද්‍යාලයකට ශිෂයත්වයකින් මිස යා ගන්න බැහැ, උදව් කරන්න කාත් කවුරුත් නැහැ, අතේ සතේ නැහැ කියල සේරම දමලා ගහලා ජීවිත සටන අත් හැරියොත් කාට ද පාඩු? මටනේ.

මම වෙනස් වුනා, අනුන් කරලා දෙනකම් බලා නොසිට මගේ ජීවිත සටන මා විසින් ගෙන යන්න. පළමු පංතියේ සාමාර්ථයක් යැයි ඇහිච්ච දවසේ හොඳටම ඇඬුවා. වැඩියෙන් ම ඒක බෙදා ගන්න කැමැත්ත තිබ්බෙ තාත්තා එක්ක. තාත්තා හිටියෙ කොහේදැයි වත් දැන සිටියෙ නැහැ එදා. ධනාත්මක චින්තනය කියන්නෙ සිහින ලෝකයක සිහින මවමින් සිහින සැබෑ වෙනවා යැයි ප්‍රාර්ථනා කිරීම නෙමෙයි. සැබෑ කරගත යුතු සිහින වෙනුවෙන් තමන් වෙහෙසීම. නැත්නම් කාට ද පාඩු?!!!

ලැබෙන ප්‍රතිඵල අරමුණ එක්ක ගැලපෙන්නෙ නැත්නම් ඊ ළඟට ගත යුතු තාර්කික පියවර තමයි තමන් වෙනස් වීම. රැකියාවක් නැතැයි කියා කන් කෙඳිරි ගාන අය තමන් සතු කුසලතා මොනවා ද ඒවා වැඩි දියුණු කරගන්නේ කෙසේදැයි විමසන්නෙ නැතිව මට මේක තියනවා ඒ නිසා මට මේවා ලැබිය යුතු යැයි සිතනවා. ඒවා නොලැබෙද්දී අනුන්ට බනිනවා, උත්සාහ නොකරන්න හේතු සොයනවා මිසක් තමන්ව හදාගන්න වෑයමක් ගන්නෙ නැහැ. තමන් විසින් දැනුම හා කුසලතාවයන් එකතු කරගන්න තරමට කාගේවත් පිහිටක් නැතිව තම අරමුණු තමන්ට ම සාක්ෂාත් කරගන්න පුළුවන්. ජීවිතයේ මුහුණ දෙන ඕනෑම අභියෝගයක් ජයගන්න පුළුවන්. ඒක මට විතරක් නෙමෙයි හිතන්න පුළුවන් මොළයක් තියන ඕනෑම කෙනෙකුට කරන්න පුළුවන්. ගල් ලෙනක හැංගිලා දඩයම් කරගත් සතෙක් කාලා ජීවිතය ගෙවන්නෙ නැතිව මිනිස් මොළයෙන් හිතන්න පටන් ගත් දා පටන් මොළය පාවිච්චි කරන මිනිසා පා තබන්නෙ තමන්ගේ අභිවෘද්ධියට.

Advertisements

51 Responses

Subscribe to comments with RSS.

  1. kathandarakaraya said, on නොවැම්බර් 2, 2011 at 9:21 පෙ.ව.

    තාත්තා ගේ අභිනිෂ්ක්‍රමණය ගැන අසා මෙච්චරයි හිතුනේ.. “මිනිස් සිතේ හාස්කම්!”

    • NotAFool said, on නොවැම්බර් 7, 2011 at 2:53 පෙ.ව.

      ලෝකෙට බන කියන මිනිසුන්ගේ ඇතුලාන්තය මෙන්න මේ වගේ තමයි. අරුණි මේ ලියල තියෙන සුරඟන කතාවේ ඇත්ත version එක දෙයියෝ තමයි දන්නේ.

      • arunishapiro said, on නොවැම්බර් 7, 2011 at 9:10 පෙ.ව.

        NotAFool,

        නිර්නාමිකව හැංගිලා මම අත්දැකි පුද්ගලික සිද්ධියක් ගැන දෝෂාරෝපණ එල්ල කරන ඔස්ට්‍රේලියාවේ ඉන්න ඔයා වගේ නෙමෙයි මම නම් ඇත්ත නමින් ම තමයි පටන් ගත් දා සිට මේ සටහන් හැම එකක් ම ලියන්නෙ.

        ඉහත සටහන මට සුරඟන කතාවක් නෙමෙයි, නපුරු සිහිනයක්. ඒවා සුරඟන කතා නම් වෙන දිව්‍යලෝකයක් තමයි හොයාගන්න වෙන්නෙත්!!!

      • NotAFool said, on නොවැම්බර් 7, 2011 at 10:57 පෙ.ව.

        @arunishapiro
        විරුද්ධ අදහස් වලට ඔච්චර තරහ යන්නේ ඇයි? මන් මගේ අදහස්නේ කිව්වේ. මොකක්ද එකේ තියෙන වරද?

        • arunishapiro said, on නොවැම්බර් 8, 2011 at 9:06 පෙ.ව.

          NotAFool,

          ඔබ කියා ඇත්තේ විරුද්ධ අදහසක් නොවේ, වැරදි අදහසකි.

          වැරද්ද මෙයයි: ඔබේ නොවන පුද්ගලික අත්දැකීමක් එසේ විය නොහැකියි ඔබ අනුමාන කර තිබීම ය.

  2. Ravi said, on නොවැම්බර් 2, 2011 at 9:22 පෙ.ව.

    එක හිත් හිතා ගත්තොත් බැහැ කියල දෙයක් නෑ කියන පරම සත්‍යය අරුණි ඔයාගෙන් ආයෙම සැරයක් ස්ථිර කර ගත්ත. දන්න හඳුනන කෙනෙකුගෙ වචන වලින්ම ඇත්තමටම ජීවිතේ ගැටළු, අභියෝග ජයගත් විදිහ කියනකොට හිතට හරිම සමීප සහ කාවදින අයුරක් මට දැනුන. ඒ සමහර විට Personal Touch එක නිසා වෙන්නැති. අරුණිට ස්තූතියි කියන්ට පුලුවන් හොඳම විදිහ අපිත් ජීවිතේට නොබියව මුහුණ දීමෙන් සහ අවශ්‍ය පරිදි වෙනස් වීමෙන්………

  3. kathandarakaraya said, on නොවැම්බර් 2, 2011 at 9:23 පෙ.ව.

    පාසලේ ඉගැන්වීමට සාරියක් ඇඳිය යුතු යැයි කියන නීතිය තර්ක සාස්ත්‍රයෙන් සාධනය කළ හැකිද?

  4. kathandarakaraya said, on නොවැම්බර් 2, 2011 at 9:25 පෙ.ව.

    මේ ලිපියට සෑහෙන්න ප්‍රතිචාර ලැබෙනු ඇත.
    සුදු අප්පුහාමි ගැන ලියූ ලිපියටත් වඩා, සමහරවිට!

    • arunishapiro said, on නොවැම්බර් 2, 2011 at 9:56 පෙ.ව.

      kathandarakaraya,

      තාත්තා ඔයිට කළින් අභිනිෂ්ක්‍රමණය නොකරපු එකයි “මිනිස් හිතේ හාස්කම”!!!!

      පාසැලේ ඉගැන්වීමට සාරියක් ඇඳිය යුතු යැයි කිව්වේ ප්‍රින්සිපල් මිසක් තර්ක ශාස්ත්‍රයේ සිද්ධාන්තයක් නෙමෙයිනෙ.

      මේ වෙබ් අඩවියේ දී මගේ අරමුණ සටහන් කියවන්න එන සංඛ්‍යාව වැඩි කරගන්න හෝ ප්‍රතිචාර ගණන වැඩි කරගන්න නොවේ. ඔළුවෙන් හිටගෙන කිව්වත් විශ්වාස නොකරන අය ඉන්නවානෙ. නමුත් මගේ අරමුණ එය වූවා නම් එය සාක්ෂාත් කරගන්න පුළුවන් සටහන් ගහන හැකියාවක් මා සතු යැයි මා දනිමි!!!!

      • kathandarakaraya said, on නොවැම්බර් 3, 2011 at 7:51 පෙ.ව.

        වරදවා වටහා ගන්න එපා, මං කිව්වේ බ්ලොග් බලන අපි වගේ අය කැමති සරල කතා බලන්නයි, විශේෂයෙන්ම මිනිසුන්ගේ ජීවිත පිළිබඳ සංවේදී කතා කියවන්න.
        හුඟක් හිත උණුවෙන සංවේදී අය තමයි වැඩියෙන් බ්ලොග් කියවා ප්‍රතිවාර කරන්නේ.
        කෙස් පැලෙන, මොලය කරකරන දේවල් දිරවා ගන්න වෙලාව අඩුයි.

  5. සොසී said, on නොවැම්බර් 2, 2011 at 9:40 පෙ.ව.

    අරුණි අක්කා , මම මේ තාක් දැකපු එඩිතර වගේම වෙනස්ම විදිහෙ චරිතයක්. මුණ ගැහෙන්න කතා කරන්න හිතේ තියෙන්නෙ හරිම ආසාවක්.ඔබ වගේ වෙන්න මටත් පුළුවන් නම්.

    මටත් ඔබ වගේ වෙන්න වෙනවත ඒකට මූලික අඩිතාලම අද වැටුනා. අම්ම දැන් වයසයි, අම්මට විවේකය ඕනි කියල , අද මට තේරුනේ ඇගේ දොස්තරත් එක්ක කතා කරද්දි.

    මගේ ජීවිතෙත් වෙනස් වෙන්න පටන් අරන්. එහෙම කියල ඔහේ බලාන හිටියොත් කාටෙයි පාඩු ? මටනේ.

  6. අමිල.. said, on නොවැම්බර් 2, 2011 at 9:58 පෙ.ව.

    අරුණි අක්කා,

    අක්කා මේ ගැන ඉස්සෙල්ලාම කිව්වේ මට මතක හැටියට කුමුදු පිංතු මහතාගේ මරණය දවස්වලයි.
    සමහර විට අක්කාගේ පවුලට සිද්ධ වේච්ච කරදර නිසාම අක්කාට තනියම වැඩ කරගන්න ශක්තිය ආවා කිව්වොත් මම හරිද? එහෙම නොවුනනනම් අක්කා ඔය පිම්ම පනියිද? මටතියෙන ප්‍රශ්ණය නම්, ප්‍රශ්න වැඩිවෙනකොට ශක්තිය වැඩි වෙන අයට ප්‍රශ්න අඩු උනාම මෙලෝ අරමුණක් නැති වෙනවා නේද? බාහිර ලෝකයට පේන්න ප්‍රශ්න නෑ වගේ විනෝදෙන් ඉන්නකොට අපිට ලොකු අරමුණකට යන්න හයිය නැතිව යනවා නේද? අපි විනෝද වෙන්න ගත්තම අරමූන නිකං දියවෙලා වගේ යනවා නේද?

    • arunishapiro said, on නොවැම්බර් 2, 2011 at 10:08 පෙ.ව.

      අමිල,

      අමිල මල්ලි, මගෙ පවුලේ අනිත් ළමයි එහෙම නොවෙන්නත් මා එහෙම වූයේත් ඇයි? මම වැඩිමලාත් නෙමෙයි, බාලයාත් නෙමෙයි.

      ප්‍රශ්න අඩු අයෙක් ඉන්නවා ද ලෝකයේ මෙලෝ අරමුණක් නැතිවෙන්න? අද බලන්න ලෝකේ ලොකුම ලොකු ධනවතුන්ට තියන ප්‍රශ්න හම්බ කරගත්තු ධනය බෙදා දෙන්න යැයි කෑ ගහන අයගෙන්!!!!

      ප්‍රශ්න යනු ජීවත්වෙන නිසා විසඳන්නට අවශ්‍ය අභියෝග. අරමුණු නම් තමන් විසින් තම යහපත උදාකරගන්න සකස් කරගන්නා ඉලක්ක.

      විනෝදයෙන් ඉන්නවා කියල බොරුවට පෙන්වන්න යෑම බොරුවක්. බොරු කරලා දිනන්න බැහැ. හැබැයි අරමුණ විනෝදය නම්, එතකොට …?

  7. රූ said, on නොවැම්බර් 2, 2011 at 10:28 පෙ.ව.

    මේ සටහන කියවලා මට දැනුනු දේ නොකිව්වොත් කාටද පාඩු කියලා කල්පනා කරලා මටත් හිතුනා මෙහෙම කියන්න.

    සමහර වෙලාවට මේ විදිහට හිතලා වෙනස් වෙන්න දිරිගන්න හැදුවත් අපි හිතන විදිහටම අපිට මාර්ගය පෑදෙන්නේ නෑ..හැබැයි එහෙම හිතලා අපි උත්සාහ නොකර හිටියොත් කවදාවත් අපි හිතන ඉලක්කයට යන්නත් බෑ. ඒක ඊට පස්සේ විශම චක්‍රයක් වෙනවා…
    මොනවා වුනත් මේ වගේ අමාරු වෙලාවල් වලදී කාටද පාඩු කියලා හිතන එක මට පුළුවන් කියලා හිතනවට වැඩිය සාර්ථකයි…ස්තුතියි පෝස්ටුවට…

    • arunishapiro said, on නොවැම්බර් 3, 2011 at 6:31 පෙ.ව.

      රූ,

      කියවන්න එන අය අතර ඔබ //මේ වගේ අමාරු වෙලාවල් වලදී කාටද පාඩු කියලා හිතන එක මට පුළුවන් කියලා හිතනවට වැඩිය සාර්ථකයි…// වැනි සටහනේ වැදගත් ම තැනක් වටහා ගත් අය ඉන්නවා යැයි දැනගත්තාම මගේ සිත පිරෙන්නෙ ලොකු සතුටකින්. ස්තූතියි.

  8. පූසා said, on නොවැම්බර් 2, 2011 at 11:04 පෙ.ව.

    නව කතා පොත් වල පිටු සිය ගානක ලියපු ඔය වගේ ගොතපු කතා කොච්චරනම් කියවලා ඇද්ද… ඇත්තමයි අක්කේ ඒ එකක් වත් මේ ඡේද කීපය වගේ හිතට වැදුනේ නෑ….
    අක්කලා එක්ක බැලුවාම අපි මොනවද මේ කරන්නේ කියලා හිතුනා….

  9. තිස්ස දොඩන්ගොඩ said, on නොවැම්බර් 2, 2011 at 11:31 පෙ.ව.

    “නැති බැරි කම මුතු මාල හතක් වී”

  10. dawkinssdodo said, on නොවැම්බර් 2, 2011 at 12:02 ප.ව.

    ඔබ පුදුම නොසැලෙන චරිතයක් නේ.

    මේක ලියල තියෙන ස්ටයිල් එකත් හොඳයි

    • arunishapiro said, on නොවැම්බර් 3, 2011 at 6:41 පෙ.ව.

      dawkinssdodo,

      පුහුණුව … මනා පුහුණුව … තවමත් අත්හැර නැති පුහුණුව!!! හැඟීම්, ආවේග සම්පූර්ණයෙන් ම රස විඳින්න හැකියාව ඇත්තේ ද ඒවා මොනවා දැයි අවබෝධයක් ලැබුවා ම.

      //මේක ලියල තියෙන ස්ටයිල් එකත් හොඳයි// ස්තූතියි.

      • dawkinssdodo said, on නොවැම්බර් 3, 2011 at 11:37 පෙ.ව.

        මේක කියෙව්වහම මට අතීතය සිහිවුනා. එක්තරා යුරෝපයේ රටක මාස්ටර් එක කරන්න තට්ට තනියම ඇවිත් දෙමව්පියන්ට බරක් නොවී එදිනෙදා වියදම පියවාගන්න මම කාපු කට්ට මතක් වුනා. මට හම්බුනේ හෝටලේක ක්ලීනින් ජොබක්. අඩි 15 ක් විතර දිග පිඟන් හෝදන මැශිමකට අපිරිසිදු භාජන ඇතුල්කිරීම සහ කුස්සිය සහ ශීතකරන (කාමර ) මොප් කිරීම. කන්වෙයර් බෙල්ට් එකට එක එක භාජන නියම විදියට දාන්ඩ ඕනේ. සිකුරාදා හවස සෙනසුරදා දවස සහ ඉරිදා දවස තමයි මගේ ශිෆ්ට් එක. ඉරිදා හවස් වෙද්දි මගෙ හන්දි හොඳ ගනන්. සඳුදා ට ලැබ් එකට යනවා නෙවෙයි යැවෙනවා. එතනදී අඳුන ගත්ත අය ඇකඩමික් අය නෙවෙයි. සමහර මිනිස්සු හරි කරුණාවන්තයි, තවත් සමහර ලොක්කෝ ගන්න දෙයෙක් නැහැ. මේක කියෙව්වහම ඒ සොඳුරු -දුක්මුසු අතීතය මතක් වුනා.

        • arunishapiro said, on නොවැම්බර් 4, 2011 at 10:44 පෙ.ව.

          dawkinssdodo,

          ඔව්, අපේ ඒ අත්දැකීම් නිසා අනිත් අයගේ දුෂ්කරතාවයන් ද වටහා ගන්න හැකියාව ලබනවා. මම මේ පැත්තෙ අවන්හලක් බාරව සිටියා මේ බ්ලොග් ලියන්න පටන් ගත්ත කාලයේ දී. ගිම්හානයේ එහි වැඩ කරන්න ආපු නේපාල සිසුවෙකු, රුසියන් හා පෝලන්ත අයට මා සැලකූ අන්දම නිසා ඔවුන් ඉතා සතුටින් හා වෙහෙසින් වැඩ කළා. අනිත් තැන්වලින් වැඩියෙන් ගෙව්වාත් එතැන වැඩ කරන කාලයට වැඩියෙන් ආවා. මගේ දුවට රැකියාවක් කරන්න කිසිම ආර්ථික අවශ්‍යතාවයක් නොතිබුණත් එතැන හැම වැඩක් ම කරන්න ඇයව උනන්දු කළේ ඒවායේ දුෂ්කරතාවය වටහා ගන්නත්, ඒවා කරන අය ගැන අවබෝධයක් ලබන්නත්. නේපාල කොල්ලා ඉංජිනේරු සිසුවෙක්, නමුත් පිඟන් හෝදන්නයි බිම අතුගාන්නයි සිද්ධ වීම ලැජ්ජාවට කාරණයක් යැයි බාරගත්තෙ නැහැ. තමන් කොච්චර වෙහෙසිය යුතු ද දන්නා නිසා දියණියත් අද තතු දන්නා වූ සැලකිල්ලකින් රැකියාවක අගය දන්නවා.

  11. Chanaka Aruna Munasinghe said, on නොවැම්බර් 2, 2011 at 12:26 ප.ව.

    මේ සටහන මා වෙනුවෙනි 🙂

  12. ජීවිතේ මල් said, on නොවැම්බර් 2, 2011 at 12:57 ප.ව.

    මගේ කතාවත් කවදා හෝ මට ලියන්නට හැකි වනු ඇත, තිබෙන්නේ කුඩා වෙනස් කම් කිහිපයක් පමණක්දැයි සිතේ….

  13. සපතේරු උන්නැහේ said, on නොවැම්බර් 2, 2011 at 4:43 ප.ව.

    හීනෙකින්වත් හිතුවෙ නෑ අක්ක මේ වගේ දුෂ්කර කාලයක් පහුකරල තියෙනව කියල… මම හිතුවෙ ඔයා ඔය හිතන නිදහස් පැහැදිලි ස්ටයිල් එක ඔයා ඉතා නිදහස් සුවපහසු තරුණ කාලයක් ( තාමත් තරුණයි.. මම කිව්වෙ ටීනේජ් එක ගැන ) ගත කරල ඒ තුලින් ලැබුණ දෙයක් කියල…

    අක්කෙ මම දැන් අවුරුද්දකට කිට්ටුව මේ බ්ලොග් එක කියවනව… හුඟාක් දේවල් මේකෙන් ඉගෙනගෙන තියෙනව… මගේ ජීවිතේට වැදගත්ම වෙනසක් කරපු සටහන කියෙව්වෙ අද….

    • arunishapiro said, on නොවැම්බර් 3, 2011 at 6:55 පෙ.ව.

      සපතේරු උන්නැහේ,

      දුෂ්කර කාල තව තිබුණ. මේක වැදගත් කියලා සැලකුවේ ගොඩක් දේවල් එකවර සිද්ධ වූ නිසා. දුෂ්කර කාල වගේ ම ඉතා නිදහස් සිතුවිලි පිරිච්ච සුව පහසු ගැටවර වයසක් ද ගෙව්වා. අර සොසී ඉහත කිව්වා වගේ (ඒ නිදහස් සුව පහසු කාලයේ දී ද) මාව හඳුනාගන්න ඕනෑ යැයි (අනිත් අයට වෙනස් වූ චරිතයක් නිසා ම!!!) සොයාගෙන ඇවිත් යාළු වෙච්ච යෙහෙළියෝ තාමත් මිතුරු කම් පවත්වනවා. මගේ චරිතය, මගේ චින්තනය වෙන කාගේවත් නොව මගේ යැයි දැනගත් දා සිට ‘මම’ කෙසේ විය යුතු දැයි කාටවත් තීරණය කරන්න ඉඩක් දීලා නැහැ.

      //මගේ ජීවිතේට වැදගත්ම වෙනසක් කරපු සටහන කියෙව්වෙ අද….// සතුටුයි යම් විදියකින් ‘යහපත්’ වෙනසකට දායකත්වය දෙන්න ලැබුණා නම්.

  14. Nalaka Prasad said, on නොවැම්බර් 2, 2011 at 5:02 ප.ව.

    තමන්ගෙ ජීවිතේ අමාරු කාලය ගැන පසුව හැමෝටම කියන එක ගොඩ දෙනෙක් ලග දකින්න පුලුවන්. මේකත් මම හිතන්නෙ මනසෙ සංකීර්ණ අවස්තාවක් කියල. තමන්ටත් හොරා මෙවැනි දේ තුලින් තමන් යම් මානසික උත්තේජයක් ලබයි. මෙයත් එක්තරා ආකාරයක මනසෙහි අසිරිමත් සිද්දියකි.

  15. Nalaka Prasad said, on නොවැම්බර් 2, 2011 at 5:10 ප.ව.

    Why I’m doing this? ඇයි මම මේක කරන්නෙ කියන මාතෘකාව ඔස්සේත් ලිපියක් ලියන්න කියල මම අරුණි අක්කගෙන් ඉල්ලනව. මොකද මම ඇතුලු තවමත් ඉගෙන ගන්න අයට වගේම සියලුම දෙනාටම තමන්ගෙ වටිනා කාලය යමකට යෙදවීමේ එය වැදගත්‍ වේයයි සිතනව. මෙහිදී මේ සම්බන්දව මනස හැසිරෙන ආකාරය ගැනත් යම් විස්තර කිරීමක් කරනවානම් හොඳයි.

    මට සුබ අනාගතයක්.

    • arunishapiro said, on නොවැම්බර් 3, 2011 at 6:59 පෙ.ව.

      Nalaka Prasad,

      //තමන්ගෙ ජීවිතේ අමාරු කාලය ගැන පසුව හැමෝටම කියන එක ගොඩ දෙනෙක් ලග දකින්න පුලුවන්. මේකත් මම හිතන්නෙ මනසෙ සංකීර්ණ අවස්තාවක් කියල. තමන්ටත් හොරා මෙවැනි දේ තුලින් තමන් යම් මානසික උත්තේජයක් ලබයි. මෙයත් එක්තරා ආකාරයක මනසෙහි අසිරිමත් සිද්දියකි.// හැබෑට ම? හොඳට ම ෂුවර් ද “තමන්ටත් හොරා” කියලා?!!!! මානසික උත්තේජනයක් නැතිව ලියන බ්ලොග් කියවන්න ගිහින් තියෙනවා ද?

      //Why I’m doing this? ඇයි මම මේක කරන්නෙ කියන මාතෘකාව ඔස්සේත් ලිපියක් ලියන්න කියල මම අරුණි අක්කගෙන් ඉල්ලනව. මොකද මම ඇතුලු තවමත් ඉගෙන ගන්න අයට වගේම සියලුම දෙනාටම තමන්ගෙ වටිනා කාලය යමකට යෙදවීමේ එය වැදගත්‍ වේයයි සිතනව. මෙහිදී මේ සම්බන්දව මනස හැසිරෙන ආකාරය ගැනත් යම් විස්තර කිරීමක් කරනවානම් හොඳයි.

      මට සුබ අනාගතයක්.// දැන් අර කළින් කියූ ගොඩ දෙනෙක් ගෙන් ඉල්ලන්න එහෙම කරන්නෙ ඇයි කියන මාතෘකාවෙන් ලිපියක්. ඔයාලට වැදගත් යැයි කියා යමක් ඉල්ලූ පලියට දෙන අය ලංකාවේ කොච්චරක් ඉන්නවා ද? මේ පැත්තෙ අය නම් සල්ලි ගෙවලා තමයි වැදගත් දේවල් ලබා ගන්නෙ.

      මමත් ඔබට සුබ අනාගතයක් පතනවා, අවංකව ම. ඒත් ඔයා ඒක විශ්වාස කරන එකක් නැහැ උඩ දාපු ටික කියවලා වැරදියට වටහා ගත්තොත්.

      • Nalaka Prasad said, on නොවැම්බර් 3, 2011 at 8:43 පෙ.ව.

        හපොයි අක්කිට තරහ ගිහිල්ල වගෙයි!!! මට සමා වෙන්න අක්කි මම දන්නෙ නැහැ අක්කි කව්ද? මොනවද කරන්නෙ? අක්කිට වයස කොහොමද? කියන දේවල් මම අක්කිගෙ බ්ලොග් එකට අලුත්නෙ. මම දන්නෙ ඔයා ගැහැනු කෙනෙක් කියල විතරයි. සමහර තැන්වල මම ඔයාව ආමන්ත්‍රණය කරල තියෙන විදිය වැරදි නම් මට සමාවෙන්න. මම අන්තර්ජාලය ගොඩවෙලාවක් බාවිතා කරන්නෙ තාක්ෂණික දේවල් ඉගෙන ගන්න. ඒ නිසා ගොඩවෙලාවක් ගත කරන්නෙ ඉංග්‍රීසි වෙබ් අඩවි වල. එක දිගට හරවත් ලිපි පෙලක් පලවෙනව දැක්ක සිංහල ‍බ්ලොග්කරුවන්ගේ සංසදේ සිංඩියේ. ඒනිසා මාත් ආව මේ පැත්තෙ. ඇත්තටම මේ බ්ලොග් එක කියෙව්වම තමයි මටත් හිතුනෙ බ්ලොග් එකක් කරන්න. ඒත් අවාසනාවක මහත මට ලියන්න අමාරුයි. ඒකියන්නෙ ම‍ට ලියන්න වචන එන්නෙ නැහැ. ලිපි කිහිපක් දැම්මත් මට එකක් ලියන්න පැයක්වත් යනව අනික කිසිම රසවත් බාවයක් මට ‍මගේ ලිපිවලට දෙන්න අමාරුයි. ‍ඒ කියන්නෙ මම රචනයට දක්ෂ නැහැ ඒත් මම අතහරින්නෙ නැහැ මම හිතනව ටිකක්ලියන කොට ටික ටික ‍මගේ රචණ හැකියාව දියුනුවෙයි කියල.

        //හැබෑට ම? හොඳට ම ෂුවර් ද “තමන්ටත් හොරා” කියලා?!!!! මානසික උත්තේජනයක් නැතිව ලියන බ්ලොග් කියවන්න ගිහින් තියෙනවා ද?// මම ඒක පන්ඩිතය වගේ කිව්වට ඒක මම බලපු එක්තරා රූපවාහිණී වැඩසටහණකදි ගල්මන්ගොඩ මහත්මය කිව්ව එකක්. ඒකෙන් අක්කිගෙ හිත රිදුනනම් මට සමාවෙන්න.

        //මමත් ඔබට සුබ අනාගතයක් පතනවා, අවංකව ම. ඒත් ඔයා ඒක විශ්වාස කරන එකක් නැහැ උඩ දාපු ටික කියවලා වැරදියට වටහා ගත්තොත්.// අපෝ නැහැ අක්කි මම වැරදියට හිතන්නෙ නැහැ. මට කියල මොකෝ අක්කකෙනෙක් තියා අම්ම තාත්ත කෙනෙක්වත් ඉන්නවයැ. මට අම්මටයි තාත්තටයි කියල හිටියෙ අචු 18 වෙනකන් මදර් සබීනා ඩෝල්. අනික මන් කැමතියි කෙලින් කතාකරන අයට එතකොට අපේ වැරදි අපිටම හදාගන්න ඒක උදව්වෙනව. මම මටම සුබපතාගෙන තියෙන්නෙ වැරදීමකින් ඒක උබට සුබ අනාගතයක් ලෙස නිවැරිදි විය යුතුයි. බලන්න හිතේ තියෙන යටි හැඟීම් විවිද ආකාරයෙන් එලියට පිනින හැටි.D

        මම සිංහල බ්ලොග් ගෝලයේ තියෙන අඩවි වලින් ඉතාම අතලොස්ක් තමයි කියවන්නෙ. අක්කිගෙ බ්ලොග් එක ලැයිස්තුවේ අංක එක. මම අක්කිගෙ පසුගිය ලිපිවලට අදහස් දැක්වූයෙ නැත්තෙ. මම නිදහස් මනසින් මොනව හරි කරුටු ගාන්න ගියොත් ඒකෙ හරවත් බාවය ගොඩක් අඩු නිසා. ඒත් ඉන්නම බැරුව ඉදිරි ලිපි වලට කමෙන්ට් කොරොත් සහ අඩුපාඩු ති‍බුනොත් හදල දාන්න. ඔන්න මම දැන්නම් හරියට දානව අක්කිට සුබ අනාගතයක්.

        • arunishapiro said, on නොවැම්බර් 4, 2011 at 10:23 පෙ.ව.

          Nalaka Prasad,

          ප්‍රතිචාරය දැක්කම ලොකු සතුටක් දැනුනා. නොවැටහෙච්ච එකක් දැනගන්න උත්සාහ කරන අය දැක්කම ඒ වගේ සතුටක් දැනෙනවා හැම විටක දී ම.

          මගේ වයස, මොනව ද කරන්නෙ, ඒවා මුකුත් වැදගත් නැහැ මල්ලි. වැදගත් මේ ලියන දේවල් වලින් ඔයාට වැඩක් තියෙනවා ද නැද්ද කියන එක. සමහර විට මම දාන ප්‍රතිචාර ටිකක් සැරයි, ඔරොප්පුවට වගෙයි කියලා පෙනුනාට ගණන් ගන්න එපා … ඒවායේ කියන අදහස විමසන්න උත්සාහයක් ගන්න.

          ඔයා රචනයට දක්ෂ වෙන්න ඔයා කියා තියන විදියට ම ලියන එක දිගට ම කරගෙන යන්න. ජයවේවා!

          කවුරුත් කියන දේවල් වලින් හිත රිදවා ගන්න එකට ඉඩ දීම මේ ලියන දේවල් සේරට ම පටහැණියිනෙ. සමාව ඉල්ලන්න එපා කිසිදාක ඒකට. අයෙක් ඔයා ඇත්ත කියද්දි එයාගෙ හිත රිදවා ගන්නවා නම් ඒක එයාගෙ වැරැද්ද මිසක් ඔයාගෙ වැරැද්දක් නෙමෙයි. ඒත් තමන් කියන්නේ සත්‍යයක් ද නැත්නම් හුදු ඇහුණ දෙයක් දැයි විමසා නොබලා නැවත කියන්න ගියාම වෙච්ච වැඩේ දැක්කනෙ. යම් දෙයක් කරන පිරිසක් සිටින බව දකිද්දී එය හැමෝම කරනවා යැයි සිතීම තාර්කික නැහැ. එකම විදියට හිතන දෙන්නෙක් ලොව නැහැ. මම කියන සමහර දේවල් වලට ඔයා එකඟ වෙනවා. සමහර දේවල් වලට ඔයා එකඟ වෙන්නෙ නැහැ. ඒකයි වඩා නිවැරදි. තමන්ටත් හොරා සිතේ දේවල් වලට ඉඩ දෙන අය ඉන්නවා වුනාට හැමෝම එහෙම නැහැ.

          මල්ලි දිගට ම මේ පැත්තේ ඇවිත් ගන්න පුළුවන් දෙයකින් වැඩක් ගනීවි යැයි බලාපොරොත්තුවෙන් ඉන්නම්.

  16. Chandi said, on නොවැම්බර් 2, 2011 at 8:58 ප.ව.

    අරුණී ඔබ දිරිය කාන්තාවක්. මගෙ ජීවිතේත් මේ වගේ කාලයක් තිබෙනවා නංගී. එකම වෙනස අපි පවුලක් ලෙස එකටම හිටිය එක පමණයි. අපි පොඩි කාලෙ අම්මටයි, තාත්තාටයි අපමණ ගැටලුවලට මුහුණ දෙන්න උනා. විශේෂයෙන් ආර්ථික ගැටලු වගේ දේවල්. නමුත් පෙර කරපු කර්ම විපාක වලින්ද මන්දා ඒ කාලෙ අන්තිමේ විදේශ ගත වෙන්න ලැබුනා. බොහෝ ගැටලු ක්‍රමයෙන් විසදෙන්න ගත්තේ අපිටත් නොදැනීම. අනේක විධ කරදර මද්ධ්‍යයේ මට නංගිලා දෙන්නාවත් බලාගෙන ලංකාවේ නතර වෙන්න සිදු උනා. එදා හොදටම ඇඬුවා. අවුරුදු දොළහේදී කොහොම මේ බර අඳින්නද? කියලා හිතුනා. නමුත් අධෛර්‍ය්ය වෙන්නෙ නැතිව හැම දේටම මුහුණ දුන්නා. ප්‍රථම ප්‍රේමය කඩාවැටුනා. ජීවිතේ මානසිකව ප්‍රපාතයටම ඇදගෙන වැටුනා. ඉගෙනීම කඩා වැටුනා. හැම දේම අමතක කරලා ආයෙත් නැගිට්ටා. පුලුවන් විදිහට ආයෙත් ඉගෙන ගත්තා. වාසනාවට හොඳ, හැමදේටම ඉවසන ස්වාමියෙකු ලැබුනා. එදා සිට ජීවිතය ඉතා සුන්දරව වින්දා. හොඳ සමාජයට වැඩදායක දරුවන් තිදෙනෙක් හැදුවා. දැන් මනස බොහෝ නිරවුල්. කිසිදෙයකින් සැලීමක් නෑ. අර විදිහට හිටියනම් කාටද පාඩු!!!………
    ගොඩාක් ස්තූතියි! මේ සටහනට.

    • arunishapiro said, on නොවැම්බර් 3, 2011 at 7:12 පෙ.ව.

      Chandi,

      ස්තූතියි චාන්දි අක්කා. //අර විදිහට හිටියනම් කාටද පාඩු!!!…// ඒකනෙ කියන්නෙ. මම දිරිය කාන්තාවක් වීමට හැමදාම උත්සාහ කරනවා. ඔයයි මමයි අද සතුටින් ඉන්නෙ මුහුණ දිය යුතු වැදගත් ම සටන් අත්හැරලා දාපු නැති නිසානෙ.

      Aron Ralston ගැන අහලා ඇති සමහර විට. එයාගෙ කතාව 127 Hours (2010) චිත්‍රපටියක් ලෙසින් තිරගත වූවා. යූටාහ් ප්‍රාන්තයේ කඳු නඟින්න ගිය ඔහුව ප්‍රපාතයක් අස්සේ හිරවෙනවා. දකුණු අත හිරවෙච්ච නිසා ගැලවී යන්න බැරිව ඔහු දවස් පහක් තිස්සේ වෙහෙස වී තමන්ගේ අත කපා දාලා තමයි ජීවිතය බේරා ගන්නේ. දැන් කතාව අහන වැඩි දෙනා “අපොයි මොන මඟුලකට ද කඳු නඟින්න යන්නෙ?” කියලා අහන්න ඉඩ තියෙනවා. ඒ දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න අය. එහෙම අය නිසා නෙමෙයි මිනිසාගේ අභිවෘද්ධිය සිද්ධ වෙන්නෙ මේ වගේ වැඩ කරන්න නොපසුබට වෙන අය ඉන්න නිසා.

  17. අමා said, on නොවැම්බර් 3, 2011 at 3:07 පෙ.ව.

    අක්ක ගේ කතාව කියෙව්වම, මට පහුගිය දවස් ටිකේ මං ගැන දුක් වෙමින් ආත්මානුකම්පාවෙන් හිටිය හැටි කල්පනා කරලා ලජ්ජත් හිතුන. කොහොම හරි හිත හදාගන්නවා කියල තීරණය කරා. (හැබැයි ඒක කරන්නේ කොහොමද කියල තාම හිතාගන්න බැහැ! විරහ ගී අහන ඒක නම් නැවැත්තුවා . පින්තුර දිහා අනිමිසලෝචනය කරන එකත් අමාරුවෙන් නවත්තන්න ඕනා 😀 )
    ඔව්… බුදු හාමුදුරුවෝ ත් කිව්වනේ තමන්ගේ හිසට තම අතමය කියල…

    ජය වේවා!

    • arunishapiro said, on නොවැම්බර් 3, 2011 at 7:14 පෙ.ව.

      අමා,

      නංගි ඔයා සූදානම් දවසට හිත හදාගන්න, ඔයාව නවත්වන්න කාටවත් බැහැ. කොහොම ද කරන්නෙ කියන එකත් ඔයාට ම හොයාගන්න පුළුවන් වේවි.

  18. dayal-bathee said, on නොවැම්බර් 3, 2011 at 4:26 පෙ.ව.

    ඔබගේ චරිතය ආශ්‍රයෙන් ගෙන ආ සටහන ආවේශකයි, inspiring

    ස්තූතියි අප සමග බෙදාගත්තාට.

    මා නැවතත් මාතෘකාව වෙත ගෙන යනවා නම්,

    එකේ සිටින කෙනෙකු උත්සහ කල යුත්තේ දෙකට යන්න.

    පඩි දෙක තුන එක වර නැග යාම නොසුදුසුය.?

    එකේ සිටින කෙනෙකුගේ ඉලක්ක දෙකේ ඉන්න කෙනාට කුඩා වැඩියි.

    ආදී වශයෙන් සිතන විට සාර්තකත්වය හා ඉලක්ක විශ්ව සාදාරණ දෙයක් නොවේ.

    සාපේක්ශයි!

    ඔබේ සාර්තකතවය වෙන කෙනෙකුගේ සාර්තකත්වය හා ගැටෙන විට තමයි ප්‍රශන්ය මතු වන්නේ!

    සරල උදාහරනයක් ගත්තොත් ,

    ඔබගේ බ්ලොගයට ලැබෙන හිට්ස් ගනන?

    • arunishapiro said, on නොවැම්බර් 3, 2011 at 7:25 පෙ.ව.

      dayal-bathee,

      ඉංග්‍රීසි යෙදුමක් තමයි upward mobility. ඒ කියන්නෙ කෙනෙකු තමන් ඉන්නා තත්වයෙන් සමාජීය හා ආර්ථික වශයෙන් ඉහළ තත්වයකට යෑම. වැඩවසම් ලෝකයේ එහෙම හැකියාවක් තිබුනෙ අඩුවෙන්, කුල මල හා රාජානුග්‍රහය අවශ්‍ය වූ නිසා. ඒත් ඇමෙරිකාවේ වගේ නිදහස් සමාජයක ඊට අවස්ථාවක් සෑම අයෙකුට ම තියනවා. ස්ටීව් ජොබ්ස්, බිල් ගේට්ස්, වැන්නෝ නැඟ්ගෙ පඩි ගණනාවක් හනිකට. ඇයි පඩි දෙක තුන එකවර නැඟ යාම නොසුදුසු?

      //එකේ සිටින කෙනෙකුගේ ඉලක්ක දෙකේ ඉන්න කෙනාට කුඩා වැඩියි.// කවුද දයාල්-බතී එහෙම කියන්නෙ? කාට ද එහෙම ඉලක්කයක් ලොකු හෝ කුඩා යැයි තීරණය කරන්න හැකියාව ඇත්තේ? තමන්ට නොවේ ද? ඉහත කියපු තුන් දෙනාගේ ඉලක්කයන් වූයේ කවුරුත් හිතපු නැති තරම් ඈතක නොවේ ද? බිල් ගේට්ස් ලෝකයේ ධනවතා වෙද්දී ස්ටීව් ජොබ්ස් වසරකට ඩොලරයක වේතනයක් ගත්තේ ඇයි?

      //සාර්තකත්වය හා ඉලක්ක විශ්ව සාදාරණ දෙයක් නොවේ. සාපේක්ශයි!// මගේ සාර්ථකත්වය තවත් අයෙකුගේ සාර්ථකත්වය හා ගැටෙනවා යැයි සිතන්නේ ලොව සම්පත් සීමිත යැයි, ලොව ඇති අවස්ථා සීමිත යැයි සිතන චින්තනයක හිරවූවොත්. මගේ බ්ලොගයට ලැබෙන හිට්ස් ගණන නිසා දයාල්-බතීගේ බ්ලොගයට වාසියක් හෝ පාඩුවක් සිද්ධ වෙනවා යැයි සත්‍යයෙන් ම සිතනවා ද?!!!!

  19. TG said, on නොවැම්බර් 3, 2011 at 10:57 පෙ.ව.

    Aruni

    Many thanks for sharing your personal experience .Indeed it has a personal texture, like pouring ur heart .i felt it even from the language ur using. It’s totally different from language in other posts
    I felt more or less it’s the story of mine.

    • arunishapiro said, on නොවැම්බර් 4, 2011 at 10:32 පෙ.ව.

      TG,

      ස්තූතියට ස්තූතියි. අපි නොදන්නවා වුනාට අපේ කතාවල් වගේ කතන්දර තියන අය අපි හිතනවාට වඩා වැඩියෙන් ඉන්නවා!!!

  20. හිෂාන් මෙලංග said, on නොවැම්බර් 4, 2011 at 12:30 ප.ව.

    “තාර්කික පියවර තමන් වෙනස් වීම”
    මේ ලිපියෙ මාතෘකාවයි මගේ පියා හැමදාම කියන වචන කිහිපයකුයි අතර ලොකු සමානකමක් තියෙනව. ඒ කතාව තමයි “අපට අනුන්ව හදන්න බැහැ, අපි හැදෙනව මිසක්” කියන එක. එහෙම නැත්නම් කාටද පාඩු? තමන්ටමනෙ පාඩු.

    මේ ලිපිය කියවල ඔබතුමියට කියන්න නමක් මතක් වුනා. ජනරාල් අරුණි ශපීරෝ. මම ඔබ තුමියට හිස නමා අචාර කරමි.

    • arunishapiro said, on නොවැම්බර් 4, 2011 at 4:50 ප.ව.

      හිෂාන් මෙලංග,

      අනේ දරුවෝ මට එහෙම නමක් දාන්න නම් එපා. ඔය නම් නිසා මොළේ තියාගන ඉන්න ඔළු කට්ටත් නැති වෙයි මට!!!

  21. නවම් said, on නොවැම්බර් 5, 2011 at 4:55 පෙ.ව.

    කාලෙකින් අරුණි අක්කගෙන් ඔළුව කරවෙච්ච දවාලක අවුලක් නැතිව කියවන්න පුළුවන් සටහනක්. ඒ සරළ කමට මුලින්ම ස්තූතියි.

    අපි හැමෝම ආසයි තව කෙනෙක්ගෙ සාර්ථක ගමනක විස්තර දැන ගන්න. හරියට වන්දනා ගමනක ගියපු ආච්චිගෙන් “ඉතිං ආච්චියෙ කොහොමෙයි අතර මඟදි කරදරයක් උනේ නැතෙයි” අහනව වගේ. ඔන්න අතරමඟදි කරදරයක් එහෙම උනේ නැත්නම් ඔන්න අපේ හිතට හරි නෑ.

    මම හිතන්නෙ මෙතන කමෙන්ට්ස් කරපු හැමෝම වගේ අරුණි අක්කගෙ කතාව වගේ තවත් බොහෝමයක් කතා අහල ඇති. එදා ඉඳල අහපු කතාවලින් කීයෙන් කීදෙනාද තමන්ගෙ ජීවිතවලට ආදර්ශයක්, උත්ප්‍රේරකයක් අරගෙන ඇත්තෙ.

    ප්‍රේමයේ වියෝදුක, ජීවිතයේ වැටීම්, නැඟීම්, පරාජයන්, හපං කම් මෝඩකම් පුරසාරම් ගැන අපි මෙච්චර කියවන්න ආස ඇයි? ඒ දේවල් කියවීමකින් එහාට නොයන්නෙ ඇයි ?

    • arunishapiro said, on නොවැම්බර් 5, 2011 at 8:19 පෙ.ව.

      නවම්,

      මෝටර් රේස් බලන අය අතර ත් //ඔන්න අතරමඟදි කරදරයක් එහෙම උනේ නැත්නම් ඔන්න අපේ හිතට හරි නෑ// කියන අය ඉන්නවා. හැබැයි මම නම් කැමති වාර්තා පිට වාර්තා ගහන්න පුළුවන් මෝටර් රේස් බලන්නයි. අතරමඟ දී කරදර නැතුව ගිය ගමනේ සාර්ථකත්වයෙන් ලැබූ ඵල ගැන වැඩියෙන් අහන්නයි.

      දැන් මේ අබුඩාබි ග්‍රාන්ඩ් ෆ්‍රී මුල් වටය බලන්න ලැහැස්ති වෙන ගමන්. ඒකයි මෝටර් රේස් හිතේ වැඩ කරන්නේ …

      //ඒ දේවල් කියවීමකින් එහාට නොයන්නෙ ඇයි ?// පුරුද්ද අත්හරින්න පුළුවන් වෙච්ච දාට පුළුවන්!!!

  22. Kumari Jayasinghe said, on නොවැම්බර් 5, 2011 at 10:38 පෙ.ව.

    godak watinawa thanks

  23. aravinda said, on නොවැම්බර් 10, 2011 at 2:55 පෙ.ව.

    Dear Aruni,
    Who know you They know you entire life.You can not hide it.
    But who do not not that,they can think you are going to gain something from thelling your past life or may they were refused to help you any time any reason.
    They know your current status and their status.They will be tell your are lier.
    That is matter of shame and embarassment.
    If you wish to reveal your life,but this is not suitable time for that.
    Wait.
    Time will reached you.
    Do not try to reached time.
    Time has a big value.
    Good Luck.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: