අරුණි ශපීරෝ‍ වෙතින්

ධනාත්මක චින්තනය අතකොළුවකි

Posted in Uncategorized by arunishapiro on නොවැම්බර් 3, 2011

උපකරණයක් විසඳුමක් යැයි සිතන එක වැරදියි. ධනාත්මක චින්තනය කියන්නෙ සරල වූ, සීමාසහිත ප්‍රයෝජනයක් ඇති උපකරණයක් මිසක් ප්‍රශ්න වලට විසඳුමක් නෙමෙයි. තොල් සොලවමින් නිදා ගන්න කළින් දොස්තර එමිල් කිව්ව “දවසින් දවස හැම විදියකින් ම මට තව තවත් යහපත ළඟා වෙයි” මන්ත්‍රයක් වගේ මතුරලා හැමදාම හංදියෙ තැබෑරුමෙන් පයින්ට් එකක් දාගෙන එනවා නම් ඉතින් ලෙඩ හොඳ වෙන්නෙ නැහැ. ඒ ධනාත්මක වගන්තිය අතකොළුවක්. ඒකෙන් ලැබෙන්නෙ සීමිත වූ ප්‍රයෝජනයක්, එනම් ඉන්නා තත්වයට වඩා වැඩි හොඳ තත්වයකට යන්නට ලැහැස්ති බව හිතට දැනුම් දෙන පණිවිඩයක්. එහෙම පණිවිඩයක් හිතට යවලා තමන් කරන්නෙ මොකක් ද? ගමන යා යුතු නොවේ ද?

ධනාත්මක චින්තනය සීමාසහිත වෙන්නෙ මෙහෙමයි. වසර ගණනාවක් ආදරයෙන් බැඳිලා සිටි අයෙකුගේ සහකරුවා/සහකාරිය හදිසියේ නැති වුනා කියල හිතමු. එදාට එයාට හිත හදාගන්න කියලා දොස්තර එමිල් කියපු වදන් මතක් කරන එක සුදුසු ද?!!!! ඇබැද්දියක් වුනාම එහි ධනාත්මක පැත්ත බලන්න කියලා ඒ වේලාවේ කිව්වට ඵලක් නැහැ. ඒ වෙලාවේ ඒක කොහෙත් ම පෙන්නේ නැහැ. මිනිස් ස්වභාවය අනුව පෙනීම වැදගත් වෙන්නේ ද නැහැ. මිනිස් ස්වභාවය නම් තමන්ට වූ අලාභයක් නිසා දුකක් සිතට දැනීම. එහෙම දැනෙන්නෙ නැත්නම් එයාට මිනිස් සිතක් ඇත්තෙක් ද කියලා ප්‍රශ්නයකුත් එනවා.

ඒත් මිනිස් සිතේ ආශ්චර්යය නම් ඒ දුකින් ගැලවෙන්න ඇති හැකියාව. අන්න එතැන දී තමයි අපිට ධනාත්මක චින්තනය නැමති සීමාසහිත වූ උපකරණය පාවිච්චියට ඕනා. කොයිතරම් කාලයක් ඇබැද්දිය ගැන හිත හිත දුක් වෙනවා ද, ඇබැද්දියෙන් පසු කාට ද පාඩු? කියලා හිතලා ගත යුතු ඊ ළඟ පියවර ගන්නට හිතට උදව්වක් හැටියට තමයි ධනාත්මක චින්තනය පාවිච්චියට ගන්නෙ. අයෙක් දුක් වෙන කාලය කුමක් දැයි තීරණය කරන්නේ ඒ පුද්ගලයා විසින් විය යුතුයි. වෙන කිසිවෙක් එය තීරණය කලාට පුද්ගලයා සූදානම් නැත්නම් දුකින් මිදෙන්න ඉන් මොන ධනාත්මක චින්තනය කිව්වත් වැඩක් නැහැ.

ලංකාවේ ධනාත්මක චින්තනයට ජෝන් මේනාඩ් කේන්ස් ද රිංගා ගෙන බව අහන්නට ලැබුණා. මුලින් ම ලියුමක් ආවේ ත්‍රිකුණාමලයේ වැඩ කරන කෙනෙක් ගෙන්. ඊට පස්සෙ මාතලේ අම්මා කෙනෙක් ගෙන්. රුපියල් දහස් ගණනක් සල්ලි ගෙවලා ඒ අය ධනාත්මක චින්තනය උගන්වන පංති ගිහින් ඉගෙන ගෙන තියෙන්නෙ ණය අරගෙන හරි ධනය ඇති විදියට හැසිරුනොත් ධනවත් වෙනවා කියලයි. ඉතින් ත්‍රිකුණාමලයේ හාදයා හැම අතට ම ණය වෙලා පොඩි ව්‍යාපාර රැසක් පටන් අරගෙන. තියන රැකියාවේ මාස්පඩියෙන් ණය ගෙවලා ඉවර වෙද්දී අතේ සතයක් ඉතුරු නැහැ. ණය ගෙවා ඉවර වෙද්දී ඒ ව්‍යාපාරයන් හි ඇති අගයක් ද නැහැ. ඒ කියන්නෙ අළුතින් ණයක් ගත්තොත් මිසක් ඒ කරන විදියට ව්‍යාපාර කරගෙන යන්න බැහැ. මාතලේ අම්මා හරි දුකෙන් පුතා ණය අරගෙන පෝසතෙක් වගේ රටට පෙන්වනවා කියලා. පුතා අම්මාට බනිනවාලු මෙහෙම හිටියමයි ධනවත් වෙන්නෙ කියලා. ඍන කතා කියනවා කියල අම්මා එක්ක කතාබහත් දැන් අඩුලු!!!

හිත දන්නවා හිතට බොරු කරද්දී. ණය ගෙවා ගන්නෙ කොහොම ද කියන එක හිතේ වැඩියෙන් කොනහපු නිසායි ත්‍රිකුණාමලයේ හාදයා මට ලිව්වෙ. පුතා උපකරණය විසඳුමක් කියා වෙහෙස නොවන්නට ක්‍රමයක් අල්ල ගත්තට වැඩි ඉගෙනීමක් නැති අම්මාගෙ හිත විමසුවා ඒක ලෝක ස්වභාවයට පටහැනි නේද කියා.

ධනාත්මක චින්තනයෙන් පමණක් ප්‍රශ්නයකට විසඳුමක් ලැබෙන්නෙ නැහැ.

ධනාත්මක චින්තනයෙන් පවතින අර්බූදකාරී තත්වයක යටින් දුවන ගැටළු විසඳන්න බැහැ.

ධනාත්මක දිරි වදන් ගිරව් වගේ කියෙව්වාට එයින් ලැබෙන ඵලයක් නැහැ.

ජීවිතය වෙනස් කරගන්න උත්සාහයක් ගන්න තීරණය කරපු අයෙකුට ඒ ඒ අවස්ථාවේ දී පැන නැඟිච්ච තත්වයෙන් ගොඩ ඒමටයි ධනාත්මක චින්තනය වඩාත් උපකාරී වෙන්නේ.

ඒ අවස්ථාව අනුව, සිත සූදානම් නම් වෙනසට ලක්වන්න, එවිට ධනාත්මක චින්තනය මහඟු උපකරණයකි. අනිත් හැම උපකරණයක් සේ ම මෙය ද පාවිච්චියට ගත යුතු අවස්ථාව හා විදිය දැන සිටීමෙන් ප්‍රතිඵල ලැබේ.

කාලය විසින් සියළු සිත් තැවුල් සමනය කරන්නේ නැහැ. කාලය විසින් කරන්නේ සිත් තැවුල් හුරු කර එහි වේදනාව මොට කිරීමයි. මතකනෙ, අළුත් වාහනය පරණ වෙද්දී ඒ ජාතියේ වාහන පේන එක අඩු වෙන හැටි. ඒ වගේ. අළුතින් ඇතිවෙච්ච සිත් තැවුලක දී මොකක් දැක්කත් සිත් තැවුලයි මතක් වෙන්නෙ. කාලය ගෙවී යද්දී ‘සිත් තැවුල මතක් කරන දකින දේවල්’ අඩු වෙනවා. සිත් තැවුල් වලින් ගැලවෙන්න හැකියාව ඇත්තේ සිත අයිති එක්කෙනාට පමණයි. ඒ ඒ අයට උවමනා වූ ඉක්මණට ද පමණයි.

පුද්ගලයාගේ හැදියාව (වෙනස් කර ගන්න පුළුවන්), සිතේ හයිය (ධනාත්මක චින්තනයෙන් වඩා ගන්න පුළුවන්), චෛතසික ස්වභාවය (ධනාත්මක චින්තනය අතකොළුවක් කරගෙන පවත්වා ගන්න පුළුවන්) අනුව කොයි තරම් වේගයකින් තම අභිවෘද්ධිය කරා යනවා ද කියා තමන් විසින් තීරණය කරන්නක්.

අයෙක් පුරුදු වුවහොත් කිසිම පිටස්තර බාධාවකින් සිත අඩපණ වෙන්න ඉඩ දෙන්නේ නැහැ කියා චෛතසිකයක් වඩවා ගන්න, ඒ අයට පුළුවන් ඕනෑම දුකකින් වඩා ඉක්මණින් ගොඩ එන්න. ඒ කියන්නෙ කරදරයක් සිද්ධ වෙන්න කළින් එහෙම වුනොත් මොකද කරන්නෙ කියල හිතලා බලලා තියන අය. අපි අතර බොහොමයකට අන්තිම කැමති පත්‍ර වත් නැති නිසා එහෙම දේවල් ගැන හිතන්න ඇති උවමනාව ඉතා අඩුයි. මාරාන්තික ලෙඩකින් වසර ගණනාවක් පෙළිච්ච අයෙක් මිය ගියා ම ඒ පවුලේ අයගෙන් ඇහෙන්නෙ ‘තුන් හිතකින් වත් නොහිතපු’ දෙයක්නෙ මේ වුනේ කියලා!!!

සිද්ධ විය හැකි ඇබැද්දි ගැන විමසා තිබීම ඍනාත්මක චින්තනයක් නොවේ. විය හැකි වඩාත් ම අනතුරුදායක තත්වය (worst case scenario) අගැයුම් කර තිබීමෙන් ධනාත්මක බවට වැඩියෙන් යා හැකිය.

ධනාත්මක චින්තනය පාවිච්චි කරන අවස්ථාවක් දකින්න පුළුවන් Alien (1979) චිත්‍රපටියේ රිප්ලිගේ චරිතය රඟපාන සිගෝර්නි වීවර් පිටසක්වල හතුරා එක්ක සටන් වැදි චිත්‍රපටියේ අවසානයේ දී. රිප්ලි ඌව මරා දමන්න ලැහැස්ති වෙද්දී ඇය මතුරනවා ‘ලකි, ලකි, ලකි, ලකි …” කියා. පණ බයෙන් ගැහෙද්දී ඇය වාසනාව ගැන මතුරලා හිතට ධෛර්යක් ලබාගෙන පිටසක්වල හතුරා සුන්නත් දූලි කරන්න සමත් වෙනවා. සිත ව්‍යාකූල අවස්ථාවක දී සිත ඉලක්කයකට ගෙන ඒමට එවැනි ධනාත්මක දිරි වදනක් අතකොළුවක් වෙනවා.

ධනාත්මක චින්තනය අවශ්‍ය්‍ය අවස්ථාව හඳුනා ගන්න ඕනා. ඒක පාවිච්චියට ගත යුතු ඉතා වැදගත් උපකරණයක්. ඒත් ඒක නෙමෙයි විසඳුම.

Advertisements

31 Responses

Subscribe to comments with RSS.

  1. kathandarakaraya said, on නොවැම්බර් 3, 2011 at 7:43 පෙ.ව.

    ඇත්තටම තුන් හිත කියන්නේ මොනවාද?
    උඩු හිත
    යටි හිත
    අනික මැද හිතද?

    • arunishapiro said, on නොවැම්බර් 4, 2011 at 10:11 පෙ.ව.

      kathandarakaraya,

      එහෙම කියනවා අහලා තිබුනාට තුන්හිත මොනවා ද කියා එහෙම කියපු අයගෙන් මට දැනගන්න ලැබුනේත් නැහැ. සමහර විට සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියපු id, ego, superego වගේ එකක් තියෙන්න ඇති ලාංකික ව්‍යවහාරයේ. සමහරු යටි සිත, උඩු සිත, විඥානය කියා තුන් හිතක් ගැන කියනවා.

      //මට නං හිතන්නේ ඔය ධනාත්මක වින්තයට වහල් වෙලා කියලයි සමහරු.// උපකරණ පාවිච්චි නොකර ඒවාට වඳින පුදන අය කොච්චර ද?

      වරදවා වටහා ගත්තෙ නැහැ. //හුඟක් හිත උණුවෙන සංවේදී අය තමයි වැඩියෙන් බ්ලොග් කියවා ප්‍රතිවාර කරන්නේ.// බව මම දන්නවා. ඒත් මම වැඩියෙන් බ්ලොග් එකට පිරිසක් ගෙන්න ගන්න හෝ වැඩියෙන් ප්‍රතිචාර හොයන්න නෙමෙයිනෙ ලියන්නෙ, මම ලියන්නෙ මට කැමති දේවල් ගැනනේ කියන එන ඔයා සලකා බලන්නෙ නැත්තේ ඇයි?

      කාලයක සිට තවමත් කතන්දරකාරයාගේ, මකුළු පැංචි ලියන හා සත්සමුදුර වගේ අඩිවි කිහිපයක් එන්න හදද්දී ම පරිගණකය හිරවෙනවා. ඇයි මේ?

      • kathandarakaraya said, on නොවැම්බර් 5, 2011 at 11:59 පෙ.ව.

        අරුණී, මං ලියන්නේත් මං කැමති කතන්දර විතරයි. මගේ ගුගල් ප්‍රොෆයිල් එකේම ඒ ගැණ ලියලා තිේ‍රනවා. අනිත් සමහර අයගේ කැමැත්තත් සමහර විට මගේ කැමැත්තට සමපාත වෙනවා. සමහර විට නෑ.

        මගේ බ්ලොග් එකට එන ප්‍රශ්ණය නිහාල් ගුරුසිංහටත් තියෙනවා. මං හිතන්නේ යැංකි නව යටත් විජිතවාදී බටහිර කුමන්ත්‍රණයක් වෙන්න ඕනෑ.

        අද සිට ලංකාඊනිවුස්, ලංකානිවුස්වෙබ්, ටමිල් නෙට් තුනට අමතරව, ලංකාවේනිවුස් පමණක් නොව ගොසිප්9, පැපරාසිනිව්ස් වගේ වෙබ් සයිට් ගොඩක් තහනම් කරලාලු.

        ඒ වගේ ඇමරිකාවේ මගේ දුප්පත් කතන්දර බ්ලොග් එක තහනම් කරලාද මන්දා?

        • arunishapiro said, on නොවැම්බර් 6, 2011 at 9:16 පෙ.ව.

          kathandarakaraya,

          //මගේ බ්ලොග් එකට එන ප්‍රශ්ණය නිහාල් ගුරුසිංහටත් තියෙනවා. මං හිතන්නේ යැංකි නව යටත් විජිතවාදී බටහිර කුමන්ත්‍රණයක් වෙන්න ඕනෑ.//
          //ඒ වගේ ඇමරිකාවේ මගේ දුප්පත් කතන්දර බ්ලොග් එක තහනම් කරලාද මන්දා?//

          ඒක එහෙම නෙමෙයි කියලා පෙන්වලා දෙන්න ගියොත් ඒකත් //කෙස් පැලෙන, මොලය කරකරන දේවල් දිරවා ගන්න වෙලාව අඩුයි// කියන අයට වැටහෙන එකක් නැහැ! 🙂

  2. kathandarakaraya said, on නොවැම්බර් 3, 2011 at 7:46 පෙ.ව.

    ලංකාවේ ධනාත්මක චින්තනය ගැන පොත් වැහි වහලා.

    මට නං හිතන්නේ ඔය ධනාත්මක වින්තයට වහල් වෙලා කියලයි සමහරු. ඒක හරිම ප්‍රතිගාමී චින්තනයක් වෙලා!

  3. අමිල.. said, on නොවැම්බර් 3, 2011 at 8:47 පෙ.ව.

    අරුණි අක්කා,

    සමහරු මට “ඍනයා” කියලා නමකුත් දාලා තිබ්බා ඔය worst path එක ගැන හිතන නිසා. වැඩිය නොසිතා කෙලින්ම වැඩට බැසීම හොදයිද ඊට වඩා.

  4. තනි අලියා said, on නොවැම්බර් 3, 2011 at 8:50 පෙ.ව.

    ධනාත්මක චින්තනේ ද මොකද්ද එක ගැන යන රැල්ල අවුරුදු කීපයක් තිස්සේම බලා සිටියෙමි! අවසානයේදී එය තවත් ගොංපාට් එකකට වඩා යමක් නොවන බව තේරුම් ගතිමි!

    • arunishapiro said, on නොවැම්බර් 4, 2011 at 10:28 පෙ.ව.

      තනි අලියා,

      //ධනාත්මක චින්තනේ ද මොකද්ද එක// ගැන //බලා සිටිය// නිසා ඒ ගැන සොයා බලා නැති බව පේනවා. සොයා නොබලන අයට Yahya Jammeh වගේ අය ඒඩ්ස් හොඳ කරන්න පුළුවන් වගේ කිව්ව දේවල් වලත් ලොව බිලියනපතිවරුන් උපකාරයට ගන්නා ධනාත්මක චින්තනයෙත් ඇති වෙනස පේන්නෙ නැහැ තමයි.

  5. යෝධයා said, on නොවැම්බර් 3, 2011 at 9:43 පෙ.ව.

    එන හැම අලුත් එකම එක පිම්මේ ඔලුවට දාගන්න ඉඩමදී. තන්හාව අයින් කරල හොඳදෙයක් විතරයි බලන්නෙ. මම බේරිලා.

  6. sadhun said, on නොවැම්බර් 3, 2011 at 11:56 පෙ.ව.

    akka hoda lipi godak liynawa.jiwetheta ganna godak dewal tiyanawa ewaye .blog walin arthawath deyak karana eka gana sathutui..digatama liyanna suba pathanawa

  7. sampath said, on නොවැම්බර් 3, 2011 at 12:23 ප.ව.

    ඇරුණි අක්කි,
    ජෝන් මේනාඩ් කේන්ස් කියන්නේ කව්ද?
    ඔයාගේ මේ කතාවට මනස සංවර්ධන සේවා සංවිධානයත් සම්බන්ධ වෙනවාද?

  8. //ධනාත්මක දිරි වදන් ගිරව් වගේ කියෙව්වාට එයින් ලැබෙන ඵලයක් නැහැ.//

    මගෙ මිත්‍රයෙක් හිටිය මිනිහ ධනාත්මක චින්තනය ගැන පංති එහෙම ගියා කාලයක්. එයාගෙ කාමරේ බිත්ති පුරා කොලවල ලියල අලවල තියනව “මට පුලුවන්” , “I am going to UK” වගේ වැකි වලින්. හැබැයි මම දන්න විදියට මිනිහ ඒව කියව කියව හිටියට කිසිම දෙයක් ප්‍රායෝගිකව ක්‍රියාවෙ යෙදෙවුවෙ නෑ . . .

    ඔතනදි අරුනි අක්ක කිවුව උදාහරනෙ //ණය අරගෙන හරි ධනය ඇති විදියට හැසිරුනොත් ධනවත් වෙනවා // කියන කතාවම නේද ෆෙංෂුයි වෙලෙන්දොත් කියන්නෙ . . . . මම වතාවක්පොතක් කියෙවුව . . ඒපොතේ තිබුන උපදෙස් වැඩි හරිය ඒ වගේ . . . නය වෙලා සෞභාග්්‍යය පිටතට පෙන්නන්න වගේ අදහසක් තමයි මට ලැබුනෙ.

    • arunishapiro said, on නොවැම්බර් 4, 2011 at 10:55 පෙ.ව.

      ඕනයා (දුලිප් සිකුරාජපති),

      ඔයා කියන්නෙ Qi ගැන. ෆෙන්ෂුයි වල එන්න ඒ සංකල්පය. ඕකම තමයි නොයෙක් නම් වලින් නොයෙක් මතවාදයන් හි එන්නෙ. වේදාන්තයේ එන ප්‍රාණ හා සමාන කරනවා. Star Wars වල The Force කියන්නෙත් ඒකට!!!! හැබැයි ඒත් මූලාශ්‍ර තියන කොතැනක වත් //ණය අරගෙන හරි ධනය ඇති විදියට හැසිරුනොත් ධනවත් වෙනවා // කියන එක දකින්න නැහැ.

  9. අමා said, on නොවැම්බර් 3, 2011 at 10:19 ප.ව.

    ඒලියන් හි රිප්ලිගේ චරිතය සිනමාවේ මම කැමතිම කාන්තා චරිතයක්. She’s a real kick-ass chick! 😀

  10. Chandi said, on නොවැම්බර් 3, 2011 at 11:25 ප.ව.

    ඔව්, අරුණි ධනාත්මක චින්තනය කියල යමක් මතුරලා නම් ලබාගන්න බැහැ. අනෙක අලුත් විදිහට, සිහින හදාගෙන ඒවා සාර්ථක කරගන්න කිව්වට හැම සිහිනයක්ම සැබෑ කර ගන්න බැරි බවත් දැන ගන්නට ඕනෙ. මෙහිදී ස්වොත්සාහය හරිම වැදගත්. ඒ වගේම අභියෝගයන්ට නොපැකිල මුහුණ දීම ඒ හරහා අභියෝග ජය ගැනීම තියෙන්න ඕනෙ. මාරාන්තික ලෙඩක් හැදුනම අපි එයා අපිව අත්හැර යන බව නිතර සිහිකලාම, ඒ කියන්නෙ අල්ලා ගැනීම හෙවත් තන්හාවෙන් උපාදානය කිර්‍රම නැතිකලාම දුක අඩුයි. ඒක මම අත්දැකීමෙන් දන්නවා. මගේ නංගි පිළිකාවකින් නැති උනා. අනෙක් හැමෝම එයා හොඳවෙන බව තදින්ම විස්වාස කලා. මම හිතට බොරු කරේ නෑ. මම නිතරම හිතුවා එයා කවදා හරිම අපිව දාලා යාවි කියලා. මට හිත හදාගන්න අනෙක් අයට වඩා පහසු උනා. ඒ කියන්නෙ මගේ මතකයෙන් එයා ඈත් උනා කියන එක නෙමෙයි. දුක යම්තරමින් තුනීවුන බවයි. ඒලියන් හි රිප්ලිගේ චරිතය සිනමාවේ මමත් කැමතිම කාන්තා චරිතයක්.

    • arunishapiro said, on නොවැම්බර් 4, 2011 at 10:59 පෙ.ව.

      Chandi,

      //මගේ නංගි පිළිකාවකින් නැති උනා. අනෙක් හැමෝම එයා හොඳවෙන බව තදින්ම විස්වාස කලා. මම හිතට බොරු කරේ නෑ. මම නිතරම හිතුවා එයා කවදා හරිම අපිව දාලා යාවි කියලා. මට හිත හදාගන්න අනෙක් අයට වඩා පහසු උනා. // විචාරයට අකමැති අයට මේ බව වටහා ගන්න ඉතා දුෂ්කරයි. මොන හේතුවක් නිසා දැයි පෙන්වන්න නොහැකි වූවත් එය නුසුදුසු වූවක් යැයි හිතනවා.

      දිරිය කාන්තාවන් ප්‍රිය කරන දිරිය කාන්තාවක්, රිප්ලි!!!

  11. රූ said, on නොවැම්බර් 4, 2011 at 2:10 ප.ව.

    ධනාත්මක චින්තනය අතකොළුවක් ලෙස නොව ජීවිතයම ලෙස සලකන්න බොහෝ අය පෙළඹෙනවා..ඒත් මේ වගේ සිතට බලෙත් ඇතුල් කරන දේවල් නිසා අපේ මනස තවත් ආතතියකට ලක්වීම පමණයි සිදුවන්නේ..
    අමාරු වෙලාවට සිත දිරිමත් කරගන්න උපකාරී වුනාට මෙම සංකල්පයටත් වහල් විය යුතු නැහැ..
    වැරදියට පාවිච්චි කලොත් අතකොළුවෙන් ඔළුවද පලා ගත හැකියි..අද අපට නැත්තේද මෙවන් සාර්ථක මෙවලම් පරිහරණයට අවැසි විචාර බුද්ධියයි..

    ධනාත්මක චින්තන‍යේ නව මානයක් පෙන්වූවාට තුති..!

    • arunishapiro said, on නොවැම්බර් 4, 2011 at 5:14 ප.ව.

      රූ,

      කියවා වටහා ගත් බව දැක්කාම මටත් සතුටුයි.

      • chamila said, on නොවැම්බර් 11, 2011 at 6:20 පෙ.ව.

        sithata deyak balen athul kirima danathmaka chinthane nemei.eka rinathmakai,,mokada ethana tiyenne kiyanawa wagema dukak,athathiyak.anika e vidihata hitata deyak athul karannath ba.jiwithakalayema kenekuta danathmakawa hitanna puluwan,hita dunu karaganna puluwan,danathmaka chinthane kiyala hugak aya artha dakwana de eka eka aya terum ganne wenas vidihata.ekai eka atha koluwak wenne.vishwaye sundara bawa asimithawa vidaganna danathmaka chinthane athyawashyama deyak.kisima dekata wahal wenna one na,apita one vidihata jiwat wena ekath danathmaka chintanaye deyak mokada one vidihata jiwath wenawa kiyanne awashya de wenawa kiyana eka gana balawath vishwasayak tiyanawa…kala bila niyama joliyen inne mata awashya hamadema labenawa kiyana danathmaka sithuvillen,,,,,,viswasaya wadi wena taramata eka ehemmama wevi..manasa rawatta gattot attatama sithuvilla bayak unot anna e baya sithuvilla ishta wei….viswasa parama ghathi wenne onna oya vidihatai!!!!!hamatissema danathmakawa suba wadiwa hitanna eken paduwak wenne kawadawath sathuta misak!!!

  12. chamila said, on නොවැම්බර් 9, 2011 at 3:42 පෙ.ව.

    danathmaka chinthane terum ganna,mama eken result gattu kenek thamat ganna kenek,eka moda arthal ekak nemei,ape molaya vishwa shakthiya(ghanaya )ekka wada karana vidiha.Fake it to make it !! kiyanne ragapamak nemei!!mulinma buddan saranan gachchami natnam buddiye sarana yami kiwwe molen kalpana karanna kiyana eka naya wena taramata manasata positive feeling athi wenne na.

    meka gaburu na ,saralai,habai moleta mul tana dila tarka karala wada karanna,tamange sithuvili suba wadiwa tiyaganna,fail wenne kohomada kiyala balala e seratama visadum denna,ehema karalath fail unot e de igena gena nagitinna pavichchchi karanna!!!…jiwithe vidinna,,saru dawasak!!!!

  13. YAKA REVENGER said, on මැයි 3, 2017 at 9:28 පෙ.ව.

    ඒක ඇත්ත රුවලක් තිබ්බට යාත්‍රා කරන්න නම් නැවක් උවමනා වෙනවා .


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: