අරුණි ශපීරෝ‍ වෙතින්

මනස එක්ක සෙල්ලම් කරන්න

Posted in Uncategorized by arunishapiro on නොවැම්බර් 4, 2011

මනසට ඔබ හා සෙල්ලම් කරන්නට ඉඩ නොදී ඔබට මනස එක්ක සෙල්ලම් කරන්න පුළුවන්. ඉංග්‍රීසියෙන් එන යෙදුම “my mind is playing games” යන්නෙන් අදහස් වෙන්නෙ අපේ මනස අපිව රවටන එකට. වතුර පිරි වීදුරුවක හැන්දක් දැම්මාම වතුර මට්ටමේ දී හැන්ද කැඩිලා වගේ පෙන්නුම් කරන්නෙ මනස කරන සෙල්ලමක්. ඒක ඇත්ත ඇති සැටිය නෙමෙයි. අතින් අත ගාලා බලද්දී හැන්ද කැඩිලා නැහැ. ඒත් ඇස් වලින් පේන්නෙ හැන්ද කැඩිලා වගේ. හැන්ද එළියට අරගෙන බැලුවාම, හැන්ද වතුරේ තිබිය දී අතගාලා ඔප්පු කරගත්තාට, කොච්චර හිත දන්නවා වුනත් හැන්ද කැඩී නැතැයි කියා ඇස් එය පිළිගන්නේ නැහැ!!! මේ රශ්මි වක්‍රීකරණය (refraction) හා පරාවර්තකය (reflection) ගැන පාඩමක් නෙමෙයි. මනස එහෙම දකින එක ගැන විමසීම.

පොකුණක වතුර යට ඉන්නා මාළුවෝ ලොකුවට පේනවා. වීදුරුවක ඇති එක කාසිය වෙනුවට කාසි තුනක් තුන් ප්‍රමාණයකින් පේනවා. පාට ඇඳිරිය නැති අයට පාට හතකින් දේදුන්නක් පේනවා!!! මනස අපිව රවටන බව අපි විද්‍යාත්මක පැහැදිලි කිරීමෙන් වටහා ගන්නවා.

අපේ මතකයන් ද බොහෝ විට සිද්ධිය හා සත්‍ය වූවන් නොවේ. අපි ආවේගයෙන් අල්ලා ගන්නා මතකය සත්‍යයෙන් සිද්ධ වූ සිදුවීමට වඩා වෙනස් වෙන්නෙ ඒ එක්ක මනස සෙල්ලම් කරපු නිසා. යම් සිත කළඹන සිද්ධියක දී මැරවරයා අත වූ තුවක්කුව දැක බිය වූ අයෙකු ඒක ලොකු තුවක්කුවක් කියා සාක්ෂි දෙනවා. ඒත් තුවක්කු ගැන දන්නා අයෙක් ඒක වෝල්තර් පී22 කියා හඳුනා ගන්නවා. උසාවියක නඩුවක් අහද්දී ඒ සිද්ධිය ගැන පසුබිම වැදගත් මේ නිසා. වැරදිකරුවෙක් යැයි නිශ්චය කරන්න කළින් සාක්ෂි දෙන අයගේ මතකයන් ඔවුන්ගේ මනස රවටා ඇත්දැයි විමසීම නඩුවේ එක කාර්යයක්. මට අම්මා ආදරේ නෑ, මට තාත්තා ආදරේ නෑ කියන අයෙක්ගේ මතකයන් බොහෝ අවස්ථාවන් හි දී ආදරේ නොදැක්වූ සිද්ධියන් වැඩියෙන් මතකයේ අල්ලා ගන්නත් ආදරේ දැක් වූ සිද්ධියන් ඉතා වෙහෙසකින් මතක් කරගත යුතු සිද්ධියන් බවටත් හරවන්න මනස සෙල්ලම් කරලා තියෙනවා.

වතුර තියන වීදුරුවේ බහා ලූ හැන්ද කැඩී නැතැයි දැනගන්නට හැන්ද අත ගාලා බලන්න පුළුවන්. විද්‍යාත්මක පැහැදිලි කිරීම ගැන ඉගෙන ගත්තාම කැඩී නැතැයි ද එහෙම පෙනෙන්නේ මන්දැයි ද තවත් තහවුරු වෙනවා. ඒත් තාම පේන්නෙ කැඩිච්ච විදියට තමයි.

අපේ සිත්වල අපි අල්ලා ගෙන ඉන්නා අදහස් බොහොමයක් ද එහෙමයි. මනස සෙල්ලම් කරන අවස්ථා හඳුනා ගන්න පුළුවන් වුනාම එහෙම පෙනුනට ඒක එහෙම නොවන බව වටහා ගන්න පුළුවන්. එතකොට මනසට පමණක් සෙල්ලම් කරන්න ඉඩ දීලා ඉන්නෙ නැතිව මනස එක්ක සෙල්ලම් කරන්න පුළුවන්.

මේ ලෝකයේ අපි හැම දෙයක් ම කරන්නෙ හේතු දෙකක් නිසා. එකක්, අපිට ඕන නිසා. අනික අපි කළ යුතු නිසා. අපි කළ යුතු දේවල් අපිට ඕන දේවල් කරගත්තාම … එතකොට තමයි ජීවිතය වඩාත් රසවත් වෙන්නෙ.

අපි මුහුණ දෙන සිද්ධීන් අපේ දැකීම වෙනස් කරනවා. මේවායේ දී මනස අපිව රවටනවා ද නැත්නම් අපි සත්‍ය තත්වය අවබෝධයට උත්සාහයක් ගන්නවා ද කියා වටහා ගන්න හැකියාව ලැබෙන්නේ මනසට සෙල්ලම් කරන්න නොදී මනස එක්ක සෙල්ලම් කරන්න පුරුදු වුනාම.

හිත කළඹන යම් සිද්ධියක් ඉදිරියේ දී මෙන් ම සිත උද්දාමයට පත් කරවන සිද්ධියක දී ද, (ටෙනිස් ක්ලබ් එකේ ශූරතාවය දිනාගත් දවසේ!!) මනසට තමන්ව රවටන්නට ඉඩ නොදෙන්න අවදියෙන් ඉන්න ඕනා. දුක හිතෙන අවස්ථාවක දී ඍනාත්මක ආවේගය නතර කරන්න බැහැ. එය දැකීම නතර කරන්න බැහැ. ඒත් දැකීම අවබෝධ කරගන්න පුළුවන්. එහෙම තත්වයක් ඇති වී ඇත්තේ ඇයි යන්න හඳුනාගන්න වෑයමක් ගැනීමයි මනස එක්ක කරන සෙල්ලම.

අනුන්ගේ දුක් ගැනවිලි ගැන හිතන්න ගිහින් තමන්ගෙ වැඩ අතපසු කරගන්නා අය ගැන අහලා ඇතිනෙ. ඒ මනසට තමන් රවටන්න ඉඩ දුන්නම වෙන දේවල්. ඒකෙන් තමන්ටත් අනුන්ටත් ඵලක් නැහැ. තමන්ගෙ දුක් ගැනවිලි ගැන වුනත් එහෙමයි. හිත හිතා දුක් වුනාට වැඩක් නැහැ. කරන්න ඇති දේවල් සොයාගෙන ඒවා කරන්න ඕනා.

සිත උද්දාමයට පත් කරවන සිද්ධියක දී, තියුණු සටනක් වැදී අත්පත් කරගත් ජයක්, එය ඇති සැටියෙන් මිසක් අත්‍යාලංකාරයෙන් අගය වැඩි කර රසවිඳීම මනස රවටා ගැනීමක්. එයින් මතකයේ තැන්පත් කරන්නේ තමන්ට නොතිබි දක්ෂතාවයක් හෝ නොතිබි වාතාවරණයක් ගැන වූ ආවේගය මුල්කර ගත් මනසේ රැවටිල්ලක්. එවැනි අවස්ථාවක දී ජය අත්පත් වූ විගස, අනාගතයේ නැවත ඒ ජය මතක් කරගෙන සතුටු වන්නට හා එයින් උද්දාමයක් ඇති කරගන්නට හැකියාව ලැබෙන්නේ ඒ ගැන ඇති සැටියෙන් හනිකට මතකයේ ධාරණය කරගන්නට මනසට ආධාර දීම නිසා.

ජීවිත සටනේ දී දොම්නස් සිද්ධියක දී එය මතකයෙන් අල්ලා ගන්නට ආවේගයට පමණක් ඉඩ දෙන්න එපා. සිද්ධිය විචාරන්න. දොම්නස කුමකින් දැයි වටහා ගන්න. එසේම තියුණු සටනකින් දිනුම ලැබූ අවස්ථාවක් අල්ලා මතකයක් සේ තියාගන්න හැකියාව ලැබෙන්නෙ එය හඳුනාගන්න සිත පුහුණු කරගත්තාම. එහෙම ලැබෙන්නෙ මනසට තමන් එක්ක සෙල්ලම් කරන්න ඉඩ දීලා බලා ඉන්නෙ නැතිව මනස එක්ක සෙල්ලම් කරන්න පටන් ගත්තාම.

Advertisements

16 Responses

Subscribe to comments with RSS.

  1. මැණික් said, on නොවැම්බර් 4, 2011 at 11:38 පෙ.ව.

    ඔයාගෙ අද සටහන මම හරිම ආසාවෙන් කියෙව්වා. මනස සමඟ සෙල්ලම් කරමු නේද. අගේ ඇති ලිපියක්.
    මැණික්

  2. හිෂාන් මෙලංග said, on නොවැම්බර් 4, 2011 at 12:14 ප.ව.

    උදේ පාන්දර හීනයක් එහෙම දැක්කට පස්සෙ මම නම් හැම වෙලාවකම මනස එක්ක සෙල්ලම් කරනව. ඒ හීනෙට හේතුවුන පහුගිය කරුණ සොයන්න. හුගක් වෙලාවට ඊට ආසන්න හේතුවක් මගෙ මනසට එනව. ඒ දෙයින් මම සතුටක් ලබනව. ඇත්ත ඇති සැටියෙන් දකින්න යම් දුරකට 🙂

    • arunishapiro said, on නොවැම්බර් 4, 2011 at 4:47 ප.ව.

      හිෂාන් මෙලංග,

      සුදු අප්පුහාමිත් ඔය වැඩේ කරනවා. හීන වලට පාදක වූ කොන් අල්ලා ගත්තම එයාටත් හරි සතුටක්. එයාට අමතක වෙච්ච දේවල් මම මතක් කර දෙන අවස්ථා ද තියනවා. නැඟිට්ට ගමන් අමතක නොවෙන්නෙ හීනෙ තව කාට හරි කිව්වමයි. ඉතින් උදේ පාන්දර එයා දැක්ක හීන අහගෙන තමයි මම වැඩියෙන් ඇහැරෙන්නෙත්!!!

  3. අමිල.. said, on නොවැම්බර් 4, 2011 at 12:37 ප.ව.

    /සිත උද්දාමයට පත් කරවන සිද්ධියක දී, තියුණු සටනක් වැදී අත්පත් කරගත් ජයක්, එය ඇති සැටියෙන් මිසක් අත්‍යාලංකාරයෙන් අගය වැඩි කර රසවිඳීම මනස රවටා ගැනීමක්. /
    අරුණි අක්කා,
    celebration කියන්නේ මේකටමද? අනුන්ගේ දුක්ගැනවිලි වලට සවන්දීලා තමන්ගේ වැඩ නවතාගන්නා අය සංවේදී අය වෙනවාද? සංවේදී අයට හිමිවන තැන කුමක්ද? නැත්නම් එය හුදෙක් ‍‍මෝඩ කමද? දරුණු දුකකදී වගේම දරුණු ගණයේ සතුටකදී එය යථා ස්වභාවයෙන් දකින්න පුහුණු වෙන්නේ කොහොමද? තමන් සතුට පාලනය කරගත්තත් බාහිර පුද්ගලයන් නෑ හිතවතුන් මිතුරන් අතර එය ගැටලුකාරී ස්වභාවක් ගනීද?

    • arunishapiro said, on නොවැම්බර් 4, 2011 at 5:12 ප.ව.

      අමිල..,

      ඔව්. අපි උත්සවයක් සේ සමරන්න ඕනා ජයග්‍රහණයයි. ඒත් ගොඩක් වෙලාවට ජය සමරන උත්සවයක දී ජයගත් පුද්ගලයා ලබාගත්තු “ජය” වෙත දෙන වැදගත්කම අඩුයි.

      සංවේදී අයෙක් කියන්නත් නිරවුල් කරගත යුතු සංකල්පයක්. සංවේදී කියන්නෙ අනුන්ගේ ජය, දුක, දක්ෂකම් හා මෝඩකම් හඳුනාගත හැකියාව ඇත්තා. ඒත් අනුන්ගේ දුක් ගැනවිලි වලට සවන් දීලා තමන්ගේ වැඩ කඩා කප්පල් කරගන්නා අයෙක් සංවේදී නෙවෙයි, එයා තම වගකීම් වලින් ගැලවෙන්නට හේතු හොයා ගන්න කෙනෙක්. දැනගෙන හෝ සමහර අවස්ථා වල දී නොදන්නාකම නිසාත්, සංවේදී බව වැඩ නොකර ඉන්නට හෝ තමන්ගේ වාසියට යැයි සිතන දේවල් පමණක් කරන්නට ආයුධයක් කරගත් අයෙක්.

      සංවේදී අයට //අනුන්ගේ ජය, දුක, දක්ෂකම් හා මෝඩකම් හඳුනාගත හැකියාව ඇත්තා// ගොඩක් ජයග්‍රහණයන් අත්පත් කරගන්න පුළුවන්. වෛද්‍ය, දේශපාලනය, ගුරු වෘත්තිය, අලෙවිය, වැනි අංශ වලින් ලොකු දියුණුවක් ලබාගන්න පුළුවන්. එය මෝඩකමක් වෙන්නෙ එයින් නිසි ඵල නොගෙන එය වැඩ නොකර ඉන්නට හෝ තමන්ගේ වාසියට යැයි සිතා අවාසියට ගත්තොත් පමණයි.

      //දරුණු දුකකදී වගේම දරුණු ගණයේ සතුටකදී එය යථා ස්වභාවයෙන් දකින්න පුහුණු වෙන්නේ කොහොමද?// ඉක්මණින් මේ ගැන සටහනක් ලියන්නම්.

      //තමන් සතුට පාලනය කරගත්තත් බාහිර පුද්ගලයන් නෑ හිතවතුන් මිතුරන් අතර එය ගැටලුකාරී ස්වභාවක් ගනීද?// ඔව්. දුක සතුට යන දෙක තමන් ජීවත්වන සමාජය අනුව, තමන් ඇසුරු කරන අය බෙදා ගන්නා ආකරයෙන් ම බෙදා හදා ගත්තේ නැත්නම් ඒ අය මේ අය දිහා බලන්නේ නොදන්නා ඇසින්. ඒත් එහෙමයි කියලා තමන් ද නොදන්නා බවින් සිටිය යුතු ද?

  4. Alchemiya said, on නොවැම්බර් 4, 2011 at 2:54 ප.ව.

    අධික සතුටක් දෙන අවස්ථාවක ඉන් උද්දාමයට පත් නොවීමත්, අධික දුකක් දෙන අවස්ථාවක හැඟීම් නැත්තා සේ සිටීමත් මේකට අයත් නම් මම මගේ හැඟීම් මේ අවස්ථා දෙකේදී හොඳින්ම පාලනය කර ගන්නට සමත්,….
    නමුත් තරහ ආපු විටෙක නම් මම බොහෝ දුරට තරහ පාලනය කර ගන්නට සමත්, මගේ එකම දුර්වලතාවය ඒ තරහ කොහේ හෝ හිතේ මුල්ලක සැඟවී ඉඳලා පලි ගන්නට අවස්ථාවක් ආවොත් ඒක හොඳටම පාවිච්චි කරන එකයි…
    මට ඒ දරුණු බව නම් තවමත් පාලනය කරගන්නට බැහැ…

    • arunishapiro said, on නොවැම්බර් 4, 2011 at 5:25 ප.ව.

      Alchemiya,

      ඇල්කෙමියා මල්ලී එක්ක ආශ්‍රය ඉතා පරිස්සමෙන් කරන්න වෙනවා වගේ … 😀

      අධික සතුටක් දෙන අවස්ථාවක අධික සතුට පරිපූර්ණයෙන් විඳිය යුතුයි. ඒත් බොහෝ අවස්ථාවල ජය සමරන්නේ “ජය” ගැන මතක් කරලා නෙවෙයි, ජය සමරන සාදයක දී මතක් කරන දේවල් ගැන හිතන්න. අධික දුකක් දැනෙන අවස්ථාවක දී ඊට ඉඩදිය යුතුයි. පාඩුවක් වුනාම නැහැයි කියා සිත සනසා ගැනීම හිතට බොරු කිරීමක්. සතුට ලැබුනේ කොහොම ද යන්නත්, දුකට පාදක වූයේ කුමක් ද යන්නත් හනිකට විමසීම මඟින් ඒ අවස්ථාව ගැන මනසේ ඇත්ත ඇති සැටියෙන් මතකයක් රඳවා ගත හැකියි.

      පාලනය යැයි කීමට වඩා හිත හසුරුවා ගැනීම යැයි කියන්න මා කැමති ඒ නිසයි. හැඟීම් පාලනයේ දී වෙන්නෙ අපි හැඟීම් වලට ඒ සැටියෙන් ඉන්න ඉඩ දීමක් නොකර අපි හරි යැයි සිතන විදියකට පාලනය කරන්න හදන එක. පිට වී යා යුත්තක් රඳවා ගැනීම ඇඟට හොඳ නැහැ. දුක සතුට වගේම තරහ ද පිට කරන එක හසුරුවා ගත හැකියි. ඉක්මණින් ඒ ගැන තව ලියන්නම්.

    • chamila said, on නොවැම්බර් 9, 2011 at 3:56 පෙ.ව.

      api eka eka minissu hitanne vivida vidihata,,eka terum ganna,mage athdakim,jiwana gamana ,adyapanaya anuwa mama hitanawa,thawa kenek eyage situwith ekka hitanawa,,,,mata hitena eka hari ai anith aya ehema hitanne natte kiyala mata hitenawa.mata hitena vidihata kenek mata waraddak kara,ithin mage hite vairaya athi wenawa..kenek eyage sithu vili walata anuwa eyage hita kiyana de karapu hindai mage hite vairaya athi une kiyala terum ganna,api hamoma ekama vishwayalata aithiy,,!!!oya ipaduneth oyage uwamanawata nemei,anith ayath ehema nemei,ewa serama une hetu pala wadayata anuwa,hama siddiyakma une ai kiyala hoyanna,vairaya nati wela yavi…..awaboda ghanaya yanu istaramma ghanayai!!!!!

  5. kevin perera said, on නොවැම්බර් 5, 2011 at 2:36 පෙ.ව.

    අරුණි පහුගිය ලිපි 25 කට වඩා ඔක්කොම කියෙව්ව ඒත් එකම කමෙන්ට් එකක්වත් දැම්මේ නෑ අදත් කියන්න දේවල් නම් නෑ ගන්න දේවල් විතරයි.

    • arunishapiro said, on නොවැම්බර් 5, 2011 at 8:14 පෙ.ව.

      kevin perera,

      ගන්න යමක් දෙන්න පුළුවන් වීම ගැන ඉතා සතුටුයි කෙවින්.

      කියන්න දේවල් නැති වුනාම නිහඬව කියවා ගන්න යමක් අරගෙන මමත් බොහෝ වෙබ් අඩවි වලට ඇවිත් යන අවස්ථා ද වැඩියි.

  6. Kumari Jayasinghe said, on නොවැම්බර් 5, 2011 at 9:25 පෙ.ව.

    aththatama hugak wadagath me lipi thanks

  7. Chandi said, on නොවැම්බර් 6, 2011 at 8:51 ප.ව.

    ඇත්ත! සතුට උපරිමෙන්ම විදිය යුතුයි, ඒ වගේම දුක දරාගත යුතුයි, තරහව යම් තරමින් පිට කල යුතුයි. එහෙම නැති උනොත් ඒවා අපේ මනසේ හොල්මන්කරනවා. තරහ හිතේ තියාගෙන ඒ ගැනම හිතමින් ඉන්නා අය ඉන්නේ මනසින් පිච්චි පිච්චි. එහෙහ්ම ඉන්න අයගෙ ජිවිත හැමදාම අඳුරුයි. තරහ, ඊර්ෂයාව පුලුවන් තරම් ඈත් කරන්න ඕනෙ. නිතරම හිත සතුටින් ඉන්න කෙනෙක්ගෙ මනස හරිම සැහැල්ලුයි. පිරිසිදුයි.

    • arunishapiro said, on නොවැම්බර් 7, 2011 at 9:03 පෙ.ව.

      Chandi,

      //නිතරම හිත සතුටින් ඉන්න කෙනෙක්ගෙ මනස හරිම සැහැල්ලුයි. පිරිසිදුයි.// තව කොච්චර හොඳ දේවල් පුරවා ගන්නත් ඉඩ ඇතිවෙනවා නේද චාන්දි අක්කේ.

  8. prasad said, on ජූනි 6, 2015 at 1:59 පෙ.ව.

    Sumanadasa sir gen pasu me watina darmaya wenas novi apita aluth denuma dena obata sthuthi. Me darmaya apita igena ganna wena thenak ne
    .E aduwa oba sampurna karanna. Manasa magazine eke Da Dan aluth deyak igena ganna netha. Thanks.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: