අරුණි ශපීරෝ‍ වෙතින්

ආවේග හසුරුවන්නට පුහුණුවෙන් පුළුවන් ද?

Posted in Uncategorized by arunishapiro on නොවැම්බර් 7, 2011

ආවේගය (emotion) යන වචනය ලතින් motivus යන්නෙන් එන අතර එය අභිප්‍රේරණය (motivation) හා පද ගැලපීමකින් යුතු වූවකි. ආවේගය සහ අභිප්‍රේරණ යන වචන වලින් නිකම් සිටීමට විරුද්ධ අර්ථයක් වන කැළඹිල්ලක් අදහස් කෙරෙයි.

අයෙක් කරන සෑම ක්‍රියාවක් ම ඒ පුද්ගලයාගේ ඉලක්කයක් ගැන වූවකි. අභිප්‍රේරණය වන්නේ ඒ ඉලක්කය සාක්ෂාත් කිරීම . ආවේගය යනු ඒ ඉලක්කය වෙත යද්දී මුණ ගැසෙන සිද්ධියකින් ඇතිවන ඵලයයි. ආවේගය අනුව ඉලක්කය වඩාත් හිතකර වේ දැයි හෝ අහිතකර වේ දැයි තීරණය වෙයි.

“අපව නොසන්සුන් කරන්නේ යම් දෑ නොව, අපිව නොසන්සුන් කරන්නේ ඒ දෑ ගැන අපට ඇති දැක්ම ය.” -එපික්ටේටස්
“We are disturbed not by things, but by the views we take of things.” -Epictetus, The Encheridion

සිද්ධියකින් මට ආවේගයක් ඇති වී ඇත්නම් එයින් මගේ ඉලක්කයට ඇති තර්ජනයක් (ඍන ආවේගයක්) හෝ මගේ ඉලක්කයේ සාර්ථක බව වැඩි කරන්නක් (ධන ආවේගයක්) යන දෙකින් එකක් ඉෂ්ට කරන බව අතර වූ කලබලයකි. මම තෝරා ගන්නා අන්දම අනුව ඉලක්කයේ සාර්ථතකත්වය තීරණය වෙයි.

ටොගල් ස්විච් ක්‍රියා කරන මොහොතේ දී, එනම් පැන දුවනවා ද සටන් වදිනවා දැයි තීරණය කරන මොහොතේ දී, ආවේගයක් නිසා මොළය මෙතෙක් ඇති හැදියාවෙන් ක්‍රියා කරයි. ආවේගය ඍනාත්මක කර ගන්නවා ද නැත්නම් ධනාත්මක කර ගන්නවා ද යන්නත්, ඉන් ඉලක්කයට තර්ජනයක් ඇති කරගන්නවා ද නැත්නම් සාර්ථකත්වය වැඩි කරගන්නවා ද, යන්නත් තීරණය වෙන්නේ මේ ටොගල් ස්විච් ක්‍රියා කරන මොහොතේ තමන් තුල වූ හැදියාව අනුව ය.

උදාහරණයක්: 2006 ලෝක පාපන්දු තරඟාවලියේ අවසන් තරඟයයි. තරඟ වදින්නේ ප්‍රංශයට එරෙහිව ඉතාලියයි. සිනඩේන් සිඩේන් ලොව දක්ෂතම පාපන්දු ක්‍රීඩකයෙකි. ඉතාලි ක්‍රීඩක මාර්කෝ මතරාට්සි සිඩේන්ව ආවේගාත්මක කරන වදනක් කියුවේ ය. එය තරඟයේ නීති රීති වලට පටහැනි නැත. සිද්ධියට ප්‍රතිචාර දක්වන සිඩේන් ආවේගය හසුරුවා ගත නොහැකි ව මතරාට්සිට ඔළුවෙන් පහරක් දුන්නේ ය. එය නීති රීති වලට පටහැනි ය. සිඩේන්ව තරඟයෙන් ඉවත් කෙරිණ. ප්‍රංශ පිල පරාජයට පත්වූහ. එහි දී සිද්ධිය තම ඉලක්කයට තර්ජනයක් නොවන බව වටහා ගන්නට ආවේගය විචාරය නොකළ නිසා සිඩෙන්ගේ ඉලක්කය සාක්ෂාත් කරගත නොහැකි විය.

ආවේග හසුරුවා ගන්නට නම් ආවේග වලට අවධානයක් දිය යුතුයි. අවධානයක් දෙන්නට ආවේගයක් හිතේ ඇති වෙද්දී එය හඳුනාගත යුතුයි. ආවේගයක් හට ගන්නේ කොහොම ද?

සිද්ධියක්:
කවුරු හෝ කී වදනක්, අත පයෙන් කළ ඉරියව්වක්, හදිසි අනතුරක් හෝ තමන් කියැවූ හෝ දැකි යමක් යනාදී “සිද්ධියක්” නිසා පුද්ගලයාගේ ඉලක්කයට තර්ජනයක් හෝ සාර්ථකත්වය ඇති කරයි යන දැක්ම.

සිද්ධිය අවබෝධය:
ආවේගය ඇති වෙද්දී ආවේගයට හේතු වූ සිද්ධිය හඳුනා ගැනීම (perception of the event) ඉතා වැදගත්.

ඒ හඳුනාගත් සිද්ධිය අගැයුම:
ඉලක්කයට ඒ සිද්ධිය අදාල ද නැද්ද යන්න විචාරය. අපේ මොළය අපිව රවටන්නේ මෙතැන දී ය. හැදියාවෙන් බොහෝ විට අපි තර්ජනයක් නැති දේවල් පවා තර්ජනයක් ඇති සේ අල්ලා ගෙන ඉන්නට ද, තර්ජනයක් ඇති දෑ තර්ජනයක් නැති සේ අල්ලා ගෙන ඉන්නට ද පුරුදු වී සිටිමු. යමක් හරි හැටියට උච්චාරණයට නොහැකි වූ සභාවක දී අයෙක් හිනා වුවහොත් ඒ තමන්ට හිනා වූවා යැයි ආවේගයක් මතු වේ. සභාව දක්ෂ ලෙස අමතන්නට ඉටා ගත් ඉලක්කයට හිනාව තර්ජනයක් යැයි සිතයි. ඒ නිසා හිනා වූ අය ගැන තරහක් (ඍන ආවේගයක්) ඇති වේ. ඉලක්කය වෙනස් වී අවධානය හිනා වූ අය වෙත දුවයි.

සිතන්නට පුළුවන් අයෙක් ඕනෑම සිද්ධියක් තම මොළයෙන් සිතා බලා තම ඉලක්කයට ඒ සිද්ධිය අදාළ වේ දැයි තීරණය කරන්නට හැකියාව ඇත්තෙකි. ඉලක්කයට පුද්ගලයා දෙන වටිනාකම අනුව ආවේගයේ ශක්තිය ද බලපෑම් කරයි. සිතා බලන්නට පුහුණුවක් නැත්තා තම ටොගල් ස්විච් එක හසුරුවන්නට ඉඩ දී ඇත්තේ හැදියාවට ය. ඉලක්කයේ සාර්ථකත්වය ආවේගයේ ශක්තියෙන් ලබා ගැනීමට නම් සිතා බලා තමන්ගේ ඉලක්ක මොනවා දැයි දැන සිටිය යුතුයි. මොළයේ රසායන පතුරවන ආවේගයෙන් ඉලක්කයට හානි කරන්නට ඉඩ නොදී එයින් ඉලක්කයේ ජයට ජවයක් ලබන්නට පුහුණු කරගන්න.

අගැයුම පිරික්සන්න:
පුද්ගලයාගේ ශාරීරික තත්වය ආවේගය අගැයුමේ දී එහි තියුණු හෝ මොට බව ද තීරණය කරයි. නින්දෙන් ඉන්නා අයෙක් අවදියෙන් ඉන්නා අයෙක් මෙන් සිද්ධියක් සලකා බලන්නේ නැත. සද්දයක් ඇසී නින්දෙන් ඇහැරුන අයෙක්ට ඉන් වැඩියෙන් තර්ජනය ඇති කරන ආවේගයක් ඇති කිරීමට පුළුවන. එහෙත් ඒ සද්දය ම ඇහැර ගෙන ඉන්නා අයෙකුට ඇසෙද්දී තර්ජනයක් දැනෙන්නේ නැත. රෑට ඇහෙන සද්ද වලින් ඇති කලබලය දවල්ට එම සද්ද ඇහෙද්දී නැත. නමුත් එය එසේ යැයි අවබෝධයට හැකියාව විචාරයෙන් ලැබෙන නිසා සද්දයක් ඇසී නින්දෙන් අවදි වද්දී “වැඩි තර්ජනයක්” ඇතැයි යන්නෙන් ද අනිසි සේ කලබල නොවන්නට හැදියාව පුරුදු කරගත හැකිය.

තර්ජනයක් ඇති විටක දී එය සොයා බලන්නට ද විචාරයෙන් පුළුවන. එයා හැමෝටම බොරු කියන බව මම දන්නවා, ඒත් මට නම් එයා කවදාවත් බොරු කියන්නෙ නැහැ යැයි සිතීම ඉලක්කයට ඇති තර්ජනය නොසලකා හැරීමකි!!!

අතීත මතකයන් ද අගැයුම පිරික්සීමට උදව් වෙති. යම් ආහාරයක් කාපු දිනයක උණක් හැදි අයෙක් ඒ ආහාරය ගැන අපුලක් ඇති කරගෙන ඉන්නවා දකින්නට හැකිය. ඒ ආහාරය දකින සිද්ධියේ දී උණ හැදිච්ච බව අමතක වී නම් ආහාරය අපුල ආවේගය පමණක් ඇති වේ. අප රවටන අතීත මතක වලින් අහිතකර ආවේග ඇති කිරීම වෙනස් කරගන්නට අතීත මතකයන් විචාරය කරන්න.

අගැයුමට ප්‍රතිචාරය:
ප්‍රතිචාරයේ ශක්තිය අනුව එය කෙළින් ම ඉලක්කයේ සාර්ථකත්වය වැඩි කරන හෝ අඩු කරන බව තීරණය කරන්නක් වෙයි. ක්ෂණිකව ඉලක්කය විනාශය ද, ආවේගයන් නිසා අහිතකර රසායන මොළයේ නිෂ්පාදනයෙන් ගත රෝගී වී පසුකාලීනව ද ඉලක්කයට බලපාති.

ආවේගයක් ඇති වෙද්දී ඒ කැළඹීම නිසා දැනට ඇති හැදියාවෙන් ප්‍රතිචාරය කළාට පසුව මේ සියල්ල මතක් වෙනු ඇත!!! උවමනාවකින් ආවේගයක් හසුරුවා ගන්නට වෙහෙසෙන්නාට කාලයාගේ ඇවෑමෙන් සියළු ආවේග තම ඉලක්ක සාර්ථක කරන්නට යොමු කරගත හැකිය. විමසන්න: කාට ද පාඩු?!!!!

Advertisements

14 Responses

Subscribe to comments with RSS.

  1. kathandarakaraya said, on නොවැම්බර් 7, 2011 at 9:22 පෙ.ව.

    ආවේගයක් ආ විට හොඳම දේ තදින් හුස්ම ගැනීමයි. විනාඩි දහයක් කල්පනා කිරීමද කළ හැක.

    මට නං පොඩි කාලෙන් පසු ආවේගකාරී තත්වයන් එන්නේ නෑ. එන්න පෙරම අනේ ඉතිං මට මොකෝ යයි හිතුවාම වැඩේ හරි.

    • NotAFool said, on නොවැම්බර් 7, 2011 at 10:46 පෙ.ව.

      @kathandarakaraya
      ඔබත් ඔබේ බිරිඳත් පාරේ ගමන් කරද්දී නැහැදිච්ච පුද්ගලයෙක් ඔබේ බිරිඳට අනවශ්‍ය විහිළුවක් කරනවා. එතකොට ඔබ මොකද කරන්නේ?

      • kathandarakaraya said, on නොවැම්බර් 8, 2011 at 9:25 පෙ.ව.

        නෑහුනා වගේ යන්න යනවා!

      • NotAFool said, on නොවැම්බර් 8, 2011 at 1:10 ප.ව.

        @kathandarakaraya
        හොඳයි ඔබ නෑසුනා සේ සිටීම නිසා ඒ තැනැත්තා ඔබ නිවටයෙකු යයි සිතා ඔබේ බිරිඳව අනවශ්‍ය ලෙස ස්පර්ශ කරනවා ඔබ මොකද කරන්නේ?

      • kathandarakaraya said, on නොවැම්බර් 9, 2011 at 4:10 ප.ව.

        අරුණී කියන්නට යන දේ මට තේරෙනවා.
        නමුත් ආත්මාරක්‍ෂාවට කටයුතු කිරීමයි, ආවේගශීලීව කටයුතු කිරීමයි දෙකක්.
        පාසල්වල තිබෙන බුලින් සඳහා කුඩා ළමුන්ට දෙන උපදෙස් සැකසී ඇත්තේත් ඒ ආකාරයටයි.
        ක්‍ෂාන්තිවාදී තාපසයෝත් ඉන්නවා නේ.

  2. අමිල said, on නොවැම්බර් 7, 2011 at 11:13 පෙ.ව.

    කාටද පාඩු? තමන්ට මයි. අලාභයක් , පාඩුවක් , හානියක් වගේම සතුටක් , ලාභයක් ගැනත් මේ විදියටම හිතා බලන්න ඕන නේද?

  3. dinesh umagiliya said, on නොවැම්බර් 7, 2011 at 11:48 පෙ.ව.

    ආවේග පාලනය නොකීරිමෙන් පාඩුව තමන්ටම තමයි. ඔය වීඩියෝ එක ඒකට හොදම උදාහරණයක්…

    • arunishapiro said, on නොවැම්බර් 8, 2011 at 9:09 පෙ.ව.

      dinesh umagiliya,

      ආවේග හසුරුවා ගත නොහැකි නිසා වූ මහත් පාඩුවක් සෙරීනා විලියම්ස් ද US Open 2010 හි අත්වින්ඳා. උදාහරණ නම් එමට දෙන්න පුළුවන්.

  4. Beetle said, on නොවැම්බර් 7, 2011 at 6:35 ප.ව.

    ඔය වීඩියෝ එකේ සිද්ධියෙදි මාතරාසි සිඩෑන් ගේ ‘අම්මා මතක් කල’ බවත් ඇත්තටම ඔහුගේ මව ඒ වෙනකොට රෝහල්ගතව හිටි නිසා ලොකු ආවේගයක් ඇතිවූ බවත් අන්තර්ජාලයේ දැක්කා මතකයි…

    ඒ වගේ ම සිද්ධියක් ක්‍රිකට් ක්‍රීඩකයන් වන මැක්ග්‍රාත් සහ රමේෂ් සාර්වන් අතරත් වූ බම මම අසා තියෙනවා… මැක්ග්‍රාත් සාර්වන්ගෙන් “හව් ඊස් ලාරා’ස් ඩි*” කියා ඇසූ බවටත්, සාර්වන් “ආස්ක් ෆ්‍රොම් යුවර් වයිෆ්” යැයි පිළිතුරු දුන් විට ඒ වනවිටත් ඇය මාරාන්තික පිලිකාරෝගයකින් පීඩාවිදිමින් සිටි නිසා මැක්ග්‍රාත්ට ලොකු ආවේගයක් ඇතිවූ බවත්…

    ඒ වගේ ආදරය, සෙනෙහස වගේ හැගීම් එක්ක ගොඩක් බැදුනු අවස්තාවක ඇතිවෙන ආවේගය, සාමාන්ය ආවේගයකට වඩා වෙනස් නේද..?

    අම්මා හොස්පිටල් හිටියෙ නැත්තම් සිඩෑන් පරාජිතයෙක් ලෙස කැරියර් එකෙන් සමු නොගන්නත් ඉඩ තිබුණා…

    • arunishapiro said, on නොවැම්බර් 8, 2011 at 9:17 පෙ.ව.

      Beetle,

      නැහැ, මතක් කර ඇත්තේ සහෝදරියක්ව.

      ක්‍රීඩා ලෝකයේ සහෝදරියන් නැති අයත් කල්පනා නොකර සහෝදරිය ගැන කුණුහරුප කතා කියපු අයට ගහලා පාඩු විඳල තියෙනවා. ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉහළ මට්ටමින් පුහුණු කරවන ස්ථාන වල ඔවුන් ක්‍රීඩා කරද්දී උසුළු විසුළු හා අවධානය කඩන වැඩ වලින් ඔවුන්ට පුහුණුවක් ලබා දෙනවා ඉලක්කයේ සිත රඳවා ගන්න.

      ආදරය සෙනෙහස නිසාම නෙමෙයි, ඊට දෙන සිතින් අල්ලා ගත් වැදගත්කමක් නිසා යැයි කියන්න පුළුවන්. ආදරය සෙනෙහස ලබන කෙනෙක්ට කවුරු හරි බැන්නාට (ඔවුන් රෝගී හෝ නිරෝගී ව සිටියත්) එයින් ඒ ආදරය සෙනෙහස ලබන අයට ආදරයෙන් සෙනෙහසෙන් අඩුවක් වෙන්නෙ නැහැ. සමාජ මතයට අනුව රූකඩයෙක් සේ හැසිරෙන අයෙක් විතරයි තමන්ගෙ කෙනෙක්ට බැන්නාම ඒ වෙනුවෙන් යමක් කරන්න අවශ්‍ය යැයි සිතන්නෙ. බිල් ගේට්ස්ගේ නෑදෑයන්ට බනින හැම කෙනෙක් ගැන ම එයා යමක් කරන්න ගියොත් එයාගෙ මුළු ජීවිතයත් මදි වෙයි නේද?!!!

  5. ගෝල්ඩ් fish said, on නොවැම්බර් 7, 2011 at 10:51 ප.ව.

    උන වැඩි පොරවල් වලට වටින ලිපියක් අක්කේ….

  6. Chandi said, on නොවැම්බර් 9, 2011 at 3:24 පෙ.ව.

    හ්ම්, මේ වගේ ආවේග හසුරුවා ගන්න බැරි අය ඕනෑ තරම්. ඒ නිසාම ලොකුවට පාඩු ලබන අවස්ථාත් එමටයි. අපේ ආයතනයේත් මේ වගේ කෙනෙකුට ලැබෙන්න තිබුන ඉඩමක් නැතිකර ගත්තා. අපි ආයතනය තීරණය කලා අපේ පියන් වගේ හිටිය කාලයක් හොඳින් වැඩ කල කෙනෙකුට ඉඩමක් ලබාදෙන්න ආයතනයට අවුරුදු 15 පිරෙන දිනයේදි, නමුත් ඊට දින කිහිපයක් තියෙත්දී පුංචි සිද්දියකදී, කළබල වෙලා ඔහු ආයතන ප්‍රධානියා සමඟ ආරවුලක් ඇතිකරගෙන ඒ හැමදේම නැතිකරගත්තා. කාටද පාඩු? මෙහෙම නොවෙන අය හරිම අඩුයි. හොද මාතෘකාවක්, වැදගත් සටහනක් අරුණි.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: