අරුණි ශපීරෝ‍ වෙතින්

විචාරය හා බැඳි ආවේගය

Posted in Uncategorized by arunishapiro on නොවැම්බර් 8, 2011

ආවේගාත්මක හැසිරීමේ මුරකාරයෙක් ලෙසින් මනස සේවයේ යෙදී ඉන්නවා යන අදහස විමසීම cognitive theory of emotion හි එන්නකි. පුද්ගලයා ඔටෝමැටික් ලෙසකින්, විචාරාත්මක බලපෑමක් නැතිව, ආවේගයක් ඇති කරන සිද්ධියක දී හැසිරෙන බව පිළිගත් මතයක් වී තිබියත් අද මොළ ස්කෑන් වලින් ලබා ගන්නා දත්ත අනුව ආවේගයක් ඇති කරන සිද්ධියක දී විචාරාත්මක අගැයුමක් පළමුවෙන් පසුකර යා යුතු බව පෙනී ගොස් ඇත.

ක්ෂණික වූ එය උත්තේජනය සහ ප්‍රතිචාරය දක්වන කාලය අතර තුර දී සිදු කරයි. අපට ලැබෙන “ප්‍රවෘත්තිය” අනුව ආවේගය හොඳ හෝ නරක වන්නේ නැත. හොඳ හෝ නරක යැයි අපි තීරණය කරන්නේ මනස අගැයුම පිරික්සා විනිශ්චයක් දුන්නාට පසුව ය.

සිද්ධියක දී ආවේගය අගැයුම් කරන හැටි ගැන A. R. Damasio විසින් Descartes’ Error: Emotion, Reason and the Human Brain (1994) නමින් විමර්ශනයක් කර ඇත. විචාරාත්මක බවකින් තීරණයක් ගැනීමට හා සැලසුම් කිරීමට පුද්ගලයා තුල ආවේගයන්ට ඉඩක් නැත්නම් කළ නොහැකි බව ඔහුගේ මූලික තේමාව වෙයි.

ආවේගයක් හට ගත්තේ නැත්නම් අපට ඉලක්ක ඇත් දැයි අප දන්නවා ද? සිද්ධියක් උත්පාදනය කරන ආවේගය නිසා, සිද්ධිය ගැන නොව ආවේගය ගැන සිත යොමු කරන්නට අපිට හැකියාව ලැබේ. සිද්ධිය උත්පාදනය කරන ආවේගයට ප්‍රතිචාරය ඔටෝමැටික් නම් තම ආවේගය ඇති වූයේ කුමක් පාදක කරගෙන දැයි තමා සොයා නැත. ආවේගයකට සිද්ධියක් හේතු වූවත් ඒ සිද්ධිය නිසා පුද්ගලයාට එසේ හැසිරීමටත්, වෙනස් විදියකට හැසිරීමටත්, පුළුවන් කමක් ඇත්තෙකි.

ආවේගයන් පිහිටා ඇති ඇමිග්ඩලා (amygdala) නම් වූ මොළයේ ඉදිරිපස විචාරාත්මක පෙදෙස හානි වූ රෝගීන් හා කරන ලද පර්යේෂණ වලින් ඇන්ටෝනියෝ ඩමාසියෝ සොයා ගත්තේ ඔවුන් සාමාන්‍ය බුද්ධිය ගැන වූ විභාගයන් සමත් වන්නට හැකියාව ඇති අය වූ නමුත් විචාරාත්මක චින්තනයෙන් සැලසුම් ගසන්නට අසමත් වූ බවයි. ඔවුන් වර්තමානයේ හා අතීතයේ හිර වී සිටින බව පර්යේෂණ දත්ත පෙන්විය. තෝරා ගැනීමක් ඉදිරියේ දී හිත කියන, එක තෝරා ගැනීමක් අනිකුත් තෝරා ගැනීම් අතරින් වෙන් කර හඳුනා ගන්නට ඒ අයට නොහැකි විය.

විචාරයක් ඇත්තාට අතීතයේ අත්දැකීම් වලින් වර්තමාන සිද්ධිය ඉදිරියේ දී අනාගත සතුට හෝ වේදනාව ගැන මතයක් විචාරයෙන් ඇති කර ගත හැකිය. අපි එසේ හැම අවස්ථාවක දී ම කරනවා නොවේ!!! නමුත් ඊට හැකියාවක් හානියට ලක් නොවනු මිනිස් මොළයේ ඇත.

මොළය හානි වූ පුද්ගලයන් අතරින් දැකිය හැකි වූයේ විචාරාත්මක හැකියාව අඩු වී යද්දී ආවේග උත්පාදනය ද අඩු වී ගිය බවයි. (The powers of reason and the experience of emotion decline together.) ඒ නිසා ආවේග යනු මනසින් මුරකරුවෙක් දමා පාලනයෙන් වද්දා ගන්නට තහනම් කර දොර වසාගත යුතු දේ නොවේ. ආවේග ආරාධනාවකින් තොරව ගොඩවැදෙන්නෙක් (unwelcome intrusion) යැයි සලකන්නට එපා යැයි ඩමාසියෝ කියයි. ආවේග යනු ගලවා වෙන් කර නොහැකි ලෙසින් විචාරය හා පටලැවී පවතින එදිනෙදා සිද්ධි වල දී අපේ දැක්ම අගැයුම් කරන්නට අවශ්‍යතම වූ දම්වැල් පුරුකකි.

අගැයුමක් පිරික්සන මෙහෙවර සම්පූර්ණ කරන්නේ මෙසේ යැයි R. S. Lazarus American Psychologist හි පෙන්වා දෙයි:

පළමු අගැයුම:
1. ඉලක්ක අදාල වීම -මේ ප්‍රවෘත්තිය (සිද්ධිය) මගේ ඉලක්කයකට හෝ අගැයුමකට අදාල වෙනවා ද?
2. ඉලක්ක හා සර්වාංගසමතාවයක් (congruence) තිබීම හෝ නැතිවීම -මේ ප්‍රවෘත්තිය (සිද්ධිය) මගේ ඉලක්කයේ හෝ එහි අගයේ සාර්ථකත්වය හෝ විනාශයට හේතු වෙනවා ද?
3. ඉලක්ක අන්තර්ගතයන් -මගේ මමත්වය (ego) හවුල් වී ඇත්තේ කෙසේ ද? (ඊට දෙන උත්තරය අනුව අදාල වන ආවේගාත්මක ප්‍රතිචාරය සොයාගත හැකිය.)

දෙවැනි අගැයුම:
1. වැරැද්ද පැටවීමට හෝ ලැබුණු ජයට ස්තූති කිරීමට මුලාශ්‍රය සෙවීම -වගකීම ඇත්තේ කා අත ද, මා ළඟ ද? වෙන කෙනෙකු අත ද?
2. දරාගත හැකියාව -මේ ප්‍රවෘත්තිය හෝ සිද්ධියෙන් ඇතිවන අතුරු ප්‍රතිවිපාක වලට මා කෙසේ මුහුණ දෙනවා ද?
3. අනාගත අපේක්ෂාවන් -මේ සිද්ධිය නිසා හෙට තත්වය වඩා හොඳ වේ ද? නරක අතට හැරේවි ද?

මේ අගැයුම් පිරික්සන ක්‍රමය භාවිතයට ගත හැක්කේ පුද්ගලික අවංක බවකින් කටයුතු කරන්නෙකුට පමණකි. තමන්ට බොරු කියා ගන්නා අයට එයින් ඵල ලබාගත නොහැකි ය. මේ අගැයුම් පිරික්සීමෙන් සිද්ධියක් නිසා ලැබෙන ආවේගාත්මක ප්‍රතිචාරය හසුරුවා ගන්නට පුද්ගලයාට හැකියාව ලැබේ.

ඔබේ ඉලක්ක මොනවා දැයි හඳුනාගන්න. ඒවා සටහන් කර ගත හැකි නම් වැඩියෙන් හොඳයි. ඉලක්ක වැරදී ගිය අවස්ථා වල දී සිදුවීම් සටහන් කරගන්න. ඉලක්ක සාර්ථක වී ගිය අවස්ථා වල දී සිදුවීම් සටහන් කරගන්න. මතකයට බාර දී තිබීමෙන් වැරදි මතකයන් වලට ඉඩ කඩක් ලැබෙයි.

තමන්ට තමන් අවංක වීමට ඉටා ගන්න.

තමන්ට පුද්ගලික වූ ආවේගාත්මක බොත්තම් මොනවා දැයි ලැයිස්තුවක් හදන්න. මේ වෙබ් අඩවියට එන, මා වෙනුවෙන් ලැයිස්තු හදා දෙන්නට උත්සාහ කරන අය, බොහොමයකි!!! මේවා වචන, වාක්‍ය, ක්‍රියාවන් හෝ යම් අවස්ථාවක් විය හැකියි. ඒවා නිසා පුද්ගලයාට තරහ යෑම, ඇඬෙන්නට ඒම, වෙව්ලන්නට වීම, ළඟ පාත ඇති දේවල් පොළවේ ගහන්නට සිතීම … හිනා පිරි මුහුණින් දවස ගෙවීම, කෑ ගසා ජය හැමෝටම කියන්න සිතීම, කඩිනම් කෙළින් ගමන, හැම වෙත දැඩි ලෙන්ගතුකම … ඊට හේතු වූ සිද්ධිය කුමක් ද?

තමන්ට අවංක වී තමන්ට විශේෂිත වූ ලැයිස්තුවක් හදා ගන්නා පුද්ගලයාට ඉහත අගැයුම් පිරික්සන විචාරයෙන් ඒ ඒ අවස්ථාවේ උත්පාදනය වන ආවේගයට තමන්ට වාසිදායක ධනාත්මක ප්‍රතිචාරයක් තීරණය කරගත හැකිය. ඊ ළඟට අයෙක් ආවේගාත්මක බොත්තකමක් ඔබද්දී තමා විසින් තීරණය කරගත් ප්‍රතිචාරය ක්‍රියාවට නැංවිය යුතුය. බොත්තම් ඔබන්නේ අනුන් වූ පලියට අනුන්ගේ රූකඩයක් විය යුතු නැත. අනුන් ඔබන බොත්තමෙන් තමන්ට වැඩි වාසියක් ගන්න පුළුවන් වීම ආවේග බුද්ධියක් (emotional intelligence) වඩවා ගැනීමක් වෙයි.

Advertisements

19 Responses

Subscribe to comments with RSS.

  1. kathandarakaraya said, on නොවැම්බර් 8, 2011 at 9:24 පෙ.ව.

    එතකොට අනුන්ගේ බොත්තම් එබීම?

  2. අමිල said, on නොවැම්බර් 8, 2011 at 9:32 පෙ.ව.

    අරුණි අක්කා,
    අනුන්ගේ බොත්තම් සම්බන්ධව අපි කටයුතු කරන විදිය සමාජයට වැරද්දක් ලෙස පෙනී යනවා නම් ?

    • arunishapiro said, on නොවැම්බර් 8, 2011 at 9:40 පෙ.ව.

      අමිල,

      ආචාරශීලී වීම හා චාරිත්‍ර හා රටේ නීති රීති දැන සිටීම හා අනුගමනය වැදගත්. එතැනින් එහාට අපි කටයුතු කරන විදිය සමාජය වැරැද්දක් සේ දකිනවා නම් ඒක සමාජය විසඳ ගත්තාවේ. අනුන්ගේ බොත්තම් ගැන වෙහෙසීම කාලය නාස්ති කිරීමක්.

  3. Beetle said, on නොවැම්බර් 8, 2011 at 3:48 ප.ව.

    රැකියාවට ඉල්ලුම් කර ඇතියවුන් සම්මුඛ පරීක්ෂණයකට ලක්කරද්දී අයි.කිවු. වෙනුවට ඊ.කිවු. මැනීම වඩා ප්‍රායෝගික බව අපේ එච්.ආර්. මැනේජර්වරයා මට කියාදුන් දෙයක්…

    තමන්ගේ ඊ.කිවු. තමන්ටම මැනගත හැකි පරීක්ෂණ සඳහන් කළහැකි නම් මරු…

  4. ගෝල්ඩ් fish said, on නොවැම්බර් 8, 2011 at 10:04 ප.ව.

    හොඳ උපදෙස් ටිකක්

    • arunishapiro said, on නොවැම්බර් 9, 2011 at 9:58 පෙ.ව.

      ගෝල්ඩ් fish,

      ස්තූතියි යාළු මාළුවෝ. වෙස්මුහුණු පින්තූර ලැබුනේ නැති නිසා මෙන්න මේ පැත්තේ පින්තූරයක් ඊ ළඟ සටහනට දානවා. එවන්න පුළුවන් යැයි කිව්වාට යාළු මාළුවාට ඉතාමත් ස්තූතියි.

  5. W.A. Wijewardena said, on නොවැම්බර් 8, 2011 at 11:09 ප.ව.

    The almond shaped small gland amygdala (hence, the name given to it) is in fact the centre of human emotions and if one can control it effectively and permanently, he is free from all types of both destructive (fear, hatred, jealousy etc) and constructive (kindness, love etc) emotions. Such a mental frame helps a person to see reality as reality and I suspect that those who attain Nibbana or enlightenment are those who have done so.

    • arunishapiro said, on නොවැම්බර් 9, 2011 at 9:54 පෙ.ව.

      W.A. Wijewardena,

      හිතට එන බිය, ද්වේෂ්‍ය, ඊර්ෂ්‍යාව වැනි ආවේග කරුණාව, මෛත්‍රිය, දයාව වැනි ආවේග වලට හරවා ගැනීම පුහුණුවකින් අපහසු නැහැ. ඒත් එහෙම කරන්න ඇති “තණ්හාව” (එසේ කරන්නේ තමාගේ යහපතට වූ කෑදරකමක් නිසා) නැති කරගන්නේ කොහොම ද?!!!

      අනික, ඇමිග්ඩලාවට හානියක් කෘතිම ව කරගන්නා වූ අයෙක් ට හිතකර හා අහිතකර ආවේගයන් නැති නිසා එයා නිවන් දැක්කා වෙනවා ද?

  6. Chandi said, on නොවැම්බර් 9, 2011 at 3:35 පෙ.ව.

    ආවේග අපි හසුරුවාගන්නට ඉගෙන ගත යුතුමයි. ආවේග එනවිට එය මනසින් දකින්න ඕනෙ, ඒ හා නොගැටී ඉන්න ඕනෙ. එය ඇතිවෙච්ච විදිහ නුවණින් විමසා බලන්න ඕනෙ. උපෙක්ෂා සහගතව එය විසඳාගන්න උනන්දුවෙන්නෙ එහෙම නුවනින් බලන අයයි. ආදරය කරුණාව පුහුණුකරන අයට මෙහම කරන්න හරිම පහසුයි. කිසිම වෙලාවක නොසැලෙන හිතක් ඔවුන්ට ඇති නිසා. හොද සටහනක්.

    • arunishapiro said, on නොවැම්බර් 9, 2011 at 10:01 පෙ.ව.

      Chandi,

      චාන්දි අක්කා, ආවේග හා නොගැටී ඉන්න කිව්වා ම අපැහැදිලියි. මොකද ආවේගයකින් ඇති වෙන්නෙ කලබලයක්. ඒ කියන්නේ ගැටීමක් නොහැකි තත්වයක්. ඒ නිසා ගැටෙන්නෙ කොහොම දැයි තමන් විමසන්න අවශ්‍ය.

      • Chandi said, on නොවැම්බර් 10, 2011 at 4:00 පෙ.ව.

        අරුණි, මේ ගැන මනෝ නිවාරණ සූත්‍රයෙ ( සංයුක්ත නිකාය සත්ති වර්ගය ) සඳහන් වෙන්නෙ මෙහෙම. එක්තරා දෙවිකෙනෙක් කියනවා “යම් යම් අරමුණකින් මනස වළක්වා ගත හොත් ඒ ඒ අරමුණෙන් ඇතිවන දුක් ඇති වෙන්නේ නෑ. ඉතින් ඔහු සියළු අරමුණින්ම මනස වළක්වාගත හොත්, එතකොට ඔහු සියළු දුකින් නිදහස් වෙනව” කියල. එතකොට භාග්‍යවතුන් වහන්සේ වදාලන්නෙ මෙහෙමයි. ” නෑ. හැම අරමුණින්ම මනස වළක්වන්න ඕනෙ නෑ. කොටින්ම සංවර වෙච්ච මනසේ වළක්වන්න දෙයක් නෑ. යම් යම් අරමුණක් නිසා අකුසල් සිදු වෙනව නම්, ඒ ඒ අරමුණිනුයි මනස වැලැක්විය යුත්තෙ” මේ විදිහට ධර්මය හොඳින් පුරුදු කලාම ඒ අරමුණු වල නොගැටී ඉන්න පුලුවන් නංගි. කලබල එනව කියල දැනුනම එතනින් මඟ හැර යන්න පුලුවන්. කලබලයක් ආවහම එය අල්ලා නොගෙන අත් හරින්නත් පුලුවන්. කියමු මට හොඳටම කෙනෙක් අපහාස කරනවා කියල මගෙ මූණටම , මට පුලුවන් වෙන්න ඕනෙ ඉවසාදරාගෙන සංවරව ඉන්න. ඒ කෙනාට මෛත්‍රියෙන් ඉන්න. හැමෝටම එහෙම ඉන්න බැහැ. නමුත් පුලුවන් කෙනාට ඒක පුලුවන්. මම මනෝවිද්‍යාව ඉගෙන ගෙන නෑ, නමුත් ගොඩක් මනස අවුල් කරගන්නෙ නැතිව ඉන්න උත්සාහ කරනව. මේ ධරමයෙ පිහිටලා. ගොඩක් සාර්ථකයි ඒ ක්‍රමය.

  7. indika27 said, on නොවැම්බර් 9, 2011 at 7:24 පෙ.ව.

    ආවේග පිට කිරීමේදි පිටකරන ආකාරය මත සමාර තැන්වල අවාසි වෙනව…උදාහරණයක් විදියට මට ස්වාභාවිකවම පිහිටල තියෙන්නෙ බෝම උස් කටහඩක් රහසක් කියන්න බෑ අවට ඔක්කොන්ටම ඇහෙනව..
    ඉතින් මං මොන දේ සරලව කිව්වත් මාව නොදන්න කෙනෙක් හිතන්නෙ මං මහ හැසිරෙන්න නොදන්න කෙනෙක් කියල..අනික අර ඉංටවිව් වලදි එන බය මට එන්නෙත් නෑ…මං ගිහිපු එක ඉන්ටවිව් එකක මං බයවුනා මදි හන්ද මට තැන නොලැබුනාදෝකියලත් හිතෙනව…එතැනදි ඒ අය අහපු ප්‍රශ්ණවලට දුන්න උත්තර ලොකු වැඩි වගේ උනා…මට ඒ අය රවට්ටල ජොබ් එක ගන්න ඕනි උනේ නෑ…
    තව දෙයක් ලැංෙව්ජ් එකත්වැදගත්…දැන් තමුසෙ කියන එක ඇවිල්ල නරක වචනයක් ගොඩක් තරහ වචනයක් විදියට තමා හිතෙන්නෙ ඒත් සමාර අය ඉන්නව කටේ තියෙන්නෙම තමුසෙ..අයිසෙ..වගේ ඒව..නමුත් මනුස්සය ගෙ ඒතරම් අවුලක් නෑ..
    මං කියන්නෙ ආවේග පිටකරන ආකාරය හා සබැඳි යම් යම් පුද්ගලික රටාවන් ඒ ආවේග දකින අනික් අයට වෙනත් අදහස් දෙන්න හේතු කාරනා වෙනව…
    බ්ලොග් කමෙන්ට්න් කියන දේ ගත්තොත්…අපි ටිකක් රලු බාෂා විදියක් භාවිතා කරල යම් වැරැද්දක් පෙන්නුවොත් ඒ බ්ලොග් කමෙන්ටුව දකින අය හිතන්නෙ අපි කමෙන්ට් එක දාල තියෙන්නෙ හිතේ තරහට කියල..
    අඩේ ජෝංබාස් මේ මොනාද බන් උඹ කොටන්නෙ මේ මල හත්තිලව්ව ගැන දැන් උඹ කීපාරක් කීවද?/ඇයි වදේ බොට ලියන්න දෙයක් නැත්නම් නිකා හිටපන් හිපාටුව වගේ එක එක විකාර කරන්නෙ නැතුව..
    ජෝංබාස් මගේ යාලුව…ජෝංබාස් දන්නව මං ඒක ජෝක් එකට කියල තියෙන්නෙ කියල..ඒත් දකින අය හිතන්නෙ මට ජෝංබාස් ගෙ පෝස්ට් එකට මල පැනල කියල…

    • arunishapiro said, on නොවැම්බර් 9, 2011 at 10:15 පෙ.ව.

      indika27,

      කටහ ඬ වල් වැඩි උස් නැති සාර්කෝසි හා ඔබාමා නා ගෙන හැටි ඇති අන්දම දැක්කම මොළේ පාවිච්චිය ඊට වඩා වැදගත් යැයි පේනවා නේද?!!!

      ඔව්, අපිට ලැබෙන ජානු වලින් 1/3, හැදියාවෙන් 1/3 සහ තමාට හසුරුවා ගන්න පුළුවන් 1/3, සියල්ල නිසි ලෙස පාවිච්චිය කරන්න ඕනා. ජානු 1/3 වෙනස් කරන්න බැරි වුනාට හැදියාව සහ තම හසුරුවා ගැනීම එකතු වුනාම 2/3 කින් තමන්ට ජය ගන්න පහසුයි.

      ඔව් භාෂාව ඉතා වැදගත්. ඒත් අනිත් හැම දෙයක් වගේ ම භාෂාවත් වැඩි දියුණු කරගන්න හැකියාව ඇත්තේ තමා අත ම නොවේ ද? ඒ ගැන තමන් දැනුවත් වීම වැඩි වෙද්දී වචනයක් නිසා (හැත්ත) කලබල නොවී ඉන්නට හැකියාව ලැබෙනවා.

      ජෝං බාස්ගේ උදාහරණය කදිමයි!!! හැබැයි මම වැදගත් ලෙසින් සැලකිය යුත්තේ අනුන් හිතන දේ ද? මා හිතන දේ ද? දකින අය මට “මල පැනලා” යැයි සිතූ පමණින් ඔවුන්ට පෙන්වා දෙන්නට කාලය වැය කිරීමෙන් ඉලක්කය වෙනස් කිරීම හෝ මා ගැන වැරදියට සිතුවා යැයි මම සිතා, මා දුක් වී, මඟේ ශරීරයේ අහිතකර රසායන පතුරුවා හරිමින් මා ලෙඩෙක් විය යුතු ද?


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: