අරුණි ශපීරෝ‍ වෙතින්

ලෝකය ම රඟහලකි

Posted in Uncategorized by arunishapiro on නොවැම්බර් 9, 2011

මුළු ලෝකය ම රඟහලකි. එහි ඉන්නා ගැහැණු සහ පිරිමි සියල්ලෝ ම රැඟුම් දක්වන්නෝ පමණි. වේදිකාවට ඇතුල්වීමත් ඉන් නික්ම යාමත් ඔවුන් සතුවෙති. එක් පුද්ගලයෙක් ඔහුගේ කාලය තුල දී චරිත කිහිපයක් රඟපායි.” විලියම් ශේක්ස්පියර් As You Like It හි ලියූ මේ ආත්මගත භාෂණය (monologue) මිනිසා වනාහී වෙනත් අයෙක් ලියූ තිර පිටපතක් රඟපාන්නෙක් දැයි විචාරයි.

“සුළඟ සේ ඇවිදින්” ලියන මැණික් නංගි දාපු “මායාකාරයෙකි නුඹ” කවි පංතිය මගේ මේ සටහනට අපූරුවට ගැලපෙනවා. මනස මායාකාරයෙක් බව දැන දැනත් ඊට අහුවෙලා ඉන්න අය අතර කොයි තරම් ටික දෙනෙක් ද මායාකාරී බව දකින්න උත්සාහයක් ගන්නෙ.

ලෝක රඟමඬලාවේ මිනිසා අනුන් ලියා ඇති තිර පිටපත් රඟපාන්නේ අනුන්ට රැවටිලා ද? නැත්නම් අනුන්ට උවමනා විදියට නටන්නේ තමන්ට උවමනා විදියට නටනවා යැයි සිතා ද? එහෙමත් නැත්නම් අනුන්ට නොව තමන්ට උවමනා විදියට නටනවා යැයි සිතමින් ඒත් නටන්නේ අනුන්ට ඕනා විදියට ද?!!!

Robert Trivers ලියූ The Folly of Fools: The Logic of Deceit and Self-Deception in Human Life (2011) පොත අපි අපේ මනසෙන් සියළු දත්ත එකතු කරන්නට හපනුන් වෙද්දී ඒ එකතු කරගත් දත්ත විනාශ කර දමන්නේ ඇයි යන්න විමසයි. (At the heart of our mental lives, there seemed to be a striking contradiction -we seek out information and then act to destroy it.)

මිනිස් සංවේදන පද්ධතියන් හැදී ඇත්තේ මිනිසාට ඇත්ත ඇති සැටිය පිළිබඳව විස්තරාත්මක හා නිවැරදි දැක්මක් ලබා ගැනීමට හැකි පරිදි ය. සංවාදයකින් තොරතුරු ලබාගෙන තමන්ගේ දැක්ම වැරදි නිවැරදි කර ගැනීම, වෙනත් කිසිම සතෙකුට නැති හැකියාවකි. විවිධ අය ලියූ විෂම අදහස් කියවා තමන්ට සංකල්පයක් ගොඩනඟා ගතහැකි හැකියාව ද වෙනත් සතෙකුට නැත. එහෙත් මේ තොරතුරු සියල්ල මිනිස් මොළය කරා පැමිණි පසු, ඒවා විකෘති (distort) සහ පක්ෂපාතී (bias) ව මොළයේ රඳවා ගන්නට මිනිසාට හැකිය!!!

පුද්ගලයා අනුන්ට පමණක් නොව තමන්ට ද බොරු කර ගන්නා අවස්ථා බොහෝ ය. වේදනා සහගත මතකයන් යටපත් කරගන්නට උත්සාහ ගනියි. සම්පූර්ණයෙන් අසත්‍ය මතකයන් ඇති කර ගනියි. සදාචාර නොවන හැසිරීම් ගැන යථාර්ථවාදීව බලා තම නිදහසට හේතු සොයා ගනියි. මොළයෙන් පිරික්සද්දී තමාට අහිතකර යැයි තහවුරු වූ දේවල් එසේ යැයි පිළිගෙන ඒත් අත්හැර නොදමති.

ඉහත සඳහන් පොතේ Robert Trivers කියන්නේ පුද්ගලයා තමන්ව බොරුවෙන් රවටා ගන්නේ අනුන්ව ඊට වඩා හොඳින් රවටන අරමුණකින් කියා ය. ඔහුගේ ගවේෂණ පරිනාමවාදී ජීවවිද්‍යාත්මක (evolutionary biology) පදනමකිනි. දැනගෙන බොරු කියන කරන අය, නොදැන බොරු කියන කරන අය, වඩාත් ම කපටි අය, අනුන් රවටා එයින් තම වාසිය ලබා ගන්නවා යැයි Robert Trivers තාර්කික ව පෙන්වයි. බොරුවෙන් තමන් රවටා ගැනීමේ අවාසිදායක පැත්ත විමසීම තම වෑයම නොවේ යැයි ට්‍රිවර්ස් ඒ ගැන විමර්ශනය බැහැර කරයි!!! මගේ මතය රිචඩ් ඩාව්කින්ස් හා සෑම් හැරිස් මෙන් රොබට් ට්‍රිවර්ස් ද සත්‍ය තොරතුරු එකතු කරගෙන ඒවා තාර්කිකව විමසමින් අනතුරුව විකෘති හා පක්ෂපාතී ව මොළයේ තැන්පත් කරගෙන ඇති බවයි!!!

මිනිස් මොළය විසින් මතකය, පෙනීම, ඉගෙනීම, සිතුවිලි සහ ස්වේච්ඡාවෙන් කරන ක්‍රියාවන් හසුරුවයි. ඔටෝමැටික් ක්‍රියාවන් හා සිතුවිලි වලට ද, අනිච්ඡානුග චර්යාවන් (involuntary behavior) වලට ද මොළය උපකාර වෙයි. වතුර වීදුරුවක් දිහා බලද්දී ආලෝකයෙන් එන රශ්මි ධාරාවක් අපේ ඇසට වැදීම නිසා දෘශ්‍ය ප්‍රබෝධයකින් අක්ෂි කාචයේ ඇති යෂ්ඨි සෛල, කේතු සෛල අවදි කරවමින්, දෘෂ්ටිවිතානය (optic nerve?) ප්‍රතිචාර දක්වයි. එනම් පුද්ගලයා වීදුරුව දකියි. මෙහි දී විද්‍යාත්මකව ක්‍රියාවලිය පැහැදිලි කරන්නට හැකි වූවාට “කවුද” ඒ වීදුරුව දකින්නේ? ඇස් එකසේ තිබි පළියට වීදුරුව දිහා බලන හැමෝම දකින්නෙ එකම විදියට නෙමෙයි. එයින් මතකයට එකතු කරන්නේ පුද්ගලික වූ දැක්මක්. එය විමසන්නට උවමනාව සහ හැකියාව ඇත්තේ ද ඒ මිනිස් මොළයකට අයිතිය කියන්නාට පමණයි.

එහෙත් ලෝකයේ පවතින පක්ෂපාතී හා විකෘති අදහස් විචාරයෙන් තොරව පිළිගන්නා අය; නිකලෝ මැකියාවෙලි, කාල් මාක්ස්, මා ඕ සේතුං, Leo Strauss, Irving Kristol, ජෝර්ජ් බුෂ්ලා සහ බරක් ඔබාමා ලියූ තිර පිටපත් තමන් ලියූ තිර පිටපත් ලෙසින් රඟනා අය, ගජබින්න දැවැන්ත වූ තරමට වැඩිදෙනා එහි අසත්‍යතාවය සැක කරනු නැතැයි ඇඩොල්ෆ් හිට්ලර් සිය Mein Kampf හි (The great masses of the people will more easily fall victim to a big lie than to a small one) කියුව ඔප්පු කරමින්, දුප්පතුන් හා නූගතුන් නම් කිසිත් කරකියා ගන්නට නොදන්නා, තමන්ට යහපත කුමක්දැයි නොදන්නා, කෙස් පැලෙන තර්ක කළ නොහැකි, මොළය වෙහෙසන්න බැරි, මිනිසුන් අතර ඉන්නා මිනිසුන් කොට්ඨාශයක් යැයි කියා, තමන් දුකේ ගැලී නොසිට එයින් ගොඩ එන මාර්ගය ඔප්පු කර තිබිය දී එය සොයා නොබලා, අනුන්ගේ පක්ෂාපතී වූ දැක්ම අල්ලා ගෙන එය තමාගේ තෝරා ගැනීමක් යැයි රඟන්නට හුරු වී සිටිති.

මදැයි … ඒ වාක්‍ය පරිච්ඡේදයක් වුනානෙ.

එය එසේ හුරු වූවත්, හුරුව එය යැයි අවබෝධයට හැකි නම්, ඊට වඩා වාසිදායක වූ වෙනස් විදියක් හුරු කරගන්නට අවස්ථාවක් උවමනා දැයි, කැමැත්තේ දැයි, තෝරා ගැනීම ඒකීය පුද්ගලයාට දෙන්නට බැරි ඇයි යන්න විමසීම වඩා වැදගත් නොවන්නේ කෙසේ ද?!!!

පින්තූරය: ග්‍රීක නාට්‍යෙන් උපත ලද ශෝකාන්ත හා සුඛාන්ත පිළිබිඹු කරන ඉහත වෙස්මුහුණු අයිස් ක්‍රීම් වලින් නිමැවූවකි.

Advertisements

15 Responses

Subscribe to comments with RSS.

  1. අමිල said, on නොවැම්බර් 9, 2011 at 11:27 පෙ.ව.

    අරුණි අක්කා,

    තමන්ටම බොරු කරගැනීම‍ යම් යම් මට්ටමෙන් කොහෙත් දැකගත හැකියි. තමන්ට තේරුම්ගත හැකි මට්ටමට වත් සැබෑව විචාරය කරගැනීමට බොහෝ අය උත්සාහ නොදරයි. විශේෂයෙන් මෙය සිදුවන්නේ උපන් කම්මැලියන්ටය. උත්සාහවන්තා ජීවිතයට දෙතුන් වරක් පයින් ඇන හෝ නැවත පන ගන්වා තමන්ට ගැලපෙන මාර්ගයකට යොමුකරගනී. මෙතෙක් ඔබ ලියූ ලිපි එසේ කරගන්නට දත කන කිහිපදෙනෙකුට ශක්තියක් බව නම් සැබෑය.

  2. kathandarakaraya said, on නොවැම්බර් 9, 2011 at 4:04 ප.ව.

    අරුණි රඟපාන පිටපත ලිව්වේ අරුණි ම නේද?
    නැත්තං වෙන කවුරු හරිද?

  3. මැණික් said, on නොවැම්බර් 9, 2011 at 5:05 ප.ව.

    රඟ පාන පිටපත නම් ලියාගන්නෙ අපිම තමයි. ඒත් මට නම් හිනායන්නෙ ඒ පිටපතට අපි රඟපාන විදිය දැක්කමයි.
    මැණික්

  4. සපතේරු උන්නැහේ said, on නොවැම්බර් 9, 2011 at 6:19 ප.ව.

    / / ලෝක රඟමඬලාවේ මිනිසා අනුන් ලියා ඇති තිර පිටපත් රඟපාන්නේ අනුන්ට රැවටිලා ද? නැත්නම් අනුන්ට උවමනා විදියට නටන්නේ තමන්ට උවමනා විදියට නටනවා යැයි සිතා ද? එහෙමත් නැත්නම් අනුන්ට නොව තමන්ට උවමනා විදියට නටනවා යැයි සිතමින් ඒත් නටන්නේ අනුන්ට ඕනා විදියට ද?!!! / /

    ඔය වගේම රඟන්නේ තමන්ගේ තිර රචනයට නොවන බව දැන දැන ඒත් අනුන්ගේ තිර රචන වලට අකමැත්තෙන් රඟන්නට සිදුවී ඇති අයත් බොහෝමයක් නැද්ද ?

    • arunishapiro said, on නොවැම්බර් 10, 2011 at 6:52 ප.ව.

      සපතේරු උන්නැහේ,

      මුළු ජීවිතය ම එසේ ගෙවන අය ඉන්නවා සපතේරු මල්ලියේ. නමුත් එය තමන් විසින් විචාරා කරන ලද තෝරා ගැනීමක් ද? ස්වාධීන වන්නට ඇති බියක් නිසා, තමන් වගකීම බාර ගත්තාම අයහපත් විපාක වලට මුහුණ දීමට තනිවම සිද්ධ වේ යැයි බියෙන් ද?

  5. ගෝල්ඩ් fish said, on නොවැම්බර් 9, 2011 at 10:18 ප.ව.

    අපේ පිටපත අපිම ලියාගත්තොත් ඇරෙන්න වෙන කෙනෙක් ලියන පිටපතකට රඟාපාන්න ගියොත් නම් ඒ වැඩේ කොහෙත්ම සාර්ථක වෙන්නේ නැතිවෙයි….

  6. dayal - bathee said, on නොවැම්බර් 10, 2011 at 12:56 පෙ.ව.

    මේ දවස්වල හරියට මට පණ්ඩිත අදහස් එනව නිකං ටැප් එක ඇරියවගේ, මට ආවට මේවයේ පංගුකාරයෝ ඉන්නව.
    (ඔබ කියන්නේ නිරපේක්ශ තත්වයක් යයි අපේක්ශා කරමින් සාපේක්ශව බලා සටහනක් අවක්ශේප කරම්)

    මෙන්න මෙහෙමයි අරුනි,

    ගත ඉල්ලන දේ මනසට දෙන්න හයිය හැකියාව තියෙනව නම්,

    හිත ඉල්ලන දේ ගතට දෙන්න පුලුවන්නම්,

    හැබයි කාගේ වත් උපකාරයක් සහභාගී වීමක් නැතිව

    catch එක තියෙන්නෙ එතන,

    අන්න එතකොට ඔබට ඔබගේ නාට්‍ය පිටපත ලියා ගත හැකියි.

    (කියල හිතෙනවම නොවෙයි කියල කියන්නත් බැරුව නොවෙයි)

    කාගෙ සිහිනද 100% සැබෑ උනේ?

    • arunishapiro said, on නොවැම්බර් 10, 2011 at 7:06 ප.ව.

      dayal – bathee,

      //කාගේ සිහින ද 100% සැබෑ වුනේ?// ඕනෑ තරම් උදාහරණ දෙන්න පුළුවන්. ඒ සියල්ලෝ ම තම වඩාත් ම අගනා ඉලක්කය නම්, ජීවිතයේ මොන බාධක තිබුණත්, බාධක සේ දැකි දේවල් තිබුණත්, තම අරමුණ සොයා යෑම අත් නොහැරිය යුතු බව සැලකූ අය වෙති.

      Nick Vujicic, ලාන්ස් ආම්ස්ට්‍රෝන්ග්, තෝමස් එඩිසන්, ඇල්බට් අයන්ස්ටයින්, අයින් රෑන්ඩ්, මාර්තා ග්‍රැහැම්, බිල් ගේට්ස්, ස්ටීව් ජොබ්ස් ….

  7. යහපත් ඇනෝ said, on නොවැම්බර් 10, 2011 at 3:40 පෙ.ව.

    කවුරුත් තමන්ගේ පිටපතකට රඟපාන්නේ නෑ. හැමෝම කරන්නේ සමස්තය විසින් ලියන ලද පිටපතක තමන්ගේ චරිතය පොඩි ආලවට්ටම් (අතින්) දමමින් රඟපෑමයි.

  8. dawkinssdodo said, on නොවැම්බර් 10, 2011 at 10:04 පෙ.ව.

    //මගේ මතය රිචඩ් ඩාව්කින්ස් හා සෑම් හැරිස් මෙන් රොබට් ට්‍රිවර්ස් ද සත්‍ය තොරතුරු එකතු කරගෙන ඒවා තාර්කිකව විමසමින් අනතුරුව විකෘති හා පක්ෂපාතී ව මොළයේ තැන්පත් කරගෙන ඇති බවයි!!!//

    උදාහරණයක් දෙකක් දුන්නොත් තමා හොඳ! 😉

    • arunishapiro said, on නොවැම්බර් 10, 2011 at 7:34 ප.ව.

      dawkinssdodo,

      ට්‍රිවර්ස්ගේ ඉහත පොතේ 137 පිටුවේ මෙහෙම කියැවෙනවා. “Psychological and immune systems are deeply intertwined, cause and effect go in either direction, and it is hardly possible for one system to react without affecting the other. For reasons that are not always obvious, self-deception appears to have strong immune effects. usually according to the rule more self-deception, lower immune strength, but occasionally, more self-deception, better immune health. ……. This field is still in its infancy.”

      ක්‍රිස්තියානි ආගම පිළිපදින ආකාරය විද්‍යාවෙන් ප්‍රතික්ෂේප කිරීම ඔවුන්ගේ අරමුණ වීම නිසා විද්‍යාවෙන් සොයා ගන්නා අනගි තොරතුරු වලට නිසි තැනක් දීම ඔවුන් අතින් අතපසු වී යනවා. අයෙකුට ඉටිපන්දමක් පත්තු කර යාඥා කිරීමෙන් සිතේ සහනයක් ලැබෙනවා නම්, එයාට අපි බුද්ධිමය විචාරයෙන් හෝ බෙහෙත් පෙත්තකින් සිතේ සහනය ලබාගත හැකි යැයි තිරණය කිරීම වැරදියි.

      තමන් කැමති ක්‍රමය තෝරා ගැනීම පුද්ගලයා අත විය යුතුයි. ඇමෙරිකාවේ වාසය කරන ආමිෂ් ජනතාව ජීවත්වන්නේ ඔවුන්ට විශේෂිත වූ ආගම් හා සංස්කෘතික රටාවකට. ඒ ඔවුන්ගේ තෝරා ගැනීම. ඔවුන් රජයේ සුබ සාධන කිසිවක් නොලබන නිසා ඔවුන්ගේ තෝරා ගැනීම ගැන කතා කරන අය අඩුයි. ඇමෙරිකාවේ රිපබ්ලිකන් පක්ෂයේ neoconservatives කල්ලිය ක්‍රිස්තියානි ආගම රටේ ප්‍රතිපත්ති වලට ගලපන්නට යාම නිසා ඔවුන් පාලන බලයෙන් පහ කිරීම වෙනුවට මේ අය විද්‍යාව යොදා ගන්නේ යුදෙව්-ක්‍රිස්තියානි (මුස්ලිම්) ආගම් වලට පහර දීමට. බුද්ධාගමේ අය බෝධි වන්දනාව වගේ පිළිවෙත් කරන්නේ ද අර ඉටිපන්දම් පත්තු කරන්නා වගෙයි. ඒ එයාලගේ තෝරා ගැනීම.

      විද්‍යාවෙන් ද, දේශපාලනයෙන් ද ආගම හා සමාන ව අකරතැබ්බයන් මිනිසුන්ට වූයේ නැත් ද? එක කාලයක දී prostate සහ mammograms සඳහා පරීක්ෂණයන්ට පෙනී සිටිය යුතු යැයි කියද්දී දැන් එයින් ඵල නැතැයි හා පළමුවැන්නට විය හැකි හානියක් ද ඇතැයි යැයි කියනවා නේද?

      අපි තවමත් ඉන්නේ ට්‍රිවර්ස් කියනවා සේ මේ නව සොයාගැනීම් වලින් මිනිසා පැහැදිලි කරගන්නා ඉතාමත් ළාබාල අවදියක. විද්‍යාත්මක තොරතුරු පහසුවෙන් ලබා දී, කැමති ආගමක් කැමති අයට අදහමින්, තම ජීවිතයේ දී කුමක් කරන්නේ ද යන තෝරා ගැනීම ඒකීය පුද්ගලයාට බාර දෙන්න.

  9. Chandi said, on නොවැම්බර් 10, 2011 at 8:52 ප.ව.

    එක වෙලාවකට ගැහැණියක් රඟන්නේ හැමදාම අනුන් වෙනුවෙන්මද? කියල හිතෙනවා අරුණි. ස්වාධීන වෙනව කියන එක හරිම අමාරුයි පවුල කියන ඒකකය ඇතුලෙ. මොනවිදිහකට බැලුවත් මහත්තයා, දරුවෙන් වෙනුවෙන් කරන්න තියෙන දේ කරල ඉවර වෙනකොට අපේ හොඳම කාලය ගිහින් වගේ. නමුත් ඒ කරන හැමදේම ආසාවෙන් පරිත්‍යාගයෙන් කලාම හරිම සැහැල්ලුවක් තෘප්තිමත් බවක් දැනෙන බව නම් කිව යුතුයි. සාපේක්ශව පිරිමි එක්ක බැලුවම අපි ටිකක් පහළින් කියල හිතෙනව මේ රඟහලේදි. ඒ අභියෝග නිසාම එයලට වඩා අපි ශක්තිමත්. මෙසේ අපි මනස නැමති මයාකාරයා සමඟ ජීවිත ගෙවනව. හොඳ නරක තොරරා බේරා ගෙන දිවිය ගෙවන්න උත්සාහ කරනවා. බුදු දහමේ මේ මායා කාරයා ජයගන්න හැටි හරිම අපූරුවට විස්තර වෙනවා. ඉගෙන ගන්න ඉගෙන ගන්න තමයි, ඇත්තටම අපිට අයිති මමය, මාගේ, කියල ගන්න කිසිම දෙයක් මෙහි නෑ කියල වැටහෙන්නෙ.

    • arunishapiro said, on නොවැම්බර් 11, 2011 at 2:38 ප.ව.

      Chandi,

      ගැහැණියට දෙවන වාරයක් ලැබෙනවා, පිරිමින්ට ලැබෙන්නෙ නැති. ඒ රජස්තම්භය (menopause) නොහොත් ඔසප් නැවතීම සිද්ධ වන කාලයේ. ශරීරයේ ඇතිවන හෝර්මෝන වෙනස් වීමෙන් මොළයේ නියුරෝන ද අවදිය, වෙනදාට වඩා කඩිසර ගතිය, දුර දක්නා නුවණ, මානසික ආවේග ගැන අවධානය, කුසලතා වර්ධනය යනාදිය වැඩි දියුණු වීමක්. මෙතෙක් කාලයක් අනුන්ගේ උවමනා එපාකම් ගැන වෙහෙසුන කාන්තාවට තම ජීවිත තෘප්තිය ගැන යමක් කිරීමට පළමු වරට දැඩි අවශ්‍යතාවයක් හට ගන්නවා. පුරුෂයන් විශ්‍රාම යන්නට සැලසුම් කරද්දී ඒ වයසේ කාන්තාව නව ව්‍යාපාර (සමාජ සේවා, ආගමික, දේශපාලනය …) අරඹන්නියක් වෙන්නේ ඒ නිසායි.

      The Road Not Taken -Robert Frost

      Two roads diverged in a yellow wood,
      And sorry I could not travel both
      And be one traveler, long I stood
      And looked down one as far as I could
      To where it bent in the undergrowth;

      Then took the other, as just as fair,
      And having perhaps the better claim,
      Because it was grassy and wanted wear;
      Though as for that, the passing there
      Had worn them really about the same,

      And both that morning equally lay
      In leaves no step had trodden black.
      Oh, I kept the first for another day!
      Yet knowing how way leads on to way,
      I doubted if I should ever come back.

      I shall be telling this with a sigh
      Somewhere ages and ages hence:
      Two roads diverged in a wood, and I –
      I took the one less traveled by,
      And that has made all the difference.

  10. chandi said, on නොවැම්බර් 11, 2011 at 11:22 ප.ව.

    අරුණි නංගි, ඔයා වගේ සහෝදරියක් ලැබීම වාසනාවක්. ඒක නම් ඇත්ත , මගේත් ඒ කාලය හොඳ විදිහට යොදාගන්න උත්සාහ ගන්න ඕනෙ. කාලය හරි දැන්. ඒ ශක්තිය මට තියෙනවා. බොහොමත්ම ස්තූතියි අවවාදයට හා වටිනා කවි පන්තියට. ඔබට ජයම වේවා!

  11. vajira kantha said, on ජනවාරි 31, 2012 at 12:54 ප.ව.

    අපේ රටෙත් ඉන්නෙ වෑඩිදෙනෙක් ගජබින්න ගෙඩි පිටින් ගිලල ඒව සාදාරනීය කර ගන්න අය


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: