අරුණි ශපීරෝ‍ වෙතින්

මායාකාරී මනස සමඟ සෙල්ලම

Posted in Uncategorized by arunishapiro on නොවැම්බර් 10, 2011

අපිව රවටා වාසි ලබන්නට හදනා අය බොහොමයකි. මනස ද පුද්ගලයා රවටයි. මනස වැඩියෙන් ම පුද්ගලයා රවටන්නේ කාංසාව (anxious) මඟිනි. ඉලක්කයක් ඉදිරියේ දී, හා සමහර අයට කිසිවක් නොකර සිටිය දී ද ඇති තමන් අකමැති යමක් සිද්ධ වේ යැයි ඇති නොසන්සුන් ගතිය එයයි.

රැවටිලි අඩු කරගනු පිණිස නිරවුල් හා අපක්ෂපාතී විචාරය නිකම් සිට නොහැකිය ය. ඊට බාධා කරන ආවේගාත්මක විචාරය (emotional reasoning) යන වචනය ගෙනෙන්නේ When Panic Attacks (2007) ලියූ David Burns විසිනි. ඔහු පෙන්වා දෙන අන්දමට එක අවස්ථාවක දී විහිළුවක් යැයි සිතන බියක් තවත් අවස්ථාවක දී සත්‍යය බියක් ලෙස දැනෙයි. එසේ දැනෙන නිසා ඒ බියට හේතු වූ කාරක (triggers) වලට වැදගත්කමක් ද දෙයි. ඒ ආවේගාත්මක විචාරයෙනි. එනම් විචාරය කරන්නේ ආවේගය පෙරදැරි කරගෙන ය. එසේ විචාරය කිරීම කාංසාව හා විෂාදය (depression) වැඩි කරන කාරකයකි.

දිනක් අපි කණ්ඩායමක් කතුරු ඔංචිල්ලාවක සතුටු වෙමින් සිටියෙමු. එක් වැඩිහිටියෙක් ඊට නැඟ්ග වේලාවේ පටන් සිටියේ ඉතා නොසන්සුන් බවකිනි. එහි බක්කි සීට් මිස වෙනත් ආවරණ නොවීය. උසම ඉහළට ගිය විට මේ වැඩිහිටියා කොතරම් බියට පත් වූවා ද කියතොත් එයින් බහින්න (එය ඉහළම උසක තියෙද්දී) ලැහැස්ති විය. පැන්නොත් එයාටත්, පනින්න යන උත්සාහය නිසා බක්කිය වැනී ඉන්නා හැමෝටමත් ඇති අවදානම නොසිතන්නට ඒ වැඩිහිටියාගේ මනස විසින් රවටා තිබිණ. ඇඟිලි පාරවල් කම්මුලේ සටහන් වන කම්මුල් පහරක් අවශ්‍ය එවැනි වේලාවක දී ය!!!

ආවේගාත්මක විචාරය සිද්ධ වන්නේ මෙසේය:
“මම බයක් දැනෙනවා, මට මොකක් හරි අනතුරකට මුහුණ පාන්නයි හදන්නෙ.”
“මම කිසි වැඩකට නැති අයෙක් යැයි හිතෙනවා, ඒ නිසා මම කිසි වැඩකට නැති අයෙක් වෙන්න ඇති.”
“මට කිසිත් කරගන්න බැහැයි කියා හිතෙනවා, එහෙම හිතෙන්නෙ මට කිසිවක් කරගන්න බැරි නිසානෙ.”

පුද්ගලයාගේ ආවේගය පුද්ගලයාගේ සිතුවිල්ලේ ප්‍රතිඵලයකි. සිද්ධියක් තමන් දකින ආකාරය අනුව පිරික්සා බලා එළඹෙන අගැයුම. ඉතින් තමන්ගේ සිතුවිලි විකෘති වූ විට, හිතින් අල්ලා ගත් අසත්‍යය දැඩි වී සත්‍ය විකෘති කරන විට, එවිට ආවේග ද විකෘති හා අසත්‍යය වෙයි. කතුරු ඔංචිල්ලාවක යන්නට බියක් ඇත්තාට, එය අසලට ගියාම එය කඩා වැටෙනවා යැයි බිය සිතිවිලි පහළ වේ. “අනේ මට හරි බයයි” යැයි සිතෙන නිසා කතුරු ඔංචිල්ලාව කඩා වැටෙන එක ගැන ම සිත දුවයි.

බය දැනෙන සිද්ධියට මුහුණ දීමට පෙර ඒ බය ගැන ආවේගාත්මක විචාරයට ඉඩ නොදී බුද්ධිමය විචාරයෙන් සොයා බලා බිය සිතුවිලි වලින් ගැලවිය හැකිය. හදිසියක දී, බුද්ධිමය විචාරය කියා දෙනවා වෙනුවට, සිතේ එකවර සිතුවිලි දෙකකට ඉඩ නැති නිසා, බිය සිතුවිල්ල වෙනුවට බය නැති කරන සිතුවිල්ලක් උපදවා ගන්නට උදව් කළ හැකිය. කම්මුල් පහර නිසා තක්බීරි වීමෙන් හා කම්මුල් පුපුරු ගැසීම නිසා බිය සිතුවිල්ලෙන් ගැලවෙද්දී බිය ආවේගය ද නැති වී යයි. මහ රෑ සොහොනක් මැදින් ගමන් කරන අයෙක් ගාථා, මන්තර මතුරන්නේ බිය සිතුවිල්ල වෙනුවට මන්තරයේ බලය ගැන සිතුවිල්ලක් ඇති කර ගැනීමටයි. එයින් බිය සිත පහ වී මන්තරයේ බලය ගැන සිතුවිලි සිත අරක් ගනියි.

ඕනෑම ආවේගාත්මක අවස්ථාවක දී ඒ ආවේගය වෙනුවට වෙනත් ආවේගයක් උපදවන දැයක් ගැන උවමනාවෙන් සිතුවිල්ලක් උපදවා ගන්නට හැකියාව ඇත්නම් ආවේගයේ ඝට්ටනය (impact) වෙනතක හරවන්නට පුළුවන. ක්ෂණික තීරණ හා හනිකට කළ යුතු වැඩක් ඉදිරියේ දී නොපමාව ආවේගයන් වෙනස් කරගන්නට හැකියාව ලැබෙන්නේ ඒවා ගැන හිතා බලා කළින් පුරුදු පුහුණු වී සිටිනා අයෙකුට ය.

ඍනාත්මක පමණක් නොව ධනාත්මක ආවේග ද විකෘති හා සිතින් අල්ලා ගත් අසත්‍යයන් වෙන අවස්ථා ඇත. සූදු කෙළින්නා සල්ලි දමන්නේ “මම දිනනවා” යැයි සිතා නොවේ ද?!!! කී සැරයක් එසේ “මම දිනනවා” යැයි දැනුනු අය දිනා ඇත් ද? සූදු කර්මාන්තය ලාභ උපයන කර්මාන්තයක් බව සූදු කෙළින්නා නොදන්නවා නොවේ. එහෙත් තමා දිනනවා යැයි නොසිතා සල්ලි විසි කරන්නේ කොච්චර ටික දෙනෙක් ද? ආවේගාත්මක විචාරයේ වැරැද්ද මනස රැවටීම ය.

ආවේගයන් ඉදිරියේ හැම පුද්ගලයාට ම සිතුවිලි දෙයාකාරයකින් එකක් තෝරාගත හැකියාව ඇත. එක්කෝ බුද්ධිය පෙරදැරි කරගත් හිතකර සිතුවිලි තෝරාගත හැකිය. නැත්නම් බිය පෙරදැරි කරගත් අහිතකර සිතුවිලි තෝරාගත හැකිය.

බුද්ධිය පෙරදැරි කරගත් සිතුවිලි පදනම් වන්නේ විචාරය (reason), තර්කය (logic), හා සිහි බුද්ධියෙන් බලා කරන නිගමන (rational deduction) වල ය. ඒ සිතුවිලි කුතුහලයක් වඩවයි. ප්‍රවේසම් ගතියක් ඇති කරයි. ඒ සිතුවිලි පුද්ගලයාව ඵලදායක ලෙසින් සැකය පාවිච්චියට යොමු කරයි.

බිය පෙරදැරි කරගත් සිතුවිලි පදනම් වන්නේ අතාර්කික වූ හා එක්කෝ මෙහෙම වෙනවා නැත්තම් එහෙම වෙනවා යන දෙපැත්තක් පමණක් ඇතැයි දකින සීමා දමාගත් මානසිකත්වයක ය. කාංසාව වැඩි කරයි. එහෙම වුනොත්? කියා නිතරම සිත චංචල කරන සිතුවිල්ල පටන් ගනියි. ඒ සිතුවිල්ලෙන් ඇති කරන කාංසාව නැති කරන්නට අනිත් අය නොකරන විදියට හැසිරෙන්නට/නොහැසිරෙන්නට වෙයි. එයින් ගැලවිය නොහැකි විෂම චක්‍රයේ හිර වෙයි.

බිය පෙරදැරි කරගත් සිතුවිලි අවබෝධය දුෂ්කර ය. සමහර විට ඒවා බුද්ධිය පෙරදැරි කරගත් සිතුවිලි සේ වෙස්වලා ගෙන එති!!! ආවේගාත්මක විචාරය පුද්ගලයාට බොරු සාක්කි දී සිතුවිල්ල පැන නැඟුනේ ආවේගය නිසා ද සිතුවිල්ල නිසා ද යන්න වසන් කරයි.

Advertisements

7 Responses

Subscribe to comments with RSS.

  1. Chandi said, on නොවැම්බර් 10, 2011 at 9:11 ප.ව.

    මේ කතුරු ඔන්චිල්ලාවේ කතාවට සමාන අත්දැකීමකට මමත් මුහුණ දුන්නා. සිංගප්පූරුවේ තීම් පාක් එකකදී. මම අයෙ ජීවීතේට රෝල කෝස්ටර් එකක යන කෙනෙක් නෙවෙයි. පුංචි කාලෙදි දුවන පඩි පෙළේ යත්දි ඇතිවෙච්ච බය තාම මගෙ හිතේ සැඟවිලා තියෙනවා. අවදානමක් ගන්න කැමතිම නෑ. මම නිසා අනෙක් අයට තමයි වදේ, ගෙදර අයට මේ නිසා හිරිහැරයි. පුතාලම ඉන්නකොට එයාල මේ වගේ දේවල් කරන්නම නේ කැමති. මනස ඒ ආකරයට හදාගන්න නම් මට බැහැ. අපේ මහත්තයා කොච්චර මේ දේ අත්හරින්න හැදුවත් මගෙ මනසෙන් මට ඒ දෙයට හරි ප්‍රතිචාරයක් දෙන්න නම් තාම බැරි උනා ඔන්න.

  2. Gimhani said, on නොවැම්බර් 10, 2011 at 10:48 ප.ව.

    මම කවදාවත් යන්නේ නෑ මේ කතුරු ඔංචිල්ලා වලත් රෝල කෝස්ටර් වලත් . එතරම් බයයි . යනව තියා ඒ දිහා බලන්නෙවත් නෑ ..

    • arunishapiro said, on නොවැම්බර් 11, 2011 at 2:40 ප.ව.

      Chandi, Gimhani,

      චාන්දි අක්කා, ගිම්හානි නංගි, ඕනා නම් වෙනස් කරගන්න පුළුවන් වූ phobia වක් තමයි. වෙනස් කරගන්න අවශ්‍ය දැයි නැද්දැයි තමයි ඊ ළඟට විමසන්න ඕනා.

  3. Chathura Wijekoon said, on නොවැම්බර් 10, 2011 at 11:37 ප.ව.

    අරුණි අක්කා බොහොම වටිනා ලිපියක්…. emotianal කියන වචනෙට වඩාත් ගැලපෙන සිංහල වචනය “භාවාත්මක” කියන එක කියලයි මං හිතන්නේ..

    කොහොම වුණත් සමහර වෙලාවට බුද්ධිමය විචාරයන් හරියන්නේ නෑ වගේම සමහරුන්ටත් බුද්ධිමය විචාරයන් හරියන්නේ නෑ..

    චන්දි අක්කාටත්, ගිම්හානිටත් තියෙන්නේ phobia තත්වයක් කියලයි මට හිතෙන්නේ..

    • arunishapiro said, on නොවැම්බර් 11, 2011 at 2:52 ප.ව.

      Chathura Wijekoon,

      ස්තූතියි චතුර මල්ලි.

      භාවාත්මක වචනයේ අර්ථය හැටියට එන්නේ abstract යන්නයි. “භාවය” යන්නේ අර්ථ හැටියට එන්නේ ද තේරුම, ස්වභාවය, තත්වය, පිළිවෙල යනාදියයි. පැත්තකින් සිට බැලීම. නමුත්, ආවේග යනු සිද්ධියක් නිසා ඇඟට දැනෙන වේගයක්, කැළඹිල්ලක්.

      සමහර වේලාවට බුද්ධිමය විචාරය හරියන්නේ නැහැ වගේ පේන්නේ ඒ සිද්ධිය ගැන කළින් බුද්ධිමය විචාරයක් නොකර තිබීමෙන්. ඒත් මතකය අයිති මිනිස් මොළයට අනාගතයේ දී නැවත එවැනි තත්වයක දී බුද්ධිමය විචාරය පාවිච්චියට ගන්නට හැකි නම් නොකළ යුතු ද? ඒ කියන්නේ ඒ සිද්ධිය හෝ ඒ හා සමාන සිද්ධියක් නැවත ඇති වූ අවස්ථාවක බුද්ධිමය විචාරයක් කර තිබීමෙන් ආවේග හසුරුවා ගන්නට හැකියාව තිබීම පැහැර හැරිය යුතු ද?

      ඔව්, phobia තත්වයන් තමයි මටත් පේන විදියට. ජීවිතයට ලොකු පාඩුවක් නැහැ ඒවායේ යන්නට phobia තිබුණාට!!!

  4. NH said, on නොවැම්බර් 11, 2011 at 9:56 ප.ව.

    Aruni akke….,
    mama nam aaasama roller coaster wala yannama thama.. hemihita hemihita golu bellek wage udatama gihin hariyatama siras athata pahalata enakota enne papuwa athe thiyan.. 🙂 ee hageema kawadawat wena dekin ganna ba,., ekata mama nam patta asai,e mohothe danena peedanaya adu kara ganna thama puluwan uparimayen ka gahanne…
    dawasaka Bungee jump karannath asai,eth thama welawak labune na ekata,, ewa jiwithe widiya yuthu dewal kiyala mata hithenawa
    (NH)

    • arunishapiro said, on නොවැම්බර් 13, 2011 at 9:31 පෙ.ව.

      NH,

      ඔයා ආස වෙයි අබුඩාබියේ Yas Island පටන් ගත්ත Ferrari World දැනට ලෝකයේ තියන වේගවත් ම රෝල කෝස්ටර් රයිඩ්ස් වලට. ෆෝර්මියුලා 1 මෝටර් රේස් ධාවන ශූරී පිලීපේ මාසා ඊයේ පෙරේදා ඒකක ගිහින් හොඳට ම බය වුනාලු.

      ජීවිතේ විඳිය යුතු දේවල් මොනවා ද කියා තීරණය කළ යුත්තේ තමන් විසින්. ඔයා ඉන් උද්දාම වූ නිසා තවකෙකු ද උද්දාම විය යුතු යැයි සිතීම වැරදියි. ඒ වගේම ඔයා අකමැති නිසා අනිත් අයත් අකමැති විය යුතු යැයි සිතීමත් වැරදියි. ඒ එක්කම ජීවිතේ ගෙවද්දී යම් අත්හැර ගත යුතු යැයි සිතන බියකින් ගැලවෙන්න උවමනාවක් ඇත්නම් එයින් ද ගැලවීමට අයෙකුට අවස්ථාව දිය යුතුයි.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: