අරුණි ශපීරෝ‍ වෙතින්

සිරුරෙන් මොළයට කරන බලපෑම්

Posted in Uncategorized by arunishapiro on නොවැම්බර් 11, 2011

කුකුලා ද බිත්තරය ද මුලින් ආවේ කියන අන්තෝජටාව නෙමෙයි මේක. පැහැදිලිව ම මොළ ස්කෑන් වලින් සොයා ඔප්පු කරගත් දෙයක් තමයි සිද්ධියක් ඉදිරියේ දී ආවේගයක් හටගන්න කළින් මොළයේ සිතුවිල්ලක් පහළ වෙන බව. එනම්, සිද්ධිය —-> සිතුවිල්ල —–> ආවේගය. පුහුණුවකින් හැදියාව වෙනස් කරගන්නා අයට සිද්ධිය ඉදිරියේ ඇතිවන සිතුවිල්ල වෙනස් කර ගැනීමෙන් ආවේගය වෙනතක හසුරුවා ගන්න පුළුවන්.

ආවේග නිසා ලැබෙන වාසි/හානි මොනවා ද?

සිනිඩේන් සිඩේන් වගේ අපි හැමෝම ලෝක තරඟ පිටියක තත්පරයකින් ඉතිහාසය වෙනස් කරන්න සමත් වෙන අය නෙවෙයි වුනත්, සිතුවිල්ලකින් උපදවන ආවේගයකින් අපේ මොළයේ රසායනික ක්‍රියාවලියකින් අපට වාසි/හානි ලබා ගන්න හැකියාවක් තියෙනවා. විද්‍යාත්මක පර්යේෂණ වලින් අළුතින් විමසන අංශයක් වුනාට ඉපැරණි ආගම් වලින්, පෙර අපර දෙදිග ජීවත් වූ දාර්ශනිකයන් විසින් අතීතයේ සිට විමසන ලද්දක්.

“ක්‍රියාවක් හැම විට ම සතුටක් ලබා නොදෙනවා විය හැකිය, එහෙත් ක්‍රියාවක් නැති තැන සතුටක් ද නැත.” -බෙන්ජමින් ඩිසාරෙලි
Action may not always bring happiness, but there is no happiness without action –Benjamin Disraeli

“තමන්ට සේ අසල්වැසියාටත් ප්‍රේම කරන්න: මම දෙවියන්වහන්සේ වෙමි.”
“Love your neighbor as yourself: I am the LORD.”(Leviticus 19:18 —NJPS)

“අනුන් කළොත් වරදක් යැයි කියන දේවල් ඔබත් නොකර සිටින්න.” -තේල්ස්
“Avoid doing what you would blame others for doing.” -Thales

“දිසෝ දිසං යං තං කයිරා, වේරී වා පන වේරීනං; මිච්ඡාපණිහිතං චිත්තං, පාපියෝ නං තතෝ කරේ” සොරෙක් සොරෙකුට යම් විපතක් කරයි ද වෛරී පුද්ගලයෙක් වෙනත් වෛරී පුද්ගලයෙකුට යම් විපතක් කරයි ද ඊටත් වඩා වැඩි විපතක් තමාගේ වරදවා පිහිටුවන ලද (අකුසල්) සිත තමාට ම කරනු ලබයි. -ධම්මපදය

“ඔබට උවමනා යැයි සොයා යන දෙය, එය මිනිස් සංහතිය වෙනුවෙන් ද සොයන්න.”
“That which you want for yourself, seek for mankind.”( [English Title: Conversations of Muhammad] Wattles (192) Rost (100) Donaldson Dwight M. 1963. Studies in Muslim Ethics, p.82. London: S.P.C.K)

ඉහත අදහස් වැරදියට වටහා ගෙන පාවිච්චි කරන අයට වෙන දේ ඉදිරි සටහන් වල ලියන්නම්!!! ඒත් ඊට කළින් මිනිස් මොළයට මිනිස් සිරුර නිසා ඇති බලපෑම් හතරක් ගැන කියන්නත් ඕනා.

සිතුවිල්ලකින් උපදින ආවේගයන්ට ශාරීරික වූ උත්ප්‍රේකයන් (catalyst) හතරකි.

1. ජානු වලින් දායාද වී ඇති කොටස. මේවා අපිට වෙනස් කරන්නට පුළුවන්කම නුදුරු දවසක ලැබුණත්, එය වෙනස් කළ යුතු දැයි ගැටළුවකි.

2. අනුභව කරන ආහාර නිසා ශරීරයට ඇතුල් වන රසායන වලින් ආවේග උත්පාදනය කිරීම. කෑම වලින් උපදවන ආවේගාත්මක ප්‍රතිචාරයන් දැන ගැනීමෙන් කෑම රස විඳමින් ම බුද්ධියෙන් ආවේග හසුරුවා ගත හැකි ද?

3. ආවේගයන්හි දැඩි බව තීරණය කරන ශරීරයේ තිබෙනා වූ හෝර්මෝන මට්ටම්. මෙතැන දී නම් පළමුව ආවේ කුකුලා ද බිත්තරය ද යන අන්තෝජටාවේ විද්‍යාව පැටලී සිටිනවා දැකිය හැකිය. එනම්, නියුරෝටාන්ස්මිටර් මට්ටම් පාලනය කරන්නේ හෝර්මෝන ද නැත්නම් එහි අනිත් පැත්ත සිද්ධ වෙනවා ද? කෙසේ වුවත් හෝර්මෝන මට්ටම් කෙළින් ම ආවේගාත්මක ප්‍රතිචාර සඳහා බලපාන බව සත්‍යයකි. උදාහරණයක්: මොළයේ වම් පැත්තේ ක්‍රියා සඳහා එස්ට්‍රෝජන් මට්ටම් කෙළින් ම බලපෑම.

4. ඉහළ දිස්වන ශරීරයේ ඇති ඔරලෝසුව නොහොත් circadian rhythm පින්තූරය හැදුවේ මේ සබැඳියෙන්. එය සතුටු කරන අන්දම අනුව අපේ හෝර්මෝන සහ නියුරෝට්‍රාන්ස්මිටර් මට්ටම් වෙනස් කරගත හැකියාවෙන් අපේ ආවේගාත්මක ප්‍රතිචාරයන් හසුරුවා ගත හැකිවීම. නින්ද නොලැබි දිනයක, ජෙට්ලැග් හෝ ඇඟේ උෂ්ණත්වය අඩු කාලයේ දී එනම් උදේ පාන්දර සහ සවස් කාලයේ 3 -5 ත් අතර කාලයේ දී, සුළු දෙයකින් තරහ යන්නටත්, සුළු දෙයකින් වුනත් අඬන්න හිතීම, වැඩියෙන් හිනා යෑමත් දකින්න පුළුවන්.

ආවේගාත්මක ප්‍රතිචාර යහපත් ආකාරයෙන් හසුරුවා ගන්නට වඩාත්ම කාර්යක්ෂම ක්‍රමය තමයි නිසි ශාරීරික තත්වයක සිටීම. කන බොන ආහාර පාන සිරුරට හිතකර සේ පාවිච්චිය. මොළයට ඔක්සිජන් ලැබෙන, සිරුරේ රුධිර ධාවනයට හිතකර වන areobic ව්‍යායාම කිරීම. නිසි නින්දක් ලබා ගැනීම. කාංසාව අඩු කරගන්නට වෙහෙසීම.

තර්ජනයක් හෝ වාසියක් ඇති සිද්ධියක් ඉදිරියේ මොළය සාමාන්‍යයෙන් දුවන මාර්ග හතරක් මෙසේය:
1. වදනින් පමණක් ප්‍රතිචාර දැක්වීම. සිතේ පළිගැනීමට කැමති සිතුවිලි බිහි වූවත් එයින් ශාරීරික වූ උද්වේගයක් හට නොගැනීම. මෙය සිද්ධ වන්නේ මොළයේ වම් පැත්තේ ප්‍රතිචාරයකිනි.

2. වදන් නැති ප්‍රතිචාර දැක්වීම. නොසන්සුන් බවක් දැනුනත් ඒ ඇයි කියා නොදැනීම. සිද්ධිය නිසා ආවේගයක් හටගත්තා යැයි නොදැන, ආවේගය කුමක් දැයි පවා නොදැන, නොසන්සුන් බව උණ හැදෙන්න එනවා වැනි වෙනත් දෙයක් යැයි සිතීම. මෙය සිද්ධ වන්නේ මොළයේ දකුණු පැත්තේ ප්‍රතිචාරයකිනි.

3. වදන් ඇති හා වදන් නැති ප්‍රතිචාර දැක්වීම. මෙය මොළයේ වම් පැත්තේ සිහි බුද්ධියෙන් බලා කරන අධි මානසික ප්‍රතිචාරයක් සමඟ මොළයේ දකුණු පැත්තේ කරන අධි ශාරීරික ප්‍රතිචාරයක් වෙයි. උදාහරණයක්: “මට තරහ ඇවිත්, ඒකට මම ඉඩ දුන්නොත් මට පාඩුයි.”

4. වදන් නැති, වදන් නැත්තේ ද නැති, ප්‍රතිචාර දැක්වීම. පුද්ගලයා සිද්ධිය තම ඉලක්ක වලට හා අගැයුම් වලට තර්ජනයක් ද, වාසිදායක ද, දෙකම නොවන ආකාරයකින් දැකීම. ඒ නිසා බුද්ධිමය වූ (cognitive) හෝ ශාරීරික වූ (somatic) බලපෑමක් සිද්ධ නොවීම.

බයිපෝලර් විෂාදයෙන් පෙළුන ප්‍රකට සාහිත්‍ය රචකයෙක් වන ග්‍රැහැම් ග්‍රීන් මෙසේ කියයි.
“ද්වේෂය නම් කල්පනා ශක්තියක් නැති වීමයි.”
“Hate is a lack of imagination.” ― Graham Greene, The Power and the Glory (1940)

එසේම ඔහු මෙසේත් කියයි: “උද්ධෘත පාඨයන් කැමැත්තෝ අර්ථ රහිත සාමාන්‍යකරණයන්ට කැමත්තෝ ය.”
“People who like quotes love meaningless generalizations.” ― Graham Greene

“මගේ අදහස් වඩා සාර්ථකව කියන්න මම අනුන්ගේ කියමන් යොදා ගනිමි.”
“I quote others only in order the better to express myself.” –Michel de Montaigne

“මම නිතරම මගේ උද්ධෘත පාඨයන් භාවිතයට ගනිමි. එය මගේ කතාබහ රසවත් කරයි.”
“I often quote myself. It adds spice to my conversation.” –George Bernard Shaw

මිනිසා කොතරම් අපූර්ව ද?!!!

Advertisements

9 Responses

Subscribe to comments with RSS.

  1. dayal-bathee said, on නොවැම්බර් 11, 2011 at 5:08 ප.ව.

    මම ‘කට පාඩම් බෞද්ධයෙක් නොවේ’ එමෙන්ම මා තුල අනෙක් ආගම් වලටද ඇත්තේ සමාන ගෞරවයක්.

    ඉතින්,

    ශීලය යනු කුමක්ද කියා හැඟෙන්නේ දැන්ය.
    භාවනාව කුමක්ද කියා හිතාගන්න පුලුවන්ද දැන්ය
    teenage වයසේ කෙනෙකුට බ්‍රහමචාරී ගුණ අවබෝධ වේද?
    දිනපතා හරක් මස් අනුභව කරන්නෙකුට දවසට පස් වතාවක් යාඥා කිරීමට අවශ්‍ය බව හැඟෙන්නේ දැන්ය.

    ඉතින් ඔබ කිවු කායික සංවරය එනම් ශීලය අවැසියි මනසෙන් හරියට වැඩගන්න ඕනෑනම්.

  2. මැණික් said, on නොවැම්බර් 11, 2011 at 6:38 ප.ව.

    වටිනා සටහනක්. හියල්ලට සිත ප්‍රධානයි කියන එකට විද්‍යාත්මක හේතු දැක්වීමක් වගෙයි මට පෙනුනේ. මනස ක්‍රියා කරන ආකාරය තේරුම් ගැනීමයි වඩා වැදගත් කියල මට හිතෙන්නේ. ඒක තේරුම් යනකොට කායික සංවරය ඉබේම ඇති වෙනවා. එහෙම නේද?
    මැණික්

    • arunishapiro said, on නොවැම්බර් 13, 2011 at 9:14 පෙ.ව.

      මැණික්,

      මනස ක්‍රියා කරන ආකාරය තේරුම් ගත්ත ද එත් ඉබේම කායික සංවරය ඇති වෙන්නේ නැහැ. ඊට උවමනාවක් හා උත්සාහයක් ගන්න ඕන. දෙයියෝ නැහැයි කියල යථාර්ථවාදීව දේශනා කරන්න පුළුවන් අය දෙයියොන්ට වැඳලා යමක් පැතීම දකින්න පුළුවන්. එයා තම යථාර්ථවාදී වූ වැටහීමත්, තමන් ඉල්ලා සිටීමත් අතර වෙනසක් දකින්නෙ නැති අයෙක්. මත්පැන් බීමේ ආදීනව දේශනා කරන අය මත්පැන් පානය කරනවා දකින්න පුළුවන් ද ඒ නිසා. යමක් වැඩ කරන හැටි දැනගත්තට මදි ඒකෙන් වැඩ ගත්තෙ නැත්නම්. දැන සිටීම හා භාවිතය අතර වෙනස මහත්.

  3. NotAFool said, on නොවැම්බර් 11, 2011 at 6:43 ප.ව.

    විද්‍යාව ගැන කතා කරන ගමන් බුදු දහම ගැන කතා කරන්නේ ඇයි? එතකොට අරුණි පුනර්භවය කර්මය විශ්වාස කරනවද?

    • arunishapiro said, on නොවැම්බර් 13, 2011 at 9:16 පෙ.ව.

      NotAFool,

      මම විශ්වාස කරන දේවල් ගැන දැන ගැනීමෙන් මට ඇරෙන්න වෙන කාටවත් වැඩක් නැහැ. මේ සටහන් කියවන්න කැමති අයෙකුට දැන ගැනීම පිණිස ලියද්දී ඒවා පිළිගන්න හෝ විශ්වාස කරන්න යැයි ලියා නැහැනෙ!

      • NotAFool said, on නොවැම්බර් 13, 2011 at 5:52 ප.ව.

        අනේ අනේ අරුණි.. උගුරට හොරා බෙහෙත් බොන්න හදනවා වගේ නේද.. මේ වගේ “සටහන්” පලකරාම ඒවා කියවන අය ඔයා නොකිව්වත් ඒ දේවල් විශ්වාස කරනවා. මහා ලොකුවට ප්‍රශ්න වලට මුහුණ දෙන හැටි කිව්වට ඔයත් කරන්න හදන්නේ ප්‍රශ්න වලින් පැනල යන එක නේද..?පුනර්භවය කර්මය කියන දේවල් ඔයා කතා කරන ක්ෂේශ්ත්‍රයට ඍජුවම සම්බනන්ධ කාරණා.ඉතින් ඔයාගේ වගකීමක් ඒ දේවල් ගැන ඔයාගේ අදහස පැහැදිලි කරන එක. හොඳ ටීචර්ලා™ නම් එහෙමයි.

  4. chandi said, on නොවැම්බර් 12, 2011 at 6:12 පෙ.ව.

    මිනිස් සිතේ බලපෑම හරිම අපූරුයි. අපි බවය සකස් කරන්නේ හරිම පුදුම විදිහට. කවුරුත් තරහා වෙන්න එපා මේ පැහැදිලි කිරීමට. කෙනෙක් කියනවා රූපය දිරනවා නාමය පවතිනවා කියල. මෙහෙම කීවට අපි පැහැදිලිව දන්නවා පටිච්ච සමුප්පාදය නිසාම ඒ කියන්නෙ හේතුවක් නිසාම බවය සකස් වෙන බව. හේතූන් නිසා ඇතිවන ඵල හේතූන් නැතිවී යාමෙන්ම නැතිවී යනවා. හේතු නැති කිරීමෙන් ජරා මරණ නැතිවෙනවා. ඒ කියන්නෙ, අණ්ඩජ , ජලාබුජ, සංසේදජ , ඕපපාතික යන ආකාර හතරේම ඉපදීම නැති කිරීමෙන් ජරා මරණ නැතිවීම සිදුවේ. ඉපදීම නැතිවන්නේ, කාම – රූප – අරූප යන ධාතූ වල විපාක විදීම පිනිස කර්ම සකස් කිරීම නැතිවූ විටය. එනම් කාම, රූප, අරූප යන බව නැතිවීමයි. බව නැතිවීම නම් උපාදාන හෙවත් බැඳීයාම නිරුද්ධ වීමයි. උපාදාන නැතිවන්නේ ආශාව නැතිවීමෙන්. ආශාව නැතිවන්නේ ඇසේ ස්පර්ශයෙන් හට ගන්නා විඳීම , කණේ ස්පර්ශයෙන් හටගන්නා විඳීම, නාසයේ ස්පර්ශයෙන් හට ගන්නා විඳීම, දිවේ ස්පර්ශයෙන් හටගන්නා විඳීම, කයේ ස්පර්ශයෙන් හටගන්නා විඳීම හා මනසේ ස්පර්ශයෙන් හටගන්නා විඳීම නැතිකල විටයි. එනම් විඳීම් නැතිවන්නේ ඇසේ ස්පර්ශය , කනේ ස්පර්ශය , නසයේ ස්පර්ශය, කයේ ස්පර්ශය, මනසේ ස්පර්ශය නැතිවූ විට විඳීම් නිරුද්ධ වේ. ස්පර්ශය නැතිවන්නේ ඇස, කණ, නාසය, දිව, කය, මනස යන ආයතන හය නැතිවූ විටයි. ආයතන හය නිරුද්ධ වන්නේ නාම රූප නිරුද්ධ වීමෙනි. නාම රූප නැතිවන්නේ ඇසේ විඤ්ඤාණය, කණේ විඤ්ඤාණය, නාසයේ විඤ්ඤාණය, දිවේ විඤ්ඤාණය, කයේ විඤ්ඤාණය, මනසේ විඤ්ඤාණය නැති විටයි. මෙතනදී පැහැදිළියි නාම රූප දෙකම එකටම ගමන් කරන බව. ඒ කියන්නෙ ආයතන හයම එකටම ගමන් කරනවා. විඤ්ඤාණය නිරුද්ධ වන්නේ, ආශ්වාස -ප්රයශ්වාස නම් වූ කාය සංස්කාරත් ,විතර්ක – විචාර නම්වූ වචී සංස්කාරත්, සඤ්ඤා -වේදනා නම්වූ චිත්ත සංස්කාරත් නිරුද්ධ වීමෙනි. සංස්කාර නිරුද්ධ වෙනවා කියන්නේ චතුරාර්ය සත්යාවබෝධ නොවීම නම්වූ අවිද්යාංව නැතිකල යුතු බවයි. එතකොට අවිද්යාරව නැතිවන්නේ චතුරාර්ය සත්යාූවබෝධය පරිපූර්ණ වශයෙන්ම ඇතිවූ විටයි. එනම් විද්යාවවේ පහළවීමයි. ඒ කියන්නෙ අවිද්යාාවේ දුරුවීමයි. විද්යායව ඇති තැන තණ්හාව නැත. තණ්හාවෙන් නිදහස් වූ විට විමුක්තියයි. විද්යාමවත්, විමුක්තියත් සාක්ෂාත් වීම සියලු දුකෙන් නිදහස් වීමයි. මේ මාර්ගය සම්යික් මාර්ගයයි. මේකට තමයි දහම් ඇස පහල වීම කියන්නෙ. පැහැදිළිවම මේ විදිහට සිරුරත් මොළයත් එකට සම්බනධව කිරියාකරන බව පෙනෙනවා.

  5. dawkinssdodo said, on නොවැම්බර් 15, 2011 at 8:36 පෙ.ව.

    ආගම් ගාව ගන්නෙ නැතුව මේ දේවල් කතා කරන කම් පාඨකයන්ට අනතුරක් නැත

    • arunishapiro said, on නොවැම්බර් 15, 2011 at 8:46 පෙ.ව.

      dawkinssdodo,

      ආගම පතුරවා හරින නායකයන් සහ ආගම හදාරන ඒකීය පුද්ගලයන් අල්ලා තමන්ගේ කරගත්තා වූ “ආගම” නිසා, ඔවුන්ගේ ඒ මතය නොව ඒ ආගමම අදහන අයගේ මේ මතය විමසීම පවා ‘පව්කාර’ වෙන නිසා …. අපිට ආගම් ගැන කතා කරන්න පුළුවන් තරමට මොළය පරිනාම වෙලා දැයි සැකයි!!!


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: