අරුණි ශපීරෝ‍ වෙතින්

ඔබ සංවේදී ද? මෙන්න විභාගයක්

Posted in Uncategorized by arunishapiro on නොවැම්බර් 12, 2011

මොළයේ ධනාත්මක ආවේග සිරුරක නිරෝගී බව රකින්නට උපකාරී වෙයි. ජීවිතය ගැන තෘප්තියක් ඇති කරයි. ධනාත්මක ආවේග උපදවන සිද්ධි වැඩියෙන් නැත්නම්, අයෙකුට තම ඉලක්ක වෙනස් කර සිද්ධි ඇති කරගත හැකිය. පරිසරය වෙනස් කරගත හැකිය. සිද්ධියක් තම සිතුවිලි වලින් පරිවර්තනය කරන ආකාරය වෙනස් කරගත හැකිය.

ක්‍රෝධයෙන් අල්ලා ගන්නා සිතුවිල්ලක් නිසා එය අල්ලා ගෙන සිටිය දී සහ එය පිටකර හරිනා විට දෙකෙන් ම හෘදයට වන්නේ පාඩුවකි. (Effects of Anger on Left Ventricular Ejection in Coronary Artery Disease, G. L. Ironson et al, American Journal of Cardiology, 1992 August) එයින් පුද්ගලයාගේ ප්‍රතිශක්ති (immune) පද්ධතියට ද බලපෑම් එල්ල වේ. ක්‍රෝධය පිට කරන රහස නම් එය සංසුන්ව, වියරුවෙන් තොරව වහාම පිට කරන්නට පුහුණු වීමෙනි.

යේල් විශ්ව විද්‍යාලයේ Peter Salovey සහ නිව් හැම්ප්ශර් විශ්ව විද්‍යාලයේ John Mayer දෙදෙනා පෙන්වා දෙන්නේ, තමන්ගේ ආවේග වඩා නිවැරදිව හා වඩා ඉක්මණින් හඳුනා ගත හැකියාව ඇත්තාට ඊට නිසි ප්‍රතිචාර දැක්වීමටත් ඒවා වඩාත් හොඳින් අනිත් අය හා බෙදා ගන්නටත් හැකියාව ලැබෙන බවයි. ඒ ගැන තවත් ඉගෙනීමට කැමැති අයට සුදුසු පොතක් නම් Daniel Goleman ලියූ Emotional Intelligence (1995) ය.

ඉලක්කයට තර්ජනයක් යැයි සිතුවිල්ලක් නැඟෙන සිද්ධියක දී කටයුතු කරන ආකාරය යේල් විශ්ව විද්‍යාලීය මනෝවිද්‍යාඥයන් පිරිසක් මෙසේ අගැයුම් කරන්න යැයි කියති.
රතු එළිය: නවතින්න. ආවේගය හඳුනාගන්න.
කහ එළිය: ආවේගය ඇති කළ සිද්ධියෙන් තමන් අල්ලා ගන්නා සිතුවිල්ල හැර වෙනත් විකල්ප අදහසක් තිබේදැයි සලකන්න. තමාට කළ හැකි විකල්ප ක්‍රියාවන් සලකා බලන්න.
කොළ එළිය: තමන්ට වඩාත් ම තෘප්තිය (ධනාත්මක!!!) දෙන ක්‍රියාව තෝරා ගෙන එය කරන්න.

සිද්ධියක් ඉදිරියේ දී සිතුවිලි තුලින් මූලික වශයෙන් දුක/සතුට යනුවෙන් අගැයුම් දෙකකින් ද, විපරම් බවින් සිටිනා/නිදිමතෙන් සිටිනා යනුවෙන් අවදි මට්ටම් දෙකකින් ද ආවේග බිහිවෙයි. ඉහත ඇති circumplex model පහදන්නේ එයයි. විවිධ අධ්‍යයන වලින් සොයාගත් මිනිස් සිතක ඇතිවිය හැකි ආවේග විස්තර කරන ඉංග්‍රීසි වචන 500 සිට දහසකට වඩා ඇත.

එදිනෙදා ජීවිතයේ දී මුහුණ පාන සිද්ධි වල දී ආවේග හසුරුවා ගන්නට කැමති අයට ඉහත රතු-කහ-කොළ වෑයමට සමාන අදහස්/යෝජනා කිහිපයක් Bruce Arnow ඉදිරිපත් කරන්නේ මෙසේය. මේවා යෝජනා නිසා මේවා වෙනුවට තමන් කැමති, තමන්ට වඩා ඵලදායක වූ ධනාත්මක ක්‍රියාවක් සොයා ගත හැකිය.

ආවේගය: කෝපය
කාර්යය: කෝපය පිට කර හැරීම
යෝජනා: සුද්ද පවිත්‍ර කිරීම වැනි ඵලදායක සිරුර වෙහෙසන්නක්; සුරතල් සතෙක් හා සෙල්ලම; ව්‍යායාම කිරීම; හයියෙන් සිංදුවක් ගායනය; හඬ වැඩි කරගෙන සිංදුවක් ඇසීම හෝ ඊට නැටීම. (අයිපොඩ් අලෙවිය වැඩි මේ නිසා ද දන්නෑ!!)

ආවේගය: ඉච්ඡාභංගත්වය
කාර්යය: බලාපොරොත්තු කඩවීමෙන් ඇති වූ පරාජිත හැඟීම ඉවත් කිරීම
යෝජනා: ඔබ ලබාගත් ජයග්‍රහණයන් ලැයිස්තුවක් හැදීම; එදින කළ යුතු දෑ ලැයිස්තුවක් හදා එකින් එක කිරීම; සාදයක් දැමීම; යහළු මිත්‍රාදීන් වෙතින් ලැබි ධනාත්මක ලිපියක් කියැවීම; පිට කෙනෙකුට උදව්වක් කිරීම.

ආවේගය: සාංකාව
කාර්යය: කරදරකාරී සිතෙන් ගැලවීම
යෝජනා: Herbert Benson ගේ relaxation response පුහුණු වීම; පරණ යාළුවෙක්ට කතා කිරීම; වූල් ගෙතීම හෝ වල් පැළෑටි ගැලවීම වැනි නැවත නැවත කරන ක්‍රියාවක නිරත වීම; ප්‍රියතම ගත්කරුවෙකුගේ පොතක් කියවීම; රසවත් විකට වැඩ සටහනක් නැරඹීම; යහළු යෙහෙළියකට ලිපියක් ලිවීම; (බ්ලොග් සටහනක් දැමීමටත් පුළුවන්!!!)

ආවේගය: දුක
කාර්යය: නැවත ධනාත්මක බවක් හා උත්තේජනයක් (enthusiasm) වඩවා ගැනීම.
යෝජනා: ව්‍යායාම කිරීම; දුකට හේතු පාදක වූ දැය ගැන ලිවීම, ඒ අය බලන්නට යෑම, ඒ ගැන සමරන්නට දැයක් කිරීම; යමක් පැල කිරීම හෝ මල් කළඹක් ලස්සනට හැදීම; ස්වභාව ධර්මයේ ලස්සන සොයා යෑම; රොමැන්තික වූ චිත්‍රපටියක් නැරඹීම; එවැනි සිංදු ඇසීම; තමන්ට වඩා දුකක් විඳි අයෙක් ගැන කියැවීම; (ඒ වගේ ම දුමීගේ කට කහන කතාවක් කියවන්නත් පුළුවන්!!!)

ආවේගය: කම්මැලිකම නැත්නම් හුදකලා ගතිය
කාර්යය: ඇසුරු කරන්නට අයෙක් සොයා ගැනීම
යෝජනා: චිත්‍රපටියක් ගෙනැවිත් මිතුරු මිතුරියන් එකතු කරගෙන නැරඹීම; තමන් කැමති සමාජ සේවයකට එකතු වීම; අළුතින් යමක් ඉගෙන ගන්නට පංතියකට යෑම; ඉස්පිරිතාලයක හෝ අනාථ නිවාස වල හුදකලා වී සිටිනා අය බැහැ දකින්නට යාම; පංසලේ හෝ පල්ලියේ ආගමික කටයුත්තකට දායක වීම; (පොඩි කුමාරිහාමිගේ වලව්වට ගොඩවෙන්නත් පුළුවන්!!!)

නැවතත්, මේවා යෝජනාවල් විතරයි. තමන්ට ගැලපෙන කටයුත්තක් සොයා ගැනීම තමන් විසින් කළ යුතුයි. මතකනේ, බෙන්ජමින් ඩිසාරෙලි කියපු උද්ධෘත පාඨය: “ක්‍රියාවක් හැම විට ම සතුටක් ලබා නොදෙනවා විය හැකිය, එහෙත් ක්‍රියාවක් නැති තැන සතුටක් ද නැත.”

බර්ක්ලේ විශ්ව විද්‍යාලයෙන් ඉදිරිපත් කරන ඔබ කොතරම් සංවේදී අයෙක් දැයි, ඔබට මුහුණක් දිහා බලා ඒ අයගේ ආවේග ගැන ඇති බුද්ධිය කොතරම් දැයි සොයා ගන්නා විභාගය මෙතැනින් ගන්න.

Advertisements

16 Responses

Subscribe to comments with RSS.

  1. ෴සොඳුරු සිත෴ said, on නොවැම්බර් 12, 2011 at 9:17 පෙ.ව.

    විභාගේ කරලම එන්නම්……….

    සාංකාවට , දුකට , හැමඑකකටම බ්ලොග් පෝස්ට් එකක් ලියන එක වැරදි නැහැ කියල දැන් තේරෙනවා.

  2. kathandarakaraya said, on නොවැම්බර් 12, 2011 at 9:22 පෙ.ව.

    මං කලින් දවසක කියූ ගැඹුරට හුස්ම ගැනීම මේ ලයිස්තුවල නෑ නේද?

    මං දැක ඇති තවත් ක්‍රමයක් නං කඩදාසි බෑගයකට හුස්ම ගැනීම සහ පිට කිරීමයි. ඒ කියන්නේ CO2 භාවිතය.

  3. kathandarakaraya said, on නොවැම්බර් 12, 2011 at 9:23 පෙ.ව.

    දෙකක් දාගෙන හොඳින් නිදා ගැනීමද හොඳම ක්‍රමයකි.

  4. kathandarakaraya said, on නොවැම්බර් 12, 2011 at 9:28 පෙ.ව.

    අයියෝ මට 20 න් 12 යි ආවේ!

    • NotAFool said, on නොවැම්බර් 13, 2011 at 5:21 පෙ.ව.

      Your Score: 14/20

      Not bad. Your score means you’re slightly better than the average at reading expressions. And research suggests that people can improve their emotion recognition skills with practice. So keep an eye out for our forthcoming empathy training tool, designed to boost your emotional intelligence. Sign up for our e-newsletter for updates on it.

  5. ෴සොඳුරු සිත෴ said, on නොවැම්බර් 12, 2011 at 9:28 පෙ.ව.

    Your Score: 14/20 😦

  6. pandukabaya said, on නොවැම්බර් 12, 2011 at 10:19 පෙ.ව.

    Your Score: 9/20

  7. chandi said, on නොවැම්බර් 12, 2011 at 11:11 පෙ.ව.

    My Score: 13/20 මගෙ හැකියාව දුර්වලයි. බ්ලොග් එක ලියන එකත් සැනසීමක් නේ.

  8. Isuru said, on නොවැම්බර් 12, 2011 at 3:21 ප.ව.

    Your Score: 14/20 🙂

  9. අමා said, on නොවැම්බර් 12, 2011 at 11:46 ප.ව.

    හා දැනට මට තමයි දැනට වැඩිම ! මට 15/20 යි. 😀
    සාමාන්‍යෙන් මට අනිත් අයව කියවන්න පුළුවන්. ඒත් මට පෙනෙන සත්‍යය තව කෙනෙක්ට ඒත්තු ගන්වන්න අමාරුයි. උදාහරනෙකට කිව්වොත්, යාලුවෙක් බොරු කියද්දී මට ඒක තේරුනත්, ඒක අනිත් යාලුවොන්ට ඒත්තු ගන්වන්න අමාරුයි.
    ප.ලි – නිරවද්‍යතාව උපරිම කරගන්න නම් අර උත්තරේ දීල තියෙන පැහැදිලි කිරීම කියවන්නේ නැතුව ඉන්න ඕන.

  10. Chanaka Aruna Munasinghe said, on නොවැම්බර් 13, 2011 at 12:14 ප.ව.

    ළකුණු 12යි ටීචර් . මම නරක ළමයෙක්ද ?

    • arunishapiro said, on නොවැම්බර් 13, 2011 at 12:40 ප.ව.

      Chanaka Aruna Munasinghe,

      නැහැ කිසි සේත්ම නරක ළමයෙක් නෙමෙයි … ස්වභාවිකව පිහිටා නැත්නම්, ඒ වගේම පුද්ගලයාට අවශ්‍යතාවයක් ඇත්නම් මෙය වර්ධනය කරගන්න හැකියාව ඇති වූවක්.

      සංවේදී බවින් අනුන්ගේ ආවේග හඳුනා ගැනීමෙන් වැඩියෙන් ඵල ලබාගන්න හැකියාවක් තිබීම හෝ නොතිබීම බලපාන්නේ තවත් සාධක බොහොමයක් අනුව. කා එක්ක වත් වැඩි සමාජ ආශ්‍රයක් නැතිව වැඩ කරන අයෙකුට සංවේදී බුද්ධියක් වඩවා ගැනීමෙන් ඇති වාසි අඩුයි. ඒ වගේම සමාජ ආශ්‍රය නැතිවම බැරි රැකියාවක යෙදෙන අයෙකුට සංවේදී බුද්ධියක් නැතිකම නිසා ඉහළට යා ගන්නත් අපහසුයි.

      වැඩි සමාජ ආශ්‍රයක් නැතිව වුවත් නළු නිළියෙක් සේ රඟපෑම රැකියාවට කරනවා නම් ද මෙවැනි අවේග බුද්ධිය ගැන අධ්‍යයනයක් වැදගත් වෙනවා. ආවේග බුද්ධිය වැඩි වී යද්දී තමන්ගේ රඟපෑම නරඹන අය සමඟ තාත්වික බවකින් සමීප වෙන්නත් පුළුවන්.

  11. ලොකු පුතා said, on නොවැම්බර් 17, 2011 at 7:35 පෙ.ව.

    මම අද තමයි විභාගේ ගත්තේ, ලකුණු 13 ක් ලැබුණා.
    ඒත් සමහර මුණු වලින් පෙන්වපු හැගීම්වල අපිට නුහුරු ගතියක් තිබුනාදෝ කියලා මට හිතුනා.
    එහෙම තේරුනේ මම වැරදියට තෝරපු සමහර උත්තර වලට එයාල දීල තිබුණු උත්තරේ සහ ඒකට හේතු වෙච්ච කාරනා විග්‍රහය බලද්දී.
    ආසියාවේ මිනිස්සුන්ගේ සහ යුරෝපේ මිනිස්සුන්ගේ ඉරියව් දැක්වීම් වල සුළු සුළු වෙනස්කම් තියෙනවා නේද.

    • arunishapiro said, on නොවැම්බර් 17, 2011 at 9:39 පෙ.ව.

      ලොකු පුතා,

      හොඳ ප්‍රශ්නයක්, කවුරු හරි අහනකම් බලාගෙන හිටියෙ!!! මෙහෙම පැහැදිලි කරන්න උත්සාහයක් ගන්නම්. බොරුවක් කියද්දී කැටකොලැමින්ස් (catecholamines) රසායන නිකුත් කරනවා. එයින් නැහැයේ ඇති සියුම් පටල ඉදිමෙන්නට ගන්නවා. ඉදිමිල්ල නිසා ලේ ප්‍රවාහනය වැඩි වී ඉන් හටගන්නා රත්වීම එක්ක නැහැය නළියන්න ගන්නවා. නැහැය අල්ලන එක ඉබේම සිද්ධ වෙනවා. බිල් ක්ලින්ටන් මොනිකා ලුවින්ස්කි සම්බන්ධය ගැන උත්තර දෙද්දී කී වතාවක් නැහැය පිරිමැද්දා ද යන්න මේ ගැන පැහැදිලි කරන්න අද නීති විද්‍යාල වල පංතිවල පවා උගන්වන්නක්!!! හැබැයි එහෙම බව දන්නා අයට අමාරුවෙන් නැහැය කසන්නේ නැතිව බොරු කියා තමන්වත් අනුන්වත් රවටා ගන්නත් පුළුවන්!!! ඉතින් ඔයාගෙ ප්‍රශ්නයට. මේක ඇමෙරිකාවේ සකස් කරපු විභාගයක්. යුරෝපීයන් අතර හා ඇමෙරිකානුවන් අතර ද හැසිරීමේ වෙනස්කම් බොහොමයක්. ඒත් මේ අධ්‍යයනයේ දී ඉරියව් වෙනස් වීමට ඔවුන් සැලකිල්ලට ගන්නා ලද්දේ මොළයේ සිතුවිලි නිසා නොයෙකුත් රසායනික ක්‍රියාවන් වල ප්‍රතිචාර වලින් ඇතිවන වෙනස්කම්. යමක් හා එකඟ වෙන්න “හා කරන්නම්” කියන්න ආසියානුවා ඔළුව දෙපැත්තට වැනීමත් එය කියන්න යුරෝපීයා හෝ ඇමෙරිකානුවා හිස ඉහළ පහළ දැමීමත් වැනි වෙනසක් නෙමෙයි. ආවේගාත්මක හැසිරීම් වල දී කලාපීය වෙනස්කම් ඉතා අඩුයි.

      ඒත් සුළු සුළු වෙනස්කම් කලාපීය වශයෙන් ඇතැයි ද නැතැයි කියා ඒ ගැන ඉලක්ක කරගත් විමර්ශනයක් කර ඇත්දැයි මා දන්නේ නැහැ.

      ලෝකයේ නන් දෙසින් මේ විභාගය ගන්නා අය අද ඉන්න නිසා සමහර විට පර්යේෂකයන්ට යුරෝපීයේ, ආසියාවේ අයගේ ලකුණු දිහා බලා තම පර්යේෂණ සූක්ෂම කරන්නත් අවස්ථාව ලැබෙනවා.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: