අරුණි ශපීරෝ‍ වෙතින්

මොළයේ ආවේග සිතියම්

Posted in Uncategorized by arunishapiro on නොවැම්බර් 14, 2011

සංවේදී දැයි සොයන්නට විභාගය ගත් සියල්ලන්ට ම ස්තූතියි. තමන්ගේ ආවේග අවබෝධය අපහසු යැයි දකින්නට හැකියාව ඇති අයට අනුන්ගේ ආවේග අවබෝධය කොතරම් දුෂ්කර දැයි පෙනෙන්නට ඇත.

ආවේග ගැන පර්යේෂණ බොහොමයක් යොමු වූයේ චර්යාව ඉලක්ක කරගෙන. මොළයේ ඇතිවන රසායනික ක්‍රියා මඟින් ආවේග ගැන සොයන්නට පටන් ගැනෙන්නේ මෑතක දී. හැසිරෙන හැටියෙන් දැන ගන්නවාට වඩා ස්ථිර බවකින් මොළය නිකුත් කරන රසායන ආශ්‍රයෙන් ආවේග හඳුනා ගැනීමත් පහසු නැහැ.

1990 ගණන් මුල දී මොළ පර්යේෂකයන් ඒ ඒ මොළ පෙදෙස්වල නිකුත් කරන රසායන නිසා ආවේග කටයුතු කරන ආකාරය ගැන සිතියම් හදන්නට පටන් ගත්හ. කුමන මොළ පෙදෙසක කුමන ආවේගය ඇත්දැයි හඳුනා ගැනීමට උත්සුක වූ ඔවුන්ට බිය (fear) ඇත්තේ ඇමිග්ඩලාවේ (amygdala) බවත්, පිළිකුල (disgust) වඩාත් ම ඇතිවන්නේ basal ganglia හි බවත් සොයා ගන්නට හැකි විය. තවමත් මේ සොයාගැනීම් තිබෙන්නේ ප්‍රාථමික අවදියක ය. මිනිසාගේ විවිධ විෂම වූ අපූර්ව ස්වභාවය විද්‍යාවට මහත් අභියෝගයකි. උදාහරණයක් වශයෙන් ඇමිග්ඩලාවේ ‘කෝප කෙන්ද්‍රස්ථානය’ පිහිටියත් ඇමිග්ඩලාව සැත්කම් මඟින් ඉවත් කරන්නට සිද්ධ වූ අයගේ මොළ පර්යේෂණයන්ට ලක් කිරීමේ දී පෙනී ගියේ කෝපය නැති වී ගිය ද, ආහාර ගැනීමේ අමුතු රුචි ඇති වීම හා ලිංගික වූ චර්යා වෙනස්කම් ද ඇති වීම ය. හේතුව එක ආවේගයකට පමණක් එක ස්ථානයක් නියම වී නැති නිසාවෙනි.

මිනිසාට චර්යාවන් විගුණ (duplicate) කළ හැකියාව ඇති නිසා ආවේගයක් මොළයේ එක තැනකට සීමා කළ හැකියාවක් නැතිවීම ගැටළුවකි. තවත් ගැටළුවක් වූයේ මොළ දෙකක එකම පර්යේෂණය එකම නියත (precise) විදියට සිද්ධ කිරීමට ප්‍රායෝගික නොහැකියාවයි.

එහෙත් එදා බැරී බ්ලම්බර්ග් මෙන් වසර ගණනාවක් පුරා ගවේෂණයේ යෙදෙන්නට නොවී අද පරිගණකයට පිහිට වන්නට නොයෙකුත් සොයාගැනීම් ලොවට බිහිවීම වේගවත් වී යයි. සංවේදී බව මනින විභාගයක් අන්තර්ජාලයෙන් ලෝකයේ නන් දෙස ජීවත්වන හැදියාවන් විවිධ වූ පුද්ගලයන් වෙත යොමු කරන්නට හැකිය!!!

වසර 10 කට වඩා කාලයක් වැය කරමින් ඒඩ්ස් වැනි (retroviral infections) රෝග වලට උදව් කරන එන්සයිමයක් අධ්‍යයනය කරන පිරිසක් එහි හැඩය හදා ගන්නට නොහැකිව තක්බීරි වී සිටියහ. වොෂිංටන් විශ්ව විද්‍යාලය ගොඩනැඟූ Foldit නැමති පරිගණක ක්‍රීඩාවෙන් ඔවුන්ට ඒ සඳහා උදව් ලැබුනේ ‘විඩියෝ ගේමින්’ අයගෙනි. සත්‍ය ලෝකයේ එන්සයිමයේ වඩාත්ම නිශ්චිත වූ virtual model එක හදන්නට ඔවුන් ගේමින් කරනා අයට අභියෝග කළහ. සති තුනකින් විද්‍යාඥයන්ට දශකයට වඩා කාලයක් වැය කර හදාගත නොහැකි වූවක් හදා දෙන්නට ගේමින් අයට හැකියාව ලැබුණි.

අළුතින් සොයා ගන්නා තොරතුරු නිසා මිනිස් ජීවිත වඩාත් යහපත් කරන්නට හැකියාව ඇති බව නිශ්ප්‍රභා කළ නොහැකිය. ඉතින් මොළයේ ආවේග සිතියම් වලින් දැනට තහවුරු වී ඇති දේවල් කිහිපයක් මෙසේය:

සතුටු කේන්ද්‍රයක් ඇති බව.

වේදනා කේන්ද්‍රයක් ඇති බව.

ඉදිරියෙන් ඇති පෙදෙස් ආවේග දැක්වීමටත්, දකුණු පැත්තේ පිටුපස කොටස් ආවේග දැකීම හා සම්බන්ධ බව.

දුවනවා ද සටන් වදිනවා ද යන ප්‍රතිචාරය දක්වන තැන ඇත්තේ posterior hypothalamus හි ප්‍රබෝධයකින් බව.

සංසුන් වීමේ ප්‍රතිචාරය දක්වන තැන ඇත්තේ anterior hypothalamus හි ප්‍රබෝධයකින් බව.

මොළයේ ඇති parietal, temporal, occipital lobes වලට හානියක් සිද්ධ වූවාට ආවේග ක්‍රියාවලියට කිසිම ආකාරයකින් බාධාවක් සිද්ධ වන්නේ නැති බව.

එහෙත් frontal lobe වලට හානියක් සිද්ධ වූවොත් තියුණු ලෙසින් ආවේග වැඩි වීම හෝ අඩුවීම සිද්ධ විය හැකි බව.

ධනාත්මක හා ඍනාත්මක ආවේග පිළිවෙලකට හසුරුවන හැකියාව පිහිටන්නේ left frontal lobe හි බව සහ right frontal lobe හි ඇත්තේ ඍනාත්මක ආවේග හැකියාව පමණක් බව.

එකම මිනිස් මොළයක එකම තැනක් විවිධ අවස්ථාවල දී ප්‍රබෝධමත් කළහොත් විවිධ ආවේග ඇති කළ හැකි බව.

ආවේග ප්‍රතිචාරයක තියුණු බවට හෝර්මෝන මට්ටමින් බලපෑමක් සිද්ධ වන බව.

මොළයේ ඇති රසායනික ක්‍රියාවලියන් නිසා ආවේග ඇති කරන්නට හැකියාව. වැඩි මෙලටෝනින් නිසා විෂාදයට, අඩු මෙලටෝනින් නිසා වැඩියෙන් ලිංගිකත්වයට නැඹුරුව, වැඩි එපිනෙෆරින් නිසා උද්දාමය, වැඩි ප්‍රොලැක්ටින් නිසා සාංකාව.

හැම ආවේගයකටම සුවිශේෂී වූ මනෝවිද්‍යාත්මක ප්‍රතිචාරයක් ඇති බව. සංකාව නිසා systolic blood pressure ඉහළ යාම, කෝපය නිසා indiastolic blood pressure ඉහළ යාම, බිය නිසා vasoconstriction රුධිර නාල පටු වීම (හම සුදුමැලි වන්නේ ඒ නිසා), කෝපය නිසා රුධිර නාල පළල් වීම vasodilation (හම රතු වන්නේ ඒ නිසා) යනාදිය. මේ සුවිශේෂී ප්‍රතිචාර විග්‍රහය දුෂ්කර කරන්නේ එක ආවේගයක් වෙන්කර හඳුනා ගෙන එහි ක්‍රියාවලිය මැනීමට ඇති අපහසුවයි.

ආවේගයන්ට දක්වන ශාරීරික වූ ප්‍රතිචාර වලින් ඔළුව කකියන්න, බඩ රිදෙන්න, මූණ රතුවීම, දහදිය දැමීම, රුධිර නාල පටුවීම නිසා අත්වල හා කකුල් වල ඇඟිලි අපහසුතාවන් (Raynaud’s phenomenon), මාංශ පේශී තද වීම හා පාචනය යනාදිය හට ගැනීම. මේවායේ දකින්නට හැකි වූ විශේෂත්වයක් නම් එකක් ඇති වෙද්දී අනිකකට ඉඩ නැතියාවයි!!! එනම් දහදිය දාන්නාගේ මූණ රතු නොවේ. මූණ රතු වෙන අයට නිතර නිතර හැදෙන හිස රුදාව නැත.

එකම ආවේගය විවිධ වූ ශාරීරික බලපෑම් ඒ ඒ පුද්ගලයා අනුව තීරණය කරයි. එක අයෙකුට කෝපය නිසා හිස රුදාවත්, තව අයෙකුට කෝපය නිසා දහදිය දැමීමත් සිද්ධ වේ.

ඉතින්, ආවේගයන් ඉතා සංකීර්ණ ය. අනුන් දිහා බලා ඔවුන්ගේ ආවේගය කුමක් දැයි හෝ ඊට හේතු පාදක වූ සිද්ධිය කුමක් දැයි කියන්නට යෑම ඉතා දුෂ්කර වූවකි. ආවේගයක් ඒ ඒ මොළයේ පිහිටීම, ශාරීරික රසායනික ක්‍රියාවලිය, ආතතිය, හැදියාවන්, පුද්ගලික අරමුණු යනාදියෙන් හැඩ ගැසුණකි. සාමාන්‍යෙයන් පුද්ගලයාගේ කැමැත්ත නිසා ආවේග හසුරුවා ගත හැකි වුවත් සමහර අයගේ ආවේගයන් රසායනික වූ බලපෑමක් නිසා වෙනස් මඟක හිර කර ඇත.

වැඩිදුර කියවන්නට කැමති අයට: The Emotional Brain (1996) by Joseph LeDoux, Mapping the Mind (1998) by Rita Carter

Advertisements

3 Responses

Subscribe to comments with RSS.

  1. chandi said, on නොවැම්බර් 14, 2011 at 8:35 ප.ව.

    තරහ ආවහම ඒක පාලනය කර ගන්න බැරි සමහර අය වෙව්ලමින් ඉන්නවා. මූණ ඇදවෙලා හරිම අවලස්සනයි. ඒ අය දිහා බැලුවම කිව්වහැකි නේ තරහින් ඉන්නෙ කියල . සතුටින් ඉන්න අය හරිම පැහැපත්, ලස්සනයි. නිතරම මෛත්‍රියෙන් ඉන්න කෙනාව දැක්කම කියන්න පුලුවන්. ඒ ආවේග එන විදිහ, ඒවා ක්‍රියාකරන විදිහ, හොඳින් දැන ගත්තා. පාඩමට තුති! පුදමි.

    • arunishapiro said, on නොවැම්බර් 15, 2011 at 8:50 පෙ.ව.

      chandi,

      චාන්දි අක්කා, පාඩමේ ඊ ළඟ කොටස දැන් දානවා. අර මම හොයමින් සිටි මගේ අනුලාවේ යෙහෙළිය මාව හොයාගත්තා. තවත් අරමුණක් සාර්ථක වුනා!!


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: