අරුණි ශපීරෝ‍ වෙතින්

සයිකොනියුරොඉම්යුනොලොජි

Posted in Uncategorized by arunishapiro on නොවැම්බර් 17, 2011

පුද්ගලයෙකුගේ ප්‍රතිශක්ත පද්ධතිය (immune system) පැය විසිහතරේ දී ම, සතියේ හැම දිනයක දී ම නොකඩවා වැඩ කරන්නකි. එහි වැදගත්කම කොතරම් දැයි අවබෝධ වෙන්නේ එයට නිරෝගී වෙන්නට සිද්ධ වූ විටක සිරුරේ අනිත් කොටස් වලට ඇති බලපෑම් දුටු විට ය. සතුරෙක් (වයිරසයක් හෝ බැක්ටීරියාවක්) පැමිණි විට වෙනත් කිසිවකින් උද්දාමයක් නොගන්නට මොළය විසින් හෝර්මෝන විසුරුවා හරියි. සටන් වැදී සතුරා පරාජය කරන තුරු ඒ ස්වභාවය පතුරවයි. සියළු අවධානය සතුරා පරදවන්නට මිසක අනිත් කිසිවකින් උද්දාමයක් නොලබන්නට ඇඟට දැනෙන කඩෙත්තු ගතියක් උපදවයි.

ප්‍රතිශක්ති පද්ධතියට සතුරා හා සටන් වදින්නට ඉඩ දිය යුත්තේ, මොළය කියන්නට සවන් දී සිරැර සතුටු කරන වෙනත් ක්‍රියා වලින් නිවාඩුවක් ගැනීමෙනි!!!

විෂාදය (depression) වැනි මානසික රෝග ලක්ෂණයක හේතු කාරකය රැකියාව නැතිවීම, දික්කසාදය, සමීපතයෙකුගේ මරණයක් වැනි මානසික වූවක් විය හැකිය. නැත්නම් එයට හේතුව සෙරටෝනින් (serotonin) රසායනය නිසියාකාරව සිරුරේ ගමනාගමනය නොවීම විය හැකිය.

1800 මැද කාලයේ දී ප්‍රංශ Claude Bernard විසින් ශාරීරික අවයවයන් හි ක්‍රියාවලිය හසුරවන්නේ බහුවිධ වූ එකිනෙකා හා හුවමාරුවෙන් යුතු වූ පිළිවෙලකින් යැයි පෙන්වා දුන්නේ ය. ඇතුලත පරිසරය (the environment within) නොහොත් ප්‍රංශ භාෂාවෙන් Milieu intérieur නමින් හැඳින්වූ මේ ක්‍රියාවලිය වනාහි ශරීරයේ සෛල මට්ටමින් ඇතිවන විපර්යාසයන් මඟින් ශරීරය රකිනා බව ක්ලෝඩ් බර්නාඩ් පෙන්වා දුනි.

පසු කාලීන හාවඩ් විශ්ව විද්‍යාලයේ Walter Cannon විසින් homeostasis සංකල්පය ගෙනාවේ ය. “සමාන” නැත්නම් “එකතැන සිටගෙන ඉන්නා” යන ග්‍රීක අර්ථ වලින් එන්නා වූ හෝමියෝස්ටැසිස් වලින් කියන්නේ සිරුර ඇතුලත පරිසරය යාන්ත්‍රානුකූලව මෙන් හසුරුවන ජීවත්වන පද්ධතියක් ගැන ය. වොල්ටර් කැනන් නිසා ක්ලෝඩ් බර්නාඩ්ගේ සොයාගැනීම් වලට නැවතත් අවධානය යොමු විය. ටොගල් ස්විච් එක තීරණය කරන ‘පැන දුවනවා ද සටන් වදිනවා ද’ යන වදන හැදුවේ ද වෝල්ටර් කැනන් විසිනි.

මොළයත් ප්‍රතිශක්ත පද්ධතියත් අතර එකිනෙකාට සහාය දෙන්නා වූ චක්‍රය පැහැදිලිව පෙන්වා දුන්නේ Karen Bulloch විසිනි.

මේ අධ්‍යයන අංශය සයිකොනියුරොඉම්යුනොලොජි (psychoneuroimmunology -PNI) නමින් හැඳින්වෙයි. චක්‍රය වැඩ කරන්නේ මෙසේය. ආතතිය වැඩි වීම නිසා මොළය රසායනය (උදා. glucocoricoids) නිකුත් කර ප්‍රතිශක්ත පද්ධතිය පීඩනයට ලක් කරයි. ආතතියෙන් පෙළීම නිසා රෝග වැළඳීම සිද්ධ වෙයි. තවත් විදියක් නම්, ප්‍රතිශක්ත පද්ධතිය විසින් thymus හි lymphokines රසායනය නිකුත් කර එයින් ආතතිය උපදවයි. මෙහි දී රෝගය වැළඳීම නිසා ආතතිය හැදේ!!

ඉතින් ක්ලෝඩ් බර්නාඩ් පටන් ගත් වෝල්ටර් කැනන් ප්‍රසිද්ධ කළ ප්‍රස්තුත කේරන් බුලොක් වෙතින් පැහැදිලි වී අද විශේෂ අවධානයක් යොමු වෙන අංශයක් වී ඇත.

බර්මින්හැම් හි ඇලබාමා විශ්ව විද්‍යාලයේ Edwin Blalock විසින් සොයා ගන්නට සමත් වූයේ ප්‍රතිශක්ත පද්ධතියේ සෛල වලටත් මොළයේ නිපදවන හෝර්මෝන ම නිපදවන්නට හැකි බවයි. මොළයේ සෛල වලට ඇති තොරතුරු බාර ගන්නා receptors මෙන් ප්‍රතිශක්ත සෛල වල ද තොරතුරු බාරගන්නා එවැනි ම receptors ඇති බව ඔහු සොයාගති. ඉතින් ප්‍රතිශක්ත සෛල හරියට සංවේදන අවයවයක් සේ ක්‍රියා කරමින් ඇස් හා කන් වලින් මොළයට පණිවිඩ යවනා සේ මොළයට පණිවිඩ යවන බව ඔහු පෙන්වා දුනි.

මනසේ පාලනයෙන් (control) ප්‍රතිශක්ත සෛල මට්ටම් වෙනස් කරන්නට හැකියාව ඇතැයි මුලින් ම පෙන්වා දුන්නේ Robert Ader සහ Nicholas Cohen යන දෙදෙනා ය. මේ අධ්‍යයන අංශයට සයිකෝනියුරොඉම්යුනොලොජි නම දුන්නේ Ader විසිනි. David Felton විසින් 1981 දී රුධිර නාල වෙත සේ ම ප්‍රතිශක්ත පද්ධතියේ සෛල වෙත ද දුවන ස්නායු ජාලයක් හඳුනාගත්තේ ය. Ader, Cohen හා Felton තිදෙනා විසින් 1981 දී Psychoneuroimmunology නමින් පොත නිකුත් කළහ.

1985 දී Candace Pert මොළයේ හා ප්‍රතිශක්ත පද්ධතියේ සෛල බිත්ති වල නියුරොපෙප්ටයිඩ් සඳහා විශේෂිත වූ receptors පෙන්වන්නට සමත් වූවා ය. එයින් ආවේග සමඟ ප්‍රතිශක්ත පද්ධතියේ සබඳතාවය සෛල මට්ටමින් පැහැදිලි කර ඔප්පු කරන්නට මෙතෙක් ප්‍රතිඵල මඟින් පමණක් හැකියාව දැකි අයට ලැබුනහ.

අද පැවැත්වෙන පර්යේෂණ අනේක ය. වැඩි වැඩියෙන් ඔප්පු වෙන්නේ පුද්ගලයාගේ ආවේගාත්මක මානසික තත්වය එයාගේ ප්‍රතිශක්ත පද්ධතියට බලපාන බවයි.

Pittsburg Cancer Institute හි Sandra Levy පියයුරු පිළිකා නැවත නැවත හැදෙනා අයගේ ජීවිත කාලය කොතරම් දැයි කියන්නට වැඩියෙන් ම හැකියාව ලැබෙන්නේ ඔවුන්ගේ රෝගී නොවන කාලය කොතරම් දැයි බැලීමෙන් බව කියයි. ඊ ළඟට හැකියාව ලැබෙන්නේ ඔවුන්ගේ සතුට මට්ටම අනුව යැයි ඇය කියයි. (“Emotional response and survival in breast cancer patients,” Proceedings of the Sixth World Congress of the International College of Psychosomatic Medicine, Montreal, Quebec, Canada, September, 1981)

Psychosomatic ප්‍රතිකාර ක්‍රමය ද පැහැදිලි කරන්නේ පුද්ගලයාගේ ගර්විත (assertive) හැකියාව සහ සටන් වදිත හැකි ජවය අනුවත් ප්‍රතිශක්ත මට්ටම් ඉහළ පහළ යන බවයි. Lydia Temoshok, Carrie Millon යනාදීන්ට පැහැදිලි කරන්නට හැකිවූයේ ඒඩ්ස් වැනි වයිරස් හා සටන් වදිනා රෝග වැළඳී ඇති අය, ඔවුන් ආත්මරාගයෙන් වැඩි (narcissistic) සහ දැඩි අධිෂ්ඨාන ශක්තියෙන් (strong-willed) යුතු වන්නෝ නම්, ඔවුන්ගේ ප්‍රතිශක්ති මට්ටම් ඉහළ බව ය.

Atherosclerosis නොහොත් රුධිර නාල තදවීම (Hardening of the arteries) මනස-ශරීරය හා සබඳතාවයෙන් වෙනස් කරගන්නට හැකියාව ලැබී ඇති පර්යේෂණයක් වාර්තා වෙන්නේ Robert Schneider වෙතිනි.

මේ ගැන වැඩි විස්තර කැමති අයට The Healing Brain (1987) කියවත හැකිය. ඔවුන් කියන්නේ මොළය පරිගණකයක් නොව පාමසියක් කියා ය!!!

Advertisements

3 Responses

Subscribe to comments with RSS.

  1. Alchemiya said, on නොවැම්බර් 17, 2011 at 5:24 ප.ව.

    අගේ ඇති ලිපියක්..
    මට නම් හිතෙන්නේ මොළය (සිත සහ ආත්මය) විශ්වයේ කුඩා ඒකකයක් කියායි…
    එපමණක් නෙවෙයි, ඒ ඒකකය දමනය සහ පාලනය කරගන්න පුළුවන් කෙනාට බොහො දේ මේ කුඩා විශ්වයෙන් කරගන්නට පුළුවන්. බොහෝ දාර්ශනිකයො, සමහර විද්වත්තු, ඍෂිවරු, ආදීන් මෙන්න මේ තත්ත්‍වයට ආපු උදවිය..
    මට වඩා හොඳින් මනස ගැන ඔබත් ඔබේ පියාත් දන්නවා නේ… මම තවම මේක හදාරන ළදරුවෙක් පමණයි.. නමුත් මමත් උත්සාහ ගන්නවා මේක මොකක්ද කියලා තේරුම් ගන්න..

    • arunishapiro said, on නොවැම්බර් 18, 2011 at 5:24 පෙ.ව.

      Alchemiya,

      ඇල්කෙමියා මල්ලි, ප්‍රස්තුතයක් පර්යේෂණයට ගන්න කොට ඒක විමර්ශනයට අදාල දැයි විමසන්න ඕනනෙ. අදාලත්වය හොයන්නේ පර්යේෂණයේ අරමුණට ඒ ප්‍රස්තුතය බලපානවා ද කියන එකෙන්. ඒ ප්‍රස්තුතය කළින් ඔප්පු කර ඇත්තක් දැයි වැදගත්.

      වැඩ කරන මොළයක් ඇත්තාට වැඩ කරන සිතක් ඇත. -මේ ප්‍රස්තුතය ගත්තාම අපි වැඩ කරන මොළය හා වැඩ කරන සිත ගැන තව සොයන්නට වෙහෙසෙමු. සිත සහ මොළය හට ගන්නා, අවසන් වෙන්නා, හා වැඩ කරන ආකාරය යනාදිය පැහැදිලි කරන්නට දනිමු. මොළයක් ඇති තැන සිතක් තිබිය ද මොළයක් නැතිව සිතකට පවතින්නට නොහැකි බව ඔප්පු කර ගත්තෙමු.

      //මට නම් හිතෙන්නේ මොළය (සිත සහ ආත්මය) විශ්වයේ කුඩා ඒකකයක් කියායි…// -දැන් මේ ප්‍රස්තුතය මෙතැනට අදාල වන්නේ කෙසේ ද? සිත සහ මොළයේ පැවැත්ම මෙන් ආත්මය (soul) යන්නක් ඇතැයි ඔප්පු කරන්නේ කෙසේ ද? සත්‍යයෙන් පැවතෙනවා යැයි ඔප්පු කරගන්නා නොහැකියාව නිසා එය පර්යේෂණයට අදාල කර ගැනීමේ වටිනාකම කුමක් ද? එහි පැවැත්ම වෙන ම පර්යේෂණයක් කර පළමුව ඔප්පු කරගත යුත්තක් නොවේ ද?

      //එපමණක් නෙවෙයි, ඒ ඒකකය දමනය සහ පාලනය කරගන්න පුළුවන් කෙනාට බොහො දේ මේ කුඩා විශ්වයෙන් කරගන්නට පුළුවන්. බොහෝ දාර්ශනිකයො, සමහර විද්වත්තු, ඍෂිවරු, ආදීන් මෙන්න මේ තත්ත්‍වයට ආපු උදවිය..// දැන් පවතිනවා යැයි මෙතෙක් ඔප්පු කර නොමැති වූ ආත්මය ගැන ප්‍රස්තුතයක් එය ඔප්පු කරන ලද්දක් සේ රැගෙන නිගමන දෙන්නට යාම විද්‍යාත්මක ද?

      මේකත් කියවන්න: ඇති සුගතිය හා නැති සුගතිය

  2. අමිල said, on නොවැම්බර් 18, 2011 at 12:29 ප.ව.

    අරුණි අක්කා,

    මෙහි සදහන් වන සතුට කියන දේ තෘප්තිය සමාන ද? සමහර විට දුක, විරහව , කෝපය කියන දේවල් වලින් තෘප්තිමත් වෙන අයත් ඉන්න පුලුවන් නේද? උණ හැදෙන්නේ යහපතට නම් තරහා යන්නේ යහපතට කියලා ගණන් ගන්න බැරිද? ඇඩ්‍රිනලින් ශ්‍රාවය වෙනවානේ ජවය ලබාගන්න.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: