අරුණි ශපීරෝ‍ වෙතින්

තර්කයේ සංකල්ප දෙකක්

Posted in Uncategorized by arunishapiro on නොවැම්බර් 22, 2011

කැමැත්තෙන් වුවත් අකමැත්තෙන් වුවත් අපි අදහස් දක්වද්දී තර්කයේ නියැළෙමු.

* සමන්තිගෙ උපන් දින උත්සවයට මට ආරාධනාවක් තියනවා.
* හැමෝම යනවා සමන්තිගෙ උපන් දින උත්සවේට.
* ඒ නිසා, මාත් යන්න ඕනා.

හෝඩියේ පංතියේ ඉන්නා දරුවෙක් ද එසේ තර්කය ඉදිරිපත් කරන්නට දන්නේ ය.

අදහස් තර්කානුකූලව ඉදිරිපත් කිරීමෙන් අදහස් වටහා ගැනීමට හැකියාවත්, අදහස් පැහැදිලි ආකාරයකින් ප්‍රකාශ කිරීමටත්, ඒ නිසා ම අදහස් හුවමාරුවටත් ඉඩ ප්‍රස්ථා ඇති වේ.

තර්කය (argument) තර්කානුකූල (logical) වන්නට පහත ආකාර දෙක උපයෝගී කර ගැනෙයි.

නිගාමී තර්කයේ (deductive argument) දී ප්‍රස්තුත වලින් සත්‍ය නිගමනයක් ලැබීම සහතික කරයි. ප්‍රස්තුත සත්‍ය නම් වැරදි නිගමනයකට ඉඩක් ඇත්තේ නැත.

* හැම දරුවෙකුගේ ම චින්තන කුසලතාවයන් යනු ඔවුන් අන්‍යයන් අතරින් දකිනා කුසලතාවන් වලින් ලැබි ප්‍රතිඵලයක් යන්න සත්‍ය වෙන්නේ නම්,
* ඥානය යනු චින්තන කුසලතාවයකි යන්න ද සත්‍ය වෙන්නේ නම්,
* ඒ නිසා, කුඩා දරුවන්ගේ ඥානය ඔවුන් අනිකුත් අය වෙතින් නිරීක්ෂණය කරන දැයෙහි ප්‍රතිඵලයකි යන්න ද සත්‍ය්‍යක් විය යුතුයි.

උද්ගාමී තර්කයේ (inductive argument) දී ප්‍රස්තුත සම්භාවිතාව (probable) අනුව තෝරා ගැනෙයි. ඒවායෙන් සහාය දෙන්නේ සම්භාවිතාව අනුව නිගමනයක් කරා යන්නට ය. ප්‍රස්තුත වල සම්භාවිතාව අනුව ඒවා තුලින් යන නිගමනය වැරදි නොවේ.

* හැම දරුවෙකුගේ ම චින්තන කුසලතාවයන් යනු ඔවුන් අන්‍ය්‍යන් අතරින් දකිනා කුසලතාවන් වලින් ලැබි ප්‍රතිඵලයකි යන්න විය හැකි නම්,
* ඥානය යනු චින්තන කුසලතාවයකි යන්න විය හැකි නම්,
* ඒ නිසා, කුඩා දරුවන්ගේ ඥානය ඔවුන් අනිකුත් අය වෙතින් නිරීක්ෂණය කරන දැයෙහි ප්‍රතිඵලයකි යන්න ද විය හැකි ය.

මනෝවිද්‍යාවේ දී බොහෝ විට ප්‍රස්තුත තීරණය වන්නේ උද්ගාමී විධි ක්‍රමයෙනි. මිනිස් ස්වභාවයේ ඇති සංකීර්ණ බව නිසා ඕනෑම වාදයක එන එක ප්‍රස්තුතයක් ගැනවත් අපිට සහතික බවක් නැත. ඒ නිසා වාදයක දී ප්‍රස්තුත වල ඇති තාර්කික බව තීරණයට ඒ එක එක ප්‍රස්තුතය තහවුරු කරන සාක්කි මොනවා දැයි සොයා බලන්නට වෙයි. ඒ සාක්කි වල ඇති ශක්තිමත් බව අනුව ප්‍රස්තුත වල සම්භාවිතාව තීරණය කෙරෙයි.

යම් වාදයක නිරත වෙන අයෙක් තමන් ගෙන හැර පානා ප්‍රස්තුත වල සම්භාවිතාව කොතරම් දැයි සලකා බැලීමෙන් තමාගේ තර්කය වඩාත් තහවුරු කරන්නට දිය හැකි ශක්තිමත් සාක්කි ප්‍රමාණය වැඩි කරගත හැකිය. විවේචනාත්මක විමර්ශනයක් වඩාත් හොඳින් කරන්නට නම්, වාදයේ ශක්තිමත් බව කියා පාන්නට නම්, ඔබ ඉදිරිපත් කරන ප්‍රස්තුත ගැන මේ ප්‍රශ්න අහන්න.

* මූලික ප්‍රස්තුතයට සහාය දෙන්න කොතරම් සිද්ධාන්ත/පර්යේෂණ තොරතුරු තියනවා ද? තවත් විදියකින් ඇහුවොත්, ඒ ප්‍රස්තුතය සම්භාවිතාව කොතරම් දුරකට ද?
* සුළු ප්‍රස්තුත වලට සහාය දෙන්න කොතරම් සිද්ධාන්ත/පර්යේෂණ තොරතුරු තියනවා ද?

ඥානය ලැබෙන්නේ සමාජයෙන් ද නැත්නම් ජානු වලින් ද යන වාදයට නැවතත් පිවිසෙමු. සමාජයෙන් යැයි කියන වාදයට ශක්තිමත් තාර්කික හැකියාවක් ඇත්දැයි විමසමු.

* සාක්කි වලින් වැඩියෙන් ම පෙනී යන්නේ හැම දරුවෙකුගේ ම චින්තන කුසලතාවයන් යනු ඔවුන් අන්‍ය්‍යන් අතරින් දකිනා කුසලතාවන් වලින් ලැබි ප්‍රතිඵලයකි,
* සාක්කි වලින් වැඩියෙන් ම පෙනී යන්නේ ඥානය යනු චින්තන කුසලතාවයකි,
* ඒ නිසා සාක්කි වලින් වැඩියෙන් ම පෙනී යන්නේ කුඩා දරුවන්ගේ ඥානය ඔවුන් අනිකුත් අය වෙතින් නිරීක්ෂණය කරන දැයෙහි ප්‍රතිඵලයක් වීමේ සම්භාවිතාව වැඩි බවයි.

නැවතත් මිනිස් ස්වභාවයේ සංකීර්ණ බව නිසා අපි කියන්නේ සාක්කි (සිද්ධාන්ත/පර්යේෂණ) වලින් අපිට මේ තර්කය වඩා තහවුරු කරත හැකි බවයි. ඒ විදියට ම ජානු වලින් ඥානය තීරණය වෙනවා යන්න විමසමු.

* සාක්කි වලින් වැඩියෙන් ම පෙනී යන්නේ හැම දරුවෙකුගේ ම චින්තන කුසලතාවයන් යනු ඔවුන්ගේ ජානු අනුව තීරණය වූ බවයි,
* සාක්කි වලින් වැඩියෙන් ම පෙනී යන්නේ ඥානය යනු චින්තන කුසලතාවයකි,
* ඒ නිසා, සාක්කි වලින් වැඩියෙන් ම පෙනී යන්නේ කුඩා දරුවන්ගේ ඥානය ඔවුන් ජානු වලින් ලබා ඇති බවයි.

ඉතින් දුර්වල තර්කයක් නම් කුමක් ද?
* සාක්කි වලින් අඩුවෙන් ම පෙනී යන්නේ දරුවන්ගේ චින්තන කුසලතාවයන් යනු ඔවුන්ගේ ජානු අනුව තීරණය වූ බවයි,
* සාක්කි වලින් අඩුවෙන් පෙනී යන්නේ ඥානය යනු චින්තන කුසලතාවයකි,
* ඒ නිසා, දරුවන්ගේ ඥානය වැඩියෙන් ම තීරණය කරන්නේ ජානු වලින් යන්න සිද්ධ විය නොහැකි දුර්වල නිගමනයකි.

මූලික ප්‍රස්තුතය සත්‍ය වුවත් සුළු ප්‍රස්තුත වලට සහාය දීමට යොදා ගන්නා සාක්කි දුර්වල නිසා ද නිගමනය දුර්වල වෙයි.

* සාක්කි වලින් වැඩියෙන් පෙනී යන්නේ දරුවන්ගේ චින්තන කුසලතාවය වැඩිපුර තීරණය වන්නේ ජානු වලින් බවයි.
* එහෙත්, සාක්කි වලින් අඩුවෙන් පෙන්වා දෙන්නේ, ඥානය යනු චින්තන කුසලතාවයකි,
* ඒ නිසා, දරුවන්ගේ ඥානය වැඩියෙන් ම තීරණය වන්නේ ජානු වලින් යැයි කීම සිද්ධ විය නොහැකි දුර්වල නිගමනයකි.

මෙහෙම වෙද්දී කලබල විය යුතු නැත. බොහෝ විටෙක තර්කයේ යෙදෙන පුද්ගලයෙක් ඉදිරිපත් කරන්නේ තමන් විසින් සොයාගත්තා වූ අදහස් නොවේ. එහෙත් මෙසේ විමසද්දී ඒ අදහස් වලට සහාය දෙන්නට සාක්කි මදි නිසා එහි දුර්වලතාවයන් දකින්නට හැකියාව ඇත්තා තමන් ඉදිරිපත් කරන නිගමනය ද දුර්වල බව දැකිය යුතුයි. නැත්නම් වෙනත් තර්කයක් සොයා යා යුතුයි.

සාමාන්‍ය කතාබහේ, අධ්‍යාපනයේ දී හා රුකියාවේ දී අනිත් පුද්ගලයින් ඉදිරිපත් කරන තර්කයන් මේ ආකාරයෙන් වටහා ගන්නට උත්සාහයක් ගන්නාට තම වැඩ කටයුතු වල අනගි බව වැඩි කරගන්නට අවස්ථාවක් පෑදේ. කළින් සටහනේ කියූ පරිදි තමන්ට වටහා ගත යුතු වූ අදහසක් සාමාන්‍ය තර්කයේ ඇති පරිදි standard form එකකට දමා ගැනීමෙන් එය විවේචනාත්මක විමර්ශනයකට ලක් කරන්නට හැකියාව ලැබේ. සාක්කි සොයා යෑම නිතර ම අසීරු වූ කාර්යය වුවත් එයින් මූලික ප්‍රස්තුතය හා නිගමනය සත්‍යයක් සේ පිළිගන්නවා ද නැද්ද යන්න විමසන්නට ඉඩක් ලැබේ.

Advertisements

16 Responses

Subscribe to comments with RSS.

  1. kathandarakaraya said, on නොවැම්බර් 22, 2011 at 8:26 පෙ.ව.

    අවුලක් නෑ!

  2. NotAFool said, on නොවැම්බර් 22, 2011 at 9:33 පෙ.ව.

    Dear Aruni,
    I really trying to understand the knowledge that you are trying to provide through your articles.But honestly most of the articles sound nothing to me. May be because of the way you are using the language. Are these your own words or you are trying to translate articles in another language to sinhala? Most of these sentences sound like Sinhala translations of English sentences.

    cheers.

    • arunishapiro said, on නොවැම්බර් 22, 2011 at 11:03 පෙ.ව.

      NotAFool,

      මේවා මගේ වචන වලින් ලියුවට තර්ක ශාස්ත්‍රය වැඩි දුරට ඉගෙන ගත්තෙ ඉංග්‍රීසියෙන් නිසා ඔව් ඉංග්‍රීසියෙන් ඉගෙන ගත්තු අදහස් තමයි සිංහලෙන් ලියන්නෙ. ඔයා කැමති නම් ඉංග්‍රීසියෙන් ලියා ඇති මේ අයගේ පොත් වලින් කියවන්න.

      Deductive Logic (2003) Warren Goldfarb; Logical Writings (1971) J. Herbrand, Warren Goldfarb, Jean van Heijenoort; An Introduction to Probability and Inductive Logic (2001) Ian Hacking; Choice and Chance (1999) Brian Skyrms; Argument and evidence: Critical thinking for the social sciences (1995) P. J. Phelan and P. J. Reynolds; Critical thinking skills: Developing effective analysis and argument (2005) S Cottrell.

      • NotAFool said, on නොවැම්බර් 22, 2011 at 11:20 පෙ.ව.

        Im not much interested in learning logic.But I have a very strong desire to learn philosophy specially political philosophy.I have been watching youtube videos on philosophy from a long time. I love watching the speeches of Jiddu Krishnamurthi and Bertrand Russel and so much interested in Carl marxs view on politics.But I want to learn philosophy in a proper manner. Can you please recomend a book as a starting point to learn. Thanks.

        • arunishapiro said, on නොවැම්බර් 22, 2011 at 11:53 පෙ.ව.

          NotAFool,

          දේශපාලන දර්ශනය ගැන ලියැවුනු එක පොතක් වඩා සුදුසු යැයි කියන්න අමාරුයි. මොකද මා සුදුසු යැයි දකින පොත ඔයා ඒ ආකාරයෙන් නොදකින්න පුළුවන්!!!

          දර්ශනය හරි හැටියට ඉගෙන ගන්න කැමති නම් මේ The Great Courses වල තියන Philosophy & Intellectual History වලින් පුළුවන්.

          ඒ ඒ අය විසින් ලියූ දර්ශනය ඒ අයගේ පොත් වලින් ම කියැවීම තමයි වඩා සුදුසු.

          Bertrand Russell විසින් History of the Western Philosophy (1967) ඔහුගේ දැක්ම අනුව ලියා තියෙනවා. ලංකාවේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් එහි පරිවර්තනයක් ද 1970 දී නිකුත් වූවා.

          The Economic and Philosophic Manuscripts of 1844 and the Communist Manifesto යන්න Karl Marx සහ Frederick Engels විසින් ලියූවේ ඉංග්‍රීසි පරිවර්තනය 1988 දී නිකුත් වූ පොතක්. අන්තර්ජාලයේ කියවන්න පුළුවන් ඉහත සබැඳි වලින්.

  3. Hishan Melanga said, on නොවැම්බර් 22, 2011 at 1:17 ප.ව.

    ප්‍රස්තුතයක් කියන්නෙ ඉංග්‍රීසියෙන් point එකක් කියන එකටද?

    • Hishan Melanga said, on නොවැම්බර් 22, 2011 at 1:26 ප.ව.

      * සමන්තිගෙ උපන් දින උත්සවයට මට ආරාධනාවක් තියනවා. (argument)
      * හැමෝම යනවා සමන්තිගෙ උපන් දින උත්සවේට. (point)
      * ඒ නිසා, මාත් යන්න ඕනා. (නිගමනය)

      කියල කිව්වත් හරිනේද?

      • arunishapiro said, on නොවැම්බර් 22, 2011 at 4:06 ප.ව.

        Hishan Melanga,

        ප්‍රස්තුතයක් කියන්නෙ -premise එකක්, කියමනක් නැත්නම් යම් වාක්‍යයක් -statement

        මෙතැන දී විශේෂිත වූ සිද්ධියක් තමයි සුළු ප්‍රස්තුතය – මට ආරාධනාවක් ලැබීම
        මූලික ප්‍රස්තුතය තමයි – හැමෝම සමන්තිගෙ උපන් දින උත්සවේට යෑම
        නිගමනය තමයි ආරාධනාවක් ලැබුණ නිසා, හැමෝම යන නිසා – මාත් යන්න ඕනෑ යැයි තීරණය

        ඔව් වචනය තනිව ගත්තම ඉලක්කයක්, අරමුණක් -point කියන අර්ථයෙන් ද ගන්න පුළුවන්. ඒත් ප්‍රස්තුත කියන්නෙ ඉලක්කය හෝ අරමුණක් වීමට වඩා ඉලක්කයක් හෝ අරමුණක් හදා ගන්න කළින් ඒක ගැන විමසා බලන්නට වාක්‍යයක් හදා ගැනීම.

        ආරාධනාවක් ලැබුණා, හැමෝම යනවා, ඒ නිසා මාත් යනවා කියා තීරණය කළාට පස්සෙ තමයි මම යන එක ඉලක්කයක් වෙන්නෙ.

        සත්‍ය කාරණයක් -point විදියට මුලින් ම ගන්න බැහැ, මොකද ආරාධනාවක් තියනවා කියන කියමන සත්‍යයක් දැයි අසත්‍යයක් දැයි විමසා නැහැ ප්‍රස්තුතයක් ලෙසින් ගන්න වෙලාවේ දී. මට ආරාධනාවක් තියනවා කියල මම හිතාගෙන හිටියට මට ආරාධනාවක් නැති බව පස්සෙ දැනගන්න ලැබුනොත්. හැමෝම යනවා කියලා හිතුවට කවුරුත් නොයන බව දැන ගන්න ලැබුනොත්. ඉතින් ඒ කියමන් සත්‍ය කාරණා වෙන්නෙ ප්‍රස්තුත සොයා බලා සත්‍යයක් හෝ අසත්‍යයක් යැයි සොයා ගත්තාට පස්සෙ.

        පළමුවෙන් ප්‍රස්තුත හා නිගමනයක් හදා ගන්නවා අනුමානයෙන්, ඒවා සියල්ල විමසන්න කළින්. ඒකෙන් අපිට සත්‍ය විමසන්න මාර්ගයක් පෑදෙනවා. ඊට පස්සෙ අපි ප්‍රස්තුත විමර්ශනය කරලා ….ආරාධනාවක් තියනවා … සුළු ප්‍රස්තුතය නිවැරදියි, හැමෝම යන්නෙ නැහැ … ඒත්, කවුරුත් ගියෙ නැති වුනත් මා යන්න ඕනා මේ නිසා යැයි ඒ මූලික ප්‍රස්තුතය වෙනස් කරගෙන…යනාදියෙන් මුලින් විමර්ශනයට පමණක් හදාගත්තු ප්‍රස්තුත හා නිගමනය එක්කෝ තියා ගන්න පුළුවන් නැත්නම් වෙනස් කරගන්න පුළුවන්.

        සාමාන්‍ය ජීවිතයේ දී එහෙම තමයි ගොඩක් දේවල් පුද්ගලයා තීරණය කරන්නෙ. ඒත් විමසා බලන්න නොගිහින් තමන්ගේ යැයි සිතන ප්‍රස්තුත හා නිගමන කවුරු හෝ විසින් කියූ නිසා විමසා බැලීමකින් තොරව අනුන් කියූ ඒ විදියට අල්ලා ගෙන ඉන්න අයත් බොහොමයි.

  4. dayal - bathee said, on නොවැම්බර් 22, 2011 at 8:54 ප.ව.

    දාර්ශනිකයා ඉංජිනේරුවෙක් නම් මා මේසන් කාර්මිකයෙකි. දර්ශනයේ ප්‍රායෝගික බවටයි මා උනන්දු.

    මේ (බ්ලොග්) ලෝකයෙ මෝඩ, පඩත්තල කියා දෙයක් නැත. මා කියන දේ මෝඩ හා පඩත්තල දෙයක් වුවද එය ඥාණවන්තයෙකුගේ ඥාණය පුබුදුවන දෙයක් වී එයින් වෙන කෙනෙකුට පලාදායී දෙයක් සිදු වීමට පුලුවන.

    මා සඳහන් කළ ‘අතාර්කික’ බව ඇත්තේ අති විශේෂ අවස්තාවල පමනි. මට මතක විදියට ‘නිවන’ ගැන බුදුන් වහන්සේගේ අර්තකතනයට අයත් එකක් තමයි අතාර්කික බව.

    ඒ නිසා බොහෝ විට standard format දමාගන්න පුලුවන් ඇති.

    • arunishapiro said, on නොවැම්බර් 22, 2011 at 9:21 ප.ව.

      dayal – bathee,

      දර්ශනයේ ප්‍රායෝගික බවට තමයි මගෙත් උනන්දුව. මේ සටහන් වල මගේ උත්සාහය වන්නේ ද ලියන තොරතුරු සියල්ල තුලින් යම් ප්‍රායෝගික වූ දැනුමක් කියවන්නාට උකහා ගත හැකි දැයි සොයන්නට.

      බ්ලොගයක මෝඩ, පඩත්තල (vulgar) දේවල් වලිනුත් දයාල්-බතී කියන ඥානය පුබුදුවන දෙයක් හොයා ගන්න ඇහැකි වෙනවා. බ්ලොග් කියවා මම අළුතින් ඉගෙන ගත්තු වචන හා වදන් සම්භාරය කොතරම් ද? එහෙම නැත්නම් අඩු ගානේ සමහර බ්ලොග් ඇරලා පුළුවන් හිතට එන ආවේග හසුරුවන්න පුහුණු වෙන්නත්!!!!

      චාන්දි අක්කා නිවාඩු ගිහින් ආවාම සමහර විට අපිට දයාල්-බතී කියන අතාර්කික බව ගැනත් වැඩි විස්තර හොයා ගන්න පුළුවන් වේවි. මමත් ඒ ගැන හොයා බලන එක නවතන්නේ නැහැ.

    • අමා said, on නොවැම්බර් 22, 2011 at 10:14 ප.ව.

      දයාල් අයියා කියන්ට උත්සාහ කරේ, ‘human logic’ එකට අහුවෙන්නේ නැති දේවල් ගැනද?
      උදාහරනෙකට විශ්වය අනන්තද? ‘අනන්ත’ කියන්නේ මොකද්ද?

      මටත් නිකන් එහෙම එකක් අහල තියෙනවා වගේ මතකයි. ඒ කියන්නේ … තාර්කිකව සිතීමෙන් පමණක් අවබෝධ කර ගත නොහැකි වගේ එකක්ද?
      මෙතන අපේ වචන වල වැරැද්දක් තියෙනවද මන්ද. බුදු දහමේ ගොඩක් දේවල් lost in translation වෙලා කියල වෙලාවකට හිතෙනවා.

    • අමා said, on නොවැම්බර් 22, 2011 at 10:20 ප.ව.

      හ්ම්… සමහර විට එක්තරා තලයකදී තාර්කික වන දෙයක් වෙනත් තලයකදී අදාළ නොවෙනවා වගේ?
      like, Newtonian physics do not hold at the quantum level?

      … quantum mechanics මතක් උනාට පස්සේ මගේ මොළෙත් දැන් නිකන් මොකද්ද උනා වගේ 😀

  5. dayal - bathee said, on නොවැම්බර් 23, 2011 at 3:40 පෙ.ව.

    අමා,
    මා quantaum විද්‍යාව හදාරා නැත. මා හැදෑරුවේ ජීව විද්‍යා ධාරාවයි. නමුත් ඒ තරම් දුර යා යුතු නැත. බලන්න යමක් රස විඳීමේ ඥාණය. එය කෙනෙකුට තාර්කිකව විස්තර කළ හැකිද?
    මනමේ නාටකය නොබැලූ කෙනෙකුට එහි රසය විස්තර කල හැකිද?
    පොල් සම්බෝලයි බතුයි කෙදිනකවත් රසනොවිඳි කෙනෙකුට එහි රස විස්තර වටහා දිය හැකිද?
    භාවනානුයෝගියා විඳින සුවය එය නොකල කෙනෙකුට විස්තර කල හැකිද
    එය අත්දකීමෙන් ලද යුතු දෙයක්
    ස්තූතියි මට පොඩි support එකක් දුන්නාට.

    • අමා said, on නොවැම්බර් 23, 2011 at 4:39 පෙ.ව.

      අඃ මේ කියන්නේ හැඟීම් තාර්කික නොවන බවද? අරුණි අක්කා කියන්නේ වෙනත් දෙයක් මගේ හිතේ. අක්ක කියන්නේ ‘හිතන’ එක ගැන. අයිය කියන්නේ ‘හිතෙන’ එක ගැන. ඒ කියන්නේ හදවත සහ මොලය දෙකක්.
      මට තේරුණු විදියට මෙහෙමයි –
      ‘රස විඳීම’ කියනේ දේ සාපේක්ෂයි. මම රොක් සංගීතය රස වින්දාට ඔබ ක්ලැසිකල් සංගීතය රස විඳිනවා විය හැකියි. ‘රස වින්දනය’ කියන ක්‍රියාවලිය තාර්කිකව විස්තර කරන්ට පුළුවන් මම හිතන්නේ ජීව විද්‍යාවෙන් හෝ මනෝ විද්‍යාවෙන් – මිනිස් මොලයේ නියුරෝන කිර්යාකාරීත්වය වගේ මොකක් හරි දේකින් හරි ෆ්‍රොයිඩ් ගේ සිද්ධාන්තෙකින් වගේ හරි (ජීව විද්‍යාව නොදන්නා නිසා මම වැරදි නම් නිවැරදි කරන්න).
      නමුත් “රොක් සංගීතය ක්ලැසිකල් සංගීතයට වඩා හොඳයි” කියන එක තාර්කිකව විස්තර කරන්න බැහැ. මොකද එතන අඩු තරමේ මොන විදියෙන්ද හොඳ, කාටද හොඳ වගේ දෙයක් කියවෙන්නේ නැති නිසා. එහෙම කියුවොත් ඊ ලඟට පුළුවන් එහෙම කියන්ට හේතු වන සාක්ෂි හොයා බලන්ට. එතකොට ඒ සාක්ෂි වල ශක්තිමත්භාවය අනුව ඉස්සෙල්ල කිවුව දේ සත්‍යද නැද්ද කියල තීරණය කරන්ට පුළුවන්.

      අක්ක කියන්නේ පැහැදිලිවම ගවේෂණය කර ‘සත්‍ය’ හෝ ‘අසත්‍ය’ ලෙස ඔප්පු කර හැකි/ හෝ අඩු තරමේ ශක්තිමත් සාක්ෂි පෙන්විය හැකි දේ ගැන.
      අපි යම් තීරණ ගනිද්දී, අපේ හැඟීම් වලට පමණක්ම ඉඩ දීමෙන් නිවැරදි තීරණයක් එන්නේ නැහැ. අපි කැමති වූ පමණින් එක ‘හරි’ වෙන්නේ නැහැ. හැඟෙන දේ පැත්තකට දාල, විචාරාත්මකව objective විදියට ‘හිතන්න’ ඕනේ. විචාරාත්මකව හිතනවා කියන්නේ තාර්කික වෙනවා කියන එක.

    • arunishapiro said, on නොවැම්බර් 23, 2011 at 9:03 පෙ.ව.

      dayal – bathee, අමා,

      මම තර්ක ක්‍රමය විස්තර කරන්න ගත්තු උදාහරණ වල අපි පැටලිලා දෝ කියා හිතෙනවා.

      “ඥානය යනු චින්තන කුසලතාවයකි” යන ප්‍රස්තුතය ගත්තේ තර්ක ක්‍රම දෙකක් ගැන විස්තර කරන්න. එනම් දරුවාට ඥානය ලැබෙන්නේ කොහොම ද යන වාදයේ දී එක මතයක් තම හැදියාවෙන්, අනිත් මතයක් වන තම ජානු වලින් යන දෙකින් තර්කය කොහොම දැයි පෙන්වන්න. විචාරාත්මක චින්තනය නොහොත් නිරවුල් ව සිතීම සටහනේ දී //ඒ ගැන වාද බොහොමයි// කියා ලියා තියනවා. ඉහත දෙකට වඩා ඥානය කුමක් ද යන්න විභාග කරන වාද බොහොම නිසා. ඒක නම් අවුල, වරද මගේ අතේ, පැහැදිලි නැතිකම.

      මිනිස් මොළය මතකය, දැකීම, ඉගෙනීම, චින්තනය හා ස්වේච්ඡා චර්යාව (voluntary behavior) පාලනය කරන්නක්. ඒ වගේම මිනිස් මොළය ඔටෝමැටික් සිතුවිලි වලත් යම් කාර්ය භාරයක් කරන බවත් ඉබේම සිද්ධ කරන (involuntary behavior) සහ ටොගල් ස්විච් ක්‍රියා කරද්දී පුහුණුවෙන් ලැබු ඔටෝමැටික් ප්‍රතිචාර කරන බවත් දන්නවානේ.

      කොච්චර මොළ ස්කෑන් වලින් මොළයේ ආවේග ගැන කොතරම් දැන ගන්න ලැබුණත්, ඒ අත්දැකීම ඒ ආකාරයෙන් ම වෙන අයෙකුට විඳින්න බැහැ, විස්තර කරන්න බැහැ. මොළයක ආවේගයක් ඇති කරන්න විද්‍යාවට පුළුවන් වුනත්, සෛල ක්‍රියා කරන හැටි දකින්න (ස්කෑන්) පුළුවන් වුනත්, ඒ අත්දැකීම විඳින්නේ මොළයේ අයිතිකාරයා. මම ලංකාවේ දුන්හිඳ ඇල්ල ගැන සිතුවා යැයි කියමු. Neurophysiologist කෙනෙකුට කොච්චර මොළයේ ක්‍රියාකාරීත්වය පිරික්සා බැලුවත් ඒ සිතුවිල්ල හොයා මෙන්න මෙතැනයි ඒක තියෙන්නෙ කියන්න බැහැ. ස්කෑන් එකකට මම සතුටු සිතුවිල්ලක් හිතනවා යැයි කියන්න පුළුවන්. මගේ මොළය විද්‍යාඥයා දකින්නෙ grey matter හැටියට. ඒත් දුන්හිඳ ඇල්ල මතක් කරන මගේ සිතුවිල්ලේ අහස නිල් පාටයි, ඇල්ල සුදු පෙන දානවා, වටපිටාවේ ගස් කොළ පාටයි. ඒවා එහෙමයි දන්නවා වුනාට මගේ මතකයේ තියන රූපය විද්‍යාඥයාට දකින්න විදියක් නැහැ. එය මාගේ පමණක් වූවක්. මම පුංචි කාලේ දැක්කා නම් දුන්හිඳ ඇල්ල ඉතා දැවැන්තවත්, මම වැඩිහිටි කාලයක දී නයගරා ඇල්ල දැක්කට පස්සෙ දුන්හිඳ ඇල්ල දැක්කා නම් දුන්හිඳ කුඩා ඇල්ලක් විදියටත් මනසේ රූප අඳින්න පුළුවන්.

      දයාල්-බතී දෙන උදාහරණ මනමේ නාටකය, පොල් සම්බෝලයි බතුයි යනාදී අත්දැකීම් වුනත් ඒ ඒ අත්දැකීම් ලබපු ඒ ඒ පුද්ගලයන්ට විශේෂිත වූ සිද්ධි. මනමේ නාට්‍යය නරඹා ඇති හැමෝම එකඟ වෙන කාරණා, එකඟ නොවෙන කාරණා හා ඔවුන්ට පමණක් විශේෂිත වූ එය නරඹා ඇති වෙන කාටවත් නැති අත්දැකීම් තියනවා.

      ඒ නිසා තර්කයේ දී අපි පුද්ගලික වූ අත්දැකීම් ගැන තර්ක කිරීමට යන්නෙ නැහැ. ඒවා ඒ පුද්ගලයාට විශේෂිත නිසා.

  6. dayal-bathee said, on නොවැම්බර් 23, 2011 at 4:33 ප.ව.

    අරුණි, අමා,
    අරුණි කිව්ව වගේ මා අරුණිගෙ උදහරණයේ පැටලිලා, අපි යමු ඔහොම ඉදිරියට.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: