තර්කයේ දුර්මත ගැන ආයෙත්
ලංකාවේ පැවැත්වෙන අය-වැය වාදයේ ද, ඇමෙරිකාවේ පැවැත්වෙන ජනාධිපතිවරණ වාද වල දී ද, නොයෙක් පැතිවල ඉන්නා පිරිස් තම පැත්ත නිවැරදි යැයි කියන්නට තර්කය හසුරුවන හැටි බලන්න කදිම අවස්ථාවක් ලැබෙනවා.
මූලික ප්රස්තුත, සුළු ප්රස්තුත හා ඔවුන්ගේ නිගමන තර්කානුකූල ව ඉදිරිපත් කරනවා දැයි හා ඒ සඳහා පෙන්වන සාක්කි කෙසේ ඉදිරිපත් කරනවා දැයි දකින්නත් පුළුවන්. නැත්නම් ඔවුන් තර්කයේ යෙදෙන්නේ දුර්මත වලින් දැයි දකින්නටත් පුළුවන්.
අධ්‍යාපනයේ දී ඒ ඒ විෂය උගන්වන තර්ක මොනවා දැයි වටහා ගන්නට හැකි නම් විෂය වඩාත් හොඳින් අවබෝධයට පුළුවන්. ඒකට මුලින් ම මූලික ප්රස්තුතය මොකක්දැයි සොයා ගන්න ඕනා. එය දුෂ්කරයි. ප්රස්තුත මොනවා ද කියා හඳුනා ගැනීමත් අසීරු වූවක්. ඒත් ඒවා මොනවා දැයි සොයා ගත්තාම තමයි විෂය අවබෝධය වෙන්නෙ. වාදය වැටහෙන්නෙ. තම පැත්තේ ජය සඳහා මොන සාක්ෂි සොයා ගත යුතු දැයි තමන්ට පැහැදිලි වෙන්නෙ. තමන්ගේ විෂයයට ලකුණු වැඩියෙන් ගන්න නම් මොනවා ද කළ යුතු යැයි පැහැදිලි වෙන්නෙ.
අපි කතාබහේ යෙදෙනා විට නොයෙකුත් තර්ක ක්‍රම පාවිච්චියට ගන්නවා. බොහොමයක් කළින් සටහනක දී කියපු standard form විදියට තමයි ඉදිරිපත් වෙන්නෙ. මූලික ප්‍රස්තුතයක්, සුළු ප්රස්තුත, නිගමනය. ඒත් සමහර අවස්ථාවල දී පුද්ගලයන් දැන හෝ නොදැන ප්රයෝගයන් යොදා ගන්නවා තර්කයෙන් දිනන්න. ඒවට තමයි දුර්මත කියන්නෙ.
මේ argumentum ad ignorantiam නමින් දුර්මත ගැන මා කළින් ලියූ සටහනක්.
තර්කයේ දී දුර්මතයක අරමුණ වැරදි අදහසක් හෝ සැඟවිල්ලක් කරන්න. දුර්මතයක් පදනම් වෙන්නෙ එක්කෝ අසත්‍ය අනුමානයක. නැත්නම් වැරදි විචාරයකින්. අදක්ෂයන් සමූහයක දී ඒ විදියට තර්කයෙන් ජයගන්න හැකියාව අයෙකුට ලැබුණත් දියුණු ලෝකයේ තරඟ කරන්න නම්, තමන්ගේ තත්වය වැඩි දියුණු කරගන්න නම්, කළ යුතු වන්නේ නිවැරදි තර්කය ඉගෙන ගැනීමයි. එවිට අනිත් අය වැරදි තර්කයේ යෙදෙන විට, තමන්ට නිවැරදි කරගන්න පුළුවන්. ඉගෙන ගන්නා දැයේ ඇති අඩුපාඩු තමන්ට ම හදා ගන්න පුළුවන්.
මැද අඩුපාඩු සහිත දුර්මත (fallacy of the undistributed middle):
මේක තර්කයේ ව්‍යුහය මත පදනම් වන දුර්මතයක්. අර කළින් කියපු standard form එක වැරදියට හෝ අවුල් කරගෙන පාවිච්චි කිරීම නිසා ඇති වන්නක්.
උදාහරණයක් මෙහෙම:
සියළු අශ්වයන්ට කකුල් හතරක් තියනවා.
සියළු බල්ලන්ට කකුල් හතරක් තියනවා.
ඒ නිසා සියළු අශ්වයෝ බල්ලෝ වෙති.
හිනා ගියාට ඒක කියෙව්වට පස්සෙ, තමන් ඇසුරු කරන අය කොයිතරම් දෙනෙක් ඒ විදියට තර්කයේ යෙදෙනවා දැයි, ඇමෙරිකන් ආණ්ඩුව වේවා ලංකා ආණ්ඩුව වේවා රාජ්‍ය ප්‍රතිපත්ති පවා ඔය තර්කයෙන් ස්ථාපිත වෙනවා ද කියා විමසිල්ලෙන් හිටියොත් පුදුම වෙයි!!!
මේ තර්කය ආශ්‍රය (association) මත පදනම් වෙලා වැරදි නිගමනයකට බහිනවා. අශ්වයන්ට කකුල් හතරක් තිබ්බ පළියට, බල්ලන්ට කකුල් හතරක් තිබ්බ පළියට අශ්වයෝ බල්ලො වෙන්නෙ නැහැනෙ. ඔවුන් වෙනස් සත්තු බව පෙන්වන වෙනත් දේවල් ගොඩක් තියනවා. ඒත් ජීවිතයේ දී අපි නිතරම ආශ්රයෙන් දන්න, දකින, ඇහෙන හුරු පුරුදු දේවල් මිසක් වෙනස්කම් තියනවා ද, ඒවා මොනවා දැයි හිතන්න කාලයක් යොදවන්නෙ නැහැ.
විපාකය තහවුරු කිරීමේ දුර්මතය (fallacy of affirming the consequent):
මේක වෙන්නෙ මෙහෙම:
ඒක අ නම්, ඊ ළඟට ආ;
ආ;
ඒ නිසා, අ.
ඉංග්‍රීසියෙන් ලියන්නෙ මෙහෙම:
If P, then Q;
Q;
Therefore, P.
උදාහරණයකට දාලා බලමු:
කවුරු හරි මනුස්සයෙක් නම්, එයා මැරෙන සුළු ය.
රම්බෝ මැරෙන සුළු ය.
ඒ නිසා, රම්බෝ මනුස්සයෙකි.
හොයලා බැලුවම රම්බෝ කියල නම දාලා තියන්නෙ මනුස්සයෙකුට නොවේ. බල්ලෙකුට. ඌ මැරෙන සුළු තමා. ඒත් මනුස්සයෙක් නෙමෙයිනෙ. මේ තර්කයේ වැදගත්කම තමයි එයින් යන්න හදන නිගමනය නිතරම වැරදි නොවීම. ඉතින් ඒ වගේ තර්ක දෙක තුනක් කරාට පස්සෙ, ඒ කියන්නෙ තර්කයේ අඩුපාඩුව තියෙද්දී නිගමනය හරි යැයි පෙනුනාම, හිමිහිට නිගමනය වැරදි තර්කයක් එතෙන්ට රිංගුවාම ඒක වැරදි බව දකින්න පුද්ගලයාට ඉඩක් නැහැ.
මනෝවිද්‍යාවේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ මතයක් තමයි අත්දැකීම් යටපත් කරගැනීමෙන් පසුකාලීන විනාශකාරී විපාක ඇතැයි කීම. ඒ මතය මේ තර්කයෙන් බැලුවාම:
* කාට හරි යටපත් කරගත්තා වූ කම්පනයක් ඇත්නම් (P), එයාට ඒ සිද්ධිය අමතක වෙලා තිබෙනු ඇත (Q).
* එයාට කම්පනය ගැන සිද්ධියක් මතකයේ නැත (Q).
* ඒ නිසා, එයා යටපත් කරගත්තා වූ කම්පනයක් ඇත (P).
පුද්ගලයෙක් කිසිම විටෙක කම්පනයක් අත්දැක නැතැයි යන්න සැලකිල්ලට ගැනීම අතපසු වෙනවා. මූලික ප්රස්තුතය නිවැරදි වුවත්, සුළු ප්රස්තුතය නිවැරදි වුවත් ඇවිල්ලා තියන නිගමනය වැරදියි.
2005 දී Richard Lynn මනෝවිද්‍යාඥයා IQ මනින පර්යේෂණයකින් පෙන්වුවා වැඩිහිටි අය හැටියට පිරිමි මොළ වල IQ ලකුණු වැඩි වුනත්, ගැටවර සන්දියේ ගැහැණු පිරිමි වෙනසක් තිබ්බෙ නැහැ කියල. එයා ගෙනාපු තර්කය තමයි ගැහැණු පිරිමි අතර බුද්ධියේ වෙනස ගැහැණු පිරිමි මොළ වල ප්‍රමාණය සහ ඔවුන් වැඩිවියට පත්වන වේගය (maturity rate) යනාදියෙන් තිරණය වෙන්නක් කියා.
දැන් මොළයේ ප්‍රමාණයෙන් බුද්ධිය බලපෑම් ඇති බවට අපට සාක්කි තියනවා. වැඩිහිටි පිරිමින්ට වැඩිහිටි ගැහැණුන්ට වඩා ලොකු ප්‍රමාණයකින් වූ මොළයක් තියනවා. ඒ නිසා, පිරිමි ගැහැණුන්ට වඩා බුද්ධියෙන් වැඩි යැයි කියා Richard Lynn තර්ක කරන්නෙ.
අර රම්බෝගේ උදාහරණයේ දී වගේ, Richard Lynn සලකා බලන්නට අතපසු කරන අනිත් දේවල් විමසිල්ලට ලක් වෙන්නෙ නැහැ. ගැටවර වියේ දී ගැහැණු මොළ හා පිරිමි මොළ එක හා සමාන බුද්ධියකින් යුතු වුවත් වැඩිහිටි කාලයේ දී වෙනස් වෙන්නට බලපාන්නා වූ තව සාධක තියනවා ද? ගැහැණු මොළ ගැටවර වියෙන් ඉක්ම වී යද්දී බුද්ධියට නොව රැක බලා ගැනීම (nurture) වැනි වෙනත් පැත්තකට වැඩියෙන් අවධානය යොමු කරනවා ද?
සටහනක් ලියද්දී, පර්යේෂණයක යෙදෙද්දී, වාර්තාවක් සකස් කරද්දී ඔය වගේ තර්කයේ ඇති දුර්මත ගැනත් පොඩ්ඩක් අවධානය යොමු කළොත් තමන්ගේ මතය වඩා ශක්තිමත්ව ඉදිරිපත් කරන්න පුළුවන්. තමන්ගේ නිෂ්පාදනයේ අගය වැඩි වේවි.
“ඇමරිකාවෙ ආර්ථික වර්ධනය සීයට 2.5යි සීව්ඩනයෙ 3යි ඩෙන්මාර්කයෙ 2.6 ජර්මනියෙ 2.8 බ්‍රිතාන්‍යයේ 2.9 ප්‍රංශයේ 2.7 යි අපේ පසුගිය වසර හතර පුරාවට ලංකාව 6.5යි අපිට ඒතරම් ආර්ථික වර්ධන වේගයක් ගන්න පුලුවන් වෙලා තියෙනව..”
නිමල් සිරිපාල ද සිල්වා ආන්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ඊයේ දිනේ පාර්ලිමේන්තුවේ අයවැය විවාදයට සහභාගී වෙමින්…මෙතන ඉලක්කම් සුට්ටක් වැරදි වෙන්න පුලුවන් ඒත් ඒ හැම රටේම 3ට අඩුයි කියල මට මතකයි…
මේක අහන ගොඩක් අයට හිතට යන්නෙ අඩේ අමෙරිකාව,වගේ දියුනු රටවල් වලටත් වඩා වේගයෙන් අපේ රටේ ආර්ථිකේ දියුණු වෙලා කියන එක..ඒත් සුට්ටක් කැරකවල හිතන කෙනෙකුට තේරෙන සරලම දේ තමයි මේ වගේ ආර්ථික අතින් දියුණුයි කියල නිමානය කරන රටවල තවත් දියුණු වෙන්න තියෙන්නෙ මොනාද??සංවර්ධිත රටවල තවත් තවදුරත් සංවර්ධනය විය යුතු තත්වයක් නෑ.තියෙන්නෙ පවතින තත්වය පවත්වාගෙන යෑම…
ඇමරිකාවෙ බස් එකකට නගින බස් එකක යන මිනිසුන් ගානට වඩා බොහොම වැඩියි ලංකාවෙ එක බස් එකක යන මිනිසුන් ගණන..හැබැයි ඒ බස් එකක යන මිනිසුන් ගාන අපේ වැඩි උණා කියන්නෙ අපේ ප්‍රවාහන සේවය හොඳයි කියලවත්,අපේ අයගෙ ප්‍රොඩක්ටිවිටි වැඩියි කියන එකටවත් එක්සාම්පල් එකක් නෙමෙ…චන්ද්‍රිකා ආන්ඩුව කාලයේ වරක් රටේ ත්‍රීවිල් සංඛ්‍යාව වැඩිවීම කියන සාධකය වේදිකාවල පස්ට ගැහුව..ත්‍රිවිල් වැඩි වීම මිනිසුන්ගෙ අතේ සල්ලි තිබෙන බව නිරූපනය කරනව කියලත් කිව්ව…ඒත් සැබෑව තමා..රෝද 4ක් ගන්නට සිටියත් ආර්ථික වැටකඩොලු නිසා මිනිසුන්ට 3නකින් සෑහිමට පත්වීමට සිදුවීම…
ලිපියට අදාල නෑ ඒත් ලංකාෙව සිංහල මීඩියා වල යන ජනප්‍රිය තර්ක සම්ප්රදාය වෙන්ෙන මේක..
ලංකාවේ ආර්ථික වර්ධනයක් පෙන්වන්නේ කුඩු දුමින්දයා, දිලිත් ජයවීරයා, කුඩු මැරවියා, වාගේ එවුන් උන් හම්බ කරන කළු සල්ලි, මහා එකාගේ ආශිර්වාදය යටතේ කොටස් වෙළඳපොළට යොදන නිසයි.
indika27,
නොයෙකුත් දත්ත පෙන්වද්දී කජු ඇටයි කොස් ඇටයි කලවම් කරන එක ආදී කාලේ ඉඳන් පාවිච්චි කරන ප්‍රයෝගයක් වගේම සීමිත දත්ත සමූහයක් පමණක් දිහා බලලා මුළු සමස්තය ගැන අනාවැකි කීමත් ඉස්සර කාලේ සිට කරන ප්‍රයෝගයක්.
2012 වසරේ GDP වෙනස ගැන The Economist සඟරාව අනාවැකි හදල තියෙන්නෙ මෙහෙම: ඇමෙරිකාවේ වර්ධනය 1.3%; බ්‍රසීලයේ වර්ධනය 3.5%; යුරෝ රටවල 0.3%; රුසියාවේ 3.7%; ඉන්දියාවේ 7.8%; චීනයේ 8.2%; ජපානයේ 2.2% යි.
ඒ දත්ත දිහා විතරක් බලල පිටසක්වල වැසියෙක් පෘතුවියට ආවොත් ජීවත්වෙන්න තෝරා ගන්නෙ මොන රට ද?
ඒත් මේ ලෝකේ ඉන්න වැසියෝ පෝලිම් ගැසී ජීවත්වෙන්න යන්න පොරකන්නේ මොන රටවල් වලට ද?!!!
ආණ්ඩු පක්ෂයේ සංවිධායක කරපු කතාවේ දී //ඇමරිකාවෙ ආර්ථික වර්ධනය සීයට 2.5යි සීව්ඩනයෙ 3යි ඩෙන්මාර්කයෙ 2.6 ජර්මනියෙ 2.8 බ්‍රිතාන්‍යයේ 2.9 ප්‍රංශයේ 2.7 යි // කිව්වේ වසරක දත්ත කියා ද? වසර හතරක දත්ත කියා ද? තවත් විදියකින් කිව්වොත්, ඇමෙරිකාවේ වසර 4 ක ආර්ථික වර්ධනය සීයට 2.5 කියලා ද කිව්වෙ? නැත්නම් වසරක ආර්ථික වර්ධනය සීයට 2.5 බව ද? ඒ රටවල් කාර්තුවක? ආර්ථික වර්ධනය එක්ක ලංකාවේ වසර හතරක ආර්ථික වර්ධනය ද සංසන්දනය කරන්නේ?
ඵෛතිහාසිකව 1947 සිට 2011 දක්වා ඇමෙරිකාවේ දළ ජාතික නිෂ්පාදිතයේ සාමාන්‍ය වර්ධනය එක කාර්තුවක දී (average quarterly GDP growth) 3.28% තිබූ බව මෙතැන සඳහන්.
ඇමෙරිකාවේ තෙද බල බිඳිලා යැයි සතුටු වෙන්න සමහර දත්ත පමණක් අල්ලා ගත් අයට පුළුවන්. ඒත් තර්කය පාවිච්ච කරන කෙනෙකුට පේනවා අද චීනයටත්, රුසියාව හා ඉන්දියාවටත් තව ඉස්සහරට ආර්ථික වර්ධනයක් පවත්වා ගෙන යන්න ඕනෑ නම් ඔවුන්ටත් ඇමෙරිකාව නැතිව බැහැ කියලා. ඇමෙරිකාව පෝසත් වෙද්දී ලෝකය ම පෝසත් වෙනවා වගේ ම ඇමෙරිකාව දුප්පත් වූ කාලයේ දී ලෝකයේ අනිත් රටවල් වැඩිපුර ප්‍රමාණයක් ද දුප්පත් වෙච්ච කාලය වූ බව පෙන්වන්නේ ඉතිහාසයයි.
මේකත් කියවන්න. ඔයා නැඟූ අදහස් බොහොමයක් ගැන මේ සටහන විමසිලා තියෙනවා.
මෙතන සිරිපාල උන්නැහේ පත්තරයක් බලාගෙන කිව්වෙ මට මතක විදියට කාල සීමාව කිව්වෙ නෑ..
ඒත් මේක හරි සරල දෙයක්නේ..දැන් ලෝකෙ සංවර්ධිතයි කියන රටවල් වල අය තමයි සංවර්ධනය වීම මනින මාන තනා තියෙන්නෙ…එතකොට එයාලට වඩා බොහොම අඩු තැනක ඉන්න සංවර්ධනය වෙමින් පවතින රටක සංවර්ධනය කියන තැනට යන වේගය වැඩි වෙන්න පුලුවන්..
ඒත් සංවර්ධනය හිනිපෙත්තෙ ඉන්න කෙනෙක් තවත් සීඝ්‍ර වේගෙකින් සංවර්ධණය වෙන්නෙ කෝමද??බිම ඉඳල සිරස්ව ප්රක්ෂේපනය කරන බෝලයක් මුල් තත්පර කීපයෙදි ඉතා වේගයෙන් දුන් ප්‍රවේගයට සමාන ආසන්න වේගයෙන් එහෙත් වේගය අඩුවෙමින් උඩ යනව..නමුත් බෝලය යන්න පුලුවන් උපරිම සීමාව කිට්ටු වෙලාවට බෝලයෙ වේගය අඩුයි..
indika27,
ඉන්දික කියන්න මට වැටහෙනවා. ඒත් මම සංවර්ධනය දකින්නෙ බෝලයක් උඩට විසි කළාම යන්න හැකි උපරිම ඉහළක් වගේ සීමාවක් නැති වූවක් හැටියට. මිනිස් මොළය අපූර්ව නිසා, මිනිසාට සංවර්ධනය යනු කන්න බොන්න, අඳින්න පළඳින්න, යාන වාහන, ගෙවල් දොරවල් හා නිරෝගී බවෙන් පමණක් ලබා ගත හැකි වූ සීමා ඇත්තක් නොවේ. අද සංවර්ධිත රටවල වේගය අඩු වෙලා තියෙන්නෙ ඒ රටවල ම ඇති රෙගුලාසි වැඩි වීම නිසා. ඒ රෙගුලාසි ගැන තාර්කික විචාරයක් කරලා ඒවා ජනතාවගේ යහපත පිණිස ද නැත්නම් පාලකයන්ගේ හිතසුව පිණිස දැයි බලන්න සංවර්ධිත රටවල ප්රජාතන්ත්රවාදී අයිතිය හා නිදහස තියන අය ද පසුබට වීම ලොකු පාඩුවක්.
ගල් යුගයේ ජීවත් වූ මිනිසාට අද ඇති දියුණුව තමන්ටත් පරිසරයටත් කොතරම් වාසිදායක දැයි හිතා ගන්න නොහැකි වූවා. එසේම අද ජීවත්වන අයට හිතන්නට වත් බැරි තරම් දුරකට මිනිසාගේ හා මිනිසා වාසය කරන පරිසරයේ යහපත පිණිස සංවර්ධනයකට හැකියාව මිනිසා සතුයි කියා තමයි මම හිතන්නේ.
කවුරු හරි මනුස්සයෙක් නම්, එයා මැරෙන සුළු ය.
රම්බෝ මනුස්සයෙකි.
ඒ නිසා, රම්බෝ මැරෙන සුළු ය.
අන්න එහෙම තර්ක කලොත් නං හරි නේද?
තර්ක ගැන වැඩිදුර ලියන්න බැරිද?
පරණ ලිපි දැන් දැක්කෙ.
රාජ්,
ඔව්, ඒ විදියට තර්ක කිරීම හරි. ප්රස්තුත වල නිවැරදි බව නිතරම තහවුරු කරගන්න ඕනා.