අරුණි ශපීරෝ‍ වෙතින්

එදිනෙදා ජීවිතයට තර්කයේ වැදගත්කම

Posted in Uncategorized by arunishapiro on නොවැම්බර් 24, 2011

තර්කය යනු පැහැදිලිව සහ සංසක්ත ලෙස හිතන්නට සහ කතාබහට උපකාරී වන මාර්ගයකි. සංසක්ත යන වචනයේ අදහස නම් ඒ මාතෘකාවට හෝ විෂයයට අදාල වූ ගැලපෙන දේ පමණක් ගෙන අදාල නැති ගැලපෙන්නේ නැති දේවල් වලින් බැහැර වීමයි. අපි දොඩම් ගෙඩියේ ගුණ අගුණ විමසද්දී අඹ ගෙඩියේ ගුණ කීම අදාල නැත. එයින් දොඩම් ගෙඩියේ අගය විමසීම අවුල් වී පැහැදිලි බවින් තොර වෙයි. දොඩම් ගෙඩියේ ගුණ අගුණ විමසා ඒවා මොනවා දැයි තහවුරු කරගත් පසු අඹ ගෙඩියේ ගුණ අගුණ විමසා ඒවා මොනවා දැයි තහවුරු කරගත් පසු පමණක් ඒ පළතුරු දෙක අතර සංසන්දයක් කළ හැකිය.

එදිනෙදා ජීවිතයේ දී පැහැදිලි සහ සංසක්ත ලෙස කතාබහ නිසා කතාබහේ යෙදෙන අයට අදහස් හුවමාරුව පහසු ය. එවැනි කතාබහෙන් හුදු කාලය කා දැමීමට පමණක් නොව අනුන් කියනා අදහස් වටහා ගැනීමට උත්සාහයක් ද එයින් තම ජීවිතයට යමක් එකතු කරගන්නට අවස්ථාවක් ද ලැබේ.

තර්කය නොමැති කතාබහේ දී හුවමාරු කරගන්නා අදහස් ගැන මිනිසාට ලැබෙන්නේ ප්‍රාථමික වූ අවබෝධයකි. තර්කය නොමැති විට අයෙක් කියන අදහසක් වැරදියට වටහා ගැනීමේ අවදානම වැඩි ය. අදහස වැරදියට වටහා ගත් නිසා වැරදි පිළිතුරක් දී කතාබහ දැන් යන්නේ අදහස් හුවමාරුවෙන් යම් ධනාත්මක ප්‍රතිඵලයකට නොව සංවාදයේ යෙදෙනා අයගේ තත්වයන් පල්ලම් බහින අරගලකාරී වූ වාතාවරණයකට ය.

තාර්කිකව සිතන්නට බැරි අයෙකුව පහසුවෙන් ආවේගාත්මක කතා වලින් නම්වා ගත හැකිය. සමාජයේ විටින් විට දකින යම් රැල්ලක් අල්ලා ගෙන දුවන්නේ තාර්කික චින්තනය පාවිච්චි නොකරන අය වෙති. ඒ නිසා තාර්කිකව සිතන්නට බැරි අයෙක් සමාජයේ අනිත් අය බොහොමය කරන නිසා, එය නිවැරදි යැයි සිතා එය කරන්නට පෙළඹේ. “හැමෝම යනවා නිර්මලාගේ උපන් දින සාදයට, ඒ නිසා මාත් යන්න ඕනා,” යැයි සිතනා අය සමාජයේ තර්කය පාවිච්චියට නොගන්නෝ වෙති.

තර්කයේ නියැළෙන්නට බුද්ධිය අවශ්‍ය ය. තර්කයත් බුද්ධියත් මිනිස් ස්වභාවයන් වෙති. ඒවා පාවිච්චි නොකර සිටීම ද මිනිස් ස්වභාවයකි!!! සත්වයින්ට ඇති සහජ හැකියාවන් පාවිච්චියට නොගෙන සිටීමට උන්ට නොහැකිය.!!!

තර්කයේ කරන බුද්ධිමය විමසිල්ලට සාධක ගැන සොයා බැලීමක් සහ සොයාගත් සාධක ගැන තක්සේරුවක් කිරීම ද සිද්ධ වේ. “හැමෝම යනවා ද?” මෙහි දී නොයන අය නොදකින්නට බුද්ධිය පාවිච්චි කරන්නා ඇස් පියා නොදැක සිටියා සේ ඉන්නේ නැත. ඊ ළඟට, “හැමෝම යන නිසා” පමණින් “මා යන්නේ ඇයි?” යන්න ගැන තක්සේරුවක් කරන්නට ද පසුබට නොවේ.

ආවේගාත්මක වාග් සටන් වලින් අනිත් අයට වඩා පහසුවෙන් වදන් හසුරුවන්නට හැකි වූ පමණින් ඒ අයට තර්කය පාවිච්චි නොකරන අයව නම්වා ගත හැකිය. තමන්ට තර්කය පාවිච්චිය බැරි නිසා, දුර්මත වලින් තර්කයේ යෙදෙන වංචාකාරයන්ට රැවටෙති.

තර්කයෙන් යම් යෝජනාවක ඇති වටිනාකම තක්සේරු කරන්නට නොදන්නා නිසා තමන්ගේ යහපත පිණිස නොවන දේ වලට අහුවෙති.
උදාහරණයක්:
ඇමෙරිකාවේ උපාධිධාරීන් වැඩි පඩි ලබති.
ආණ්ඩුව ණය දෙන නිසා උපාධියක් ලබා ගන්නට විශ්ව විද්‍යාලයට යා හැකිය.
ණය වී උපාධියක් ලබා ගැනීමෙන් වැඩි පඩි ලබත හැකිය.

ඉහත මූලික ප්‍රස්තුතය නිවැරදි ය. ඇමෙරිකාවේ රැකියාව කරන උපාධිධාරීන් උපාධියක් නැති අයට වඩා පැහැදිලිව ම වැඩි පඩි ලබන්නෝ ය. දෙවැනි ප්‍රස්තුතය ද නිවැරදි ය. ආණ්ඩුව ණය දෙන නිසා උපාධියක් ලබා ගන්නට විශ්ව විද්‍යාලයට යා හැකි ය. එහෙත් අද ඇමෙරිකාවේ බොහෝ සිසු සිසුවියන් “ණය වී උපාධියක් ලබා ගැනීමෙන් වැඩි පඩි ලබත හැකිය” යන දුර්මත තර්කයෙන් එළඹුන නිගමනයට ගිය නිසා ආර්ථික දුක් විඳිති.

රැකියාවල් නොලැබෙන අධ්‍යාපන මාලාවන් විශ්ව විද්‍යාල තුලින් ඉගෙන ගන්නට ණය ලබා දෙන ආණ්ඩුව තර්කය බැරි සිසු සිසුවියන් රවටන වංචාකාරයෙක් ද? රටක් හැටියට ණය වී, තව දුරටත් රැකියාවල් නොලැබෙන අධ්‍යාපන මාලාවන් හදාරන්නට සිසු සිසුවියන්ට තමන් ගත් ණයෙන් ණය දෙන ආණ්ඩුව වංචාවේ යෙදෙනවා ද?

උපාධිධාරීන් වැඩි පඩි ලබන්නේ රැකියාවක් කරද්දී ය. තවත් විදියකින් කිවහොත් රැකියා ලබා ඇති අය අතර වැඩි පඩි ලැබෙන්නේ උපාධිධාරීන්ට ය. තමන් ණය ගෙන ඉගෙන ගන්නේ රැකියාවක් ලබාගත හැකි උපාධියක් පිණිස දැයි විමසුවේ නැති නිසා, අද රැකියා නොමැතිව, ආණ්ඩුවෙන් ගත් ණය ගෙවා ගත නොහැකිව දුක් විඳිනා සිසු සිසුවියන් පිරිස අසරණ වී ඇත.

ආවේගාත්මක බලපෑමෙන් හා සමාජීය බලපෑමෙන් තම ජීවිතයේ තෝරා ගැනීම් කරන්නේ ද එවිට තෝරා ගැනීම් වලින් තර්කය බැහැර වී යයි. ඒ අයව දක්කා ගෙන යෑමට, ඒ අයගේ හිතසුව පිණිස නොව දක්කා ගෙන අයගේ මල්ල පුරවා ගන්නට අරමුණ ඇති අයට ඉන් ඉතා පහසු ය.

“මෝඩයෙකු වෙතින් ඔහුගේ වත්කම ඉක්මණින් වෙන් වෙයි.” -ඉංග්‍රීසි උපමාවකි. (A fool and his money are soon parted.)

ණයක් ගන්න ගියාම තර්කය ගෙදර තියලා යන අයත් බොහොමයි. මෙන්න හොඳ උදාහරණයක් ණයක් ගන්න හිතද්දී තර්කය අරගෙන යන්න මතක් කරන.
1461 ජූලි 18 වැනිදා එංගලන්තයේ හතරවැනි එඩ්වර්ඩ් රජු අද සල්ලි වලින් $384 ක් New College of Oxford වෙතින් ණයට අරගෙන. රජු ඉන් $160 ක් ඉක්මණින් ආපහු ගෙවලා. ඒත් ඉතිරි $224 ගෙවා නැහැ. වසර 535 කට ණය හැමෝටම අමතක වෙලා. 1996 දී කැම්පස් අයට ඒක හොයාගන්න ලැබුණම ඔවුන් එංගලන්තයේ මහරැජිනට බිලක් යවනවා පොලියත් එක්ක ණය පියවන්න කියලා. වසරකට 4% ක පොලියක් එක්ක කැම්පස් එකට ලැබිය යුතු මුදල බිලියන $290 ක් බව ගණන් හදලා!!!

ඉහත කතාව සඳහන්, තමන්ගේ වත්කම ගැන තාර්කිකව හිතන්න කැමති අයට, විශේෂයෙන් ම සිසු සිසුවියන්ට වැදගත් පරිච්ඡේදයක් මෙතැනින් කියවන්න පුළුවන්.

මහ රැජින තාම ණය ගෙවලා නැහැ!!!

ගණිතය වගේ තමයි තර්කයත්. දුර්මත වලින් තොර තර්කයෙන් වැරදි නිගමනයක් නිවැරදි යැයි පෙන්වන්න බැහැ. හරියට හැදුවාම හැමෝටම ලැබෙන්නෙ එකම නිවැරදි උත්තරය.

Advertisements

13 Responses

Subscribe to comments with RSS.

  1. kathandarakaraya said, on නොවැම්බර් 24, 2011 at 5:38 ප.ව.

    මෑන්හැට්න් දූපත ද කොහෙද ස්වදේශිකයින්ගෙන් බීඩ්ස් කිපයකට මිළට ගැනීම ගැනත් මේ ඔක්ස්ෆර්ඩ් කතාව වගේ කතාවක් තියෙනවා නේද?

    • arunishapiro said, on නොවැම්බර් 24, 2011 at 10:17 ප.ව.

      kathandarakaraya,

      හතරවැනි එඩ්වර්ඩ් රජු නොගෙවපු ණය ගැන කතාව එක්ක දෙපාර්ශවයක් විසින් කැමැත්තෙන් කළ ගණුදෙනුවක් සංසන්දනය කරන්න පුළුවන් ද?

      මෑන්හැටන් ගණුදෙනුව ගැන ලුයිසියානා ඉඩම් මිලට ගත්තු එකත්, ඇලස්කාව මිල දී ගත්තු එකත් එක්කයි සසඳන්න ඕනා.

      මෑන්හැටන් දූපත අයිති කරගන්නටPeter Minuit නැමති ඕලන්ද ජාතිකයා ස්වදේශිකයන් හා ගණුදෙනුව කරලා තියෙන්නෙ 1626 දී dutch guilders 60 ක් වටිනා බඩු තොගයක් දීලා. 1626 දී යටත් විජිත ඇමෙරිකාවේ ගණුදෙනු ගොඩක් මුදල් හුවමාරුව නැතිව භාණ්ඩ හුවමාරුවෙන් සිද්ධ වෙලා තියනවා. In any event, there is no evidence that either the Dutch or the Indians believed they had swindled, or been swindled by, the other party to the deal. ඉතිහාසය පෙන්වන තවත් කරුණක් තමයි මෑන්හැටන් විකුණපු ස්වදේශිකයන් එහි පදිංචිය නොතිබි අසල ඇති ස්ටැටන් අයිලන්ඩ් වැසියන් බව. ඔවුන් ස්ටැටන් අයිලන්ඩ් හය වතාවක් සුද්දන්ට විකුණලා තියනවා කියා ඉහත සබැඳිය පෙන්වා දෙනවා.

      • kevin perera said, on නොවැම්බර් 29, 2011 at 7:43 ප.ව.

        “The Great Chief in Washington sends word that he wishes to buy our land. . . . But we will consider your offer, for we know if we do not . . . the white man may come with guns and take our lands. . . . How can you buy or sell the sky—the warmth of the land? The idea is strange to us. Yet we do not own the freshness of the air or the sparkle of the water. . . .

        From a Speech by Red Indian Chief Seattle

        • arunishapiro said, on නොවැම්බර් 30, 2011 at 11:06 පෙ.ව.

          kevin perera,

          සියැටල් ලොක්කාගේ කතාවේ මූලාශ්‍රය කොහෙන් ද?

          පහුගිය දවසක දයාල්-බතී දාලා තිබිච්ච සටහනක ලයනල් බෝපගේ ගැන ලියූ පොතකින් කෑල්ලක් දක්කා. එහි ජෝර්ජ් වොෂිංටන් හා ඒබ්‍රහම් ලින්කන් ගැන සඳහන් වුනා. වොෂිංටන් ජනාධිපති වෙලා (1789-1797) වසර 70 කට විතර පස්සෙ ජනාධිපති වෙච්ච (1861-1865) ලින්කන් එකම කාලේ ජීවත් වෙච්ච විදියට හැඟෙන්න ලියා තිබුණා යැයි මට සිතුණ.

          ලංකාවේ පොතක් ලියූ කෙනෙකුට වූ එවැනි වැරැද්දක් ගැන වැඩිය බනින්න බැහැ. මෙහෙ පොත් ලියන අයත් ඉතිහාසය හරි හැටියට හොයා බලන්නෙ නැතිව ලියද්දී!!!

          සියැටල් ලොක්කා 19 වැනි ශ. ව. දී ජීවත් වූ ඇමෙරිකන් නායකයෙක්. ඒත් එයාගේ වදන් උපුටා දක්වන අය බොහොමයක් දන්නෙ නැති කාරණයක් තමයි ඒවායෙන් කොපමණක් සියැටල් ලොක්කා කියපු ඒවා ද නැත්නම් පරිසර දූෂණය ගැන චිත්‍රපටි තිර රචනයක් ලියූ Ted Perry විසින් ලියූ ඒවා ද කියන්න.

          ස්වදේශී ඇමෙරිකානුවන් දේපල අයිතියට තැනක් දීපු බව පෙන්වන උදාහරණ ඉතිහාසයෙන් හොයාගන්න පුළුවන්. ඉඩම් අයිතිය එවක වූ යුරෝපීයන්ට වඩා වෙනස් විදියකට ඔවුන් අතර ක්‍රියාත්මක වූයේ. සමහර අයිතීන් සම්පූර්ණයෙන් ම හෝ බොහෝ දුරට සම්පූර්ණ වූ ආකාරයකින් සාමූහික අයිතියක් ද, අනික් ඒවායේ අයිතිය ගෙවීමකින් යම් සීමිත වූ අයිතියක් බව
          ද ඉතිහාසය කියනවා.

          වගා බිම් සඳහා ආයෝජනයක් කරන්න ඕනා. ඒවායේ සීමා පෙන්වන්න පුළුවන්. ඒ නිසා වගාබිම් හැම විටම පුද්ගලික අයිතිය යටතේ තිබුනේ ඒකීය පුද්ගලයන් අත නොව පවුල් හෝ ගෝත්‍රිකවයි. ඊසාන පැතිවල වාසය කළ Mahican ස්වදේශී ඇමෙරිකානුවන් ගංඟා අසබඩ වගාබිම් වලට පාරම්පරික අයිතිය කිව්වා. යුරෝපීයයන් ඒ අයිතිය සැලකිල්ලට ගෙන තියන
          බව පෙන්වන්නේ ඔවුන් පරම්පරාවෙන් ආ ඉඩම් හිමියන් වෙතින් ඒ ඉඩම් මිල දී ගැනීමෙන්. එසේම අනිකුත් ස්වදේශී ගෝත්‍රිකයන් ද ඒ ඉඩම් වලට අනවසරයෙන් ඇතුල් වීම ද කර නැහැ.

          ගංඟා වලින් ඈත් වෙද්දී, වගාබිම් වල අගය අඩු වෙද්දී ඒ ඉඩම් සඳහා අයිතියක් කීම ඔවුනට වැදගත් වුනේ නැහැ.

          මස් පිණිස සතුන් දඩයම, හම් සඳහා සතුන් ඇල්ලීම හා මාළු ඇල්ලීමට ඔවුන් අතර රීති තිබියා. ඒවා ආගමික හා අධ්‍යාත්මික වූ රීති. බීවර් නැමති සතාගේ ලොම් සඳහා ඉල්ලුම වැඩි වෙද්දී ඒ සඳහා පාරම්පරික අයිතිය තිබි පවුල් හා ගෝත්‍රිකයන් අතර වූ බව Montagnais-Naskapi අය අතරින් පේන බව කියනවා.

          අත්ලාන්තික් මුහුදේ සිට පංච මහා විල් දක්වා දඩයම් කිරීමේ අයිතිය පිරිමි අයගෙන් පිරිමි අයට හිමිවන පරිදි ලැබුනේ Algonkian අයට.

          රට මැද වාසය කළ ඇමෙරිකන් බෆලෝ නිසා ජීවිතය රැකගත් Plains අයටත් ඉඩම් අයිතිය හා සාර්ථක දඩයම් වලින් වාසි ලැබෙන රීති තිබියා. බෆලෝ මැරූ දඩයක්කාරයාට සතාගේ හම තියාගන්නත්, උගේ මස් වලින් හොඳම කොටසට අයිතියක් ලැබුණු බව කියනවා. දඩයක්කාරයාගේ ඊ තලය හඳුනාගැනීමට හැකි විදියෙන් මැරුවේ කවුදැයි නිශ්චය කරන්නේ ගෝත්‍රයේ නායකයා. දඩයමේ යන අශ්වයන් අයිතිය ඇති අය දඩයමට අශ්වයෙක් දුන්නොත් ඊට ගෙවීමක් ද, අශ්වයාට අනතුරක් නොවන ලෙසින් බලා ගන්න ද, අශ්වයා මිය ගියොත් හෝ පැන ගියොත් ඊට වගකියන්නත් රීති තිබියා.

          එතකොට පැසිෆික් වයඹේ මාළු අල්ලන පැති ගැන ද ඔවුන් අතර සැමන් අයිති ගැන පැහැදිලි රීති තිබිලා තියනවා. 1852 දී ඉපදුන Quileute අයෙක් කියූවක් අනුව ඔවුන් තමනට ඇති තරමට සැමන් අල්ලා ගත්තාම ගඟ මැදින් දැමූ බාධක ඉවත් කරනවා සැමන් මාළුන්ට උඩුගං පීනලා තවත් බිත්තර දාන්නට ඉඩ දෙන්න. මාළු අල්ලන අයිතීන් ද තාත්තගෙන් පුතාට ගිය අයිතීන්.

          කාන්තාවන් අතර ද පුද්ගලික දේපල අයිතියක් තිබියා. ඔවුන් සතු ඇඳුම්, සත්ව ලොම්, විච්චූර්ණ මාල වළළු යනාදියත් නිවසට හිමිකමත්.

          ඔය ඔක්කොම ලිව්වෙ යුරෝපීයයන් ඇමෙරිකාවට එද්දී මෙහි හිටපු ස්වදේශී අය සාමූහිකව පරිසරයෙන් ලැබෙන සියල්ල බෙදා ගනිමින් ජීවත් වූ පිරිසක් නොව පුද්ගලික අයිතිය ඇති අය බව පෙන්වන්න. ගෝත්‍රික කණ්ඩයාම් අනුන්ගේ ඉඩම් කොල්ලා කෑවා. එසේ කොල්ලා කද්දී කාන්තාවන් හා දරුවන් වහල් බවට ගත්තා. ඔවුන් අතර මෙන් ම යුරෝපීයයන් සමඟ ද පුද්ගලික දේපල හුවමාරු කරන ගණුදෙනු කළා. එසේ නැතිව ඔවුන් සියල්ලට අයිතිය සාමූහිකව කියමින් පරිසරය දායාද කරපු දේවල් බෙදා හදා ගෙන ජීවත් වූවා යැයි කීම වාමාංශික පරිසරවේදීන්ගේ හීනයක් විතරයි!!!!

          ඉහත තොරතුරු මෙතැනින්: http://www.thefreemanonline.org/featured/property-rights-among-native-americans/

          http://www.perc.org/articles/article802.php

          ටෙඩ් පෙරී ලියපු තිර රචනය ගැන විස්තර මෙතැනින්: http://www.snopes.com/quotes/seattle.asp

  2. indika27 said, on නොවැම්බර් 24, 2011 at 11:10 ප.ව.

    එංගලන්තෙ මං හිතන විදියට ඒ කාලෙ එ් කියන්නෙ 1461දි රාජාන්ඩුවක්..හෝ රජට වැඩිපුර බලය ඇති ක්‍රමයක් තිබුනෙ..රජතුමා ණය ලබාගත්තෙ හුදෙක් පුද්ගලික දේකට නම් ඔහුගේ අනුප්‍රාප්තිකයා ලෙස එලිසබෙත් රැජින එය ගෙවීම සුදුසුයි…
    ඒත් අපේ රටේ යනවිදියට පියාගෙන් ලොකු පුතාට බලය යන ක්‍රමයට නෙමෙයි මම හිතන්නෙ එංගලන්තෙ රජ පරම්පරාව යන්නෙ…එතකොට නීතිමය විදියට නියම වගකිව යුත්තා එලිසබෙත් රැජිනද කියන එක ගැටලුවක්..වරුවක් හොයන්න වෙන දෙයක්…
    නමුත් මේ දේ ගත්තෙ රාජ්‍ය වියදමක් පියවීම සඳහා නම් එය එංගලන්තයේ දැනට සිටින පාලකයින්ගෙන් අය කරගත යුතුයි..
    අනික් කාරණාව තමයි හිතාමතා විශාල මුදලක් පොලිය ලෙස ලැබගැන්මේ අදහසින් රජතුමාට සහ අනුප්‍රාප්තිකයින්ට ණය පිළිබඳ නොදන්වා සිටීම..ණය ගත්ත පාර්ශවයට මුදල ගෙවන්න අමතක උනත් ඒ අයට කිසිදු දැනුම් දීමකින් තොරව ණය මුදලට පොලිය එකතුකරන්න අයිතියක් නෑ…
    මම හිතන්නෙ ණය මුදලට පොලි එකතුකරන කාලසීමාව වැරදියි…රජතුමාට මුදල් නොමැති නිසා නෙවෙයි නොගෙන්වන්න ඇත්ත මතක නැති වීම නිසා…
    ණය හෝ කිනම් වාරික මුදලක් ගෙවීමට ඇති අවස්ථාවක ඒ මුදල් ගැන වරින් වර ඒ කස්ටර්මර් හෝ ණය ගත් පාර්ශවය දැනුවත් කල යුතුය කියල රෙගුලාසි ඒම යහපත්..නැත්තං තමුන්ටත් සමාගමට හෝ මුදලාලිටත් අමතක වෙන කාලසීමාවක් සඳහා නිකරුනේ මුදල් ගෙවන්න පාරිභෝගිකයින්ට සිදුවෙනව..

    එක්තරා දුරකථන සමාගමක පසුගෙවුම් සේවාව විසන්ධි කරගන්න රුපියල් පන්දාහක් විතර ගෙවන්න ඕනි…ඉතින් එක් පාරිභෝගිකයෙක් ඒ රුපියල් පන්දාහ දීල සේවාව විසන්ධි කරගන්නෙ නැතුව ඉඳල දුරකථන සමාගම ඔහුට දැනුම් නොදී ඔහු මාසික ගාස්තු නොගෙවන නිසා සම්බන්ධතාවය අත්හිටුවල නෙට්වර්ක් එකෙන්..එසේ උවත් වසර 3කට පසු ඔහුට නෝටිස් එකක් එනව ඔබගේ එකතු වී ඇති මාසික වාරික මුදල් වල එකතුව රුපියල් තිස්දාහකි වහාම ගෙවන්න නැතහොත් නඩු පවරනව කියල…
    එතකොට අර කස්ටර්මර් තමුන්ට සර්විස් එක නොමැති අවුරුදු 3කට මාසික සේවා ගාස්තු ගෙවන්න ඕනි..එහෙම උනේ දුරකථනය විසන්ධි කරගන්න රුපියල් පන්දාහ ගෙව්වෙ නැති නිසා..ඒක හරි කැත වැඩක්..ඒත් ඒක දැන් සුලභව සිදු වෙන දෙයක්..තමුන් පාවිච්චි නොකරන සම්බන්ධතාවයක් ඉබේම කැපිල යන්න නොදී මොන මනුස්සයද රුපියල් පන්දාහක් දීල ඩිස්කනෙක්ට් කරගන්නෙ…

    • arunishapiro said, on නොවැම්බර් 30, 2011 at 10:24 පෙ.ව.

      indika27,

      ඔව්, Edward IV රජු ගන්න ණය පුද්ගලිකයි. ඒ නිසා ඒ පරම්පරාවේ බූදලය හිමි වූ එංගලන්තයේ ඔටුන්න පළඳින එලිසබෙත් රැජින එය ගෙවිය යුතුයි. ඒත් රාජාණ්ඩුව (monarchy) ව්‍යවස්ථාදායක රාජාණ්ඩුවකට (constitutional monarchy) ගියාට පස්සෙ රැජින සතු පුද්ගලික දේපල හා ආණ්ඩුව සතු දේපල බෙදී යාමෙන් නව තත්වය කෙසේ දැයි අනුව තමයි එය තීරණය වෙන්නෙ. ඒ උදාහරණය දීපු පොතේ ම කතාවෙනවා ඔක්ස්ෆර්ඩ් අය සේරම සල්ලි දෙන්න තරම් වත්කමක් නැති නිසා දෙන්න පුළුවන් තරමින් එයාලට අළුත් බිල්ඩින් එකකට සල්ලි ඉල්ලුවා කියලත්. සමහර විට ඔයා මතු කරන කාරණය, ඔවුන් ද මෙපමණ කාලයක් එය දැන නොසිටීම නිසා ණය ගැන කිසිදු දැනුම් දීමක් නොකිරීමත් සැලකිල්ලට ගන්න ඇති.

      මෙහෙත් තියනවා ඔයා කියන දුරකතන සමාගමේ වැනි ප්‍රතිපත්ති තියන සමාගම්. ඒත් යමක් මිල දී ගන්නා අයෙක් තමයි නිතරම ගණුදෙනුවකට පිවිසෙන විට ඇති කොන්දේසි සියල්ලම සොයා බලන වගකීම බාරගන්නේ: buyer beware. අද මෙහෙ තියන සැටලයිට් රේඩියෝව ඊට කදිම උදාහරණයක්. අළුතින් වාහනයක් ගනිද්දී එයත් එක්ක ලැබුනාම එය විසන්ධි නොකර පාවිච්චි කළොත්, බිල් ලැබෙන්න පටන් ගන්නවා. ඒත් වාහනය ගනිද්දී ඒක මාස කිහිපයක් නොමිලේ ලැබෙන්නක්. වාහනය මිල දී ගන්නා අය ඉල්ලන එකකුත් නෙමෙයි. බිල්පතක් ආවම එය නොගෙවා ඉන්නත් බැහැ, ගෙව්වොත් ඒ සේවාව ලබාගත්තා ද වෙනවා. නමුත් හැම විටම පාරිභෝගිකයා සතු බලවත් ආයුධයක් තියෙනවා, ඒක තමයි ඒ සමාගම් වලට බිස්නස් නොදී සිටීම. නොමිලේ දුන්නත් එක දවසක් හෝ සේවාව පාවිච්චි නොකර වහාම විසංන්ධි කිරීම. ඉස්සර america online (aol) වෙබ් අඩවිය මුදල් ගෙවා පාවිච්චි කරපු බොහොමයකට එයින් ඉවත් වෙන්න ඉතා දුෂ්කර වූවා. ඒ බව ප්‍රචලිත වුනාම පාරිභෝගිකයෝ දහස් ගණනින් නඩු ගිහින් පවා එය අත්හැර ගියා. මාධ්‍ය වලින් වැඩිය දැනුම් දිය යුත්තේ එවැනි පාරිභෝගිකයන් රවටන ගුණ්ඩු ගැන. ඒත් සමාගම් වල දැන්වීම් වලින් මාධ්‍ය යැපෙන නිසා ඔවුන් වැඩියෙන් කතාබහ කරන්නෙ තමන් අකමැති දේශපාලකයන්ගේ හැසිරීම ගැන!!!!

  3. රාජ් said, on නොවැම්බර් 25, 2011 at 6:21 පෙ.ව.

    01තර්කය නොමැති කතාබහේ දී හුවමාරු කරගන්නා අදහස් ගැන මිනිසාට ලැබෙන්නේ ප්‍රාථමික වූ අවබෝධයකි.
    තර්කයක් නැතිව ගොඩනැගෙන කතාබහ හරිම නීරසයි. නෙල්ලි ගෙඩියක් හපන්න හපක්ක රස එන්නාසේ තර්ක කරන්න කරන්න සංවාදය ලස්සන වෙනවා.
    02තාර්කිකව සිතන්නට බැරි අයෙකුව පහසුවෙන් ආවේගාත්මක කතා වලින් නම්වා ගත හැකිය.
    මේක හොදටම පාවිච්චි කරන්නෙ දේශපාලකයන්. විප්ලවවාදී සංවිධානත් පාවිච්චි කරන්නෙ ඒක.

    • arunishapiro said, on නොවැම්බර් 30, 2011 at 10:26 පෙ.ව.

      රාජ්,

      ඔව්, ඒ හැරෙන්නට ලෝක පරිසරවේදීන් සහ සමහර විද්‍යාඥයින් යැයි කියාගන්නා අය ද එය පාවිච්චියට ගත්බව අද පේනවා.

  4. dayal - bathee said, on නොවැම්බර් 27, 2011 at 8:00 පෙ.ව.

    තර්ක ශාස්ත්‍රය, දර්ශනය පිලිබඳ සියලුම පොත් පත් කියවා සූදානම් සරීරෙන් සිටින ලෙස ඉල්ලන අතර ඔබට අභියෝගයක් එල්ලවෙමින් පවතීන බව දන්වමි.

  5. NotAFool said, on නොවැම්බර් 28, 2011 at 5:45 පෙ.ව.

    At last I finished my studies..
    One of your reader gonna be a graduate. What do you think Aruni?

  6. mahesh said, on නොවැම්බර් 28, 2011 at 3:31 ප.ව.

    dawas tunakin mail ekak naha langadi liwe nadda or busy unada


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: