අරුණි ශපීරෝ‍ වෙතින්

ස්ටාලින්ගේ දුව, මැඩෝනා, බ්‍රිට්නි සහ ලේඩි ගාගා

Posted in Uncategorized by arunishapiro on දෙසැම්බර් 6, 2011

ජෝසප් ස්ටාලින්ගේ (ලංකාවේ ඉන්න එක්කෙනා නෙමෙයි රුසියාවේ මිලියන 20 ක් ජනතාව මරා දැමූ අයගෙ) දුව නොබෝදා මිය ගියා ය. 1926 පෙබරවාරි 28 දා උපන් ඇයගේ නම ස්වේට්ලානා ස්ටාලිනා විය. ස්ටාලින් මිය ගිය පසු ඇය තම මවගේ වාසගම පාවිච්චි කරන්නට පටන් ගත්තා ය. ඇය තෝරාගත් ජීවිත සහකරුවන් ඇයට අහිමි විය. ඇයට තෝරා දුන් සැමියා ඇය අත්හැර ගියේය. ඉන්දියාවට යන ඇය හින්දු ඇදහිලි තම ජීවිතයට එකතු කර ගනියි. ඇමෙරිකාවට පැන එන ඇය ලානා පීටර්ස් නමින් ජීවත් වෙයි. ඇමෙරිකාව අතහැර රුසියාවට යන ඇය නැවත රුසියාව අතහැර ඇමෙරිකාවට එන්නීය. ඇයගේ ජීවිතයේ සියළු සිදුවීම් ලෝකයා දත්හ. ඒත් එයින් ඇය ධනවත් වූයේ නැත. සතුටක් ලැබුවේ නැත. ජීවිතය පුරා ඇය සෙවුයේ කුමක් දැයි ඇය දැන සිටියේ නැත. තම ජීවිතයේ කුමක් හෝ අඩුවක් ඇති බව පමණක් දත්තා ය.

මැඩෝනා ලොව සුපතල ගායිකාවක් වන්නට පෙර ඇය පැතුවේ නාට්‍යාංගනාවක් වන්නට ය. එහෙත් නිව් යෝර්ක් නුවර නර්තනය හදාරන ඇයට දස්කම වැඩියෙන් ඇත්තේ රංගනයට නොව ගායනයට බව අවබෝධය හැකිවිය. ගායිකාවක් වන ඇය ලෝක වේදිකාවේ තවමත් රැඟුම් දක්වන්නියකි. ඇය තමනට ඇති කුසලතාවයෙන් මුදුන් හිනි පෙත්තකට නඟින්නට දිවා රෑ නොබලා වෙහෙසුන අයෙකි. දක්ෂතාවයක් ඇතැයි කිසිවෙක් පිළිනොගත් කාලයේ දී ඇය තම හැකියාව ගැන තිබූ විශ්වාසයේ සැකයක් ඇති කර නොගත් අයෙකි.

බ්‍රට්නි ස්පියර්ස්ට දැන් වයස 30 කි. ඇය නිසා මහත් මුදල් කන්දරාවක් හම්බ කරගන්නට පපරාට්සි ඡායාරූප ශිල්පියන්ට හැකිවිය. 2007 වසර තුල දී X17 ඡායාරූප ඒජන්සිය ඇමෙරිකන් ඩොලර් මිලියන 2.5 ක බ්‍රිට්නි ඡායාරූප විකුණා ඇත. බ්‍රිට්නි මෙන් අඳින්නට, බ්‍රට්නි මෙන් හැසිරෙන්නට අතේ තියන සල්ලි වියදම් කරන ඇමෙරිකන් හා අනිකුත් රටවල කෙල්ලෝ අතර ඇත්ත බ්‍රිට්නි තම ජනප්‍රියත්වයෙන් සල්ලි උපයා ගන්නීය. ඇයගේ සිංදු ඇල්බම් ලෝකය පුරා මිලියන 100 කට වඩා අලෙවි වී ඇත.

නිව් යෝර්ක් නගරයේ උපන් කෙල්ලක් විශ්ව විද්‍යාලයට යන්නේ ගායනය හදාරන්නට ය. ඇයගේ ගුරුවරුන් ඇයට ගායන ක්ෂේත්‍රයේ ඉහළකට යන්න තරම් කුසලතා නැති බව කියයි. එය පිළිනොගන්නා ඇය විශ්ව විද්‍යාලය හැර දමා ගොස් තමන් සුප්‍රසිද්ධ ගායිකාවක් වන බව හැමට කියයි. ඇයගේ පෙම්වතා ජයගත් කිසිවක් පෙනෙන්නට නැති ඇයගේ ‘ආත්ම වර්ණනා’ තවත් අසාගෙන ඉන්නට බැරි යැයි කියා ඇයව අතහැර දමා යයි. තම අතීතය සිද්ධ වූ විදියට ම මතකයේ තබා ගැනීම රසවත් නැතැයි කියා ඇය තම අතීතය ගැන රසවත් කතන්දර හදා ගනියි. ඒ නිසා ඉහළ කියූ ටික සත්‍යය ද නැත්නම් ඇයගේ මනසේ ඇඳි කලාත්මක ප්‍රබන්ධයක් දැයි කිව නොහැකිය. ඇය ලොව සුපතල වන්නේ ලේඩි ගාගා නමිනි. “ද ඉකොනොමිස්ට්” සඟරාව ඇයගේ ජනප්‍රියත්වය හා බැඳි නායකත්වය සසඳන්නේ මදර් තෙරේසාගේ ජනප්‍රියත්වය හා බැඳි නායකත්වය සමඟයි!!!

උදෑසන නැඟිට දිනපතා දස දහසක් දෙනා කරන කටයුතු වල ම නිරත වෙන ජනතාවක් ලෝකයේ වාසය කරති. ඒ අය අතර සමහර පිරිසක් කටයුතු සූක්ෂම ලෙසින් කරති. තවත් අය කළ යුත්ත පමණක් කරති. ඉතිරිය කර කී දෑ නැවත කරන්නට තවත් අයෙකුට සිද්ධ වේ. ඔවුනට වෙනස් වන සොච්චමක් හැමෝම යන මාර්ගයෙන් වෙනස් මඟක යති. එසේ වෙනස් මඟක යෑම අවදානමක් ගැනීමකි. වෙනස් මඟක යන අයගේ අනුගාමීන් වන්නේ අර හැමෝම කරනා කටයුතු වල නිරත වෙන දස දහස් ජනතාව ය. මැඩෝනා, බ්‍රිට්නි හා ලේඩි ගාගා නැත්නම් ඔවුන් අනුගාමීන් වෙන්නට වෙනත් කවුරු හෝ සොයා ගනිති.

ඇයි මැඩෝනා, බ්‍රිට්නි හා ලේඩි ගාගා ජනප්‍රිය වී එවැනි ම වූ ගායන රංගන කුසලතාවයක් ඇති වෙනත් අයගේ අනුගාමීන් නොවන්නට කවුරුත් නොයන්නේ? ලෝකයේ නන් දෙස සමාජ සේවා කරන ක්‍රිස්තියානි සහෝදරියන් අතරින් ඇයි මදර් තෙරේසා ලොව සුපතල වූයේ? අවදානම් ගන්නා අය අතරින් සමහර අය පමණක් දස දහස් ජනතාවකගේ සිත් අල්ලා ගන්නට සමත් වෙන්නේත් අනිත් අය ගැන අපි නොදන්නේත් මුල් කොටස පමණක් සතු ස්වභාවික වූ කුසලතාවයට එකතු වන නොපසුබට උත්සාහය, අත්හැර නොදමන විශ්වාසය සහ ඉහළට නඟින්නට ඇති නොනිමෙන උවමනාව නිසා ය.

තමනට ඇති ස්වභාවික බුද්ධිය කුමක් දැයි අවබෝධයට හැකියාව ඇත්තා, අනිත් අයට වඩා වැඩි යමක් සතු වූවෙකි.

තමන්ගේ කැමැත්ත කුමක් දැයි දන්නා අයෙක්, අනිත් අයට වඩා වැඩි යමක් සතු වූවෙකි.

තමන්ගේ ස්වභාවික බුද්ධියට අනුව තම වෙහෙස යොදන්නට කැමැත්ත ඇති පුද්ගලයෝ ඉහත දෙගොල්ලන්ට ම වඩා යමක් සතු වූවන් ය.

අවදානම් ගන්නා අය අතරින් දස දහස් ජනතාවකගේ සිත් අල්ලා ගන්නට සමත් වෙන්නේ, ලොවට අළුත් දෑ ගෙනෙන්නට සමත් වෙන්නේ එවැනි අයයි. ඔවුන් බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින්, තෝමස් අල්වා එඩිසන්, ස්ටීව් ජොබ්ස්, බිල් ගේට්ස් වන්නට හෝ නැත්නම් Matthieu Ricard මෙන් ලොව වඩාත් ම සතුටින් කාලය ගෙවනා පුද්ගලයා වන්නට හැකියාව ඇත්තෝ ය.

අයෙක් මහත් කැමැත්තක් දක්වන්නකට සහජ කුසලතාවයක් නැතිවිය හැකිය. කැමැත්ත ඇත්තට කුසලතාවය නැත්තෙන් ඉහළට යන්න නම් එයා වඩා වැඩියෙන් මහන්සි විය යුතු වෙයි. කැමැත්තක් නැති වූවක කොතරම් වෙහෙසුනත් එයින් ලැබෙන ජයේ සතුට ද අඩු ය. කැමැත්ත ඇති දේවල් කරන්නට ඉඩක් ලැබෙන සමාජයක් ධන සම්පත් වලින් පිරී යයි. කැමැත්තට ඉඩ නොලැබෙන සමාජයක් දුප්පත්කමෙන් ගොඩ එන්නට කොතරම් සැලසුම් ගැහැව්වත් අසාර්ථක වෙති.

ස්වභාවික බුද්ධිය යම් අංශයකට වැඩියෙන් දක්ෂ වන ලෙසින් පුද්ගලයාට හිමි වී ඇත්තේ මිනිස් වර්ගයාගේ උන්නතියට එවැනි විවිධ හැකියාවන් අවශ්‍ය නිසා ද?

ඔබේ ස්වභාවික බුද්ධිය කුමකට ද දැනගත්තා යැයි සිතමු. ඒත්, ඔබේ කැමැත්ත කුමකට ද? එය තමයි ඩොලර් හැටහතරේ ප්‍රශ්නය. මේ ඇමෙරිකන් කියමන එන්නෙ මේ වැඩ සටහනෙන්: that’s the $64 question.

Advertisements

36 Responses

Subscribe to comments with RSS.

  1. chandi said, on දෙසැම්බර් 6, 2011 at 9:31 පෙ.ව.

    ගොඩක් විස්තර දැනගත්තා. The $64,000 Question ගැන තාත්තා කියා තිබුනා. නමුත් හරිම විස්තරය දන්නේ අදයි. එයා තාමත් ඇමෙරිකන් අයිඩල් වගේ වැඩසටහන් බලන්න හරිම කැමතියි. ඒ කාලෙ රේඩියෝ ශෝ නෙ.කෙනෙක්ගෙ දක්ෂකම් මතු උනාම කොහෙන් කෙලවර වෙනවාද දන්නේ නෑ. මේ ගමන මිස් වල්ඩ් අනාත දැරියක් බව කියවුනා. ඇය තම ස්වෞත්සහයෙන් නැගී සිටි කාන්තාවක්. මෙවන් දිරිය කතුන් ලොවම කලබන බව කියන්න ඕනෙ. ඒ වගේම දක්ෂ පිරිමි අනන්ත ඉන්නවානේ. ස්තූතියි පෝස්ට් එකට නංගි.

    • arunishapiro said, on දෙසැම්බර් 7, 2011 at 9:11 පෙ.ව.

      chandi,

      ඔව් චාන්දි අක්කා මාත් ලංකාවේ ඉන්දැද්දී වැඩිහිටියෝ ඔය කියමන ඉංග්‍රීසියෙන් කියනවා අහලා තිබුණට මෙහාට ආවට පස්සෙ තමයි දැනගත්තෙ කොහෙන් ආව එකක් ද කියලා. දැන් යම් කියමනක් ඇහෙන කොට ඒක කොහෙන් ආව එකක් දැයි හොයාගන්න අන්තර්ජාලය නිසා පහසුයි.

  2. Buwa said, on දෙසැම්බර් 6, 2011 at 10:38 පෙ.ව.

    තමන්ගේ ස්වභාවික බුද්ධියට අනුව තම වෙහෙස යොදන්නට කැමැත්ත ඇති පුද්ගලයෝ ඉහත දෙගොල්ලන්ට ම වඩා යමක් සතු වූවන් ය.

    හ්ම් ..ඒක නම් ඇත්ත තමා

    • arunishapiro said, on දෙසැම්බර් 7, 2011 at 9:14 පෙ.ව.

      Buwa,

      ලාන්ස් ආම්ස්ට්‍රෝන්ග් ඉස්සර ට්‍රයැතලොන් තරඟ කරපු කෙනෙක්. ට්‍රයැතලොන් තරඟයක පිහිනීම, දිවීම අතර බයිසිකල් පැදීම එක අංගයක් විතරයි. ඒත් පස්සෙ එයාට වැටහෙනවා එයාගෙ කුසලතාවය වැඩි බයිසිකල් පැදීමට බව. ඉතින් ට්‍රයැතලොන් වලින් අයින් වෙලා එයා තනිකරම බයිසිකල් තරඟ සඳහා පුහුණු වෙනවා. බලාගෙන ගියාම එයාගේ වැඩි කැමැත්ත ද තියෙන්නෙ පිහිනීම හා දිවීමට වඩා බයිසිකල් පැදීමට … ඉතුරු හරිය ලෝකය දන්නවානෙ.

  3. W.A. Wijewardena said, on දෙසැම්බර් 6, 2011 at 10:50 පෙ.ව.

    Our ability to excel in one or more depends on our genetic build up and however much we try to change it, it is not possible to do so. If this talent base could be identified at an early age, then, much of the heart burn and frustration could be avoided. I have a friend whose born ability has been in creative art. But his father wanted him to study to become an engineer. He did well at studies and read for an honours degree in Math and passed out with a first class honours. Then, he joined a bank and trained himself to become an economist. But he never gave up his born ambition and in that field too he became an award winning artist. Today, he confesses that his job at the bank is for him to maintain himself at a very basic level and his desire is to leave it as soon as possible and devote full time for his main ambition.

    • NotAFool said, on දෙසැම්බර් 7, 2011 at 7:09 පෙ.ව.

      How do you know ,that he would becaome an award winning artist…? Its just your stupid guess. I strongly believe, if that poor bugger leave his job he will die as a begger.

    • arunishapiro said, on දෙසැම්බර් 7, 2011 at 10:17 පෙ.ව.

      W.A. Wijewardena,

      විජේවර්ධන මහත්තයාගෙ යාළුවා මගෙත් යාළුවා වෙන්න ඉඩකඩ තිබීම බොහොම වැඩියි 😀

      ස්වභාවික බුද්ධිය කියන එක ගාඩ්නර් ලියපු අංශ 8 න් වටහා ගනිද්දී අපි ඒවාට අදාල වෘත්තිය දකින්නෙ අපේ දැනුමේ හැටියට. ගණිතමය-තාර්කික බුද්ධිය ඉහළ නිසා ඉංජිනේරුවක් වීම සුදුසු යැයි සිතීම රාමුවකට හිරවීමක්. උදාහරණයක් විදියට ඩාවින්චි සහ ඇරිස්ටෝටල් දෙදෙනා ම වැටෙන්නේ ගණිතමය-තාර්කික වූ අංශයට. නිව් යෝර්ක් නගරයේ ඉන්න Alex Beard චිත්‍ර ශිල්පියෙක්. නමුත් ඔහුගේ චිත්‍ර්‍ වලින් වැඩියෙන් ඉස්මතු වෙන්නේ ගණිතමය-තාර්කික කුසලතාවයයි. අපි රාමුවකට හිර වෙලා හිතන නිසා ස්වභාවික බුද්ධිය ද සීමිත වූ වෘත්තීය ජයග්‍රහණ වලින් දකින්නේ.

      අපේ යාළුවාගේ ගණිතමය-තාර්කික කුසලතාවය තමයි ඔහුගේ කලා උත්සාහයන් වලින් වැඩියෙන් ඉස්මතු වෙන්නෙ. එය තමයි ඔහු අනිකුත් ඒ අංශයේ කලා නිර්මාණ වලින් වෙනස් වෙන්නෙත්. ඒ නිසාම තමයි ජාත්‍යන්තර වශයෙන් වැඩි කීර්තියක් (ගණිතමය-තාර්කික අවබෝධය හා අගැයුම් සංස්කෘතියකට සීමා වී නැති නිසා) ලබන්නට හැකියාව ඇත්තේ ද කියා කියන්න පුළුවන්. ඒ හැකියාවෙන් තමයි Malba Tahan ලියන්නෙ The Man Who Counted වැනි කෘතියක්. ප්‍රබන්ධයක් ලියන්නට හැකිවීම නිසා ගණිතමය-තාර්කික අංශයෙන් නැතිව එයා භාෂාමය අංශයෙන් වැඩි කුසලතාවය ඇත්තෙක් වෙන්නේ ද නැහැ. දේශපාලනය ගැන කතා කරන රේඩියෝ නිවේදකයෙකු වන John Derbyshire තුල ඇත්තේ ද ගණිතමය-තාර්කික වූ කුසලතාවය වැඩියෙන් බව ඔහුගේ රේඩියෝ වැඩ සටහන් අහන කොට පැහැදිලි වෙනවා. එය තවත් තහවුරු වෙන්නෙ ඩාර්බිශර් ලියූ Prime Obsession සහ Unknown Quantity පොත් දැක්කම. තවත් විදියකින් කිව්වොත් ගණිතමය-තාර්කික හැකියාව වැඩි නිසා ඉංජිනේරු අංශයට හෝ අර්ථ ශාස්ත්‍රඥයෙකු වීම ඒ අංශයෙන් ඉහළට යන මාර්ගය යැයි සිතීම රාමුවක හිරවීමක්. අපි ගනිමු විජේවර්ධන මහත්තයා විසින් ම නිර්මාණය කර ඇති සාහිත්‍ය හා ගද්‍ය. ඒවා තුලින් භාෂාමය කුසලතාවයට වඩා වැඩියෙන් ඉස්මතු වෙන්නේ ගණිතමය-තාර්කික කුසලතාවයන් නිසා ඒවා ගණිතමය-තාර්කික කුසලතාවයෙන් අඩු සාහිත්‍ය උත්සාහයන්ට වඩා පැහැදිලිව ම වෙනස් වෙනවා. සාහිත්‍ය අගයේ අඩු වැඩි බවක් නොව භාෂාමය දැක්මකින් නොව ගණිතමය-තාර්කික දැක්මකින් තමයි ඔබ ලියා ඇති සාහිත්‍ය තුලින් වැඩි අගයක් පාඨකයාට ලැබෙන්නෙ.

      තමන් ජීවත්වන සමාජයේ ඉඩකඩ ලැබෙන විදිය අනුව ඒකීය පුද්ගලයාට තම කුසලතාවයේ යෙදෙන්නට ලැබෙනවා ද නැද්ද යන්න වෙනම කාරණයක්. ස්වභාවික බුද්ධිය වගේ එය ජානු වලින් හෝ හැදියාවෙන් දියුණු කරගත්තක් නොව මිනිසා විසින් මිනිසා වෙත දමා ගත් නීති රීති නිසා ඇති වූවක්. නිදහස් වෙළඳපොලක ඉංජිනේරුවාටත්, චිත්‍ර ශිල්පියාටත්, රේඩියෝ නිවේදකයාටත් තම කුසලතාවය අනුව වේතන ලබන්නට පුළුවන්කම තියෙනවා. තමන් අකැමති බැංකු රස්සාවක හිරවෙලා සිටීම රාජ්‍ය සැලසුම් ගහන්නෝ විසින් මේ මේ බුද්ධියන්ට මේ මේ වේතන ලැබිය යුතු යැයි තීරණය කර තිබීම නිසා සිද්ධ වන්නක්. අපේ යාළුවා සැලසුම් ගහන්නෝ විසින් තමන්ට දෙන්නට තීරණය කර ඇති වේතනය ලැබීම හැර දා ගිහින් තනිකරම නිදහස් වෙළඳපොලක අවදානමක් නොගන්නේ ඇයි? සැලසුම් ගහන්නෝ විසින් දෙන වැටුපට තමන් සුදුස්සෙක් යැයි සිතන නිසා ද? යම් සමාජ තත්වයකින් ජීවත් වීමට ඒ තරම් වැටුපක් අවශ්‍ය යැයි සිතන නිසා ද? ඒ වැටුප නොලබා එයා තනිකරම අවදානමක් ගන්න සුදානම් නැතිකම ද? තීරණය හරි හෝ වැරදි යැයි වෙන කාටවත් කියන්න බැහැ වගේම යාළුවා අකමැති රස්සාවක හිර වී සිටීම ගැන තාත්තාට හෝ සමාජයට ද දොස් පවරන්න ද බැහැ. ඒක එයාගෙ තීරණයක් නිසා.

  4. Sudath Munasinghe said, on දෙසැම්බර් 6, 2011 at 11:37 පෙ.ව.

    ඔබ මේ ලිපිය ලියා ඇත්තේ ස්වභාවික බුද්ධිය පිළිබඳව කථා කිරීමට හෝ බහුවිධ බුද්ධි න්යායය ගැන කථා කිරීමට නම් මම එයට එකඟ වෙමි. එහෙත් ලේඩි ගගා, බ්රිට්නි ස්පියර්ස් ජනප්රිය වන්නේත් මුදල් හම්බ කරන්නේත් ගායන හැකියාව මතම නොවෙන බවයි මට පෙනෙන්නෙ.

    • arunishapiro said, on දෙසැම්බර් 7, 2011 at 10:21 පෙ.ව.

      Sudath Munasinghe,

      ඔව් මම සටහෙන් මෙහෙම //ඇයි මැඩෝනා, බ්‍රිට්නි හා ලේඩි ගාගා ජනප්‍රිය වී එවැනි ම වූ ගායන රංගන කුසලතාවයක් ඇති වෙනත් අයගේ// කියා තියෙනවා. ඔවුන්ගේ ජනප්‍රියත්වය හා මුදල් සෙවීම ගායන රංගන හෝ රූප ස්වභාවය යනාදිය මත නොවන්නක්. ඒවා සියල්ල ඇති අය තව ඉන්නවා. මේ අය තුල ඇති අනිත් අය තුල නැති වූ වැදගත්ම දෙය තමයි ස්වභාවික බුද්ධියත් සමඟ ඔවුන්ගේ දැඩි කැමැත්ත කුමක් දැයි ඔවුන් ඉතා ඉක්මණින් අවබෝධය ලබන්නට හැකියාව ලැබීම. එය කුමක් දැයි සොයාගත් දා පටන් කවුරු කිව්වත් ඒ අරමුණ හඹා යෑම අත්හැර නොදැමීම. ගායන, රංගන හා රූප ස්වභාවය ඇති අනිත් අයට වඩා වැඩි අවදානමක් ගැනීම.

  5. N.S.A. Niriella said, on දෙසැම්බර් 6, 2011 at 12:20 ප.ව.

    කැමැත්ත ඇති දෙවල් කරන්නට ඉඩක් ලැබෙන සමාජයක් අපේ
    රටේ නැත. හැමෝටම වගේ කරන්නට සිදුවී ඇත්තේ කැමති දේ නොවේ, අකමැති දේයි. එහෙයින් මේ සමාජය දුප්පත්…
    එහෙත් මැඩෝනා – බ්‍රිට්නි වැන්නෝ අපිට දැනෙන සීමාවෙන් එහාට ගිය අයවලුන්. ඔවුන්ට ඔවුන්ව නැවත නැවත අලෙවි කළ
    හැකියි. ඔවුන් මිනිසුන් නොවේ. ඔවුන් පශ්චාත් මිනිසුන්ය

    • arunishapiro said, on දෙසැම්බර් 7, 2011 at 10:24 පෙ.ව.

      N.S.A. Niriella,

      සමාජයක් හැදෙන්නේ ඒකීය වූ පුද්ගලයන් වෙතින්. කැමැත්ත ඇති දේවල් කරන්නට ඉඩක් සමාජයේ නැතැයි කියා සිතන තාක් කල් එහෙම කරන්නට මාර්ගයක් පෙනෙන්නේ ද නැහැ. මිනිස් මොළය අපූර්ව වූ දෙයක්. කැමැත්ත කුමක් දැයි දන්නවා නම් අරමුණක් ඇති කරගත්තා නම් එය හඹා යන්නට මාර්ග හොයා ගන්නට සමත් වූ මොළයක් ඇමෙරිකානුවන්ට විතරක් නෙමෙයි ලෝකයේ ඕනෑම රටක ජීවත්වන මිනිසාට උප්පත්තියෙන් පිහිටා ඇත්තක්.

      ඔව් ඔබ හරි, කැමති දේ හි නියැළෙන්නේ නැති නිසාම තමයි දුප්පත් සමාජයක් බිහිවෙන්නෙ.

  6. රූ said, on දෙසැම්බර් 6, 2011 at 12:57 ප.ව.

    මට දැනෙන ලෙසට නම් මිලියන් ඩොලර් පිළිතුර විය යුත්තේ හදවත පවසනා සතුට රදනා දෙයයි. පවුලෝ කොය්යෝගේ ඇල්කෙමිස්ට් කෘතිය නැවතත් සිහියට නැගුනා.

    • arunishapiro said, on දෙසැම්බර් 7, 2011 at 10:27 පෙ.ව.

      රූ,

      ඔයාගේ Personal Legend එක සොයා යන ගමනක ඔබ යමින් ඉන්නවා ද? 🙂

      • රූ said, on දෙසැම්බර් 8, 2011 at 11:18 පෙ.ව.

        අපි හැමෝම personal legend එකක් හොයනවා නේද? අඩුම තරමේ හීනෙන් හරි..

        • arunishapiro said, on දෙසැම්බර් 8, 2011 at 11:28 පෙ.ව.

          රූ,

          නැහැ වැඩිපුර දෙනෙක් කතාබහ කර බලපුවම කිසිම හීනයක් දකින්නේ නැහැ. ඇල්කෙමිස්ට් කතන්දරයෙ එනවා වගෙ පුංචි කාලේ සිහින මවන අය ගොඩක් ඉන්නවා. හදවතට සවන් දෙන අය ඉන්නවා. වැඩිවියට පා තබද්දී හදවත කියන්න අහන්නෙ නැති නිසා හීන පේන එකත් නැවතිලා ගිහින්!!! යනවට වැඩට ගිහින්, කරනවට වැඩ කරලා, පවුල් වුන නිසා පවුල් කාලා ජීවත් වෙන සංඛ්‍යාව තමයි බහුතරය. තමන්ගේ කියා ඉලක්කයක් දන්නා අය ඩිංගක්. එය කරා යන සංඛ්‍යාව ඊටත් අඩු ඉතා ස්වල්පයක්.

  7. NotAFool said, on දෙසැම්බර් 6, 2011 at 4:03 ප.ව.

    මහා බුද්ධිමතෙක් විදිහට පෙනී ඉන්න හැදුවට අරුණිගේ දැනුම ගැන මට කනගාටුයි. හිතන්නේ හරිම පටු විදිහට.පොත පතින් ලැබිච්ච දැනුමත් වෙනත් කාලීන දේවල් පිලිබඳ දැනුමත් හැරුණු කොට අරුණිගේ කිසිම විශේෂත්වයක් නැහැ. හිතන්නේ බොහොම පටු විදිහට.අරුනිත් කව්රුන් හෝ කියන දෙයක් ඒ විදිහටම බාරගන්න සැදී පැහැදී ඉන්න අනුගාමිකයෙක්. තමන්ට දෙන රාමුව ඇතුලේ විතරයි හිතන්නේ.
    ස්ටාලින් කියන්නේ ලෝකේ පහල වෙච්ච විශිෂ්ටතම නායකයන්ගෙන් කෙනෙක්. රුසියානු විප්ලවයෙන් පස්සේ රුසියාව අරාජික උනා. ලෙනින්ට බැරි උනා විප්ලවයෙන් පස්සේ කැලම්බිච්ච රුසියන් සමාජය
    ස්ථාවර තත්වයකට ගේන්න. ලෙනින්ගෙන් පස්සේ බලයට ආපු ස්ටාලින් තමයි නියම නායකත්වයක් රුසියාවට දුන්නේ. ලෝක ඉතිහාසේ පහල වෙච්ච විශිෂ්ටතම නායකයෙක් තමා ස්ටාලින්. ඔය කීප දෙනෙක් මැරෙන්න ඇති. ඒක කොහෙත් සිද්ද වෙනවා. ඇයි අමෙරිකාවෙන් කොච්චරනම් මිනිස්සු මරනවද ලෝකේ වටේ. ඒවා ගැන කතා නැහැ. මේ විශිෂ්ට නායකයට අපහස කරන එක තමයි කරන්නේ. ලංකාවේ ඉපදුනාට දැන් typical american කෙනෙක් වෙලා.ඇමෙරිකාවේ අජෙන්ඩාවට තමයි ඔයා වැඩ කරන්නේ.
    තෙරේසා ගැනත් කියන්න ඕනේ. තෙරේසා මුළු ජීවිතේම ඉන්දියාවේ හිටියේ ඇයි කියල දන්නවද? පොත් පත් පත්තර වලින් හදපු ප්‍රතිරුපේ යටින් හිටිය කුරිරු චරිතය ගැන ඔබ දන්නවද?
    ප.ලි
    ලිපියේ අනිත් අය ගැනනම් කියන්න දන්නේ නැහැ.

    • Sudath said, on දෙසැම්බර් 7, 2011 at 6:05 පෙ.ව.

      හිතවත් නොට්අෆූල්
      ඔබේ තර්කය නිවැරදි වුනත් ස්ටැලින් ගැන ඔබ සිතන හැටි වැරදියි. ලෙනින්ට බැරි වුනේ තවදුරටත් ජීවත් වෙන්න. ලෙනින්ගේ මරණයෙන් පස්සෙ ස්ටැලින් පක්ෂයේ බලය ඩැහැගත්තත් ඔහු බොල්ෂෙවික් පක්ෂයේ ඉදිරිපෙල සිටි අයකු නොවෙයි. සෝවියට් සංගමයට නිලධාරීවාදය හඳුන්වාදුන්නෙ ස්ටාලින්. තමාට විරුද්ධ වූවන් ඝාතනය කළා. ට්රොට්ස්කිලා සැඟ වී සිටියේ ඇමරිකාවෙ. අවුරුදු හැත්තෑවකින් රුසියන් විප්ලවය කඩා වැටුනෙ ස්ටාලින් දමපු වැරදි අත්තිවාරම නිසායි.

      • NotAFool said, on දෙසැම්බර් 7, 2011 at 10:35 පෙ.ව.

        ඔබ ස්ටාලින්ගේ චරිතය සාමාන්‍ය මනුෂ්‍යයෙක්ගේ හැසිරීම විචාරය කරන විදිහේ දෘෂ්ටිකොනයකිනුයි බලන්නේ. අපි ස්ටාලින් දිහා බලන්න ඕනේ දේශපාලනඥයෙක් දිහා බලන විදිහට.නායකයෙක් දිහා බලන විදිහට. ස්ටලින්ට නායකත්වය ලැබුනේ ලෙනින්ගේ අසනීප තත්වය නිසා ලෙනින්ට තවදුරටත් නායකයෙක් විදිහට කටයුතු කරගෙන යන්න බැරිනිසයි. අමතක කරන්න එපා ට්‍රොට්ස්කියි ස්ටලිනුයි අතරින් ලෙනින්ගේ තේරීම උනේ ස්ටාලින්. පසුකාලීනව ලෙනින්ගේ මතය වෙනස් උනානම් ඒක අදාල නැහැ. ප්‍රතිවාදියන්ව ගාතනය කරපු එකේ එච්චර වරදක් නැහැ. දේශපාලන නායකයන්ට ඉතිහාසය පුරාම මේ දේවල් කරන්න සිද්ද වෙලා තියෙනවා. අදටත් කෙරෙනවා.ඒක දේශපාලනයේ එක අංගයක්. එහෙම කිරීම සම්මතය නොවන නිසා අපට නොදිරවන එක වෙනම කාරණයක්.යුද්දයකදිත් මනුෂ්‍ය ගාතන වෙනවා. නමුත් අපි ඒවා විවිද හේතු මත සාදරනීය කරණය කරනවා. නමුත් දෙවිදිහටම සිද්ධ වෙන්නේ එකම දේ.මනුෂ්‍ය ගාතන… ස්ටාලින්ට, ට්‍රොට්ස්කි කියන ප්‍රතිවාදියව විනාශ කරන්නැතුව හුරතල් කරන්න පුළුවන් කමක් නැහැ.ඒක නිසා ට්‍රොට්ස්කි සම්බන්දයෙන් සිදු වෙච්ච දේ කිසිම විශේෂත්වයක් නැහැ. විප්ලවයෙන් පස්සේ ලෙනින් කියපු පන්තිබේදයෙන් තොර සමාජවාදී රාජ්‍යක් ගොඩ නැගුනේ නැහැ. ලෙනින්ගේ හැසිරීමත් සාර්ගේ හැසිරීමට බොහෝදුරට සමානයි. ස්ටාලින්කලේ තමන්ගේ හැකියාවන් පාවිච්චි කරලා ලෙනින්ටත් වඩා තමන් වෙත බලය ඒකරාශි කරගැනීමයි. මම පුද්ගලිකව දකින්නේ ඒක දේශපාලනඥයෙක් විදිහට ඔහුගේ හැකියාව. ඒක නිසා ස්ටාලින් ඉතාම සාර්ථක නායකයෙක් විදිහටයි මම දකින්නේ.

  8. Mundeer said, on දෙසැම්බර් 6, 2011 at 7:54 ප.ව.

    ඇයි මේ ලිපියට ස්ටාලින් සහ එයාගේ දුවව ගාවගෙන තියෙන්නේ කියල මට නම් තේරුනේ නෑ. පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද?

    අදමයි මේ පැත්තේ ආවේ. ආයෙත් ටික දවසකින් ඇවිත් බලමු.

    • arunishapiro said, on දෙසැම්බර් 7, 2011 at 10:38 පෙ.ව.

      Mundeer,

      ආයුබෝවන්!

      කාලීන වූ ප්‍රවෘත්ති තමයි අරගත්තෙ. සටහන අන්තිමට එකතු කරන ලේඩි ගාගා ගයන සිංදුව නිකුත් වුනේ නොවැම්බර් 15 දා. ස්ටාලින්ගේ දුව මිය ගියේ නොවැම්බර් 22 දා. බ්‍රිට්නි ස්පියර්ස් 30 වියැති වූයේ දෙසැම්බර් 2 වැනිදා. ඉරිදා රෑ අහන්න ලැබුනේ ඇමෙරිකන් ෆුට්බෝල් අවසන් මහා තරඟය වන SuperBowl හි ගායනයට (ඒක ඇමෙරිකාවේ ගායක/ගායිකාවකට ලැබෙන වැදගත් අවස්ථාවක්) මැඩෝනාට ආරාධනා ලැබුනා කියා. ඉතින් පහුගිය දවස්වල ප්‍රවෘත්ති අතරින් ලෝකයම දන්නා සුප්‍රසිද්ධ කාන්තාවන් (ඇමෙරිකාවේ වාසය කරන/කරපු) අරගෙන තමයි සටහන ලියුවේ.

      • Mundeer said, on දෙසැම්බර් 7, 2011 at 9:24 ප.ව.

        ආ එහෙනං කමක් නෑ. මම හිතුවේ මේ ලිපිය තමන්ගේ ස්වභාවික බුද්ධියට අනුව තම වෙහෙස යෙදවීමේ අගය ගැන ලියපු එකක් කියල. ස්තුතියි.

        • arunishapiro said, on දෙසැම්බර් 8, 2011 at 8:18 පෙ.ව.

          Mundeer,

          ස්වභාවික බුද්ධියත් එයින් පමණක් නොව අනිත් හැකියාවන් ද අනුව තම වෙහෙස යෙදවීමේ අගය ගැන තමයි එහෙම කළ අය හා කරන්නට නොදත් අයෙකු ගෙනැවිත් පෙන්වා දෙන්නට උත්සාහ කළේ.

  9. dayal - bathee said, on දෙසැම්බර් 7, 2011 at 1:09 පෙ.ව.

    අමෙරිකාවෙන් බෝම්බ දමන විට අයින් වී සිටීමට නොදන්නා අම්බරුවන්
    ස්ටාලින් පොරවෙන් ගහන විට අයින් වීමට නොදන්නා ට්‍රොට්ස්කි ආදී අම්බරුවන්
    පුස්තකාලයට ගොස් පොතක් පතක් නොකියවන අම්බරුවන්
    89 නාඳුනන කට්ටියක් රෑ ඇවිත් අල්ලන් ගිය මේවන තෙක් ගෙදර නා ජයරත්න මාම වෙනුවෙන් අඬන අම්බරුවන්
    ගොඩටද මන්ද මාත් අයිති වෙන්නෙ!

    අනේ මන්ද?

    • arunishapiro said, on දෙසැම්බර් 7, 2011 at 10:41 පෙ.ව.

      dayal – bathee,

      ඒකනෙ මල්ලි කියන්නෙ, අඬලා වැඩක් නැහැ, නැඟිටලා ගිහින් තමන්ගෙ බුද්ධියෙන් කරන්න පුළුවන් මොනවා ද කියා සොයා බලන්න ඕනා. එහෙම හොයා බලන කම් ඇතුලත සඟවා ගෙන ඉන්නා දක්ෂතා මොනවා ද කියා දැනගන්න විදියක් නැහැ.

      • dayal - bathee said, on දෙසැම්බර් 7, 2011 at 8:03 ප.ව.

        ඒක තමයි මාත් කල්පනා කලේ, ඩේල් කානජී වගේ කෙනෙක්ගෙ පොත් කියවා ඒව අදහනවද, ඩෙස්මන්ඩ් මොරිස් වගේ කෙනක්ගේ පොත් නැවත කියවනවද, චාර්ලස් ඩාවින් ගෙ ශක්තිවන්තයාගෙ පැත්ත අල්ලගෙන චූන් එකේ ඉන්නවද ගොයම් කොලේට මුවා වෙලා වෙඩිතියන්න පුලුවන්ද කියා තර්කෙන් දිනු කොල්වින් වගේ වෙනවද, දන්න කර්මාන්තයක් කොරගෙන ඇහැ කන ටෙලිවිසන් එක දිහාට ඔහෙක් කොරගෙන බලාගෙන ඉන්නවාද?
        ———–
        මගේ හිත ආසයි පියාඹන්න
        කුරුල්ලෙක් වගේ
        ඒත් ඒක සරීරෙ කවුදෝ ගැට ගහල
        හරි අමාරුයි ලෙහන්න
        ——————–
        මං ටික කාලෙකට ඉස්සෙල්ල කවි අදහසක් දන්න විදියට මෙහෙම ලිව්ව.

        බුද්ධි චක්‍රය

        කියවන කියවන තරමට
        ඇවිදින ඇවිදින තරමට
        අපට තේරෙනව
        නොතේරෙන තරම
        අපට නැති තරම

        නොතේරෙන දේ තේරුම් කරගන්න
        නැතිදේ ඇති කරගන්න
        කියවනවා කියවනවා
        ඇවිදිනවා ඇවිදිනවා
        ……
        ….
        අන්තිමට කාලෙ ගෙවුන විතරද?

        • arunishapiro said, on දෙසැම්බර් 8, 2011 at 8:16 පෙ.ව.

          dayal – bathee,

          හැම අයෙක් ලියූ පොතකින් ගන්න පුළුවන් දැයක් ඇත්නම් එය ගැනීමත්, නොගත යුතු දෑ අත්හැරීමත් යන වගකීම ඇත්තේ කියවන්නාට ය. ඕනෑම දෙයක් කරනවා ද, සිත වුවත් පාවිච්චියට ගන්නවා ද නැද්ද යන්නත් තීරණය කරන්නේ ද සිතේ අයිතිකාරයා ම යි.

          දයාල්-බතී දාපු ඔය කවියට මම කළින් මෙහෙම කිව්වා මතකයි: අපි හිතුවත් නැතත්, යමක් කළත් නැතත් කාලය ගෙවී යනවා. අපි ඉපදිලා, ජීවත් වෙලා මැරිලා යනවා. මේ ජීවත්වෙලා ඉන්න කෙටි කාලය තුල මොනවා ද කරන්නේ යන්න වැදගත් නැද්ද?

  10. janaka said, on දෙසැම්බර් 7, 2011 at 8:14 පෙ.ව.

    // ජෝසප් ස්ටාලින්ගේ (ලංකාවේ ඉන්න එක්කෙනා නෙමෙයි රුසියාවේ මිලියන 20 ක් ජනතාව මරා දැමූ අයගෙ) //

    ස්ටාලින්ට සම කරන්න පුළුවන් එක්කෙනෙක් ලංකාවේ හිටිය හැබැයි එයා 2009 මැය් 18 මරුන ?
    කව්ද ලංකාවේ ඉන්න එක්කෙනා ?

  11. Chamila | පිටස්තරයා said, on දෙසැම්බර් 7, 2011 at 9:08 පෙ.ව.

    I loved the track “Bad Romance” by Lady Gaga, even when I had to endure the peer-pressure not to.

    • arunishapiro said, on දෙසැම්බර් 7, 2011 at 10:47 පෙ.ව.

      Chamila | පිටස්තරයා,

      //peer-pressure// ලෝකෙ ඉන්න වැඩි දෙනා දන්නෙ අනුන්ට හොඳ මොනවා ද කියලා, ඒත් තමන්ට හොඳ දේ මොකක් ද කියලා ඇහුවොත් තක්බීරි!!!

  12. indika27 said, on දෙසැම්බර් 8, 2011 at 8:52 පෙ.ව.

    පෙරහැරේ යන්නට වෙනමම අලි ඉන්න එක කොට අදින අලින්ටත් වල් අලින්ටත් පහසුවක්..
    අපේ ආයතනයෙ ගත්තොත් මං කලින් අයිතිව සිටි නිලධාරින් දෙදෙනාම අයිති කොට අදින සහ වල් අලි ඝනයට..ඒ කිව්වෙ පවතින ක්‍රමයෙ ජනප්‍රිය සහ පවතින ක්‍රමයෙ දිදුලන චරිත උනේ නෑ..නමුත් ඔවුන් ඇද්ද බර සහ කල දේවල් නම් අපේ රටට අදත් වැදගත්…ඉතින් වෙනමම පිටරට සවාරි වලට..ඇමතිතුමාගෙන් ලකුනු ගන්න,..ඉහලට රිපෝට් කරන්න කස්ටිය හිටිය එක ඒ දෙන්නට වාසියි..නැත්තං ඒවත් කරන්න වෙන්නෙ අර දෙන්නටමනේ…

    මං දැක්ක සංගීත ගුරුවරයෙක් වයලීන් වාදකයෙක් සෞන්දර්යය විශ්වවිද්‍යාලෙ..මං පුද්ගලිකව දන්නව ලංකාවෙ ඒ වගෙ කැම්පස්වලින් අවුට් වෙන අය කරන්නෙ පිස්සු කියල..ඒත් ඒ වයලීන් වාදකය ජීවිතේ ඇතුලෙ අඩුතරමෙ වයලින් වාදකයින් දෙතුන් දෙනෙක්වත් බිහි කරයි..දවසක් මං එයා හිටපු සෝ එකක් ඉවරවෙලා සර් සී ඩි හෙම නැද්ද..කියල ඇහුවම හිනාවෙලා කිව්වෙ පුතා ඔයා ඔය තරම් ආස නම් එන්න අපේ කැම්පස් එකට..කියල..එයා කවදාවත් සීඩි ගහන එකක් නෑ..එයාට ඉන්න මැටි ගොන්නු වගේ ගෝලයො කවදාවත් තමුන්ගෙ ගුරුවරයගො ෂො තියන එකක් නෑ..

    ජනප්‍රිය මායාව ඇතුලෙන් නොපෙනෙන සිරා චරිත ගොඩක් ඉන්නව..

  13. හර්ෂණ චතුරංග said, on දෙසැම්බර් 10, 2011 at 11:13 ප.ව.

    හොද ලිපියක්….තමන්ගේ දක්ෂතා හදුනාගන්න පුළුවන් නම් ඉක්මනින් දියුණු වෙන්න පුළුවන් නේද?

    • arunishapiro said, on දෙසැම්බර් 12, 2011 at 9:28 පෙ.ව.

      හර්ෂණ චතුරංග,

      තව මේ ගැන ඉදිරියේ දී ලියන්න ඉන්නෙ. ඔව්, අපි දක්ෂතා හඳුනාගන්න යොදන කාලය ඉතා අඩුයි. අපි වැඩියෙන් කරන්නෙ අනුන්ගේ වැඩ සටහන් වල නිරත වීම.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: