අරුණි ශපීරෝ‍ වෙතින්

බැලුම්ගල මනස ගැන විමසයි

Posted in Uncategorized by arunishapiro on දෙසැම්බර් 8, 2011

Advertisements

44 Responses

Subscribe to comments with RSS.

  1. indika27 said, on දෙසැම්බර් 8, 2011 at 8:19 පෙ.ව.

    කිරිබත්ගොඩ නගරයේ ඉන්නව බොහොම තරුණ වයසෙ කෙනෙක් හරිම කණගාටුයි සහෝදරිය ඔබේ පියාගේ ඡායාරූපය සහිත සඟරාවක් විකුනනව බොහොම නරක විදියට..අර විකුණන මනුස්සය බොහොම දුකින් ඉන්නෙ …උගුරත් බැරැන්ඩි වෙලා..මෙ වගේ බොහොම දෙනෙක් ඉන්නව..ඔබගේ පියා විකුනල කරන මේ වගේ කැත වැඩකට,,ඔබ මම උනා නම් කවදාවත් මේ වගේ දේකට ඉඩ දෙන්නෙ නෑ ඔබට වගේ අයිතිවාසිකමක් තිබුනනම්..අඩු තරමෙ පිය උරුමය තියෙන අයටවත් මේ ගැන ක්‍රියා කරන්න තිබුන..

    • arunishapiro said, on දෙසැම්බර් 8, 2011 at 8:48 පෙ.ව.

      indika27,

      මිනිස්සු රවටන වැඩ පිළිවෙත් ලෝකයේ හැමදාම තිබුණා, හැමදාම තියෙනවා. ඒවා සම්පූර්ණයෙන් නතර කරන්නට කාටවත් හැකියාවක් ලැබී නැහැ. ප්‍රසිද්ධ පුද්ගලයෙකුගේ අනුගාමිකයන් හැටියට සංවිධාන හදා ගන්න ඕනෑම කෙනෙකුට පුළුවන්. ඒ සංවිධාන කරන වැඩ නවත්වන්න මුළු ජීවිතයම ඒ සඳහා කැප කරත් නවත්වන්න බැහැ. ඉල්ලුමක් ඇති දැයකට (මෙතැන ඇත්තේ මානසික සහනය සඳහා) සැපයුමක් කරන්න සාන්ත ජයසුන්දර නැත්නම් වෙනත් කෙනෙක් පටන් ගනිවී. වගකීමක් ඇත්තේ පාරිභෝගිකයාට, නැත්නම් සංවිධානයකට බැඳෙන සාමාජිකයා අත. ඕනෑම අයෙක් ලෝකයට ඉදිරිපත් කරන දෙයක් බාරගන්නා අයෙක් තමයි තමන් බාරගන්නා දැයෙහි හොඳ නරක සොයා බලන්නට වගකීම ගත යුත්තේ. රටේ නීතියක් කඩා ඇත්නම් එයට දඬුවම් කිරීම නීතිය රකිනා අයගේ වගකීම. බැලුම්ගල වගේ මාධ්‍ය ආයතනයක වගකීම තමයි මේ වගේ දේවල් ලෝකයාට හෙළි කිරීම. මෙවැනි වැඩ සටහනකට ඇහුම්කන දෙන රසික රසිකාවියන්ගේ වගකීම තමයි කිසිවක් සොයා නොබලා බාර ගන්නට යුහුසුළු නොවීම.

  2. kathandarakaraya said, on දෙසැම්බර් 8, 2011 at 8:52 පෙ.ව.

    අන්න ඔයා සිංහල ෆ්ලුවන්ට් නෑ කියනවා!

    • arunishapiro said, on දෙසැම්බර් 8, 2011 at 8:56 පෙ.ව.

      නෑ නේන්නම්. මගේ ස්ටෑන්ඩර්ඩ් තිබිච්ච ඒවා දැන් බැහැලානෙ මෙහෙ කතා කරන්න අය නැතිව. ඒකනෙ ඔයා ගූගල් බස් එන්න කිව්වමත් ආවේ නැත්තෙ.

      • Alchemiya said, on දෙසැම්බර් 8, 2011 at 10:07 පෙ.ව.

        අනේ මේ මම ඉන්නේ…
        අපි කතා කරමු…

        සුද්දා මහත්තයාට සුද්ද සිංහල උගන්නලා දෙන්න එක්ක කතා කරන්න… 🙂

        ආයෙ දවසක අපි එන්නම් ඔය පැත්තේ… එතකොට හොඳ සිංහල ටිකක් කතා කරමු….

  3. හෙලයෙක්ගෙන් ලොවට said, on දෙසැම්බර් 8, 2011 at 8:58 පෙ.ව.

    තව කොටසක් තියෙයි ලබන සඳුදා?

    • arunishapiro said, on දෙසැම්බර් 8, 2011 at 9:05 පෙ.ව.

      හෙලයෙක්ගෙන් ලොවට,

      මේ ගැන බැලුම්ගලට හෙළි කරන්න තවත් දේවල් තියනවා ද?!!! ස්තූතියි දැනුම් දුන්නාට. බලාගෙන ඉන්නම් සඳුදා වෙන තෙක්.

  4. Muditha S. Paranamana said, on දෙසැම්බර් 8, 2011 at 9:42 පෙ.ව.

    අරුණි, ගයනි දෙදෙනෙක්ද? මෙච්චර කලක් තම පියාගේ නමට කැළලක් වන බව දැනගෙන නිහඩව සිටියේ ඇය්? මෙම පොත් වලින් සගරා වලින් කිසිම මුදලක් කොටසක් ඔබලාට ලැබුනේ නැතිද? ධනාත්මක චින්තනය ගැන ලිවීමේදී ඇතිවන ගැටළු පිළිබද මා විසින් ඔබගේ අවධානය මීට ටික දිනකට කලින් යොමු කලා මතකද? මාද මේ පිලිබදව බොහෝ කරුණු සොයමින් සිටියෙමි. එසේනම් ඔබල නිහඩව සිටීමෙන් ජාතික මිත්‍යාවක් වපුරන මේ ආයතනහි දැනටත් කොටස්කරුවන් වී හමාරය. නිවැරදි වීමට තවමත් හැක.

    • arunishapiro said, on දෙසැම්බර් 8, 2011 at 11:14 පෙ.ව.

      Muditha S. Paranamana,

      ඔව්, මම මේ සටහන් පටන් ගත් කාලයේ දාලා තියෙනවා ගයනි කියන්නෙ මගේ නංගි බව. එයාට තමයි තාත්තාගේ බුද්ධිමය දේපල අයිතිය තියෙන්නෙ කියලා. ඒ තාත්තා ලියා ප්‍රකාශයට පත් කළ පොත් පත් වලට. තාත්තාගේ පොත් නැවත මුද්‍රණය කර විකුණා ලැබෙන මුදල් ගයනිගෙ අයිතියයි. මනස සඟරාවේ ආදායමක් ඇය ලබන්නේ නැහැ.

      //එසේනම් ඔබල නිහඩව සිටීමෙන් ජාතික මිත්‍යාවක් වපුරන මේ ආයතනහි දැනටත් කොටස්කරුවන් වී හමාරය.// ඉන්දිකට දාපු පිළිතුර කියවන්න.

  5. chanakalin said, on දෙසැම්බර් 8, 2011 at 10:03 පෙ.ව.

    මටත් කොල ගිහින් එද්දි කීප දවසක් හම්බවෙලා තියනව අක්කල දෙතුන් දෙනෙක් මිරිස්වත්තෙන් බස් එකට නැගල නිට්ටඹුවෙන් බහින. ඒ එයාලගෙ මාකටින් ඵ්රියා එක වෙන්න ඇත්. කලගෙඩිහේන හරියට විතර එනකම්ම ඒ ගැන විස්තර කරල කරල තමයි සඟරා ගන්න කියල කියන්නෙ. කොහොමවත් මම ගිය බස් වලනම් සඟරා 3-4ක් වත් විකිණුනා කියල මම දැකල නෑ. ඔහොම දියකරන්නෙ තරුණ ජවය. අවුරුදු 20 – 25ට වඩා ඒ එක්කෙනෙක්ගෙවත් වයස වැඩියි වෙන්න බෑ. රටට ලෝකෙට වැඩක් කරන්න පුළුවන් අයව තමයි බස් ගානෙ සඟරා බිස්නස් දාල තියෙන්නෙ. අනික බහිනකම්ම හිටගෙන ඉන්නෙ. අපිට ඉස්කෝලෙ ගාව ඉඳන් බෑග් එක කරේ දාගෙන කෑගල්ලට පොඩි දුරක් යන්න බැරුව කකුල් රිදෙනවනම්. සඟරා ගොඩක් අතේ තියන් ඉන්න අක්කලට කොච්චර අමාරු ඇතිද? (අක්කලම කියල කීවෙ මම තාම පිරිමි අය ඕව විකුණනව දැකල නැති නිසා) එයාල විඳින දුක දැක්කම ගොඩ දෙනෙක්ගෙ හිත උණුවෙලා යනව. සඟරා ටික අරන් ඉන්න හරියට එද්දි සීට් එකේ ඔළුව ගහගන නිදාගත්ත වගේ ඉන්න හැදුවට මගෙත් එහෙමයි.

    • arunishapiro said, on දෙසැම්බර් 8, 2011 at 11:20 පෙ.ව.

      chanakalin,

      සඟරා විකුණා මුදල් උපයනවාට වඩා වෙනත් රැකියාවක් කරන්නට ඔවුනට කුසලතාවයක් තිබුණා නම් ඔවුන් සඟරා විකුණන්නේ නැත. එසේම ඒ අය සඟරා විකුණන්නේ කැමැත්තෙන් නොවේ ද? නැත්නම් ඔවුනට බලහත්කාරයෙන් සඟරා විකුණන්න යයි ද එසේ නොකළ හොත් දඬුවම් ලැබෙනවා යැයි ද කවුරුන් හෝ කියා තිබෙනවා ද?

      බැලුම්ගල නඟන ප්‍රශ්නය: මේ අයට විකුණූ සඟරා සඳහා මුදල් නොලැබීම, ගිවිසුමක් කැඩීමෙන් නීතිය කඩ කිරීමක් නම් එය ගැන විමසීමයි කළ යුත්ත.

      • chanakalin said, on දෙසැම්බර් 9, 2011 at 3:15 පෙ.ව.

        කැමැත්තෙන් කරනවට වඩා බැඳගත්ත බෙරේ ගහනව වගේ වැඩක් තමයි වෙන්නෙ. බැලුම්ගලේ රෙකෝර්ඩ් කරපු ටෙලිෆොන් කෝල් එකේ හැටියට සල්ලි දුන්නට පස්සෙ තමයි සඟරා දෙන්නෙ විකුණල ලාභ ගන්න කියල. තමන් යට කරපු මුදල වත් හොයාගන්නකම් එයාලට ඒ දේ කරන්නම වෙනව.

        • arunishapiro said, on දෙසැම්බර් 9, 2011 at 8:38 පෙ.ව.

          chanakalin,

          විකුණලා සල්ලි දෙන්න, කිසිම ආරක්ෂිත මුදලක් නැතිව නොදන්නා අයට බඩු සපයන නිෂ්පාදකයෙක් ඉන්නවා ද?

          කැමැත්ත කොතැන ද? බැඳගත්ත බෙරේ ගහනවා කියද්දී බෙරේ බැඳගන්නට පෙර නේද කැමැත්ත අකැමත්ත තීරණය වෙන්නේ? කවුරුත් බලහත්කාරයෙන් අල්ලා බෙරයක් බැඳලා දැන් ගහපන් කියා නැහැනෙ.

          ජීවිතයේ දී chanakalin කල්පනා කරලා බලන්න මිනිසා තමන්ගේ මොළය පාවිච්චි කරන්නෙ කොච්චර අඩුවෙන් ද කියලා. කැමැත්ත අකමැත්ත හරියට විමසා බලන්නෙ නැතිව, තමන් ඇතුල් වෙන ගිවිසුම සොයා බලන්නෙ නැතිව විවාහ ජීවිතයට පිවිසෙන, දරුවන් හදන, මිනීමරණ, කුඩු විකුණන අය ඕන තරම්. අපිට ඒ අය සේරම අතින් වෙන වැරදි වලින් ඔවුන් නිර්දෝෂී කරන්න බැහැ. ජීවිතයට හා දේපල හානියට තර්ජනයක්/බලහත්කාරකමක් නැතිව කැමැත්තෙන් ඕනෑම ගිවිසුමකට එකඟ වීමේ හා අදහසක් බාර ගැනීමේ වගකීම තියෙන්නේ ඒ පුද්ගලයා අත.

  6. නදී said, on දෙසැම්බර් 8, 2011 at 10:52 පෙ.ව.

    අර ටීවී ඇඩ් එකකුත් යන්නෙ, ගෑණුළමයි බදවගන්නව මනස සගරාව විකුණන්න කියලා.මාසෙට 50,000ක් දෙනවලු.”2000ක් දෙනා බදවගන්නව”ලු.

    • arunishapiro said, on දෙසැම්බර් 8, 2011 at 11:22 පෙ.ව.

      නදී,

      මාසෙට පන්දාහක් දෙනවා කියද්දී ඒක ලැබෙන්නෙ කොහොම ද යන්න පැහැදිලි කරනවා ද? කොච්චර කාලයක් අව්වෙ ඇවිදලා, බස් ගාස්තු ගෙවා ගෙන, කොච්චර පත්තර ගානක් විකුණුවාම ද ඒ මුදල ලැබෙන්නේ කියලා අහන්නෙ නැතිව ද බඳවාගන්න පමණින් විසිදාහක් දෙනා යන්නෙ?

  7. සාගර said, on දෙසැම්බර් 8, 2011 at 12:12 ප.ව.

    ඔබගේ සමහර පිළිතුරු මෙම ව්‍යාපාරයට ඔබගේ කැමැත්ත ප්‍රකාශ කරන බවයි මගේ හැඟීම.

    • arunishapiro said, on දෙසැම්බර් 8, 2011 at 2:04 ප.ව.

      සාගර,

      හිඟන්නෙක් යදින කොට අයෙක් අතේ තියන සල්ලි දෙන්නෙ කාගේ දුක නැති කරන්න ද? හිඟන්නා ගේ ද? නැත්නම් හිඟන්නා දැක්ක නිසා තමන්ගේ ද? හිඟන්නෝ ලොව ඉන්නා බව නොදන්නා කෙනෙක් නැති නිසා හිඟන්නෙක් දැක්කම සල්ලි දෙන්නෙ තමන්ගෙ හිතේ නැඟිච්ච දුක, කණගාටුව, නොසන්සුන්බව නැති කරගන්න.

      මෙහෙම බස් වලට නඟින අය ජීවිකාවක් නැතිකමට සඟරා විකුණනවා නම්, ඒ සඟරාවල ඇති වැදගත්කමක් නැත්නම් සඟරාව මිල දී ගන්නා අය නොවේ ද තත්වය දිගටම පවත්වා ගෙන යන්නේ? ඇමෙරිකාවේ ඉන්න මම නෙමෙයි කැමත්ත දක්වා ඇත්තේ!!!

      මෙතැන වැරැද්ද වී ඇත්තේ මහන්සියෙන් විකුණු සඟරාවල මුදල් විකුණූ අයට ලබාගත නොහැකි වීමයි. අඩු ප්‍රමිතියේ බඩුවක් කැමැත්තෙන් මිල දී ගන්නා අයට කැමැත්තෙන් අලෙවි කරන අය වෙතින් ගණුදෙනුව නොවේ.

      අපි අයෙකුට දොස් පවරන කොට දොස් පැවරිය යුත්තේ මොනවාට දැයි සොයන්න ඕනා. නරක දෙයක් කළ පමණින් නීතියක් කැඩෙන්නේ නැහැ. නරක දේවල් කරන මිනිස්සු ඕන තරම් ඉන්නවා. ඒත් අපිට දොස් පවරන්න පුළුවන් අයෙක් කරන නරක දෙයකින් තවත් අයෙකුට ඇති නීතියේ රැකවරණය කැඩෙනවා නම් පමණයි. නැත්නම් ඉතින් බල්ලෙක්ට පයින් ගහන අයටත් ප්‍රසිද්ධියේ දොස් කියන්න වෙනවා, මොකද මම ඒකත් දකින්නෙ නරක ක්‍රියාවක් විදියට!!!

      • සාගර said, on දෙසැම්බර් 8, 2011 at 4:11 ප.ව.

        ” මෙහෙම බස් වලට නඟින අය ජීවිකාවක් නැතිකමට සඟරා විකුණනවා නම්, ඒ සඟරාවල ඇති වැදගත්කමක් නැත්නම් සඟරාව මිල දී ගන්නා අය නොවේ ද තත්වය දිගටම පවත්වා ගෙන යන්නේ? ඇමෙරිකාවේ ඉන්න මම නෙමෙයි කැමත්ත දක්වා ඇත්තේ!!! ”

        ඔබ කියන ආකාරයෙන් දකින්න අපේ ලංකාවේ මිනිසුන්ගේ සිතුවිලි පෙළඹෙන්නෙ හරි අඩුවෙන්. ඒකට හේතුව අපි ආසියානු රටක ආගමික හා සංස්කෘතික හරයන් සමග බද්ධ වූ පරිසරයක ඉපිද, හැදී වැඩී ජීවත් වීමයි. මම මෙතන අදහස් කලේ ඔබ මෙම ව්‍යාපාරය හෙලා දැකිය යුතු බවක් නොවේ. ඒත් වරදක් වෙනවානම්ල ඒ බව දැන දැන ඇඟ බේරාගෙන පිළිතුරු දීමේ ව්‍යංග ප්‍රකාශනයක් ගැබ්වී ඇති බවයි මම මතු කලේ. මේ සම්බන්ධයෙන් ඔබට නීතිමය කිසිවක් කළ හැකි නොවූවත් වරද පෙන්වා දීමට අප හැමටම වඩා සත්භාවාත්මක අයිතියක් ඔබට ඇතැයි මම සිතනවා.

        • arunishapiro said, on දෙසැම්බර් 8, 2011 at 5:29 ප.ව.

          සාගර,

          ඔයා හිතනවා මම ඇඟ බේරාගෙන පිළිතුරු දීමේ ව්‍යංග ප්‍රකාශනයක් කළා කියලා. ඒත් මම හිතන්නෙ මට කියන්න පුළුවන් තරම් කෙළින් මම පැහැදිලිව කිව්වා කියලා. 2009 දෙසැම්බර් මස 28 වැනිදා මම මෙහෙම ලියා තියනවා //මෙය සංවිධානය කරන පිරිස එම සංගමයේ නිර්මාතෘවරයාගේ අදහස් වලින් බැහැර ගොස් ඇති පැති කිහිපයකි.// ඒ සටහන දැම්මාට පස්සෙ සාන්ත ජයසුන්දර තව තවත් තාත්තාගේ අදහස් වලින් ඈත් වෙන බව දැනගන්න ලැබෙනවා. නමුත්, මම බැලුම්ගල වැඩ සටහන එනතෙක් නිහඬ වී සිටියේ නැති බවත් එදා පටන් මේ ගැන ඇසූ අයට දුන් සියළු පිළිතුරු මේ අඩවියේ සටහන් තුලින් දකින්නටත් පුළුවන්. ඒ සමහර අයටත් මා දුන් පිළිතුරු සාගරට වගේ ම මදි වූවා වෙන්නට ඇති. තවත් අය එහෙම කියන්න එපා සාන්ත ජයසුන්දර අපේ ජීවිතයේ ගුරු පියාණන් යැයි මට ලියා එව්වා. වෙන රටක වාසය කරමින් ලංකාවේ හරියට ම වෙන්නේ කුමක් දැයි නොදැන අයෙකුගේ ව්‍යාපාරියක සැලසුම් ගැන දොස් පැවරීම තවත් අය එහෙමයි මෙහෙමයි කියන නිසා පමණින් කළොත් මාත් කරන්නේ වරදක් නොවේ ද?

          සුමනදාස සමරසිංහ තාත්තා වූ නිසා, ඔහුගේ අනුගාමිකයන් රට වටා යමින්, ඔහු කියාදුන් දෑ විකෘති කර දේශනා කරමින්, මුදල් උපයා ගනිද්දී ඒවා පෙන්වා දීමට මා කළ යුත්ත වූයේ කුමක් ද? ඔහු කියාදුන් දෑ විකෘති කරමින් කියන අය කරන වැරදි රට්ටුන්ට පෙන්වා දීමට මගේ ජීවිත කාලය වැය කිරීම ද? නැත්නම් මෙවැනි බ්ලොගයකින් මනස ගැන මා දන්නා තරමින් සිංහලෙන් කියවන්නාව දැනුවත් කිරීම ද?

  8. ඉඳුනිල් said, on දෙසැම්බර් 8, 2011 at 1:25 ප.ව.

    වැඩි පුර මේ අලෙවි කටයුතු කරන්නේ කාන්තා උදවිය තමා. පිරිමි අයත් නැතිවා නෙවෙයි. මම දැකලා තියෙනවා එක පිරිමි අයෙක ඒවා විකුණන්නේ සමාජ සේවයක් හැටියට කියලා. ඔහු කියන්නේ ඔහුට ව්‍යාපාර බොහොමයක් ඇති බව, මනස අලෙවියෙන් ඔහුට මුල්‍ය ප්‍රතිලාභයක් නැතිලු. ඔහු සතුව වාහන කිහිපයක් තියෙනවා කියලා බස් එකේ දී කිව්වත් සබාවට හතර දෙනෙක් මුළු පවුලම අමාරුවෙන් යතුරු පැදියෙන් ගමන් කරන්නේ.

    තව කෙනෙක් ඉන්නවා, ඔහුගේ සබන් ව්‍යාපාරය මනස (ජයසුන්දරගේ) නිසා ඉතා දියුණුවට පත් වුනාලු. නමුත් දිනපතා බස් වල සඟරා අලෙවියේ යෙදෙනවා.

    ඔබ ඉන්න පරිසරයත් එක්ක සමහර විට මෙහෙම සෙවීමක් බැලීමක් නැතිව රැකියා වලට යාම නුහුරු වෙන්න පුළුවන්. ඒත් ඇත්තටම අපේ මිනිස්සු ඉක්මනින් පෝසත් වෙන්න ආසයි, මම කියන්නේ පහල වත්කම් ඇති බව, ඒ හැමදාම දුක විඳින නිසා. හරි මග පෙන්වීමක් නැහැ. පිහිටක් නැහැ. ඉගෙන ගත්තත් සමහර විට පලක් ඇති දෙයක් ඉගෙන ගන්න වෙන්නේ නැහැ. ඉතින් අර පහන් දැල්ලට ඇදෙන පළඟැටියෝ වගේ ඕනෑම මිත්‍යාවක් මත බලාපොරොත්තු ඇති කර ගන්න කැමතියි වගේම ඒවාට සහභාගී වෙනවා. සක්විතිටත් අලෙවි නියෝජිතයෝ හිටියා. විශ්ව ශක්තියෙන් ලෙඩ සුව කර ගන්න සනත් ජයසුරියත් ගියා, ඊනියා විශ්ව ශක්ති ප්‍රතිකාර ලබා ගන්න .සිංහල බෞද්ධ (යැයි කියාගන්නා) දේශපාලනඥන් ඉන්දියාවේ කැස්සට හෙම්බිරිස්සවටත් ඉන්දියාවේ කෝවිල් වල යනවා.සමහරු යන්තර අතේ තියාගෙනත් ඉන්නවා.මේක ආශ්චර්යමත් රටක්. උත්සාහයෙන් දියුණු වීම, සැබෑවට මුහුණ දීම වෙනුවට ෂෝට් කට් මිත්‍යාවට අපේ අය ගොඩක් කැමතියි. ඒ වගේම ඕනෑම හොරෙකුට ක්‍රමය දන්නවානම් යහතින් ඉන්න පුළුවන්.

    ඇත්තටම මට ඔබේ පියාගේ පොත් කියවීමට ලැබිලා නැහැ. නමුත් බසයේදී බෙදන මනස මම කියවා බලා තියෙනවා වගේම, ඔබේ සහෝදරිය කියනවා වගේ තඩි අකුරු වලින් විකෘති තියරියක් අසම්පුර්ණ භාෂා විලාසයකින් තිබෙන බවක් හැඟෙනවා.

    බුද්ධිමය දේපල පැවරීමක් අවලංගු කරවන්න නීතිමය හැකියාවක් තියෙනවාද මම දන්නේ නැහැ. එහෙම පුලුවන්නම් හොඳයි. මම කියන්නේ ඔබලාගේ උරුමය ගැන විතරක් නෙවෙයි, අහිංසකයින් නොමග යැවීමට ඔබලාගේ පියාගේ නාමයත් මොවුන් භාවිතා කරනවා, මේ විකෘතිය කියවන අය ඒ ඔබේ පියාගේත් දර්ශනය කියලා හිතනවානම් ???

    දුර හිටියත්, ඔබලාට හැකි දෙයක් කරන්න. ඔබේ සිංහල හැකියාව ජයසුන්දරගේ මනසේ සිංහලට වඩා බොහොම ඉහළින් තියෙනවා.

    • arunishapiro said, on දෙසැම්බර් 8, 2011 at 2:20 ප.ව.

      ඉඳුනිල්,

      නැහැ ඉඳුනිල් මෙහෙ වෙන්නෙ ඔයිටත් වඩා මහා පරිනාමයෙන් හොරකම්. බර්නි මෑඩොෆ් කියන එක්කෙනාට මේ රටේ සුපිරි ධනවතුන් විතරක් නෙමෙයි ලෝකයේ සුපිරි ධනවතුන් හා බැංකු පවා රැවටුනා. ඉක්මණින් පෝසත් වෙන්න ආස මිනිස්සු ලෝකෙ හැම තැනම ඉන්නවා. ඒ අයව රවටන්න මේ වගේ උත්සාහයන් අතීතයේ, වර්තමානයේ සහ අනාගතයේ ද පැවතීම වළක්වන්න බැහැ. තමන් දැනුවත් වීම පමණයි කරත හැකි එකම දෙය.

      සාන්ත ජයසුන්දරට බුද්ධිමය දේපල කිසිවක් පවරලා නැහැ. මනස සඟරාව තාත්තාගේ අභාවයෙන් පස්සෙ දිගටම පළකරන්න ඉදිරිපත් වූ නිසා එයාට බාර දුන්නේ නංගි. තාත්තා වෙතින් මනස ගැන ඉගෙන ගත් වෙනත් අය ද සඟරා ලිපි හා පොත්පත් කරගෙන යනවා. සමහරු සංවිධාන වෙලා හමුවීම් ද පවත්වනවා. ඒ අයගෙන් නංගි හෝ වෙනත් පවුලේ කෙනෙක් කිසිම මුදල් ලාභයක් ලබන්නේ නැහැ.

      මනස ගැන කියන්න අයිතියක් ඕන අයෙකුට තියනවා. සුමනදාස සමරසිංහ නැමති පුද්ගලයා කියාදුන් මිනිස් හිතේ හාස්කම් ගැන ද කියන්න අයිතියක් ඕන අයෙකුට තියනවා. බුද්ධිමය දේපල අයිතිය යනු සුමනදාස සමරසිංහ ලියූ පොත්පත් වල ඇති අයිතිය පමණයි. ඒවා නැවත ප්‍රකාශනය හා අලෙවියට ඇති අයිතිය. එය ඇත්තේ නංගිට පමණයි. ඒ ගැන මට ද අයිතියක් නැහැ!!! ලංකාවේ හෝ පිටරටක ඉන්නා ඕනෑම කෙනෙකුට මනස ගැනත් සුමනදාස සමරසිංහ කියා දුන් දේ ගැනත් කතාබහ කරන්නට, ඒ ගැන පොත් ලියා හෝ සඟරා පල කරන්නට තහනමක් ලොව නැහැ. 2009 දී මට නිව් යෝර්ක් නගරයේ දී සිංහල පුවත්පතක මිනිස් හිතේ හාස්කම් ගැන මෙහෙ වාසය කරන ලාංකික අයෙක් ලියූ ලිපියක් කියවන්න ලැබුණා.

      දර්ශනයක් ගෙනහැර පෑවාට පසු ඒවා විකෘති වීම ලෝක ස්වභාවයක්. ඒකයි මේ සටහන් ලියන්න පටන් ගත් දා පටන් මම නැවත නැවතත් කියන්නේ යමක ඇත්ත ඇති සැටිය දැනගන්නට නම් මූලාශ්‍රයට යා යුතුයි කියලා. යම් දර්ශනයක්, මතවාදයක් හෝ ආකල්පයක් ගැන අවබෝධය එය ඉදිරිපත් කළ තැනැත්තා ලියූ දෙයින් තමයි දැනගන්න ඕනා.

  9. NotAFool said, on දෙසැම්බර් 9, 2011 at 3:33 පෙ.ව.

    නැපෝලියන් හිල් අන්ඩ්රු කානගී කියපු දේවල් ලෝකෙට කිව්වා. සුමනදාස ඒ දේවල් තමයි ලංකාවේ අයට අලුත්ම දෙයක් විදිහට කිව්වේ. අන්ඩ්රු කානගී තමන් කියපු දේවල් සම්බන්ද කරේ ක්‍රිස්තියානි දහමත් එක්ක. එත් සුමනදාස ඒවා බුදු දහම එක්ක සම්බන්ද කරලා කිව්වා. එතකොට මේ කරලා තියෙන්නේ අනුන්ගේ දෙයක් තමන්ගේ විදිහට කිරීම නෙවෙයිද? ඉතින් මේ මනස සඟරාව විකුණන මනුස්සය කරලා තියෙන දේ විතරක් වරදක් විදිහට දකින්නේ ඇයි? ප්‍රශ්න වලින් පැනල යන්නේ නැතුව අරුණි උත්තර දෙයි කියල විශ්වාස කරනවා.

    • arunishapiro said, on දෙසැම්බර් 9, 2011 at 8:14 පෙ.ව.

      NotAFool,

      //අන්ඩ්රු කානගී තමන් කියපු දේවල් සම්බන්ද කරේ ක්‍රිස්තියානි දහමත් එක්ක.//
      // එත් සුමනදාස ඒවා බුදු දහම එක්ක සම්බන්ද කරලා කිව්වා.//
      //එතකොට මේ කරලා තියෙන්නේ අනුන්ගේ දෙයක් තමන්ගේ විදිහට කිරීම නෙවෙයිද?//

      ඔව්, ඒ නිසා තමයි ඉහත ඉන්දික27 දාපු පිළිතුරේ දී මම මෙහෙම කියා ඇත්තේ

      //ඉල්ලුමක් ඇති දැයකට (මෙතැන ඇත්තේ මානසික සහනය සඳහා) සැපයුමක් කරන්න සාන්ත ජයසුන්දර නැත්නම් වෙනත් කෙනෙක් පටන් ගනිවී. වගකීමක් ඇත්තේ පාරිභෝගිකයාට, නැත්නම් සංවිධානයකට බැඳෙන සාමාජිකයා අත. ඕනෑම අයෙක් ලෝකයට ඉදිරිපත් කරන දෙයක් බාරගන්නා අයෙක් තමයි තමන් බාරගන්නා දැයෙහි හොඳ නරක සොයා බලන්නට වගකීම ගත යුත්තේ.//

      ඇන්ඩෲ කානගී කියපු දේ බාර නොගත් අය සිටියා. තාත්තා කී දේ බාර නොගත් අය සිටියා. ඒත් ස්ටාලින් වගේ තමන් කියන අදහස් බාර නොගත් අයගේ ජීවිත අහිමි කළේ නැහැ මේ දෙන්නා. සාන්ත ජයසුන්දර ද බලහත්කාරයෙන් පුද්ගලයන් හිර බාරයට ගනිමින් මගේ අදහස් පිළිගන්න නැත්නම් මරණවා යැයි කවුරුත් චෝදනා කරන බවක් මා අසා නැහැ.

      ඊ ළඟ බැලුම්ගල වැඩසටහනේ කියනවා කුරුණෑගල කාන්තා සංවිධානයේ අය ඔවුන්ට ඇති “හැඳිමිටේ නුවණ” මනාව පාවිච්චියට ගත් කතාව. අහන්න, මනස ගැන කියා දෙන්නට ආ අයට වඩා කොච්චර දක්ෂ ලෙසින් ඔවුන් තමන්ගේ මනස පාවිච්චියට ගත්තා ද කියා!!!! මගේ ප්‍රණාමය ඔවුන්ටයි! ජයවේවා සහෝදරියෙනි!

  10. chandi said, on දෙසැම්බර් 9, 2011 at 6:58 පෙ.ව.

    අරුණි, මීට කලිනුත් මා කිහිප වතාවක් ලීවා මේ පුද්ගලයා මිනිස් සිතේ හාස්කම් වවන් කනවා කියලා. මට නම් කතා කරන ටික වත් හරිම අපහැදිලියි. හරියට වචන උච්චාරනය වත් දන්නවානම් කමක් නෑ. මේවා ඔබට ඔහේ සිට නවත්තන්න බැරි බව මා දන්නවා, නමුත් අපි මේවාට නොරැවටී ඉන්න එකයි කරන්න ඕනෙ කියල මම තරයේ විෂ්වාස කරනවා. අපි අදටත් ඔබේ පියාට ගරුකරන්නේ ඩේල් කානගී හෝ නැපෝලියන් හිල්ගේ දේවල් අපිට කියා දුන් කෙනෙක් ලෙස නොවේ, අපේම රටේ අපේ සිතුම් පැතුම් වෙනස් කල අයෙක් ලෙසයි. අපිට ඒ කාලයේ ඉංග්‍රීසි භාෂාව පිලිබඳ දැනුමක් නොතිබුන පාසැල් වයසේදීම අපේ මනස විවෘත කල නිසාවෙන්. ඒ අඩිපාරේ ගොස් ජයගත් අපේ ජිවිතවල වටිනාකම අපිට නොවැ. එවන් පියෙකුගේ දියනියක වන ඔබ හඳුනා ගැනීමත් අපට සතුටක් නංගී.

    • arunishapiro said, on දෙසැම්බර් 9, 2011 at 8:23 පෙ.ව.

      chandi,

      තවත් අය ඉන්නවා චාන්දි අක්කා. මෙයා ගැන වැඩියෙන් ජනතාව දන්නේ එයා මහා පරිනාමයෙන් කරන නිසා. අනිත් අයත් තමන් කියන්නේ තාත්තා කියූ මිනිස් හිතේ හාස්කම් බව වෙනස් විදි වලින් කියනවා. එයට ඉල්ලුමක් ඇති නිසා, ඔයා කිව්වා වගේ අපේ අයට වැටහෙන විදියකට මනස ගැන කියා දෙන්න අය අවශ්‍යයි.

      වැරදි හදාගෙන සාන්ත ජයසුන්දරටත් නිවැරදි මඟක යන්නට ලැබේවා යැයි අපි ආශීර්වාද කරමු.

  11. පැතුම් හර්ෂණ said, on දෙසැම්බර් 9, 2011 at 8:32 පෙ.ව.

    second part of the programme

  12. මාරයා... said, on දෙසැම්බර් 9, 2011 at 12:06 ප.ව.

    මට මනස සගරාව හමු උනේ මීට වසරකට එපිට කාලයකදී.. ඒ මම කලින් සේවය කල ආයතනයේ සේවය කරද්දී… ආයතනයේම එක්තරා මට්ටමක තනතුරක් ඇති ඇත්තියක විසින් මෙයින් සඟරා සීයයක් පමණ ගෙනවිත් තිබුනා ආයතනයට මෙය හදුන්වා දීම සඳහා… මා තරමක් දැඩි නීති කාරයකු වූ නිසා ඒ සඟරා මිටිය ඇතුලට ගෙන යන්නනට මා ඉඩ දුන්නේ නැහැ…
    ඒ ආයතන නීතියක් වන ආයතනය තුල වෙළදාම් කිරීම සේවක සේවිකාවන්ට තහනමු බැවින්..ඇය නිලධාරිනියක වූවත් මා එයට ඉඩ දුන්නේ නැහැ..පසුව ඇය අප කිහිප දෙනෙකුටම එයින් සගරා කිහිපයක් කියවන්නට යැයි ලබා දී සඟරා මිටිය ආරක්ෂක කුටියේ තබා ගියේ ආයතනයේ ඉහළ කළමනාකාරීත්වයෙන් අවසර රැගෙන එම් සඟරා ආයතනයට ගෙන යන්නම්ය කියා පවසමින්..ඇත්තටම මා හදාගෙන සිටි වෘත්තීමය පසුබිම නැසි ඔවුන් කිසි විටකත් මා සමග වැඩිදුර වාද විවාද වලට එන්නට සූදානම් වූයේ නැහැ.

    කෙසේ හෝ ඉඩ ගැබෙන හැටියට පැයක් දෙකක් තුලදී මා විසින් එය කියවන්නට යෙදුනා… මට හැගී ගිය එකම දේ තමා තනිකරම මුදල් පරමාර්ථ කරගත්..සුජීව ප්‍රසන්න ආරච්චිගේ නව කතාවකට එහා යමක් එහි නොමැති බව..බුදු බණ ටිකකුත්..ධනාත්මක චින්තන කොටස් අනුපානත් සේ කලතා..එකම දේ පුන පුනා කියනා පිටකොටුවේ හිමියන්ගේ ධර්ම දේශනා බඳු ලිපිවල ගත යුතු කිසිම හරයක් මා දුටුවේ නැහැ…
    පසුව ආයතනයේ ආපන ශාලාව තුලදී එක් සේවිකාවක් මාගෙන් මෙම සගරා මිටිය පිළීබඳව විමසා සිටියා..ඇය එහි සුළු සේවිකාවක්…

    ඇය විමසා සිටියේ එම සගරාව උසස් අන්දමේ එක්ද යන වගයි..වහාම ඇයව ආරක්ෂක කුටියට යවා ම හට ලබා දී තිබූ පිටපත ගෙන්වාගෙන එහි ඇති ලිපි කිහිපයක් ගැනම මම මගේ විවේචන ඉදිරිපත් කලා..එය එවෙලේ ආපන ශාලාවේ වූ පණහකට ආසන්න සේවකයින් පිරිසක් අසා සිටින්නට උනා..ඒ මා විසින් කරනු ලැබූ ඔවැනි පළමු ක්‍රියාව නොවන නිසා එහි අමුත්තක් තිබුනේ නැහැ… සාමාන්‍යයෙන් මාසයකට වතාවක් දෙවතාවක් මං එසේ පඩි කතා ටිකක් කියල අතාරිනවා ඔවුන්ගේ ඉල්ලීම මත…එම පඩි කතා අහන්නටත් ආසාවෙන් බොහෝ පිරිසක් එහි සිටියා…:P

    කොහොම උනත් ඔවුන් විසින් නැගූ ප්‍රශ්නත්..පසුව මෙය ආරංචි වී එහි පැමිණී අඳාළ නිලධාරිනිය ඇසූ පැනයන්ට මා විසින් ලබා දුන් පැහැදිලි කිරීම් මතත් ඇයත් අවසන සඟරාවෙහි ඇති කමකට නැති තත්වය පිළීගෙන එය ආපසු හවස යන විට රැගෙන ගියා..ආයේ නෙවෙයි මනස ගෙනාවේ එහි විකුණන්නට… ඒත් ඉන් පසුව ඇය මා සමඟ බොහෝම මිත්‍රශීලී උනා පෙරටත් වඩා…

    ඔය තමයි වර්ථමාන මනස සඟරාව ගැන ඇති මගේ සමීප අත්දැකීම… මං දන්නේ නැහැ අරුණී අක්කගේ පියා කරන කාලේ ඕක කොහොම තිබුනද කියන දේ.. ඒත් දැනට නම් යන්නේ දියුණුව අපේක්ෂාකරන මෝඩයින්ව දියුණූවේ සිහිනය පෙන්වා මුදල් ගරණා ෆෙන්ර්‍ෂූයි සෙල්ලමට වඩා කිසිම වෙනසක් මනසින් කෙරෙන්නේ නැහැ…

    මෙය අරුණි අක්කලාට තව දුරටත් සම්බන්ධයක් ඇති සඟරාවක් නොවේ යැයි සිතමි..එසේ සම්බන්ධයක් ඇත්නම් කරුණාකර එය නිසි මගට ගන්න උත්සහ ගන්න…නැතිනම් ඔබලාට ඇතිනීතිමය අයිතිය මගින් කටයුතු කොට එය නවතා දමන්න..එය හොඳම දේ වෙනවා ඇති.

    ඊ ළගට වැදගත්ම දේ ඉහත ඇති හඩ පටය අසා නෙවෙයි මේක ලිව්වේ..මොකද ඇත්තටම සීමාසහිත පැකේජයක් නිසා විනාඩි 30කට ආසන්න හඩ පටය ඇසීම මට කල නොහැක්කක් නිසා..එයට සමා වෙන්න…

    • arunishapiro said, on දෙසැම්බර් 9, 2011 at 12:52 ප.ව.

      මාරයා…,

      //සාන්ත ජයසුන්දරට බුද්ධිමය දේපල කිසිවක් පවරලා නැහැ. මනස සඟරාව තාත්තාගේ අභාවයෙන් පස්සෙ දිගටම පළකරන්න ඉදිරිපත් වූ නිසා එයාට බාර දුන්නේ නංගි. තාත්තා වෙතින් මනස ගැන ඉගෙන ගත් වෙනත් අය ද සඟරා ලිපි හා පොත්පත් කරගෙන යනවා. සමහරු සංවිධාන වෙලා හමුවීම් ද පවත්වනවා. ඒ අයගෙන් නංගි හෝ වෙනත් පවුලේ කෙනෙක් කිසිම මුදල් ලාභයක් ලබන්නේ නැහැ.

      මනස ගැන කියන්න අයිතියක් ඕන අයෙකුට තියනවා. සුමනදාස සමරසිංහ නැමති පුද්ගලයා කියාදුන් මිනිස් හිතේ හාස්කම් ගැන ද කියන්න අයිතියක් ඕන අයෙකුට තියනවා. බුද්ධිමය දේපල අයිතිය යනු සුමනදාස සමරසිංහ ලියූ පොත්පත් වල ඇති අයිතිය පමණයි. ඒවා නැවත ප්‍රකාශනය හා අලෙවියට ඇති අයිතිය. එය ඇත්තේ නංගිට පමණයි. ඒ ගැන මට ද අයිතියක් නැහැ!!!//

      • මාරයා... said, on දෙසැම්බර් 9, 2011 at 1:54 ප.ව.

        ඔබ ප්‍රශ්නය දෙස මැදහත්ව බලනවා වෙන්න පුළුවන් අරුණි අක්කේ.. ඒත් උඩින්ම දාගෙන තියෙන ඔබගේ පියාගේ රූපයත්..ශාන්ත කරන්නේ ඔබගේ පියාගේ දර්ශනයම ඉදිරියට ගෙන යාමක් කියලා ඇගවෙනවිදියට දාගෙන ඉන්න වැකි වලිනුත් පිරිහෙන්නේ ඔබේ පියාගේ හොද නම..ඇත්තම කිව්වොත් මගේ හිතෙත් පහළ උනේ එහෙම දෙයක්… ඒත් ඔබව දැන හැදින ගත් නිසත්..ඔබ කියූ යම් යම් කාරණා නිසා ඒ ඔබේ පියා යන වගත් දැන ගත්ත නිසා මං හොයලා බලලා පහුකාලීනව හරි ටිකක් හිතුවට හැම කෙනාටම ඔබ ගැනවත් ඔබේ පියා ගැනවත් දැනගන්න අවස්ථාවක් නැහැ..

        ඒ අවස්ථාව හම්බ වෙන්නේ අදටත් සාන්ත විකුණන පත්තරේ හින්දා..ඒකෙන් හඳුන ගන්න ඔබේ පියා..ඔබ අපි දකින පුද්ගලයා විදියට පේන්නේ නැහැ…

        බුදු දහම බාගයක් කලවං කල..බටහිර පොත් තව ටිකක් කලවං කල.. ඒ අතරට බොක්කට වදින්න සුරංගනා කතා කියන දර්ශනයක් හරහා හිතින් වැටිලා ඉන්න මිනිස්සුන්ගේ අන්තිම තුට්ටු දෙකටත් කෙලින්න ලෑස්ති උන මනුස්සයෙක් ඒ ගරානාව කරනා මන්තරය තම ගෝලයකුට කියාගෙන යන්න ඉඩ ඇරිය කෙනෙක් වගේ පියා දෙස බලනවාට අක්කා කැමති නැතිව ඇති කියලා මං හිතනවා…ඒත් තුන් වැනි ඇහැකින් බලන කොට ඒක එහෙම පේනවා කියන එක මට හිතෙනවා.. ඒ හින්දා උපේක්ෂාවට හානියක් කර නොගෙනම තම පවුලේ අයිතිය ගැන සුදුස්සක් කරන්න.. ඒක වඩා හොදයි…

        තාත්තගේ පින්තූරෙයි නමයි ඉස්සරහට දාන එක නැවැත්තුවාම ඇති… ඒ හැර සාන්ත මොනවා කියනවාද කියන එක අපිට ඒ හැටි වැඩක් ඇති දෙයක් නෙවෙයි…

        • arunishapiro said, on දෙසැම්බර් 9, 2011 at 4:15 ප.ව.

          මාරයා…,

          ප්‍රසිද්ධ පුද්ගලයෙක් වූ තාත්තාගේ රූපය පාවිච්චි කරන්නත් මාරයා මල්ලි ඕනෑම කෙනෙකුට අවසර තියනවා. හොඳ නම ගැනත් සටහනක් ලියන්න වෙනවා වගෙයි!! ඒක වෙන කවුරු චෝදනා ගෙනාවත් පිරිහෙන්නෙ නැති දෙයක්, කවදා හෝ සත්‍ය හෙළි වෙනවා නේද? නැත්නම් කවදා හෝ බොරුත් හෙළි වෙනවා නේද?!!

          //බුදු දහම බාගයක් කලවං කල..බටහිර පොත් තව ටිකක් කලවං කල.. ඒ අතරට බොක්කට වදින්න සුරංගනා කතා කියන දර්ශනයක් හරහා හිතින් වැටිලා ඉන්න මිනිස්සුන්ගේ අන්තිම තුට්ටු දෙකටත් කෙලින්න ලෑස්ති උන මනුස්සයෙක්// මේක කියෙව්වම නම් මාරයා මල්ලි හිනා ගියා .. මොකද දන්නවා ද? සමහර අය තාත්තා එහෙමයි කියලනෙ තාත්තා ජීවත්වෙලා ඉන්න කාලයේ දී තාත්තා ගැනත් කිව්වේ!!!

          තාත්තා කියා දුන්නේ මොනවා ද ගැන සැබැවින් ම හොයන කෙනෙක්ට ඔහු ලියූ පොතක් කියවා සොයා ගන්න හැකියි.

          මිනිස්සු කියන දේවල් වෙනස් කරන්න, නවත්තන්න පුළුවන් ක්‍රමයක් හෝ කෙනෙක් ලෝක ඉතිහාසයේ කොහෙන් වත් හොයා ගන්න නැහැ.

          නංගි සාන්ත ජයසුන්දරට මනස සඟරාව පළ කරන අවසරය දෙන්නෙ මුදල් ගණුදෙනුවකින් තොරව. යමක් දීලා ආපහු ඉල්ලන එකත් වැරදියි නේද?

      • මාරයා... said, on දෙසැම්බර් 9, 2011 at 10:09 ප.ව.

        //බුදු දහම බාගයක් කලවං කල..බටහිර පොත් තව ටිකක් කලවං කල.. ඒ අතරට බොක්කට වදින්න සුරංගනා කතා කියන දර්ශනයක් හරහා හිතින් වැටිලා ඉන්න මිනිස්සුන්ගේ අන්තිම තුට්ටු දෙකටත් කෙලින්න ලෑස්ති උන මනුස්සයෙක්// මේක කියෙව්වම නම් මාරයා මල්ලි හිනා ගියා .. මොකද දන්නවා ද? සමහර අය තාත්තා එහෙමයි කියලනෙ තාත්තා ජීවත්වෙලා ඉන්න කාලයේ දී තාත්තා ගැනත් කිව්වේ!!!

        ඇත්තෙන්ම අක්කේ මං ඒ කතාවක් දැනං උන්නේ නැහැ..පොදුවේ මං සාමාන්‍යයෙන් ධනාත්මක චින්තන පොත් කියවනවා අඩුයි..(සමහර විට මං මෙහෙම රිනාත්මක බුවෙක් උනෙත් ඒකද මංදා..:D) ඒත් බුදු දහම සම්බන්ධව ලියැඋන පොත්පත්මං කියවනවා..එයිනුත් මං රේරුකානේ හිමියන්ගේ පොත්පතවලට තරමක් ලැදි අයෙක්.. තෙවළා දහමේ ඇති හර පද්ධතිය තේරුම් ගැනීමට පහසුම මග හැටියට මට ලැබුනේ ඒ පොත් පෙල..ඉතිං එයින් එහාට මං වෙන පොත් පස්සේ දුවනවා අඩුයි.. ඒත් ඉඳහිට හම්බ උනාම අතරින් පතර කියවන්නේ නැත්තේමත් නැහැ උදාහරණයක් හැටියට අර ඉස්සර දිවයින පත්තරේ කතුවරයෙක් වෙලා හිටිය..හ්ම්ම් මොකක්ද නම මට හරියට මතක නැහැ රණසිංහ කියලා මහත්මයෙක්ද කොහේද..ආන්න ඒ මහත්මා විසින් රචිත පොත් පත් තරමක් කියෙව්වා.. ඒත් ඒ හැම එකටම වඩා රේරුකානේ හිමියන්ගේ පොත් සමීපයි මට…

        මං හිතන්නේ ඒ හින්දා මට ඔබේ පි‍යාගේ පොත්පත් මගෑරිලා වෙන්න ඕන.. ඒ හින්දා මිනිස්සු මොනවා කිව්වද කියලා මං දැනං හිටියේ නැහැ… දැන් උනත් මං එතුමා ගැන දන්නේ ඔබ වරින් වර කරපු සටහන් නිසා… ඒ හැර ලියපු දේ මං කියවලා නැහැ.. එහෙම තත්වයක් යටතේ එතුමාගේ දරුශනය ඉදිරියට ගෙනියනවා කියන පුද්ගලයකු හරහා මං වගේ කෙනෙක් එතුමා දකින්න ගියොත් වෙන්නේ අරවගේ චිත්‍රයක් මැවීම… ආන්න එකයි සිද්ධීයේ තියෙන නරකම පැත්ත…එහෙම නැතිව මම ඔබේ පියා ගැන මොනම ආකාරයෙන්වත් දන්නේ නැති වග කියන්න ඕන සහ වැරදි යමක් කියවුනා නම් ලෝබ නැතිව මට සමාව දෙන්ටත් ඕන…හරිනේ.. හරි ඒක පැත්තකින් තියමු…
        ……………………………

        “නංගි සාන්ත ජයසුන්දරට මනස සඟරාව පළ කරන අවසරය දෙන්නෙ මුදල් ගණුදෙනුවකින් තොරව. යමක් දීලා ආපහු ඉල්ලන එකත් වැරදියි නේද?”

        ඔව් දීලා ඉල්ලන එක වැරදියි..වැරදියි නෙවේ ඒක සාමාන්‍ය සත්පරුෂයින්ගේ ක්‍රියාවක් නෙවෙයි..ඒක හරි..ඒත් ඒකෙන් කියවෙන්නේ නැහැ නේද අක්කේ ඒක කරන්න ගන්න කෙනාට ඒක රිසි පරිදි හරව හරවා විකුණං කන්න අවසරයක් තියෙනවා කියලා..අඩුම තරමේ ඔහු ලියන දේවල් ඉඳහිට හෝ ඔබ දෙපල විසින් කියවා බලා ඔහුට ගුණ දොස් විචාරයක් දීම කල නොහැකිද..? මනස ලියන්න ඔහුට හැකිනම් සාධාරණ විවේචනයක් බාර ගන්න තරං දියුණු මනසක් ඔහු සතු වෙන්නත් එපෑ.. ඒ හින්දා පුළුවන්නං බුද්ධිමය දේපල අයිති කතන්දර කොහොම උනත් පොඩ්ඩක් එහි දැනට තියෙන ප්‍රමිතිය ගැන ඔයාලා සැලකිලිමත් වන එක හොඳයි මං හිතන්නේ…ඒක පියාටත්..එය කියවන මිනිසුන්ටත් දෙපාර්ශවයටම සාධාරණයක් වෙයි කියලයි මගේ කල්පනාව…

        • arunishapiro said, on දෙසැම්බර් 12, 2011 at 9:08 පෙ.ව.

          මාරයා…,

          යමක් දුන්නට පස්සෙ මාරයා මල්ලි ඒක මේ විදියට පාවිච්චි කරන්න කියලා නීති ගේන්න පුළුවන් ආණ්ඩුවකට විතරයිනෙ!!! අනික් අය දෙන අවවාද හා උපදෙස් බාර ගන්න අය ලෝකෙ ඉන්නෙ කොච්චර අල්පයක් ද?

  13. සාගර said, on දෙසැම්බර් 9, 2011 at 1:30 ප.ව.

    නොදුටු අරුණි අක්කේ,

    ඇත්තටම හරවත් යමක් කියවන්නට ලැබෙන මෙම බ්ලොග් අඩවිය බලන්නේ ඉතා ආශාවෙන්. ‍ශාන්ත ජයසුන්දර වපුරන දේ නෙලාගනීවී. ඔබ කියන්නා වගේ අප නිවැරදි දේ පුළුවන් තරමින් හෙළි කිරීම විනා ඔවුන්ගේ වාණිජ පරමාර්ථ වලට පහරදීම නොකළ යුතුයි. ඩේල් කානගී, ඔබගේ පියා සමාජයට හඳුන්වා දුන්නේ ඉදිරියට යන ක්‍රමයකි. එය වැරදි විදියට ප්‍රයෝජනයට ගැනීම මගින් එම තැනත්තාම පිරිහෙන බවත් කොහේ හෝ තැනක මා කියවා තිබෙනවා. ශාන්ත ජයසුන්දර මහතාටත් එය එලෙසම අදාළ වේවි. ඔබ මේ අඩවිය හරහා කරගෙන යන කාර්යයට සුභ පැතුම්.

  14. රත්නකුමාර් said, on දෙසැම්බර් 10, 2011 at 9:44 පෙ.ව.

    මිනිස් හිතේ හාස්කම් පොත් පෙල මම පාසැල් යන කාලයේ කියෙව්වා. ඒ කාලයේ ඉඳලම මම දන්න කියන හැමෝටම කීවා මේ පොත් අරන් කියවන්න කියලා. මම ගෙනාව පොත් පත් බොහෝ දෙනෙකුට කියවන්න දීලා තියෙනවා. මනස සඟරාව බලන්න පටන් ගත්තේ සුමනදාස සමරසිංහ මහතා කුරුණෑගලට පවත්වපු වැඩසටහනකට සහභාගි වුනාට පසුවයි. මම මනස සඟරාව කියවනාවා. මගේ දැනුමේ ප්‍රමාණයට අනුව මම එහි ලොකු දුර්වලතාවයක් දකින්නේ නෑ. නමුත් තරුණ තරුණියන්ව මෙම සඟරාව අලෙවි කිරීමට යොදවා තීබීම නම් කනගාටුයි. මේ තුලින් සිදුවන්නේ සුමනාදාස සමරසිංහ මහතාගේ දැක්ම විනාශ කිරීමක් ලෙසයි මට පෙනෙන්නේ. කොහොම නමුත් සාන්ත ජයසුන්දර මහතා සඟරාව තුලින් වැරදි මත වපුරනවා කියලා මම පිලිගන්නේ නෑ. තරුණ තරුණියන්ට රැකියා අවස්තා ලබාදෙන විකල්ප වැඩපිලිවලක් සාන්ත ජයසුන්දරගේ මනසට පැමිනේවා යැයි ප්‍රාර්ථනා කරමි.

    • arunishapiro said, on දෙසැම්බර් 12, 2011 at 9:26 පෙ.ව.

      රත්නකුමාර්,

      ආයුබෝවන්!

      //තරුණ තරුණියන්ට රැකියා අවස්තා ලබාදෙන විකල්ප වැඩපිලිවලක් සාන්ත ජයසුන්දරගේ මනසට පැමිනේවා යැයි ප්‍රාර්ථනා කරමි.// ඔව් මාත් එකතු වෙන්නම් ඒ පැතුමට!

  15. kathandarakaraya said, on දෙසැම්බර් 12, 2011 at 4:17 පෙ.ව.

    නවම්මාවතේ යන එබුවේ ගේ කතා බලන විට මේ පුද්ගලයාට St Jayasundara කියා කිව හැකි බව තේරුණි!

  16. Inesh said, on දෙසැම්බර් 16, 2011 at 4:29 පෙ.ව.

    තමන්ගෙ සිහින වලට යද්දි හොද දෑක්මක් තියෙන්න ඔනේ.ජයසුන්දර මහත්මයගේ සිහින ඉෂ්ඨ වෙන්න ලන් වෙද්දි දෑක්ම වෙනස් වෙලා වගේ.නමුත් කිසිම පත්තරයක් බලෙන් විකුනලත් නෑ.විකුනන අයට බොරු කියලා දිලත් නෑ වගේ.කෙනෙක් කියන දෙයක් තර්ක කරලා බලලා ගන්න තමයි මොළයක් කියල දෙයක් තියෙන්නේ.ලන්කවේ ඉන්න අයගෙන් කිපදෙනෙක්ගෙ හරි ජිවිත හොද පත්තට වෙනස් කරපු මනුස්සයෙක් මේ.විනාඩි ගානක වෑඩ සටහනකින් මීට වඩා මොනවා හිතන්නද,බෑලුම්ගල කියන්නෙත් වෑඩසටහනක් විතරයි.එයාලගේ මතය හරි කියන රෙකොඩින් විතරයි දන්නෙත්.හෑම එකකටම වගේ වගේ කියනව අරෙන්න මෙ වගෙ දේකට මිට වඩ මොනව කියන්නද?බෑලුම්ගලට ලන්කාදීප පත්තෙරෙන් ලන්කාවටම කුනු රස විකුනන එක තෙරුම් ගන්න පුලුවන් උනානම්,

  17. Gamini said, on දෙසැම්බර් 28, 2011 at 6:01 ප.ව.

    මහාචාර්ය D.S. රණවක යනු වංචනියෙකි
    Uploaded by adminAmilaGunaratna, asia, feature, interviews, Weeklyb 10:23 AM

    අමිල ගුණරත්න

    මහාචාර්ය D.S රණවක යනු අංක එකේ වංචනියෙක් බව අප නොබියව නොවලහා ප්‍රකාශ කරමු. අපගේ ප්‍රකාශය වැරදි නම් උසාවි පවා යාමට අප සුදානම්ය. වෛද්‍ය ලලිත් පෙරේරා විසින් ලියන ලද “මනෝ චිකිත්සක උපදේශනයේ ඛේදවාචකය හෙවත් ‘මහාචාර්ය’ D S රණවකගේ හොර උපාධි කඩය” ලිපිය කියවීමෙන් පසුව අප විසින් එහි සඳහන් කරුණු පිලිබඳව අපක්ෂපාති විමර්ශනයක් කළෙමු. අපගේ විමර්ශනාත්මක සහායක ප්‍රමිල වික්‍රමනායක මහතා විසින් රණවක මුණගැසී ඔහුගේ MICP , FICP මනෝ විද්‍යා උපාධි වල පිටපත් ඉල්ලා සිටියද ඔහු දිගින් දිගටම එය මග හරිමින් අවසානයේදී ප්‍රමිල වික්‍රමනායකගේ දුරකථන ඇමතුම් වලට පවා උත්තර දීමට ආවේ නැත. පුණ්‍ය ආයතයක් ලෙසට ආයතනය ලියාපදිංචි කොට වියාජ සුදුසුකම් පෙන්වා සිසුන් නොමග යවා ඔවුන්ගෙන් මුදල් ගෙන උපාධි විකුණන D.S රණවක No. 3A, 1st Floor, Dharmaraja Mawatha, Off Alfred House Avenue, Colombo 03. ස්ථානයේ නීතියට පටහැනිව මානසික ප්‍රතිකාරද කරයි. දැනට ලංකාවේ හොර වෙදුන් 50,000 පමණ සිටින බව කියන සෞඛ්‍ය අමාත්‍යවරයා තම එවැනි හොර වෙදුන්ට විරුද්ධව නීති මාර්ගයෙන් ක්‍රියා කරන බව කීවද සෞඛ්‍ය අමාත්‍ය මෛතිරිපාල සිරිසේන ගේ අමාත්‍යංශයේ සිට කිලෝමීටර් 5-6 දුරකින් පිහිටා ඇති මෙම නීති විරෝධී ප්‍රතිකාර මද්‍යස්ථානය තවමත් ක්‍රියාත්මකය.

    D.S රණවකගේ වියාජ උපාධි කඩයේ අනෙක් බරපතල කරුණ නම් මෙම MIPC , AMPC Dip in Counseling , PGDE Dip in Counseling , යන කිසිදු ප්‍රමිතියක් නැති මනෝවිද්‍යා උපාධි මගින් බොහෝ පිරිසක් රජයේ නිලධාරීන් නොමග යවා රැකියා සහ උසස්වීම් ලබාගෙන තිබීමයි. මෙම කරුණ ගැන කොළඹ විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යා අංශයේ මහාචාර්යවරියක ගෙන් විමසු විට ඇය ප්‍රකාශ කලේ මෙය ඉතා බරපතල තත්වයක් බවයි. මෙම රැකියා සහ උසස්වීම් ලබාගත් පිරිසට නිසි දැනුමක් සහ පුහුණුවක් නැති බවත් ඔවුන් දැන් වසර ගණනාවක් පුරා අධ්යාපන සහ උපදේශන කටයුතු වල නිරතවන අතර බරපතල ගැටළු ඉන් මතු වී ඇති බවද එම මහාචාර්යවරිය ප්‍රකාශ කලාය.

    D.S රණවකගේ පුණ්‍යයතනයෙන් උපාධි ලබා වියාජ උපාධි සහතික මත රජයේ රැකියාවන් සහ උසස්වීම් ලබාගත් පිරිසගෙන් කොටසක් මෙන්න

    1) ප්‍රසන්න ජයතිලක – MIPC වියාජ උපාධි සහතික මත පවුල් සංවිධාන සංගමයේ සේවය කරයි
    2) ජානකි විජේතුංග -P.G.D.E, Dip In Counselling, MIPC වියාජ උපාධි සහතික මත අධ්යාපන අමාත්‍යංශයේ උසස් නිලයක් ලබාගෙන ඇත
    3) බ්‍රිගේඩියර් ටී ටී අර් ද සිල්වා – MIPC වියාජ උපාධි සහතික මත ශ්‍රී ලංකා යුධ් හමුදාවෙන් උසස්වීම් ලබාගත් අයෙකි
    4) කේ එම් උපාලි සමරසිංහ – MIPC, වියාජ උපාධි සහතික මත කැලණිය විශ්ව විද්‍යාලයේ සේවය කරයි
    5) ප්‍රභා රග්සි ජයවර්දන – H.C.G.C, AMPC වියාජ උපාධි සහතික මත ශ්‍රී ලංකා විවර්ත විශ්ව විද්‍යාලයේ සේවය කරයි
    6) පි . විතාරණ – ආයුවෙර්ද වෙද මහතෙකි .රණවකගේ පුණ්‍යයතනයෙන් ලබාගත් .MIPC…උපාධිය මගින් කැලණිය විශ්ව විද්‍යාලයේ සේවය කරයි.
    7) ශිලා ද සිල්වා රණවකගේ පුණ්‍යයතනයෙන් ලබාගත් Dip In Counselling, MIPC, මගින් Women in Need සේවය කරයි.
    8) එම් එම් ජයවර්ධන පුණ්‍යයතනයෙන් ලබාගත් Dip In Counselling, AMPC, මගින් කොතලාවල ආරක්ෂක පිඨයේ සේවය කරයි
    9) ඉන්ද්‍රානි තිලකරත්න Dip In Counselling , AMPC, වියාජ උපාධි සහතික මත Women in Need සේවය කරයි.
    10) කේ . එච් සි කවුෂල්‍යා Dip. In Councelling, AMPC වියාජ උපාධි සහතික මත සමාජ සේවා දෙපාර්තමේන්තුවේ සේවය කරයි
    11) තුල්සි අලහකූන් අලහකෝන් – Dip In Counselling, AMPC,වියාජ උපාධි සහතික මත කැලණිය විශ්ව විද්‍යාලයේ සේවය කරයි
    12) ජි එච් නදීරා රුක්ලන්ති Dip In Counselling, AMPC වියාජ උපාධි සහතික මත අධ්යාපන අමාත්‍යංශයේ සේවය කරයි
    13 ) ලොශිකා ජීවන්ති Dip In Counselling, AMPC, වියාජ උපාධි සහතික මත Women in Need සේවය කරයි.

    (මෙම ලිපියේ අඩංගු කරුණු බොරු නම් අපට නඩු දමන ලෙස රණවකට අභියෝග කරමු )

    මෙන්න වෛද්‍ය ලලිත් පෙරේරා විසින් ලියන ලද එම ලිපිය

    (වෛද්‍ය ලලිත් පෙරේරාගේ හෙළිදරව්වෙන් පසු රණවකගේ http://profdsr.com/about_dsr.php වෙබ් අඩවිය අක්‍රිය කොට තිබේ )

    මනෝ චිකිත්සක උපදේශනයේ ඛේදවාචකය හෙවත් ‘මහාචාර්ය’ D S රණවකගේ හොර උපාධි කඩය – වෛද්‍ය ලලිත් පෙරේරා

    පසුගිය වසරේ මගේ මිත්‍රයෙක් ඔහුගේ බැනාට රැකියාවක් සොයා දෙනමෙන් මගෙන් ඉල්ලීමක් කරන ලදී . ඔහුගේ ජිව දත්ත සටහන අනුව මට පෙනීගියේ ඔහු වැඩි උගත්කමක් නැති අ. පො. ස. (සා. පෙළ) පමණක් සමත් අයෙකු බවය. කෙසේ වෙතත් ඔහුට උපකාරයක් කිරීමේ අභිලාශයෙන් යුතුව මම ඔහුව දන්නා හඳුනන ව්‍යාපාරිකයෙකුට යොමුකොට විකුණුම් නිලධාරියෙකු ලෙස පත් කිරීමට කටයුතු කරන මෙන් ඉල්ලීමි. රැකියාව ලැබුනත් ඔහුට එය වැඩි කල් පවත්වාගෙන යාමට නොහැකි විය. අකාර්යක්ෂමතාව හේතුවෙන් ඔහුව රැකියාවෙන් නෙරපන ලදී. කණගාටුවට පත්වූ මා පරිගණක පාඨමාලාවක් හදාරා තව තවත් සුදුසුකම් සපුරාගන්නා ලෙස ඔහුට අවවාද කලෙමි.

    මෑතකදී බලාපොරොත්තු රහිත ලෙස මට ඔහු මුණගැසුණු අතර මගේ අවවාද අනුව කටයුතු කලේදැයි විමසා සිටියෙමි. ඔහුගේ පිළිතුර වුයේ , ඔහු දැනට මනෝ චිකිත්සක උපදේශකයෙකු ලෙස සේවය කරන බවත්, ඔහුගේම මනෝ චිකිත්සක ආයතනයක් පවත්වා ගෙන යන බවත්ය. මෙම ප්‍රකාශයෙන් අතිශය පුදුමයට පත් මා, මනෝ චිකිත්සක උපදේශන සඳහා පුහුණු වුයේ කෙසේදැයි ප්‍රශ්න කෙළෙමි. ඔහු මට පවසා සිටියේ ඔහු ඩී. එස්. රණවක මහතා යටතේ ශ්‍රී ලංකා වෘත්තීය මනෝ චිකිත්සන උපදේශක ජාතික ආයතනයේ පුහුණු පාඨමාලවක් හැදෑරූ බවත්, එහිදී ලද සහතිකය යටතේ ඔහු පුද්ගලික උපදේශන සේවයේ යෙදෙනබවත්ය. තවදුරටත්, ඔහු මහත් අභිමානයෙන් කියා සිටියේ දිනකට රෝගීන් 15-20 අතර ප්‍රමාණයකට ප්‍රතිකාර කරන බවත්, ඉන් සැහෙන ආදායමක් ලබන බවත්ය.

    අතිශය කුතුහලයට පත් මම ශ්‍රී ලංකා වෘත්තීය මනෝ චිකිත්සන උපදේශක ජාතික ආයතනය අමතා එහි අධ්‍යක්ෂක විමසා සිටියෙමි. මගේ අවශ්‍යතාවය, පාඨමාලා , කථිකාචාර්යවරුන්ගේ සුදුසුකම් ආදිවූ කරුණු විමසා දැනගැනීම සඳහා බව දැනුම්දුන් පසුව මට දැන්වුයේ අධ්‍යක්ෂකවරයා ඉතා කාර්යබහුල බැවින් සම්බන්ධ කළ නොහැකි බවයි. මුණගැසීමට වෙලාවක් වෙන්කරදෙන මෙන් ඉල්ලුවද එයද මගහරින ලදී. ඒ අනුව මම ඔවුන්ගේ වෙබ් අඩවිය වූ http://profdsr.com/about_dsr.php පිවිසුන අතර එහිදී අතිශය විශ්මය දනවන කාරණා රාශියක් දැනගැනීමට හැකිවිය.

    ශ්‍රී ලංකා වෘත්තිය මනෝ චිකිත්ෂණ උපදේශක ජාතික ආයතනය කුමක්ද? ඔවුන්ගේ වෙබ් අඩවියට අනුව එහි අධ්‍යක්ෂකවරයා ඩී. එස්. රණවක මහතා වන අතර ඔහු FICP සහ MICP යන මනෝ චිකිත්සක උපාධි සහිත මනෝ විද්‍යඥයෙකු විය. FICP සහ MICP උපාධි මනෝ වෛද්‍ය උපදේශන වෘත්තියේ අතිශය ඉහලම උපාධි සුදුසුකම් වේ. පසුව මගේ හිතවතෙකු ඉහත උපාධි ලබාගත්තේ කුමන සරසවියෙන්දැයි රණවක මහතාගෙන් විමසන ලදුව ඔහු නිරුත්තරවී දුරකථනය විසන්ධි කළේය.

    පසුව අප ශ්‍රී ලංකා වෘතිය මනෝ චිකිත්සන උපදේශක ජාතික ආයතනය සහ එහි අධ්‍යක්ෂක ඩී. එස්. රණවක මහතා පිළිබඳව කිහිප දෙනෙකුගෙන්ම විමසූ අතර, අපට දැනගැනීමට ලැබුනේ ඔහු කොළඹ විශ්ව විද්‍යලයේ අධ්‍යාපන මනෝ විද්‍යා අංශයේ සහය මහාචාර්යවරයෙකුව සිටි බවයි.

    කොළඹ විශ්ව විද්‍යාලයේ, එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු පැවසුවේ රණවක මහතා කලා විෂය ධාරාවෙන් BA සහ MA උපාධිධාරියෙකු වන අතර මනෝ විද්‍යාව සඳහා ශාස්ත්‍රපති උපාධියක් කිසිම පිළිගත් විශ්ව විද්‍යාලයකින් ලබා නැති බවයි. ඔහු තවදුරටත් ප්‍රකාශ කර සිටියේ FICP සහ MICP උපාධි තමන් විසින්ම වංචනිකව යොදාගෙන ඇති බවයි. මෙය අපට අතිශය දරුණු විහිළුවක් විය. ඔහු සතුව ඇත්තේ බොරු උපාධි බව අපට මනාව පසක් විය. ඒ අනුව අපි කොළඹ සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයන්හි මනෝ වෛද්‍ය කථිකාචාර්යවරු දෙදෙනෙකුට කතා කළෙමු.

    ඔවුන්ගේ නිර්වචනයට අනුව මනෝ විද්‍යාඥයකු වීම සඳහා පිළිගත් විශ්ව විද්‍යාලයකින් Phd උපාධියක් තිබිය යුතුය. ලංකාවේ පිළිගත් මනෝ විද්‍යාඥයන් සංඛ්‍යාව ඉතා සුළු වන අතර ඔවුන්ට නීත්‍යානුකුලව එම වෘත්තියේ යෙදිය හැකිය. ඒ අනුව රණවක මහතා මනෝ විද්‍යාඥයෙකු නොවන අතර, මනෝ චිකිත්සකයන් පුහුණු කිරීම සඳහා ඒ මහතාට කිසිම සුදුසු කමක් නොමැත. නමුත් ඔහු මාස 3 සිට 6 දක්වා කල පරාසයකින් යුතු මනෝ උපදේශන පාඨමාලා, එක අයෙකුගෙන් රුපියල් 40,000 අයකරමින් පවත්වාගෙන යයි. මේ දක්වා ඔහුගේ ආයතනයෙන් 600 දෙනෙකුට පමණ සහතික නිකුත් කර ඇති අතර, ඔවුහු මනෝ චිකිත්සක උපදේශකවරු වශයෙන් මනෝ ව්‍යධී රෝගීන්ට ප්‍රතිකාර කරති.

    වෘත්තිය ආචාර්ය ධර්ම නිශේධනය කිරීම

    වර්ෂ 2002 දී ඩී. එස්. රණවක මහතා අධ්‍යාපන මනෝ විද්‍යා පිඨයේ සහය මහාචාර්ය පදවියට පත්විය. සහය මහාචාර්යවරුන් විශ්‍රාම ගිය පසු මහාචාර්ය යන පදවිනාමය භාවිතා කළ නොහැකි අතර එය වෘත්තිය ආචාර ධර්මවලට මුළුමනින්ම පටහැනිය. කෙසේවෙතත් රණවක මහතා තම ව්‍යාපාර දියුණුවට අත්වැලක් වශයෙනුත්, තම පාරිභෝගික ජනතාව සහ සිසුන් මුලකිරිම සඳහාත් දිගටම එකී නාමය යොදාගනිමින් සිටි.

    අප විසින් කරනලද පරීක්ෂණයේදී හෙලිදරව්වුයේ ඩී. එස්. රණවක මහතා විසින් නිකුත්කරනලද MICP සහතික දරන්නන් බොහොමයක් අධ්‍යාපන දෙපර්තමේන්තුවේ සහ පවුල් සෞඛ්‍ය කාර්යාංශ ආදී ආයතනවල උපදේශකයන් වශයෙන් සේවය කරනු ලබනු බවයි. තම ව්‍යාපාරික කටයුතුවලට නීත්‍යානුකුල මුහුණුවරක් ලබාදීම සඳහා ඩී. එස්. රණවක මහතා තම ශ්‍රී ලංකා වෘත්තිය මනෝ විද්‍යා උපදේශක ජාතික ආයතනය සමාජ සේවා දෙපාර්තමේන්තුවේ ලේකම්ගේ සහය ඇතුව, එකී දෙපාර්තමේන්තුවේ, ලාභ නොලබන සමාජ සේවා ආයතනයක් වශයෙන් ලියාපදිංචි කරනු ලබන අතර එහි ලේකම් වීජී ජෙගරාජසිංහම් මහත්මියට නොමිලයේම MICP උපාධිය පිරිනමනු ලබයි.

    වෘත්තිය පසුබිමක් හෝ පිළිගත් විශ්ව විද්‍යාල උපාධියක් නොමැති රණවක මහතා කොළඹ 3, ඇල්ෆ්‍රඩ් ඇවනිව්හි (යාබද ධර්මරාජ මාවතේ ) තම ආයතනය පවත්වාගෙන යමින් පාඨමාලා කරගෙන යනු ලබන අතර මනෝ වෛද්‍ය උපදේශන උපාධි පවා පිරිනමනු ලැබයි. මෙය රජයේ මනෝ සෞඛ්‍ය පනත සහ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ රෙගුලාසි බරපතල උල්ලංඝනය කිරීමක් වුවත් ඔහු වර්ෂ ගණනාවක් තිස්සේ කිසිදු බාධාවකින් තොරව මෙම කටයුත්ත පවත්වාගෙන යයි. ඔහුගේ මෙම අයථා ක්‍රියාවලිය වසන් කරගනු සඳහා පොලිසියේ, හමුදාවේ සහ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පමණක් නොව මාධ්‍යවේදීන්ට පවා මෙම උපාධිය පිරිනමා ඇත. බොහොමයක් පොලිස් නිලධාරීන්ට මෙම MICP උපාධිය පිරිනමා ඇති අතර ඔවුහු නීතියේ රැහැනින් ඔහුව ආරක්ෂා කරති.

    ව්‍යාජ සුදුසුකම්

    රණවකගේ වෙබ් අඩවිය ඔහු ගැන පහත විස්තර දක්වයි.

    මහාචාර්ය රණවකගේ පර්යේෂණ ක්ෂෙත්‍රය වනුයේ ශ්‍රී ලංකා විශ්ව විද්‍යල සිසුන්ගේ “සාංකා සන්කුලතාවයි” පශ්චාත් උපාධි පර්යේෂණයන්ගෙන් අනතුරුව කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පිඨයේ මානසික රෝග අංශයෙන්ද, ඔස්ට්‍රේලියාවේ, ක්වීන්ස්ලන්ත විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යා සායනයෙන්ද, ඩෙන්මාර්කයේ කොපන්හේගන් වෛද්‍ය පිඨයෙන්ද සායනික පුහුණුව ලැබිය.

    කොළොඹ විශ්ව විද්‍යාලයට අනුබද්ධ මනෝ වෛද්‍ය විද්‍යාඥයෙක් අප සමග පැවසුවේ ඩී. එස්. රණවකගේ එවැනි පර්යේෂණයන ගැන වාර්තා වී නොමැති බවත් , ඒවා මුළුමනින්ම ගොතන ලද දේ බවත්ය. මෙකී පර්යේෂණ ලිපි කිසිම වෛද්‍ය හෝ මනෝ වෛද්‍ය සඟරාවක පළවී නොමැත. මෙය සම්පුර්ණයෙන්ම සිසුන් මුලාවේ දැමීම සඳහා ගොතන ලද වංචනික ප්‍රකාශයන්ය.

    මෙකි වංචාව ගැන පරික්ෂා කල වින්යා විජේතිලක මහතා තවත් වැදගත් කාරණයක් හෙළිදරව් කරයි. රණවක මහතා ප්‍රකාශ කරන ආකාරයට ඔස්ත්‍රේලියාවේ, ක්වීන්ස්ලන්ත, විශ්ව විද්‍යලයේ, මනෝ වෛද්‍ය පීඨයෙන් සායන පුහුණුව ලබා ඇත. මෙය මුළුමනින්ම සාවද්‍ය ප්‍රකාශයකි. ඔහු ඔස්ත්‍රේලියාවට ගියේ සංචාරක විසා යටතේ තම දියණිය බැලීම සඳහාය. විජේතිලක මහතා මහතා මේ සම්බන්ධයෙන් ක්වීන්ස්ලන්ත විශ්ව විද්‍යාලයේ මනෝ වෛද්‍ය අංශයේ ප්‍රධානීන්ගෙන් විමසු විට, ඔස්ත්‍රේලියානු මහාචාර්ය සොෆ්රනොෆ් සහ ඔහුගේ සහාය අංශ ප්‍රධානි පොල් හොර්නට් මහතුන් ප්‍රකාශ කළේ රණවක නමැති පුද්ගලයෙක් ගැන අසා නැති බවත්, ඔහු එහි අධ්‍යයනය කල බවට වාර්තා නොමැති බවත්ය. විදේශිකයෙකුට ඔස්ට්‍රේලියාවේ මානසික සෞඛ්‍ය සායනයක කටයුතු කිරීමට හෝ ස්වේච්චාවෙන් සේවයේ නිරත වීමට හෝ සුදුසුකම් රාශියක් සපුරාලිය යුතු බව පොදුවේ කවුරුත් දන්නා සත්‍යකි. ඩෙන්මාර්කයේ කෝපන්හේගන් හෝ මැලේසියාවේ හෝ ජපානයේ විශ්ව විද්‍යාලවල තත්ත්වයද එයමය.

    රාවය පුවත්පතේ හෙළිදරව්ව

    රාවය පුවත්පතේ මාධ්‍ය වේදී තිඹිරියාගම බණ්ඩාර මහතා විසින් ඩී. එස්. රණවක මහතාගේ වංචනික ක්‍රියා සම්බන්දයෙන් ප්‍රථම වරට ප්‍රශ්නකරනු ලබයි. ඔහු තම සතිපතා ඉදිරිපත්කරන, මනස් සිතුවම් නමැති තීරු ලිපිය මගින් රණවකගේ ව්‍යාජ තොරතුරු හෙළිකරයි. තවදුරටත්, රණවකට ඇතැයි කියන FICP සහ MICP යන උපාධි සම්බධයෙන් ප්‍රශ්න කරයි. රණවක මේ සම්බන්ධයෙන් පුවත්පත් කොමිසමට පැමිනිලි කරන අතර පුවත්පත් කොමිසමේ සාමාජිකයන් වූ ලුසිල් විජේවර්ධන සහ ධර්මසිරි බණ්ඩාරනායක යන මහතුන් විසින් එකී උපාධි සහතික වල මුල් පිටපත් ඉදිරිපත් කරන ලෙසට දන්වා ඇති මුත්, මේ වනතෙක් ඒවා ඉදිරිපත් කිරීමට රණවක අපොහොසත් වී ඇත. පැමිණිල්ල එනයින්ම අවසාන විය. මේ සම්බන්ධව තවදුරටත් ක්‍රියාකිරීමෙන් තමන්ට සිදුවන අවැඩ වටහාගත් රණවක, ඉන්පසු පැමිණිල්ල හකුලා ගත්තේය.

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිද්‍රාශිලිභාවය

    විෂයානුබද්ධ දැනුමකින් තොර උපදේශකවරුන් විසින් මෙහෙයවන වෘත්තීය පුහුණුවකින් තොරවූ කෙටි කාලින පාඨමාලා හැදැරූ නුසුදුසු පුද්ගලයන් පවත්වන උපදේශන සායනයන් හැදින්විය හැක්කේ, අඳුරේ අතපත ගෑමක් ලෙසය. 600 පමණවූ කූට වෛද්‍යවරු මානසික රෝගීන්ට ප්‍රතිකාර කිරීම අති භයානක ව්‍යසනයකි. මෙම සංඛ්‍යාව දිනෙන්දින වැඩිවීමක්ද දක්නට ලැබේ. එමෙන්ම, වෛද්‍ය සායනවල බරපතල ලෙස සේවා උල්ලංඝනයවිම්ද සිදුවෙන අතර කිසිදු සුදුසු කමක් නොමැති මනෝ උපදේශකයන් මානසික රෝගීන්ගේ ජිවිත සමග සෙල්ලම්කිරිම බරපතල විනාශයකි. වසර ගණනාවක් පුරා මෙවැනි අකටයුතුකම් සිදු වුවද , සෞඛ්‍ය අමාත්‍යංශය හෝ නිසි බලධාරීන් කිසිදු සාධනීය පියවරක් ගෙන නැත. මනෝ චිකිත්සක සංගමයට පවා රණවකගේ මෙකි නීති විරෝධී ක්‍රියාවලට එරෙහිව නැගී සිටීමට පිටකොන්දක් නොමැතිබව පැහැදිලිය. මෙය ශ්‍රී ලංකා වෛද්‍ය අංශයේ අදක්ෂ නායකත්වය පිළිඹිබු කරන හොඳම උදාහරණයකි.

    මා විසින් ලියනු ලබන මෙම ලිපිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් තුමාගේත්, මනෝ සෞඛ්‍ය අධ්‍යක්ෂක තුමාගේත්, මනෝ චිකිත්සක සංගමයේ සභාපතිතුමාගේත් නෙත් පැදීමට හේතුවෙයයි සිතමි. මෙරට සාමාන්‍ය ජනතාවගේ මානසික සෞඛ්‍ය පිලිබඳ අබමල් රේණුවක තරම්වත් හැඟීමක් ඇත්නම්, කරුණාකර මේ සම්බන්ධයෙන් වහා ක්‍රියාකරනු ඇතැයි, උදක්ම බලාපොරොත්තුවෙමි. මහජනතාව ඔබගේ ප්‍රතික්‍රියාව දෙස විමසිල්ලෙන් බල සිටිනු ඇත.

  18. Madu said, on දෙසැම්බර් 14, 2012 at 10:18 පෙ.ව.

    සත්‍ය වශයෙන්ම ඔබගේ අඩවියේ බොහෝ දෑ කියවීමට ඇති බව පෙනෙනවා. වෙද ගෙදර මහ වෙදනා ය මට මේ පිළිබඳව පැවසූවේ. උඩින් පල්ලෙන් විනාඩි කිහිපකින් බලා වැඩක් නැහැ. මුල සිටම එක් වෙන්නම්.

    • arunishapiro said, on දෙසැම්බර් 14, 2012 at 10:24 පෙ.ව.

      Madu,

      “නව විද්වතුන්ගේ” සංවාද මණ්ඩපයට එකතු වෙන ඔබව ආයුබෝවන් කියා පිළිගන්නවා. “නව විද්වතුන්” යනු ඔබ ඉපදෙන්නත් මා ඉපදෙන්නත් කළින් පටන් ගත්තු ඒත් බහුතරයකට මඟ හැරිච්ච සංවාද මණ්ඩපයක් … කියවලා ම එය කුමක් දැයි අවබෝධ කරගන්න.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: