අරුණි ශපීරෝ‍ වෙතින්

විරුද්ධ පක්ෂයට අභියෝගයක්!

Posted in Uncategorized by arunishapiro on දෙසැම්බර් 9, 2011

අයෙක් අදහසක් ඉදිරිපත් කරද්දී එයා විරුද්ධ පක්ෂයට ඉදිරිපත් කරන්නේ අභියෝගයක්.

විරුද්ධ වෙනවා ද නැත්නම් පක්ෂ වෙනවා ද යන දෙකෙන් එකක් තෝරා ගන්නයි අභියෝගය. (ඉදිරිපත් කරපු අදහසට හැමෝම පක්ෂ නම් වාදයක් නැහැනෙ.) ඒ නිසා අදහස ඉදිරියේ දී අනිත් අය තෝරා ගැනීමක් කළ යුතුයි.

විරුද්ධ පක්ෂය කියන්නෙ අදහසට විරුද්ධ වීම තෝරා ගන්න අයටනෙ.

ඊ ළඟට ඇයි විරුද්ධ කියා පෙන්වන්න ඔවුන් තමයි සාධක ගෙනෙන්න ඕනා.

එතකොට අදහස ඉදිරිපත් කළ අය ඊ ළඟට පෙන්වන්න ඕනා විරුද්ධ වූ අය අදහසට විරුද්ධ නැතිබව. විරුද්ධ අයගේ සාධක වල පරස්පර-විරෝධී තැන් ඔප්පු කළොත් අදහස ඉදිරිපත් කළ අය දිනුම්.

දැන් දිනුම් පැරදුම් විතරක් සොයන තර්කයට අමතර ව තවත් ක්‍රමයක් මිනිසා විසින් පාවිච්චියට ගන්නවා. ඒක යොදන අයට දිනුම හෝ පැරදීම අවශ්‍ය නැහැ. ඔවුන්ට ඕනා තරඟයෙන් ගැලවෙන්න. තවත් විදියකින් කිව්වොත් තරඟය කඩාකප්පල් (sabotage) කරලා දාන්න.

ඇමෙරිකන් ෆුට්බෝල් තරඟයක රීති අනුව ‘දුවන’ අය ‘නවතන්න’ අය ඉන්නවා. ‘දුවන්නා’ හදන්නෙ යම් අරමුණකට යා ගන්න. ‘නවතන්න’ ඉන්න එක්කෙනාගෙ එකම අරමුණ අනිත් එක්කෙනාගෙ වෑයම කඩා කප්පල් කරන එකයි. ඒ නිසා ‘දුවන්නාට’ හැම විටම දිනුම ලබාගන්න විධි ක්‍රමයක් (startegy) නැහැ. මේක හරියට පාවිච්චි කරනවා නම් කඩාකප්පල්කාරයන්ගෙ අරමුණ හැම විටම ඉෂ්ට වෙනවා. සාර්ථක ප්‍රතිවාදී පිල (defence team) වෙන්නෙ සාර්ථක කඩාකප්පල්කාරයෝ වීමෙන්.

සමාජයේ තවත් අය ඉන්නවා ඒ අයට අරමුණක් නවතන ඉලක්කයක් ද නැහැ. ඔවුන් කරන්නේ විරුද්ධ අදහස් යළි යළිත් ඉදිරිපත් කිරීම. අරමුණ කඩාකප්පල් නොවන බව ඔවුන් දන්නවා වුනාට, තර්කයෙන් ජයගන්නට බැරි බව දන්නවා වුනාට, ඔවුන්ට ඇත්තේ අපිත් කියන්න තියන දේ කිව්වා කියන සතුටයි. උදාහරණයක් මෙහෙම: “ඔය ගමන ගියාට වැඩක් වෙන්නෙ නැහැ.” “වැඩක් නොවෙන්නෙ කොහොම ද?” “ඒක හරියට කියන්න මම දන්නෙ නැහැ, ඒත් ගිහින් වැඩක් නැහැ.” එහෙම කියන අය, අහන කෙනා ඒ නිසා පමණින් ගමන නොයන බව දැන දැනත් නැවත නැවතත් එහෙම කියන්න ඉදිරිපත් වෙනවා.

සමාජ සබඳතා වල දී තමන්ගේ කියා කිසිත් අරමුණක් නැති, එහෙත් අනුන් ඔවුන්ගේ අරමුණු කරා යන උත්සාහයන් කඩාකප්පල් කිරීම තම ජීවිත අරමුණ කරගත් අය කොතරම් හමුවෙනවා ද? ඒ අය වැඩියෙන් දන්නෙ අනුන්ගෙ කැමැත්ත ගැන. “අපෝ එයා ඕවට කැමති නැහැ,” කියා අනුන් වෙනුවෙන් උත්තර බඳින යාළුවෝ, දෙමව්පියෝ, වැඩිහිටියෝ “එයාගෙන්” අහන්න හෝ “එයා” කියන දෙයට සවන් දෙන්නෙ නැහැ. එහෙම අය එක්ක ගැවසෙන වැඩි පිරිසක් හුරු වෙන්නෙ හිත නරක් කරන්න, අවුල් ඇති කරගන්න අකමැති කමට ඒ අය කියන දෙයකට විරුද්ධ වීමෙන් කිසිත් ලොකු අවාසියක් නැහැ කියලා ඊට එකඟ වීම. මෙහෙම කාලාන්තරයක් යද්දී තමන්ගේ කැමැත්ත කුමක් ද යන්න තමන්ට දැනගත හැකියාව ගිලිහී ගිහින්. ඉතින් යමක් කරන්නට පෙර වට පිටාවේ ඉන්න හැම කෙනෙක් ගෙන් ම අහන්න පටන් ගන්නවා “තමන්ගෙ කැමැත්ත” මොකක් ද කියලා.

සමාජ සබඳතා පවත්වන මිනිසා අතින් සිද්ධ වෙන අපරාධ දෙවර්ගයකට බෙදන්න පුළුවන්. යම් ක්‍රියාවක් නෛසර්ගික වශයෙන් නරක වීම (malum in se) හෝ යම් ක්‍රියාවක් රටේ මිනිසුන් විසින් එකඟ වූ නීති රීති නිසා නරක වීම (malum prohibitum). මිනීමැරුමක් වැටෙන්නේ මුල් එකට. බදු නොගෙවා සිටීම වැන්නක් දෙවැන්නෙන්. දඬුවම කොතරම් දරුණු දැයි තීරණය වෙන්නේ ඒ දෙකින් කොයි එක ද මත. නෛසර්ගික වශයෙන් නරක ක්‍රියාවකට ලැබෙන දඬුවම වැඩියි. නීති රීති නිසා නරකක් වූ ක්‍රියාවට ලැබෙන දඬුවම අඩුයි.

පුද්ගලයන් කරන නරක වැඩ වලට කොතරම් නීති රීති ගෙනාවත් (malum prohibitum) ඒ නරක ක්‍රියාවන් සමාජයෙන් තුරන් වෙලා යන්නෙ නැහැ. එන එන නීති රීති වලට අහු නොවී නරක වැඩ කරන්න මිනිස් මොළය ක්‍රමවේද හොයා ගන්න සමත්. පාතාල ලෝකය සහ කළු කඩය බිහිවෙන්නේ නීති රීති වලින් මිනිසාගේ නරක වැඩ කරන කැමැත්ත සහමුලින් තුරන් කළ නොහැකි නිසා.

එහෙම නම් අපි සමාජයේ නරක ක්‍රියාවන් සිද්ධ වීම අවම කරගන්නේ කෙසේ ද? සමාජ සබඳතා වල දී හොඳ නරක හඳුනා ගන්නේ කෙසේ ද? භාණ්ඩයක් මිල දී ගැනීමේ දී ඇති පාරිභෝගිකයාගේ වගකීම (buyer beware) වගේ ම සමාජ සබඳතාවයක දී ද ඊට සම්බන්ධ වෙන්නාට වගකීමක් තියෙනවා. කවුරුන් හෝ කියූ පළියට නොව තමන් විසින් සොයා බලා තම ජීවිතයට යමක් එකතු කරගන්නවා ද නැද්ද යන්න තම කැමැත්ත අනුව තීරණය කිරීම. එහෙම තීරණයක් ගත්තාම එයට වගකියන්නේ එය ගත් තැනැත්තාම වෙයි.

අදහසක් ඉදිරියේ දී විරුද්ධ වෙනවා ද නැත්නම් පක්ෂ වෙනවා දැයි අභියෝගය තමන් බාරගත යුතුයි. පුද්ගලයා යහපත් වෙන්නේ සහ ආර්ථික වශයෙන් ලාභ ලබන්නේ තමන් ඉදිරියට දිනපතා එන අදහස් ඉදිරියේ දී අභියෝගය බාර ගැනීමෙන්. තමන් විසින් විමසා බලා අදහස බාර ගන්නවා ද නැත්නම් ප්‍රතික්ෂේප කරනවා ද යන්න තීරණය කිරීමෙන්.

විමසිල්ලෙන් තොරව අදහස් බාරගන්නා අයට අනුකම්පාව දැක්වීම ඔවුන්ට කරන යහපතක් නෙවෙයි. ඔවුන් හා ගැවසීම තමන්ට කරගන්නා යහපතක් ද නොවෙයි.

බැලුම්ගල කළ මේ වැඩ සටහනට මගේ ස්තූතිය. එය නිමා කළ අන්දම සිතට සතුටක් ගෙන දුන්නා. වැරදි පෙන්වා දීමෙන් පසු වැරදි හදාගෙන ඉදිරියට යෑමෙන් මිස උත්සාහයක් අත්හැරීමෙන් කාටවත් යහපතක් සිද්ධ නොවේ.

මෙන්න බැලුම්ගල දැමූ දෙවැනි කොටස:

Advertisements

8 Responses

Subscribe to comments with RSS.

  1. Shanthi Chandrasekera said, on දෙසැම්බර් 9, 2011 at 5:42 ප.ව.

    watina lipiyak Aruni. thanks oyata,viruddha pakshayak kiyanne abhiyogayak kiyaada kiyanne? mese wenna barida? yama adahasakata wenas ho eeta tikak langin yana adahasak idiripat veemak bohovita tharkayata ganna puluwan neda? hariyatama madin irak gasa kalu saha sudu lesa beda wenkereemakda viruddha pakshya kiyanne?

    • arunishapiro said, on දෙසැම්බර් 9, 2011 at 8:23 ප.ව.

      Shanthi Chandrasekera,

      ආයුබෝවන්! ස්තූතියි.

      අදහසක් කියන්නෙ හිතද්දී මනසට එන ඕනෑම දෙයක්. සමහර අදහස් අපිට පින්තූර විදියටත් එනවා!!! මිනිස් මොළයට පමණයි අදහස් නිර්මාණයටත් අදහස් අවබෝධයටත් අදහස් හුවමාරු කරගන්නටත් හැකියාව තියන්නෙ.

      මතවාදයක අදහස් ගොඩක් තියෙනවා. අදහසක පැති කිහිපයක් තිබුනාට අදහස එකක්. ටිකක් ළඟින් යන එකක් කියන්නෙ තවත් අදහසක්. ඉතින්, යම් අදහසක් ඉදිරියේ දී අපි ඒ එකින් එක (වෙනස් එකත්/ළඟින් යන එකත්) විමසා බැලුවේ නැත්නම් අපිට අදහස කුමක් දැයි හෝ අදහස් වලින් ගොඩ නැඟුනු මතවාදය කුමක් දැයි අවබෝධයට හැකියාවක් ඇති වෙන්නේ නැහැ.

      තමන් පිළිගන්න කැමති අදහසකට වුනත් අභියෝගයක් එල්ල කරලා ඒ අදහසට විරුද්ධ පැත්තේ අදහස් ද විමසලා බැලුවොත් අපිට ඒ අදහස ගැන අපිට ඇති කැමැත්ත තවත් තහවුරු කරගන්න හෝ කැමැත්ත අකැමත්ත බවට පත් වී එය ප්‍රතික්ෂේප කළ යුතු යැයි වටහා ගන්න ලැබෙනවා.

      කළු සහ සුදු නොවන අදහස් වන්නේ තමන්ට පුද්ගලික වූ නිසා තමන් ඒ අදහස් වල එල්බ සිටීමෙන් කාටවත් හානියක් සිද්ධ වෙන්නෙ නැති අදහස්. කිරි ටොපියක් හා පොල් ටොපියක් අතරින් වඩා කන්න රස කුමක් ද යන්න එය අනුභව කරන අයගේ පුද්ගලික මතයක්. එහි කළු සුදු බවක් නැහැ. නමුත් අපිට වැඩියෙන් සලකා බලන්නට සිද්ධ වෙන්නේ පිළිගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම නිසා අතුරු විපාක ඵල දෙන අදහස්. අතුරු විපාක ඵල දෙන අදහසක් හරි හෝ වැරදි වෙනවා. ඒ නිසා ඔව්, මැදින් ඉරක් ගසා බෙදා වෙන් කරන්නට සිද්ධ වෙනවා.

      හැමවිටම හරි දේ අපි තෝරා ගන්නවා ද යන්න වෙනම කාරණයක්. ඒක අදහසේ හරි වැරදි බව ගැන වූවක් නෙමෙයි. ඒක පුද්ගලයා හරි වැරදි බව දැන හෝ නොදැන කරන තෝරා ගැනීමක්. අපි තෝරා ගත්තත් නැතත්, දැන සිටියත් නොදැන සිටියත් අදහස එක්කෝ හරි නැත්නම් වැරදි. එක් අයෙකුට හරි වූවක් තවත් අයෙකුට වැරදි වූවක් වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ අර කළින් කියූ පුද්ගලික වූ තෝරාගැනීම් පමණයි.

      හරි වැරදි බව සලකා බලන්නට නම් ඕනෑම අදහසක් ඉතා ම සරල වූ ස්වභාවයට ගෙන ඇවිත් එතැනින් තමයි විමසීම පටන් ගන්න ඕනා.

      කැමති නම් මේ සටහන් ද කියවන්න:

      කළු සුදු කියා නැත; ඇත්තේ අළු පාටයි

      ස්වාධීන මිනිසා හා පරාධීන මිනිසා

      දැකීම හා අවබෝධය නැතිව හිතෙන් වැඩ ගන්නත් බැහැ

      මරා දමනු ඇත

  2. හෙලයෙක්ගෙන් ලොවව said, on දෙසැම්බර් 9, 2011 at 9:52 ප.ව.

    ඔන්න මම කියනපු අනාවැකියක් හරි ගියා.

  3. Sudath said, on දෙසැම්බර් 10, 2011 at 12:31 පෙ.ව.

    ඔබ අද ඉදිරිපත් කරන අදහසට මම පක්ෂයි. පොඩි ඌන පූරණයක් සමග උපදේශයක් දෙන්න ඉඩදෙන්න.
    තවත් කෙනක්ගේ අදහසක් තේරුම් ගැනීමේදී ඒ අදහස ඉදිරිපත් කරන පුද්ගලයා අදහස් කරන දේම තේරුම් ගන්නවාද යන්න පිළිබඳව මටනම් ගැටළුවක් පවතිනවා. මගේ අත්දැකීම නම්, එහෙම නැහැ කියන එකයි. මම තේරුම් අරගෙන තියන හැටියට බො‍හෝ අය තමන්ගෙ පූර්ව නිගමනයන් මත පිහිටලා තමයි තමන් අසන, කියවන හෝ දකින දේ තේරුම් ගන්නේ. ඒක ස්වභාවයක්. එසේ නමුත් එය නැවත විමසා බැලීම අවශ්යේ වෙනවා. බොහෝ දෙනෙක් මෙය කරන්නේ නැහැ. (සර්පයන් බොහෝ සිටිනවායැයි සිතිය හැකි කැලෑබද පාරක පයින් ගමන් කරන්නකු පාරේ වැටී තිබෙන ලණු කැබැල්ලක් හෝ වැල් කැබැල්ලක් සර්පයකු ලෙස දකිනවා. ඒත් විමසිලිමත් වූ පසුව ඒ සර්පයකු නොවන බව තේරුම් ගන්නවා) එම නිසා, තර්කයක් සාර්ථකව ඉදිරියට යාම සඳහා විනිශ්චයකාරයෙකුත් එසේ නැත්නම් ජූරියකුත් අවශ්යර වෙනවා.
    ඒක තමයි මගේ ඌන පූරණය.
    මේකයි උපදේශය.
    මම ඉහත කියපු අර්බුදය නැතිවීමට හෝ අවම කරගැනීමට, අදහස ඉතා පැහැදිළිව ඉදිරිපත් කළ යුතු වෙනවා. ඒ සඳහා භාෂා නිපුනතාව පමණක් නෙවෙයි හැකියාවක් සහ / හෝ පළපුරුද්දක් අවශ්ය යි. සමහරවිට දීර්ඝ ලෙස ලිවිය යුතු දෙයක් කෙටියෙන් ලියන්නට යාමේදීත් මෙම ගැටළුවට මුහුණ දෙන්න වෙනවා. ඔබගේ ඇතැම් වටිනා වාක්ය යන් තරමක ව්යාතකූල භාවයකින් යුක්තයි.

  4. kathandarakaraya said, on දෙසැම්බර් 10, 2011 at 6:02 පෙ.ව.

    මනස ගැන නැතුව මනස ව්‍යාපාරය හා කලින් සහ දැන් සම්බන්ධ අය ගැන විස්තර ඕපාදූප කතා කර කර ඉන්න තියෙනවානං කොච්චර හොඳඳ නේද?

  5. NotAFool said, on දෙසැම්බර් 10, 2011 at 5:01 ප.ව.

    At last you said something meaningful. Well said machan Kaka.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: