අරුණි ශපීරෝ‍ වෙතින්

සමාජයේ සතුට රඳන්නේ එහි ඒකීය පුද්ගල සතුට මතයි

Posted in Uncategorized by arunishapiro on දෙසැම්බර් 12, 2011

ආවේගය හසුරුවන්න පුහුණුවෙන් පුළුවන් දැයි කතාබහින් පසුව ස්වභාවික බුද්ධිය ගැන කතාබහට ආවා. අපේ මොළයේ හැකියාවන් අනේකයි. ලෝකය දිහා බලල කොහේ හෝ රටකින් යම් අයෙක් කර ඇති දක්ෂතාවයක් ඊටත් ඉහළින් කරන්නට තවත් මිනිස් මොළයක් ඇති අයෙකුට පුළුවන්. දක්ෂ ක්‍රීඩකයෙකු වෙන්න හැකියාව තිබ්බට ඒවා කිසිත් විමසා බලා නැති අයෙක් දක්ෂ ක්‍රීඩකයෙක් වෙන්නෙ නැහැ. මොළයත් එහෙමයි. වැඩ කරන මොළයක් ඇති අයෙකුට පාවිච්චියට ගන්න තරමින් තමයි ප්‍රතිඵල ලැබෙන්නෙ.

ආවේග බුද්ධිය ගැන වැඩියෙන් හදාරන ලෝකයට පිවිසුනත් තවමත් හැමදාම හුරු පුරුදු ආවේග වල හිර වෙලා ඉන්න එකෙන් ගැලවෙන්නෙ නැත්නම් එතැනින් එහාට මොළය පාවිච්චි වෙන්නෙ නැහැ. යම් සිද්ධියකින් පසුව විචාරයෙන් ඒ දිහා බලන්න හැකියාව ඇති පුද්ගලයාට පමණයි ඉන් පාඩමක් ඉගෙන ගත හැකි වෙන්නෙ. සිද්ධියේ හරි වැරදි ගැන අගැයුමක් දෙන්නට හැකි වෙන්නෙ. ආවේගයන්ට ඉඩ දීලා විචාරය පැත්තකට දැම්මොත් ඉන් අනාගත සතුට ඇති කරගත හැකි අවස්ථාවක් මඟ හැරනවා.

මිනිස් මොළයේ විචාරාත්මක හැකියාව නිසා, අනාගතයේ දී යම් දිනයක නැවත කළින් මුහුණ දුන් සිද්ධියට සමාන සිද්ධියක දී වෙනත් ආවේගයක් දක්වන්නට හා වෙනත් ආකාරයකින් (තමාට වාසිදායක වූ) හැසිරෙන්නට හැකියාව ලැබෙනවා. ආවේගාත්මක බුද්ධිය යනු තම තත්වය ඊයේට වඩා හෙට වෙනස් කරගත හැකියාව තිබීමයි.

අපිට සහජයෙන් ලැබි ඇත්තේ මෙපමණක් යැයි සිතා ඉන්න අය මොළයට තව කරන්න පුළුවන් කොතරම් දැයි විමසා බලා නැහැ. ඔයාලා ගත්තු සංවේදී දැයි විමසන විභාගය මතකනෙ. එයින් පෙන්වන්නේ එය ගනිද්දී ඇති සංවේදී බව. සංවේදී බව වර්ධනය කරගන්න උත්සාහ ගත් අයෙකු ඒ ගැන තව හදාරා පුහුණු වී නැවත ගිහින් විභාගය ගත්තොත් මෙතෙක් තිබුණාට වඩා වැඩි ලකුණු මට්ටමක් පෙන්වනවා.

ස්වභාවික බුද්ධියත් එහෙමයි. අපිට ඇති සහජ කුසලතාවයන් වලින් අපි වැඩ ගන්නේ ප්‍රාථමික මට්ටමකින් ද? නැත්නම් අපි ඒවා වැඩි වර්ධනයට උත්සාහයක් ගෙන ඇත් ද? සමහර අවස්ථාවල දී ඒවා මොනවා දැයි විමසන්නට පවා වෑයමක් ගෙන ඇත් ද?

සහජයෙන් ලැබී ඇති දියුණු කරගත හැකි හැකියාව (innate potential) කොතරම් දැයි සෙවීමට සමහරු අකමැති ඒ ගැන සොයා බලද්දී තමන් මෙතෙක් හුරු වූ සුවපහසු මානසික වාතාවරණයෙන් ඈත් වෙන්න වෙයි කියන බයට.

ධන වස්තු වලින් හෝ සමාජ සබඳතා වලින් ඵලක් නැහැ ඒවා සතු පුද්ගලයා සතුටක් ලබන්නේ නැත්නම්.

අනිත් අයත් එක්ක සතුටෙන් කාලය ගෙවන්න බැහැ තනිවම ඉන්ඳැද්දී තමන් සතුටින් නොවන්නේ නම්.

තනියම ඉන්ඳැද්දී සතුටින් ඉන්න බැහැ තමා හොඳ අයෙක් යැයි තමන්ට හැඟෙන්නේ නැත්නම්.

තමන්ට තමන් හොඳ අයෙක් යැයි හැඟෙන්නේ නැහැ තමන්ගේ ආවේග හා ස්වභාවික බුද්ධිය වර්ධනයට උත්සාහයක් ගෙන නැත්නම්.

තමන්ගේ ආවේග හා ස්වභාවික බුද්ධිය සොයා බලන්නට හැකියාව ඇත්තේ තමන්ට පමණයි. ඒවා ගැන සොයා බලන්නේ කෙසේ දැයි දැනුමක් පිටතින් ලබා ගන්න පුළුවන්. නමුත් අවබෝධය හා ඒ දැනුමෙන් තමන් හොඳ අයෙක් වන්නට භාවිතය තමන්ගේ කැමැත්තයි. තමන් හොඳ අයෙක් වෙන්න වෙහෙසද්දී තමන්ට සතුටින් ඉන්නට ද හැකියාව ලැබෙනවා. තමන් සතුටින් ඉන්නවා නම් අනෙක් අයත් එක්කත් සතුටින් කාලය ගෙවන්න පුළුවන්. ධන වස්තු හා සුහද සබඳතා යනු ආවේග හා ස්වභාවික බුද්ධිය වර්ධනයෙන් තමන්ට ලැබෙන ප්‍රතිලාභ.

ඉතින්, සොයා යා යුත්තේ ධන වස්තු හා සමාජ සබඳතා ද? නැත්නම් සොයා යා යුත්තේ තමන් ගැන ද?

*******

පින්තූරය ගත්තෙ මගේ ටිකිරි යෝග ඇඳුම් ගන්න යන කඩෙන්:
http://www.lululemon.com/community/blog/who-is-john-galt/

Advertisements

4 Responses

Subscribe to comments with RSS.

  1. දූපත් said, on දෙසැම්බර් 12, 2011 at 3:29 ප.ව.

    //ඉතින්, සොයා යා යුත්තේ ධන වස්තු හා සමාජ සබඳතා ද? නැත්නම් සොයා යා යුත්තේ තමන් ගැන ද?

    ඔය කාරණා එකිනෙකට එකක් සම්බන්දයි නේද,, මගේ මතය ඔය දෙක තුනම සොයාගෙන යන්න වෙනව අවස්ථාවෙ හැටියට.

    • arunishapiro said, on දෙසැම්බර් 14, 2011 at 10:50 පෙ.ව.

      දූපත්,

      ඔයාට චාන්දි අක්කා පැහැදිලි කිරීමක් ලබා දී තියෙනවා. තමන් ගැන සෙවීමෙන් —> තම කුසලතා මොනවා දැයි දැන ගැනීමෙන් —-> ඒවා වර්ධනයෙන් —-> තමන් කැමති ධන වස්තු හා තමන් කැමති සමාජ සබඳතා තමන් සොයාගෙන එනවා. ඒත් ධන වස්තු හා සමාජ සබඳතා සොයා යන්නා තමන් ගැන සොයා නැත්නම් ලබන කිසිවකින් සතුටක් ලබන්නේ නැහැ.

  2. chandi said, on දෙසැම්බර් 13, 2011 at 7:57 පෙ.ව.

    //තමන්ගේ ආවේග හා ස්වභාවික බුද්ධිය සොයා බලන්නට හැකියාව ඇත්තේ තමන්ට පමණයි. ඒවා ගැන සොයා බලන්නේ කෙසේ දැයි දැනුමක් පිටතින් ලබා ගන්න පුළුවන්. නමුත් අවබෝධය හා ඒ දැනුමෙන් තමන් හොඳ අයෙක් වන්නට භාවිතය තමන්ගේ කැමැත්තයි. තමන් හොඳ අයෙක් වෙන්න වෙහෙසද්දී තමන්ට සතුටින් ඉන්නට ද හැකියාව ලැබෙනවා. තමන් සතුටින් ඉන්නවා නම් අනෙක් අයත් එක්කත් සතුටින් කාලය ගෙවන්න පුළුවන්. ධන වස්තු හා සුහද සබඳතා යනු ආවේග හා ස්වභාවික බුද්ධිය වර්ධනයෙන් තමන්ට ලැබෙන ප්‍රතිලාභ.//
    ඒක තමයි අපි අපි ගැන නොසොයා අනුන් ගැන හොයන්න යනවා. අපි අපි දිහා බලා වැරදි හදාගෙන හොඳින් ජීවිත හසුරවනවා නම් සතුට එතනයි. ධනය එතනයි වස්තුව හා වාසනාවද එතනයි.

    • arunishapiro said, on දෙසැම්බර් 14, 2011 at 10:53 පෙ.ව.

      chandi,

      ඔව් චාන්දි අක්කා. අපිට වැරදි කොච්චරක් තියෙනවා ද හදාගන්න. මම හිතන්නෙ ජීවිතය තියන තාක් කල් මම හදාගන්න ඕනා වැරදිත් මට තියේවි!!!


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: