අරුණි ශපීරෝ‍ වෙතින්

අහසේ ජීවත් වෙනවා ද? මුහුදේ ජීවත් වෙනවා ද?

Posted in Uncategorized by arunishapiro on දෙසැම්බර් 13, 2011

ඉහළට ඉදි කෙරෙන ගොඩනැඟිලි වල ජීවත් වීම ගැන ඊයේ ඩබ්. ඒ. විජේවර්ධන මහතා විසින් සෑහෙන්න කල්පනා කරන්න ඕන ලිපියක් දාලා තිබුණා Sri Lanka’s choice by 2050: Go live in the sky and release land for agriculture යන සිරස්තලයෙන්.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ හිටපු මහාචාර්යවරයෙක් වූ ආචාර්ය උපාලි වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කරන ලද අදහසක් ගැනයි විජේවර්ධන මහතා විමසන්නෙ. ආචාර්ය වික්‍රමසිංහ පෙන්වා ඇත්තේ මෙහෙම දෙයක්. ලංකාවේ වගා භූමි ප්‍රමාණය වර්ධනය වෙන ජනගහණයට කන්න වවන්න ප්‍රමාණවත් නැති නිසා රට හරහා නගර 30 ක් හදා ඒවායේ ජනතාව උස් බිල්ඩින් වල පදිංචියට සැලසුම් කළ යුතු බව. එහෙම කළා ම ඉතිරි බිම් ආහාර වගාවට යෙදිය හැකි බව.

මම චීනයේ ඉඩකඩම් ගැන මහා සැලසුම් ගැන දාපු සටහන අමතක නම් නැවත කියවන්න.

ආචාර්ය උපාලි වික්‍රමසිංහගේ ඉදිරිපත් කිරීම ගැන මට ඇති එකම මූලාශ්‍රය විජේවර්ධන මහතාගේ ලිපියයි. ඉතින් මගේ විචාරය විජේවර්ධන මහතාගේ ලිපිය ඇසුරින්.

මුලින් ම සැලකිය යුතු දේ තමයි වර්තමානයේ ලංකාවේ ඉල්ලුම සපයන්නට ආහාර වගාව ලංකාවේ කෙරෙනවා ද නැද්ද කියන එක. එහෙම නොවන්නේ නම් ඒ භූමිය මදිකම නිසා ද? තාක්ෂණය මදිකම නිසා ද? වෙහෙසෙන්නට ශ්‍රමිකයා අකමැති නිසා ද? නැත්නම් ආණ්ඩුවේ නීති රීති නිසා ද?

එළවළු සහ පළතුරු ප්‍රවාහනයේ දී ආණ්ඩුව ප්ලාස්ටික් කූඩ භාවිතය අනිවාර්ය කිරීම නිසා තඹුත්තේගම, දඹුල්ල සහ පුත්තලම යන ආර්ථික මධ්‍යස්ථාන ඉදිරිපිට දී ගොවියෝ එළවළු ටයර් පුච්චා විරෝධතාවය පෙන් වූ කතාවක් පින්තූර එක්කම ඊයේ පත්තර වලින් දකින්න ලැබුණා.

අර්ථ ශාස්ත්‍රඥ උපාලි වික්‍රමසිංහ දකින්නෙ ලංකාවේ ජනගහණය දැන් යන වේගයට අනුව වාර්ෂිකව 1% කින් ඉහළ යෑම 2050 දක්වා ඒ විදියට ම සිද්ධ වේ යැයි කියා ද? 1998 දී ලංකාවේ ජනගහණ වර්ධනය .44% ක් වූවා. සුනාමියක් වැනි ස්වභාවික ව්‍යසනයක් හෝ මිනිසා විසින් පටන් ගන්න ලෝක යුද්ධයක්, සිවිල් යුද්ධයක් හෝ භීෂණ සමයක් 2011 සිට 2050 දක්වා සිදු නොවන්න බැරි ද? වර්තමාන කාන්තාව අධ්‍යාපනයට වැඩි කාලය යෙදවීම නිසා විවාහයට හා දරුවන් හදන්න පෙළඹෙන වයස අතීතයට වඩා ඉහළ ගිහින්. ජැක්ලීන් ෆර්නෑන්ඩස් වැනි දරුවන් නොහදා ඉන්න අය ගැනත් අහන්න ලැබීම අතීතයට වඩා සාමාන්‍යයක්. පිටරට යන ශ්‍රමිකයන් ද කෙමෙන් වැඩි වෙනවා. එයින් ද ලංකාවේ දරු උප්පත්ති අඩු වැඩි වෙයි ද?!!!

ඉතින් අපි 2050 ලංකාවේ මිලියන 26 ක් සිටීවි, අදට වඩා 30% කින් ජනගහණය වැඩි වේ යැයි පමණින් අහසට දුවන බිල්ඩින් ගැසීමේ ප්‍රතිපත්ති සැලසුම් කළ යුතු ද?

ඩබ්. ඒ. විජේවර්ධන මහතා විසින් ආචාර්ය උපාලි වික්‍රමසිංහයන්ගේ ඉදිරිපත් කිරීම සංසන්දනය කරන්න ගන්නා පොතක් තමයි Edward Glaeser ලියූ Triumph of the City. ඒක ගැන Steven D. Levitt පෙන්වා දෙන වැදගත් කාරණයක් මේක: නූතන තාක්ෂණය අයෙක් ජීවත්වන්නේ කොහේ ද යන්නේ වැදගත්කම අඩු කර ඇති බව (“… modern technology has seemingly made one’s physical location less important.”

අනුර මනතුංග කැළණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා මහාචාර්යවරයෙකි. ඔහු ලියූ “කුවේණිට ලියූ කවි” පොතේ “බොරුව” නම් කවිය මෙසේයි:

“සුන්දරයි ගම
වෙල් ඉපනැල්ල
කාස්ටකයි කොළඹ
ගෙන්දගම් පොළව”

කිව්වට ඔහෙ
කියන පළියට
ගමට නම්
ගිය කලක් මතක නැත

සනුහරෙත් එක්ක දැන්
අපි ඉතිං කොළඹ ම ය
සුන්දර ගම නම්
කවිවල විතර ම ය

මේ අදහසින් ම තමයි අයින් රෑන්ඩ් ද ගමේ සුන්දරත්වය කියමින් නගර වල ඉදිවන බිල්ඩින් වල අගුණ කියන අයට දෝෂාරෝපණය කරන්නෙ. The Fountainhead ලියන අයින් රෑන්ඩ් උපුටන ඩබ්. ඒ. විජේවර්ධන මහතා නගර වලට අකමැති අය ඇය “මිනිස්-ද්වේෂයෙන්” ඉන්නා අය සේ කියා ඇති බව පෙන්වනවා.

අද සිංහල බ්ලොග් ලියන කියවන අය දිහා විතරක් බැලුවම ලෝකේ හැම තැනකින් ම වගේ ම, ලංකාවේ ද හැම පැත්තක ම ඉන්නා අය කියවන්න ලියන්න එකතු වෙන හැටි දකින්න පුළුවන්. මෙහි සාර්ථක පැතිරීම වළක්වන බාධා ඇත්තේ ආණ්ඩුවේ නීති රීති වල. නැත්නම් තාක්ෂණය ගමට ගේනවාට ගම්වැසියාගේ අකමැත්තක් නිසා නෙමෙයි!!!

ඩබ්. ඒ. විජේවර්ධන මහතා එඩ්වර්ඩ් ග්ලේසර්ව මෙහෙම උපුටනවා. “අදහස් යනු අපේ යුගයේ වළංගු මුදල නම්, එහෙනම්, ඒ අදහස් වලට සරිලන හරි නිවාස ඉදි කිරීම අපේ සාමූහික ඉරණම තීරණය කරාවි.” (“if ideas are the currency of our age, then, building the right homes for those ideas will determine our collective fate”) දැන් මෙතැන ග්ලේසර්ට වැරදිච්ච තැන මොකක් ද? අදහස් අපේ යුගයේ වළංගු මුදල් බව සැබෑ වුවත් කාගේ අදහස් ද කියන එක තීරණය කරන්නේ කවුද? නිෂ්පාදකයා හා පාරිභෝගිකයා ද? නැත්නම් ආණ්ඩුවක් විසින් ද?

ඉහත ප්‍රවෘත්තිය අනුව ප්ලාස්ටික් කූඩු නිසා පාරිභෝගිකයාට වාසියක් ද වූයේ?!!!!

අද ඇති තාක්ෂණයෙන් පමණක් මුහුණට මුහුණ ලා මිනිස් සබඳතා නැතිව නව සොයා ගැනීම් ඕනෑ තරම් ලෝකයේ නන් දෙසින් එකතු වන පිරිස් අතරින් සිද්ධ වෙනවා. හෙට ඒවා ඊටත් වඩා සූක්ෂම කර ගන්න පුළුවන්. අද මුහුණු පොතෙන් වෛද්‍ය සොයා ගැනීම් බෙදා හදාගන්නට ලෝකයේ ඕනෑම තූත්තුකුඩියක ජීවත්වෙන අයෙකුට පුළුවන්.

පාලකයන්ට තමයි මුහුණට මුහුණ නොදී “ගණුදෙනු” කරන්න අපහසු!!! නැත්නම් විකිලීක්ස් වලින් ලෝකය දැනගන්නවානේ!!!

ඊ ළඟට චාල්ස් ඩාවින්ගේ යෝග්‍යතමයා ජයගැනීමත් ඩබ්. ඒ. විජේවර්ධන මහතා සඳහන් කරලා තියෙනවා. ශක්තිමත් අය නෙමෙයි ජයගන්නෙ වෙනස්වෙන පරිසරයට අනුකූලව හැඩගැසෙන්න පුළුවන් එක්කෙනායි කියල. (This fits Charles Darwin’s argument that it is not the strongest that would survive, but the one who is capable of adapting oneself to the changing environment.) එක්කෙනා කියන්නෙ ආණ්ඩුව විසින් සාමූහික ජනතාවට කරන සැලසුමක් නෙමෙයි නේද?

ඊ ළඟට මහා ඇලෙක්සැන්ඩර් සහ මහා පරාක්‍රමබාහු උදාහරණ ගේනවා ඩබ්. ඒ. විජේවර්ධන මහතා විසින්. පරාක්‍රමබාහු යුගය ලංකාවේ සශ්‍රීකත්වය වැඩියෙන් ම තිබි යුගය බව කියද්දී රටක් ගොඩ නඟන්න වැය කරන මුදල් පියවා ගත්තා ද නැද්ද යන්න අමතක කිරීමෙන් වෙන්නෙ පස්සෙ කාලයක දී අර සැලසුම් නිසා ම රට බංකොළොත් වූ බවත් අමතක වී යාම නොවේ ද? මහා ඇලෙක්සැන්ඩර කලෙත් ඒක ද? පාලකයා ඉන්න කාලය තුල සශ්‍රික්තව්ය සඳහා සැලසුම් ගැසීම මඟින් (ණය වී හෝ) අනාගත ඵල විපාක නොසලකා හරිනවා ද?

පාරක් හදාගන්න යන ආණ්ඩුවකට මුදල් අපහරණය වළක්වා ගන්න බැරි නම් කොහොම ද නගර 30 ක් හදන්න ගියොත් දූෂණ වළක්වා ගන්නේ?

සිංගප්පූරුවේ ලී ක්වාන් යූ ට පුළුවන් වුනා නම් බුලත් කාලා පාරේ කෙළ ගහන එක නවත්තන්න අපිට ඇයි බැරි උපාධිධාරීන් විදියට පෙනී සිටිමින් අගයක් නැති සඟරා විකුණන එක නවත්තලා පළතුරක් එළවළුවක් වවන හෝ විකුණන එක ලැජ්ජා වෙන්න නෙමෙයි ආඩම්බර වෙන්න ඕනා යැයි හිතන විදිය වෙනස් කරන්න?!!!

නමුත් අද තාක්ෂණය හා කළමනාකරණ දැනුම දියුණුයි. කුඩා ඉඩ ප්‍රමාණයක අතීතයට වඩා වර්තමානයේ බෝග වගාව හා ප්‍රමාණය වැඩියෙන් පුළුවන්. ගොවියා, වෙළෙන්ඳා සහ පාරිභෝගිකයා අතර වගාව, වෙළඳාම හා පරිභෝජනය තිරණය වන්නට ඉඩ නොදීමෙන් පුරවැසියාට වාසියක් නොලැබෙන්නේ ඇයි දැයි විමසීම සිද්ධ නොවේ. තවත් මහා පරිමානයෙන් සැලසුම් ගැසීමෙන් අවසානයේ කොළඹට වී හෝ වොෂිංටනයට වී සැලසුම් ගහනා අයගේ පසුම්බි තර වී ගමේ පුරවැසියන්ට කැකිරි කවමින් තබන්නට රවටනු හැකි ද?

අයින් රෑන්ඩ් රසික පීටර් තීල් විසින් මුහුදේ ජීවත් වෙන්නට ලැහැස්ති වෙන්නෙ නිෂ්පාදකයා හා පාරිභෝගිකයා අතර වෙළඳ ගණුදෙනු වලට ආණ්ඩුව ඇඟිලි ගහන එක අවම කරගන්නට ය. ඔවුන්ගේ වෑයම් ගැන සටහනක් කාලයකට පෙර ලියුවෙමි. අද හොන්ඩුරාස් රජය මේ අදහස් වලට කැමැති යැයි කියා ඇත. නිදහස් වෙළඳ කලාප නොව අනාගතයේ බිහිවෙන්නේ ලිබටේරියන් වෙළඳ කලාප වෙයි ද? අනාගතය ජයගන්නේ මිනිස් ස්වභාවයට, එනම් අභියෝග ජයගන්නට ක්‍රම වේද සෙවීම නතර නොකරන මිනිසුන් ලොව සිටිනා නිසා මිස අනිකුත් අය වෙනුවෙන් සැලසුම් ගහනා ප්‍රධාන සැලසුම්කරුවා (chief designer) නිසා නොවේ බව ඉතිහාසය නැවත නැවතත් ඔප්පු කර නැද්ද?

Advertisements

15 Responses

Subscribe to comments with RSS.

  1. ගෝල්ඩ් fish said, on දෙසැම්බර් 13, 2011 at 12:30 ප.ව.

    ලෝකෙත් එක්ක වෙනස් වෙන එකට වැරැද්දක් කියන්න පුළුවන් කමක් නැහැ. දියුණු වෙනවා කියන්නේ ඒකටනේ…

    • arunishapiro said, on දෙසැම්බර් 14, 2011 at 11:00 පෙ.ව.

      ගෝල්ඩ් fish,

      දියුණුව කියන්නෙ අදට වඩා හොඳ හෙටක් කියන එක. වෙනසක් කියන්නෙ යහපතට හෝ අයහපතට දෙකටම වන වෙනසක්නෙ.

      කබලෙන් ලිපට වැටෙන විදියට (එහෙම වැටෙන එක අරමුණ නොවුනා නම්!!) යහපත් ද?

      කළින් කරපු නරක වැඩක් කාලයක් හොඳට හිටලා ආයේ නැවත කිරීමත් වෙනසක් නොවේ ද?

      ඔබාමා ආණ්ඩුව බලයට එන්නෙ බලාපොරොත්තු හා වෙනස යන තේමාව දාගෙන. පුරවැසියාගේ බලාපොරොත්තුව වූයේ ජෝර්ජ් බුෂ් ගිය ණය වෙන ප්‍රතිපත්ති වලින් හා විදේශ යුද වලින් ඈත්වීමේ වෙනස. ඒත් ඔබාමා වෙනස් වුනේ තවත් ණය වෙලා තවත් යුද්ධ වලට ගිහින්!!!

  2. Alchemiya said, on දෙසැම්බර් 13, 2011 at 12:58 ප.ව.

    මට තේරෙන විදියට අපි තවම අපේ තාක්‍ෂණය භාවිතයේ උපරිමයට ලඟා වෙලා නැහැ. අපේ වගා විම් ප්‍රමාණය 100% ක් කාර්යක්‍ෂමව භාවිතා වන්නේ නැහැ. අපේ අස්වනු නෙලීම, ප්‍රවාහණය,ගබඩා කිරීම, භාවිතය ආදිය 100% ක් කාර්යක්‍ෂම නැහැ. මේ නිසා අපි අවම වියදමකින් උපරිමයට ලඟා වෙනවද ? නැතිනම් උපරිම වියදමක් දරලා අකාර්යක්‍ෂම නිවාස ව්‍යාපෘති වලට මුදල් වැය කරනවද කියන එක හිතා බලන්න වෙනවා.
    නිවාස ඇමති තුමා නං එක පයින් කැමති වෙයි නගර 30 ක විශාල ව්‍යාපෘති කරන්න.. එතුමගේ හත්මුතු පරම්මරා දෙකක් (14) ක්ම ගොඩ දාගන්න පුළුවන් වෙන නිසා…
    අළුත් තාක්‍ෂණයක් නිසි ලෙස ඉදිරිපත් කරන්න දන්නෙ නැති අපේ වෙළඳ ඇමති තුමා වගේ අයින්ස්ටයින්ලා ඉන්න රටක මේ වගේ ව්‍යාපෘතියක් තියා සැලසුමක් වුනත් සිහිනයක්..
    අපේ අමාත්‍යාංශ එකිනෙකට සම්බන්ධ නැහැ.. මේ ව්‍යාපෘතිය (පෙට්ටි) කරන්න තිබුණෙ කෘෂිකර්ම අමාත්‍යාංශය සහ වෙළඳ අමාතෘංශයේ ඒකාබද්ධතාවයෙන්.. ඒ වගේම කතන්දර කිව්වා වගේ මේක ලොකු ව්‍යාපෘතියක්. ගහෙන් ගෙඩි එන්නා වගේ කරන්න බැහැ.. ඒ වගේමයි අපේ අර දූපත් මානසිකත්‍වයත් වෙනස් කරන්න ඕන ක්‍රම ක්‍රමයෙන්..
    මේ වගේ ව්‍යාපෘතියක් අරාබියට නම් ගැලපෙයි.. අපිට ඒක සිහිනයක් පමණක් වෙයි…
    හැරත්, අපිට දැන් පුළුවන් ඇමරිකාවෙන් මැක්ඩොනල්ඩ්ස් ආනයනය කරන්න, ඉන්දියාවෙන් ආටා පිටි ආනයනය කරලා දුවනගිරි හෝටල් වල ආප්ප තම්බලා මිනිසුන්ට දෙන්න.. ඇයි අපි එළවලු කන්නෙ ? ඇයි මේක අපේ ඇමතිවරු හිතන්නෙ නැත්තෙ ?

    • arunishapiro said, on දෙසැම්බර් 14, 2011 at 11:05 පෙ.ව.

      Alchemiya,

      තාක්ෂණය කියන්නෙ නිතර වෙනස් වෙන දෙයක්. එහි උපරිම භාවිතය හොයන්න පුළුවන් ද?

      අළුත් තාක්ෂණය යොදා ගන්න දන්නා පුරවැසියන් ලංකාවේ එමට ඉන්නවා. ඊට ඉඩක් ආණ්ඩු ප්‍රතිපත්ති වලින් ලැබෙන්නේ නැති බව වැටහුණු දාට ඒ අය රට හැර දා වෙන රටවල ගිහින් අළුත් තාක්ෂණය යොදා ගන්නවා!!!

  3. W.A. Wijewardena said, on දෙසැම්බර් 13, 2011 at 1:15 ප.ව.

    Aruni, your review of Upali’s suggestion is timely and informative. It has raised many issues which an economist would tend to disregard in his haste to come up with a new idea. As you have correctly doubted, the linear growth in population at 1% pa over the next 40 year period is subject to a wide margin of error because anything that may happen between now and 2050 may make that assumption totally unrealistic. Further, instead of people living in the sky, the new technology may start producing foods in the sky, the plants being nourished by the nutrients available in the winds. I once visited a hydrophonic farm in Japan where plants including paddy are grown in water and nutrients to the plants are supplied through the water supply. Their argument is that we grow foods in the soil not because soil is essential but because soil is needed to keep the plant upright and prevent it from falling. So, if alternative measures can be taken to solve that problem as had been done in that farm in Japan, plants can be economically supplied with nutrients without depending on the soil for that purpose. So the argument is fraught with many weaknesses. Thanks for pointing out the counter arguments to your readers.

    • arunishapiro said, on දෙසැම්බර් 14, 2011 at 11:09 පෙ.ව.

      W.A. Wijewardena,

      ඒ ලිපිය දැම්මාට ගොඩක් ස්තූතියි. ඔබේ ලිපිය කියවද්දී ඒ දේශනය අහන්න මටත් යා හැකි වූවා නම් යැයි සිතුනා. මා ලංකාවේ සිටිය දී එවැනි දේශන ඇසීමට යාම චිත්‍රපටි නරඹනවාට වඩා කැමැත්තකින් කළ දෙයක්. මෙහෙ දී නම් බලන චිත්‍රපටි මෙහෙ අහන්න ලැබෙන එවැනි දේශන වලට වඩා රසවත්!!!

  4. N.S.A. Niriella said, on දෙසැම්බර් 13, 2011 at 2:28 ප.ව.

    මගේ අදහසනම් අර්බුදය විසදන්න උපත්පාලනය අනිවාර්ය කරන්න ඕන. එක් එක් ආගම්වලට හෝ ජාතීන්ට විශේෂ වරප්‍රසාද ලබා දීම නතර කළයුතුයි. හැමෝම එක් නීතියකට යටත් කොට පවුලකට සිටිය යුතු දරුවන් ගණන 2කට සීමාකළහොත් ජනගහන වර්ධන වේගය පසුකාලයේදී ඍන අංකයකට ගෙන එන්න පුළුවන්. එවිට රැකියා අර්බුද- නිවාස අර්බුද
    -බලශක්ති අර්බුද – ආහාර අර්බුද මනාව කළමනාකරණය කරගන්න පුළුවන්.
    ආහාර වගාවේදී ඵළදායි නොවන වගාවන් සහමුලින්ම නවතා දැමිය යුතුයි. (උදාහරනයක් විදියට පතෝල, බුලත්, දියලබු ආදීය). පෝෂණයෙන් ඉහළ ආහාර බෝග වලට වැඩි අවධානයක් යොමුකළ යුතුයි. ඒත් මේක ලංකාවෙදි කරන්න පුළුවන් වෙයිද කියල මම නම් දන්නෙ නෑ. මොකද මැටි ඇමති වරුන්ගේ ගෙවතු වගාවල වුනත් තියෙන්නෙම පතෝල.
    එතුමන්ල පොටෝ වලට පෙනී ඉන්නෙත් දීගම පතෝල කරල අල්ලගෙන….ඒකෙන් සංකේතනය වනදේ පැහැදිළි කරගන්න අපට පුළුවන්.

    • lasitha said, on දෙසැම්බර් 13, 2011 at 10:37 ප.ව.

      උපත් පාලනය.හිහ් හිහ්…
      උඹලා වගේ අයට තියෙන ප්‍රශ්ණ වලට අනෙක් මිනිස්සු මොනවා කරන්නද?

    • arunishapiro said, on දෙසැම්බර් 14, 2011 at 11:20 පෙ.ව.

      N.S.A. Niriella,

      උපත් පාලනය අනිවාර්ය කළ චීනයට අද සිද්ධ වී ඇති හදිය දන්නවා ද? බිලියනයක් ජනගහණය වයසට යද්දී ඔවුන් කළ රැකියා කරන්නේ කවුද? වයසට යන අය වෙනුවෙන් කන්න බොන්න අඳින්න භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන්නේ කවුද?

      ලංකාවේ උප්පත්ති වර්ධනය 2011 දී ලෝක බැංකු වාර්තා අනුව හැම කාන්තාවකටම දරුවන් දෙදෙනෙක් වගේ තියෙන්නෙ. නීතියක් ගේන්න අවශ්‍ය නැහැ දැනටමත් එහෙම නිසා.

      //එක් එක් ආගම්වලට හෝ ජාතීන්ට විශේෂ වරප්‍රසාද ලබා දීම නතර කළයුතුයි.// මේකට නම් එකඟයි. අර නීතිය රකින අයගේ අළුත් දරුවන්ට දෙන මුදල් තෑගි ද අනිත් රටවැසියන් හදන දරුවන්ව අවතක්සේරු කිරීමක්.

      නීති ගෙනැවිත් අර්බූද වලට විසඳුම් සොයාගත් ආණ්ඩුවක් ලෝකයේ නැහැ. විසඳුම් සොයා ගන්නට පුරවැසියන්ට ඉඩදුන් ආණ්ඩු ඇති රටවල් තමයි සාර්ථක වී ඇත්තේ.

      පතෝල හොඳයි නේද දියවැඩියාව තියන අයට?!!! ලංකාවේ දියවැඩියාව ඇති අයගේ චන්ද දිනා ගන්න වෙන්නැති!!!

  5. chandi said, on දෙසැම්බර් 13, 2011 at 8:35 ප.ව.

    ජනග්‍රහනය පාලනය අනිවාර්යයෙන්ම විය යුතුයි. චීනෙ වගේ දරුවන් වැඩි වන අයට දඩ මුදලක් පනවන්න සිදුවේවි. හැම රටක්ම ආගම් ජාති බේද නොසලකා තමන්ගේ රටේ හැම බිම් අගලක්ම ආරක්ෂා කරගත යුතුයි. ඒ කියාන්නෙ පරිසර දූෂණයෙන් හා වෙනත් ආපදාවලින්. ජපානය වැනි දියුණු තාක්ෂණික ක්‍රම මගින් වගාවන් දියුණු කරගන්න උත්සාහ කරන්න ඕනෙ. බලශක්ති අර්බුදය සදහා හිරු එළිය වැනි විකල්ප මාර්ග සොයාගන්න ඕනෙ. සිංගප්පූරුව වැනි රටවල් සීමිත ඉඩ ප්‍රමාණය බොහොම ප්‍රයෝජනවත් ලෙස යොදා ගෙන තියෙනවා. නමුත් පරිසර දූශණය නම් උපරිමයි. මේ වගේ විකල්ප යොදාගන්න පුලුවන් නේ , හොඳ විදිහට. දියුණු වෙන රටවලට මේවා කරන්න ශක්තියක් නැහැ. ඒ රටවල් සමඟ එක්වී වැඩ පිළිවෙලක් සකස් කලොත් සමහරවිට ලෝකයටම මේ ප්‍රශ්න වලින් මිදෙන්නට පුලුවන්. එකම දේ බල තන්හාව හා ලෝබකම නිසාම දේ එකතුකරගන්නම හදනවා විනා එය බෙදාගැනීමක් වෙන්නේ නෑනෙ. විජේවර්ධන මහතාටත් ඔබටත් ස්තූතියි! මේ ලිපි වලට.

    • arunishapiro said, on දෙසැම්බර් 14, 2011 at 11:26 පෙ.ව.

      chandi,

      ජනගහණය පාලනය කරගන්න සමත් වූ රටක් ලෝක ඉතිහාසයේ නැහැ. වැඩි ජනගහණය වගේ ම අඩු ජනගහණයත් රටක ආර්ථික වර්ධනයට වගේ ම රටේ පුරවැසි සබඳතා වලටත් බලපානවා, හිතකර හා අහිතකර ලෙසින්. ඒ ගැන අනාවැකි කියන්න සමත් වූවෙක් ලොව බිහි වී නැහැ.

      ආණ්ඩුවක් විසින් සම්පත් පාලනය දන්නවා යැයි සිතීම මිනිස් මොළයේ විස්කම් ගැන නොදැනීම. රටේ පුරවැසියන්ට ඉඩ දුන්නොත් ඔවුන් පරිසරය ද ආරක්ෂා කරගෙන තාක්ෂණය ද දියුණු කරාවි. දියුණු වෙන රටවල දැනුම ඇති අය අපමණයි. ඔවුන්ට ලබා දිය යුත්තේ දැනුම පාවිච්චියට ඉඩක්. වෙන්නෙ නැත්තේ මහා පරිමාණ සැලසුම් වලින් පාලනයේ ඉන්නා (ලෝකයේ හැම රටකම එසේයි) අයට වාසි නිසා ඒකීය පුද්ගලය උත්සාහයට තැනක් නොලැබීම.

  6. anithkona said, on දෙසැම්බර් 13, 2011 at 10:12 ප.ව.

    අභ්‍යවකාශේ ඉන්නකොට වයස යනවත් අඩුයිලු නේද. බොහොම කාලෙකින් එන්න ලැබුනේ , ඊසාන දිග මෝසම් නිසා අපේ ජීවිතත් හරියට කාර් යය බහුල වුනා. දැන් ආයෙත් කියවන්න පටන් ගත්තා. බුලත් කෙළ පාරේ ගහන එක නැවැත්තුවා නම් මදැයි කොච්චරනම් පොලිතීන් කැලි කසල පාරවල් පුරා දානවද. ඒක අනිකා ගැන උපේක්ෂා සහගත හැඟීමක් එන්නේ නැති කම. ආත්මාර්ථකාමී බව. පොඩි කාලේ ඉඳන් දරුවන්ට ඉගැන්නුවානම් තමයි හොඳ.

    • arunishapiro said, on දෙසැම්බර් 14, 2011 at 11:49 පෙ.ව.

      anithkona,

      කාලෙකට පස්සෙ හරි ආවානේ!

      අභ්‍යවකාශයේ නෙමෙයි ඒ කියලා තියෙන්නෙ ඉහළට ගොඩනැඟෙන බිල්ඩින් ගැන. විදුලි බලය නිතර ඇණ හිටින ලංකාවේ සෝපාන ක්‍රියා විරහිත වෙලා පඩි නැඟලා බැහැලා නිරෝගී ජනතාවක් බිහි වෙන්නත් ඉඩ තියේවි!!!

  7. isuru said, on දෙසැම්බර් 13, 2011 at 10:32 ප.ව.

    මාත් ඔබගේ මතය සමග එකඟයි.ඔය මෝඩ මහචාර්යයාලට ගොඩක් දේවල් තේරෙන්නේ පස්සෙයි.නිකන්ම නිකන් පොතේගුරාලා විතරයි.ඒකනේ බිල් ගේට්ස්ලා නව නිපැයුම් කරද්දී මේගොල්ල බොරුවට කියවා කියවා ඉන්නේ.තට්ටු නිවාස වලදී සාමාජික බැඳීම් වැඩියි කියලා තියෙනවා ඔබ ඉදිරිපත් කරන ලද සබැඳියෙන් මා දුටුවා.ඒ නිසා වෙන්න ඇති උන්ගේ ජීවිත කාලකණ්ණි වෙලා තියෙන්නේ.මා කලක් කොළඹ 07 ප්‍රෙදේශයේ තට්ටු නිවාස සංකීර්ණයක වූ බෝඩිමක ජීවත් වූ අතර එහි වූ නිවැසියන්ගේ කාලකණ්ණි බැඳීම් සහ ජීවිත ගැන හොඳාකාරවම දැනගන්නට ලැබිණි.අප සමාජයෙහි ජීවත් විය යුතු වුවත් ඒ මළවුන් ලෙස නොවේ.ඔය මෝඩ සංකල්පටය වඩා වටිනවා මිනිසුන්ගේ ආකල්පමය වෙනසක් තුලින් ඔවුන්ව අතීතයේ මෙන්ම තම දෙමාපියන් සමග එකම නිවසේ වාසය කිරීමට සැලසීම මගින්.එවිට අඩුම තරමේ මහළුනිවාස මහ දරුවන් බලා ගැනීමේ ස්ථානත් අඩුවේවි.වගා කිරීම් කිරීම ගෙවතු වගාවන් ලෙස දිරිමත් කල යුතුය.එලෙසම ආර්ථික විශේෂඥයන්ට කොහොමටත් දැනුමක් නැති තාක්ෂණික දියුණුව වගා කටයුතු සම්බන්ධයෙන් යොදා ගත හැකිය.වර්තමාන ලංකාව තුළ තාක්ෂණික දියුණුව ඉතා අල්ප වශයෙන් භාවිතා වේ.එයම පමණක් නොවෙයි අනාගතයේදී ජනප්‍රිය වන කෘතිම අහාරද මේ සඳහා පිළියමක් විය හැකිය.කෙසේ වෙතත් මෙහිදී මතක් වන එක් කියමනක් ඇත එනම් අමුඩයක්වත් ගහගන්නට බැරි මිනිසුන් “මුහුද හත්ගව්වක තියාගෙන අමුඩ ගහනවා ” යන්නයි.

    • arunishapiro said, on දෙසැම්බර් 14, 2011 at 11:32 පෙ.ව.

      isuru,

      අදහස් මිලියනයක් ඉදිරිපත් කළාමයි වැදගත් එක අදහසක් මතු වෙන්නෙ. මුකුත් ඉදිරිපත් නොකර ඉන්නවාට වඩා අදහසක් ඉදිරිපත් කිරීම වැදගත්. ඒ අදහස ඉදිරිපත් කළ විදියෙන් බාර නොගෙන විමසා බැලීම අපේ වගකීමක්.

      ඔව් ඉසුරු ඔයා වැදගත් සාධකයක් ගෙනැවිත්. නිදහස් පරිසරයක සහ කොටු වූ පරිසරයක ජීවත් වෙන අය අතර දකින්න පුළුවන් පැහැදිලි සාමාජික බැඳීම් වෙනස්කම් බොහොමයක්. නගරබදව සමරිසි අය වැඩියෙන් ඉන්නවා ද නැත්නම් නගරබද නිසා සමරිසි බව වැඩිවෙනවා ද යන්න සිරකරුවන් අතර කරන පර්යේෂණ වලින් තවම සොයන කාරණයක්.

      වර්තමාන ලංකාවේ තාක්ෂණික දියුණුව අල්ප වශයෙන් භාවිතා වන්නේ නම් ඒ වෙන කිසිත් හේතුවක් නිසා නොව ඊට ඉඩකඩක් පාලන ක්‍රමයෙන් ලැබෙන්නේ නැති නිසයි.

      මුහුද හත් ගව්වක තියාගෙන අමුඩ ගහනවා කියලා ඉසුරු කිව්වම ඒ අය පිහිනන්න ඉගෙන ගෙන තියනවා ද නැත්නම් රැල්ල පාගන්න ද අමුඩ ගහන්නෙ කියලත් හිතුණා!!!!


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: