අරුණි ශපීරෝ‍ වෙතින්

විසඳුම් සොයාගත යුත්තේ ගැටළුව ඇති අයයි

Posted in Uncategorized by arunishapiro on දෙසැම්බර් 14, 2011

තමන්ගෙ කැමැත්ත අනිත් අයගෙ කැමැත්ත කරන්නට යුහුසුළු අය වැඩියි. තමන්ගේ කැමැත්ත නොදන්නා අය ලොව බහුල නිසා මෙයින් ඇති වෙන්නෙ සෑහෙන අර්බූදකාරී තත්වයක්. ඒ ඒ අයට ඒ ඒ අයගෙ කැමැත්ත අනුව කටයුතු කරන්නත්, කැමැත්තට අනුව කරන කටයුතු වල වගකීම ගන්නත් ඉඩ ලැබෙන සමාජයක ආර්ථික, තාක්ෂණික හා සදාචාරාත්මක දියුණුව දකින්නට ලැබෙනවා. ඒ අද ඊයේ විතරක් නෙමෙයි ලෝක ඉතිහාසය දිහා බැලුවම හැම පැත්තකින් ම සොයා ගන්න පුළුවන් සත්‍යයක්.

ප්‍රශ්නයක් ඉදිරියේ දී විසඳුම් සොයන්නට වඩාත් ම දක්ෂයා තමයි ප්‍රශ්නයට මුහුණ දෙන අය. අනිත් අය දෙන්න ඕනා විසඳුම සොයා ගන්නට තොරතුරු. ඒත් අපි කරන්න හුරු වෙලා ඉන්නෙ අපේ විසඳුම බලහත්කාරයෙන් හරි අනිත් අයගේ විසඳුම කරන්න මිසක් ඒ අයට විසඳුමක් හොයා ගන්න හැකියාව වර්ධනයට ඉඩක් දීම නෙමෙයි. ඉතින් ප්‍රශ්නයක් ඉදිරියේ අනිත් හැමෝම හිතන විසඳුම තමන්ට ඇති එකම විසඳුම කියා හිතා ඉන්නට පුරුදු වෙලා.

එක මොළයක් තනිවම සිතා විසඳුමක් ගෙනාවාම අනිත් සියළු දෙනාම එය බාරගත්තොත් වෙන්නෙ මොළ දහයකට විසඳුම් දහයක් ඉදිරිපත් කරන අවස්ථා අහිමි වීම.

ඇමෙරිකාවේ මා වාසය කරන ඩෙලවෙයාර් ප්‍රාන්තයේ කුකුල් නිෂ්පාදකයන්ට පුළුවන් ලෝකයේ සම්පූර්ණ කුකුල් මස් ඉල්ලුම සපයන්නට. අද චීනයේ කුකුල් පාද ඉල්ලුම සපයන්නට හදන ඩෙලවෙයාර් කුකුල් ගොවියා කුකුලාගේ ඉතුරු මස් ඇමෙරිකාවේ සෙසු ප්‍රාන්ත වල විකිණීම පමණක් නොව ඈතක තියන ජපානයටත් යවනවා. කුකුල් අඬු වලට ඇති ඉල්ලුම හා පාද වලට ඇති ඉල්ලුම වැඩියි, කුකුලෙක් ගත්තම තියෙන්නෙ අත්තටු දෙකයි පාද දෙකයි නිසා. මේ මා කළින් දාපු සටහනක්. අඬු වැඩි කරන්නට වැඩියෙන් කුකුලන් ඇති නොකර ඇමෙරිකන් කුකුල් ගොවියා සොයාගත් විස්සල් විසඳුමක්. ඒක සොයා දුන්නේ ඇමෙරිකන් ආණ්ඩුව විසින් හෝ මහා සැලසුම්කරුවා විසින් නෙවෙයි.

පසුගිය දවසක Boeing කොම්පැණිය හදපු Dreamliner ගුවන්යානය මහජන ප්‍රවාහනය සඳහා දියත් කෙරුණ. අද අහන්න ලැබෙන ප්‍රවෘත්තිය තමයි මයික්‍රොසොෆ්ට් කොම්පැණියේ Paul Allen නැවත පාවිච්චියට ගන්න පුළුවන් අජටාකාශ ගුවන්යානයක් හදන්න යනවා කියන එක.

ඇමෙරිකන් බදු ගෙවන ජනතාවගේ කැමැත්ත අහලා නෙමෙයි ඔබාමා ආණ්ඩුව විසින් ඉරානයට ඔත්තු සොයන්න මිනිස්සු නැති ප්ලේන් යැව්වෙ. ඒත් ආණ්ඩු එහෙම වැඩ කරන්නෙ අපේ සල්ලි වලින්!!!!

දැන් ඉහතින් දාපු උත්සාහයන් වැරදුනා නම් කාගේ සල්ලි ද අහිමි වෙන්නෙ? කුකුල් ගොවියන්ගෙ සල්ලි, බොයින් කොම්පැණියෙ සල්ලි, පෝල් ඇලන්ගෙ සල්ලි.

ඒ උත්සාහයන් හරි ගියාම කාට ද වාසි? ඒවාට ආයෝජනය කරපු අයට සහ පැත්තක ඉන්නා ඒ භාණ්ඩ හා සේවා මිල දී ගන්නට කැමති සෙසු ලෝක වාසීන්ට. ඒවා හා සම්බන්ධ වන වෙනත් භාණ්ඩ හා සේවා නිපදවන අයට.

ලෝකයේ ඕනෑම ආණ්ඩුවක් විසින් දියත් කරන මහා පරිමාණ සැලසුම් උත්සාහයක් නිසා කාගේ සල්ලි ද අහිමි වෙන්නෙ? ඒ ආණ්ඩුව ඇති රටේ බදු ගෙවන ජනතාවගෙ සල්ලි. නූපන් පුරවැසියන්ගේ සල්ලි.

ඒ උත්සාහයක් හරි ගියාම කාට ද වාසි කියලා අහලා වැඩක් නැහැ, එහෙම හරි ගිය ආණ්ඩුවක උත්සාහයක් ඔබ දන්නවා ද?!!! යාන්තමින් හරි ළං වෙන උත්සාහයකට තියෙන්නෙ 1960 ගණන් වල මුල දී ප්‍රංශය විසින් ආහාර පිළිබඳ අම්මලාට දුන් තොරතුරු වැඩ පිළිවෙලක්. ප්‍රංශ ආණ්ඩුවට ඊට දැරූ වියදම අනුව ලැබුණු ප්‍රතිඵල සාර්ථක වුනා. ඒ හැරෙන්නට ලොව ආණ්ඩු සැලසුම් සේරම බංකොළොත් විතරක් නෙමෙයි මිනිස් ජීවිත පවා අහිමි වූ ඒවා.

විසඳුම සොයා යන්නට ගැටළුව ඇති අයට ඉඩක් දෙන්න. ඒ මොළ ඔබව විස්මයට පත් කරාවි.

ඉස්සර පොත් රාක්ක වල එකතු කරගත් පොත් වෙනුවට මම දැන් පොත් එකතු කරන්නෙ කින්ඩල් එකේ. කින්ඩල් 2 වල තිබුනේ 2GB. ඒකෙ පින්තූර නැති පොත් 1,500 ක් තියාගන්න පුළුවන්. යන හැම තැනකම අරන් යන්නත් පුළුවන්. කියවපු පොතක් ආපහු විකුණන්නත් පුළුවන්. මේ Kindle Touch එකේ 4GB තියනවා. ඇඩ් ආවට කමක් නැති නිසා ඩොලර් 99 යි ගෙව්වෙ. මට එක පොත් රාක්කයක් ගන්න ඩොලර් 200 කට වැඩිය ගියා!!!

අනික දැන් පොත්කඩ හොයා ගෑස් පුච්චා පරිසරය දූෂණය කරමින් පිටිසර ගමක ඉන්න මම නගරයට යන්න ඕනත් නැහැ. මහා මාර්ග පාවිච්චිය ඕනෑත් නැහැ.

මිනිත්තුවකට අඩු කාලයක දී ලෝකයේ ඕනෑම පැත්තක ඉන්න කෙනෙක් ලියූ පොතක් බාගන්න පුළුවන්.

දැන් බලාගෙන ඉන්නෙ මේකට සිංහලෙන් කියවන්න පොත් එනකම්!!!

Advertisements

19 Responses

Subscribe to comments with RSS.

  1. maathalan said, on දෙසැම්බර් 14, 2011 at 11:43 පෙ.ව.

    අපිට කොයින්ද බූල් බල්ලෝ..
    සිංහල ඒවත් එයිද නෝනේ..
    ණය වෙලා හරි ගන්න ඕනේ..

    • arunishapiro said, on දෙසැම්බර් 15, 2011 at 10:38 පෙ.ව.

      maathalan,

      වෙස්සන් නොවුන් වෙදුන් තමයි ලංකාවේ ප්‍රථම ඉලෙක්ට්‍රොනික් පොත හැටියට දැක්වෙන්නෙ. එය නොමිලේ පරිගණකයට ගන්න පුළුවන් වුනාට කින්ඩල් එකේ ගන්න නැහැ. මේ ඒ වගේ වෙනත් ඉලෙක්ට්‍රොනික් විදියට ලබාගන්න පුළුවන් පොත්.
      නවකතා
      පුංචි දරුවන්ට කතා
      ඔව්, කවදා හරි දිනයක ඒවා ඉලෙක්ට්‍රොනික් පොත් හැටියට මිල දී ගන්න සිංහල කියවන්නා ඉදිරිපත් වූවොත් තාක්ෂණය දැනට තියන නිසා එන්න ඕනා.

      ණය නොවී, සල්ලි ඒකට වෙන් කරලා ගාන එකතු වුනාම ගන්න බැරියැ!!

  2. ලොකු පුතා said, on දෙසැම්බර් 14, 2011 at 5:03 ප.ව.

    මේක ටිකක් මේ දවස්වල අපේ රටේ රැව්පිළිරැව් දෙන “ප්ලාස්ටික් කුඩ” ප්‍රශ්නයටත් අදාලයි වගේ

    මමත් වතාවක් ඔයිං එකකට ඇහැ ගහගෙන හිටියා
    ඒත් කාලයත් එක්ක එක අමතක වෙලා ගියා, බලන්න ඕනේ ආපහු එකක් ගෙන්න ගන්න කාටහරි කියලා

    • arunishapiro said, on දෙසැම්බර් 15, 2011 at 10:41 පෙ.ව.

      ලොකු පුතා,

      ඔව් ලොකු පුතා, ප්ලාස්ටික් කූඩ වලටත් අදාලයි.

      වයර්ලස් ෆෝන් වගේ වැඩි කාලයක් නොගිහින් ඒවා හැමෝටම ගන්න පුළුවන් තරමට මිල අඩු වේවි.

  3. NotAFool said, on දෙසැම්බර් 14, 2011 at 11:08 ප.ව.

    Why did you buy kindle while you could go for a cheap tablet computer???Im confused about it. Cos both could aproximately cost the same.
    Why did you buy kindle wifi instead of kindle keyboard?I think kindle keyboard is better.
    Can you read pirated ebooks on this?
    Please let me soon… Id probably buy one on boxing day.
    cheers.

  4. Sudath said, on දෙසැම්බර් 15, 2011 at 1:26 පෙ.ව.

    ටූ ඉන් වන් ක්‍රමයට ලියපු ලිපියක්. කමෙන්ට් කරන්න වෙන්නෙ මොකක් ගැනද කියලයි කල්පනා කළේ.
    1. විසඳුම සොයා ගත්යුත්තේ කවුරුන් විසින්ද යන්න ගැන ද?
    2. කින්ඩල් නමැති නව නිපැයුම ගැන ද?
    3. එහෙම නැත්නම් මේ ටූ ඉන් වන් ක්‍රමය ගැනද?
    ලෝක ඉතිහාසයේ සාර්ථක සෑම විසඳුමක්ම සොයාගත්තෙ ගැටළුව ඇති අයයි. ඒක ඉදිරියටත් එහෙම ම වේවි. කාර්මික විප්ලවය යුරෝපයේදි සිද්ධ වෙන්නෙත්, සිද්ධාර්ථ කුමාරයා ඉන්දියාවෙ ඉපදෙන්නෙත් ඒ නිසාමයි.
    ගැටළු වලට විසඳම් දෙන්න ආණ්ඩු ඉදිරිපත් වෙන්න පටන් ගත්තට පස්සෙ වැඩේ සවුත්තු වුනා තමයි.
    මේ කතාව පොඩ්ඩක් බලන්න.
    http://mobile-mage-sithiwili.blogspot.com/2011/10/blog-post_2620.html

  5. N.S.A. Niriella said, on දෙසැම්බර් 15, 2011 at 2:13 පෙ.ව.

    ඔබගේ අදහස් සමග මම සම්පූර්ණයෙන්ම එක‍ගයි. ඒත්ලංකාව ගැන සලකා බැලුවමනම් සාපේක්ෂයි. මොකද ලංකාවෙ මිනිස්සු ‍තමන්ගේ සහජ බුද්ධියෙන් වැඩ ගන්නෙ හරිම හෙමින්. ඉදහිට ‍කෙනෙක් දෙන්නෙක් රැඩිකල් විදියට තීන්දු තීරණ අරගෙන වැඩ කලත් වැඩිදෙනා දෙන දෙයක් කාලා වෙනදෙයක් බලාගෙන ඉන්න අසරණයො. (හැබැයි මමනම් ඒ අසරණකමට අනුකම්පා කරන්නෙ නෑ) ඔබ දන්නවද ලෝකයේ ශිෂ්ට මිනිස්සු ඉන්න රටවල් වල වගේම ලංකාවෙ මිනිස්සුත් තමන්ගේ ගෙවල් ඒ ඒ කටයුතු වලට වෙන්කළ සථාන වලින් සම්පූර්ණ කරගෙන ඉන්නවා ඒත් ඒවා ඒ ඒ විදියට බාවිතා කරන්නේ කීයෙන් කී දෙනාද ? කෑම කාමරයේ මේසෙ උඩ වට්ටිවල දාපු කෝපි, ගම්මිරිස්….මේසෙ යට ගොරකා වට්ටි, ඔට්ටපාලු, බාල්දි වගේ දේවල්. පිගානක බත් කන්නෙ නෑ, ඒකට පාවිච්චි කරන්නෙ මඩක්කුවක්. හැබැයි පිගන් තියෙනවා. නිදන කාමර ගත්තත් ඒ වගේමයි. සාලයේ තියෙන සෝපාව පරණ සාරියකින් වහලා දාලා දම්රෝ පුටුවක වාඩිවෙලා මෙගා බලනවා. තමන්ට තියෙන දේවල් ටිකවත් බාවිතා කරලා සැපවත්ව ජීවත්වෙන්න උත්සාහ කරන්නෙ නෑ.
    එවැනි මිනිසුන් සම්බන්ධයෙන් කවුරුන් හෝ තීන්දු තීරණ අරගෙන වැඩකළ යුතුයි. ඒ හොදම විධිය නොවීම වෙනම කාරණයක්.
    එළවළු ප්‍රවාහනයේ දී ප්ලාස්ටික් කූඩ භාවිතය සම්බන්ධයෙන් ඇමතිවරයා දාන චණ්ඩි පාට් වලට මම එකග නෑ. ඒත් ඒ සද්දෙ නිසා කිසියම් සාධනීය ක්‍රියා මාර්ගයකට යන්න ඔවුන්ට සිද්ධවෙනවා.

    • arunishapiro said, on දෙසැම්බර් 15, 2011 at 10:50 පෙ.ව.

      N.S.A. Niriella,

      අනුකරණයට මිනිසුන් පෙළඹෙන්නෙ තමන්ට හිතා තීරණයක් ගන්න ඉඩ නොදුන් සමාජයක හැදුණු වැඩුණු නිසා. බුද්ධිය පාවිච්චි කරන්නෙ නැහැ කියා හැමදාම ඔවුන් කළ යුතු දේ ගැන වෙන කවුරුන් හෝ තීන්දු තීරණ ගත්තොත් වෙන්නෙ කවදාවත් තමන් තීරණ ගන්න පුරුදු නොවෙන එක. සෙසු ලෝකය වේගයෙන් ඉදිරියට යද්දී පුංචි ලංකාවේ අයට තවත් කොච්චර කාලයක් එහෙම ඉන්න පුළුවන් වෙයි ද?

  6. රාජ් said, on දෙසැම්බර් 15, 2011 at 2:54 පෙ.ව.

    //තමන්ගෙ කැමැත්ත අනිත් අයගෙ කැමැත්ත කරන්නට යුහුසුළු අය වැඩියි. // මං හිතන්නෙ මේවගේ අය වැඩියෙන්ම ඉන්නෙ ලංකාවෙ. “හරක් මස් කන්න හරක් මරන්න හොද නෑ ඒ නිසා කුකුල්මස් කන්න” වගේ යෝජනා ගේන්නෙ ඒ අය.

    • arunishapiro said, on දෙසැම්බර් 15, 2011 at 10:53 පෙ.ව.

      රාජ්,

      සමහර අය කන්න හොඳ මේවා කියනවා විතරක් නෙමෙයි මේසයේ දී ළඟින් වාඩි වෙලා හිටියොත් අහන්නෙත් නැතුව පිඟානටත් බෙදනවා!!!!

  7. සපතේරු උන්නැහේ said, on දෙසැම්බර් 15, 2011 at 4:08 පෙ.ව.

    අරුණි අක්කා..

    තව ටිකක් පැහැදිලි කර ගැනීම ට…

    ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් තියෙන රටක ජනතාව වෙනුවෙන් සැලසුම් කිරීම හා ඒවා ක්‍රියාත්මක කිරීම ආණ්ඩුවකට අයිති වැඩක් නොවෙයිද… [ අපේ ආණ්ඩු විසින් සර්පයා වලිගයෙන් අල්ලා ගන්නා එක සැබෑ නමුත් ]

    • arunishapiro said, on දෙසැම්බර් 15, 2011 at 11:01 පෙ.ව.

      සපතේරු උන්නැහේ,

      ප්‍රජාතන්ත්‍රවාදය යනු ජනතාව විසින්, ජනතාව වෙනුවෙන් හදා ගත්, ජනතාව ගෙන් සෑදුන ආණ්ඩුවක් ඇති පාලන ක්‍රමයක්. එතකොට ජනතාව වෙනුවෙන් සැලසුම් කිරීම හා ක්‍රියාත්මක කිරීම කළ යුත්තේ ආණ්ඩුව නෙමෙයි ජනතාවයි. මොකද ආණ්ඩුව කියන්නේ ජනතාව වෙතින් හැදුණු එකක් නිසා. ඒත් ලෝකයේ වැඩියෙන් සිද්ධ වෙන්නෙ ආණ්ඩුව ජනතාවගේ කැමැත්ත අනුව වැඩ කිරීම නොව ආණ්ඩුවේ බලය අල්ලා ගන්නා අය ඒ අයගේ කැමැත්තට අනුව ජනතාව පාලනය කිරීමයි.

  8. ඉන්දික උපශාන්ත said, on දෙසැම්බර් 15, 2011 at 4:59 පෙ.ව.

    ගැටළු ඇති අයටම විසඳුම් සෙවීමේ ශක්‍යතාවය තිබේද? මෙය බොහෝවිට සාර්ථක විසඳුමක් බව පිළිගත් නොහැක!

    • arunishapiro said, on දෙසැම්බර් 15, 2011 at 11:07 පෙ.ව.

      ඉන්දික උපශාන්ත,

      ඒ කියන්නෙ, අනිත් අය විසින් තවත් අය වෙනුවෙන් දුන් විසඳුම් හැම විටම සාර්ථක වූ බව ද? අනුන් වෙනුවෙන් විසඳුම් දෙන අය අසාර්ථකත්වයේ වගකීම ගන්නේ කොතරම් අඩුවෙන් ද?

      ගැටළුවක් ඇති අයට මාර්ගෝපදේශකයක් ලබා දී තීරණය ගැනීමට අවස්ථාවක් දීමෙන් ඔවුන් ඒ සඳහා මනා පුහුණුවක් ලබනවා. විසඳුම් සොයා යන්නට දක්ෂයෝ හා නව සොයා ගැනීම් වලට හැකියාව ඇත්තේ එවැනි පුහුණුවක් පටන් ගත්තාම. නැත්නම් ඉතින් කොපිකැට් සමාජයක් තමයි ඉතිරි වෙන්නෙ.

  9. දූපත් said, on දෙසැම්බර් 15, 2011 at 4:28 ප.ව.

    “ගැටළු බොහොමයකි. නමුත් විසදුම් නම් නැත”. මටත් රටටත් පොදු ගැටලුවකි.

    • arunishapiro said, on දෙසැම්බර් 16, 2011 at 9:06 පෙ.ව.

      දූපත්,

      විසඳුම් නැහැයි කියල හිතන්නෙ තියන විසඳුම් බාර ගන්න අකැමති නිසා. ඕනෑම ගැටළුවකට විසඳුම් තියනවා. සමහර විසඳුම් වලට අපි අකැමතියි, ඒත් අකැමැත්ත නිසා විසඳුමක් නැහැයි කියන්න බැහැ. මොකද අපේ කැමැත්ත ගැටළුවට විසඳුමක් නොවන නිසා.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: