අරුණි ශපීරෝ‍ වෙතින්

ඔස්ට්‍රියාවේ බ්ලොන්ඩ් ජෝක්ස් තහනම්

Posted in Uncategorized by arunishapiro on ජනවාරි 5, 2012

2012 ජනවාරි 1 වැනි දා සිට ඔස්ට්‍රියාවේ බ්ලොන්ඩ් හිසකෙස් ඇති අය ගැන කියන විහිළු කතා තහනම් වෙයි. එසේම Burgenland නැමති එරටේ කෘෂිකාර්මික පැත්තේ වාසය කරන අය ගැන ද විහිළු කතා කීම ද තහනම් වෙයි. විහිළුවක් නෙවෙයි, වසර දෙකක් සිරගත වෙන වරදක්.

සවුදි අරාබියේ ජනවාරි 1 වැනි දා සිට පිරිමින්ට කාන්තා යට ඇඳුම් විකිණීම තහනම්. බැලු බැල්මට හොඳයි කියලා අයෙක් හිතුවත් මේ වගේ නීති නිසා රටක් ඉස්සරහට යන්නෙ නැහැ. කොටසක් වෙනුවෙන් දාන නීති වලින් අවසානයේ හැමෝටම පාඩු සිද්ධ වෙයි.

1776 ජූලි මස 4 වැනි දා ලියැවුනු ඇමෙරිකන් නිදහස් ප්‍රඥප්තිය කෙටි ය. පහසුවෙන් වටහා ගත හැකි ලෙසින් සරල ය. ඊට පෙර එවැන්නක් ලෝකයේ නොතිබියේ ය. දේශපාලන ස්ථාවරත්වයට එකම මාර්ගය යම් පවුලක් පාලනයට පත් කිරීම බව එයට පෙර ලෝකයේ පැවති විශ්වාසයයි.

තුන්වැනි ජෝර්ජ් රජ්ජුරුවෝ මහරජතුමා යන නාමයෙන් (majesty) ඇමතුම් ලද්දෙකි. ඔහුට පෙර සිටි රජුවරුන්ට වඩා ඔහු හොඳ පාලකයෙක් විය. එහෙත් ඔහුගේ පුතාට කරකාර බඳින්නට සිත් වූ විට එයට ඉඩක් නොදුන් අයෙකි. හේතුව ඇය රදළ පංතියේ වුවත් අඩු රදළ තැනක සිටි නිසා ය. 1776 දී ඇමෙරිකාව ඒ ලෝකයෙන් ගැල වුනහ!!!

ඇමෙරිකන් නිදහස් ප්‍රඥප්තියට අත්සන් තබා ඇත්තේ 56 දෙනෙකි. ඔවුන් හඹා ආවේ බ්‍රිතාන්‍ය රතු කෝට් හමුදාවයි. ගේජ් ජනරාල්වරයාට ඊට අත්සන් තැබූ ද්‍රෝහීන් අත් අඩංගුවට ගැනීමට අණ ලැබී තිබුණි. එහි අවසන් වාක්‍යය මෙසේය: “මේ ප්‍රඥප්තියට සහයෝගය දීම නිසා, දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවි යැයි තරයේ විශ්වාස කරන නිසා, අපි එකමුතුව එකිනෙකාට පොරොන්දු වෙන්නේ අපේ ජීවිත, අපේ වස්තුව සහ අපේ අලංඝනීය වූ නම්බුවයි.” “And for the support of this Declaration, with a firm reliance on the protection of divine Providence, we mutually pledge to each other our Lives, our Fortunes and our sacred Honor.” එකල ඉහළ පදවි තනතුරු හා වස්තුවට හිමිකම් කියූ ඒ 56 දෙනා තම ජීවිත පරදුවට තබමින් ලෝකයේ නව මඟක් උදා කළ අය වූහ.

ලොව කිසිදා නොතිබි අදහසකට අත්සන් ගහන්නට, සමාජයක් සංවිධානය නොතිබි ලෙසකින් සංවිධානය කරන්නට ඔවුන් අත්සන් තබන්නේ තවත් අළුත් වදන් මාලාවක් ලොවට ගෙන එමිනි. විශ්ව සිද්ධාන්ත ගැන මේ ප්‍රඥප්තිය සඳහන් කරයි. එය පටන් ගන්නේ මෙසේය: “මනුෂ්‍ය පැවැත්මේ සිදුවීම් ඇතිවෙද්දී,” (When in the Course of human events) කියා ය. එනම් ඕනෑම කාල වකවාණුවක ඇතිවිය හැකි සිදුවීම් ගැන ඔවුන් සඳහන් කර ඇත. “තමන් තවත් පිරිසක් හා බැඳගත් දේශපාලන රැහැන් ගලවන්නට සිද්ධ වෙන” බව ඒ වාක්‍යයේ ඉතිරි කොටස වෙයි. එනම්, ඕනෑම පිරිසක් ගැන කියන්නකි.

ඇමෙරිකන් නිදහස් ප්‍රඥප්තිය කියන්නේ අවනතවීම ගැන ය. පවතින බ්‍රිතාන්‍ය නීති වලට නොව, ඇමෙරිකන් පිතෘවරුන්ට පනවා ගත හැකි නීති වලට නොව ඊටත් එහායින් වූ දැයකට අවනතවීම ගැන ය. ස්වභාව ධර්මයේ නීති වලට සහ ස්වභාව ධර්මයේ දෙවියන්ට අවනතවීම ගැන ය. සියල්ලට ම ඉහළින් ඇති සිද්ධාන්තය නම් සෑම මිනිසෙක්ම එක හා සමාන ලෙසින් නිමැ වී ඇති බවත්, අයින් කරත නොහැකි අයිතීන් ඇතිව ඉපදී ඇති බවත් එහි ලියැවී ඇත.

අද අත්සන් තබන ලියැවිලි වලින් ඉල්ලන්නේ අයෙක් නිදහස් කර ගැනීමට ය, සුළු පිරිසකගේ අයිතිවාසිකම් රැක ගැනීමට ය, මේ ඉන්නා අය අහක් කර ඒ වෙනුවට වෙන අය දාන්න යැයි කියා ය. නැතිව සැමට එක සේ, කාල වකවාණුවකට සීමා නොවූ නිදහසක් ඉල්ලන ලියැවිලි වලට අත්සන් තබන්නට බහුතරය තවමත් අකමැති ය.

කොටසක් වෙනුවෙන් නීති ගෙන ඒමේ විපාක ගැන හාස්‍ය උපදවන ටෙලිනිෂ්පාදනයක් සවුත්පාර්ක් නිර්මාතෘ විසින් ඉදිරිපත් කරන්නේ 2005 දී ය. අනිත් හැම අදහසක් සේ ම එය ද වැරදියට වටහාගත්තවුන් කැනඩාවේ කැල්ගරි හි රතු හිසකෙස් ඇති අයට පහර දුන්හ!!!! මෙහි දී අයෙක් කලබල වන්නේ අදහසක් ඉදිරිපත් කිරීමේ අනතුරුදායක බව ගැන කියන්නට ය. එහෙත් මිනිස් බවේ අපූර්වත්වය නම් මිනිසාට අදහස් වටහා ගැනීමට හැකියාව තුරන් වී යා නොදී රැක ගැනීම නොවේ ද? ෆ්ලොරීඩාවේ මහජන වැසිකිළි වල අත් සෝදන්නේ මෙහෙමයි කියා අලවා තිබූ පෝස්ටර් දැකීම නිසා මිනිස් චින්තනය ඉදිරියට යනවා දැයි නැත්නම් ආපස්සට යනවා දැයි මට සැක පහළ වුණි!!!!

කැනඩාවේ නිව් ෆවුන්ලන්ඩ් නැමති පෙදෙසේ වාසය කරනවුන් (Newfie) ගැන විහිළු කතා ද බොහොමයකි. ඒවා වැඩිපුර හදාගෙන ඇත්තේ ඔවුන් විසින්ම යැයි සමහරු කියති!!! ඔවුන් ගැන විහිළු කතා තහනම් කරන්නට පෙර මෙය බෙදා ගන්නම්.

“බීගත් නිව්ෆියෙක් දිනක් ගෙදර බලා ගමන් කරද්දී අතරමං වී තමන් පඳුරකට වැටී ඉන්නා බව දැක්කේ ය. එතැන බිම තිබි පහනක් දැක එය අරගෙන අතුල්ලා බැලුවේ ය. එයින් ජීනියෙක් (බහිරවයෙක්?) මතුවිය. “ඔබට වරම් තුනක් දෙන්නම්, හොඳට කල්පනා කර බලා තෝරාගන්න.” නිව්ෆියා කල්පනා කර බලා අතේ තිබි බියර් බෝතලය ගලක ගසා බිඳ දැම්මේ ය. “ඉවර වෙන්නෙ නැති බියර් බෝතලයක් දෙන්න,” යැයි නිව්ෆියා ඉල්ලීය. ඔහුට බියර් බෝතලයක් ලැබිණ. ඔහු එය අතට අරන් බී ඉවර කළේ ය. නැවත බලද්දී බෝතලය පිරී තිබිණ. සතුටු සිතින් නිව්ෆියා යන්නට පිටත් විය. “කොහෙද යන්නෙ?” ජීනි ඇසුවේ ය, “තව වරම් දෙකක් ඉතුරු වෙලා තියනවා.” “එහෙනම් ඉතින්, මට තව බෝතල් දෙකක් දෙන්න,” ඔහු කීවේය.

Advertisements

41 Responses

Subscribe to comments with RSS.

  1. Gordonia Ceylanica said, on ජනවාරි 5, 2012 at 10:43 පෙ.ව.

    අප්පෝ මේවා අපි වගේ පොඩි එවුන්ට හරි යන නෑ 🙂

    • arunishapiro said, on ජනවාරි 5, 2012 at 10:50 පෙ.ව.

      Gordonia Ceylanica,

      ඒක නිසා තමයි වියපත් ආච්චි කෙනෙක් හැටියට මම ඉන්නෙ, පොඩි අයව බලාගන්න. බ්ලොග් අවකාශයේ සටහන් ලියන ඔයාට නැතිවිය හැකි නිදහස ආරක්ෂා කරදෙන්න 🙂

      • Gordonia Ceylanica said, on ජනවාරි 5, 2012 at 2:20 ප.ව.

        අනේ මංදා ආච්චියේ…
        මම ගහක් කොළක් ගැන ලියාන පාඩුවේ ඉන්න පොඩි එකෙක්,
        ඔයාටත් බැරිද කතන්දර දාන්න පොඩි අපිට 🙂
        කොහොම වුනත් යටින් තිබුන කතාව නම් තේරුණා,
        ඔරිජිනල් බේබද්දෙක් කැපවීමෙන් බොනවා 🙂

        • arunishapiro said, on ජනවාරි 6, 2012 at 8:58 පෙ.ව.

          Gordonia Ceylanica,

          පොඩි එකා හොඳ ප්‍රශ්නයක් අහලා තියෙන්නෙ … //ඔයාටත් බැරි ද කතන්දර දාන්න පොඩි අපිට// ප්‍රශ්නයක් නේද ? නැති වුනාට???

          කතන්දර ගොඩක් ලියා තියෙනවා, ගස් කොළන් ගැනත් මේ අඩවියේ ම. ඒ හැරෙන්නට වෙනම කතන්දර පමණක් ඇති අඩවියක් ද ලියනවා: දිග නවකතාවක් – බ්‍යාමප්‍රභාව, පරිවර්තනයක් – අප ජීවත්වන්නෝ, දිග කතා කැමති නැත්නම් කෙටි කතා එකතුවක් මෙතැන.

          ඔයාටත් බැරි ද කතන්දර දාන්න කියද්දී “කතන්දර විතරක් දාන්න” කියනවා නම් පොඩි එකා මගේ සතුට සොයා යන ගමන ඔයාගේ සතුට සොයා යන ගමන කරන්නයි හදන්නෙ. තවත් විදියකට කියනවා නම් හැමෝම එකම දෙයක් කරන්න ගියොත් තමයි භාෂාවක වගේ ම රටක ද ප්‍රගතියක් නැත්තෙ. රටක විවිධ ආකාර වලින් සතුට සොයා යන අය ඉන්න කොට ඒ රට නොයෙක් ආකාර වලින් දියුණු වෙනවා. හැමෝම එක දෙයකට විතරක් සිත යොමු කළොත් දියුණුව එක තැනක හිරවෙනවා. ඒකයි මහා පරිමාණ සැලසුම් ගෙනාවට කිසිම ලෝක ආණ්ඩුවකට තම රට ඉදිරියට ගෙනි යන්න බැරිවුනේ. රටක, ජාතියක, භාෂාවක ප්‍රගතියක් දකින්න නම් රටේ, ජාතියේ හා භාෂාව පාවිච්චි කරන අයට කැමත්තක් කරන්න (අනික් එක්කෙනාගේ කැමැත්තට හානි නොවන විදියට 🙂 ) ඉඩක් තියෙන්න ඕනා.

    • kathandarakaraya said, on ජනවාරි 5, 2012 at 6:15 ප.ව.

      විස්ස විජ්ජාලේ යන වයසේ කොල්ලෙක් ගේ මොකක්ද බං පොඩි?

  2. ගෝල්ඩ් fish said, on ජනවාරි 5, 2012 at 11:05 පෙ.ව.

    සමහර නීති එක එක විදියට ඒ අයගේ අවශ්‍යතා හා පහසුකම් ඇහිරෙන විදියට යොදාගන්න එක නම් බොහොම කැතයි…

    • arunishapiro said, on ජනවාරි 6, 2012 at 1:00 ප.ව.

      ගෝල්ඩ් fish,

      ගොඩක් නීති වලින් කෙරෙන්නෙ ඒක. ස්වභාවික නීතිය ගැන දැනුම ලෝකයේ නීතිවේදීන්ටත් ඇත්තේ ඉතා මඳ පමණින්!!!

  3. රාජ් said, on ජනවාරි 5, 2012 at 12:26 ප.ව.

    ඇමෙරිකන් නිදහස් ප්‍රඥප්තිය සහ එහෙයි මෙහෙයි නීති වල වෙනස්කම් දැනගන්න කැමතියි ඉඩක් තියනවනං.

    • arunishapiro said, on ජනවාරි 6, 2012 at 1:03 ප.ව.

      රාජ්,

      ඔය පැත්තෙ නීති ගැන නම් දැනුම සහ මතකය දැන් බොහෝ අඩුයි. මදැයි රාජ්, මම ඇමෙරිකන් නිදහස් ප්‍රඥප්තිය ගැන ලියන්න තමයි ගියෙ. කෝ මේ ප්‍රතිචාර වලට උත්තර දෙන්න ගිහින් දැන් ඒ සටහන දාන්න තිබ්බ කාලය ගෙවිලා ගියා!!!

      ඒ ගැන තව ලියන්නම් ඉක්මණින්.

  4. kathandarakaraya said, on ජනවාරි 5, 2012 at 6:03 ප.ව.

    //2012 ජනවාරි 1 වැනි දා සිට ඔස්ට්‍රියාවේ බ්ලොන්ඩ් හිසකෙස් ඇති අය ගැන කියන විහිළු කතා තහනම් වෙයි.

    බ්ලොන්ඩ් කෙස් තියෙන අය මේකට අකමැතිද?

    • arunishapiro said, on ජනවාරි 6, 2012 at 9:40 පෙ.ව.

      kathandarakaraya,

      //බ්ලොන්ඩ් කෙස් තියෙන අය මේකට අකමැතිද?//

      මේ නීතිය පැනවෙන්නෙ ත්‍රස්තවාදය මැඬීමේ පනතක් යටතේ. පසුබිම පසුගිය ගිම්හානයේ දී නෝර්වේ ජාතික Anders Behring Breivik විසින් කළ මිනිස් ඝාතනය නිසා නීති රෙගුලාසි වලින් පුරවැසි සිතැඟියාවන් පාලනය කරන්න හැකියාව ඇතැයි සිතන යුරෝපීය ස්වභාවයයි. ඇන්ඩර්ස් නැමති මිනීමරුවාට තරහ ගියේ නෝර්වේ වැසියන්ට ඇති අයිතීන් ඔවුනට වැඩියෙන් සංක්‍රමණිකයන්ට දෙන නිසා නම්, රටේ මුල් වැසියන්ගේ අයිතීන් ගැන සොයා බලන්නට හිත් යොමු වෙලා වගේ වැඩක්!!! ඒත් කළ යුත්තේ එවැනි තැනක සෙකියුරිටි ඉන්න මිනිහාට පිස්තෝලයක් ලබා දීමයි. සෙකියුරිටි ගාඩ් කෙනෙක් ගෙන් වැඩක් තියේවි ද මරන්න එන මිනිහෙක් ගෙන් ළමයි ආරක්ෂා කරගන්න ආයුධයක් නැත්නම්? ඒ යුරෝපීයයන් නොදකින්නට ඇස් පියා ගන්න පැත්ත!!!

      ඊ ළඟට බ්ලෝන්ඩ් හිස කෙස් ඇති කාන්තාවන් මෝඩ අය යැයි බ්ලොන්ඩ් හිස කෙස් ඇති අය වාසය කරන රටවල ඉන්නා අයගේ විහිළු වලට ඉතා අතීතයක සිට පාත්‍ර වෙන්නක්. ඇයි බ්ලෝන්ඩ් හිස කෙස් ඇති පිරිමින් මෝඩ යැයි සැලකෙන්නෙ නැත්තෙ?!!! දැන් මේ නීතිය අනුව බ්ලොන්ඩ් හිස කෙස් ඇති පිරිමින් මෝඩයෝ යැයි විහිළු කරන්නත් බැරි දැයි අහන්න ඔස්ට්‍රියාවේ විනිසුරුවෙක් හා විවාහ වී ඉන්න මගේ යෙහෙළිය අල්ලා ගන්න ස්කයිප් පැත්තෙ යන්න ඕනා.

      මම හඳුනන ඔස්ට්‍රියන් අය අතර බ්ලොන්ඩ් ජෝක්ස් කියන බ්ලොන්ඩ් හිස කෙස් ඇති අය ඉන්නවා, ඒ නිසා පැහැදිලි ව ම, ඔව්, බ්ලොන්ඩ් හිස කෙස් තියන සමහර දෙනෙක් මේ නීතියට අකමැතියි.

      //මෙච්චර කල් තිබිලා තියෙන්නේ කාන්තාවන්ට වෙළඳාම කරන්න බැරි විදියේ නීතියක්. ඒ අනුව බැලුවාම මේ අළුත් නීතිය ප්‍රගතිශිලියි. කාන්තාවන්ට වැඩිපුර රැකියා අවස්ථා.//

      නැහැ, කිසිම විශේෂ පිරිසකට පමණක් (කාන්තාවන්ට වේවා පිරිමින්ට වේවා) යම් රැකියාවක් කරන්නට අවසර දීම ප්‍රගතිශීලි නැහැ. ප්‍රගතිශීලී වන්නේ ඕනෑම අයෙකුට සුදුසුකම් ඇත්නම් රැකියාව කරන්න අවසර දීමයි.

      //දෙයියන්ගේ පිහිට පැතීම එතෙක් නොතිබුණු අදහසක් ද?
      ඇමරිකා එ.ජ යට කවදාවත් බැරිවේවි ඔය දෙයියන් ගේ සීන් එකෙන් ගැලවෙන්න. පව්!//

      නැහැ දෙවියන්ගේ පිහිට පැතීම නෙමෙයි එතෙක් ලොව නොතිබුණු අදහස. තමන් සතු සියළු නම්බු නාම, තානාන්තර පදවි හා වස්තුව සමඟ ජීවිතය ද පරදුවට තබා රටේ සමස්ත පුරවැසියන් වෙනුවෙන් නිදහස ඉල්ලා සිටීමයි ලොව එතෙක් නොතිබුණු අදහස.

      දෙයියන්ගේ සීන් එකෙන් ගැලවෙච්චි රටවල් තියෙනවා, රුසියාව, චීනය, කියුබාව, උතුරු කොරියාව … තමන්ගේ ම වැසියන් මිනීමරලා තමයි දෙයියන්ගෙ සීන් එකෙන් ඔවුන් ගැලවෙන්නෙ, ජෝසප් ස්ටාලින් යුගය (මිලියන විස්සක්); මා ඕ සේතුං (මිලියන හතළිහක්); කියුබාවේ දේශපාලන විරෝධය නිසා මරණ දණ්ඩනය වගේ ම, බෝට්ටු වලින් පළා යන්න ගිහින් මැරිච්ච අයයි, සිරගත වෙලා මැරිච්ච අයයි කැමති විදියකට ඔයා ම එකතු කරන්න මෙතැනින්; බඩගින්නෙ මැරෙන අය ගැන හරියට දැන ගන්න බැරි උතුරු කොරියාවේ දෙයියෝ බලන්නෙ නැති නිසා වෙන්නැති මැරිච්ච අය මිලියන තුනක්.

      විලියම් ශේක්ස්පියර්ගෙ කතන්දර වල හොඳ අරගල සමථ කරන (conflict resolution) ක්‍රමයක් තියෙනවා. ඒක තමයි චරිතය මරා දැමීම. සමහර විට කොමියුනිස්ට් රටවල් විලියම් ශේක්ස්පියර් ලැදි අය ද කියලත් හිතෙනවා … මොකද රටේ වැසියෝ අරගල කරද්දී මරා දාල තමයි අරගල සමථයට පත් කරන්නෙ!!!!

      //නිවරැදිව අත හෝදන ක්‍රමය (scrubbing) ගැන පෝස්ටර් ශල්‍යාගාරවලද ගහලා තියෙනවා නේද?// ඇමෙරිකාවේ ඉස්පිරිතාල ශෛල්‍යාගාර වල දී නම් දැකලා නැහැ.

  5. kathandarakaraya said, on ජනවාරි 5, 2012 at 6:05 ප.ව.

    // සවුදි අරාබියේ ජනවාරි 1 වැනි දා සිට පිරිමින්ට කාන්තා යට ඇඳුම් විකිණීම තහනම්.

    මෙච්චර කල් තිබිලා තියෙන්නේ කාන්තාවන්ට වෙළඳාම කරන්න බැරි විදියේ නීතියක්. ඒ අනුව බැලුවාම මේ අළුත් නීතිය ප්‍රගතිශිලියි. කාන්තාවන්ට වැඩිපුර රැකියා අවස්ථා.

  6. kathandarakaraya said, on ජනවාරි 5, 2012 at 6:09 ප.ව.

    // “මේ ප්‍රඥප්තියට සහයෝගය දීම නිසා, දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවි යැයි තරයේ විශ්වාස කරන නිසා, … … … … … .. …. …. ..

    // ලොව කිසිදා නොතිබි අදහසකට අත්සන් ගහන්නට,

    දෙයියන්ගේ පිහිට පැතීම එතෙක් නොතිබුණු අදහසක් ද?
    ඇමරිකා එ.ජ යට කවදාවත් බැරිවේවි ඔය දෙයියන් ගේ සීන් එකෙන් ගැලවෙන්න. පව්!

  7. kathandarakaraya said, on ජනවාරි 5, 2012 at 6:11 ප.ව.

    // “එහෙනම් ඉතින්, මට තව බෝතල් දෙකක් දෙන්න,” ඔහු කීවේය.

    මං හිතන්නේ ඒ ඉල්ලුවේ තමන් ගේ හොඳම මිතුරන් දෙදෙනාට තෑගි දීමටයි. අන්න යාළුවෝ!

  8. kathandarakaraya said, on ජනවාරි 5, 2012 at 6:14 ප.ව.

    // ෆ්ලොරීඩාවේ මහජන වැසිකිළි වල අත් සෝදන්නේ මෙහෙමයි කියා අලවා තිබූ පෝස්ටර් දැකීම නිසා මිනිස් චින්තනය ඉදිරියට යනවා දැයි නැත්නම් ආපස්සට යනවා දැයි මට සැක පහළ වුණි!!!!

    නිවරැදිව අත හෝදන ක්‍රමය (scrubbing) ගැන පෝස්ටර් ශල්‍යාගාරවලද ගහලා තියෙනවා නේද?

  9. dawkinssdodo said, on ජනවාරි 5, 2012 at 9:45 ප.ව.

    ඇමරිකාව මොන තරම් ප්‍රගතිශීලි වුනත් දෙවියන් එක්ක තියෙන ගනු දෙනුව අන්තිම පසුගාමි එකක් නේද?

    • තනි අලියා said, on ජනවාරි 6, 2012 at 4:37 පෙ.ව.

      ඔය දෙයියො ලෙඩ ගහපු උන්ව හදන්න බෑ බොස් 😦

    • arunishapiro said, on ජනවාරි 6, 2012 at 10:35 පෙ.ව.

      dawkinssdodo,

      දෙවියන් එක්ක ගණුදෙනු වලට ඉඩක් නොමැති 5 වැනි ශ. ව. දී ප්‍රගතිශීලි අදහස් වලින් පරිපූර්ණ වූ බුද්ධාගමේ පංසල් ඇතුලට 2011 වෙද්දී දෙවියෝ ගොඩක් ඇවිල්ලා තියෙන්නෙ දෙයියෝ සිටීම වඩා ප්‍රගතිශීලි නිසා වෙන්නැති!!! 😀

      දෙවියන් එක්ක ගණුදෙනු තහනම් කරපු රටවල් හැටියට රුසියාව, චීනය, කියුබාව, උතුරු කොරියාව පසුගාමී නොව ප්‍රගතිශීලි රටවල් වූවා යැයි ඔබ කියනවා ද? ලෝක කම්කරුවනි එක්වෙයව්! කියා පෝස්ටරයක් මරණ බියට හෝ බඩගින්නේ ඉන්නට සිදු වේ යැයි බියට ඔසවා ගෙන යන්නා පසුගාමී යැයි දකින්නේ නැති ඔබ අයෙක් දෙවියන් හා සිය කැමැත්තෙන් ගණුදෙනු කිරීම පසුගාමී විදියට දකින්නේ කෙසේ ද?

      ඒ වගේ ම, දෙවියන් එක්ක ගණුදෙනු ඇති රටවල් හැටියට වතිකානුව හා ඉතාලිය, ඉරානය, ඉන්දියාව, ලංකාව (දෙයියෝ තුන් හාර දහස් ගණන් ඉන්න) දෙවියන්ට දක්වන සැලකිල්ල ඇමෙරිකාවට වඩා වෙනස් වෙන්නේ කොහොමින් දැයි දන්නවා ද?

      ජර්මනියේ ඇන්ගලා මෙයර්කල් ඉන්නා පක්ෂයේ නම: Christian Democratic Union of Germany

      ප්‍රංශයේ නිකලස් සාකෝසීගේ පක්ෂයේ නම: Union for a Popular Movement එහි අයිඩියලොජියක් හැටියට Christian democracy ඇතැයි දන්නවා ද?

      ඇමෙරිකන් රිපබ්ලිකන් පක්ෂයේ හෝ ඩෙමොක්‍රැටික් පක්ෂයේ ක්‍රිස්තියානි ආගම හෝ දෙවියෝ ගැන සඳහනක් නැත.

      පසුගිය වසර 100 ගත්තම ක්‍රිස්තියානි ආගම අදහන අය ලෝකයේ අඩු වෙලා නැහැ. එකම ප්‍රතිශතයක් එනම් ලෝක ජනතාවගෙන් සියයට 35% ක් තවම ක්‍රිස්තියානි. ඒත් 1910 දී ලෝක ජනගහණයෙන් ක්‍රිස්තියානි ආගමිකයන් 93% ක් වාසය කළේ යුරෝපයේ හා ඇමෙරිකා (උතුරු දකුණු සියල්ල) වල. 2010 වෙද්දී ක්‍රිස්තියානි ආගමිකයන් යුරෝපයේ හා ඇමෙරිකාවල ඉන්නෙ 63% ක්. හැබැයි යුරෝපයේ ජනගහණය කෙමෙන් අඩු වෙද්දී ඇමෙරිකානු ජනගහණය වැඩිවන බවත් මෙහි දී සලකන්න. ඒ වගේ ම නීති විරෝධී ලෙසින් ඇමෙරිකාවේ මිලියන 3 ක් පමණ ඉන්නා හිස්පැනික් ජනතාව ද දෙයියෝ විශ්වාස කරන අය බව ද සැලකිල්ලට ගන්න. ඒත් ඒ සියල්ල එක්කම, 20 වැනි ශ.ව. පස්සෙ වැඩියෙන් ම ක්‍රිස්තියානි ආගමිකයන් වැඩි වෙලා තියෙන්නෙ subSaharan අප්‍රිකානු රටවල සහ ආසියාවේ බවයි දත්ත පෙන්වන්නෙ. එහෙම නම්, මේ දෙයියෝ එක්ක ගණුදෙනු විතරක් සලකා බලලා ඇමෙරිකාව ප්‍රගතිශීලි වෙද්දී subSaharan අප්‍රිකානු සහ ආසියාව පසුගාමී වෙනවා යැයි කියනවා ද?

      ආගමික වූ මරා දැමීම් (Crusades) පාප් වහන්සේගේ හා කතෝලික පල්ලියේ ආශීර්වාදය යටතේ වූයේ යුරෝපයේ.

      17 වැනි ශ. ව. දී Huguenots නම් වූ පොතෙස්ත්‍රන්ත්‍ර පල්ලියක සාමාජිකයෝ ප්‍රංශයේ දී මරා දැමීම් නිසා රටින් පැන ගියා.

      ඒ අය වෙතින් හැදුනු ඇමෙරිකාව කියන රට ආගමික නිදහස ඕනෑම ආගමක් (දෙයියෝ ඉන්න හා දෙයියෝ නැති) අදහන්නට මෙන් ම ආගමක් අදහා නොසිටින්නට ද හැකියාව නීතියෙන් ස්ථාපිත කළා.

      දෙවියන් අදහන්න හෝ අදහන්නෙ නැතිව ඉන්න නිදහස දෙකම ඇමෙරිකාවේ ව්‍යවස්ථාවෙන් ස්ථාපිතයි. ජීවිතයට, නිදහසට හා සතුට සොයා යන ගමනට (life, liberty and pursuit of happiness) ව්‍යවස්ථාවෙන් පුරවැසියන්ට ලබා දී ඇති අයින් කරත නොහැකි අයිතීන්. ලෝක ඉතිහාසය සහ ඇමෙරිකාව බිහිවෙච්ච පසුබිමත්, ඒ වගේ ම ඇමෙරිකන් ව්‍යවස්ථාව අවබෝධයටත් හැකියාව ලැබුණ දාට ඇමෙරිකාව කොතරම් ආගමික නිදහසකින් වූ රටක් දැයි දැකගත හැකියි.

      ආගමික නිදහස කියන්නෙ ඕනෑම ආගමක් ඇදහීමටත් වගේ ම කිසිම ආගමක් අදහා නොසිටීමත් ඇති නිදහසයි.

      • dawkinssdodo said, on ජනවාරි 8, 2012 at 1:10 ප.ව.

        හිතවත් අරුණි,
        මම ලියා ඇති වාක්‍යය නැවත කියවා බලන්නේ නම් මැනවි. “ඇමරිකාව මොන තරම් ප්‍රගතිශීලි වුනත්” කියන විට මම කතා කරන්නේ ව්‍යතිරේකයක් ගැන යැයි මම සිතුවෙමි. දීර්ග ප්‍රතිචාරයට බොහෝ තුති. 😉
        මම ඇමරිකාව හෙලා දැක්කා නොවේ. 🙂

        • arunishapiro said, on ජනවාරි 8, 2012 at 9:59 ප.ව.

          හිතවත් dawkinssdodo,

          ප්‍රතිචාරයක් දැක්කාම එය ලියූ අය ගැන හිතනවාට වඩා ප්‍රතිචාරය ගැන හිතලා උත්තර දෙන සිරිතක් මට තියෙනවා. ඒ නිසා උත්තරය dawkinssdodo වෙනුවෙන් විතරක් නෙමෙයි, කියවන අනිත් අයටත් තොරතුරු ලැබෙන්නයි ලියන්නෙ … දීර්ඝ වෙන්නෙ ඒකයි!!!

          ඇමෙරිකාව මොන තරම් ප්‍රගතිශීලි වුනත් මේ අංශය ගැන පසුගාමී යැයි කියද්දී ලෝකයේ තවත් රටක් ඊට වඩා ඒ අංශය ගැන ප්‍රගතිශීලි දැයි සොයන්නත් ඕනා නේදැයි හිතා තමයි එහෙම ලිව්වෙ.

          ඇමෙරිකාව වුවත් අනිවාර්යෙන් ම හෙළා දැකිය යුතුයි, හෙළා දැකිය යුතු දේවල් වලට: උදාහරණයක්: ධනවාදය ලෝකයට ගෙනාපු ඇමෙරිකාව මේ බලන්න කරන විගඩම් … ඇමෙරිකාව මෙහෙම කළාම චීනය, කියුබාව වෙනස් වෙන්නෙ මොනවා කරලා ද? 😀

  10. chandi said, on ජනවාරි 5, 2012 at 11:27 ප.ව.

    නියම කතාව, අර පොරව ගඟට වැටුනම මිනිහට වර තුනක් දීපු කතාව වගේ. බේබද්දන් ඒකෙ ඇලෙන හැටිම තමයි. බෝල්ඩ් අයට විහිළු කරන එකට නම් මමත් වැඩිය කැමති නෑ. කෙනෙකුගේ ශාරීරික ගැටළුවලට සිනහ වීම හොඳමදි නේද? එක එක රටවල නීති පනත් ඒ ඒ රටේ හැටියට වෙනස් වෙනවා නේ.

    • arunishapiro said, on ජනවාරි 6, 2012 at 10:48 පෙ.ව.

      chandi,

      ක්‍රියාත්මක කරත නොහැකි නීතියක් ගෙන ඒම ඵලක් නැහැ. බ්ලොන්ඩ් අය විසින් තමන්ගෙ මෝඩකම ගැන විහිළු කිව්වොත් සිරගත කරනවා ද? නැත්නම් බ්ලොන්ඩ් අයට විතරක් ඒ අය මෝඩ යැයි කියා විහිළු කරන්නට පුළුවන් වෙයි ද? ඒ වගේ ම මෙවැනි නීතියක් ස්ථාපිතයෙන් වෙනත් පළි ගැනීම් සඳහා එය පාවිච්චියට ගැනීමට ඉඩ සැලසෙනවා. අයෙක් බ්ලොන්ඩ් විහිළුවක් කළා යැයි අනිත් අය කියූ නිසා එයාව සිරගත කරන්නට හැකියාව ලැබීම. චාන්දි අක්කා නීතියක් ගෙන ඇවිත් මිනිස්සු තුල ඇති සිතැඟියාවන් වෙනස් කළ හැකි ලෝකයක් කවදා වත් තිබුනේ නැහැ, එහෙම ලෝකයක් හදන්නත් බැහැ. මිනිසා කියන්නේ අපූර්ව වූ මනසක් ඇති නිසා, නීති කඩන්නට ඕනෑ නම් ඒවාට මාර්ග සොයා ගන්නට ද සමත්. දැන් ඔස්ට්‍රියාවේ බ්ලොන්ඩ් අය මෝඩ බව කියන විහිළු කරන්න කැමති අය බ්ලොන්ඩ් වෙනුවට වෙන වචනයක් ආදේශ කරගෙන පටන් ගත්තොත්, එතකොට ඒ වචනයත් තහනම් කරනවා ද?!!!

      ඔයාත් මමත් කැමති නැහැ පමණින් යමක් තහනම් කිරීම ප්‍රමාණවත් නැහැ. හිත රිදෙන කතා කොච්චර ඇහෙනවා ද? ඔයාගෙ හිත රිදෙන කතා වලින් මගෙ හිත රිදෙන්නෙ නැති අවස්ථා ද, තවත් තැනක දී මගේ හිත රිදෙන විට ඔයාගෙ හිත රිදෙන්නෙ නැති කතාවක් ද තියෙන්න කොයි තරම් ඉඩ තියෙනවා ද? හැමෝගෙම හිත රිදෙන කතා ලෝකයෙන් අහක් කරන්න, ඒ සඳහා තහනම් දාන්න ගියොත් මේ ලෝකය ඉතාමත් නිස්සාර ලෝකයක් වෙනවා.

      උදාහරණයක්: දෙසැම්බර් මාසයේ නත්තල්, හනකා, ක්වාන්සා සහ අළුත් අවුරුදු යනාදිය සේරම එකතු කරලා සතුටු නිවාඩු කාලයක් කියා සුබ පතන්න ජනතාව පුරුදු වෙලා. ලංකාවේ බුද්ධාගමේ සිංහලයෙක් ගත්තාම එයා දෙසැම්බර් මාසයේ ඔය එකක් වත් සමරන්නෙ නැති අයෙක් නම්, රැකියාව කරන තැනින් නිවාඩුත් නැත්නම්!!! හිත රිදේවි කියා කිසිත් නොකියා ඉන්නවා ද?

  11. රූ said, on ජනවාරි 6, 2012 at 12:18 පෙ.ව.

    අර කිව්වත් වගේ ජොක්ස් ගැන දුඹුරු හිසකෙස් ඇති බ්ලොන්ඩ්ලා එච්චර ගණන් ගන්නෑ..මේක ඇතිකරන්න ඇතිවුනු පසුබිම් කතාව දන්නැති නිසා මේ ගැන අපි තීරණ ගන්න එක හරි නෑ..

    ඇල්බාමා වල පාරෙදි කුඩ ඉහලන එකත් වරදක් කියලා ලියැවිලා තියනවා…ඒත් ඒක දැන් අදාල වන්නේ නෑ..

    • arunishapiro said, on ජනවාරි 6, 2012 at 10:53 පෙ.ව.

      රූ,

      ඔව් නේන්නම්, දැන් කාලේ ඕනෑම කෙනෙකුට බ්ලොන්ඩ් වෙන්න පුළුවන් එකත් සැලකිල්ලට ගන්න ඕන දෙයක්!

      පසුබිම තමයි නීති ගෙනැවිත් ඒකීය පුද්ගලයන්ගෙ සිතැඟියාවන් හසුරුවන්න පුළුවන් යැයි ලෝකයේ එදත් අදත් පාලකයෝ සිතීම!!!

      ඇමෙරිකාවේ කෙන්ටකි ප්‍රාන්තයේ ලෙක්සින්ග්ටන් කියන නගරයේ පිටිපස්සෙ සාක්කුවක අයිස්කීම් දාගෙන යෑම තහනම්!!! ඉස්සර කාලේ අශ්ව කරත්ත වල බැඳලා හිටපු අශ්වයෝ එහෙම දාගෙන ගිය අයිස් ක්‍රීම් කන්න ගිහින් අශ්ව කරත්තය පෙරලලා කරත්තයේ ඇතුලත හිටපු අයට කරදර වුන නිසයි එහෙම නීතියක් දාලා තියෙන්නෙ. නීති දාන්න හරි ලේසියි. ඒත් නීතියක් අහක් කරගන්න එකඟ වෙන අය ඉන්නෙ ඉතා අඩුවෙන්.

  12. Nihal Gurusinghe said, on ජනවාරි 6, 2012 at 1:07 පෙ.ව.

    එතකොට කොහොමද මේ බ්ලොන්ඩ්ලා මෝඩයි කියන කතාව හැදුනෙ. මගේ ළඟ තියෙනව බ්ලොන්ඩ් ජෝක් පොතක් විතර.

    • arunishapiro said, on ජනවාරි 6, 2012 at 11:03 පෙ.ව.

      Nihal Gurusinghe,

      බ්ලොන්ඩ් හිස කෙස් ඇති අය ලස්සනයි කියලා හිතන අයත් ඒ පාට හිසකෙස් ඇති අයට කැමති අයත් බටහිර වැසියන් අතර වැඩියි. ඒ වගේ ම ඔවුන් ලස්සන නිසා සහ ඔවුන්ට අනිත් අය කැමති වැඩි නිසා ඔවුන් තම බුද්ධිය පාවිච්චි කරන්නේ ද අඩුවෙන් කියා මතයක් ද තියෙනවා. විකිපිඩීයාව ඒ ගැන කියන දේවල් මෙතැන.

      දුඹුරු සහ කළු හිසකෙස් ජානුමය ශක්තියෙන් වැඩි නිසා ඒ පාට හිසකෙස් ඇති අය ලොව වැඩියි. බ්ලොන්ඩ් හිසකෙස් ඇති අය ඒ නිසා ලොව අඩුයි. අඩු තැනින් වතුර බහිනවා කියලා කතාවකුත් තියෙනවානේ.

      ඔස්ට්‍රියාව පැත්තෙ යන්න ඉන්නවා නම් ළඟ තියෙන බ්ලොන්ඩ් ජෝක්ස් නිහාල්ගෙ සටහන් වලට එකතු කරන්න කළින් ඒකටත් එහෙ දී සිර දඬුවම් විඳින්න වෙයි දැයි හොයා බලන්න.

      කියන්න අමතක වුනා, මට තියෙන්නෙ පොදු සිංහල මුහුණක් නිසා නිහාල්ට දැකලා පුරුදු වගේ හිතෙන්නැති! ලෝකය දකින්න දකින්න කොයි තරම් පුංචි ඉඩ කඩක අපි ඉන්නවා දැයි කියලාත් හිතෙනවා!!!

  13. dayal-bathee said, on ජනවාරි 6, 2012 at 2:08 පෙ.ව.

    //සවුදි අරාබියේ ජනවාරි 1 වැනි දා සිට පිරිමින්ට කාන්තා යට ඇඳුම් විකිණීම තහනම්.//
    පිරිමින් කාන්තා ඇඳුම් මිලදී ගැනීමට ගියොත් ඒ අයට විකුණන්න එපා කියන එකයි හරි තේරුම , හික්, හික්, විහිලුවක් කලේ..

    නිව්ෆියා නම් මරු පොරක් මගේ, සහෘදයෙක් වගේ කියල හිතෙනව.

    මාත් දැකල තියෙනවා අත හෝදන ක්‍රමය සඳහන් පෝස්ටර්.
    හෝදන නිවැරදි ක්‍රමය සඳහන් කිරීම අවශ්‍යයි.
    දැන් මිනිස්සු මතක තබා ගැනීම අඩු කරමින් යනවනේ

    • arunishapiro said, on ජනවාරි 6, 2012 at 11:16 පෙ.ව.

      dayal-bathee,

      ඔව්, ඔහොම ගියොත් ආදරවන්තයින් ගෙන් තෑගි ලැබෙන්නෙ නැති කාලයක්, මහත්තයාව ඇරලා බඩු ගේන්න විදියක් ලැබෙන්නෙ නැති කාලයකුත් එයි!!!

      අනික, ඕවාට කොහොමටත් හුදී ජනයාට ඉඩක් නැහැනෙ අරාබිකරයේ .. ඇහුනා ද වරක් ඉරාන ජනාධිපති අහමදීනජාඩ් කිව්වනෙ ඉරානයේ නම් සමරිසියන් නැහැ කියල. ගැහැණු අඳින වස්ත්‍ර අඳින පිරිමි අයත්, පිරිමි අඳින වස්ත්‍ර අඳින ගැහැණු අයටත් ඉඩ නැතිව ඇති. ඒත් සල්ලි තියන පෝසත් අය යන්නෙ පැරිසියට, ලන්ඩනයට හා නිව් යෝර්ක් වලට, කැමති දේවල් කරන්න. සේරම නීති දුප්පතාටමයි!

      මිනිසා ඉදිරියට යන්නෙ පුංචි කාලේ ඉගෙන ගත්තුවා වෙනුවට ලොකු ලොකු වෙනකොට අළුත් අළුත් දේවල් ඉගෙන ගැනීමෙන්. තාම මෙහෙ ප්ලේන් වල යන අයට සීට් බෙල්ට් දාන හැටි පෙන්වනවා!! ඒ රටේ වාහනයක සීට් බෙල්ට් දමා නොතිබීම දඩ ගෙවිය යුතු වරදක් වන රටක. වාහනයක ගිහින් නැති අයෙක් ප්ලෙන් එකේ ඉන්නවා කියලා හිතලා වෙන්නැති ප්ලේන් එකේ ඉන්න හැමෝටම සීට් බෙල්ට් දාන හැටි පෙන්වන්නේ. හැබැයි ඒකත් ඉතින් මහජන ගුවන් යානා වල විතරයි. පුද්ගලික ප්ලේන් තියන අයට සීට් බෙල්ට් නැතිව යන්න පුළුවන්!!!

      කාලය හා මුදල් නාස්ති වෙන නිස්සාර වැඩ වලින් කරන්නෙ ජනතාවගේ හිත සුව පිණිස ජනතාව හිතන්න බැරි මෝඩයන් කරන දාහක් නීති රෙගුලාසි ගෙනැවිත් පාලකයෝ බලය වැඩි කරගන්න එකයි.

  14. නවම් said, on ජනවාරි 6, 2012 at 3:14 පෙ.ව.

    හුහ්..ඇමරිකාවෙ විතරක් මොකෝ.. මෙහෙත් තියෙන්නෙ ඔය ..

    අංගොඩ ඉන්න තරමක් ඉන්නෙ පිස්සො, තුම්පනේ ඉන්නෙම මෝඩයො, ඒ මදිවට හඳට පොලු ගහපු උන් ඉන්න ගමකුත් තියනව.

    • arunishapiro said, on ජනවාරි 6, 2012 at 11:22 පෙ.ව.

      නවම්,

      මේක ඇමෙරිකන් නීතියක් නෙමෙයි ඔස්ට්‍රියා වල. ඒත් අද ඇමෙරිකාවේ ද ඔය වගේ නීති සෑහෙන්න තියනවා. ඇමෙරිකාවේ කළු අයට එකිනෙකාට නීග්‍රෝ කියා කියාගන්න අවසරය තියෙනවා. ඒත් කළු හම නැති අය (මටත් මෙහෙ දී කළු හම නැහැ කියලා කියන්නෙ!!!) එයාලට නීග්‍රෝ කියන්න අවසර නැහැ, ඒක ඔවුන්ව හෑල්ලුවට ලක් කිරීමක්.

      ඔව් නවම් මල්ලි, ඔය වගේ කතන්දර ඕනෑ තරම් හැම රටකින් ම හැම ජාතියකින් ම, හැම ජන කොට්ඨාශයකින් ම හොයා ගන්න පුළුවන්. අර චාන්දි අක්කාට කිව්වා වගේ ඒවා සේරම තහනම් කරන නීති ගෙනාවොත් ලෝකය හරිම නීරස තැනක් වෙයි. ඉතිහාසයත් මකා දාන්න වෙයි.

  15. aravinda said, on ජනවාරි 6, 2012 at 4:43 පෙ.ව.

    ඇමෙරිකන් නිදහස් ප්‍රඥප්තිය කියන්නේ අවනතවීම ගැන ය
    Perfect.
    If you are not agreed with us we will kill you or sack you.
    Practically we proved that and will prove it Do not worry.

    • arunishapiro said, on ජනවාරි 6, 2012 at 12:51 ප.ව.

      aravinda,

      නැහැ අරවින්ද, ආණ්ඩුවට අවනත වීම ගැන නෙමෙයි එහෙම කියන්නෙ. මිනිසා විසින් මිනිසුන් සඳහා අත්සන් තැබූ ගිවිසුමට අවනත වීම ගැන. ගිවිසුම තමයි ඒකීය පුද්ගලයන්ට තමන්ගේ ජීවිතය, නිදහස සහ සතුට සොයා යන්නට ඇති අයිතිය අයින් කරත නොහැකි බවට හැමෝම එකඟ වීම.

  16. Sudath said, on ජනවාරි 6, 2012 at 7:52 පෙ.ව.

    1776දී නිදහස් ප්‍රඥප්තිය අත්සන් කරපු අමෙරිකා එක්සත් ජනපදය තවමත් ක්යෝතෝ ප්‍රඥප්තිය (http://en.wikipedia.org/wiki/Kyoto_Protocol) අත්සන් කළේ නැත්තේ ඇයි?

    • arunishapiro said, on ජනවාරි 6, 2012 at 12:57 ප.ව.

      Sudath,

      1776 දී අත්සන් කරපු ඇමෙරිකා නිදහස් ප්‍රඥප්තිය ඇමෙරිකාවේ වැසියන් වෙනුවෙන් ඇමෙරිකාවේ වැසියන් නියෝජනය කරන අය විසින් අත්සන් තැබූවකි. ඒක ලෝකයේ අනිත් රටවල ඉන්න අයට ගෙනා රෙගුලාසි නෙමෙයි.

      Kyoto Protocol කියන්නේ වෙනත් රටවල අය විසින් තවත් රටවල අයට අත්සන් කරන්න කියන්නක් නොවේ ද? ඒ ඒ රටවල අය කරනා පරිසර දූෂණ ගැන කිසිත් දඬුවම් කරන්නට නොහැකිව යම් රටක් ඒ නීති වලට එකඟයි කියා අත්සන් තැබීම හරියට බ්ලොන්ඩ් ජෝක්ස් තහනම් කළා වගේ ක්‍රියාත්මක කළ නොහැකි, කඩන අයව හරියට අල්ලා ගන්න බැරි, ඒ නිසාම වරද කරන සියල්ලන්ට ම දඬුවම් දෙන්නත් බැරි නීතියක් වෙනවා. මොන එහෙකට එහෙම දේකට අත්සන් කරනවා ද?

      • සුදත් said, on ජනවාරි 7, 2012 at 2:28 පෙ.ව.

        එතකොට ඇයි මොන්ට්‍රියල් ප්‍රඥප්තියට අත්සන් කළේ?

        • arunishapiro said, on ජනවාරි 7, 2012 at 11:50 පෙ.ව.

          සුදත්,

          ජාත්‍යන්තර දේශපාලනයේ දී protocol කියන්නෙ ජාත්‍යන්තර සබඳතා පැවැත්වීමේ දී කරන්නා වූ ශිෂ්ට රීති යටතට වැටෙන්නක්. යම් කටයුත්තක් කළ යුත්තේ කෙසේ ද යන්නට මඟ පෙන්වන රීති සමූහයක් තමයි ප්‍රඥප්තියක් වෙන්නෙ.

          මහරැජින බලන්න බකිංහැම් මාලිගාවට යන අයට ඇය හා සබඳතා පවත්වන ශිෂ්ට රීති සමූහයක් තියෙනවා. එකක් තමයි ඇය අතට අත දුන්නොත් අතට අත දුන්නාට ඇයව තමන් අතින් ඇල්ලීම නොකිරීම. ඒක ශිෂ්ට රීතියක් නිසා ආයේ බංකිහැම් මාලිගාව පැත්තෙ යන්න බැරි වෙන එක තමයි එකම දඬුවම. ඒ ශිෂ්ට රීතියට අකමැති නම් මහරැජින බලන්න යාමෙන් වැළකී සිටිය හැකියි. ආරාධනාවක් ආවොත් ප්‍රතික්ෂේප කළාම ලැබෙන දඬුවම තමයි නැවත ආරාධනා නොලැබීම!!

          අත්සන් කරපු මොන්ට්‍රියල් ප්‍රඥප්තියේ ඇති ශිෂ්ට රීති වලට අත්සන් කරපු රටවල් 198 ක නියෝජිතයෝ ප්‍රඥප්තියේ තිබිච්ච ශිෂ්ට රීති වලට කැමැති වෙච්ච නිසා. ඇයි කියෝතෝ ප්‍රඥප්තියට අත්සන් කරලා නැත්තෙ? ඒකෙ තියන ශිෂ්ට රීති වලට අකමැති නිසා.

          කැමැත්තෙන් අත්සන් ගහන ගිවිසුමකට අත්සන් තියන්නත් අත්සන් නොතියන්නත් හැකියාව තියන නිසා එකකට එකඟ වුන පළියට අනිකට එකඟ විය යුතු නැහැ.

  17. Gordonia Ceylanica said, on ජනවාරි 6, 2012 at 10:20 පෙ.ව.

    ආදරණීය අත්තම්මේ,
    මම කළේ විහිළුවකි…
    ඔබේ කෙටි කතා ටික කියවීමට සිතා ගත්තෙමි,
    ඒවා රසවත් යැයි සිතමි…
    මක් නිසාද යත් මම කෙටි කතා වලට ප්‍රිය කරන හෙයිනි,
    ගස් කොලන් ගැන ඇති ඒවා කියවීමට කැමතියි,
    නවකතාව නම් කියවන්න බැරි වෙයි,
    ඔක්කොම එකම දේ කරොත් ඒකෙන් වැඩක් නෑ තමා,
    ඒක ඇත්ත,
    බලන්නම් ආය වෙලාවක ඇවිත් මේ පැත්තෙ….

  18. Sudath said, on ජනවාරි 12, 2012 at 9:11 පෙ.ව.

    ඔබ කියන්නේ……
    ක්යෝතෝ සම්මුතියට අත්සන් නොකිරීමට හේතුව වරද කරන අයට දඬුවම් කළ නොහැකි වීමද
    නැත්නම්
    ඒකෙ තියෙන රීති වලට එකඟ නොවීමද?
    ඔබගේ පිළිතුරු දෙක පරස්පර බවයි මට පේන්නෙ.
    කැමති කෙනකුට කැමති දේකට අත්සන් කරන්න පුළුවනි. මගේ පළමු කමෙන්ට් එකෙන් අහල තිබුනෙ අත්සන් නොකිරීමට හේතුව. ඔබ කීවා වරද කරන අයට දඬවම් කිරීමේ බලයක් නොමැති සම්මුති වලට අත්සන් කිරීමේ තේරුමක් නැති බවක්. එසේනම් වෙනත් එකකට අත්සන් කළේ එහි වරදකරුවන්ට දඬුවම් කිරීමේ හැකියාවක් තිබෙන නිසාදැයි අසන විට ඔබ කියන්නේ කැමැත්ත අනුව එය කළ බව.
    මෙතැනදි මට මතක් වෙන්නේ ඇලිස් දුටු විස්මලන්තයේ සංවාදයන් සහ “හතර බීරි කතාවේ” සංවාදයන්.
    මොන්ට්රියල් ප්රමඥප්තියට අත්සන් කළත් ඇමරිකාවට ක්යෝතෝ ප්ර ඥප්තියට අත්සන් කරන්නට බැරි දෙවැන්නේ කොන්දේසි නොකඩා සිටින්නට ඇමරිකාවට නොහැකි නිසයි. ඇමරිකාව ලෝක පරිසරය ගැන සංවේදී නැහැ.

    • arunishapiro said, on ජනවාරි 12, 2012 at 10:12 පෙ.ව.

      Sudath,

      මම දකින විදියට සුදත්, යම් එකඟතාවයට අත්සන් කිරීමේ දී, දඬුවම් කළ නොහැකි රෙගුලාසි තිබීමත් සහ තියන රීති වලට එකඟ නොවීමත් දෙකම ගිවිසුමට එකඟත්වය පා අත්සන් නොකරන්න පරස්පර විරෝධී නොවන හේතු. වරදක් කරන අයෙකුට දඬුවමක් දීමට නොහැකියාව එහි ඇති රීතියේ වරදක්.

      උදාහරණයක් මෙන්න: ෆ්ලොරීඩාවේ මිලියන ගණනින් වටිනා නිවාස ඉදි කිරීම සඳහා චීන කොන්ත්‍රාත්කරුවන්ට අවස්ථාව පෑදුනා නිදහස් වෙළඳපොල යටතේ. ඒ කියන්නෙ ෆ්ලොරීඩාවේ ඉන්නා ඇමෙරිකන් කොන්ත්‍රාත්කරුවන්ට වඩා අඩු වියදමින් තමන්ට කළ හැකි බව පෙන්වා චීන්නු කොන්ත්‍රාත්තු දිනාගත් නිසා. ඒත් චීනය ඇමෙරිකාව පිළිපදින නීති රීති කඩ කරමින් පරිසරය දූෂණය විතරක් නෙමෙයි එහි වැසියන්ට ද හානිදායක විෂ ඇති බිත්ති වලින් හා අඩුපාඩු සහිත නිවාස හැදුවා. ඇමෙරිකාවේ නීතිය ක්‍රියාත්මක වන නිසා ඒ නිවාස හිමියන්ට චීන කොන්ත්‍රාත්කරුවන්ට නඩු දාලා වන්දි ගන්න පුළුවන්. හිතන්න වෙන රටක, විශේෂයෙන් ම චීනය අද අප්‍රිකාව පුරා, දකුණු ආසියාව පුරා ගිහින් කරන ඉදි කිරීම් වල දී කියෝතෝ රීති කොතරම් කඩනවා ද යැයි ඒ රටවල ඉන්නා කොන්ත්‍රාත්තු වලින් මල්ල පුරවා ගන්නා පාලකයන් නිසා ජනතාවට වන්දි ඉල්ලන්නට තියා දැනගන්නට වත් හැකියාවක් ලැබෙනවා ද කියා.

      ඇමෙරිකාවට පුළුවන් තම රටේ පරිසර දූෂණ කරන කොම්පැණි වලට සහ ඇමෙරිකාවේ ඉන්නා විදේශ කොන්ත්‍රාත්කරුවන්ට විරුද්ධව නඩු පවරා වන්දි ලබාගන්න. ඒත් තවත් රටක චීන්නු හෝ වෙනත් රටක අය විසින් කරන පරිසර දූෂණ, හානිකර විෂ වායු නිකුත් කරන බිත්ති ගැන ඇමෙරිකාවට නඩු දාන්න බැහැනෙ.

      ඉතින් එවැනි ඉඩක් ලැබෙන ප්‍රඥ්පතියකට අත්සන් තැබිය යුත්තේ ඇයි? අත්සන් තබා වසර 3 ක දී අත්සන් තැබූ ඕනෑම රටකට ඉන් ඉවත් වෙන්නට ද හැකියාව තියෙන්නක්.

      කැනඩාව එක්ක ජපානය හා රුසියාවත් ඉන් පැනෙන නව නීති වලින් අයින් වෙන්න සැලසුම් කරනවා. කැනඩාව 2010 දී ඉන් අයින් වෙනවා.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: