අරුණි ශපීරෝ‍ වෙතින්

2012 අනතුරුදායක මැතිවරණ වසරකි, චීනයේ හැර!

Posted in Uncategorized by arunishapiro on ජනවාරි 9, 2012

මැතිවරණ වසරවල් මට එපා වෙලා -මෙක්සිකෝව (I hate election years – Mexico)
කඳු තරම් ලොකු මඩයි වැදෙන්නෙ -ප්‍රංශය (There is a mountain of mud being slung -France)
සිලියන් ගණන් ඩොලර් වැය කෙරෙනවා -ඇමෙරිකාව (Zillions of dollars being spent -USA)
අර චන්ද පෙට්ටි පුරවන්නත් ඕනා -රුසියාව (And all those ballot boxes to stuff -Russia)
අඩු ගානේ ඔයාලට මැතිවරණ වසරක් තියෙනවා එපා වෙන්න -චීනය (At Least you have an election year to hate -China)

වැඩි කාලයක් පාලන බලයේ සිටීමෙන් පාලකයෙක් දූෂිතයෙක් විය හැකිය. පාලන වාර සීමා කිරීම, යම් පාලකයෙක් වඩා බලවත් වීම වළක්වා ලන්නට ව්‍යවස්ථා පනත් වලින් හදා ගත් උත්සාහයකි.

මෙක්සිකෝවේ ජනාධිපතිවරයෙකුට පාලන බලය ලැබෙන්නේ වසර 6 කට පමණි. මේ මෙක්සිකෝවේ ජනාධිපති ෆිලීපේ කල්දෙරෝන් ගෙදර යන වසරයි. මෙක්සිකෝවේ අපරාධ අඩු කරන්නට යුද හමුදාව ශක්තිමත් කරපු කල්දෙරෝන්ට රටේ මිනීමැරුම් වැඩියෙන් දකින්නට ලැබිණ. 2012 ජූලි 1 වැනි දා පැවතෙන මහ මැතිවරණයෙන් අළුතින් ජනාධිපතිවරයෙක් පත් වූවත්, තවත් රටේ නීති දැඩි කළත්, එහි සැලකිය යුතු වෙනසක් සිදුවේ යැයි අනුමාන කරන්නට නොහැකි ය.

පසුගිය වසරේ දී ප්‍රංශයේ ජනාධිපති තරඟයේ ඉදිරියෙන් ම සිටි ඩොමිනික් ස්ට්‍රවුස් කාන් ඇමෙරිකාවේ දී හෝටල් සේවිකාවක් කළ චෝදනාවෙන් මඩ කන්දකට යට වූයේ ය. 2012 අප්‍රේල් 22 වැනි දා ප්‍රංශයේ ජනාධිපතිවරණය පැවැත්වේ. ඉන්නා ජනාධිපති නිකලස් සාකෝසී ඔහුගේ ජනප්‍රිය පක්ෂයේ (Union pour un Mouvement Populaire, UMP) විරුද්ධතාවයක් නොමැතිව නැවත තරඟ කරන්නේ ය. 2011 පැවති කලාපීය හා පළාත් සභා මැතිවරණ වලින් වසර 50 කට වඩා කාලයකට පසුව සමාජවාදී පක්ෂය වැඩි ආසන දිනා ගන්නට සමත් විය. එය ග්‍රීක ශෝකාන්තය දැක කලබල වූ ජනතාව නිසා දැයි නැත්නම් සාකෝසීට අකමැති නිසා දැයි කියා දැනගන්නට ජනාධිපතිවරණයේ දී හැකි වේ දැයි සැක ය.

මේ දිනවල ඇමෙරිකාවේ ෆුට්බෝල් playoffs පැවැත්වෙන කාලයයි. තරඟ සමයේ ජයගත් පිල් එකිනෙකා හා තරඟයෙන් අවසන් තරඟයට එන්න උත්සාහයකි ඒ. ඇමෙරිකාවේ රිපබ්ලිකන් පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂක තෝරන playoffs පැවතෙන කාලය ද මෙයයි!! දැනටමත් ඉන් අපේක්ෂකයන් දෙදෙනෙක් ගෙදර ගිහින්. තවත් දෙදෙනෙක් ගෙදර යන දිනය නුදුරු යැයි සිතමි. මිට් රොම්නි අතින් ගෙවා තමන් රැස්වීම් පවත්වන නගරශාලා වල සියළු බරපැන සමඟින් නිව් හැම්ප්ශයර් නගරයක පොලීසියේ වැය පවා පියවූ බව නගරාධිපති කියා සිටියේ ය. පත් වෙන්න කළින් තමන් අතින් වියදම් කරගෙන දේශපාලනයේ යෙදුනාට ජනාධිපති වූවාට පස්සෙ වියදම් කරන්නෙ පුරවැසියන්ගෙ සල්ලි.

රුසියන් සත්‍යලබ්ධික පල්ලිය කියන්නේ රුසියාව ජනතා විරෝධයට සවන් දිය යුතු බවයි. දෙසැම්බර් 4 වැනිදා පූටින් තම වාසියට චන්ද පෙට්ටි පිරෙව්වා යැයි රුසියන් ජනතාව පෙලපාලි ගියහ. බ්ලොග් ලියන්නෙකු හා අල්ලස් දූෂණ විරෝධිතයෙකු වූ Alexei Navalny දවස් 15 ක් බන්ධනාගාර ගත කිරීම නිසා ද රුසියාවේ පක්ෂ සියල්ල එකතු වී විරෝධය පෑහ. 1917 ඔක්තෝබර් විප්ලවය හා 2011 දෙසැම්බර් විප්ලවය සමාන වූයේ පෙලපාලි වලට පාරට බැසීමෙන් පමණි. මිනීමරා ගැනිලි සිද්ධ නොවූයේ සැමගේ උවමනාව පූටින් එලවා දැමීම වූ නිසා ය. එහෙත් දෙසැම්බර් 25 වැනිදා විරෝධතා සංවිධාකයෙකු වූ Sergei Udaltsov සිරගත විය. බලය සඳහා තරඟ කරත හැකි වාර සීමා කළත්, පූටින් වැනි, රූකඩයන් නටවන්නට දක්ෂයෙක්ව, ගෙදර යවන්නට ජනතාවගේ උද්ඝෝෂණය කොතරම් වැදගත් ද යන්න 2012 දී දැකගත හැකිවේ දැයි සැක ය. එහෙත් බඩගින්නේ මිනිසුන් මිය යන්නේ නැතැයි කියූ වෝල්ටර් ඩුරාන්ටි වැන්නන්ට නම් අද තැනක් නැති බව අන්තර්ජාලයේ ස්වාධීන රුසියන් තොරතුරු වලින් දැනගත හැකියාව සතුටට කරුණකි. ඉන්දියාවේ අන්නා හසාරීගෙ උපවාසයට සහයෝගය දෙන්නේ නම් Sergei Udaltsovගේ උපවාසයට සහයෝගය දෙන්නට පසුබට ඇයි?

2012 දී චීනයේ පාලකයන් වෙනස් වෙනු ඇත. එහෙත් ජනතාවගේ කැමැත්තක් විමසීම සිද්ධ නොවේ. “දේශපාලනයේ යෙදීම ප්‍රතික්ෂේප කිරීමෙන් ලැබෙන දඬුවමක් නම් ඔබ, ඔබට වඩා බාලයන් වෙතින් ආණ්ඩු වීම ය.” -ප්ලේටෝ ‎”One of the penalties for refusing to participate in politics is that you end up being governed by your inferiors.” -Plato මා ඕ සේතුං වෙතින් ආණ්ඩු වී හාමතෙන් මිය ගිය මිලියන ගණන් චීන්නු දේශපාලනයේ යෙදීම ප්‍රතික්ෂේප කළවුන් ද? අද ඉන්නා චීන්නු තව කොපමණ කාලයක් තම බඩගින්න නිවාලීමට දන්නවා යැයි කියන පාලකයන්ට නීති ගෙනෙන්නට බාර දී සිටිනු ඇත් ද?

බලයේ ඉන්න අයට ඉහළ පඩි ගෙවීමෙන් ඔවුන් දූෂිතයෝ නොවනු ඇතැයි ලොව තවත් විශ්වාසයකි. මේ නිසා සිංගප්පූරුවේ පාලකයන් ලෝකයේ වැඩියෙන් ම වේතන ලබන අයයි. දූෂිත නොවන්නට ඇමෙරිකන් ඩොලර් මිලියන 1.3 ක් (සිංගප්පූරු ඩොලර් මිලියන 1.6 ක්) පමණ වසරකට ඔවුන්ගේ වේතනය සේ ලැබේ. සිංගප්පූරුවේ අගමැති Lee Hsien Loong වසරකට සිංගප්පූරු ඩොලර් මිලියන 3.4 ක් ලබයි. බරාක් ඔබාමාට ලැබෙන වසරක වේතනය ඇමෙරිකන් ඩොලර් 400,000 කි. එනම් සිංගප්පූරු ඩොලර් 517,000 ක් පමණි.

ඒත් දැන් සිංගප්පූරුවේ ජනතාව විසින් දූෂිතයෙක් නොවන්නට දේශපාලනඥයෙකුට කොතරම් ඉහළ මුදලක් වේතනය වශයෙන් දිය යුතු දැයි ප්‍රශ්න කරන්නට පටන් ගෙන ය. ඒ නිසා පසුගිය වසරේ දී බලයේ සිටි පක්ෂයට ලැබුණු චන්ද ප්‍රමාණය අඩු වූ බව ‘ද ඉකොනොමිස්ට්’ සඟරාව කියයි. ජනවාරි 4 වැනි දා ඒ ගැන සොයා බලන්න පත් කළ ස්වාධීන කමිටුව රෙකමදාරු කළේ ආර්ථිකය වියවුල් මෙවැනි කාලයක අගමැති විසින් 36% කින් වේතනය අඩුවෙන් ලබාගත යුතු බවත්, ඇමතිවරු තවත් අඩුවෙන් වේතනය ලැබිය යුතු බවත්, හිටපු ජනාධිපතිවරුන්ට විශේෂ විශ්‍රාම පහසුකම් කප්පාදුව ලැබිය යුතු බවත් යනාදී වෙනස්කම් බොහොමයකි. ඉතින් අනිත් රටවල දකින්නට ඇති අනතුරුදායක මැතිවරණ සිංගප්පූරුවේ දකින්න වෙන්නෙ නැති වේවි ද?

සිංගප්පූරුවේ ජනතාව කොච්චර කාලයක් යනකම් කැමති වෙයි ද අල්ලස් දූෂණය නොයෙදෙන පමණින් ඇමති කෙනෙක්ට සිංගප්පූරු ඩොලර් මිලියන 1.1 ක් වසරකට ගෙවන්න? සිංගප්පූරැවේ මෙන් කාලාන්තරයක් බලයේ සිටියත් අල්ලස් දූෂණයේ නොයෙදෙන පාලකයෝ අවශ්‍ය ය. එහෙත් ඇයි බැරි ඔවුන්ට සෙසු වැසියන් සේ තරඟකාරී වේතන ලබන්නට?

Advertisements

21 Responses

Subscribe to comments with RSS.

  1. ඉන්දික උපශාන්ත said, on ජනවාරි 9, 2012 at 10:04 පෙ.ව.

    ඉතාලියෙත් පඩි කපන්න අරන්! ලංකාවෙනං පඩි ආයි වැඩිකරන්න යන කතාවකුත් තීනව කියන්නෙ. සිංගප්පූරුවට වඩා අපි දියුණුවෙන්නනෙ යන්නෙ , ඒ නිසා වෙන්ටැ!
    අනික පාලයන්ගෙ පඩි කපන්න කලින් අර බෝනස් කපන්න ඕන කියපු ඇමරිකන් රැල්ලට මොකද උනේ?

    • arunishapiro said, on ජනවාරි 9, 2012 at 10:41 පෙ.ව.

      ඉන්දික උපශාන්ත,

      පහළ අයගෙ පඩි වැඩි කළොත් ඉහළ අයගෙ පඩි වැඩි කරගන්නත් ඇහැකි. කවුරුත් කෑ ගහන්නෑ එතකොට. සල්ලි අච්චු ගහන්න හැකි තාක් කල් එහෙම යයි. ඉතාලියත් ආපහු ඩ්‍රාහ්ක්මා වලට ගියොත් සල්ලි නැවත අච්චු ගහලා පඩි වැඩි කර ගනීවි!!

      ඔව්, ජෙනරල් මෝටර්ස් අය බංකොළොත් බවින් බේරා ගන්නට සල්ලි ඉල්ලා පුද්ගලික ගුවන්යානා වලින් වොෂිංටන් ආවා කියල අවවාද කළ ඔබාමා එයාගෙ ආණ්ඩුවේ සල්ලි දීපු සොලින්ඩ්‍රා කොම්පැණිය බංකොළොත් වෙද්දී ඒකෙ තමන්ට සපෝට් දීපු අයට කළින් ම මුදල් ලබා ගන්න ඉඩ දුන්නා යැයි දැන් නඩු. බෝනස් ගැන හා හූ කිසිවක් නැහැ දැන්. වැඩියෙන් ම හැබැයි බෝනස් දෙන කොම්පැණි වලට මේ දවස්වල ලාභ නැති නිසා. ඇපල් කොම්පැණියෙ ඉහළ අයට දුන්න බෝනස් නම් මිලියන 60 ක් කියන්නෙ. ඒත් පුරවැසියන්ගෙ බදු මුදල් ගත්තු කොම්පැණියක් නොවෙයි නිසා නෙමෙයි ඒකෙ බෝනස් ගැන කවුරුත් පාලකයෙක් කෑ නොගසන්නෙ. ඇපල් කඩේකට ගියොත් පාරිභෝගිකයො පිරිල. ඒකෙ අයගෙ බෝනස් ගැන කතා කරන්න ගියොත් කිසිම දේශපාලනඥයෙක්ට ආයේ චන්දෙ ලැබෙන එකක් නැති නිසයි.

      අළුත් ඇපල් මැක්බුක් එයාර් ලැප් එකට ගියාට පස්සෙ Sett deco තියන කිසිම වෙබ් අඩවියක් කියවත හැකියාව මට නැතිවුනා. ඉන්දිකගෙ අඩවියෙත් අකුරු අතරින් කොටු වැටිලා තමා පේන්නෙ.

  2. arunishapiro said, on ජනවාරි 9, 2012 at 11:04 පෙ.ව.

    ඇමෙරිකාවට අඩුගානේ මෙයාවත් ඉන්නවා!!!

  3. ravi said, on ජනවාරි 9, 2012 at 11:47 පෙ.ව.

    මේ සිංගප්පූරුවෙ දේශපාලකයන්ට වැඩි පඩි ගෙවන ක්‍රමය ගැන මගෙ නම් එදා ඉඳලම පැහැදීමක් තිබුණෙම නෑ. ව්‍යාංගාර්ථයෙන් ඒ දෙන්නෙත් අල්ලසක් කියලයි මම හිතන්නෙ….තමන්ට අවශ්‍ය දෙයක් කරවා ගැනීමට සදාචාරාත්මක සහ/හෝ නීත්‍යානුකූල නොවූ ගෙවීමක් කිරීම අල්ලස….එතකොට සිංගප්පූරු ජනතාව අදූෂිත පාලනයක් තමන්ට ලබාගැනීම වෙනුවෙන් අධික වැටුප් නම් අල්ලස් දෙනව මාස් පතා තම පාලකයන්ට….මේ ක්‍රමය සදාචාරාත්මකද?

    • arunishapiro said, on ජනවාරි 9, 2012 at 12:08 ප.ව.

      ravi,

      ඔව් ඒක හැමෝගෙම දැනුම ඇතිව, සිංගප්පූරුවේ නීත්‍යානුකූල වූවත් සදාචාරත්මක නොවී දෙන අල්ලසක් විදියට තමයි මාත් දකින්නෙ. ඇයි දේශපාලනඥයන්ට බැරි අනිත් රජයේ සේවකයෝ, ගුරුවරු, දොස්තරවරු, ඉංජිනේරුවෝ, නීතිඥයෝ 😀 වගේ රටේ ව්‍යවස්ථාදායක නීතියට අනුව දූෂිතයෝ නොවී වැඩ කරන්න, නේද?

    • ඉන්දික උපශාන්ත said, on ජනවාරි 10, 2012 at 10:14 පෙ.ව.

      ඇයි දේශපාලකයො වැඩි පඩි නොලැබිය යුතු? ඕනෑම වෘත්තිකයෙකුට තම දක්ෂතා සහ ලබා ගත් ප්‍රථිඵල මත ආදායමේ ඉහල යාමක් තිබෙන විට වඩා වැඩි අවධානමක් ගන්නනා දේශපාලකයින්ටත් තම තීන්දු තීරණ මඟින් අත්පත්කරගන්නා ජයග්‍රහන සඳහා ගෙවීමක් ලැබීම නුසූදුසුද? වඩා හොඳ වෘත්තිකයින් වඩා උසස් ආදායම් මාර්ග කරා යන විට අසමත් වන්නන් දේශපාලනයේ ඉතුරුවීමට වඩා දක්ශයන් දේශපාලනයට අද්දවාගතහෑකි ආකර්ශනීය දීමනාක්‍රමයක් ඵලදායී නොවියහැකිද?
      අද රාජ්‍ය සේවයට ඉල්ලුම්කරන්නේ අසමත්වන්නන් සහ අදක්ෂයින් පමණක් වන්නේ “අපෝ ආන්ඩුවෙ ජොබ් වල හිඟා කනව – පෙන්ෂන් එක විතරයි “යන සංකල්පය නිසාය. එලෙසින්ම “හොරකං කරන්න බැරිනං දේශපාලනේ කරල අන්තිමට හිඟාකන්න තමයි වෙන්නෙ” යන සිතුවිල්ලෙන් දක්ෂයින් දේශපාලනයට නෝඑනේද ඔවුන්ගේ සේවයට සරිලන ගෙවීමක් සිදුනොකෙරෙන නිසා නොවේද? මේ නිසා මගේ අදහස වැඩිපුර නොව උපරිම ගෙවිය යුතුය, නමුත් එය වඩා විනිවිදපෙනෙනා ඇගයීම් ක්‍රමයක් මත පදනම්විය යුතුය යන්නයි.

      • arunishapiro said, on ජනවාරි 10, 2012 at 10:40 පෙ.ව.

        ඉන්දික උපශාන්ත,

        ඔබටත් තුති විකේතකය ගැන දුන් උදව්වට. ඉක්මණින් “සැහැල්ලුව” නැවතත් කියවන්න ලැබේ යැයි සිතනවා.

        නැහැ, දේශපාලකයෝ වැඩි පඩි ලබා ගැනීම ගැන කිසිම අකමැත්තක් නැහැ. ඕනෑම වෘත්තියක දක්ෂතා සහ ලබාගත් ප්‍රතිඵල මත ආදායම වෙළඳපොල ඉල්ලුම මත තීරණය වෙනවා නම් ඒ ගැන කිසිම අකමැත්තක් නැහැ. සිංගප්පූරුවේ කෙරෙන්නේ නිදහස් වෙළඳපොලක ඉල්ලුම හා සැපයුම අනුව මිල තීරණය වීමක් නොව නීති හදන අය විසින් මිල පාලනයක් නෙව.

        මොකක් ද දේශපාලකයන් පමණක් ගන්නා වැඩි අවදානම?

        //වඩා හොඳ වෘත්තිකයින් වඩා උසස් ආදායම් මාර්ග කරා යන විට අසමත් වන්නන් දේශපාලනයේ ඉතුරුවීමට වඩා දක්ශයන් දේශපාලනයට අද්දවාගතහෑකි ආකර්ශනීය දීමනාක්‍රමයක් ඵලදායී නොවියහැකිද?// නැහැ, හැමවිටම වඩා හොඳ වෘත්තිකයන් වඩා උසස් ආදායම් මාර්ග කරා යන්නෙ නැහැ. උදාහරණයක්, නොබෙල් රසායන විද්‍යාවට තෑග්ග ලබපු ආචාර්ය නිගිෂිට පුළුවන් කම හා අයිතිය තිබුණා තම සොයාගැනීම් වලින් මහත් ධනස්කන්ධයක් සොයා ගන්න. ඒත් එයා ඒ වෙනුවට ඒ සොයාගැනීම් මහජන සුබ සාධනය වෙනුවෙන් ලෝකයේ ඕනෑම රටක අයෙකුට පාවිච්චියට ගන්නට නොමිලේ ඉදිරිපත් කළා. එයාගේ අභිප්‍රාය වූයේ නොබෙල් තෑග්ග මිසක් ධනවස්තුවක් නෙවෙයි. නොබෙල් තෑග්ගට ලැබෙන මුදලට වඩා මහත් මුදලක් ඒ සොයා ගැනීම් ඇමෙරිකන් ව්‍යපාරික සමාගමකට විකුණුවා නම් ඔහුට ලබා ගන්නට හැකි වෙන්න තිබුණ නිසා.

        අපිට කියන්න තියා සිතාගන්න වත් බැහැ ඒකීය පුද්ගලයාගේ සතුට සොයා යන ගමෙනේ ඇති අභිප්‍රායයන් මොන මොනවා ද කියලා. ලොව බිලියන හතකට සිතන්න පුළුවන් දේවල් ගණනය කළ නොහැකියි.

        ඒවා හැම විටම ධනය සෙවීමේ පරමාර්ථය පසුබිම් වූ යැයි සිතීම තමයි ලෝකයේ මහත් ජනතාවක් කරන ලොකු ම වැරැද්ද.

        ඇමෙරිකාව උපයන ආදායම ලෝකයේ අන් රටවලට වඩා ට්‍රිලියන ගණනින් ඉස්සරහින් තියෙන්නේ මේ නිසා. එනම්, පුද්ගලයන්ට තම ඒකීය වූ සතුට සොයා යන ගමනට ඉඩක් ඇති නිසා. ස්ටීව් ජොබ්ස්ට දෙවනාගිරි අක්ෂර ඉගෙනීම නිසා මැක් වලට අකුරු තෝරා ගැනීමක් දෙන්නට සිතීමත්, බල්ලාට දොට්ට යන්න පස් පිඬැල්ල හදන්නත් තවත් කෙනෙකුට සිතෙන්නෙ ඇයි?

        හිතන්න නොදන්නා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් රස්සාවක් කියා දන්නෙ තවමත් පංච මහා බලවේගය ගැනයි!!!!

        ඒත් අදහසක් කියන්නෙ වෘත්තියකට, පළාතකට, රටකට, දේශ සීමාවකට, ජාතියකට, ආගමකට, කුලයකට සීමා නොවී ඇත්තක් කියා දකින්න ලැබිච්ච දාට අදහසකට උපරිමය ගෙවීම (දේශපාලනඥයෙකුට වුවත්) වෙළඳපොල විසින් කරනවා.

      • ඉන්දික උපශාන්ත said, on ජනවාරි 12, 2012 at 4:58 පෙ.ව.

        “මොකක් ද දේශපාලකයන් පමණක් ගන්නා වැඩි අවදානම?”

        සමත් –

        මහින්ද යුද්ධයෙන් එල්ටීටීඊ අවසන් කිරීමට තීරනය කිරීම
        ඩොලරය බේරාගැනීමට බුෂ් ඉරාකය ආක්‍රමණය කිරීම
        සෝනියාගාන්ධි අගමැති කම මන්මෝහන් සිංට ලබා දීම
        ඩෙන්ග් ෂියාඕපින් ගේ ආර්ථික ප්‍රථිසංස්කරණ

        අසමත් –

        රනිල්ගේ සාම ගිවිසුම සහ සාම සාකච්ඡා
        බුෂ්ගේ ඇෆ්ගන් ආක්‍රමණය
        ලින්ඩන්ගේ වියට්නාම් යුධ සහය

        මේ සියල්ල “ග්‍රේට් රිස්ක්” වන අතර හරිගිය පසු මිලියන ගනනාවක් පොලොවෙන් උඩටද වැරදුනු තැන් එමෙන්ම ජනතාවක් පොළොවෙන් යටටද ගියෝය. මෙම තීරණවල ඇති අවධානම වෙනත් කිසිදු වෘත්තිකයකු හා සමකල හැකිද?

        • arunishapiro said, on ජනවාරි 12, 2012 at 11:01 පෙ.ව.

          ඉන්දික උපශාන්ත,

          දේශපාලකයන් ගන්නා එකම අවදානම නම් තම පදවිය ආරක්ෂා කිරීමට පියවර පමණි. ජනතා සුබ සෙත සලසනවා යැයි කියා එහෙත් තම පදවියේ ඉන්නට පියවර වෙති. ලෝකයේ රට වෙනුවෙන් කියා පදවියේ ඉන්න යැයි රටක් විසින් ම ඉල්ලා සිටිය දී තමා ජනාධිපති පදවියෙන් අස් වීම රටට හොඳයි කියා ගෙදර ගියේ ජෝර්ජ් වොෂිංටන් විතරයි.

          බුෂ් ඉරාකයට ගියේ තෙල් නිසා කියල සමහරු කියනවා. ඉන්දික කියන්නෙ ඩොලරය බේරා ගන්නට ගියා කියලා. යුද්ධ කිරීම නිසා කිසිම රටකට වාසියක් නැහැ යන්න පෙන්වන සටහනක් කවදා හෝ ලියන්න ඕන. බුෂ් ඉරාකයට ගිය හේතු දෙකක් මම දකින විදියට: එකක් තමයි බුෂ් නෙමෙයිනෙ ඒ කාලේ ඇත්ත ජනාධිපති -ඩික් චේනේ තමයි සියල්ල හසුරවපු තැනැත්තා. බුෂ් ගෙන ගියේ තඩි වැඩි කරන දේශපාලනයක්. ඉරාකයට යෑමෙන් සවුදියේ තඩි වගේ ම ඇමෙරිකාවේ තඩි ද වැඩි වුනා. ඇමෙරිකානුවන්ට අවාසියක් මිස වාසියක් සිදු වූයේ නැහැ ඒ මිලියන ගණන් නාස්තියෙන්.

          ඊ ළඟට ඇෆගනිස්ථානයට ගිය රුසියානුවන් හෝ ඉන් පස්සේ කඩා වැදිච්ච ඇමෙරිකානුවන් ද අසමත් වෙන්නේ තීරණ වල අවදානමක් නිසා නෙවෙයි, ඇෆගනිස්ථානයේ මිනිස් සිතැඟියාවන් තමන් දන්නවා යැයි සිතීම නිසා.

          දේශපාලකයන් තම පදවි ආරක්ෂා කරගන්නට අවදානම් නොගෙන රටේ හැම පුරවැසියෙකුට ම අනුන්ට හානියක් නොවන ලෙසින් තම සතුට සොයා යන නිදහස දෙන්නේ නම් රට සශ්‍රීක වී දේශපාලකයන්ගේ ද පදවි ඉබේම ආරක්ෂා වන බව දකින්නට අකමැතිකම ලොව සුලබ වීම ඔවුන් තුල ම වූ නොදැනුම නිසා. දැනුම හැම අතර පැතිර යන ලෝකයක නොදැනුම තුරන් වී යාම ඉතිහාසය ඔප්පු කරන්නක්. ඒ නිසා අනාගතයේ දේශපාලනඥයන්ට ද තම පදවිය ආරක්ෂා කරගත හැකි පැහැදිලි හා එකම මාර්ගය කුමක්දැයි පෙනුනාම මේ අවදානම් ගැනීමේ උවමනාවත් නැති වෙයි.

      • ravi said, on ජනවාරි 12, 2012 at 5:22 පෙ.ව.

        දේශපාලකයො ගන්න තීරණ වෙනත් වෘත්තිකයො ගන්න තීරණ වලට වඩා මිනිස් සංහතියටම බලපාන එක ඇත්ත….ඒත් ඒ කිසිම පදනමක් නැති තමන්ගෙ මනෝ රාජික හිතළු ඉෂ්ඨ කරගන්න ගන්න අවිචාරමත් තීරණ වලින් සිදුවන පාඩු වලට ඒ දේශපාලකයො වග කියනවද?……

        උදාහරණයක්…මිහින් ලංකා ඇරඹීමෙන් සිදිවූ බිලියන ගනනක පාඩුව….කවුද ඒ තීරණයට වගකීම බාරගත්තෙ?….

        අවදානමක් ගන්නව කියන්නෙ ඉන්දික තමන්ට අවදානමක් ගන්න එක…..මම මගේ රැකියාව කරනවා…මම නිර්මානය කරපු ව්‍යාපෘතියක් අසාර්ථක උනොත් මට ඒකට වග කියන්න වෙනවා,සද් භාවයෙන් යමක් කරන්න ගිහිල්ල සිදුවන වැරදි වලට සමාවක් දුන්නෑකි.ඒත් හිතාමතා වගකීම පැහැර හැරියයි කියල ඔප්පු උනොත් මට වග කියන්න වෙනව අනිවාර්යයෙන්ම.

        දේශපාලකයො ගන්න තීරණවල අවදානම තියෙන්නෙ එයාලට නෙවෙයි අපිට…..

        • arunishapiro said, on ජනවාරි 12, 2012 at 11:07 පෙ.ව.

          ravi,

          //දේශපාලකයො ගන්න තීරණවල අවදානම තියෙන්නෙ එයාලට නෙවෙයි අපිට…..// මෙතැන දී අවදානමක් එයාලටත් තියෙනවා. බලන්න ගඩාෆි නැමති ත්‍රස්තවාදියා දිහා. කොච්චර අවදානමක් ගත්තා ද බලයේ ඉන්නට … අන්තිමට ජීවිතෙත් නැතිවුණා.

      • ඉන්දික උපශාන්ත said, on ජනවාරි 12, 2012 at 7:57 පෙ.ව.

        රවි,

        //”ඒත් ඒ කිසිම පදනමක් නැති තමන්ගෙ මනෝ රාජික හිතළු ඉෂ්ඨ කරගන්න ගන්න අවිචාරමත් තීරණ වලින් සිදුවන පාඩු වලට ඒ දේශපාලකයො වග කියනවද?……”//

        මගේ තර්කය දේශපාලකයන්ට අනෙක් වෘත්තිකයන්ට වඩා ගෙවිය යුතුය. එහෙත් එය Incentive හැටියට මිස Bonus or fixed package එකක් ලෙස නොවේ යන්නයි . එනිසයි මා කීවේ //”නමුත් එය වඩා විනිවිදපෙනෙනා ඇගයීම් ක්‍රමයක් මත පදනම්විය යුතුය යන්නයි”//

        “//අවදානමක් ගන්නව කියන්නෙ ඉන්දික තමන්ට අවදානමක් ගන්න එක…..මම මගේ රැකියාව කරනවා…මම නිර්මානය කරපු ව්‍යාපෘතියක් අසාර්ථක උනොත් මට ඒකට වග කියන්න වෙනවා”//
        බැංකුකරුවන් තම වෘත්තීය ජීවිතයේ ගත් “අවධානම් හැසිරවීමේ සහ කළමාණාකරනයේ” අඩුපාඩු නිසා 2008 දි ඇමරිකාවමද ඒ හරහා ලෝකයේ රටවල් විශාලප්‍රමාණයක්ද මුහුණදුන් ආර්ථික අර්බුධය ඔබට අමතකවිය නොහැක. එහිදී පමණක් නොව අදටත් ඔවුන්ගේ වෘත්තීමය වැරදි සඳහා මුල්‍යමය වන්දි ගෙවන්නෙ බදු ගෙවන්න මිස රැකියාවෙන් දොට්ට වැටුනු CEO ලා නොවේ!

        අනෙක දේශපාලකයන් නොව ඕනෑම වෘත්තිකයකු ගන්න ලබන වැරදි තීරන සඳහා මුල්‍ය වන්දි සහ ඉන් එහා ගිය අධිකරනමය ක්‍රියාමාර්ගයක ආවරනය තිබිය යුතුය.

        //”උදාහරණයක්…මිහින් ලංකා ඇරඹීමෙන් සිදිවූ බිලියන ගනනක පාඩුව….කවුද ඒ තීරණයට වගකීම බාරගත්තෙ?….”//

        අප කතාකරන්නේ තිබෙන ක්‍රමයේ අඩුපාඩු වෙනස්කරගත හැකි ක්‍රමවේදයක් පිළිබඳව මිස තිබෙන ක්‍රමය ක්‍රයාත්මකනොවීමේ අර්බුධයක් ගැන නොවේ!

        අන්තිමට පොඩ් දෙයක්…මේ අර කවිකාරමද? 😀

        • arunishapiro said, on ජනවාරි 12, 2012 at 11:23 පෙ.ව.

          ඉන්දික උපශාන්ත,

          //බැංකුකරුවන් තම වෘත්තීය ජීවිතයේ ගත් “අවධානම් හැසිරවීමේ සහ කළමාණාකරනයේ” අඩුපාඩු නිසා 2008 දි ඇමරිකාවමද ඒ හරහා ලෝකයේ රටවල් විශාලප්‍රමාණයක්ද මුහුණදුන් ආර්ථික අර්බුධය ඔබට අමතකවිය නොහැක. එහිදී පමණක් නොව අදටත් ඔවුන්ගේ වෘත්තීමය වැරදි සඳහා මුල්‍යමය වන්දි ගෙවන්නෙ බදු ගෙවන්න මිස රැකියාවෙන් දොට්ට වැටුනු CEO ලා නොවේ!//

          මෙතැන දී බැංකු කරුවන්ට අවදානම් ගන්නට නීතියෙන් බල කළේ ඇමෙරිකන් ආණ්ඩුවයි. ඔවුන් කැමැත්තෙන් ගත්තු අවදානමක් නෙමෙයි. ඒ ප්‍රතිපත්ති නිසා බැංකු කීයක් වසා දැමුවා දැයි බේරා ගත්තේ කීයක් දැයි බැලුවාම ඔබාමා ආණ්ඩුව පුරවැසි මුදලින් බේරා ගත්තේ තමන්ගේ ප්‍රතිපත්ති දියත් කළ බැංකු පමණයි.

          මම මේ ගැන කළින් කිහිප තැනක ලියලා තියෙනවා. //ව්‍යවස්ථාදායකයෝ විමසා නොබලා දියත් කරන ලද තවත් ප්‍රතිපත්තියක් වූයේ රටේ අඩු ආදායම් ඇති අයට පහසුවෙන් නිවාස අයිතිය කීමට බැංකු ණය මුදල් ලබා දීමයි.//

          බරාක් ඔබාමා සෙනෙට් සභිකයෙක් වී සිටිය දී දියත් කළ ගන්නාට අවදානම් නැති නිවාස ණය දෙන්නට අකමැති වූ චිකාගෝ බැංකු වලට දඩ ගැසීමක් ද සිද්ධ වූවා. සුදු අප්පුහාමිගෙ සීයා 1920 ගණන් වල රුසියාවෙන් අතේ සතේ නැතිව පැනලා ඇවිත් මිය ගියේ චිකාගෝ නගරයේ බැංකු අයිතිකරුවෙක් ලෙස. ඒ දේශපාලකයන් බැංකු වලට ණය දිය හැකි ප්‍රතිපත්ති තීරණය නොකරපු යුගයක.

  4. Buwa said, on ජනවාරි 9, 2012 at 12:43 ප.ව.

    සිංගප්පුරු වගෙම නැතත් පඩි සහ දීමනා ඇති පදම් !,හැබැයි හොරකම් කරන්න තහනමකුත් නැ .දූෂනයට බනින අය හිටියට . අන්නා හසාරේලා නැ උපවාස කරන්න . කෙනෙක් උපවාස කලොත් සප් එක දෙන්න තරම් හය්යක් තියන මාධ්‍යත් නැ . මැතිවරණ තියනව , හැබැයි අනතුරු දායක නැ (දැනට ) . ඡන්දෙ තියන්න කලින්ම ප්‍රථිඵලය දන්නව .තව ටික කාලෙකින් දුඹුරු හම තියන උන් ගානට හරි හරියට චින්නුත් දකින්න ලැබෙයි . ඒ කොහේද ???

    • arunishapiro said, on ජනවාරි 9, 2012 at 4:29 ප.ව.

      Buwa,

      පාලන ආණ්ඩුවෙ විතරක් නෙමෙයි විරුද්ධ පක්ෂෙ වුනත් චන්දෙ තියන්න කළින් ම ප්‍රතිඵල දැන ගන්න පුළුවන් ආශ්චර්යමත් තැනක් ගැන නේද බූවා කියන්නෙ?!!!

      බූවාගේ සිතුවිලි කියවන්නත් දැන් බැහැ මට. ඔයාලා හැමෝම Sett deco දැම්මට පස්සෙ Mac OS X versions 10.6 ට වැඩියෙන් තියන අයට කියවන්න බැහැ. 😦 Sett deco සිංහල මෘදුකාංග OS X සිංහයෙක්ට හදන්න තව කොච්චර කල් යයි ද?

  5. ravi said, on ජනවාරි 10, 2012 at 3:09 පෙ.ව.

    අරුණි ඔයාගේ Sett deco ප්‍රශ්නය ඒක හදපු ධනිකට කියන්න එයා උදව් කරයි.
    Dhanika Perera – dhanika@bhasha.lk


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: