අරුණි ශපීරෝ‍ වෙතින්

ඔබ පින්‍යා කොලාඩා කැමති නම්, වැස්සකට අහුවෙන්න කැමති නම් …

Posted in Uncategorized by arunishapiro on ජනවාරි 11, 2012

ඔබ පින්‍යා කොලාඩා කැමති නම්, වැස්සකට අහුවෙන්න කැමති නම් .. (If you like Pina Coladas and getting caught in the rain …) යැයි ගීයක් ගයන්නේ ජීමි බෆට් විසිනි. සුදු අප්පුහාමිගේ යාළුවෙක් වන ටොම් මිචෙල්, ජීමි බෆට්ගේ හිරිගල් ගල්පර සංගීත කණ්ඩායමේ සැක්සෆෝන් වාදකයෙක් වූයේය. ඒ නිසා ජීමි බෆට් සංදර්ශනයක දී හිටගන්නට හොඳ තැනකුත්, පටන් ගැනීමට කළින් ඇතුල් කාමරයට ගිහින් ඔහුව දැන හඳුනාගන්නටත් අපිට අවස්ථාවක් ලැබුණි.

ජීමි බෆට් යනු ඇමෙරිකානු ව්‍යවස්ථාදායක අයිතියක් වන සතුට සොයා යන්නට (pursuit of happiness) තවත් විදියක් ලොවට දුන් අයෙකි. අයෙක් ඔහු කලාකරුවෙක් යැයි කියන්නට ඉක්මන් වීම නිසා ඔහුගේ ව්‍යපාරික නුවණ නොදකින්නට ඉඩ ඇත. තමා පැවැත්වූ හැම සංදර්ශනයකම වාදනය කරපු හැම සිංදුවක්ම කුමක් දැයි ඔහු ළඟ වාර්තාවක් ඇත!!!

ජීමි බෆට් විකුණන්නේ සිංදුවක් නොව උප සංස්කෘතියකි. ඒකාකාරී ලොවක හිර වී නොසිට සතුට සොයා නිදහස ඇති දූපතකට පළා යෑම ඔහුගේ බහුතර සිංදුවල තේමා වෙන ජීවිත රටාවයි.

ඔහුගේ රසික රසිකාවියන්ව ගිරව්හිස් (Parrotheads) නමින් හැඳින්වෙන්නේ ඔවුන් සංදර්ශන වලට ගිරව් මෙන් දිස්වෙන තොප්පි පැළඳ ගෙන එන්නට පටන් ගත් නිසා ය. ඉතින් ජීමීට ගිරව්හිස් තොප්පි, ටී ෂර්ට් යනාදී තම උප සංස්කෘතියේ සමරු විකුණන ව්‍යාපාරයක් ඇත.

ගායකයෙක් පමණක් නොවන ජීමී තම සුප්‍රසිද්ධ සිංදු දෙක වන “මාගරීටාවිල්” වලින් මාගරීටා කැෆේ දාම අවන්හල් ද, “පරාදීසියේ චීස්බර්ගර්” සිංදුවෙන් Cheeseburger in Paradise අවන්හල් සංකල්පයට ද දායක වූයේය. ඉතින් ජීමී දැන් ගායකයෙක් පමණක් නොව අවන්හල් අයිතිකරුවෙක් ද වෙන්නේ ය.

ජීමී ගායකයෙක් වූවාට ඔහු තම පුද්ගලික ගුවන්යානාව පදවන ගුවන් නියමුවෙක් ද වෙයි.

පෙන්සිල්වේනියාවේ ජනප්‍රිය සංගීතයට අකමැති ආමිශ් අයට එයටත්, යූටාහි මත්පැන් තියා කෝපි, තේ, කොකා කෝලා බොන්නට අකමැති මෝර්මන් අයට ඊටත් ඉඩ තිබිය දී තමන් කැමති අයුරින් සතුට සොයා යන්නට ජීමි බෆට් ලෝලී ගිරව්හිස් වලට ඉඩක් මේ රටේ ම ඇත.

සතුට සොයා යන නිදහස කප්පාදු කරන හැම වෑයමක දී ම රටේ බිහිවෙන්නේ අනුන් ගෙන් යැපෙන්නට පුරුදු වෙන හිඟන්නෝ වෙති. ඇමෙරිකාවේ බුෂ් පුතා සමයේ සහ බරාක් ඔබාමා වෙතින් සතුට සොයා යන නිදහස කප්පාදු වෙද්දී රටේ ආර්ථිකය කඩා වැටී අනුන් ගෙන් යැපෙන ඇමෙරිකානුවන් වැඩි වූහ.

ඊයේ නිව් හැම්ප්ශර් ජනාධිපති අපේක්ෂක තරඟයෙන් දෙවැනි තැන ජයගත් රොන් පෝල්ට ජයවේවා! නිදහස නැත්නම් මරණය (Live Free or Die) තම ආදර්ශ පාඨය ලෙස තෝරාගත් ප්‍රාන්තයක, අනුන් ජීවත් වෙන්නේ කෙසේදැයි කියන්නට යන අයට ජය නොලැබීම පුදුමයට කරුණක් නොවේ.

මිට් රොම්නි ජනාධිපති වුවහොත් (1886 න් පසු) කොකා කෝලා බී නැති එකම ඇමෙරිකන් ජනාධිපතිවරයා ලෙසින් ඔහු ඉතිහාසයට එකතු වනු ඇත!!!!

අයෙක් මත්පැන් ඇති පින්‍යා කොලාඩා බොමින් සතුටු වෙයි. තවකෙක් මත්පැන් නැති පින්‍යා කොලාඩා බොමින් සතුටු වෙයි. චීස්බර්ගර් වලට අකමැති එහෙත් ජීමීගේ සිංදු අහන්නට කැමති තවත් කෙනෙක් සුළඟේ බලයෙන් ඇදී යන රුවල් නැවක නැඟ, තෙරක් නොපෙනෙන මහ මුහුද දිහා බලා සතුටු වෙයි!!!!

Advertisements

15 Responses

Subscribe to comments with RSS.

  1. kathandarakaraya said, on ජනවාරි 11, 2012 at 10:14 පෙ.ව.

    අපි හැමෝටම එක එක වර්ගයේ පිස්සු ඇත. එක හා සමාන පිස්සු ඇත්තෝ එකට එකතු වෙති!

    • arunishapiro said, on ජනවාරි 11, 2012 at 10:25 පෙ.ව.

      kathandarakaraya,

      මතක ඇතිනෙ මම වතාවක් කිව්වා අයෙක් ගැන ඔහු/ඇය කියන්නේ කරන්නේ මොනවා දැයි අපිට හිතන්න බැහැ කියලා … කතන්දරකාරයා මේ සිංදුවෙ මැදියම් රෑ ගැන තියන පදය අල්ලා ගෙන ප්‍රතිචාරයක් දාන්න යයි කියලා හිතුවා නම් මම වැරදියිනෙ 😀

      • kathandarakaraya said, on ජනවාරි 11, 2012 at 10:40 පෙ.ව.

        // අයෙක් මත්පැන් ඇති පින්‍යා කොලාඩා බොමින් සතුටු වෙයි. තවකෙක් මත්පැන් නැති පින්‍යා කොලාඩා බොමින් සතුටු වෙයි. චීස්බර්ගර් වලට අකමැති එහෙත් ජීමීගේ සිංදු අහන්නට කැමති තවත් කෙනෙක් සුළඟේ බලයෙන් ඇදී යන රුවල් නැවක නැඟ, තෙරක් නොපෙනෙන මහ මුහුද දිහා බලා සතුටු වෙයි!!!!

  2. ඕනයා (Dulip Sikurajapathy) said, on ජනවාරි 11, 2012 at 2:10 ප.ව.

    //තවත් කෙනෙක් සුළඟේ බලයෙන් ඇදී යන රුවල් නැවක නැඟ, තෙරක් නොපෙනෙන මහ මුහුද දිහා බලා සතුටු වෙයි!!!!//

    කොච්චර නියමයිද එහෙම කරන්න තියනවනං

  3. ඩිලාන් said, on ජනවාරි 11, 2012 at 6:51 ප.ව.

    ඔය පින්‍යා කොලාඩා මොන රටේ බීමක්ද

  4. බුද්ධි said, on ජනවාරි 12, 2012 at 12:33 පෙ.ව.

    අර බොන්නෙ පින්‍යා කොලාඩා ද? බඩට බාගෙට නොදී, බඩ පිරෙන්නම දෙන එකනං ලොකු දෙයක්, මෙහෙ වගේ ඔහෙත් පින්‍යා කොලාඩා ස්මොල්, ලාජ්, එක්සෙල් කියලා තියෙනවද, තමන් කැමති ප්‍රමාණෙ තොරගන්න.

    //මිට් රොම්නි ජනාධිපති වුවහොත් (1886 න් පසු) කොකා කෝලා බී නැති එකම ඇමෙරිකන් ජනාධිපතිවරයා ලෙසින් ඔහු ඉතිහාසයට එකතු වනු ඇත!!!!//

    මම නං හිතන්නෙ මිනිහා නිළ වශයෙන් බිව්වෙ නෑ කිව්වට දෙශපාලනේට එන්ඩ කලින් හරි බීලා ඇතිමයි කියලා……

    • arunishapiro said, on ජනවාරි 12, 2012 at 8:12 පෙ.ව.

      බුද්ධි,

      ඔව් ඒ බොන්නෙ මත්පැන් නැති පින්‍ය කොලාඩා. චාන්දි අක්කා කිව්වා වගේ මටත් ඒක රසයි.

      ඒ තරම් ලොකුවට දෙන පින්‍යා කොලාඩා කෝප්පයක් දෙන තැන් වැඩිය නැහැ!! අවන්හල තමයි තීරණය කරන්නෙ කෝප්පයේ සයිස් එක කුමක් ද කියල. මිල පාලනයක් නැති නිසා. එකක් මදි නම් තවත් කෝප්පයක් ගෙන්නා ගැනීමයි සිරිත. මෙතැන තමයි ආයෙත් ඉල්ලන්න මදි නොවෙන සයිස් එකක කෝප්පයකට පුරවලා දුන්නෙ.

      මම මෝර්මන් ආගමිකයන් රැසක් හඳුනනවා ඇමෙරිකාවේ විවිධ පළාත්වල ඉන්න. බුද්ධි, එයාලා හරි අවංකයි එයාලගෙ ආගමික රීති ගැන. ඇදහීම අත්හැරලා ගියාට රටේ වෙන කිසිවෙක් වෙතින් දෝෂාරෝපණයක් එල්ල නොවෙද්දී … ආගමික රීති වලට අකමැති නම් ඒවා අනුගමනය කරන්න ද නොකරන්න ද කියන තීරණය ස්වාධීන කැමැත්ත අනුව ගැනෙන්නෙ. මෝර්මන් ආගමික ඇදහිලි නතර කරපු මෝර්මන් පවුල් වල ම ජීවත්වන තරුණ අයවත් හඳුනනවා. ආගම අදහන අය අතර විහිළුවකට වත් කැෆේන් තියන පාන; කෝපි, තේ, කොකා කෝලා එහෙම බොන අය දැකලා නැහැ.

  5. නවම් said, on ජනවාරි 12, 2012 at 1:39 පෙ.ව.

    අර තඩි කොරගෙන් එකක් බොන්න දෙනවනං ආයෙ දවාලට කෑමක් ඕනෙ නෑ නෙ.

    කැමති කැමති විදියට පවතින්න නම්, විනෝද වෙන්න නම් ලොවේ තියන හොඳම ක්‍රමයටය තමන් විනෝදවෙන්නේ කියන සිතිවිල්ල මිනිස්සුන්ට අමතක වෙලා යන්න වෙයි. එහෙම නැත්නම් අනෙකා කරන හැම දෙයක්ම “මේ මොන කෙහල් මලක්ද” කියල හිතෙයි.

    එහෙම දවසක් හැබෑවටම එයිද, එහෙමත් නැත්නම් ඕන එකෙක් ඕන දයක් කියද්දෙන්, අපි අපේ විදියට විනෝද වෙමු කියල ඉන්න වෙයිද ?

    • arunishapiro said, on ජනවාරි 12, 2012 at 8:22 පෙ.ව.

      නවම්,

      ඔව් නවම් මල්ලි ඒ තඩි කොරහ ඉවර කළාට පස්සෙ දවල් කෑමට ඉඩක් තිබ්බෙ නෑ තමයි. ඉස්සො ටික සේරට ම සුදු අප්පුහාමි වැඩේ දුන්නා!!!

      අල්ලපු ගෙදර ජෝන් ට ඉහළින් යෑම තමන්ගෙ අරමුණ නොවී තම කැමැත්ත කුමක් දැයි සොයා බලන දවසක් මිනිසා තුල දැනුම ඇතිවීම නිසා පටන් ගනිද්දී එක පරම්පරාවකින් තව පරම්පරාවකට යද්දී රටක් වෙනස් වෙන්න පුළුවන්. ඒ දවස ම තමයි අපිට අපේ විදියට විනෝද වෙන්නත් නිදහස ලැබෙන දවස. දැන් අපේ විදියට කියලා විනෝද වෙන්නෙ වෙන කාගෙවත් විදියටනෙ. අනුන් අනුකරණයට නොගියාම තමයි අපේ විදිය කුමක් දැයි සිතන්න මොළයක් ද පෑදෙන්නෙ.

      ඇමෙරිකාව පටන් ගත් දා පටන් එහෙම දැනුවත් කොට්ඨාශයක් (ඇමෙරිකන් ව්‍යවස්ථාවේ අගය දන්නා) ඒ වෙනුවෙන් කැප වීමකින් හිටියා. ඔවුන් හැම දා සටන් වැදුනේ අනුන්ගේ ද ඒ අයිතිය ආරක්ෂා කර දෙන්නට. අද තමයි පැහැදිලිව ම (අන්තර්ජාලයෙන් ඇති නිදහසත් එක්ක) ඇමෙරිකන් සමාජයේ වැඩි දෙනෙක් මේ ගැන දැනුවත් වී ඇත්තේ යැයි හිතෙන්නෙ රොන් පෝල් නැමති ඇමෙරිකන් ව්‍යවස්ථාව ආරක්ෂා කරන්නට තම ජීවිත කාලය වෙහෙසුන (වයස 76) දේශපාලකයාට චන්දය දෙන්නන් වෙතින් අවධානයක් ලැබීමෙන්.

  6. chandi said, on ජනවාරි 12, 2012 at 4:47 පෙ.ව.

    අරුණි මම පීන්‍ය කොලාඩා බීල තියෙනවා මත්පැන් නැතිව ගෙදර මල්ලි හදලා දුන්නා. මම මත්පැන් භාවිතයෙන් තොර නිසා ඇමෙරිකාවේ වෙසෙන මගෙ මල්ලි මේක මටම අන්නාසි හා පොල්කිරි දමලා හදා දුන්නා රස බලන්නට. හැබැයි නියම රසය ආවෙ නෑ කියල එයා දුක් උනා. මට නම් හරිම රසයි. එයාට මත්පැන් එකතුකලාම රසයි. අපි ඉතින් එක එක් කෙනාට කැමති විදිහට ඔන්න රස වින්දා. තෙරක් නොපෙනෙන මහ මුහුද දිහා නම් කොච්චර බලා හිටියත් ඇතිවෙන්නේ ම නෑ. කොච්චර ආශාවක් ද කිව්වොත් අපි දින හතරක් සුඛෝපබෝගී නැවක ලංකාවේ සිට සිංගප්පූරුවට ගියා. මම දවසේ වැඩි හරියක් ගතකලේ මහ මුහුද දිහා බලාගෙනයි.

    • arunishapiro said, on ජනවාරි 12, 2012 at 8:26 පෙ.ව.

      chandi,

      ඔව් චාන්දි අක්කා මමත් බිව්වෙ රම් නැති එක. මත්පැන් භාවිතය උවමනාවකින් ම අත්හැරලා නම් නැහැ, ඒත් ඉබේ ම නැවතිලා!

      ගිනිදැල් ඇවිලෙන හැටි බලන්න ආසයි. පුරහඳ පායන හැටි බලන්න ආසයි. හිරු අවරට යන හැටි බලන්න ආසයි. මහ මුහුද දිහා කොච්චර බලාගෙන හිටියත් ආසාව නැති වෙන්නෙ නැහැ මටත්.

      ගිනිදැල්ලේ වගේ ම මුහුදු රුල්ලේ ද කොයිතරම් විවිධත්වයක් තියෙනවා ද?

  7. Sudath said, on ජනවාරි 12, 2012 at 8:03 පෙ.ව.

    //රොන් පෝල්ට ජයවේවා! නිදහස නැත්නම් මරණය (Live Free or Die) තම ආදර්ශ පාඨය ලෙස තෝරාගත් //
    මට මතක් වුනේ අසූව දශකයේ අග භාගය.
    “මව්බිම නැත්නම් මරණය” ආදර්ශ පාඨය වූ දේශය.

    ඇයි මේ බරක් ඔබාමා සතුට සොයා යන නිදහස කප්පාදු කළේ?

    • arunishapiro said, on ජනවාරි 12, 2012 at 8:54 පෙ.ව.

      Sudath,

      බරාක් ඔබාමා බුද්ධිමතුන් සුළු පිරිසක් මෙහෙයවන විසල් ආණ්ඩුවකින් ජනතාවගේ සුව සෙත සලසන්නට හැකි යැයි විශ්වාස කරන්නෙක්. අනුන්ගේ සතුට කුමක් දැයි බුද්ධිමතුන් පිරිසකට කියන්න හැකි යැයි විශ්වාස කරන්නෙක්.

      එක උදාහරණයක්: බරාක් ඔබාමා සොලින්ඩ්‍රා නැමති විකල්ප ඉන්ධන නිපදවන පුද්ගලික කොම්පැණිය පටන් ගන්න පුරවැසි බදු වලින් සල්ලි දුන්න. කොම්පැණිය බංකොළොත්. පුරවැසියන්ගෙ සල්ලි නාස්ති වුණා. පුරවැසියන් විසින් තමන්ට වැඩි බදු නොගෙවා ඒ සල්ලි තමන් කැමති පරිදි වියදම් කරන්න ඉඩ දුන්නා නම් පිරිසක් ආයෝජන කරාවි, තව පිරිසක් වියදම් කරාවි, තව පිරිසක් තැන්පතු අරඹති. එහි දී පාඩු විඳින අය හා ලාභ ලබන අය දෙකම ඉන්නා නිසා රටටයි තවත් වාසි.

      ලෝකයේ කිසිදාක බුද්ධිමතුන් සුළු පිරිසක් මෙහෙයවන විසල් ආණ්ඩුවකින් රටකට වාසි සිද්ධ වී නැති බව ඔප්පු කරන්නේ ලෝක ඉතිහාසයයි.

      ඇමෙරිකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකක් තියෙනවා.

      එකක් රිපබ්ලිකන් පක්ෂය නොහොත් දකුණ. එහි කොටස් 3 ක්: එකක් නිදහස් වෙළඳපොල අගයනවා, ඇමෙරිකාව විදේශ යුද්ධ වලට යා නොයුතුයි, පුරවැසියන්ගේ කැමැත්ත ආරක්ෂා කළ යුතු යැයි සටන් වදින අය. (රොන් පෝල්) අනික, ක්‍රිස්තියානි සදාචාරය රටේ සමාජය ජීවත් විය යුතු ආකාරයට පදනමක් දෙනවා, ඒ නිසා ඊට කුමන්ත්‍රණ කරන විදේශ බලවේග නසා දැමිය යුතු යැයි කියන පැත්ත. (රික් සැන්ටෝරම්/ බුෂ්ලා දෙන්නම) තෙවැන්න, නිදහස් වෙළඳපොල අගයනවා කියමින් තඩි වැඩි කරන දේශපාලනයේ යෙදෙන අය. (මිට් රොම්නි) ඇමෙරිකාවේ මේ පක්ෂයට බලය ලැබී ඇත්තේ මුළු ආණ්ඩු පාලන කාලයෙන් ඉතා ඇබිත්තන් කාලයක් පමණයි.

      අනික ඩෙමොක්‍රැටික් පක්ෂය නොහොත් වම නොහොත් බුද්ධිමත් පිරිසක් විසින් පාලනය වන විසල් ආණ්ඩුවකින් ජනතාවගේ සිත් සතන් දැන හඳුනාගෙන ඔවුන්ට යහපතක් උදා කර දිය හැකි යැයි සිතන අය. මේ අය තමයි ඇමෙරිකාවේ වැඩි කාලයක් බලයේ සිට ඇත්තේ. එකම දේ අර බුද්ධිමත් පිරිසක් යැයි කියා ගත් අය එතරම් බුද්ධිමත් නැතිවීම. කොමියුනිස්ට් ක්‍රමය කඩා වැටෙන්නේ මේ හේතුව නිසා. ලෝකයේ කොතරම් බුද්ධිමත් වුවත් මහත් ජනතාවගේ සිතැඟියාවන් හසුරවන්නට ක්‍රමයකට හෝ පිරිසකට බැහැ. එතකොට ආර්ථිකය කඩා වැටී, මිනිස් බුද්ධිය ද එක තැනක ලගිනවා.

      ලිබටේරියන් පක්ෂය ඉතා අතීතයේ පටන්, ඇමෙරිකන් ව්‍යවස්ථාව ලියූ දවසේ පටන් එහි නිර්මාතෘවරුන්ගේ අදහස් වෙනුවෙන් සටන් වැදි කිසිදා බලයට පත් නොවූ පුංචි පක්ෂයක්. නොයෙකුත් කාල වල දී රට බේරා ගන්නට ඔවුන්ට හැකි වූවත් 2011 තමයි ප්‍රථම වරට ඇමෙරිකාවේ වැඩි පුරවැසියන් වෙතින් එහි සංකල්ප වලට අවධානයක් ලැබෙන්නෙ. ඔවුන්ගේ මතය තමයි ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමෙන් සෑම පුරවැසියෙක්ට ම තම සිතැඟියාවන් අනුව ජීවත් වෙන්නට ඉඩ දීම නිසා ආර්ථිකයත් මිනිස් බුද්ධියත් සාර්ථකත්වය කරා යන්නෙ කියා.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: