අරුණි ශපීරෝ‍ වෙතින්

දුප්පත් රිචඩ්

Posted in Uncategorized by arunishapiro on ජනවාරි 12, 2012

දුප්පත් රිචඩ් යන නාමයෙන් ද, සමහර විට රිචඩ් සෝන්ඩර්ස් යන නමින් ද ලියන බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින් විසින් ඇල්මනැක් (ලිත) මුද්‍රණය පටන් ගන්නේ 1732 දී ය. බ්‍රිතාන්‍ය යටත් විජිතයක් ව සිටි ඇමෙරිකාවේ පළ වූ වඩාත්ම අලෙවි වූ පත්‍රිකාව ලෙස සැලකෙන මෙය වාර්ෂිකව පිටපත් දහ දාහක් පමණ බෙදා හරිමින් 1758 දක්වා පළ කරන ලදි.

එහි ලියන ලද උපදෙස් ඇසුරෙන් The Way to Wealth නමින් පොත් පිංචක් ඔහු 1758 දී පළ කරන ලදි. මේ ඒ පොත් පිංචේ එන අදහස් ඇසුරිනි.

බඩු වෙන්දේසියක් අසල රැස් වී වෙන්දේසිය පටන් ගන්නා තෙක් බලා ඉන්නා පිරිසකි. ඔවුන් අතර කතාබහේ දී බෙන්ජමින් වෙතින් ඔවුන් මෙසේ අසති.

“මේ ඉහළ බදු නිසා රට විනාශයට යන්නේ නැද්ද?”

ඔහු පිළිතුරු දෙන්නේ මෙසේ ය. “යහළුවෙනි, බදු ඉහළ ය. එහෙත් ආණ්ඩුව විසින් දමන ලද බදු පමණක් අපට ගෙවන්නට වන්නේ නම් අපිට පහසුවෙන් ඒ ගෙවිය හැකිය. අපට වෙනත් ගෙවන්නට සිද්ධ වන බදු ඇත. එනම් අප විසින් අප වෙත දමා ගෙන ඇති බදු. අපේ කම්මැලිකම නිසා අපි අප වෙනුවෙන් දෙගුණයකින් බදු බර පටවා ගෙන සිටිමු. අපේ මාන්නය නිසා තෙගුණයකින් බදු බර පටවා ගෙන සිටිමු. අපේ මෝඩකම නිසා හතරගුණයකින් බදු බර පටවා ගෙන සිටිමු. ඉතින්, මේ බරපැන නම් ආදායම් බදු එකතු කරන්නාට වුව ද අපෙන් අයින් කර බර සැහැල්ලු කරන්නට නොහැකිය.”

අපි කොහොම ද බර සැහැල්ලු කර ගන්නේ කියා විමසමු.

කුසීත හැදියාව නිසා ජීවිතය කෙටි වෙයි. නිතර පාවිච්චියට ගන්නා යතුරක් මළකඩ නොකනා සේ නිතර වෙහෙසෙන මොළයක් ද ඉක්මණින් දිරා නොයයි. කම්මැලිකම යනු මළකඩ මෙන් ඉක්මණින් පැතිර යන්නකි. ඔබේ ජීවිතයට ආදරය කරන්නේ නම්, කාලය අපතේ හරින්නට ඉඩ නොතබන්න. අපතේ ගිය කාලය නැවත ගෙනා නොහැකි ය. ජීවිතය ගොඩ නැඟෙන්නේ කාලයේ වැයෙනි.

ඔබ කාලය වැය කරන්නේ කුමකට ද? ඔබේ ජීවිතය ගොඩ නැඟෙන්නේ එයිනි.

නිදාගෙන ඉන්නා සිවලාට කුකුලන් අල්ලන්නට බැරි ය.

ඉක්මණින් නින්දට යන්නේ නම්, ඉක්මණින් අවදි වන්නේ නම්, මිනිහා නිරෝගී, ධනවත් හා බුද්ධිමත් වෙයි.

ඉහත කියමන රෑ බෝ වීමත් සමඟ අඳුරු පරිසරයේ කිසි ඵල ප්‍රයෝජනවත් වැඩක් කරගන්නට බැරි සමයක දී පමණක් අදාල වූවක් දැයි මඳක් විමසමු. ඝනදුරු වළාකුළු පිරි දිවා කාලයකට වඩා අඳුර නැති කර කාමරයක් දීප්තිමත් කරත හැකි සමයක අපි රාත්‍රී කාලයන් හි වැඩියෙන් නිරත වන්නේ කුමන කටයුතු වල ද? විභාග සමයක රෑ නොනිදා කරන පාඩම් ගැන හෝ හෙට ඉදිරිපත් කළ යුතු කාර්යාල වාර්තාව ගැන නොවේ මේ කියන්නෙ. සාමාන්‍යයෙන් එදිනෙදා දවස ගෙවා රාත්‍රිය ගෙවනා ආකාරයයි. වැඩියෙන් ම රාත්‍රී කාලය වෙන්වන්නේ චිත්‍රපටි, රූපවාහිනි, නාට්‍ය සංදර්ශන හා ආහාර භෝජන සංග්‍රහ සාද සඳහා නොවේ ද?!!!

යහපත් කාලයක් එනතුරු පෙරුම් පුරමින් බලා ඉන්නවා යැයි කීමෙන් ඵලක් නැත. අප මේ කාලය යහපත් කර ගත යුතුය.

බලාපොරොත්තු මත ජීවත්වන්නට පෙරුම් පුරන්නාට බඩගින්නේ මැරී යන්නට වෙයි. වේදනාවකින් තොරව ලැබි ප්‍රයෝජනවත් දෙයක් නැත. යම් වෙළඳාමක නිරත වෙන්නාට වත්කමක් ඇත. යම් කුසලතාවයක් ඇත්තාට ගෞරවනීය නම්බුනාමයක් හා ලාභයක් උපදවන කාර්යාලයක් ඇත. නමුත් ඒවා වෙහෙසකින් තොරව ඉබේ ලැබෙන්නේ නැත. කුසලතාවය කුමක් දැයි තමන් හඳුනාගත යුතුයි. වෙහෙසෙන මිනිසාගේ නිවහනට කුසගින්න එබී බලයි, එහෙත් ගොඩවදින්නේ නැත.

අද දිනය හෙට දවස් දෙකකට වඩා වැඩියෙන් වටින්නේ ය.

පහත ඇත්තේ ඇමෙරිකාවේ ඉහළම ආදායම් උපයන අය වැඩිම පිරිසක් (highest per capita income) වාසය කරන තැනේ ය. එහි වාසය කරන ලද හා දැනට වාසය කරන පිරිස අතර අන්ද්‍රේ ඇගසි, බොරිස් බෙකර්, ජුලියා රොබර්ට්ස්, ඕප්රා වින්ෆ්‍රි සහ ස්ලොබඩාන් සිවෝජිනොවිච් වෙති. ඉහත සඳහන් සැවොම තමන් ඉපැයූ ධනය තම වෙහෙස මහන්සියෙන් ඉපැයූ අය වෙති.

Advertisements

7 Responses

Subscribe to comments with RSS.

  1. Sudath said, on ජනවාරි 12, 2012 at 9:26 පෙ.ව.

    “……………… ඉක්මණින් නින්දට යන්නේ නම්, ඉක්මණින් අවදි වන්නේ නම්, මිනිහා නිරෝගී, ධනවත් හා බුද්ධිමත් වෙයි.
    ඉහත කියමන රෑ බෝ වීමත් සමඟ අඳුරු පරිසරයේ කිසි ඵල ප්රමයෝජනවත් වැඩක් කරගන්නට බැරි සමයක දී පමණක් අදාල වූවක් දැයි මඳක් විමසමු.”
    ඔබගේ ලිපියේ ඉහත කොටස මා නිවැරදිව තේරුම් ගත්තානම් මාත් ඔබ හා එකඟයි.
    මම වෛද්යලවරයකු සමග තර්කයට එළැඹුනා ඔය කාරණය ගැන. දන්නවනේ අපි හැම දෙයක්ම ඉගෙන ගන්නෙ ඊ මේල් වලින් නෙ (දත් මදින හැටි, එක්සසයිස් කරන හැටි, ලව් කරන හැටි, කාර් එළවන හැටි, මොබයිල් ෆෝන් පාවිච්චි කරන හැටි, හුහ්.) එක ඊ මේල් එකක තිබුන හාට් ෆේලියර් අඩු කරන්නනං කළ යුතු දේවල්. අධික තෙල් නොකෑම, දිනකට පැය භාගයක් ඇවිදීමේ එක්සසයිස් කිරීම ආදී කාරණා. ඔය අතර තිබුන එකක් තමයි කළින් නින්දට යාම හා අළුයම පිබිදීම. මේ මට නං ඕක මළාට කරන්න බෑ. පුරුද්ද නැතිකම තමයි.
    මම වෛද්යනවරයගෙන් ඇහුවෙ, රෑ අටට නිදාගෙන පාන්දර දෙකට නැගිට්ටත්,
    රෑ දහයට නිදාගෙන පාන්දර හතරට නැගිට්ටත්,
    රෑ දොළහට නිදාගෙන උදේ හයට නැගිට්ටත්, ඒ කියන්නෙ මගේ සාමාන්යේ පුරුද්ද ක‍රගෙන ගියත්, එකමයි නේද කියල. ඔහුගේ උත්තරය වුනේ “ඔව්” කියන එක. ඔබ හිතන්නේ කුමක්දැයි දැනගන්න කැමතියි.
    හැබැයි රෑ දොළහ වෙනකන් කෙළින්නෙ පිස්සුනං ඔබ කියනව වගේ පාන්දර නැගිටල වැඩක් පලක් කරන එක තමයි හොඳ. මට වෙලා තියෙන්නෙ රෑ වැඩ කරලම පුරුදු වෙලා නිසා මොලේ වැඩ කරන්නෙ රෑට විතරයි. (ඩිස්ටර්බන්ස්ස් අඩු නිසා)

    • arunishapiro said, on ජනවාරි 12, 2012 at 10:41 පෙ.ව.

      Sudath,

      ඔව් හුරුව නිසා සමහර අයගෙ කාර්යක්ෂම කාලය රාත්‍රිය, තව අයගේ කාර්යක්ෂම කාලය උදෑසන.

      සිරුරෙන් මොළයට කරන බලපෑම් ගැන මේ සටහන කියවන්න. මිනිසා තුල යම් ස්වභාවික වූ යාන්ත්‍රණයක් කාර්යක්ෂම භාවය වඩා ඇත්තේ කොයි කාලයේ දැයි පෙන්වනවා නම් එයින් වැඩ ගන්න හුරු වීම වඩා ඵලදායක වෙයි නේද?

      ඒත් ස්වභාවිකව නිසා හෝ හුරුව නිසා ඒ කාර්යක්ෂම කාලයේ දී පිස්සු කෙළිනවා නම් අවදියෙන් ද නිදාගෙන දැයි විමසීමෙන් ඵලක් නැහැ නේන්නම්.

  2. Sudath said, on ජනවාරි 12, 2012 at 9:28 පෙ.ව.

    යහපත් කාලයක් එනතුරු පෙරුම් පුරමින් බලා ඉන්නවා යැයි කීමෙන් ඵලක් නැත. අප මේ කාලය යහපත් කර ගත යුතුය.
    Well said.

  3. රාජ් said, on ජනවාරි 13, 2012 at 1:31 පෙ.ව.

    //යහළුවෙනි, බදු ඉහළ ය. එහෙත් ආණ්ඩුව විසින් දමන ලද බදු පමණක් අපට ගෙවන්නට වන්නේ නම් අපිට පහසුවෙන් ඒ ගෙවිය හැකිය//
    කිඹුල කනව ඉවසතෑකි කොහිල කටු ඇනෙනඑකයි ඉවස්න බැරි.

    //අන්ද්‍රේ ඇගසි, බොරිස් බෙකර්, ජුලියා රොබර්ට්ස්, ඕප්රා වින්ෆ්‍රි සහ ස්ලොබඩාන් සිවෝජිනොවිච්//
    හැබැයි ජස්ටින් බීබර්ට නං එච්චර මහන්සියක් නැතුව ඔතෙන්ට යන්න පුළුවන් වේවි නේද?

    • arunishapiro said, on ජනවාරි 13, 2012 at 9:21 පෙ.ව.

      රාජ්,

      //කිඹුල කනව ඉවසතෑකි කොහිල කටු ඇනෙනඑකයි ඉවස්න බැරි// ඒත් කටු ඇනෙනවා කියා දකින අයට විතරයි ද රාජ් වේදනාව දැනෙන්නෙ? අනිත් අය කටු ඇනෙනවා කියලා දකින්නෙ නැතිවම කිඹුලාට ගොදුරු වෙනවා ද?!!!

      ජස්ටින් බීබර් පහසුවෙන් ලෝකයේ ජනප්‍රිය ගායකයෙක් වූවා යැයි අයෙක් සිතන්නේ නම් එයා වැරදියි. ඇගසි වගේ අයෙක් කාලාන්තරයක් තිස්සේ වෙහෙස වෙලා ජය ලබන්නෙ යෞවනය ඉක්ම වෙලා යද්දී. ඇගසි යෞවනයේ දී පිස්සු කෙළියා වැඩිපුර!! කෙනෙක්ගේ සරු ඵලදායී කාලය යෞවනය ද මැදිවිය ද මහළු කාලය ද කියා තීරණය කරන විදියක් නැහැ. ඒක ප්‍රතිඵලය පෙනෙන විදියක් පමණයි. ගණනය කළ නොහැකි සිදුවීම් අනේක සංඛ්‍යාවක කැළතීමක්.

      ජස්ටින් බීබර් උපදින්නෙ ලන්ඩන් ඔන්ටේරියෝ කියන කැනඩා නගරයේ. එයා ඉපදුන අවුරුද්දෙ මාත් එහි ගිහින් තියෙනවා ද කොහෙද? එයාගෙ අම්මට වයස 18 යි. අවිවාහකයි. ජස්ටින්ගෙ තාත්තා වෙනත් කාන්තාවක් හා විවාහ වූ දරුවන් දෙදෙනෙක් සිටි පියෙක්. බීබර්ගෙ අම්මා සිය දෙමාපියන් එක්ක ජීවත් වෙමින් තමයි පුතාව හදාගන්නෙ. ලෝක සමාජයන් දිහා බැලුවොත් අපිට පේනවා මෙහෙම දරුවො තම පියා එක්ක වෛර බැඳගෙන ඉන්න හැටි. ස්ටීව් ජොබ්ස් වගේ ම බීබර් ද ඒ ගැන වෙහෙසන්න කාලය යෙදෙව්වෙ නැහැ.

      බීබර් පියානෝව, ඩ්‍රම්ස්, ගිටාර් සහ ට්‍රම්පට් වාදනය ඉගෙන ගන්නෙ තනියම. ආයෙත් හිතන්න, එහෙම ස්ව උත්සාහයක් තියන 12 හැවිරිදි කී දෙනෙක් අපි දන්නවා ද?

      ඉතිරිය තමයි ඉතිහාසයට එකතු වෙන්නෙ. නගරයේ පැවැත්වූ තරඟයක දී බීබර් සිංදුවක් ගයා දෙවැනි තැන ලබනවා. අපි දන්නෙ නැහැ පළමු තැන ගත්තෙ කවුද කියලා!!! බීබර්ග අම්මා යූ ටියුබයෙන් බීබර්ගෙ විඩියෝ දානවා. ඒවා දැකලා ඔහුව ඇමෙරිකන් සිංදු කොම්පැණියක් ප්‍රසිද්ධ කරනවා.

      ජෑස් සංගීතය එක්ක Rhythm and blues සිංදු ගයන්නෙ කළු ඇමෙරිකානුවන් වැඩියෙන් ම. ඒ සිංදු ගයන සුදු හම තියෙන කොල්ලෙක් පැහැදිලිව ඉස්මතු වී පෙනීම ඔහුගේ නැඟ යාමේ එක හේතුවක් ද වෙනවා.

      ඔව්, දැනටමත් ඔහුට එතනට යන්න වත්කමින් පුළුවනි. ඒත් ඔහු වැඩි මහන්සියක් නැතිව අද ඉන්නා තැනට ආවා කියා මම හිතන්නෙ නැහැ.

  4. chandi said, on ජනවාරි 13, 2012 at 3:15 පෙ.ව.

    කලින් නින්දට ගොස් උදෑසනම අවදිවීම මම කුඩා කල මගෙ අත්තම්මා පුරුදු කල දෙයක්. ඒක තාම ඒ විදිහටම කරනවා. අපි රෑට කෑම කන්නෙ රාත්‍රි 7.15 විතර වෙනකොට. ඊට පස්සෙ ටික වෙලාවක් මනස එක්තැන් කරන භාවනාවක නිරත වෙනවා. 10.00 ට කලින් නිදා ගන්නවා. උදේ 4.45 වෙන කොට මම නම් නැගිටිනවා. ඒ නිසාම ලොකු අකරතැබ්බ වලට මුහුණ දෙන්නෙ නැහැ. දවස හරියට කාලය යොදා ගන්නවා මේ වෙලාව අහවල් දේටයි කියලා. මම දන්නෙ නම් නෑ නංගි මම කොයිතරම් සාර්ථකද ? කියල.

    • arunishapiro said, on ජනවාරි 13, 2012 at 9:26 පෙ.ව.

      chandi,

      සාර්ථක අම්මා කෙනෙක් ලොව ඇති අනිත් සියළුම වෘත්තියකින් සාර්ථකත්වය ලබනවාට වඩා ඉහළ යැයි මම සිතනවා. මවක් සාර්ථක දැයි අහන්න ඕනා දරුවන් වෙතින්, උත්තරේ මවට ඇහෙන්නෙ නැති තැනක දී 😀


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: