අරුණි ශපීරෝ‍ වෙතින්

එකම ප්‍රශ්න එකම විදියට විසඳන උත්සාහය නැවතේ ද?

Posted in Uncategorized by arunishapiro on ජනවාරි 13, 2012

ෆ්ලොරීඩාවේ වතුර නැති දූපත් (Keys) හිරිගල් කොදෙව් බිම් රැසකින් නිමැ වී ඇත. එහි ජීවත්වෙන ජනතාවට (73,000 පමණ) වතුර සපයන්නේ මයාමි සිට එන දැවැන්ත පයිප්ප හරහා ය. මයාමි නගරයෙන් සැතපුම් 15 ක (කිලෝමීටර් 24) දකුණින් පටන් ගන්නා ෆ්ලොරීඩා කීස් අවසන් වන්නේ Dry Tortugas වලිනි. ඇමෙරිකාවේ දකුණු අගිස්සේ සිට කියුබාවට දුර සැතපුම් 90 (කිලෝමීටර් 140) කි.

“දූපත්වල ගම” අර්ථය ස්පාඤ්ඤ බසින් දක්වන ඉස්ලමදෝරා දකිනා විට එය කොරෝනා බියර් දැන්වීමක් සිහියට නංවයි.

අප ගිය රුවල් නැවේ කප්පිත්තා නවසීලන්ත ජාතිකයෙකි. ඔහු වසර 30 කට පෙර රුවල් නැවක් දකුණු ඇමෙරිකාවට නවසීලන්තයේ සිට ගෙන ආවේය. ඒ GPS සැටලයිට් මඟින් මඟ පෙන්වන විජට්ටු නැති කාලයක. ඔහු මුහුද මැදින් ගමන් ගමන්නෙ මාලිමා යන්ත්‍ර හා සිතියම් අනුව ගණන් හදමිනි. නැවේ හතර දෙනෙක් වූ අතර හතර දෙනාම නැව මෙහෙයවන හැම අංගයක් ම දැන සිටියහ.

දකුණු ඇමෙරිකාවේ දී රුවල් නැව බාර දුන් පසු ලැබූ මුදල් එහි දී ඔහුගෙන් මංකොල්ලකරුවන් පැහැර ගන්නා ලදි. යන එන මං නැති වූ කැප්ටන් ස්ටීවන් සාජන්ට් මයාමි නගරයට බෝට්ටුවක නැඟ ආ තවත් ඇමෙරිකාවේ නැවතුණු සංක්‍රමණිකයෙක්ගේ සාර්ථක ජීවිතයක් කියයි.

කැප්ටන් සාර්ජන්ට්ගේ මුල් ම රැකියාව මයාමි නැව්තොටුපළට එන නැව් වල ඇති අශූචි ටැංකි සුද්ද කිරීම ය. එවක දී ඒවා සුද්ද කරන්නට ඒවා ඇතුලට බැසිය යුතුය. අද ඔහු රුවල් නැව් කිහිපයක අයිතිකරුවෙකි. තමන් කැමති රුවල් නැව් පදවන රස්සාවේ යෙදෙන සාර්ථක ස්වයං ව්‍යාපාරිකයෙකි.

දූපතකට ගොඩ වෙද්දී එහි අතරමං වූ තරුණයෙක් හා තරුණියක් අපට හමුවූහ. ඒ එද්දී තිබියාට වඩා රැල්ල වැඩි වීම නිසා ඔවුන් පැදගෙන ආ කයැක් දෙකින් ආපහු යන්නට නොහැකිව ය. රුවල් නැවෙන් ගිහින් දාන්නම් යැයි පොරොන්දු වී අපි ඔවුන්ගේ තොරතුරු ඇසුවෙමු.

ගත් කටට ම තරුණයා තමා ඉපදුනේ කියුබාවේ යැයි කීය. තරුණිය ඔහුට ඉතිරි කාලය පුරාම වදේ ගැහැව්වේ මයාමි තදාසන්න නගරයක හැදුණු වැඩුණු ඔහු ඉපදුනේ කොහෙද යන්න කීම ලකුණු දා ගන්න කළ වැඩක් හැටියට සලකා ය!!!

දූපත් අතර රුවල් නැව යද්දී ඇමෙරිකාව ආරක්ෂා කරන නාවික හමුදා හා නාවික උප හමුදා නැව් නිතර මුණ ගැසේ. රුවල් නැවේ රේඩියෝවෙන් අපිට මුහුදුබත් වන පුංචි ඔරුවක් ගැන ද නිවේදනයක් කඩින් කඩ ප්‍රචාරය වෙනවා අහන්නට ලැබුණි.

අපේ රුවල් නැව අසලට ආ එක් නාවික හමුදා බෝට්ටුවක් ඉන්නා අය ගැන තොරතුරු විමසීය.

“මම නවසීලන්ත ජාතිකයෙක්. මේකෙ ඉන්න අනිත් සේරම ඇමෙරිකන් පුරවැසියන්,” යැයි ඔහු හඬගෑය!!!

කියුබාවෙන් පළා එන වැසියන් කෙසේ හෝ ඇමෙරිකන් බිමට පය ගසා ඇත්නම් ඔවුනට රටේ සරණාගතයන් වීමට හැකිය. එහෙත් ඔවුන්ගෙ කකුල් තෙමෙන්නේ නම් ඉවුරට අඩියක් තිබිය දී වුව ද ඔවුන්ව ආපසු යැවේ.

මේ වතුරේ සිටි මෝරෙක්ව මම කැමරාවට අල්ලා ගන්න ගත්තු උත්සාහය.

සුදු අප්පුහාමි ඒ වතුරේ පිහිනුවාට මායි ටිකිරියි රුවල් නැවේ තිබිච්ච උණු වතුර පයිප්පය තමයි පාවිච්චි කළේ.

ලෝකය වටා රුවල් නැවක නැඟ යන්නට හැකියාව අද නැත. රුවල් නැවකින් යා හැකි දේශ සීමාවන් අල්පයකි. ඒ තාක්ෂණය මදිකම හෝ මුහුද සැර නිසා හෝ මෝරුන් ඉන්නා නිසා නොවේ.

ඩ්‍රයි ටෝර්ටූගා වලින් පහළට ගිහින් දකුණු කැරීබියන් දූපත් වල රුවල් නැවකින් සැරිසරන්නට ගිය තරුණ යුවලක් ගැන මේ කැප්ටන් සාර්ජනට් කියූ කතාවයි. හයිතිය ආසන්න මුහුදේ දී මුහුදු මංකොල්ලකරුවන් කුඩා බෝට්ටුවකින් ඇවිත් සැමියාට පහර දී තිබූ මුදල් උදුරා ගෙන භාර්යාවට අමානුෂික වධ දී අවසානයේ දී මංකොල්ලකරුවන් සැවොම විසින් දූෂණය කර පළා ගොස් ඇත.

ජෝර්ජ් බර්ජරොන් අහන ප්‍රශ්නය මෙතැන දී අදාල වෙයි: “මිනිස්සු නීති වලින් ගැලවෙන්න වංචා කරන්න පටන් ගත්තු ගමන් ඔයා හිතන්නෙ සමාජයට මොකක් ද වෙන්නෙ?”

සමාජයක වැසියන් මුලින් කරන්නෙ සුළු සුළු වංචාවන් වෙති. අවසානයේ දී සමාජයක් එහි තවදුරටත් ජීවත්වනු නොහැකි තරමට වංචාවේ හා අපරාධයේ යෙදෙති. එතැනට ආවාම කොතරම් නීති ගෙනාවත්, කොතරම් ලොකු හමුදාවක් තිබියත් සමාජයක් බේරාගත නොහැකිය.

ඉරානයේ ධීවරයන් 13 දෙනෙකු දවස් 40 කට වඩා කාලයක් අසු වී සිටි සෝමාලි මුහුදු මංකොල්ලකරුවන් ගෙන් බේරා ගන්නට පසුගිය දා ඇමෙරිකන් නාවික හමුදාවට පුළුවන් විය.

ලෝකයේ හැමදා ඇවිළුණු එකම ප්‍රශ්න එකම විදියට විසඳන උත්සාහය නවතන්න වැඩි කලක් නොගොස් පටන් ගැනේවි ද?

Advertisements

44 Responses

Subscribe to comments with RSS.

  1. Sudath said, on ජනවාරි 13, 2012 at 1:57 ප.ව.

    ඔබගේ බොහෝ ලිපි වල මෙන්ම මේ ලිපියේත් බොහොම වැදගත් කරුණු ගණනාවක් අඩංගු වී ඇත. එනිසාම මෙය සාරගර්භ ලිපියකි. මවිසින් මෙයට පෙර ද පෙන්වා දී ඇති පරිදි ඔබගේ ලිපිය කියවන්නාගේ සිතට කා වදින්නේ නැති බව මගේ අදහසයි. තව දුරටත් පැහැදිළි කරන්නේනම් මගේ අත්දැකීම මෙය කියවීම පාඩම් පොතක් කියවනවාටත් වඩා අතිශයින්ම වෙහෙසකර බවයි. ඔබගේ සිතෙහි ඇති අදහස් සියල්ලම එකවර කියන්නට යාම මෙම ලිපි මෙසේ වීමට හේතුවදැයි මට ඇතැම් විටකදී සිතෙනවා. ඔබ දිනක් කියා තිබුනා සිංහලයෙන් ලිවීම පුරුදු වීම සඳහා මෙසේ ලියන බව. ඔබ විශාල වශයෙන් ලිපි ලියන බව නම් පැහැදිළියි. මා සිතන්නේ ලියනවාටත් වඩා කියවීම වැඩි කළහොත් ඔබගේ ලිවීමේ හැකියාව වැඩි වනු ඇතැයි කියා ය. එහෙත්, එසේ කියවන්නේනම් මේ බ්ලොග් පෝස්ට්ස් ම කියවන්න එපා. ඇතැම් බ්ලොග් පෝස්ට්ස් ලියා ඇත්තේ බොහෝම අවියත් ආකාරයකටයි. එනිසා, හොඳ භාෂාවෙන් රචිත සම්භාව්‍ය රචනාවන් හොයාගෙන කියවන ලෙසයි මා ඉල්ලා සිටින්නේ. සිංහල පුවත්පත් වලින් ඇතැම් ඒවාත් ඉතා පහත් මට්ටමෙන් භාෂාව හසුරුවන බවයි මා දකින්නේ.
    සන්නි‍වේදනයේ වැදගත්ම දේ සන්නිවේදකයා විසින් අදහස් කරන දේ ඒ ලෙසින්ම තේරුම් ගැනීමට හැකි වන ලෙස එම කටයුත්ත කිරීමයි. සන්නිවේදනය කරන කාරණය මොනතරම් ගැඹුරු ද සාරගර්භද යන්න දෙවැන තැනට දැමිය හැකියි.
    මගේ කමෙන්ට් එකෙන් ඔබගේ සිත නොරිදේවා කියා පතමි.
    අපගේ දැනුම දියුනු කරන ලිපි තව තවත් ලිවීමට ඔබට දිරිය ලැබේවා.

    • arunishapiro said, on ජනවාරි 13, 2012 at 6:57 ප.ව.

      Sudath,

      ස්තූතියි සුදත් අදහස් සේරට ම. ඔව් අදට වඩා හොඳින් හෙට ලියන්නට උත්සාහ ගන්නා නිසා සිත කිසිසේත් ම රිදෙන්නේ නැහැ එහෙම පෙන්වා දුන්නා කියා.

      බ්ලොග් අවකාශයේ කියවන්නට ඇති ඒවාට අමතරව අන්තර්ජාලයෙන් ලංකාවේ පුවත්පත් සේරම කියවනවා. අන්තර්ජාලයේ කප්රුක වැනි සිංහල කඩ වලින් සිංහල පොත් ගෙන්වා ගෙන ද කියවනවා. 80 ගණන් වලට පෙර සිංහල පොත් බොහොමය කියවා තියෙනවා. ඊට පස්සෙ රචිත හොඳ පොත් ටිකක නම් කිහිපයක් කියන්න පුළුවන් ද මට අරගන්න?

      මම දන්න එක අඩුපාඩුවක් තමයි ලියද්දී අදහසක් ගැන හිතන්නෙ ඉංග්‍රීසියෙන් ද සිංහලෙන් ද කියලා අවධානයක් නොදීම. සමහර වෙලාවට ඉංග්‍රීසියෙන් හිත හිත සිංහලෙන් ලියන්න යනවා කියා මට ම අහුවෙනවා. ඒක හදාගන්නත් ඕනා.

      ආයෙත් බොහොම ස්තූතියි.

      • Inesh said, on ජනවාරි 16, 2012 at 11:57 ප.ව.

        අරුණි,

        මට English වලින් හිතෙනවානම් මන් නම් හුගක් කමතියි.සින්හලෙන් හිත හිත English වලින් වෑඩ කරද්දි හුගක් අමරුයි.මන් ඉන්නෙ ලන්කාවෙ හින්ද වෙන්නත් පුලුවන්, සමහර වෙලවට ඔබේ ලිපිවල එකට එකට නොගෑලපෙන විස්තර ගොඩක් තියනවා,ඒ ඔබෙ හිතට එන සිතුවිලි ඒ විදිහටම කියන්න යන හින්ද වෙන්න පුලුවන්,එකත් ටිකක් හදගමගෙ කලාව වගේ.පොඩි ගතියකුත් තියනවා.එක දෙයක් ගෑන කතාකරද්දි එ ගෑනම කතාකරන්න,අර ගතිය රස විදින්න අමරු අයට එකෙන් හොදක් වෙවි.

        • arunishapiro said, on ජනවාරි 17, 2012 at 10:06 පෙ.ව.

          Inesh,

          එකට එක නොගැලපෙනවා කියලා හිතෙන්නෙ ගැලපෙන විදිය අල්ලා ගන්න තරමට දැනුම ඔයාට මදි නිසා … තව කියවන්න රටේ ලෝකයේ සිද්ධ වෙන දේවල් .. එතකොට අමුණා ගන්න හැකියාව ලැබේවි.

          හඳගමගේ කලාවට ආසන්න වෙන්න මට ලොකු ගමනක් යන්න තියෙනවා!!!!

          ඉංජිනේරු උපාධියක් නැතිව මාසෙකට පනස්දාහක් සොයන පුංචි මල්ලියෙක් මම දන්නවා. චින්තනය හිරවෙලා … උපාධියක් ඕනා .. අතන රස්සාව මෙතැන රස්සාවට වඩා හොඳයි යන හැමදාම එකම විදියට හිතන තැන. හැමෝටම ඉංජිනේරුවෝ වෙන්නත් බෑ. ඒ වගේම ඉංජිනේරුවෝ වූ හැමෝම එයින් සතුටක් ලබන්නෙත් නැහැ.

          ඔව් ආත්මාර්ථකාමී නැතැයි කියා ගන්නා අය අතින් ආත්මාර්ථකාමි විප්ලව තමයි වැඩියෙන් ම වෙන්නෙ!!!!

  2. emailkavikaari said, on ජනවාරි 13, 2012 at 2:19 ප.ව.

    මට නං මේ වෙලාවෙ තියන එකම ප්‍රශ්නය A/Lප්‍රතිඵල හරිද වැරදිද කියන එකයි. කට්ටිය ගියා විසඳන්න නමුත් විසඳුනු පාටක් පේන්න නැහැ. මෙ කියන මොහොතෙත් ලකුණු පරණ තිබුනු විදියමයි. Check results for admission numbers 1490613,1483161 & 7622562 in http://www.doenets.lk and compare island ranks,

    • arunishapiro said, on ජනවාරි 13, 2012 at 7:04 ප.ව.

      emailkavikaari,

      අපි අහන්න ඕනා ප්‍රශ්නය උසස් පෙල ප්‍රතිඵල හරි ද වැරදිද කියා නෙමෙයි. අද උසස් පෙල සමත්වුනා කියල තියෙන වාසි මොනවා ද කියල ද?!!!

      //තිබියාට// කියන්නෙ කර්ම පදයක් නෙමෙයි ද? මේ සැරේ සිංහලට දිවයිනේ උසස් පෙල වැඩිම ලකුණු දිනාගත් සිසුන්ට ඉගැන්වූ කෑගල්ල දිස්ත්‍රික්කයේ මගේ යෙහෙළි ගුරුවරියට කතා කරලා අහ ගන්න වෙයි වගේ.

      ඒත් ඉතින් එයාලා දිවයිනේ ඉහළ ම ලකුණු ගත් අය ද? නැද්ද?!!!!!!!

      • emailkavikaari said, on ජනවාරි 14, 2012 at 1:56 පෙ.ව.

        උසස් පෙල සමත් වූ නිසා තමා අක්කෙ මගෙ දෝණි ශිෂ්‍යත්වයක් ලබල පිටරට ගියෙ. ලෝකෙට දොරටු විවුර්ත වෙන අවස්තාවක් මේක සමහරුන්ට. ඇය දැනටමත් පර්යේෂණ කරන්ටත් පබ්ලිකේශන්ස් කරන්ටත් පටන් අරන්.

        වසර කීපෙකට පෙර ගණිත අංශෙන් පලමුවැනියා වුන පුතෙකුගෙ තාත්තා තැවෙනවා ලැබුනු ශිෂ්‍යත්ව ප්‍රතික්ශේප කල එක ගැන

        • arunishapiro said, on ජනවාරි 14, 2012 at 8:42 පෙ.ව.

          emailkavikaari,

          ඔව් ලෝකෙට දොරටු විවෘත වෙනවා ටික දෙනෙක්ට. ඒත් බහුතරයට ඒ එක විභාගයක් නිසා එතැනින් පසු ජීවිතය ඉතා දුෂ්කරයි.

          ලංකාවේ සාමාන්‍ය පෙළ විෂයයන් සියල්ලට ම A ලැබිච්ච මා දන්නා දුවෙක් උසස් පෙළ තෙවතාවක් උත්සාහ කර විශ්ව විද්‍යාලයකට යන්න තරම් ලකුණු ගත්තෙ නැහැ. අද එයා පිළිගැනීමේ නිලධාරිනියක් හැටියට ඉංජිනේරු ආයතනයක වැඩ පටන් ගෙන.

          ශිෂ්‍යත්ව ලැබෙන්නෙ ඉතා ස්වල්පයකට. අනිත් බහුතරයට කුමක් වන්නේ ද කියා ද සලකා බලන්නට ද ඕනා නේද?

      • Inesh said, on ජනවාරි 17, 2012 at 12:19 පෙ.ව.

        A/L පාස් අයගෙන් 10% ටයි වි වි වරම්.අත්මාර්තකමි විප්ලව.

    • අමා said, on ජනවාරි 15, 2012 at 9:46 ප.ව.

      අරුණි අක්කා ගණිත අංශයෙන් වි වි යන අයට නම් රැකියා හිඟයක් නැහැ. අඩු ගානේ වි වි නොගියත් වෙනත් දෙයක් හරි කරගන්ට පුළුවන්. අනිත් අංශ ගැන මට මෙහෙම කියන්ට බැරි මට අත්දැකීම් නැති නිසා. උසස් පෙළ ඉහලින් සමත් වීම නිසා මට ලංකාවේ වි වි ගොස් ඉංජිනේරු අංශයේ රැකියාවක් කරන්ට පුළුවන් උනා. මගේ වි වි මා හිටි අවුරුදු 4 තුල කවදාවත් වැහුවෙත් නැහැ. ඉතින් මගේ කාලේ අපතේ ගියෙත් නැහැ. වි වි පිටවෙද්දීම මට ඕනා වැටුපත් එක්කම රැකියාවත් හම්බු උනා… ඉතින් උසස් පෙළ සමත් උනා කියල ඇති වැඩේ මොකක්ද කියල අහන්ට බැහැ!

      ඔන්න සාමාන්‍ය පෙළ නම් දැන් එහෙම වැදගැම්මකට නැති විභාගයක් වෙලා. සාමාන්‍ය පෙළ ගණිතය සහ උසස් පෙළ ගණිතය තියෙන්නේ ගව් ගානක් ඈතින්. සා පෙළ ගණිතයට A ගන්නවා කියන්නේ කජු කනවා වගේ වැඩක්. එකට A ගන්න අහිංසක ළමයි උසස් පෙළ ත් එහෙමයි කියා හිතාගෙන අමාරුවේ වැටෙනවා!

      • අමා said, on ජනවාරි 15, 2012 at 10:56 ප.ව.

        ඔව්, සමස්තයක් හැටියට ළමයි අතරමන් කරවන අධ්‍යාපන පද්ධතියක් තමා තියෙන්නේ.
        නමුත් උසස් පෙළ සමත් අසමත් වූ කනේක්ගේ තත්වය සමත් කෙනෙක්ට වඩා බෙහෙවින් දුෂ්කර බවත්, ඒ නිසා මේ උසස් පෙළ ප්‍රතිපල අවුල ඉතාම ශෝචනීය, මනසට වධ දෙන තත්වයක් බවයි මට කියන්ට උවමනා උනේ …

      • arunishapiro said, on ජනවාරි 16, 2012 at 11:55 පෙ.ව.

        අමා,

        //ගණිත අංශයෙන් වි වි යන අයට නම් රැකියා හිඟයක් නැහැ// ගණිතයෙන් විතරක් ලබන රැකියා ලොව කොතරම් ද? නැත්නම් ගණිතය හා වෙනත් හැකියාවක් එකතු වී ලබන රැකියා නේද වැඩි?

        විශ්ව විද්‍යාල රැකියා ලොව ඇත්තේ කොතරම් ස්වල්පයක් ද?

        ලංකාවේ ගණිතයෙන් ඉහළට යන්න හැකියාව ඇත්තේ ද කොතරම් ස්වල්පයකට ද?

        ස්වල්පයක් ඉන්නා අවස්ථාවේ දී, ඔව් ඒ ස්වල්පයට වැඩි අවස්ථා තියෙනවා. මම කතා කළේ සමස්ථ සිසු පරපුර ගැන. ඔවුන් සාමාන්‍ය පෙළ දී කැපී යනවා, උසස් පෙළ දී කැපී යනවා. ඒ අය අතරින් කොයිතරම් ටික දෙනෙක්ට ද පසු කාලයක දී උත්සාහයෙන් නැවත ඉහළ අධ්‍යාපනයක් ලබන්න පුළුවන්?

      • අමා said, on ජනවාරි 16, 2012 at 5:50 ප.ව.

        ආ මම අදහස් කලේ උසස් පෙලට ගණිතය විෂය ධාරාව හදාරලා, භෞතික විද්‍යා විෂය ධාරාවෙන් වී වී යන අයට රැකියා හිඟ නැහැ කියල. ඒ රැකියා ගණිත අංශයෙන්ම නෙවෙයි. ගොඩ වෙලාවලට වෙනත් අංශ . උදාහරනෙකට බැංකු අංශය වගේ.

        නමුත්, ඔව්, අක්කගේ කතාව සමස්ත ය ගැන. ඒකට එකඟයි. උසස් පෙළ සමත් වෙන්නේ බොහොම ටික යි. එයිනුත් වී වී යන්නේ තවත් සුළු පිරිසක්.

      • Inesh said, on ජනවාරි 17, 2012 at 12:13 පෙ.ව.

        උසස් පෙළ ගණිතය හොදයි,lankawe බහුතරයක් ඉන්ජිනෙරුවෙක්ගෙ පඩිය කියද?40000,,ඩොක්ටර් කෙනෙක්ගේ private කලේ නෑත්නම් 30000,කලා ඈදල ඉන්න නම් එ ටිකත් ඈති.කලා ඈන්දහම athi හින්දා මිනිස්සුන්ට උසස් පෙල Maths හා Bio science ජය වෙවා.මම Engineer කෙනෙක් හෑබයි අපෙ අම්මල තාත්තලා දෑනගෙන හිටියනම් උසස් පෙළට වඩා හොද දෙවලුත් ලොකේ තියනව කියල මන් dhanata වඩා සතුටු වෙවි.

  3. emailkavikaari said, on ජනවාරි 13, 2012 at 2:31 ප.ව.

    ඒ එද්දී තිබියාට වඩා රැල්ල වැඩි වීම නිසා /තිබුනාට වඩා රැල්ල වැඩි වීම නිසා

  4. chandi said, on ජනවාරි 13, 2012 at 9:16 ප.ව.

    හරිම සුන්දර ගමනක් ගිහින් අපිත් එක්ක බෙදාගත්තාට ස්තූතියි. මගෙ අයියා කෙනෙක් ඉන්නවා සෝමාලියානු මුහුදු කොල්ල කරුවන් එක්ක සති දෙකක් දුක් වින්ද. අයියා නම් කියන්නෙ එයාට මූදු රස්සාව එපාම උනේ ඒ ගමනින් කියල. උන් කන කෑම එකට චූ කරල දුන්නලු. කවදා මේ අසමත්ජාති වැඩ ලෝකෙන් ඉවත් වෙයිද?

    • arunishapiro said, on ජනවාරි 14, 2012 at 8:08 පෙ.ව.

      chandi,

      අපිටත් ප්‍රවෘත්ති වලින් අහන්න ලැබෙනවා ඉඳහිටක දී සෝමාලි මුහුදු කොල්ලකරුවන් අල්ලා ගන්න ශ්‍රී ලාංකිකයන්ව මුදා හරින එක ගැන. මොකද කොල්ල කන්න තරම් සල්ලි ලාංකිකයන්ට නැහැයි කියලාලු. Elmore Leonard ලියන Djibouti නවකතාව සෝමාලි මුහුදු කොල්ලකරුවන් වටා ගෙතුනක්.

      එක්සත් ජාතීන් ඇතුළු විසල් ආණ්ඩු වලින් ප්‍රශ්න විසඳිය හැකි යැයි සිතන බොහොමයකගේ මතය තමයි සෝමාලි අයට රැකියා අවස්ථා නැති නිසා මුහුදු කොල්ලකරුවන් වී ඇතැයි කීම.

      ඇෆගනිස්තානයේ අබින් වගාවෙන් ජනතාව අයින් කරන්න ඔවුන් ලවා දෙළුම් වගා කරන ව්‍යාපෘති පටන් ගත්තා … මේක කියන්නෙ ව්‍යාපාරිකයන් අබින් වවන්නන්ට දෙළුම් වවන්න යැයි කියති කියලා වුනාට ප්‍රවෘත්තිය කියවාගෙන යනකොට එය කරන්නෙ ව්‍යාපාරිකයන් ද නැද්ද කියලා දැනගන්න පුළුවන්. මේ එක්සත් ජාතීන්ට හා දේශපාලකයන්ට කත් අදින, ඇමෙරිකන් බදු ගෙවන්නාගෙ සල්ලි වලින් මල්ල පුරවා ගන්නා තඩි!!! දෙළුම් වලට ලෝකයේ තියෙන ඉල්ලුම, ලැබෙන මිල අබින් වලට අහළකින් වත් යන්නෙ නැති බව මේ විසල් ව්‍යපෘති යෝජනා කරන අය හිතන්නෙ නැහැ. යමක් හොඳ පමණින් මිනිසා එය කරාවි යැයි සිතනවා. සල්ලි දුන්නොත් කරාවි යැයි සිතා අබින් වවනවාට වඩා දෙළුම් වැව්වම වැඩියෙන් සල්ලි දෙනවා … වෙළඳපොලට එය වැඩි කාලයක් කරගෙන යන්න බැරි වුනාම ව්‍යාපෘතිය ඇණ හිටිනවා. ලෝක වෙළඳපොලේ දෙළුම් ව්‍යාපාරිකයන් බංකොළොත් වුනාට එක්සත් ජාතීන්ගෙ ව්‍යාපෘති පටන් ගත්තු කිසිම නිලධාරියෙක්ගෙ රැකියාව අහිමි වෙන්නෙ නැහැ.

      චාන්දි අක්කා අප්‍රිකා මහා ද්වීපයේ සැරි සරා ඇති බැවින් නීතිය අනුගමනය කළ යුත්තේ ඇයි දැයි නොදන්නා මහත් ජනතාවක් දැක ඇතිනෙ. මම අප්‍රිකා මහා ද්වීපයේ කිසිදු රටකට ගිහින් නැහැ. සුදු අප්පුහාමි එහෙ විවිධ රටවල වැඩ කරලා තියෙනවා. ගෝත්‍රික ආකල්ප රජයන පරිසරයක සැමට එක සේ බලපාන නීතියත්, එය අනුගමනයත් අවශ්‍ය ඇයි දැයි කියා නොදැනීමෙන්, කොච්චර පිටතින් ආධාර දුන්නත් බේරාගත නොහැකි බව පැහැදිලිවම දකිත හැකි බවයි එයා කියන්නෙ.

      ඒ අසමජ්ජාති හැසිරීම් ඉවත් වෙන්නෙ පිටතින් ආධාර නැහැ තමන් විසින් තමා ඉන්න සමාජයේ හැම දෙනාට ම එක සේ බලපාන නීති පනවා ඒවා අනුගමනය කළ යුතුය යන්න අවබෝධයක් රටේ වැඩි පිරිසක් ලැබූ දාට.

  5. W.A. Wijewardena said, on ජනවාරි 13, 2012 at 11:49 ප.ව.

    Economists call this phenomenon, Gresham’s Law which originated in 17th century Britain when Queen Elizabeth wanted to issue currency in low valued metal instead of issuing them in gold coins. Gresham told the Queen that all the people who will get the gold coins will hoard them and issue only the low-metallic coins back to circulation. Thus, he said that good money cannot remain in circulation with bad money. It gave rise to the famous saying that ‘Bad money will drive out good money’. Now economists have generalised it to describe any good thing that stands side by side with bad things: If bad people are promoted in an organisation, bad employees will drive out good people, if bad students are passed by a university, it will drive out good students, if criminals are tolerated by a society, it will drive out law aiding people etc. The latest from SL is the alleged lowering of the Math pass mark at OL from 40 to 17, meaning that all the good mathematicians will driven out in the future! This is why Sinhala folk saying has advised us to nib the evil at the bud for otherwise you will not be able to cut it even with an axe later.

    • arunishapiro said, on ජනවාරි 14, 2012 at 8:34 පෙ.ව.

      W.A. Wijewardena,

      Andrew Ross Sorkin ලියූ Too Big to Fail: The Inside Story of How Wall Street and Washington Fought to Save the Financial System—and Themselves පොත සෑහෙන්න මූලාශ්‍ර වලින් හා පැහැදිලි කිරීම් වලින් යුතු රසවත් පොතක්. ඒත් එකම අඩුපාඩුව එහි ඇමෙරිකන් ආණ්ඩුවත්, ආණ්ඩුවේ අයට කත් අදිමින් තම මල්ල පුරවාගන්නා තඩියන් විසින් සූරා කෑවේ ඇමෙරිකාවේ බදු ගෙවන, sound money පිළිවෙත් අනුගමනය කළ අයව බව කියන්න කිසිත් උත්සාහයක් නොගැනීම.

      ඒ බේරා ගැනීම් නිසා වුනේ ඔබ කියන්නා සේ වගකීමෙන් හා අවදානමක් ගනිමින් මුදල් ආයෝජනයෙන් රටේ ආර්ථිකයට සහාය දුන් ඒකීය පුද්ගලයන්, ව්‍යාපාරිකයන් හා බැංකු වෙළඳපොලෙන් ඉවත් වී හොරුන්ට රජ කරන්නට අද ඉඩක් ලැබීම. වෙනසක් කියා බෙරිහන් දුන් ඔබාමා ද අද වැඩියෙන් ම තම දෙවන මැතිවරණයට මුදල් ලබන්නේ එදා බේරාගත් අයගෙන්. අනිත් පැත්තෙ ඉන්න රොම්නිටත් එහෙමයි. ඇමෙරිකන් ජනතාව අතර මෙය දකින්නට හැකි පිරිස තමයි අද තත්වය වෙනස් කරන්නට රොන් පෝල් හා එකතු වී ඔහුට සහාය දෙන්නේ.

      විශ්ව විද්‍යාල උපාධියක ඇති වටිනාකම ගැන ද උදම් ඇනූ ලෝකය කෙමෙන් නැති වීගෙන යනවා. හේතුව විශ්ව විද්‍යාල අධ්‍යාපනය සතු වැඩි පිරිස එකම විදියකට නිමැ වූ යන්ත්‍ර වගේ වෙලා නිසා. උපාධියක් ඇත්තා උපාධියක් නැත්තාට වඩා වැඩියෙන් ආදායම් උපයනවා යැයි ඇහෙද්දී ඒ දත්ත වලට උපාධි ඇති එහෙත් රැකියාවක් නැති මහත් පිරිස ගණනය වනවා ද?!!! උපාධිය නෙමෙයි වටින්නෙ තමන් ඉගෙන ගන්න විෂයය වෙළඳපොලට අවශ්‍ය දැයක් ද නැද්ද යන්න සොයා බලන්න දන්නෙ ලෝකයේ ම කොතරම් ටික දෙනෙක් ද? අද දකුණු කොරියාවේ උපාධියට ලැබෙන රස්සා මඳ වී වෙළඳපොල ඉල්ලන උපාධි අනවශ්‍ය රස්සාවලට පුහුණුව හා පළපුරුද්ද ඇති අය වෙනත් රටවල් වලින් ගෙන්නා ගන්න වෙලා. සමහර වෙලාවට උපාධි ඇති අය තම රටේ ඒ උපාධියට සරිලන වැටුප් ලැබිය හැකි රැකියා නැති නිසා වෙනත් රටවල වෙළඳපොල ඉල්ලන උපාධි අනවශ්‍ය රැකියා වලට යනවා.

      ලෝකය ස්වභාවයෙන් ම සාමානාත්මතාවයකින් නැහැ. සමානාත්මතාවයක් ඇති කරන්න ගන්නා සියළු උත්සාහයන් ඒ නිසා අසාර්ථකයි.

  6. රාජ් said, on ජනවාරි 14, 2012 at 12:39 පෙ.ව.

    //එහෙත් ඔවුන්ගෙ කකුල් තෙමෙන්නේ නම් ඉවුරට අඩියක් තිබිය දී වුව ද ඔවුන්ව ආපසු යැවේ.//
    එච්චර නීති තදයිද? මං අහන්නෙ කියුබාවෙන් එන අයටත්?

    • arunishapiro said, on ජනවාරි 14, 2012 at 9:20 පෙ.ව.

      රාජ්,

      මේක රටවල් දෙකක් විසින් මුහුදු සීමා ගැන තියන ප්‍රශ්නයක් හැමදාම හිතන විදියට විසඳන ආකාරය!

      කියුබාවෙන් එන අයට විතරයි රටට පය තැබූ පමණින් සරණාගත බව ලැබෙන්නෙ. අනිත් රටවල අය වෙනත් දේ සාධක වලින් පෙන්වා කාලයක් හිටියාම තමයි සරණාගත බව ලබන්නෙ.

      ජීවිතය බේරා ගන්නට වුවත් නාවුක හමුදාවට දැනුම් නොදී රුවල් නැවට ඔවුන්ව දාගන්න අපිට අවසර නැහැ. නැවේ රේඩියෝවෙන් දැනුම් දුන්නාම ඔවුන්ව ආපසු යැවෙන නිසා, නීතිය කඩ නොකර කළ හැක්කේ ගොඩබිමට යා ගන්නට ජීවිත ආරක්ෂා කරන ලයිෆ් ජැකට් එකක් ඔවුන්ට විසි කිරීමයි. ඒත් ඉතින් මෝරු ආවොත් මොකක් කරන්න ද?

      ජීවිතය පරදුවට තබා රටකින් මිනිස්සු පිටත් වෙන්නේ රට කොච්චර නරක නිසා ද?

      පය නොගැසූ තාම මුහුදේ පිහිනන අය ගැන සෑහෙන්න දුකයි. මොකද එයාල කකුල් වතුරේ නිසා හිටගෙන හිටියත් නැවත කියුබාවට ගෙනිහින් දානවා. ඒ යැවෙන අය කියුබාවේ සිරගෙවල් වලට තමා කෙළින් ම. කොමියුනිස්ට් රටවල් වලින් පළා යන්න තහනම්නෙ.

  7. ගෝල්ඩ් fish said, on ජනවාරි 14, 2012 at 1:23 පෙ.ව.

    අබිරහස් වගේ ප්‍රශ්න….

    • arunishapiro said, on ජනවාරි 14, 2012 at 8:36 පෙ.ව.

      ගෝල්ඩ් fish,

      ඒත් යාළු මාළුවෝ බොහෝ විටෙක දී ප්‍රශ්න නෙමෙයි අබිරහස් වෙන්නෙ, ඒවට දෙන උත්තර හැමෝම පිළිගන්නෙ ඇයි කියන එකයි අබිරහස!!!

  8. ravi said, on ජනවාරි 14, 2012 at 3:08 පෙ.ව.

    මට මතක් උනේ Stephen King ගෙ Duma Key කතාව…….

    / එහෙත් ඔවුන්ගෙ කකුල් තෙමෙන්නේ නම් ඉවුරට අඩියක් තිබිය දී වුව ද ඔවුන්ව ආපසු යැවේ /

    අරුණි…… මෙතන ” කකුල් තෙමෙන්නේ නම් ” කියල අදහස් කලේ මොකක්ද කියල පැහැදිලි මදි…..

    • arunishapiro said, on ජනවාරි 14, 2012 at 8:52 පෙ.ව.

      ravi,

      මම මේන් ප්‍රාන්තයේ වාසය පටන් ගත්තාම එහි වාසය කරන ස්ටීවන් කින්ග් පොතක් ගත්තා කියවන්න .. පළමු පිටු දහය ඉක්මවන්න බැරි වුනා … කොතරම් බිය වූවා ද කිව්වොත් වැඩට ගිය සුදු අප්පුහාමිව කළින් ගෙදර ගෙන්න ගත්තා. මේන් ප්‍රාන්තයේ කුඩා ගමක අපි විසුවේ. ඒ පැත්ත දැක්කොත් ස්ටීවන් කින්ග්ට එවැනි බියකරු කතන්දර ලියන්න අදහස් පහළ වෙන්නෙ ඇයි කියලා දකින්න පුළුවන්!!!

      ගිය අවුරැද්දෙ ස්ටීවන් කින්ග් ටිකිරි යන කැම්පස් එකේ කතාවකට ආවා. ඒකෙ ටිකට් විකිණීම පටන් ගෙන පැය කිහිපයකින් ඉවර වුනා. ඔහුට ඇති කැමැත්ත තවමත් ඉහළයි.

      “කකුල් තෙමෙන්නේ නම්” කියා ඇත්තේ කකුල් ඇත්තේ මුහුදු වතුරේ නම් කියන එකයි. ගොඩබිමට පය තැබුවා නම්, ඒ කියන්නේ මුහුදු වතුරෙන් පය තෙමෙන්නේ නැත්නම් ඔවුන් ඇමෙරිකාවේ භූමියට පය තැබුවා වෙනවා. කියුබාවත් ඇමෙරිකාවත් අතර දුර සැතපුම් 90 ක් කියුවානේ. එතකොට මුහුද මෙච්චර දුරක් කියුබාවට අයිති සහ මෙච්චර දුරක් ඇමෙරිකාවට අයිති කියන සීමා පෙන්වීම ලෝක සම්මුති අනුව අපහසුයි. අපිට කියුබාව අසලට යා හැකියි, කියුබාව දිහා බලාගෙන රුවල් නැවේ සිටිය හැකියි, වීසා අවසර නැතිව, ඒත් එහි ගොඩබිමට පය ගහන්න වීසා අවශ්‍යයයි. ඔවුන්ට ඇමෙරිකාව අසල මුහුදේ සිටි පමණින් ඇමෙරිකාවට ආවා කියන්න බැහැ. ඇමෙරිකාවට ආවා කියන්නට භූමියට පය ගැසිය යුතුයි.

      ඒ නීතිය කියුබානුවන්ට පමණයි. ගොඩබිමට පය ගැසූ පමණින් වෙනත් හේතු නොසලකා සරණාගත බව ලැබෙන්නේ ද කියුබානුවන්ට පමණයි.

      • ravi said, on ජනවාරි 15, 2012 at 11:54 පෙ.ව.

        Thanks Aruni, for the clarification,

        Stephen king is one of my favourite writers. He has his own incomparable style of writing rendering you mesmerized with sheer terror and I really love that feeling.

        Stephen & I go a long way back together, more than two decades actually…..starting with ” Cujo ”. I am certainly looking forward to his latest, ” 11/22/63 ”

        In his introduction Stephen always says ” Dear constant reader, okay, the commercial is over, grab onto my arm now. Hold tight. We are going into a number of dark places where what lurks in the shadows even I don’t know. But I know the way. So keep faith & if I kiss you in the dark, it’s no big deal ; it’s only because I love you. Now listen ”

        And goes onto paralyze you with fear invariably.

      • Ravi said, on ජනවාරි 16, 2012 at 12:07 ප.ව.

        කතාව ඇත්ත අරුණි…ස්ටීවන් කිංගෙ කතා කියවන්න අමාරුයි පරිකල්පන ශක්තිය වැඩි අයට….හෙහ්, හෙහ්,

        ඒත් අනික් අතට පරිකල්පන ශක්තිය අඩු උනාම කියවල වැඩකුත් නෑ නේද?…..

        • arunishapiro said, on ජනවාරි 16, 2012 at 12:15 ප.ව.

          Ravi,

          ඒකනෙ .. අළුත් විදියක විසඳුමක් සොයා ගත යුතු හැමදාම එකම විදියකට එන ගැටළුවක් වගෙ!!! ස්තූතියි .. ඉමැජිනේෂන් කියන්නෙ පරිකල්පන ශක්තිය කියා මතක් කළාටත්. මත්පැන් තියන පින්‍යා කොලාඩාවක් බීලා පරිකල්පන ශක්තිය මොට කරලා කියවන එක විසඳුමක් වෙයි ද?!!!!

  9. emailkavikaari said, on ජනවාරි 14, 2012 at 8:39 පෙ.ව.

    http://lankacnews.com/sinhala/news/42302/

    අපේ හමුදා සෝමාලි කොල්ලකරුවන්ගෙන් වනසා නැවු 50ක් බෙරාගෙන

  10. dayal-bathee said, on ජනවාරි 15, 2012 at 10:45 ප.ව.

    අරුනිගෙ කැමරාවට මෝරව අල්ලගන්න බැරිවෙලා!

  11. ඉන්දික උපශාන්ත said, on ජනවාරි 16, 2012 at 4:32 පෙ.ව.

    කොරියානුවන්ට නැති, ප්‍රජාතන්ත්‍රවාදෙ තිබ්බත් අනන්ත දුක් විඳින බංගලින්ට හරි හයිටින්ට හරි නැති වරප්‍රසාදයක් ඇයි කියුබනුවන්ට විතරක්?


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: