අරුණි ශපීරෝ‍ වෙතින්

මට සිහිනයක් තියෙනවා, අපි ජයගන්නවා

Posted in Uncategorized by arunishapiro on ජනවාරි 16, 2012

“මට සිහිනයක් තියෙනවා, අපි ජය ගන්නවා” යැයි කියා ලෝක ප්‍රසිද්ධියට පත් වූයේ මාටින් ලූතර් කින්ග් ජූනියර් නැමති කළු ඇමෙරිකානුවා ය. ඇමෙරිකාවේ සුද හම ඇති අය පමණක් නොව කළු හම ඇති අය ද ලෝකයේ තවත් පැත්තක ඇති හොඳ දෙයක් බාරගන්නට කැමැත්ත දක්වනවා ද? ඔහු තම නිදහස් සටන සඳහා යොදා ගන්නේ මහත්මා ගාන්ධිගේ අවිහිංසා විරෝධතා ක්‍රම විධි. අද ඇමෙරිකාවේ මාටින් ලූතර් කින්ග් ජූනියර්ගේ උපන් දිනය සමරන නිවාඩුවයි.

මාටින් ලූතර් කින්ග් ජූනියර් ඉල්ලා සිටියේ ඇමෙරිකන් ව්‍යවස්ථාවෙන් ස්ථාපනය කර තිබි අයිතීන් ය. ඇමෙරිකාවේ පළමු ජනාධිපතිවරයා, ජෝර්ජ් වොෂිංටන්, සිය පදවිය අත්හැර දමා යද්දී අවවාද කළේ ඇමෙරිකාවට කාලයක් යනතුරු විසඳා ගන්නට අමාරු වන මේ ගැටළුව ගැන වෙහෙසෙන්නට කියා ය. ඔහුගේ අභාවයෙන් පසුව ඔහුගේ භාර්යාව ද මිය ගිය පසු ඔහුට අයිති වූ සියළු වහල් සේවකයන්ට නිදහස ලැබෙන්නට ඔහු තම අන්තිම කැමති පත්‍රය ලියුවේය!!!

උතුරු ඇමෙරිකාවේ වහල් සේවය පටන් ගන්නේ 1619 දී ය. ඒ ඕලන්ද නැවක් අප්‍රිකාවෙන් වහල් සේවයට 20 දෙනෙක් වර්ජීනියාවේ ජේම්ස්ටවුන් වෙතට ගෙන ඒමෙන් ය. 1776 දී නිදහස් ප්‍රඥප්තියට අත්සන් ගසා ඇමෙරිකාව බ්‍රිතාන්‍යයෙන් ඉවත් වෙද්දී “සෑම මිනිසෙක්ම එක හා සමාන අයිතීන් වලින් යුතු වේ” යන්න ලියැවේ. ඒත් වහල් අයට (සියළු කළු අයට නොව) සහ කාන්තාවන්ට තිබි අයිතීන් (උදා: චන්දය) එක හා සමාන නොවුණි. 1865 දී ව්‍යවස්ථාවට 13 වැනි සංශෝධනය ඇතුල් වී වහල් සේවය අහෝසි කරන ලදි. කාන්තාවන්ට චන්ද දමන්නට හා චන්දය ඉල්ලන්නට අයිතිය ලැබෙන්නේ 1920 දී ය. ඒ ප්‍රංශයෙන් පටන් ගත් කාන්තාවන්ට චන්ද දෙන හා ඉල්ලන අයිතීන් සඳහා වූ සටන ඇමෙරිකාවට ද ගෙන ඒමෙනි.

2009 වෙද්දී කළු ඇමෙරිකානුවෙක් (ඔබාමා?) ජනාධිපතිවරයෙක් විය. 2012 දී ජනාධිපති අපේක්ෂක තරඟ මුල් වටයේ දී ම ඊට තරඟ වැදි එකම කාන්තාව, මිෂෙල් බාහ්ක්මන් පැරදුනා ය. අයින් රෑන්ඩ් ජීවත්ව සිටියා නම් ඇය බෙහෙවින් සතුටු වනු ඇත. මන්ද අයින් රෑන්ඩ්ට අනුව කාන්තාවකට ජනාධිපති ධූරය අනවශ්‍ය පීඩනයකි!!!!

මාටින් ලූතර් කින්ග් ජූනියර් නමින් ඇමෙරිකාවේ වීදි නම් වී ඇති නගර 730 ක් 2006 දී වාර්තා වෙයි. ඉතාලියේ නගර 10 කට වඩා ප්‍රමාණයක මේ නමින් යුතු වීදියක් ඇතැයි ද සටහන් වෙයි.

අයෙක් පුදන්නට ඔහුගේ නමින් වීදියක් නම් කරනවාට වඩා ඔහු කළ උත්සාහය ඉදිරියට ගෙන යෑම වඩා අගනේ ය. මහත්මා ගාන්ධිට කරත හැකි ඉහළම ගෞරවය නම් අවිහිංසා විරෝධතාවයකින් අයිතීන් ජය ගැනීමයි. මාටින් ලූතර් කින්ග් ජූනියර්ට කරත හැකි ඉහළ ම ගෞරවය නම් ආණ්ඩුවේ සුබ සාධන වලින් ජීවත්වෙන කළු ඇමෙරිකානුවන් තම වෙහෙසෙන් අනුන් හා තරඟ කරන සමාජයක පුරවැසියන් බවට පත් කිරීමයි.

බෙනින් ටෙරස් මහජන නිවාස සංකීර්ණයේ කර්ටිස් මොන්රෝ, මයිකල් ටෝලන්ඩ් හා රොජර් මාෂල් තම කාලය, කුසලතා හා ආදායම යොදවන්නේ එහි ජීවත්වන තරුණ කළු අයට නිසි මඟ පෙන්වන්නට ය. වසර 15 කට පෙර එහි විසූ 12 හැවිරිදි කොල්ලෙක් මත්ද්‍රව්‍ය, දාමරික ක්‍රියාවන් හා ප්‍රචණ්ඩත්වයෙන් යුතු කල්ලි නිසා හිසට වෙඩි ලබා මිය යන ලදි. මොන්රෝ, ටෝලන්ඩ් හා මාෂල් විසින් එකතු වෙන්නේ ආණ්ඩුවේ සැලැස්මකට නොව තමන් විසින් ගැටළු සොයා බලා ආණ්ඩුවේ සහනාධාර වලින් නොවන ගැටළු විසඳන මාර්ගයකට. තව විස්තර මෙතැනින්.

මාසෙට ලැබෙන ඩෝල් එක වෙනුවට ඔවුන් තරුණයන්ව පාසැලේ ඉගෙන ගන්නට, ක්‍රීඩා වලට හා රැකියා වලට අවස්ථා සොයා දෙති. දරුවන් වෙනුවෙන් පාසැල් ගුරුවරුන් හමුවන්නට ද ඔවුන් යති. ආණ්ඩුවෙන් මාසෙකට මුදලක් දෙනවාට වඩා ඔවුන් කරනා කියනා කටයුතු සොයා බලන්නට හිතවත් අයෙක් සිටී නම් ඔවුන් යහමඟට යොමු කරවිය හැකි බව පෙන්වමින් වසර 10 ක් පුරා කිසිම කල්ලි සම්බන්ධ වූ මරණයක් සිද්ධ නොවේ.

හැමදාම තියෙන ගැටළුවක් එකම විදියකින් විසඳන්නට නොගිහින් ගැටළුව කුමක් දැයි කියා නැවත සොයා බැලිය යුතුය.

නැවක් මුහුදුබත් වීමට ඇති හැකියාව හැමදාම තියෙන ගැටළුවකි. ටයිටැනික් ඛේදවාචකයෙන් පසු නැවේ ඉන්නා පිරිසට ජීවිතය බේරා ගන්නා බෝට්ටු අරන් යන්නට නැව් ගමන් පහසුකම් සපයන්නෝ උත්සුක වූහ. එසේම යම් උවදුරක් හට ගත්තේ නම් වහාම පිළියම් සෙවීම ද උවදුරෙන් වන හානිය අඩු කරගත හැකි තවත් පිළිවෙතකි.

කොස්ටා කොන්කෝරඩියා නැමති ඉතාලි නැව පසුගියදා මුහුදුබත් විය. ජීවිතය ආරක්ෂා කරන පිළිවෙත් ඇත්තේ අනුගමනයට ය. උවදුර නොසලකා සිටීමෙන් උවදුර නැති වී නොයයි. ගලක වැදී නැවට හානි වී ඇත්නම් එය කොතරම් කාලයක් වසන් කරගෙන සිටිය හැකි දැයි යන්න ගැටළුව විසඳන මාර්ගයක් හොයනා අයෙක් කරන්නක් නොවේ.

තමන් ඉදිරියේ ඇති ගැටළුව විසඳන මාර්ගය ලැබෙන්නේ ලොව කොයි පැත්තෙන් ද නොව, එය සාර්ථක වූ මාර්ගයක් දැයි සොයා බලන්නට උත්සුක වීමෙන් ගැටළුව විසඳා ගන්නට ඉඩක් පෑදේ.

පාලකයන් මුදල් සොරා ගන්නා කාලයක, ජෙසී ජැක්සන්, ඇල් ශාප්ටන් වැනි කළු නාමය විකුණාගෙන ජීවත්වන අයට ගරු බුහුමන් පුදන කාලයක, කළු ඇමෙරිකානුවන් වෙනුවෙන් වෙහෙසන මොන්රෝ, ටෝලන්ඩ් හා මාෂල් තිදෙනාගේ වික්‍රමයන් ඔබාමා ආණ්ඩුව කවදා දකිවී ද? එය මාටින් ලූතර් කින්ග් ජූනියර්ට කරන ඉහළම ගෞරවය යැයි පිළිගනීවි ද?

Advertisements

17 Responses

Subscribe to comments with RSS.

  1. ඕනයා (Dulip Sikurajapathy) said, on ජනවාරි 16, 2012 at 12:42 ප.ව.

    මේ පෝස්ට් එකේ තිබුන පොඩි කරුනු කීපයක් මම ගමන් කරමින් ඉන්න පාර වෙනස්කරන්න සමත්වෙයි කියල මට නිකමට වගේ හිතෙනව . . . බලමු

  2. W.A. Wijewardena said, on ජනවාරි 16, 2012 at 10:48 ප.ව.

    Great, and I enjoyed it thoroughly. Keep it up.

  3. රාජ් said, on ජනවාරි 16, 2012 at 11:04 ප.ව.

    සුදු සහ කළු පරතරයක් තවමත් තියනවද? (මම අහන්නෙ නීතිරීති වලින් නෙවේ, සමාජීයව ගත්තම). ඒවගේම ආර්ථික පැත්තෙන් සුදුඅය කළුඅයට වඩා ඉස්සරහින්ද ඉන්නෙ?

    • arunishapiro said, on ජනවාරි 17, 2012 at 10:00 පෙ.ව.

      රාජ්,

      සමාජයක් හැටියට අද ඇමෙරිකාවේ විවිධ වර්ග හා විවාහ වී හෝ විවාහ නොවී එකට දරුවන් හදනා අය වැඩිවෙමින් පවතිනවා. ඒක සුදු, කළු, ඉන්දියන්, චීන විතරක් නෙමෙයි ස්වදේශී ඇමෙරිකානුවන් අතර ද දකින්න ලැබෙන්නක්.

      ෆුට්බෝල්, බාස්කට්බෝල් හා ගොල්ෆ් (ටයිගර් වුඩ්ස්) වගේම මලල ක්‍රීඩා වලින් ද කළු අය තමා වැඩියෙන් ම ආදායම උපයන කොට්ඨාශය!!! ඉතිහාසයේ පටන්, ස්වයං ව්‍යාපාරිකයන්, වෛද්‍යවරු, ඉංජිනේරුවෝ, සුපිරි උසාවියේ විනිසුරුවන්, නළුවන්, රේඩියෝ හා රූපවාහිනි නිවේදකයන්, කොටස් වෙළඳපොල දක්ෂයන් යනාදී නන් අංශ වලින් ස්ව උත්සාහයෙන් ධනවත් වූ සුළු ජාතිකයන් බොහොමය ඉන්නවා.

      සුදු අයට වඩා ඔවුන් අඩු ඒ අයගේ ජනගහණය ද සුදු අයට වඩා අඩු නිසා!!!

  4. අමා said, on ජනවාරි 17, 2012 at 12:22 පෙ.ව.

    //තමන් ඉදිරියේ ඇති ගැටළුව විසඳන මාර්ගය ලැබෙන්නේ ලොව කොයි පැත්තෙන් ද නොව, එය සාර්ථක වූ මාර්ගයක් දැයි සොයා බලන්නට උත්සුක වීමෙන් ගැටළුව විසඳා ගන්නට ඉඩක් පෑදේ. //

    අපේ අයට මේක තේරුම් යන්ට තව කොපමණ කල් යාවිද?
    සමහර ගැටළු වලට පැහැදිලි විසඳුම් පෙනෙද්දීත් මේවා අපේ දේ නොවේ කියමින් සමහරු උඩ බලාගෙන සිටින එක ශෝචනීයයි.

    කර්ටිස් මොන්රෝ, මයිකල් ටෝලන්ඩ් හා රොජර් මාෂල් වැනි අය ගැන අහන්ටත් සතුටුයි අක්කේ. අපිට ඒ ගැන දැනුවත් කරාට ස්තුතියි!

  5. indika27 said, on ජනවාරි 17, 2012 at 1:41 පෙ.ව.

    ගැටලු විසඳන්න අවශ්‍ය නෑ ඔන්න ඔහෙ තිබුනාවෙ…විසඳුවම තව ගැටලු…

  6. Sudath said, on ජනවාරි 17, 2012 at 8:55 පෙ.ව.

    Congradulations.
    It is about to be excellent.

  7. chandi said, on ජනවාරි 18, 2012 at 12:21 පෙ.ව.

    සිහින ගැන මුලින්ම පාසැල් කාලයේ දීම දැන ගත්තේ ඔබේ පියාගෙන්. මුලින්ම ඔහුට ගෞරවය පුදකරනවා නංගී. සිහින තමයි ලෝකය ඉස්සරහට ගෙනියන්නේ. සුදු කලු බේදය අප්‍රිකාවේ තදින්ම තිබ්බා. විශේෂයෙන්ම දකුණු අප්‍රිකාවේ. අදටත් බොහොමයක් කලු අයගේ ඉඩම් අයිති සුද්දන්ටමයි. ඉදිරියට ලෝකෙම කලු අයගේ ජීවිත වෙනස් වේවි. ඔබාමාගේ ජයග්‍රහණය ඒ සඳහා ලොකු පියවරක් තැබුවා කියා මම හිතනවා. මේ අතර The Colour purple by Alice Walker ෆිල්ම් එක මතක් උනා.

    • arunishapiro said, on ජනවාරි 18, 2012 at 8:31 පෙ.ව.

      chandi,

      සුදු කළු භේදය විතරක් නෙමෙයි චාන්දි අක්කා නොයෙකුත් වර්ග වාදී භේද අප්‍රිකාවේ විතරක් නෙමෙයි ජර්මනියේ, ස්වීඩනයේ, නෙදර්ලන්තයේ, බෙල්ජියමේ, කැනඩාවේ .. එංගලන්තයේ වැනි හැම තැනකම තිබුණා, අදත් තියෙනවා. අතීතයේ කාලයක් රෝමන්වරුන්ට ද, මුස්ලිම්වරුන්ට ද තවත් කාලයක් ක්‍රිස්තියානිවරුන්ට ද ලෝකයේ නන් දෙස් ආක්‍රමණයට හා පාලනයට ඉඩ ලැබුණා. ඕලන්ද, පෘතුගීසි ආක්‍රමණිකයන් පරදවා බ්‍රිතාන්‍ය, ප්‍රංශ බලයන් ලොව පැතිර ගිහින් එහි අවසන් කාලය තමයි අපිට අප්‍රිකාවෙන් දකින්න ලැබෙන්නෙ. ඒ ඉතාමත් කෙටියෙන් කිව්වාම.

      ඉදිරියට ලෝකයේ සියළුම සුළු ජාතීන්ගේ ජීවිත වෙනස් වේවි!!!

      නැහැ ඇමෙරිකාවේ ජනාධිපති වීමෙන් ඔබාමා මෙතෙක් සිදු කර ඇත්තේ ඒ පැත්තෙන් ආපස්සට පියවර ගණනාවක්. ඔහුට කළ හැකි වූ බොහොමයක් ඔහු කළේ නැහැ.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: