අරුණි ශපීරෝ‍ වෙතින්

මාක්ස්වාදී ලෙනින්වාදීන් අයිතීන් වෙනුවෙන් සටන් වදිති. ඔවුන්ට ජයවේවා!

Posted in Uncategorized by arunishapiro on ජනවාරි 23, 2012

ඉන්දියාවෙන් ඇහෙන ප්‍රවෘත්තියක් ගැනයි සිරස්තලය. ඒකට යන්නෙ සටහනේ ටිකක් දුර ගියාම.

ලංකාවට රිචඩ් ඩෝකින්ස් ආවා කියල ක්‍රිස්තියානි, මුස්ලිම් හා හින්දු ආගම් අදහන කවුරුත් පෙළපාලි ගිය බවක් අහන්න ලැබුනේ නැහැ. බුද්ධාගමේ දෙයියෝ ඉන්නෙ පංසල් ඇතුලේ තියන කෝවිල් වල නිසා වෙන්නැති බුද්ධාගමේ අයත් පෙළපාලි ගිය බවක් ඇහුනේ නැහැ දෙයියෝ මුලාවක් යැයි කියන කෙනෙක් ලංකාවට ආව කියල.

අනික විද්‍යාඥයෙක් කියන දෙයක් එහෙම නැහැයි කියන්න පුළුවන් කාට ද?!!!!

Francis Sellers Collins දෙයියෝ අදහන විද්‍යාඥයෙක්. මේ අඩවියේ ඔහු ගැන සඳහන් කරපු තවත් ලිපියක් මෙතැන. ජානු විශේෂඥයෙක් සහ ශෛල්‍ය වෛද්‍යවරයෙක් වන ඔහු Human Genome Project එකට නායකත්වය දුන්න අයෙක්. 2006 දී ඔහු The Language of God: A Scientist Presents Evidence for Belief කියා පොතක් ලියනවා විද්‍යාඥයෙක් දෙයියෝ විශ්වාස කරන්නෙ ඇයි දැයි කියන්න.

රිචඩ් ඩෝකින්ස් ලියපු දේවල් වලින් සාමාන්‍ය මහජනයා දන්නෙ ඔහුගේ ජනප්‍රිය පොත් ගැන. ඒවා අතරින් විද්‍යාත්මක පර්යේෂණ ලිපි හැටියට පර්යේෂණ විද්‍යාඥයන්ට විචාරයට ලක් කරන්නට පළ කරපු ඒවා ගැන නොවේ. ඔහු බොහෝ විට දේශන පවත්වන්නේ පර්යේෂණ ලිපියක් ඉදිරිපත් කරන විද්‍යාත්මක සම්මේලන වල දී නෙමෙයි. ඔහු පවත්වන්නේ ප්‍රබන්ධ රචකයන් සේ මහජන දේශන. ඒ වගේම ඔහුගේ පොත් කියවන්නේ නැතිව, ඔහු කරන දේශන වලට පමණක් ඇහුම් කන් දෙන අයත් බහුලයි.

ඩෝකින්ස්ගේ ජනප්‍රිය පොත්වල එන විද්‍යාත්මක මත පිළිගන්නා අය විද්‍යාඥයෙක් හැටියට Human Genome Project එකට සම්බන්ධ වූ හා ශෛල වෛද්‍යවරයෙක් විදියට ජානුගත රෝගයන් වැළඳි ලෙඩ්ඩුන්ට ප්‍රතිකාර කරපු ෆ්‍රැන්සිස් කොලින්ස් ලියපු පොත කියැවීම කිසිත් විමසා බැලීමකින් තොරව ප්‍රතික්ෂේප කිරීම ද බහුලයි.

ෆ්‍රැන්සිස් කොලින්ස් ඇමෙරිකන්, ඒ මදිවට ඉවැන්ජලිකල් ක්‍රිස්තියානි. දෙයියො එක්ක කෙළින් ම කතා කරන්න හැකියාව මිනිසාට තියෙනවා යැයි හිතන ක්‍රිස්තියානි අයට අයිතියි. අතරමැදි ආගමික නායකයෙක් හරහා දෙයියො එක්ක ගණුදෙනු අවශ්‍ය යැයි හිතන ක්‍රිස්තියානි කොටසට අයිති කෙනෙක් නෙවෙයි. අනිත් අයත් තමන්ගෙ ආගමට ආ යුතුයි කියා ඒ වෙනුවෙන් වෙහෙසන්නෙත් ඉවැන්ජලිකල් ක්‍රිස්තියානි අය විතරක් නෙමෙයි. එහෙම අයට ඕනා අපි කැමති වුවත් අකමැති වුවත් අපි අතින් වන ආගම අනුව නරක යැයි සැලකෙන වැඩ නවත්තන්න, අපිව සාතන් ගෙන් බේරා ගන්න, නැත්නම් දිව්‍ය ලෝකේ ගෙනියන්න.

දෙයියෝ අදහන අය හා දෙයියෝ අදහන්නෙ නැති අය ඉන්නා ඇමෙරිකාවේ (2007 දත්ත: ක්‍රිස්තියානි 78.4%; වෙනත් ආගම් 4.7%; ආගමක් නැති 16.1%) ඉවැන්ජලිකල් ක්‍රිස්තියානි (බුෂ්ලා) හා ඉවැන්ජලිකල් ක්‍රිස්තියානි නොවන (කෙනඩි) දෙපැත්තෙන් ම ජනාධිපතිවරු පත් වී තියෙනවා. ඇමෙරිකාවේ පුරවැසියන් බිල් ක්ලින්ටන් සහ බරාක් ඔබාමා ජනාධිපතිවරු ලෙස පත් කරගත්තේ ඔවුන්ට වඩා දෙවියන්වහන්සේ ඇදහූ කුමන ප්‍රතිවාදීන් පරාජය කරලා දැයි, ඇමෙරිකාව දෙයියො අදහන අයයි ජනාධිපති කරගන්නෙ යැයි අවලාද කියන්නෝ සොයා බලන්නේ ද නැහැ. දෙයියෝ අදහන කෙනෙක් හෝ අදහන්නේ නැති කෙනෙක් පත්කර ගත් පමණින් රටක ප්‍රශ්න විසඳෙන්නේ නැහැ, වැඩි වෙන්නෙත් නැහැ … ඉතාලියේ ආර්ථිකය බංකොළොත් වෙද්දී වතිකානුව බංකොළොත් වෙයි ද?!!!

දැන් සිරස්තලයට එන්නම්. ප්‍රවෘත්තියේ සිරස්තලය Salman in No Rush to Die … ලියන්නෙ Shikha Dalmia විසින්. සල්මන් රශ්ඩී නැමති ඉන්දියාවේ උපන් රිචඩ් ඩෝකින්ස්ගෙ රටේ ම වාසය කරන ග්‍රන්ථ රචකයා ගැන අහලා ඇතිනෙ. එයා ලියපු The Satanic Verses පොත ගැනත් අහලා ඇතිනෙ. ඒක ලියපු නිසා එයාව මරන්න ලෑස්ති අයත් ඉන්නවා කියලත් අහලා ඇතිනේ!!!

ඉන්දියාවේ පැවැත්වෙන ජයපූර් සාහිත්‍ය උළෙල සල්මන් රශ්ඩී සහභාගී වෙන්නක්. ඒත් පසුගියදා ඒ උත්සවයට පැමිණෙන්නට සල්මන්ට වීසා දෙන්න එපා යැයි ඉන්දියානු රජයට බල කරන්න ඉන්දියාවේ මුස්ලිම් ආගමික නායකයෝ පිරිසක් විරෝධතාවක් දක්වා තියෙනවා.

ඉරානයේ අයටොල්ලා රුහොල්ලා කුමෙයිනි 1989 දී fatwa කින් මුස්ලිම්වරුන්ට සල්මන් රශ්ඩී මරන්නට අණ දෙනවා. ඉරානයේ ඉන්නේ ඉවැන්ජලිකල් නොවන මුස්ලිම් අය වෙන්න ඕනෑ. (ස්තූතියි ඉන්දික උපශාන්ත!) මොකද එයාලට දෙයියො එක්ක කෙළින් ම කතා කරන්න බැරි නිසානෙ ආගමික නායකයෙක් මාර්ගයෙන් යන්නෙ!!! 1998 වෙද්දී ඉරානයේ ජනාධිපති මොහොමඩ් කාසායී විසින් සල්මන් රශ්ඩී මරණ නියෝගය ඉවත් කරගන්නවා.

1989 සිට 1998 දක්වා කාලය ඇතුලෙ සල්මන්ව මැරුවා නම් හරි වැඩේ!!!

ඉරානයේ නියෝගය ඉවත් කරගත් බව කවුරු හරි ඉන්දියාවට දන්වලා යැව්වෙ නැද්ද?!! නැත්නම් ඉරාන මුස්ලිම් නියෝගය ඉවත් කරගැනීම ඉන්දියානු මුස්ලිම් අය පිළිගන්නෙ නැද්ද?!!!

සල්මන් ඉන්දීය පුරවැසියෙක් නිසා ඔහුට ඉන්දීය වීසා අවශ්‍ය නැහැ. ඉතින් වීසා කැන්සල් කරන්න විදියක් ද නැහැ ඉන්දීය ආණ්ඩුවට. රටේ කොටසක් එන්න එපා යැයි ඝෝෂා කරද්දී, වීසා දෙන්නට අවශ්‍ය නැති නිසා ආණ්ඩුවට වීසා කැන්සල් කරන්නත් බැහැනෙ. ඔහුව නසා දමන්නට මුදලට මිනීමරණ දෙන්නෙක් ද සූදානම් යැයි ද ප්‍රසිද්ධ රහසක්. එහි යෑම පවුලේ අයටත්, උත්සවයට සහභාගී වෙන අයටත්, සෙසු රචකයන්ටත් ආරක්ෂාව පිළිබඳ වගකීමකින් තොරව කරන කටයුත්තක් නිසා තමන් නොඑන බවට ප්‍රකාශයක් නිකුත් කර ඔහු යන්නේ නැහැ.

ඉන්දියාවේ දශක දෙකක තහනමකට ලක් වූ සල්මන්ගේ පොතින් කොටස් ජයපූර් සාහිත්‍ය උළෙලේ දී ප්‍රසිද්ධියේ කියවීම එහි සිටි සෙසු ඉන්දීය රචකයෝ කිහිප දෙනෙක් කළ බව කියැවේ. එපමණක් නොව ඔවුන් එසේ කියැවූ බව අන්තර්ජාලයේ ද බෙදා යවති. ඔවුන් සැබැවින් ම නිර්භීත අය ය.

සල්මන් රශ්ඩිගේ අදහස් ප්‍රකාශයට ඇති අයිතිය ආරක්ෂා කරන්නට අනිකුත් රචකයන් හා එක් වෙන්නේ ඉන්දීය කොමියුනිස්ට් පක්ෂයයි.

මාක්ස්වාදී ලෙනින්වාදීන් ගෙන් සෑදුනු ඉන්දීය කොමියුනිස්ට් පක්ෂය එහි ජාතික, ප්‍රාන්ත හා ප්‍රාදේශීය බියගුල්ලන් අතරින් වෙනස් වී සල්මන් රශ්ඩිගෙ අයිතිය සුරකින්නට ආ එකම දේශපාලන කල්ලිය වීම අරුමයක් නොවේ. ආගම අබිං යැයි කියන මතවාදයක ඉන්නා අය ආගමික නායකයන් වෙතින් පීඩනයට පත්වන අය වෙනුවෙන් ඉදිරිපත් වෙති. එසේම පසුගිය මැතිවරණයෙන් අන්ත පරාජයට පත් වූ ඔවුන් යළි ජනප්‍රිය වන්නට කුමක් හෝ කළ යුතුය!!

කෙසේ නමුත්, අදහසක් ප්‍රකාශයට ඇති නිදහස් අයිතිය රකින්නට අනිකුත් සියල්ලන් මුළුගැන්වී සිටිය දී ඊට නොබියව ඉදිරිපත් වීම නිසා ඉන්දීය කොමියුනිස්ට් පක්ෂය පැසසිය යුතුය. ඔවුන්ට ජයවේවා! මතවාදයට එකඟ නොවුනාට මිනිසාගේ නිදහස් අයිතියක් වෙනුවෙන් පෙනී සිටින්නේ නම් මගේ හෘදයාංගම ප්‍රසාදය මාක්ස්වාදී ලෙනින්වාදියෙකුට වුව ද පුද කරමි!!!! ඩොලෝරස් ඒත් කැමති නම් ලොලීටා කියා ගත්තාට කමක් නැත!!!

එහෙත් ඕනෑම ආගමකට පහර දෙන අයකුගේ අයිතිය රැකීමට පමණක් නොව ඕනෑම ආගමක් අදහන අයකුගේ අයිතිය රැකීම වෙනුවෙන් ද කවදා හෝ ඔවුන් පෙනී සිටිය හොත් එදාට සැබැවින්ම අපි සියල්ලෝම මනුෂ්‍ය්‍යන් වශයෙන් ජයග්‍රහණය කරනු ඇත!!!

පසුගියදා ලංකාවට සංචාරක වීසා අවසරයෙන් ආපු ඉන්දියාවේ, පකිස්තානයේ, බංගලාදේශයේ, මාල දිවයිනේ, සහ තවත් අරාබි අය ගෙන් සෑදුන 161 ක් Tabligh Jamat නමින් වන මුස්ලිම් ආගමික සංවිධානයක අය. ඔවුන් මුස්ලිම් ආගම කියා දෙන්නට උත්සාහ දරපු නිසා යැයි රටින් යන්න කියලා අණ දීලා. රටක නීතිය අනුව සංචාරකයෙක් කියන්නෙ රට බලන්න, නෑදෑ හිතවතුන් දැක ගන්න එන අයෙක්. ඉතින් එහෙම වීසාවකින් ඇවිත් ආගමක් දර්ශනයක් ප්‍රචාරයට මහජන රැස්වීම් වලින් උත්සාහ කරනවා නම් පැහැදිලිව නීතිය කඩ කිරීමක්.

ඒත්, රිචඩ් ඩෝකින්ස් ආවේ මොන වීසා එකකින් දැයි විමසූ අයෙක් ඉන්නවා ද?!!!

*****

කියුබාවෙන් චිත්‍රපටි!

ජනවාරි 23, 24 හා 25 වැනි දිනයන් හි සුදර්ශි ශාලාවේ (බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාව ඉදිරිපිට) දී කියුබානු චිත්‍රපටි නරඹත හැකිය.

ජනවාරි 23, සවස 4 ට Jose Marti, The Eye of the Canary
ජනවාරි 24, සවස 6 ට Old House
ජනවාරි 25, සවස 6 ට Red Hot City

ප්‍රවේශ පත්‍ර වැය හා ඉංග්‍රීසි හෝ සිංහල උපරැසි ඇත්දැයි නොදනිමි.

****

ලතාවන් බොහොමයක් අවුල් කර ඇත්තෙමි!!!! අවුල් ලිහා ගන්නට කියවන්නා විසින් මොළය වෙහෙසනු ඇතැයි සතුටින් බලා සිටින්නෙමි!!!!

****

අද හැඳින්වීම: මාක්ස්වාදී ලෙනින්වාදය (Marxism-Leninism)

සම්භව්‍ය මාක්ස්වාදී දෘශ්ටිය ව්ලැඩමියර් ලෙනින් අතින් විසදෘශ වී ඉදිරිපත් කිරීමයි. විප්ලවයක් ඇති වීම වළකනු සඳහා බුර්ජුවාසීය විසින් කම්කරුවන්ට යාන්තමට සෑහෙන පමණට වස්තුව ලබා දීම අධිරාජ්‍යවාදී වූ වෙළඳාම යැයි ඔහු හඳුන්වා දුනි. ඒ නිසා බුද්ධිමතුන්ගේ මෙහෙයවීමෙන් සහ කැප වූ විප්ලවවාදීන්ගේ දායකත්වයෙන් වූ අරගලයකින් කම්කරුවන්ට විමුක්තිය ලබා දිය යුතු යැයි ඔහුගේ මතය විය. සංවර්ධනය වන ලෝකය අධිරාජ්‍යවාදයට එරෙහිව විප්ලවවාදී පියවර ගත හැකි සටන් පිටිය යැයි ද ලෙනින් පෙන්වා දුන්නකි. 1919 දී මාක්ස්වාදී ලෙනින්වාදය කොමියුනිස්ට් අන්තර්ජාතිකය විසින් තම ප්‍රධාන දෘශ්ටිය බවට අනුචිත කර ගත්හ.

Advertisements

19 Responses

Subscribe to comments with RSS.

  1. ඉන්දික උපශාන්ත said, on ජනවාරි 23, 2012 at 10:41 පෙ.ව.

    ඉරානයේ අයටොල්ලා රුහොල්ලා කුමෙයිනි 1989 දී fatwa කින් මුස්ලිම්වරුන්ට සල්මන් රශ්ඩී මරන්නට අණ දෙනවා. ඉරානයේ ඉන්නේ ඉවැන්ජලිකල් මුස්ලිම් අය වෙන්න ඕනෑ. මොකද එයාලට දෙයියො එක්ක කෙළින් ම කතා කරන්න බැරි නිසානෙ ආගමික නායකයෙක් මාර්ගයෙන් යන්නෙ!!!

    නෑ ඒගොල්ලො ෂියා නිසා. සුන්නි මුස්ලිම් වරුන් දෙවියන් සමඟ සෘජුව ගණුදෙනු කරන්නන් වන අතර පල්ලියේ ආගම කියන්නාට ( ඉමාම් ) කුරාන් පාඨ ගායනාවට වඩා තැනක් දෙන්නෙ නැහැ. ඒ වගේම කිසිමාකාරයක රූප වන්දනාවකුත් නෑ. ඒත් ෂියා නිකායෙ තත්වෙ වෙනස්. ඒ අය හුසේන්ගෙ මුහුණ නැති රූප සහ ෆාතිමාගෙ කළු රෙද්දෙන් වැසුන පින්තූර උස්සන් පෙරහරේ යනව මුහරම් කාලෙට. ඒ වගේම අයතුල්ලහ් වරු සහ ඉමාම් වරු ගුරුන් හැටියට සලකමින් ඔවුන්ට විශේෂ පිළිගැනීමක් ලබාදෙනව.

    බටහිර මිණිස්සු සල්මනට තලිස්මාට අරුන්දතීට වැඩි තැනක් දුන්නෙ තමන්ගෙ රටවල් වල තීන පොදු පිළිගැනීම් විවෙචනය කරපු නිසාද නැත්තං ඇත්තටම මහලොකු උසස් සාහිත්‍ය කාරයො හින්දමද?

    • arunishapiro said, on ජනවාරි 23, 2012 at 10:56 පෙ.ව.

      ඉන්දික උපශාන්ත,

      වැරැද්ද හැදුවා. ස්තූතියි ඉන්දික උපශාන්ත!

      //බටහිර මිණිස්සු සල්මනට තලිස්මාට අරුන්දතීට වැඩි තැනක් දුන්නෙ තමන්ගෙ රටවල් වල තීන පොදු පිළිගැනීම් විවෙචනය කරපු නිසාද නැත්තං ඇත්තටම මහලොකු උසස් සාහිත්‍ය කාරයො හින්දමද?//

      බටහිර මිනිස්සු කියද්දී කොයි බටහිර අය ද ඔවුන්ට තැනක් දුන්නේ කියාත් විමසන්නට ඕනෑ. අරුන්දතී රෝයිගේ The God of Small Things (1997) පොත කියවන්න සෑහෙන්න වෑයමක් ගත්තට පළමු පිටු 10 න් එහාට යන්න මට බැරිවුනා … එය මහ ලොකු උසස් සාහිත්‍යයක් විදියට දැක්කේ බටහිර ඉන්නා වාමාංශික අදහස් ඇති අයයි කියා ඒ ගැන ගුණ වර්ණනා ලියූ අය දිහා බැලුවම මට හිතෙන්නක්.

      • රාජ් said, on ජනවාරි 23, 2012 at 11:30 ප.ව.

        මේ දෙන්නටම බුකර් ත්‍යාගය දුන්න නේද? ඒකෙන් හිතාගන්න පුළුවන්නේද කවුද බටහිරයන් කියල.

        • arunishapiro said, on ජනවාරි 23, 2012 at 11:41 ප.ව.

          රාජ්,

          ඔව් … තවත් “බ්‍රිතාන්‍ය” අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් තමයි!!! සල්මන්ගෙ Midnight’s Children වලටයි අරුන්දතී රෝයිටයි ලැබුනා. ලංකාවේ ඉපදුන මයිකල් ඔන්ඩච්චිටත් ලැබුනනෙ. මම ආසාවෙන් කියවපු Kiran Desai ලියූ The Inheritance of Loss (2006) ලැබුන බුකර් තෑග්ග.

  2. Buwa said, on ජනවාරි 23, 2012 at 11:56 පෙ.ව.

    හරවත් ලිපියක් කියවල පහල වුනු බොලඳ සිතුවිලි දෙකක් පහල සටහන් කරල තියනවා (බ්ලොඳ දේවල් ලිව්වාට අමනාපයක් නැ නොවැ )

    01)ඉන්දියාවේ මුස්ලිමුන්ට ඔච්චර බලයක් තියෙනව නම් පකිස්ථානයක් හැදුන එක අපරාදේ !

    02)වැඩි මිනිසුන් පිරිසකට සංවේදී දෙයක් විවේචනය කරන එකත් පොරක් වීමේ මාර්ගයක්!

    • arunishapiro said, on ජනවාරි 23, 2012 at 2:50 ප.ව.

      Buwa,

      සටහනෙන් කියන්නෙ ඕනෑම දෙයක් ලියුවාට අමනාපයක් නැති වගයි!!!

      1. යුදෙව්වන්ට ඊශ්‍රාලය හදා දීලා මුස්ලිම්වරුන් මැද්දෙ සාමයෙන් ඉන්න කිව්ව වගේ වැඩක්! භේද නැතිව හැමෝම සාමයෙන් ඉන්නෙ ලෝකෙ කොහෙද? ඉන්දියාවේ මුස්ලිම් හින්දු අරගල ගැන හොඳ පොතක්: The Production of Hindu-Muslim Violence in Contemporary India (2003) PAUL R. BRASS පුස්තකාලයක දී අරගෙන පිටු පෙරලලා තැනින් තැනින් කියෙව්වට මුළු පොත කියවලා නැහැ.

      2. මම හිතන්නෙ ඒක හැමෝට ම එපාවෙන අයෙක් වීමේ මාර්ගයක් කියලා! පොරක් වීමේ සාර්ථක හා ප්‍රතිඵල ගෙන දෙන මාර්ගය කියලා මා හිතන්නෙ වැඩි පිරිසකට සංවේදී දෙය විවේචනය නොකර සිටීමයි. සමහර විට මම “පොර” යන්නෙ අද තේරුම දන්නේ නැතිවා ඇති!!!!

  3. kevin perera said, on ජනවාරි 23, 2012 at 1:51 ප.ව.

    abstract writing ??????? 🙂

    • arunishapiro said, on ජනවාරි 23, 2012 at 2:53 ප.ව.

      kevin perera,

      කොයි අර්ථයෙන් ද? සියල්ලෙන් ම ද?!!

      1. thought of apart from concrete realities, specific objects, or actual instances: an abstract idea.
      2. expressing a quality or characteristic apart from any specific object or instance, as justice, poverty, and speed.
      3. theoretical; not applied or practical: abstract science.
      4. difficult to understand; abstruse: abstract speculations

  4. Shanthi Chandrasekera said, on ජනවාරි 23, 2012 at 4:58 ප.ව.

    honda lipiyak . godak dewal dana ganna labuna. thanks Aruni.

  5. රාජ් said, on ජනවාරි 23, 2012 at 11:36 ප.ව.

    නියෝගය ඉවත් කරගැනීම ඉන්දියානු මුස්ලිම් අය පිළිගන්නෙ නෑ. අන්න ඒකයි මගේ මතය. අන්තවාදීන් බහුලව ඉන්න දේශයක්නේ ඉන්දියාව. ඉරානය රෂ්ඩිව සියළු චෝදනාවලින් නිදොස්කොට නිදහස් කලත් ඉන්දියාවෙදි(පකිස්ථානෙදි හරි ඇෆ්ගනිස්ථානෙදි හරි වෙනත් රටකදි හරි වෙන්නත් පුළුවන්) ගල් ගහන්න ඕන තරම් උදවිය ඉන්නව.

    • arunishapiro said, on ජනවාරි 23, 2012 at 11:50 ප.ව.

      රාජ්,

      වසර 10 කට පෙර යුරෝපයේ වූ මුස්ලිම් කැමැත්ත වෙනස් වෙලා ගිහින් අද යුරෝපයේ මුස්ලිම් විරෝධයට ඉඩක් ලැබෙනවා. රටට මුස්ලිම් සංක්‍රමණිකයන් ගෙන්වා ගත්තට ඔවුන් වෙනත් ජාතීන් සේ යුරෝපීයයන් වූයේ නැහැ. ඒත් ජර්මානුවන් ග්‍රීක් අය විදියට කටයුතු කළේ කවදා ද? ප්‍රංශ ජාතිකයන් බ්‍රිතාන්‍ය සුද්දන් විදියට වැඩ කළේ කවදා ද? යුරෝපා හවුල බිඳ වැටෙන්නෙ ඔය ටික තාම පිළිගන්නේ නැතිකම නිසා.

      ඉන්දියානු, පකිස්තානි, බංගලාදේශී, මැලේසියානු යනාදී විවිධ ජාතික ලක්ෂණ මුස්ලිම් ආගමිකයන් අතර දකින්න තිබුණත්, අන්තවාදීන් ලෝකේ හැම රටක ම, හැම ජන කොට්ඨාශයක ම, හැම ආගමක් ම, හැම දේශපාලන මතයක ම ….. ඉතිරියත් දිගට ම පුරවා ගෙන යන්න පුළුවන්. තමන්ගෙ පවුලෙත් ඉන්නවානෙ අන්තවාදියෝ!!! කිසිම නීතියක් ගෙනැවිත් ඒ ස්වභාවික වූ මිනිස් ගති නැති කරන්නට පුළුවන් කමක් නැහැ.

  6. vimukthi said, on ජනවාරි 24, 2012 at 9:10 පෙ.ව.

    ලිපියයි කොමෙන්ට් ටිකයි බැලුවා ..මගේඅදහස දෙන්නම්…..

  7. kathandarakaraya said, on ජනවාරි 24, 2012 at 9:32 පෙ.ව.

    මං අද පත්තරේ දැක්ක ඕක රෂ්ඩි ඒම වලක්වන්න පොලිසියේ උං හදපු බොරුවක්ය කියලා.

  8. dawkinssdodo said, on ජනවාරි 24, 2012 at 9:49 පෙ.ව.

    මුස්ලිම් දේශකයන් පිටුවහල් කිරීමට තීරනය කර තිබෙන්නේ ඔවුන් වීසා කාලය ඉකුත්වු පසුවත් ලංකාවේ රැඳී සිටීම නිසාය.

    • arunishapiro said, on ජනවාරි 24, 2012 at 9:56 පෙ.ව.

      dawkinssdodo,

      ඔව්, ඔවුන් රටේ නීති කඩකරලා තියෙනවා: සංචාරක වීසා වලින් ඇවිත් දේශන පැවැත්වීම. වීසා අවසන් වූ පසු නික්ම නොයාම.

      හැබැයි ඇමෙරිකාව තලිබාන්ට ගහන්නෙ තෙල් අයිතියට දරන ඇමෙරිකන් අධිරාජ්‍යවාදී කුමණ්ත්‍රණයක් නිසා කියන ලංකාවේ සමහරු ඇමෙරිකාවෙන් දීලා තියෙන තොරතුර එනම් මේ අය තලිබාන්ට සම්බන්ධයි කියපු එක ඇහැව්වෙ ඇයි? මේ දවස්වල යුරෝපීය යුනියන් එකත් ඉරානයේ සම්බාධක ගැන කතා කරන නිසා හැමෝගෙම තෙල් හිඳෙයි බයට ද දන්නෑ!!!!

  9. www.randora.lk said, on ජනවාරි 24, 2012 at 11:46 පෙ.ව.

    මම ඉෂාර ගමගේ .කොළඹ කේන්ද්‍රගත් මාධ්‍යෙව්දියෙක්.අපි රන්දොර නමින් ව්‍යාපාරික,ආර්ථීක කටයුතු වලට වැඩියෙන් බර සිංහල වෙබ් අඩවියක් තව සති කිහිපයකින් එළියට දාන්නයි ඉන්නේ.ඒකට ඔබ තුමියව දායක කර ගන්න කියලා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති වෙලා හිටපු ඩබ්ලිවි.විජේවර්ධන මහත්මයා මට පුද්ගලිකව කිවිවා.නිර්දේශ කලා.

    ඔබ තුමියගේ බිලොග් එකට ප්‍රචාරයක් වෙන්නත් එක්ක එකේ ඒවා අපිට දාන්නත් පුළුවන්.එහෙම නැතිනම් අපිට වෙනම ලියන්නත් අපි ඔබ තුමියට ආරාධනා කර සිටිනවා.

    අපිට උදව්වක් දෙන්න.

    ස්තුතියි.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: