අරුණි ශපීරෝ‍ වෙතින්

“අශ්ව බලයෙන්” අශ්ව බෙටි අර්බූදය විසඳයි

Posted in Uncategorized by arunishapiro on ජනවාරි 25, 2012

19 වැනි ශ. ව. දී ලෝකයේ ජනගහණය සීඝ්‍රයෙන් වැඩි විය. වැඩියෙන් ම වර්ධනයක් දැකිය හැකි වූයේ ලන්ඩන්, පැරිස්, නිව් යෝර්ක් සහ චිකාගෝ වැනි අග නගර වල ය. ඇමෙරිකාවේ පමණක් නගර ජනගහණය මිලියන 30 කින් වර්ධනය වූ අතර ඉන් බාගයක් ම වැඩි වූයේ 19 වැනි සියවසේ අවසන් වසර විස්ස තුල දී ය.

ඉතින් මේ දැවැන්ත ජනගහණය තමන්ගේ පරිහණයට අවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය කරද්දී ගැටළුවක් පැන නැඟුණි. භාණ්ඩ ප්‍රවාහනය කරපු ප්‍රධාන ක්‍රමය නිසා අයපහත් අතුරැ ප්‍රතිපල ගණනාවක් බිහි විය. නගර වල තදබදය වැඩි විය. රක්ෂණ ගාස්තු ඉහළ යන ලදි. මාර්ග අනතුරු ද සීඝ්‍රයෙන් ඉහළ ගියේය. ආහාර මිල ඉහළ ගියේ සහ ආහාර හිඟයන් ඇති වූයේ ආහාර පිණිස කරන වගාව ඉන්ධන සඳහා වගාවකට හරවන්නට සිද්ධ වීම නිසා ය. විෂ සහිත සහ අපවිත්‍ර කරන අපද්‍රව්‍ය වායුවට එකතු වීම නිසා පරිසරයට පමණක් නොව පුද්ගලයන්ගේ ශාරීරික සෞඛයයට ද අවදානම් කාලයක් විය.

19 වැනි සියවසේ දී ලෝකයේ අග නගරයන්හි භාණ්ඩ ප්‍රවාහනය කරපු ප්‍රධාන ක්‍රමය වූයේ අශ්වයන් මාර්ගයෙනි.

19 වැනි සියවස අවසන් වෙද්දී (ස්තූතියි රවී!) නිව් යෝර්ක් නගරයේ අශ්වයන් 200,000 ක් ජීවත් වූ බව කියැවේ. එහි විසූ සෑම මනුෂයෙකුටම අශ්වයෙක් බැගින් විසූ බව කියැවේ.

ඉහත පින්තූරය මැසචූසෙට්ස්හි හාවඩ් විශ්ව විද්‍යාලය අසල දී පසුගිය ගිම්හානයේ දී ගත්තකි. මේ පඩිපෙල දැක්කාම ඒ ගැන සටහනක් ලියන්නට පින්තූරය ගත්තෙමි!!!

1900 දී අශ්ව අනතුරු නිසා නිව්යෝර්ක් වැසියන් 200 ක් මරුමුවට පත් වූහ. හැම 17,000 කින් ම එක් අයෙක් බැගින් ය. 2007 දත්ත දිහා බලද්දී රිය අනතුරු නිසා නිව් යෝර්ක් වැසියන් 274 ක් මරුමුවට පත් වූහ. හැම 30,000 කින් ම එක් අයෙක් බැගින් ය.

ඒත් අශ්ව අනතුරු හා රිය අනතුරු වලට වඩා වැඩියෙන් වූ හානිය පැමිණියේ අශ්ව බෙටි වලිනි. අලි බෙටි දැක ඇති නිසා අශ්ව බෙටි එතරම් විශාල ප්‍රමාණයක් යැයි සිතීමට නොහැකි වුවත්, අශ්වයන් ලක්ෂ දෙකක් නගරයේ ඉන්නේ නම් කොහොම වෙයි ද?!!!

සාමාන්‍යයෙන් අශ්වයෙක් රාත්තල් 24 ක් පමණ බෙටි දවසකට පහ කරයි. අශ්වයන් ලක්ෂ දෙකකින් රාත්තල් මිලියන පහක් පමණ .. ඒ එක දවසකට!!!

ඉතින් හිතන්න ඉන් ඇති පරිසර දූෂණය. ඒවා අස් කරන්න යන වැය? අශ්වයන් වැඩි වෙන්න කළින් අශ්ව බෙටි වලට ඉල්ලුමක් තිබුණ -පොහොර වලට. ඒත් සැපයුම දිනපතා ලැබෙන රාත්තල් මිලියන පහක් වෙද්දි .. එච්චර පොහොර ඕනා කාට ද?!!!

එවක දී අශ්ව බෙටි පාරවල් දෙපැත්තේ ගොඩ ගැසෙනවා, හෙන ඉහළට. ඉහළ පින්තූරයේ යකඩ පඩි පෙළ පටන් ගන්න තැන බලන්න. එතැනට වෙන තෙක් අශ්ව බෙටි ගොඩ ගැසෙන නිසයි කරත්තෙන් බැහැලා ගොඩනැඟිල්ලට ඇතුල් වෙන්න මේ යකඩ පඩිපෙළවල් හදලා තියෙන්නෙ. මේක 19 වැනි ශ. ව. ගොඩනැඟිල්ලක්, අද ඊයේ හදපු එකක් වගේ පෙනුම තිබුණාට.

නිව් යෝර්ක් නගරයේ සහ හාවඩ් වැනි පැරණි නගර වල මෙවැනි පිටතින් දා ඇති යකඩ පඩි සහිත ගොඩනැඟිලි බොහොමයක් තවම දකින්න ලැබෙනවා.

1898 වෙන කොට ලෝකයේ ජනගහණයෙන් අධික වූ නගර අශ්වයන් නැතිව ජීවත් වෙන්නටත් එසේම අශ්වයන් එක්ක ජීවත් වෙන්නටත් බැරි තත්වයකට ආවා.

ඒත් හදිසියේ ම ඒ ගැටළුව නිරාකරණය වුනා. මාර්ග තදබදය නැතිවෙලා ගියා. අශ්ව කෑම පිණිස වගා කරන ආහාර වෙනුවට මිනිස්සුන්ට කන්න ආහාර වවන්න හැකිවුනා. අශ්ව බෙටි “කඳු” වලින් පරිසරයට වූ හානියත් නැවතුණා.

“අශ්ව බලය” තමයි විසඳුම!!!!

ඒත් දැන් ඒ “අශ්ව බලයෙන්” ලැබිච්ච විසඳුම ආයෙත් මිනිසාව එවැනිම තත්වයකට ගෙනැවිත්. අශ්ව අර්බූදය නිසා මිනිස් පැවැත්ම තව දුරටත් පවත්වා ගත නොහැකි යැයි කියූ අය එදා සිටියා. අදත් එහෙමයි. මාටින් වයිට්ස්මන් කියන්නෙ හාවඩ් විශ්ව විද්‍යාලයේ පරිසරවේදී අර්ථ ශාස්ත්‍රඥයෙක්. ඔහු කියන විදියට මිනිස් පැවැත්මට අවශ්‍ය ඉන්ධන නිසා අහිතකර වායුව පිටවෙලා ගෝලීය උණුසම වැඩි වෙලා පෘතුවිය විනාශ වෙනවා.

දැන් තියන “අශ්ව බලය” නිසා ආයෙත් අශ්ව බෙටි වලටත් ඉල්ලුමක් තියෙනවා!! කොච්චර ඉල්ලුමක් තියෙනවා ද කිව්වොත් මැසචූසෙට්ස් වල එක ගොවියෙක් එයාගෙ අසල්වැසියා අශ්ව බෙටි හොරකම් කරනවා කියල පොලීසියට චෝදනා කරලා. අසල්වැසියා කියනවා මේක සුළු වැරදීමක්, එයාට ගොවියා අවසර දුන්නාලු අශ්ව බෙටි අරන් යන්න. ගොවියා කියනවා නැහැ නැහැ එහෙම නිකන් දෙන්නෙ නැහැ, කැමති නම් ඩොලර් 600 ක් දීලා අරගන්න කියල.

කවුද මේ අශ්ව බෙටි කැමති අසල්වැසියා? අර ගෝලීය උණුසුම ගැන අනාවැකි කියපු මාටින් වයිට්ස්මන්!!!

ඉතින් මේ කතාව පුවත්පත් වලට වැටුනා ම, වයිට්ස්මන් දන්නා අයෙක් ඔහුට පණිවිඩයක් යවනවා මෙහෙම: “සුබ පැතුම්! මා දන්නා බොහෝ අර්ථ ශාස්ත්‍රඥයන් කරන්නේ අශ්ව බෙටි ශුද්ධ අපනයනය. ඒත් ඔයා, බලාගෙන ගියාම පෙන්නේ හරියට ශුද්ධ ආනයනයක් කරන බවයි.” (Congratulations, Most economists I know are net exporters of horseshit. And you are, it seems, a net importer.)

සටහනේ විස්තර Steven D. Levitt සහ Stephen J. Dubner ලියූ Super Freakonomics (2009) පොත ඇසුරින්.

ඉතින් මේක කියෙව්වට පස්සෙ මට ආර්ථිකය ගැන ලියන්න ආරාධනා එන එකක් නැතිවෙයි!!!! 😀

Advertisements

14 Responses

Subscribe to comments with RSS.

  1. kathandarakaraya said, on ජනවාරි 25, 2012 at 9:03 පෙ.ව.

    අස්ස බෙටි ටොන් 2,100 ක දවසකට. බුදු අම්මෝ, ඒවා අයින් කරන කොන්ත්‍රාත්තුවත් ලොකු එකක් වෙන්න ඇති!

    එතකොට අස්සයෝ ටොන් කීයක් කන්න ඇද්ද ඔච්චර ටොන් ගානක් කක්කා දාන්න!

    • arunishapiro said, on ජනවාරි 26, 2012 at 11:21 පෙ.ව.

      kathandarakaraya,

      වැඩ වර්ජනයක් යද්දි කොහොම ද? !!!

      සාමාන්‍ය අශ්වයෙක් දවසකට රාත්තල් 15-35 ත් අතර ප්‍රමාණයක් කනවා.

      මෙහෙ කියන කතාවක් තමයි හැම අශ්වයෙකුට ම බැගින් තවත් අශ්ව තට්ටම් දෙකක් (අයිතිකාරයාගේ!) තියනවා කියල!!!

  2. kathandarakaraya said, on ජනවාරි 25, 2012 at 9:04 පෙ.ව.

    ස්පේෂ් ෂටලයේ පළල තීරණය කළේ අස්ස තට්ටම් හතරක මහත අනුව බඩ කියවෙන කතාව අසා තියෙනවාද?

  3. Ravi said, on ජනවාරි 25, 2012 at 11:53 පෙ.ව.

    දෙයියෝ සාක්කි…අරුණි…මේක නම විශ්වාස කරන්නත් අමාරුයි…අච්චර උසට අශ්ව බෙටි කන්දරාවක් ගොඩ ගැහෙනව කියල….හෙහ්, හෙහ්,

    හර්කියුලීස්ගෙ පස්වෙනි වික්‍රමය…..ඊජියස්ගෙ ගව ගාල ශුද්ධ කිරීමේ මෙහෙයුම මට සිහියට නැඟුනා…………..

    / 20 වැනි සියවස අවසන් වෙද්දී නිව් යෝර්ක් නගරයේ අශ්වයන් 200,000 ක් ජීවත් වූ බව කියැවේ/

    මෙතන දහනම වන සියවස වෙන්න ඕන නේද?…අරුණි,

    • arunishapiro said, on ජනවාරි 26, 2012 at 11:27 පෙ.ව.

      Ravi,

      ස්තූතියි රවී.

      නියම කතාව මතක් කළේ … මගෙ පරණ ඉස්කෝලේ, විශාඛාවේ, ලීඩර්ස්ලා සහ ඩීලර්ස් ගැන මුහුණුපොතේ දැක්කා … හර්කියුලීස්ට වුනත් ඩීල් ගහන්න කවුරු හරි කියලා දුන්නා නම් …

  4. චමිල said, on ජනවාරි 25, 2012 at 1:06 ප.ව.

    ජපානයේ නන් අමු අශ්ව මස් කියන්නෙ හරිම රස, මිල අධික කෑමක්. ඒ වෙනුවෙන් අශ්වයො ඇතිකරන ගොවිපොළවල් පවා තියනව. ඇමරිකාවෙ අශ්ව මස් කනවද? (මගේ උපකල්පනය නම් නෑ කියන එක තමයි. ඒක එහෙමද?)

    • arunishapiro said, on ජනවාරි 26, 2012 at 11:34 පෙ.ව.

      චමිල,

      ඇමෙරිකාවේ අශ්ව මස් (අමු නෙමෙයි කැමති විදියට හදාගෙන) කන්න නිදහසක් තියනවා. ඒත් අශ්වයන් මස් පිණිස හදලා මස් පැකට් කරලා වෙළඳපොලට ඉදිරිපත් කරන්න තහනමක් තිබුණා. 2006 නීතියකින්. ගිය අවුරුද්දේ ඒ තහනම ඔබාමා ආණ්ඩුව විසින් ඉවත් කළා.

      ඉලිනොයි සහ කැලිෆෝර්නියා ප්‍රාන්ත වල තවමත් අශ්ව මස් ආහාර පිණිස මරන්න හා විකුණන්න තහනම්. ඒත් තමන් හදන අශ්වයා තමන් විසින් මරාගෙන කන්න තහනමක් නැහැ.

      ඇමෙරිකාවේ මහ ආණ්ඩුවෙන් නීතියක් ගෙනාවත් අයින් කරත් ප්‍රාන්ත ආණ්ඩු වලට පුළුවන් එය බාර ගන්නවා ද නැද්ද යන්න තීරණය කරන්න.

  5. chandi said, on ජනවාරි 25, 2012 at 11:31 ප.ව.

    අශ්ව බෙටි උනත් පරිසරයට හිතකාමී නම් ඒක තමයි හොඳ. ඉන්ධන භාවිතය පරිසර හිතකාමී වෙන එක නම් ඉදිරියට යහපත් වේවි. ගොඩාක් පැහැදිලි විස්තරයක් අරුණි. මම ඔයාගෙ කලින් පිළිතුරටත් මේ ගමන් ස්තූති කරනවා. චීන ඩම්ප්ලින්ග්ස් මම ගෙදර හදනවා. ඒකයි මම ඇහුවේ. මම ඒක හදන්නේ පාන් අනන විදිහටම අනලා මැද්දට පෝක් සහ එළවළු මිශ්ශරනයක් සෝයා සෝස් සමඟ පුරවලා වාශ්පයෙන් තම්බා ගන්නවා. ස්තූතියි සටහනට.

    • arunishapiro said, on ජනවාරි 26, 2012 at 11:37 පෙ.ව.

      chandi,

      චීන ඩම්ප්ලින්ග්ස් සෝයි සෝස් වල ඔබලා කෑවම හරි රසයි. සෑහෙන වෙලාවක් වැය වෙන වැඩක් චාන්දි අක්කා කරන්නෙ!!!

  6. Harsha said, on ජනවාරි 27, 2012 at 12:26 පෙ.ව.

    ෆ්ලොරන්ස් වලදි මම දුටුවා කරත්තවල බැඳපු අශ්වයන්ගෙ පස්සට කූඩයක් එල්ලලා තියෙනවා. හරිම සරල විසඳුමක්.ඒ යුගයෙ එහෙම තිබුනෙ නැත්තෙ ඇයිද මන්දා
    හර්ෂ


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: