අරුණි ශපීරෝ‍ වෙතින්

කෘෂි හා කර්මාන්ත ආර්ථිකයෙන් පසු දැනුම ආර්ථිකයට

Posted in Uncategorized by arunishapiro on පෙබරවාරි 2, 2012

පරිසරය කාබාසීනියා නොකර ලෝකයට ම ආහාර සැපයීමට හැකි යැයි දකින්න පුළුවන් අය ඉතා ඩිංගයි ඉන්නෙ. ලෝක සාගතයක් වළක්වන්න ආහාර නිෂ්පාදනය කරත හැකි අද ඇමෙරිකාවේ කෘෂිකර්ම ක්ෂේත්‍රය 1.2% ක්. ඒත් පොතක් කියවලා, චිත්‍රපටියක් බලලා, රාජ්‍ය හෝ රාජ්‍ය නොවන සංවිධානයක් කියන දේවල් අහලා ආහාර වගාව වෙන්නේ මෙසේ යැයි සිතාගෙන ඉන්නා අය වැඩි නිසා ඔවුන් දකින්නේ නැහැ වගා ඉඩම් වැඩි නොකර, පොහොර භාවිතය වැඩි නොකර, පරිසරයට හානි නොවී, වතුර සම්පත් රැකගෙන ආහාර නිෂ්පාදන ප්‍රතිදානය (out put) වැඩි කරගන්නට ගොවියා තාක්ෂණය හා දැනුම සමඟින් සමත් වී ඇති බව.

එක හේතුවක්, හැම විට ම ඇති අයට ඊර්ෂ්‍යා කිරීමට හුරු වී ඇති මිනිස් ස්වභාවය. වැඩවසම් සමාජයේ දී හැමෝටම එක සේ තරඟයකින් වෙළඳපොල ජයගන්නට හැකියාව නොතිබුණා වුවත් අද අපි වැඩවසම් සමාජයෙන් ගැලවෙන්න ක්‍රමවේදයක් සොයා ගෙන ඇති බව වටහා ගන්නා අය ද අඩුයි. ඉතින් ඒ වැඩවසම් සමාජීය ආකල්පය, මගේ දියුණුව අඩාල වෙන්නේ ධනවතුන් නිසා යැයි සිතෙන හුරුවෙන් තවමත් මට නැත්නම් ඒක ධනවතුන්ගේ වැරැද්දක් යැයි සිතීම පැවතෙනවා.

ලෝකයේ බටහිර රටවල් දියුණු වූයේ තාක්ෂණයෙන්. අද දුප්පත් රටවල් වලට තාක්ෂණයෙන් බැහැර වෙලා පාරම්පරික ක්‍රමවේදයන් වලින් දියුණු වෙන්න යැයි කීම අසාධාරණයි. බ්‍රසීලය අද නැඟී සිටින්නේ ඔවුන්ගේ වනාන්තර හා නිසරු බිම් සරු කරමින්. ඒත් ලෝකයේ පරිසර ආරක්ෂාව සඳහා වෙන් කරන බිම් ඉතිහාසයේ අද තමයි වැඩිම ප්‍රමාණයක් තියෙන්නෙ. චීනය නැඟී සිටින්නේ ෆොසීල ඉන්ධන පුච්චන කර්මාන්තකරණයෙන්. යුරෝපීයේ හා ඇමෙරිකාවේ අතීතයේ සිද්ධ වූයේ එයයි. බ්‍රසීලයටත් චීනයටත් තහනම් පනවනවා නම් ඔවුන් කිසිදිනෙක පාරම්පරික වූ ක්‍රමවේද වලින් පමණක් ඇමෙරිකානු හෝ යුරෝපීය දියුණුවට ළඟා වෙන්නෙ නැහැ.

මිනිස් සංස්කෘතිය පදනම් වෙන්නෙ ස්වභාව ධර්මයා මත නොවෙයි. කෘෂිකර්මය, නගර හැදීම, කර්මාන්තකරණය වැනි මිනිසා විසින් ගත් උත්සාහයන් මත. අපි සත්වයින්ගෙන් වෙනස් වෙන්නෙත් එහෙම.

ස්වභාව ධර්මයා කියන්නෙත් ඊට බාධා ඇතිවුනාම කඩා වැටෙන්නක් නොවේ. එහෙම කඩා වැටෙන්නක් යන මතය, අර ඉහළ කියපු “ඇති අයට ඊර්ෂ්‍යා කරන” හුරුව වගේ. ලෝකය ආරම්භයේ දී අපණ්ණ පරිසරයක් තිබුණා යැයි මතයක් ඇවිත් තියෙන්නේ ලෝකයේ මැවුම්කරුවෙක් විසින් හැම ප්‍රාණියෙක් ම එකින් එකාට යා වූ දම්වැල් පුරුක් වගේ යන මතයක් ඉතිහාසයේ පටන් තිබීමෙන්.

පරිසරවේදී ජීව විද්‍යාඥ Peter Kareiva ඇතුළු පිරිසක් පෙන්වා දෙන්නෙ ස්වභාව ධර්මය යනු සුවිශේෂී ලෙසින් ඔරොත්තු දෙන නොහොත් extraordinarily resilient වූවක් බව දැනටමත් පෙන්වා ඇති වගයි. එයා විද්‍යාත්මක ලිපි 100 කට වඩා ලියලා තියෙන කෙනෙක්.

එදා කෘෂිකර්මය හා කර්මාන්ත නිෂ්පාදන වල යෙදුණු සංවර්ධිත ලෝකය අද දැනුම සපයන ආර්ථික බවට පත්වෙලා. ඒවායේ ජනතාව කෘෂිකර්මයේ හා කර්මාන්ත නිෂ්පාදනයේ ක්‍රියාවලිය අද අත්විඳින්නෙ නැහැ. උදාහරණයක් මෙහෙම: සුදු අප්පුහාමිගේ අම්මගෙ අම්මා පණ ඇති කුකුලෙක් මරලා ආහාරයට තමන් විසින් සුද්ද කරලා ඉව්වෙ. සුදු අප්පුහාමිගෙ අම්මා කඩෙන් මරල ගෙනාපු සුද්ද කරපු කුකුලා ඉව්වෙ. සුදු අප්පුහාමි උයන්නෙ කඩෙන් තමන් කැමති කෑලි පමණක් කපපු කුකුල් මස් ගෙනැවිත්. සුදු අප්පුහාමිගෙ දුව ටිකිරි උයන්නෙ යම් ආහාරයකට සුදුසු විදියට පිළියෙල කරලාම විකුණන තමන් කැමති කුකුල් මස්!!!

පණ ඇති කුකුලෙක් මරාගෙන කන්න ගන්න වුනොත් අද සංවර්ධිත ලෝකයේ බහුතර ජනතාවක් දන්නෙ නැහැ කොහොම ද වැඩේ කරන්නෙ කියලාවත්.

අනිත් ආහාර ගත්තත් එහෙමයි. අපි තනියම වවාගෙන කන්න දන්නෙ නැහැ. ඒත් ආහාර වගාවේ හැමදාම නියැළුනු ගොවියාට චිත්‍රපටියක් බලලා, පොතක් කියවලා, දේශනයක් අහලා වගා කළ යුත්තේ මෙසේ යැයි උපදෙස් දෙන්න යන්න තරම් කිසිදා වගාවක නොයෙදුණු අය එඩිතර වෙනවා!!! වැඩියෙන් ම ඒක කරන්න සමත් හොලිවුඩ් නළු නළියන් … යුරෝපීය නළු නිළියන් අතලොස්සක් සහ බොලිවුඩ් නළු නිළියන් ද ඊට ගජ හපන්නු!!!

ඔවුනට වේදිකාවක් සපයන්නේ කෘෂි-විද්වතුන් යැයි කියා ගන්නා අය. The Omnivore’s Dilemma: A Natural History of Four Meals (2006) නමින් පොතක් ලියන්නෙ Michael Pollan විසින්. තවත් ජනප්‍රිය පොතක්!!! ඒ පොත කියවලා ගොවියන්ට 1930 ගණන් වල විදියට වගා කරලා අද ඉන්න අයගේ ආහාර ඉල්ලුම සපයන්න යැයි කියන අය බොහෝයි. හැබැයි ඒ අය MRI ස්කෑන් නැති, ස්ටෙතස්කෝප් එකකින් පමණක් ලෙඩ්ඩු බලන වෛද්‍යවරයෙක් වෙත යන්නෙ නැහැ. ඒ අය තමන්ගෙ වැඩ කරගන්නෙ පරිගණකයේ ඇති ආම්පන්න වලින්. ඒත් ගොවියන්ට විතරක් පාරම්පරික තාක්ෂණයෙන් වගා කරන්න යැයි කියනවා යැයි ගොවියෙක් අවලාද කියන්නෙ.

ඒ ගොවියා තව දුරටත් මෙසේ පෙන්වා දෙනවා. කළුකුම් පැටව් වැස්සේ අහස දිහා කට ඇරගෙන බලාගෙන ඉඳලා වතුරෙන් පිරිලා මිය යන හැටි ස්වභාවික බව. ඌරු අම්මලා කිරි පොවද්දී පැටව් යටවෙලා මැරෙන බව, සමහර විට උන් තමන්ගෙ පැටව් පවා අනුභව කරන බව.

ඒ ගොවියා අතින් පරිසරයට වූ වැඩිම හානිය සිද්ධ වූයේ පොළව හාරන්නෙ නැතිව වගා කරපු කාලයේ බවත් ඔහු කියනවා. පලිබෝධ තාක්ෂණය නොතිබි කාලයේ වගාබිමේ උඩින් තියන පස් (top soil) පෝෂණ පදාර්ථත් සමඟ හේදිලා මුහුදට ගලා ගිය බව. පොළව හාරන්නෙ නැතිව වගා කරන තාක්ෂණය තමයි පලිබෝධ භාවිතයෙන් කරන වගාව.

අද පරිසරයේ ආරක්ෂාවට කර්මාන්ත ගොවියන්ට එරෙහිව කතා කරන අය බොහොමයක් නොදන්නා කාරණා ගණනාවක් තියෙනවා. ඒවා එකින් එක වෙන වෙනම ලියන්න තරම් වටින නිසා ඉදිරි සටහන් වලට ගෙනියන්නම්.

“මිනිසා කෙළින් ඇවිදින්න, මස් කන්න පරිනාමය වූවාට පස්සෙ සත්තු පිටුපස්සෙ උන්ව මරන්න දුව යද්දී මිනිස් ඇඟේ මයිල් හැලිලා දහදිය ග්‍රන්ථී හැදෙනවා. ගිනිමැලයක් ගහන්න ඉගෙන ගත්තාට පස්සෙ මිනිසා කාපු ප්‍රෝටීන් ප්‍රමාණ වැඩිවෙනවා. එයින් මිනිස් මොළ ලොකුවට වැඩෙන්න ගන්නවා. ඒ ලොකු මොළ ඇති දරුවන් කරේ බැඳගෙන අම්මලා වැඩ කරන්න ඉගෙන ගන්නවා. කෙටියෙන් කිව්වොත් ස්වභාව ධර්මය නෙමෙයි තාක්ෂණයයි අපිව “මිනිස්” බවට හරවන්නෙ.”

ඔය ටික ලියැවෙන්නෙ මම තවමත් කියවමින් සිටින පොතක: Love Your Monsters, Postenvironmentalism and the Anthropocene (2011). එහි කර්තෘවරුන් තමයි Michael Shellenberger සහ Ted Nordhaus. පරිසරයත් බේරාගෙන මිනිස් ජීවිත සශ්‍රීක කරන්න පුළුවන් යැයි පෙන්වන වැදගත් ලිපි පිරුණු පොතක්.

“මගේ අදහසක් ලබා ගන්නා අයෙක්ට, මට මගේ අදහස් අඩු නොවී එයාට දැනුම ලබන්න පුළුවනි; හරියට එයා මගේ ඉටිපන්දම් දැල්ලෙන් එයාගෙ ඉටිපන්දම් දැල්ල පත්තු කරගත්තා කියල මට අඳුරක ඉන්න වෙන්නෙ නැතිවා වගේ.” –තෝමස් ජෙෆර්සන් මෙහෙම ලියන්නෙ අයිසැක් මැක්ෆියර්සන්ට ලියපු ලියුමක.

“He who receives an idea from me, receives instruction himself without lessening mine; as he who lights his taper at mine, receives light without darkening me.” -Thomas Jefferson Letter to Isaac McPherson

1813 දී ජෙෆර්සන් කියපු මේ කතාවේ අවුල් ලිහා ගන්න බැරිව ඉන්න පුරවැසියන් තවමත් බොහෝමයි.

දැනුම හා අයිතිය ගැන වූ අදහස් මතවාද වටහා ගැනීමත්, පාරම්පරිකව හුරු වී ඇති අවුල් ලිහා ගැනීමත්, ආගම හා දේශපාලනය අදහස් හා මතවාද වටහා ගැනීම හා අවුල් ලිහා ගැනීම සේ ම දුෂ්කරයි!!!

හඩ්සන් පවුලේ පරිසරය විනාශ කරනවා යන පොහොර සම්බන්ධ වූ නඩුවෙන් ලියන්න පටන් ගත් මේ සටහන් තාක්ෂණයේ දියුණුවෙන් පරිසරයට වාසි වී ආහාර වගාබිම් වැඩි වූ හැටිත්, ඉන්පසු පොහොර විප්ලවය ගැනත්, ලෝක ජනගහණයට ආහාර සපයන අභියෝගයන් ගොවියෝ ජයගන්නා බවත්, ඊ ළඟට නෝර්මන් බෝර්ලාවූගේ විසින් දියත් කළ තවත් තාක්ෂණික විප්ලවයකට පිවිසුනා.

තවම Genetically Modified ගැන කතාවට පිවිසෙන්න බැහැ. ඊට කලින් සිංහලෙන් කියවන්නාට ලිවිය යුතු දේ බොහොමයක් තියෙන නිසා!!!

Advertisements

15 Responses

Subscribe to comments with RSS.

  1. raj said, on පෙබරවාරි 2, 2012 at 11:30 පෙ.ව.

    ආසාවෙන් කියෙව්ව කිප වාරයක්ම. සමස්ථයක් විදියට එකග වුනත් //ස්වභාව ධර්මයා කියන්නෙත් ඊට බාධා ඇතිවුනාම කඩා වැටෙන්නක් නොවේ.// යන්නට එකග වෙන්න බැහැ.
    කඩා වැටෙන්නෙ නැතිවුනාට අහිතකර ආකාරයෙන් වෙනස්වීම් සිද්ධ වෙනව. උදාහරණයක් විදියට අද ඇතිවෙලා තියන පරිසර උෂ්ණත්වය වැඩිවීමට හේතුවෙලා තියෙන්නෙ මිණිස් ක්‍රියාකාරකම් තමයි(ඒක කුමණ යුගයේද කියනඑක අදාලතාවයක් නෑ).
    මෙතනදි අරුණි අක්ක “ස්වභාව ධර්මය” නියනඑක පොදු අර්ථයකින් යොදාගෙන තිබුනට ඒක (0-අනන්තය) දක්වා පරාසයක්.
    අපි හිතමු පෘථිවිය මිණිසාට වැඩක් ගන්න බැරි තත්වයකට පත්වුනා කියල. ඒත් එතකොට මේකෙ තියෙන්නෙත් ඔය ස්වභාව ධර්මයම තමයි 😉

    • රාජ් said, on පෙබරවාරි 2, 2012 at 11:32 පෙ.ව.

      වැරදිලා නම වැදුනෙ ඉංග්‍රිසියෙන්. මම සිංහල රාජ්.

      • arunishapiro said, on පෙබරවාරි 3, 2012 at 8:20 පෙ.ව.

        හලෝ සිංහල රාජ් 😀

        මම කැමතියි ඔබේ පිළිතුරට. කිසිම දෙයකට (කිහිප වතාවක් කියෙව්වත්) හෝ කියවන සියල්ලට ම එකඟ නොවෙන එකට. ඒක ඉතා වැදගත් … තමන්ට නොවැටහෙන අපහැදිලි දෙයක් පහදා වටහා ගන්නා තුරු එකඟ නොවී සිටීම ඉතා විශිෂ්ඨයි.

        මගේ උත්සාහය මේ ලියනා සියළු දෑ වලට කියවන සියල්ලම එකඟ කරවා ගන්නට නොවේ. එහෙම නම් ලියන්නෙ වෙන විදියකට!!!

        මට ඕනෑ තවත් පැත්තක් ද තියෙන බව දකින්නට තොරතුරු සැපයීමයි. තමන් විසින් දෙපැත්තම සොයා බලා තමන්ගේ තීරණයකට එළඹීම, කිසිත් නොසොයා බලා එක පැත්තක (හරි පැත්තේ වුවත්) එල්ලී සිටීමට වඩා මම අගයනවා.

        කිසිම පැත්තකට වැඩි තැනක් දුන්නොත් අනිත් පැතිවලින් ඇති කරත හැකි සමබරතාවය වඳ වී යනවා!!!!

        පෘතුවිය පටන් ගන්නේ මිනිසාට වැඩක් ගැන්න බැරි තත්වයකින්. මිනිසා නැතිව. ඔව්, මිනිසා නැතත් ඇත්තේ ස්වභාව ධර්මයයි. ඒත් මිනිසා නැති එහෙම ස්වභාව ධර්මයක් ද උවමනා? ඊට වඩා අවශ්‍ය මිනිසාත් හා පරිසරයත් එකිනෙකා හා ඝට්ටනයෙන් එහෙත් දෙපැත්තේ ම පැවැත්ම ආරක්ෂා කරන විදියක් නොවේ ද?

      • රාජ් said, on පෙබරවාරි 6, 2012 at 6:54 පෙ.ව.

        //තවත් පැත්තක් ද තියෙන බව දකින්නට තොරතුරු සැපයීමයි.//
        ඒ කාරණාව නං නියමෙට ඉෂ්ට වෙලා තියනව.
        //පෘතුවිය පටන් ගන්නේ මිනිසාට වැඩක් ගැන්න බැරි තත්වයකින්. මිනිසා නැතිව. ඔව්, මිනිසා නැතත් ඇත්තේ ස්වභාව ධර්මයයි. ඒත් මිනිසා නැති එහෙම ස්වභාව ධර්මයක් ද උවමනා? ඊට වඩා අවශ්‍ය මිනිසාත් හා පරිසරයත් එකිනෙකා හා ඝට්ටනයෙන් එහෙත් දෙපැත්තේ ම පැවැත්ම ආරක්ෂා කරන විදියක් නොවේ ද?//
        ඔව්. මම අනන්තය ගැන තර්කයක් ගෙනාවම ඔබ 0 පෙන්නල මගේ තර්කය බින්ද. ඒක නං නියමයි. මට ඒ පැත්ත කල්පනා උනේම නෑ. මෙතනදි මම ඉන්න ස්ථාවරය මේකයි,
        පෘථිවිය ආරම්භ වෙච්ච දා ඉදල ඕනම අවස්ථාවක, තාක්ෂණය නිසා අපිට ඇතිවූ වාසි-අවාසි මැනගන්න මේ විදියට පුළුවන්.
        X=Y-Z
        Y= යම් අවස්ථාවක/කාලයක තාක්ෂණය නිසා ඇතිවූ වාසිය
        Z= ඒ අවස්ථාවේදී තාක්ෂණය නිසා ඇතිවූ හාණිය.
        ඒ ඒ කාලවලට අදාලව වාසි-අවාසි වෙනස(X) කාලයත් එක්ක එන්න එන්න වැඩිවෙනවද නැත්තං අඩුවෙනවද නැත්තං නියතයක්ද එහෙමත් නැත්තං කාලයක් වැඩිවෙලා නියතව තියනවද….. ආදී වශයෙන් තීරණය කරන්න ඕන.
        ‍හොදම දේ තමයි අවාසි පැත්තත් “තාක්ෂණයෙන්ම” අඩුකරගැනීම. (0 කරන්න බැරි නිසා)

  2. දූපත් said, on පෙබරවාරි 2, 2012 at 12:11 ප.ව.

    //ස්වභාව ධර්මයා කියන්නෙත් ඊට බාධා ඇතිවුනාම කඩා වැටෙන්නක් නොවේ.// ඔය කෑල්ලට මමත් එකග නෑ.
    ජෛව විවිධත්වය, වනාන්තර කියන්නේ මිල කල නොහැකි සම්පත්. තාමත් හොයාගෙන නැති සැගවුනු රහස් ගොන්නක්. නිකම්ම වැස්ස , හුස්ම ටික විතරක් නෙමේ පරිසරයෙන් ලැබෙන්නෙ. පරිසරය විනාශ වෙලා ගිය දවසට දුක් වෙලා වැඩක වෙන්නෙත් නෑ. තාම ලොකුවට කරදරයක් දැනෙන්නැති හින්ද අපිට ඕවල අගය තේරෙන්නෙත් නෑ.
    කණාට මැණික් ගලත්, නිකන් ගලෙත් වෙනසක් නෑ. අන්න ඒ වගේ.
    තව උදාහරණයක් දෙන්නම්,, ලංකාවේ ගස් ටික කපල ෆයිනස් දැමීමෙන් කොච්චර විනාසයක් වෙලාද,,

    • arunishapiro said, on පෙබරවාරි 3, 2012 at 8:28 පෙ.ව.

      දූපත්,

      දැනට ඉතිහාසයෙන් පෙන්වා දී ඇත්තේ ස්වභාව ධර්මයාට කඩා නොවැටී යළි නැඟ එන්නට හැකියාවක් ඇති බව. ආහාර වගාව ගැන ලියා පසු දිනෙක පරිසරය ගැන ලියන්නත් ඕනා.

      //ජෛව විවිධත්වය, වනාන්තර කියන්නේ මිල කල නොහැකි සම්පත්.// මිල කල නොහැක්කේ කාට ද? තවත් විදියකින් ඇහැව්වොත් එහි මිල කල නොහැකි අගය ඇත්තේ, ඒ ගැන වඩාත් ම දන්නේ පෘතුවියේ ඉන්නා කුමන ප්‍රාණීන් කොට්ඨාශය ද?

      ඒ අගය දන්නා අය බොහොමයක් අද පරිසරය රැකගන්න වෙහෙසෙනවා. ඒ ගැන හරියට නොදන්නේ පරිසරයත් විකුණා ගෙන පිරිසක්. නැත්නම් ඒක අල්ලා ගෙන තමන් ජනප්‍රිය වෙන්න උත්සාහයේ යෙදෙන දේශපාලනඥයෝ සහ නළු නිළියෝ පිරිසක්. ලෝකේ හැම පැත්තෙන් ම.

      // ලංකාවේ ගස් ටික කපල ෆයිනස් දැමීමෙන් කොච්චර විනාසයක් වෙලාද,,// මිනිසාගේ දියුණුවත් පරිසරයේ ආරක්ෂාවත් යන දෙකම රැකගන්න වැඩ කරන්න ඕනෑ. එකක් දියුණුවට අනික අවශ්‍ය්‍යයි. ඒ දැක්මෙන් කටයුතු කරද්දී පරිසරයත් මිනිසාත් දෙකම ආරක්ෂා කරගන්නට හා පවත්වා ගන්නට පුළුවන්. ෆයිනස් කියන්නේ මොනවා ද?

  3. kevin perera said, on පෙබරවාරි 2, 2012 at 1:02 ප.ව.

    අරුණි ඔයාට මට තේරෙන මේ සරල සත්‍යය ලාංකිකයන්ට කියන කොට සමහරු පරල වෙලා ගහන්න පොලු අරන් එන එක නේ වැඩේ. ලිං මැඩියන්ට ෆුල් අප්සෙට් ගිහින් මල පැනිය හැකි වුනත් සොබාදහම හෙවත් වනචාරීත්වයෙන් මිදී මිනිස් සංස්කෘතිය වැලඳ ගෙන මිනිසුන් වීමට කැමති අය මං කියන පහත පද පහ පන්සිල් පද මෙන් උදේ හවා මැතිරිය යුතුය.

    1. වර්ථමානයට වඩා අතීතයේ තිබි හැදියාව සුන්දර ශිෂ්ට යැයි සිතන ලාංකීය දුර්මතය මම බැහැර කරමි.
    2. නගරයට වඩා ගම සහ නාගරිකයන්ට වඩා ගැමියන් සුන්දරහදවත් ඇති ශිෂ්ට හැදියාව ඇති අය යැයි සිතන ලාංකීය දුර්මතය මම බැහැර කරමි.
    3. ධනවතුන්ට වඩා දුප්පතුන්,හිඟන්නන් සුන්දර හදවත් ඇති ශිෂ්ට හැදියාව ඇති අය යැයි සිතන ලාංකීය දුර්මතය මම බැහැර කරමි.
    4. මිනිස් නිදහස,අයිතිවාසිකම් ඇති ප්‍රජාතන්ත්‍ර සමාජයට වඩා රජවරු සිටින වැඩවසම් ක්‍රමය සුන්දර වඩා ශිෂ්ට දෙයක් යැයි සිතන ලාංකීය දුර්මතය මම බැහැර කරමි.
    5. නිදහස් වෙළඳ පොල,පුද්ගලික අංශය ට වඩා පාලිත වෙළඳ පොල, රාජ්‍ය අංශය මාර සාර්ථක දෙයක් යැයි සිතන ලාංකීය දුර්මතය මම බැහැර කරමි.

    අට සිල් ගන්න අයට
    6.කලිසම ටයි කෝට් වලට වඩා රෙද්ද බැනියම අදින අය සුන්දරහදවත් ඇති ශිෂ්ට හැදියාව ඇති අය යැයි සිතන ලාංකීය දුර්මතය මම බැහැර කරමි.
    7.බටහිර(අමෙරිකාව)ට වඩා පෙරදිග(චීනය) අපිට මාර බොක්කෙන්ම හිතවත් අය යැයි සිතන ලාංකීය දුර්මතය මම බැහැර කරමි.
    8.නවීන තාක්ෂණය, විද්‍යාව ට වඩා ගල් යුගයේ දේවල් සහ අවිද්‍යාව මාර දෙයක් යැයි සිතන ලාංකීය දුර්මතය මම බැහැර කරමි.

    • W.A. Wijewardena said, on පෙබරවාරි 2, 2012 at 1:35 ප.ව.

      Excellent Kevin. Express your views boldly without thinking of the criticisms of people who do not like to hear the counter view.

    • සිරිසුමන said, on පෙබරවාරි 2, 2012 at 11:59 ප.ව.

      චීනය අපට, ඇමෙරිකාවට වඩා හිතවත්. චීනයෙන් වගේ පහසුවට අමෙරිකාවෙන් සල්ලි ටිකක් හදිසියකට ගන්න පුලුවන්ද? මුල්‍ය අරමුදලෙන් ගත්තත් කොච්චර කොන්දේසි දානවද? චිනේ විතරයි අපට හැමදාම පිහිටට ආවේ!

      • arunishapiro said, on පෙබරවාරි 3, 2012 at 8:45 පෙ.ව.

        සිරිසුමන,

        චීනයෙන් දුන් ආධාර කොච්චර ද? ණය කොච්චර ද? ඇමෙරිකාවෙන් දුන් ආධාර කොච්චර ද? ණය කොච්චර ද?

        ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් දුන්න ණයේ පොලිය කීය ද? චීනයෙන් දුන්න ණය වල පොලිය කීය ද?

        චීනයෙන් කිසිම කොන්දේසියක් නැතිව ණය දුන්නා ද? ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් දාන කොන්දේසි මුළු රටම විතරක් නෙමෙයි ලෝකයා ම දන්නවා නොවේ ද?

    • arunishapiro said, on පෙබරවාරි 3, 2012 at 8:38 පෙ.ව.

      kevin perera,

      ලාංකිකයන්ට බනින්න කළින් අපේ ඇල් ගෝර් මහත්තයාටත්, නිසි තොරතුරු නොසොයා එයාට සාම තෑග්ග දීපු නොබෙල් කමිටුවටත් බැනලා ඉන්න එපැයෑ!!!!

      මෙහෙ හොලිවුඩ් නළු නිළියන් හා වොරන් බෆට් වැනි සමහර ව්‍යාපාරිකයන් මිලියන ගණනින් දානය කරමින් පරිසරය ආරක්ෂාවට යැයි කියා තමන්ගේ ලකුණු හා පුද්ගලික ධනවස්තුව වැඩි කරගන්නා උත්සාහයන් හි යෙදී සිටින විට අපිට ලාංකීය ලිං මැඬියන් කියා කාටවත් බනින්න හැකියාවක් නැහැ.

      මගේ උත්සාහය එක පැත්තක් පමණක් දන්නා අනිත් පැත්ත නොදන්නා අයගේ දැනුමට විකල්පීය අදහස් ඉදිරිපත් කිරීම. ඒවා පිළිගැනීම හෝ නොගැනීම නෙමෙයි වැදගත්. එහෙම අදහස් තියනවා කියා අඩු ගානේ දැනගෙන වත් සිටීමයි වැදගත්. මොකද ලෝකයේ හැමදාම වැඩියෙන් සිටියේ වමේ අදහස් වලට බර ලෝක ජනගහණයක්. ඒත් ලෝකයේ මිනිස් අභිවෘද්ධිය හැමදාම රැකුනේ දකුණේ (දකුණේ යැයි කියාගත් මෝඩයෝ ටික නිසා නෙමෙයි) අදහස් අවබෝධයෙන් වෙහෙසුන ටික දෙනෙක් නිසා. තතු නොදන්නා අයවත් රැකගෙන ඉදිරියට යන්න හැකි ඇට්ලස් යෝධයන් ටික දෙනෙක් තවමත් ඉන්නවා. තතු නොදන්නා අයගෙන් ටික දෙනෙක් හෝ අවබෝධය ලබාගත් දවසක මේ ඇට්ලස් යෝධයන්ගෙ බර ඩිංගක් සැහැල්ලු වෙයි!!!

    • රාජ් said, on පෙබරවාරි 6, 2012 at 6:55 පෙ.ව.

      කැති පොලු අරං එන්නෙ නැතිව එකග වෙන්න පුවවන්.:)


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: