අරුණි ශපීරෝ‍ වෙතින්

ස්වාල්බාර්ඩ් ගෝලීය බීජ සුරක්ෂිතාගාරය

Posted in Uncategorized by arunishapiro on පෙබරවාරි 3, 2012

හැම පැලෑටියක ම cultivar නැමති වර්ගීකරණ කිහිපයක් ඇත. Cultivar (සිංහල නොදන්නාකම මහත් පාඩුවකි!) නම් වගාකරන ලද පැලෑටියක ඇති සුවිශේෂී ලක්ෂණ නිසා ඊට දුන් සුවිශේෂී නමයි. ඇපල් වලට 1870 ගණන් වල දී Red Delicious නමින් cultivar වර්ගයක් එකතු විය.

සුදු අප්පුහාමිගේ සුළු පියා ඉන්දියානා විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර පීඨාධිපතිවරයෙක්ව සිටියේ ය. එසේම ඔහු ගොවියෙක් ද වූයේය. ඇපල් වගාව සහ මී මැසි පාලනය ඔහුගේ විනෝදාංශ විය. ඔහුගේ නම ජේම්ස් ඊස්ට් වූ නිසා ඔහු මුහුන් කරමින් නිපැදවූ ඇපල් cultivar එක ජිම් (Gem) යනුවෙන් හඳුන්වා එය වෙළඳපොලේ විකිණීය.

කොන්කෝඩ් මිදි ගෙඩිය නිපැදවුනේ කොන්කෝඩ් නැමති ගමේ ය.

20 වැනි ශ. ව. මැද දී ඇමෙරිකාවේ හා යුරෝපයේ වැඩියෙන් ම අලෙවි වූයේ Gros Michel ( Musa acuminata) නැමති කෙසෙල් cultivar වර්ගයයි. එහෙත් 1950 දී පමණ දීලිර පැතිර ගොස් “පැනමා රෝගය” වැළඳීමෙන් Gros Michel කෙසෙල් වර්ගය වඳ වී යන තරමට විනාශයට පත්වෙද්දී ඒ වෙනුවට Cavendish වර්ගයේ cultivar වැඩියෙන් වගා කෙරුණි.

ගොවියන් විසින් මිනිස් පරිභෝජනය සඳහා පැලෑටි වවන්නට පටන් ගත් දා පටන් ඔවුන් ඒවායේ බීජ ආරක්ෂා කර ගත්හ. ඇමෙරිකාවේ බීජ ආරක්ෂා කරන හා ඒවා බෙදා ගන්නා තැනක් අයෝවාහි Decorah හි Seed Savers Exchange නමින් පිහිටා ඇත. පාරම්පරිකව පැවතෙන බීජ වර්ග 11,000 කට අධික දුර්ලභ පළතුරු, එළවළු හා ධාන්‍ය එහි සාමාජිකයන්ට බෙදා හදා ගන්නට අවසර ඇත. එහි ඇති එක සුප් වලට දාන බෝංචි වර්ගයක් ඇමෙරිකාවට මුල් සංක්‍රමණිකයන් ආ Mayflower නැවේ ගෙනාවක් බව ද, තවත් බෝංචි වර්ගයක් Cherokee ස්වදේශී වැසියන් විසින් Trail of Tears වල රැගෙන ගියා වූවක් බව ද සඳහන් ය.

පැලෑටි වර්ගයක් වඳ වී ලොවෙන් අතුරුදහන් නොවන්නට ක්‍රමයක් ලෝක ජනතාවට අද ලැබෙන්නේ ස්වාල්බාර්ඩ් හි ගෝලීය බීජ සුරක්ෂිතාගාරයේ කොපියක් තැන්පත් කර තැබීමෙනි.

නෝර්වේජියන් දූපතක් වන Spitsbergen හි Longyearbyen නැමති ටවුම අසල ඇති ස්වාල්බාර්ඩ් ආර්ක්ටික් අර්ධ ද්වීපයේ පිහිටා ඇත්තේ ස්වාල්බාර්ඩ් ගෝලීය බීජ සුරක්ෂිතාගාරයයි. උත්තර ධ්‍රැවයේ සිට සැතපුම් 810 (කිලෝමීටර් 1,300) ක මෙය පිහිටා ඇත.

පොළව මට්ටමෙන් පහළට දුවන බිංගෙයක ඉදිවන මෙම ගෝලීය බීජ සුරක්ෂිතාගාරයේ ලෝකයේ පැලෑටි බීජ ගබඩා වෙයි. මෙතැන ගබඩා කරන්නට බීජ එන්නේ ලෝකයේ ජාන බැංකු වල තැන්පත් කෙරෙන බීජ වල කොපි වශයෙනි. තම තමන්ගේ ජාන බැංකුවල ඇති බීජ යම් ආපදාවකට ලක් වී විනාශ වී ගියොත් මෙතැන ආරක්ෂාවන බීජ වලින් යළි එම පැලෑටි වවා ගත හැකියාව මෙසේ කිරීමේ අපේක්ෂාව වෙයි.

නෝර්වේජියානු ආණ්ඩුවත්, Global Crop Diversity Trust හා Nordic Genetic Resource Center වල තුන් පාර්ශවික ගිවිසුමකින් මෙය පරිපාලනය වෙයි.

සවාල්බාර්ඩ් ගෝලීය බීජ සුරක්ෂිතාගාරය හදන්නට නොර්වේජියන් ක්‍රෝන් මිලියන 45 (ඇමෙරිකන් ඩොලර් මිලියන 9) දමා පටන් ගන්නේ නෝර්වේජියානු ආණ්ඩුවයි. එය සාමාන්‍ය බැංකුවක තැන්පතුවක් සේ වෙන්නකි. ගොඩනැඟිල්ල අයිති බැංකුවට ය. තැන්පත් කරන්නාට පෙට්ටියේ ඇතුලේ ඇති දෑ අයිති වෙයි. මුදල් නොගෙවා එම සුරක්ෂිතාගාරයේ බීජ තැන්පතු කරත හැකිය.

එදිනෙදා පවත්වා ගෙන යන වැය නෝර්වේ රජය හා Global Crop Diversity Trust විසින් දරයි. Global Crop Diversity Trust වෙනුවන් මූලික ආධාර ලැබෙන්නේ බිල් හා මෙලින්ඩා ගේට්ස් පදනම වැනි සංවිධාන වලින් සහ ලෝකයේ ඇති විවිධ වූ ආණ්ඩු වලිනි.

2006 ජූනි මස 19 වැනිදා නෝර්වේ, ස්වීඩන්, ෆින්ලන්ත, ඩෙන්මාර්ක් හා අයිස්ලන්ත අගමැතිවරුන් විසින් උත්සවාකාරයෙන් ගලක් තබා එහි ඉදි කිරීම් ආරම්භ කරන ලදහ. බීජ විශේෂ ඇසුරුම් වල බහා තෙතමනය නොසිටින්නට උෂ්ණයෙන් සීල් තබා තැන්පත් වී තිබේ. එහි ස්ථිරකාලීන සේවක පිරිසක් නැත.

මෙතැන බීජ සුරක්ෂිතාගාරයට සුදුසු යැයි තීරණය වෙන්නේ භූ චලන නැති පෙදෙසක් බැවින් ය. එසේම දැඩි සීතල බැවිනි; වසර දෙකක් හෝ ඊට වඩා කාලයක් පස් වල ශීතෝෂ්ණ ප්‍රමාණය 0 °C හෝ 32 °F හෝ ඊට වඩා පහළින් පවතී.

මුහුදු මට්ටමෙන් අඩි 430 ක් (මීටර් 130) උඩින් පිහිටන නිසා අයිස් වැස්මන් (icecaps) දිය වී ගියත් වතුරෙන් යට වෙන්නේ නැති තැනකි!!!

සුරක්ෂිතාගාරයේ ලෝකයේ ප්‍රධාන ආහාර බෝග බීජ වසර සිය ගණනක් යනතුරු කල්තබා ගත හැකි බව ඔප්පු වූ අධ්‍යයනයක් මෙය ඉදිකරන්නට පෙර සිද්ධ කෙරුණි.

ස්වාල්බාර්ඩ් ගෝලීය ධාන්‍ය සුරක්ෂිතාගාරය නිල වශයෙන් විවෘත වන්නේ 2008 පෙබරවාරි මස 26 වැනි දා ය. විවිධ කෘෂිකාර්මික බෝගවගා බීජ සාම්පල් මිලියන 1.5 ක් එහි තැන්පත් වී ඇතැයි සැලකේ. එයට මිලියන 4.5 ක බීජ තැන්පත් කරන්නට ඉඩ ඇත. එහි තැන්පතු තීරණය වෙන්නේ ඒ ඒ රටවල් තැන්පත් කරන්නට ඇති කැමැත්ත අනුව ය.

2009 දී එහි පළමු වසර සමරන විට ඒකීය වූ බීජ මිලියන 200 ක් එහි ගබඩා වී තිබිණ.

2009 දී අළුතින් එකතු වී බීජ අතරට අයර්ලන්තයෙන් අල බීජ වර්ග 32 ක් ඇතුලත් වූ බව ද කියැවේ. 1845 පටන් ගෙන වසර හයක් පුරා අයර්ලන්තයේ අල සාගතයක් පැවතිණ. ඒ අල සාගතයෙන් මැරුණු සංඛ්‍යාව මිලියනකට අධික වන අතර රටින් පැන ගිය සංඛ්‍යාව ද තවත් මිලියනයක් වෙයි. ඉතින් ඉදිරියේ දී අල සාගතයක් අයර්ලන්තයේ ඇති වීම වළක්වා ගන්නට කෙසේ වෙතත් අයර්ලන්ත අල බීජ වඳ වී නොයන්නට නම් මේ ස්වාල්බාර්ඩ්හි සහය අයර්ලන්ත වැසියන්ට ලැබෙනු ඇත.

පෙරදිග ධාන්‍යාගාරය යැයි කියැවුනු ලංකාවේ වී වර්ග 263 ක් තිබි බව මේ ලිපියෙන් කියැවේ. එම වර්ග නැති වී යාමේ හේතු ගැන කියද්දී වී වගාවට වැළඳි රෝග හෝ ස්වභාවික ව්‍යසන කිසිවක සඳහනක් නැතිව, තමන්ගේ අඩුපාඩු කිසිවක් නැතිව පිටස්තර ආක්‍රමණිකයන්ට අවලාද කිරීම සිංහලෙන් කියවන්නාගේ සිරිතක් බව දැකීමෙන් සිනා නොවී වෙන කුමක් කරන්න ද?

දැන් ඒ වී වර්ග වලින් කීයක් ලංකාවේ ඇත්දැයි නැද්දැයි නොදන්නා කමේ වැරැද්දත් කාගේ ද?!!!!

රොබට් නොක්ස් කියූ එක කියමනක් සතුටින් බාර ගෙන ඒ සුද්දාම කියන තවත් කියමන් බොරු යැයි කියති!!! ඉංග්‍රීසියෙන් කියවන්නට ලැබෙන්නේ සිංහලෙන් කියවන්නාට නැති සටහන් ය.

1950 කොරියානු යුද සමයේ දී චීනයට රබර් වැවිලි වගාවෙන් රබර් අපනයන කර ලංකා වැසියන්ගේ කුස පුරවන්නට කැඳ සහල් ගෙන් වූ රබර්-සහල් ගිවිසුම ද රටේ පාරම්පරික වී වර්ග වඳ කිරීමේ සුවිශේෂී විදේශීය කුමන්ත්‍රණයක් වෙන්නට ඇත!!!

2004 සුනාමියෙන් පසු මැලේසියාව හා ලංකාව ඉල්ලා සිටි නිසා ලුණු මිශ්‍ර වතුරේ වගා කරත හැකි සහල් වර්ග ජාත්‍යන්තර බීජ බැංකු වලින් ලැබුණ බව University of California Genetic Resources Conservation Program, UC David පළ කරන ලද 2005 වාර්තාවකින් (පිටු 29) කියැවේ.

කලාපීය හෝ ගෝලීය වූ ව්‍යසනයක දී බීජ බේරාගන්නවාට වඩා මෙහි අවශ්‍යතාවය දැනෙන්නේ පරිපාලනයේ අඩුපාඩු නිසා, හදිසි අනතුරක්, උපකරණ වැඩ නොකිරීමෙන් හා ආධාර නැතිවී යාමෙන් මෙන් ම ස්වභාවික විපත් වලින් නැසී යන ජාන බැංකුවල සාම්පල් නැවත පිහිටුවන්නට ය. එමෙන්ම යුද හා සිවිල් අරගල නිසා ද ලෝකයේ බීජ ජාන බැංකු විනාශ වෙති. ලෝකයේ විවිධ බෝග බීජ එකතුවන් 1,460 ක් පමණ ඇතැයි එක්සත් ජාතීන්ගේ Food and Agriculture Organization (FAO) කියයි. ඒවායෙන් බොහොමයක් අස්ථිර දේශපාලනයෙන් හෝ පරිසරයෙන් ඒ බීජ තැන්පතු වලට උපද්‍රව ඇති කරන රටවල් ය.

පරිසරයත් බේරාගෙන මිනිසාට කන්න දෙන්නේ කොහොම ද යන්න විසඳිය යුත්තකි. ඒ මිනිස් දරුවන් රැක ගැනීමට ය.යුනිසෙෆ් ආයතනය පෙන්වන විදියට හැම දිනයක ම ලෝකයේ දරුවන් 22,000 ක් දරිද්‍රතාවය නිසා මිය යති. එනම් එක දරුවෙක් හැම තත්පර 4 ක දී ම මිය යයි. ඔවුන් මිය යන රටවල ඇත්තේ පාරම්පරික වගා ක්‍රමයන් ය. පාලක ආධිපත්‍ය්‍ය හා ගෝත්‍රිකවාදී ආරවුල් නිසා ගොවියාට තීරණයක් ගැනීමට හෝ දැනුමක් සොයා යෑමට ඉඩක් නැති රටවල් ය. අළුත් බීජ ලෝකයට ගෙනෙන නිසා පාරම්පරික බීජ වඳ වී නොයයි. ඒවා සුරක්ෂිතව තබාගෙන හෙට හැමෝටම කන්න දෙන්න පුළුවන් වූ පසු නැවත කැමති රට රටවලට ඒවා වගා කරත හැකිය.

ස්වාල්බාර්ඩ් ගෝලීය බීජ සුරක්ෂිතාගාරයේ පින්තූරය හා ඒ ගැන තොරතුරු බොහොමය විකිපීඩියාවෙනි. මගේ ලිපියක් මගෙන් අහන්නේ නැතිව සිංහල විකිපීඩියාවට එකතු කළාට ස්තූතියි. මෙයත් කැමති නම් ඊට එකතු කරන්න යැයි අවසර දෙමි!!!

Advertisements

13 Responses

Subscribe to comments with RSS.

  1. කවීන් said, on පෙබරවාරි 3, 2012 at 9:23 ප.ව.

    Cultivar කියන්නේ ප්‍රභේද වගේ තේරුමක්ද?

  2. arunishapiro said, on පෙබරවාරි 3, 2012 at 11:14 ප.ව.

    කවීන්,

    ඔව් කවීන්, එහෙම තේරුමක් තියෙන්නක් තමයි, පැලෑටි වලට ම වෙන් වූවක්.

  3. ගෝල්ඩ් fish said, on පෙබරවාරි 4, 2012 at 12:04 පෙ.ව.

    ලංකාවේ දැන් තියෙන වී වර්ග මන් දන්න තරමින් නම් 50කටත් අඩුයි…

    • arunishapiro said, on පෙබරවාරි 4, 2012 at 7:19 ප.ව.

      ගෝල්ඩ් fish,

      ලංකාවේ තියනවා කියා විකිපීඩියාවේ දාන්නේ සම්බා, ශ්‍රී ලංකා රතු හාල්, කීරි සම්බා, සුපිර සම්බා, සුපිරි නාඩු, නාඩු සහ බඩබත් (?)

      ඇමෙරිකාවේ ඇති සහල් වර්ග වලට කැලිෆෝර්නියාවෙන් Akitakomachi, California New Variety, Calmochi, Calrose, Wheani සහ ලුයිසියානාවෙන් Pecan, Popcorn දාලා තියෙනවා.

      විකිපීඩියාවට ලංකාවේ වැවෙන අනිත් ඒවා එකතු කරන්නත් අයෙක් ඉන්නවා නම් අපිට තොරතුරු බෙදා ගැනීම තවත් පහසු වේවි!!!

  4. dawkinssdodo said, on පෙබරවාරි 4, 2012 at 5:18 පෙ.ව.

    ඔබෙන් අහන්නෙත් නැතුව දාලද?
    ඒක නම් හරි කැත වැඩක්.
    හැදියාවක් තියෙන කෙනෙක් කරන දෙයක් නෙවෙයි.

  5. ලොකු පුතා said, on පෙබරවාරි 4, 2012 at 7:29 පෙ.ව.

    අපුරු සටහනක්…
    බොහොම ස්තුතියි

  6. Inesh said, on පෙබරවාරි 5, 2012 at 11:09 ප.ව.

    විෂිශ්ඨ සටහනක්!!

  7. Ravi said, on පෙබරවාරි 7, 2012 at 3:26 පෙ.ව.

    ස්තූතියි අරුණි…..අපූරු සහ වැදගත් ලිපියක්……

    Cultivar කියන වදනට පර්යාය වදනක් අපි තනමු….මොකද කියන්නෙ?..” සුභේදිත ප්‍රභේද ”

    • arunishapiro said, on පෙබරවාරි 7, 2012 at 7:18 ප.ව.

      Ravi,

      අරිසෙන් අහුබුදු වැන්නෝ තවත් බිහිවෙති යැයි සිතුණා. කෙවින් පෙරේරාත් හොඳ වචනයක් එකතු කළා සිංහලෙන් කියවන්නාට. “සුභේදිත ප්‍රභේද” යන්නත් සෑහෙන්න හොඳ වචනයක්. එකතු කරමු. එකතු කරමු. බොහොම ස්තූතියි.

  8. Chandi said, on පෙබරවාරි 8, 2012 at 5:09 පෙ.ව.

    මෙහෙත් එක එක ප්‍රබේද තියෙනවා. එකක් තමයි අඹ ජාතියක් අල්පොන්සෝ කියල ලොකු අඹ වර්ගයක්. ස්තූතියි නංගි සටහනට. මම කාලෙකින් ආවෙ කියවන්න.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: