අරුණි ශපීරෝ‍ වෙතින්

චිප්කෝ ආන්දෝලනය

Posted in Uncategorized by arunishapiro on පෙබරවාරි 6, 2012

1974 මාර්තු 26 වැනිදා පිට පළාත් වලින් ආ දැව කපන්නෝ හිමාලයේ උත්ත්‍රාකන්ද්හි රෙනි නැමති කුඩා ගම්මනායට පිවිසුනහ. අසල වූ වනාන්තරයක දැව කපන්නට ඔවුනට අවසර බලපත් හා සැලසුම් තිබිණ. ගම්මානයේ පිරිමි ආණ්ඩුවේ වැඩ සඳහා පිටත් වී ගොස් සිටි දහවල් කාලයේ දැව කපන්නෝ හෙමිහිට වැඩ පටන් ගන්නටයි ලැහැස්තිය වූයේ. එහෙත් ඔවුන්ගේ උත්සාහය සාර්ථක නොවීය. ගම්මානයේ ගැහැණු වනාන්තරයට දුව ගොස් දැව කපන්නෝ ඉදිරියේ ගස් බදාගෙන විරෝධය පෑහ.

චිප්කෝ ආන්දෝලනයෙන් (Chipko Andolan) පරිසරය රැක ගැනීම සඳහා ගස් බදාගන්නන් (tree huggers) ගැන ලෝකයේ කතාබහට ලක්වුණි.

දුප්පත් කාන්තාවන් පරිසරය වෙනුවෙන් නැඟී සිටීමක් ලෙස එම වෑයම ගැන වාර්තා ලෝකයේ පැතිර ගියේය.

නූතනකරණය නිසා ගම්බද වැසියා ගම් අතහැර නගරයට යෑමේ අයහපත් ඵල විපාක ගැන ද කතාබහ පටන් ගති.

මහත්මා ගාන්ධි විසින් අගය කළ බ්‍රාහ්ම තාපස් ජීවිත ගැන (Hind Swaraj) උනන්දුවක් ද යළි අළුත් වී ඉන්දියාවේ පැතිර ගියේ පාරම්පරික ගම්බද පිළිවෙත් අනුව ජීවත් වෙමින්, සීමිත උවමනාවන් ඇතිව, සීමිත අභිප්‍රායන් ඇතිව, සුළු ප්‍රමාණයේ යැපීම් නිෂ්පාදනයේ (subsistence production) ජීවත් වීම වඩා අගනා කියා ය. එසේත් එසේ කීවේ ගාන්ධි ඇතුළු කිහිප දෙනෙක් සහ නගරබද වාසය කරමින් තාක්ෂණයේ ආධාරයෙන් සුව පහසු හා ආර්ථික ලාභ ලබනා උසස් කුලවල අය මිසක් ගම්වල වැසියෝ සියළු දෙනාම නොවන බව කිසිවෙක් නොතැකූහ.

චිප්කෝ ආන්දෝලනය ඇති වුයේ පරිසරයට ඇති ආදරයක් නිසා නොව පළාතේ කාන්තාවන් පළාතේ ස්වාධීනත්වය හා තමන්ට ලැබිය යුතු යැයි අපේක්ෂා කළ ආර්ථික අවස්ථා මඟ නොහැරී යන්නට ගත් උත්සාහයක් නිසා බව අද පෙනී යයි.

පළාතේ ඇති සම්පත් වලින් ලාභ ලැබිය යුත්තේ පළාතේ අයයි. නැතිව පිටගම්කාරයන් ඇවිත් පළාතේ දැව කපාගෙන මුදල් ලාභ ගැනීම නොවේ යන්න ඒ ගස් බදාගත් කාන්තාවන්ගේ අරමුණ වූ බව අද හෙළිවෙයි.

එහෙත් වෙන සෑම උත්සාහයක දී ම මෙන් ජනතා හඬක් නැඟෙද්දී එයින් ලාභ ලබාගන්නට වහාම කඩිනම් වන පිරිසක් ලොව සිටිති. ඔවුන් විවිධ වෙස් වලින් සැරසී පැමිණෙති. එක පැත්තකින් ජනතා හිතසුව යැයි කියමින් තම බලය වැඩි කරගන්නට නිතිපතා වෙහෙසන රාජ්‍ය අංශයයි. අනිත් පැත්තෙන් නිවැරදි මඟ යන්නට තමන් රජයට බලපෑම් කරනවා කියා ගන්නා රාජ්‍ය නොවන සංවිධාන වල අයයි.

ඔවුන් දෙගොල්ලන් විසින් ම මේ චිප්කෝ ආන්දෝලනයේ කාන්තාවන් පිටින් තම වාසි ලබා ගත්හ.

සුන්දරලාල් බහුගුණ එවැන්නෙකි. ඔහු කලාපීය දේශපාලනඥයෙකි. ගාන්ධිගේ තපස්වත ගැනත් බ්‍රිතාන්‍ය පරිසරවේදියෙකු වූ Richard St Barbe Baker නොහොත් Man of the Trees ගැනත් අතිශය කැමැත්තකින් සිටි බහුගුණ චිප්කෝ ආන්දෝලනය ඉන්දීය සමාජයේ ප්‍රචලිත කරන්නේ එය හිමාලයේ පරිසරය ගැන වූ සහ පාරම්පරික සමාජීය-ආර්ථික ගම්බද රටාව රැක ගන්නට කැමැත්තෝ විසින් කරන්නා වූ ආන්දෝලනයක් ලෙසිණි.

“සංවර්ධනයේ අරමුණ නම් ආර්ථික වර්ධනය හා සශ්‍රීකත්වයයි. ඒත් මේ කෙටිකාලීන වූ ආර්ථික සශ්‍රීකත්වය ලබා ගැනීමට අපි සාමය හා සතුට පාවා දෙන්නෙමු” යැයි බහුගුණ කියයි. ඔහුගේ කියමන පාරම්පරිකව අයිතීන් වලින් වැඩියෙන් කොටසක් හිමි කරගත් ඉන්දියාවේ ඉහළ පංතියේ අය සතුටින් බාරගත්හ.

ඉඳහිටක තපස්වතට යන ඉහළ කුලයෙන් අයෙක් ගැන හෝ වස්තුව දන් දෙන ඉහළ කුල ධනවතෙක් ගැන හෝ පෙන්වමින් ගම්බද ජනතාව උත්සාහ කළ යුත්තේ ඒ ගම්බද අගනා පිළිවෙත් රැක ගැනීමට යැයි කීම මේ සම්ප්‍රදායයි!!!

1990 ගණන් වල දී රෙනි ගමට Antje Linkenbach නම ඇති Forest futures: global representations and ground realities in the Himalayas පොත ලියූ පර්යේෂකයා ගොඩ වැදුණි. චිප්කෝ ආන්දෝලනයේ දී බහුගුණ විසින් තම ගැමියන්ගේ අභිප්‍රායන් විකෘති කර ඉන්දිය රජයටත් ලෝකයාටත් කිව්වා යැයි ගම්වැසියෝ පර්යේෂකයාට පැමිණිලි කළහ. Gaura Devi නම් රෙනි හි ක්‍රියාකාරී කාන්තාවක් සේ පෙනී සිටින්නට බහුගුණ විසින් වෙනත් කාන්තාවක් යොදන ලද්දැයි ද ඔව්හු ගතු කීහ.

එපමණක් නොව Nanda Devi Biosphere Reserve නමින් පරිසර හිතකාමී වූ වනාන්තරය ගැන ගමේ වැසියෝ එහි ගිය Press Institute of India වැඩමුළුවක දී පරිසරය ආරක්ෂා කරගන්නවා යැයි කියමින් ආණ්ඩුව විසින් පරිසරයෙන් ප්‍රයෝජන ගන්නේ ගමේ වැසියන්ට වාසි නොවන්නට හා පරිසරයට හිතසුව පිණිස නොවේ යැයි පැමිණිලි කළහ.

මුලින් ම ඒ විරෝධතා දැක් වූ අයට චිප්කෝ ආන්දෝලනය වූයේ වනාන්තර තම සුබසාධනය සඳහා දියුණු කිරීමයි. ඔවුන් චිප්කෝ යනුවෙන් අදහස් කළේ පිටගම් වැසියන්ට නොව තමන්ට වනාන්තර හිතකර ලෙසින් පාවිච්චියට අවසර ලබා ගන්නට වෑයමකි. එහෙත් අවසානයේ වූයේ එය වනාන්තර ආරක්ෂිත අඩවියක් යැයි නම් කෙරී එහෙත් මධ්‍යගත ආණ්ඩුවේ හිතවාදී ව්‍යාපාර වලට අවසර දෙන සිරිතක් පටන් ගැනීම ය. දිල්ලියේ රූ අලංකාර ඖෂධ සඳහා යැයි ඖෂධ පැලෑටි වගා කරන්නට පිටගම්කාරයන්ට අවසර ලැබුණි. එහි ආණ්ඩුවේ අවසර ලබා කැපෙන දැව වලින් හෝ එහි වැවෙන ඖෂධ පැලෑටි වලින් ගම්වැසියන්ට කිසිදු සුබ සිද්ධියක් නොලැබේ.

ගම්වල ඉන්නා අයට මේවා මේවා සුදුසු යැයි කියා සූර්ය තාපයෙන් ඉන්ධන ලබා ගත හැකි පැනල් හා වඩා සූක්ෂම උයන්නට පිහන්නට පුළුවන් උදුන් බෙදා දෙන්නට රජයත්, රාජ්‍ය නොවන සංවිධානත් උත්සුක වෙද්දී ඉන්දීය ගම්බද ජනතාව තමන් කැමති සශ්‍රීකත්වය සොයමින් ගමෙන් නගරයට මහත් ජන පිරිස් ලෙසින් සංක්‍රමණය වෙති.

ඔවුන් එදා ඉල්ලා සිටියේ හා අදත් ඉල්ලා සිටින්නේ අනුන් පිරිනමන මෙසේ ජීවත්විය යුතු යැයි කියන සශ්‍රීකත්වයක් නොව තමන් විසින් තම අභිප්‍රායන් කරා යා හැකි සශ්‍රීකත්වයකි.

ඒ ඒ පළාතේ ඉන්නා අයට රිසි සේ ඔවුන් සතු සම්පත් දියුණු කරගෙන, ඔවුන් සතු හැකියාවන් දියුණු කරගෙන, ඔවුන් කැමති අය හා වෙළඳාමේ යෙදෙන්නට පිවිසීමෙන් වැඩියෙන් වාසියක් ලබන්නේ පරිසරය හා ගම්බද වැසියන් ය. ඒ පරිසරයට ආවේනික ආරක්ෂා කරගත යුතු සම්පත් මොනවා දැයි වඩාත් ම දන්නේ ඒ ඒ පැතිවල ජීවත්වන ජනතාවයි. එසේ සම්පත් ආරක්ෂා කරගන්නට පළාතේ වැසියන්ට ඉඩක් ලැබි හැම අවස්ථාවක දී ම ලෝකයේ ඒ සම්පත් ආරක්ෂා වී ඒ වැසියන්ගේ ද ජීවිත වල ආර්ථික අභිවෘද්ධියක් ඇතිවිය.

එසේම ගම්බද වැසියන් මෙසේ ජීවත්විය යුතු යැයි කියන්නට යා යුත්තේ ගම්බද වැසියන් මිස නගරවල සුව පහසු ජීවිත ගෙවන අයවළුන් නොවේ.

හොඳ වෙලාවට ඉන්දියාවේ ව්‍යවස්ථාව පදනම් වී ඇත්තේ මහත්මා ගාන්ධිගේ තපස්වත මත නොවේ. Babasaheb Ambedkar ගේ අදහස් මත ය. අද ගම්බද දුප්පත් ඉන්දියානුවන් හඹා යන්නේ ඒ අදහස් වෙති. “යන්ත්‍ර සහ නූතන සංස්කෘතිය ඒ නිසා මෘගයෙක් සේ දිවියක් ගෙවීමෙන් මිනිසාව විමුක්ත කරන්නට අත්‍යාවශ්‍ය වූවක් ම වෙයි. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක සටන් පාඨය විය යුත්තේ යන්ත්‍ර, තවත් යන්ත්‍ර, සංස්කෘතිය හා තවත් සංස්කෘතියයි.” “Machinery and modern civilization are thus indispensable for emancipating man from leading the life of a brute … The slogan of a democratic society must be machinery, and more machinery, civilization and more civilization.”

වැඩි විස්තර සඳහා කියවන්න: The New India Versus The Global Green Brahmins, The Surprising History of Tree Hugging ලියන්නේ Siddharta Shome විසිනි.

Advertisements

One Response

Subscribe to comments with RSS.

  1. Chandi said, on පෙබරවාරි 8, 2012 at 5:25 පෙ.ව.

    // ඔවුන් එදා ඉල්ලා සිටියේ හා අදත් ඉල්ලා සිටින්නේ අනුන් පිරිනමන මෙසේ ජීවත්විය යුතු යැයි කියන සශ්‍රීකත්වයක් නොව තමන් විසින් තම අභිප්‍රායන් කරා යා හැකි සශ්‍රීකත්වයකි.//
    මෙහෙම හිතන තාක් කල් ඒ අයගේ ජීවිත ලස්සන වේවි නංගී. ස්තූතියි සටහනට. ගොඩක් දේ දැනගත්තා.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: