අරුණි ශපීරෝ‍ වෙතින්

හදවතින් හදපු හදවතින් කාපු කොත්තු රොටි

Posted in Uncategorized by arunishapiro on මාර්තු 6, 2012

ගල්කිස්ස හෝටලයේ සූපවේදී පබ්ලිස් නැමති ශ්‍රී ලාංකික ජාතික සම්පත නොදැක, ඔහුගේ උපදෙස් යටතේ පිළියෙල වූ ආහාර කටක් නොකා ලංකාවට පැමිණ නික්ම වී යන්නට නොහැකිය.

ගල්කිස්ස හෝටලයට අසෝකාත් මමත් ඊයේ රාත්‍රියේ ගොඩවැදුනේ එහි කොත්තු උත්සවයක් පැවැත්වෙන බව නොදැනය. අප හමු වූ සූපවේදී පබ්ලිස් මහතා අපව උන් තැනින් නැඟිට්ටවා “යමු හොඳ කෑමක් පෙන්වන්න” යැයි එක්කගෙන ගියේය.

කොත්තුවේ ආරම්භය ඉතිරි වූ ගෝදම්බා රොටි වලට හොදි දාගෙන “කොටපු රොටි” හදන්නට පටන් ගත් අහඹු ක්‍රියාවලියකි.

කවදත් රසවත් එසේම ගුණයෙන් හා කටට කෙළ පුරවන දැක්මෙන් යුතු කෑම නිර්මාණයට සමත් ගල්කිස්ස හෝටලය කොත්තුවත් විශිෂ්ඨ වූ ඉහළ තලයකට ගෙනැවිත් තිබුණි. ගෝදම්බා රොටි වෙනුවට කොස්, කොහිල, දෙල්, පොලොස් හා මනි පිට්ටු වලින් ද, මුකුණුවැන්නා, සාරණ, රත්තම්පලා, කන්කුන්, ගොටුකොළ වැනි එළවළු වලින් ද “කට කට” ගා කොටමින් හැදෙන කොත්තුවට කැමති නම් ඉස්සෝ, දැල්ලෝ, ජාඩි ඉස්ම, කකුල් මස් යනාදිය එකතු කරගත හැකිය.

අපිත් සමඟ මේසයේ වාඩි වී අපට ලංකාවේ ඉතිහාසයෙන් ද, ලෝකය පුරා සැරිසරා ලබා ඇති අත්දැකීම් වලින් ද කරුණු කාරණා රැසක් කියාදුන් පබ්ලිස් සූපවේදියා හා ගෙවූ කෙටි කාලය, මෙවර ලංකාවෙන් මා ලැබි විශිෂ්ඨතම අත්දැකීමයි.

සූපවේදියා යනු සූප ශාස්ත්‍රයේ විද්‍යාඥයෙකි. ඔහුගේ කාර්යය ආහාර ඉදිරිපත් කිරීමෙන් නිරෝගී මිනිසුන් ඉන්නා සමාජයකට අතදීමයි. සූපවේදියාට වැරදුනාමයි දොස්තරවරු ළඟට යන්නට සිද්ධ වෙන්නේ. එහෙත් අද ලෝකයේ වෙන්නේ සූපවේදීන් විසින් මිනිසුන් දොස්තරවරුන්ට යැවීමයි. මෙහෙම විස්තර කර දුන්නේ පබ්ලිස් සූපවේදියායි.

පබ්ලිස් සූපවේදියාට අනුව අපි ආහාර අනුභව කළ යුත්තේ හදවතින්. ඇස් වලින් වත්, නැහැයෙන් වත් නෙමෙයි. හදවතින් කන ආහාර වලින් අයෙක් රෝගී වන්නෙ නැහැ. හදවතට සවන් දී කෑම තෝරාගන්නට අපි පුහුණු විය යුතුයි.

ඒ වගේම ආහාර පිළියෙල කළ යුත්තේ ද හදවතින්. පබ්ලිස් සූපවේදියාගේ ඒ අර්ථ දැක්වීමට ජර්මන් කියමනක් ද මගේ යෙහෙළිය අසෝකා එකතු කළා: ආදරයෙන් පිළියෙල කරන යැයි අර්ථය ඇති mit liebe gekocht.

ගල්කිස්ස හෝටලයේ හදවතින් හැදෙන කොත්තු හදවතින් රහ බලන්නට කැමති නම් 11 වෙනිදා තෙක් කොත්තු උත්සවය හැමදාම රාත්‍රීයේ එහි පැවැත්වෙනවා.

සූපවේදී පබ්ලිස්ව මෙල්බන් ඇතුළු ලෝකයේ නගර ගණනාවක දී ළඟදීම හමුවන්නට පිටරට වාසය කරනා අයටත් හැකියි.

අනගි මෙහෙයක් ලොවටම ඉටුකරන පබ්ලිස් සූපවේදියාට දීර්ඝායුෂ පතමින්, ලංකාවෙන් ම බිහි වූ ලංකාවෙන් ම විශිෂ්ඨ මට්ටමකට ගෙනා කොත්තු කාලා ඉතින් ගිහින් එන්නම්!

Advertisements

68 Responses

Subscribe to comments with RSS.

  1. බුද්ධි said, on මාර්තු 6, 2012 at 11:00 ප.ව.

    පබිලිස් මහත්තයගේ දැක්ම නම් හරිම පංකාදුයි. ඔය දැක්ම අලුත් අයට ගෙනියන විදිහෙ වැඩපි‍ලිවෙලක් ඒ මහත්තයා කරගෙන යනවද? නැත්තම් වගකිවයුතු අය මේතුමාගෙ දැනුම උරාගන්න වැඩ පිලිවෙලක් පටන් අරන්ද දන්නැ නේද? එහෙම වෙනවමම් මරු!

    වැදගත්ම දේ ඒක නෙමේ මේ පොටෝ වල පේන හැටියට නං අරු‍‍ණි අක්කා එන්ඩ එන්ඩම ලස්සන වෙනවානෙ…… මොකද්ද අක්කණ්ඩි රහස, රට රටවල කෑමද?

    • arunishapiro said, on මාර්තු 7, 2012 at 8:13 පෙ.ව.

      බුද්ධි,

      දරුවන් වෙනුවෙන් ආහාර ගැන ලියැවුනු පොතක් ද, තමන්ගේ ජීවිතය ගැන වූවක් ද පබ්ලිස් සූපවේදියා අතින් නුදුරු දිනයෙක එළිදැක්වෙයි. ලංකාව වටා නොයෙකුත් තැන් වලට ගොස් ආහාර ගැන දැනුවත් කිරීමත් ඔහු අතින් සිද්ධ වෙනවා. ඒත් “දැක්ම” කියන එක වෙන කාටවත් දෙන්න බැරි දෙයක්. ඒකීයයි. තවත් කෙනෙක් පබ්ලිස් සූපවේදියා යන මාර්ගයෙන් පෝෂිත වෙලා ඒ අයට ම වූ දැක්මක් අනාගතයේ දවසක ඉදිරිපත් කරාවි.

      අනිකට උත්තරේ නේද? හ්ම් … ලස්සන කෙසේ වෙතත් අරන් යන්න සොඳුරු මතකයන් බොහොමයක් එකතු කරගන්න ලැබීමේ සතුටින් පිරිච්ච හදවතක් නම් තියෙනවා.

      • රන්දිල් said, on මාර්තු 8, 2012 at 2:52 පෙ.ව.

        අනේ ඇත්තමයි……………….. මාත් ඔය ලස්සන වීමේ කතන්දරේ හිත හිතා හිටියේ…………….. දැන් කෙල්ල වෙලානේ…………. මං හිතන්නේ ලස්සන කියනවාටත් වඩා සුන්දර වෙලා කියලා තමයි කියන්න වෙන්නේ……………… සුදු අප්පුහාමිවනේ ආශ්‍රය‍ කරන්නේ, ඒක නිසාමද මන්දා ඒ පාටත් බෝවීගෙන එනවද මන්දා……………. 😉

  2. රාජ් said, on මාර්තු 6, 2012 at 11:08 ප.ව.

    මදැයි! ජීවිතේ පලවෙනි වතාවට කොත්තුවක් කෑවඑක ලොකු දෙයක්.

  3. praveena said, on මාර්තු 6, 2012 at 11:15 ප.ව.

    අර කොත්තුව දැක්කාම කොත්තුවලට ආසා මම දන්න කෙනෙක් මතක් වෙනවා. ඒ එක්කම ලංකාවට දුවලා ගිහින් කොත්තු කාලා එන්ටත් හිතෙනවා.

    සූපවේදී පබ්ලිස් මහත්තයා මෙල්බන් ඇවිත් ටීවී වැඩ සටහන් කීපයකුත් කලා. මට මතකයි ඇඹුල් තියල් හදන හැටි පාරක් කියලා දුන්නා. තමන්ගේ හැකියාවෙන් කෙනෙකුට කොච්චර දුරක් යන්ට පුලුවන්ද කියන එකට හොඳ උදාහරණයක් මේ මහත්තයා.

    ඒත් ඔයා එක්ක නම් ඊරිසියාවේ බෑ. කනවා කියලා ඔහොමත් කන සිරිතක් තියනවද? 🙂

    • arunishapiro said, on මාර්තු 7, 2012 at 8:17 පෙ.ව.

      praveena,

      ආයෙත් එයි මෙල්බන් පැත්තට ලබන මාසේ විතර. කොත්තු උත්සවයකුත් අරන් ඒවි මම හිතන්නෙ.

      අපොයි ඔව් ප්‍රවීනා, මේ පිඟානේ ඉතුරු වුනේ ලස්සනට කපපු කෙහෙල් කොළේ විතරයි. හැමදාම මෙහෙම කන්න ලැබෙන්නෙ නැහැනෙ!!!!

  4. Sudath said, on මාර්තු 7, 2012 at 12:01 පෙ.ව.

    ලංකාවෙ තියනව පොලිස් කොත්තු කියල ජාතියක්.

    • N.S.A. Niriella said, on මාර්තු 7, 2012 at 12:28 පෙ.ව.

      පොලිස් කොත්තු…???
      මං කාපුවාද දන්නෑ…මගේ කනටත් පොලීසියෙන් පතබෑවෙ කොත්තු ගහනවා වගේ තමයි. අගේට වැඩේ කළා මම දැන් සදා බිහිරියි.

  5. ගෝල්ඩ් fish said, on මාර්තු 7, 2012 at 12:09 පෙ.ව.

    කෙල උනනෝ…..

    • arunishapiro said, on මාර්තු 7, 2012 at 8:18 පෙ.ව.

      ගෝල්ඩ් fish,

      දැන් ඉතින් අත්ලාන්තික් සාගරයෙන් එහා පැත්තට කොත්තු එනකම් බලාගෙන තමයි මට ඉන්න වෙන්නෙ. යාළු මාළුවාට මොකෝ හැමදාම මෙහෙ තියන කොත්තු!!!

  6. aravinda said, on මාර්තු 7, 2012 at 12:18 පෙ.ව.

    Aruni, are you in sri lanka now? i would like to meet you

    • arunishapiro said, on මාර්තු 7, 2012 at 8:22 පෙ.ව.

      aravinda,

      ඔව් ඒත් හෙට අනිද්දා යන්න ඉන්නෙ. සමාවෙන්න aravinda, මට වීසා දීලා තියෙන දවස් 30 මදි මාත් කැමත්තෙන් ඉන්න හැමෝම හමුවෙන්න. එන්න කළියෙන් ලැහැස්ති කරන් ආපු අයව හමුවෙන්නත් දැන් කාලේ මදිවේගන යනවා.

      මම දැනගෙන හිටියෙ නැහැ මට මෙච්චර යාළු යෙහෙළියෝ සහ නෑදෑයෝ ඉන්නවා කියලත්!!!!

  7. මනික් said, on මාර්තු 7, 2012 at 12:30 පෙ.ව.

    දැන් තේරෙනවද නේද ඔකොනොමියකි වලයි කොත්තු වලයි වෙනස.
    කොත්තු වල තියෙන අපේ රහ ඔකොනොමියකිවල නෑ නේද.

    • arunishapiro said, on මාර්තු 7, 2012 at 8:24 පෙ.ව.

      මනික්,

      ඔව් ඔව් පැහැදිලි වෙනසක් තියෙනවා, ලංකාවේ කොත්තු රහ ඔකොනොමියකි වල නැහැ නේන්නම්. සංකල්පයේ සමානාත්වය පමණයි ඇත්තෙ.

  8. N.S.A. Niriella said, on මාර්තු 7, 2012 at 12:36 පෙ.ව.

    එහෙනම් අරුණි අක්කත් කොත්තු කෑවා…?
    අපි කන සිල්ලර කොත්තු නෙවෙයි..ලෝකය ගත්තත් විශිෂ්ටම සූපවේදියෙක් වන පබිලිස් සර්ගෙන්…:)

  9. රූ said, on මාර්තු 7, 2012 at 12:51 පෙ.ව.

    එහෙනම් අරුණි අන්තිමට කොත්තුවක රස බැලුවා.
    පබිලිස් සිල්වා මහත්තයා ගැන නම් කියලා වැඩක් නෑ..මම දැන් අවුරුදු ගානක් තිස්සේ ඒ මහත්තයගේ රෙසිපි ට්‍රයි කරනවා..තාම බැරිවුනා නෙව ඒ අත්ගුණේ ගන්න…හික්ස්..

    • arunishapiro said, on මාර්තු 7, 2012 at 8:29 පෙ.ව.

      රූ,

      මම ඔහුව පුංචි කාලේ දැනගත් දා සිට අතිශයෙන් අගය කරනවා, ඊයේ ඒ අගැයුම තවත් ඉහළ ගියා.

      රූ, වෙලාවක හදවතින් ම රෙසිපිය හදන්න කියලා ටිකක් හිතයි ගතයි පැත්තකට දාලා බලන්න වෙයි.

  10. Ravi said, on මාර්තු 7, 2012 at 1:12 පෙ.ව.

    Aaaah….at last, Aruni devours a ” Koththu ”

    Well….wasn’t it worth waiting for ………… Years? ( you can fill in the space yourself if you want to 🙂 )

    And what a way to fulfil something that your heart ( or was it your stomach?) was yearning for?

    Well ladies and gentlemen, the greatest epicurean of the 21st century meets the greatest culinary artist of out time. Stand up please and give them both a big hand…….. 🙂

    P.S – I heard somewhere that ” Koththu” actually originated in Sri Lanka, In batticaloa to be precise….Didn’t Mr. Pubilis tell you anything regarding that?

    • arunishapiro said, on මාර්තු 7, 2012 at 8:36 පෙ.ව.

      Ravi,

      ඔයා හරි රවී, පිඟානේ ඉතුරු වුනේ කන්න බැරි කෙහෙල් කොළ සැරසිල්ල විතරයි.

      හ්ම් … කොත්තු ගැන අහලාවත් තිබ්බෙ නැති කාලයක් තිබ්බ නිසා හිස්තැන් පුරවන වසර ගණන අඩුවෙනවා ද?!!!

      ඔව් කොත්තු ආරම්භය ලංකාවේ. ඒත් පැත්ත කොහේදැයි ඇහැව්වෙ නැහැ. කෑම හදන තැන්වල ඉතිරි වෙච්ච කෑම කොටලා එයාලට කන්න හදපු නිසයි කොත්තු නම වැටුනේ කියා කිව්වා.

  11. Ishara said, on මාර්තු 7, 2012 at 1:32 පෙ.ව.

    කොත්තු ගැන නම් ඉතින් කියලා වැඩක් නෑ. අන්න කෑම. ඇත්තටම පබිලිස් මහත්තයා ජාතික සම්පතක්. එයා අළුත් දේවල් අත්හදා බලනවා. ඉතින් මටත් හිතුණා ඔයාගෙ මේ පෝස්ට් එක බලලා අර කියන විධියෙ කොත්තු හදන්න. ඇත්තටම කෑම හදන්න ඕනා හදවතින්. අපේ අම්මලා අපිට හදලා දෙන කෑම කවදාවත් අපිට නරකක් වෙන්නෙ නැත්තෙ ඒ අය ඒක හදවතින්ම හදන නිසා. ඒ ගැන වෙන සාධක අවශ්‍ය නැහැ.

  12. kiriputha said, on මාර්තු 7, 2012 at 5:29 පෙ.ව.

    මෙහෙ තියෙන සමහර කඩ වලින් කොත්තු කෑවම දවස් දෙක තුනකට වැඩේ ශුවර්.

    • arunishapiro said, on මාර්තු 7, 2012 at 8:44 පෙ.ව.

      kiriputha,

      සාමාන්‍යයෙන් කඩවල හදන කුකුල් මස් කොත්තු වල හැපෙන කුකුල් ඇටකටු නම් මිනිස් ආමාශයට ඉතා අහිතකර බව මම කියන්න දන්නවා. එහෙම දාලා ලැබුනොත් කොත්තු වලින් ඒවා අයින් කරන්නත් අමාරුයි නේද? ඒක නම් කවුරු හරි වහාම තැන තැන කොත්තු හදන අයට කියා වෙනස් කළ යුත්තක්.

      • කාරියකරවන said, on මාර්තු 14, 2012 at 11:40 පෙ.ව.

        // සාමාන්‍යයෙන් කඩවල හදන කුකුල් මස් කොත්තු වල හැපෙන කුකුල් ඇටකටු නම් මිනිස් ආමාශයට ඉතා අහිතකර බව මම කියන්න දන්නවා.

        අරුණි මැතිනිය, මේ ගැන තව දුරටත් කරුණු පැහැදිලි කරන මෙන් කරුණාවෙන් ඉල්ලමි. මන් ද යත් මා ද කුකුල් මස් කටු කෑමට රුසියෙකු වන බැවිනි. එහි යම් කිසි ශරීරයට අහිතකර භාවයක් වෙතොත් එපැහැදිලි කර දීම පින් කටයුතුය.

        • arunishapiro said, on මාර්තු 15, 2012 at 10:42 පෙ.ව.

          කාරියකරවන,

          කුකුල් මස් කටු පව්ඩර් සේ කුඩුවෙන්නට හපන්න දන්නා දක්ෂයෝ හෝ එවැනි ඉවසීමක් ඇති අය ඉතා දුලබයි. කුකුල් මස් කටු විකද්දී දත් සුද්ද කරන “ටූත් පික්” වැනි කුඩා කෑලි තරමින් පමණක් විකා ගිලින්නට මස් කන වැඩිදෙනා පුරුදු වී සිටිති. එයින් ආමාශයේ බඩවැල් දිගේ යන කුකුල් මස් ඇබිත්තන් කටුවක තියුණු උලෙන් එය බඩවැලක ඇනී හිරවෙන්නට ඉඩක් ඇත. සාමාන්‍යයෙන් බඩවැල් වල යන ආහාර මෘදු වී ගියත් එය ඇනීම නිසා ඇතුලේ ආසාධනයක් හටගත්තොත් එය වටා අහිතකර අම්ල එකතු වී තත්වය බරපතල වෙනතෙක් දැනගත නොහැකියාවත්, තත්වය බරපතල වෙද්දී ඊට හේතුව සොයාගත නොහැකියාවත්, තත්වයේ බරපතල බවින්, එනම් ආහාර පද්ධතියේ ඇතුලත දෑ පිටතට ඒම මරණයට පවා හේතු වෙයි.

  13. කොත්තු කියන්නෙ ගෝදම්බ රොටි වෙනුනට වෙනත් ඕනෙම දෙයක් දාල හදාගන්න පුලුවන් කෑමක්. කොත්තුවක් රසවිදින්නනං ඒක කාල විතරක්ම මදි. කොත්තු රසවිදීම පටන්ගන්නෙ කොත්තුව හදන සද්දෙත් එක්කමයි. ඒ නිසා මම සවානෙදාල හැන්දෙන් කලවං කරන කොත්තුවට වඩා 6/8 රිදම් එකට තැටියෙ ගහන කොත්තුවට හැමදාම කැමතියි. අනික මගේ විනෝදාංශ වලින් එකක් නෙ කොත්තු සැදීම 😀
    කෑමෙන් ලෙඩවීම ගැන පබිලිස් උන්නැහේ කියල තියන කතාවනං ඇත්තම ඇත්ත. හොඳ කෑමක් (දිවෙන්, නැහැයෙන් සහ හදවතින් රසවිදින) කවදාවත් කෙනෙක්ව ලෙඩ කරන්නෙ නෑ . .

    Good food never hurt anyone, my lads
    එහෙම කියන්නෙ Chief Vitalstatistix (Asterix and the Chieftain’s Shield, page 09)

    • arunishapiro said, on මාර්තු 7, 2012 at 8:49 පෙ.ව.

      ඕනමැන්ටල් (දුලිප් සිකුරාජපති),

      ඔව් ඔව් රබන් පදයක් ගහමින් වගේ කොත්තු හදන හැටි අපි අහාගෙන හිටියා.

      පුංචි කාලේ ඔය ඇස්ටරික්ස් පොත්වල තියන භෝජන සංග්‍රහ වල පින්තූර ආසාවෙන් බලනවා. අන්තිමේ දී අර කැකෆෝනික්ස්වත් හොයාගන්න ඕනනෙ. ඊයෙත් එහෙම කෙනෙක් අසල මේසයක හිටියා, කවුරුත් ගහක එල්ලන්න ගියේ නැහැ හැබැයි!!!!

      • මට කියන්න අමතක උනා . . . ලංකාවෙ කොත්තු කනවනං සුපිරිම තැන සහ කොත්තුව තමයි හොටෙල් ඩි පිලාවූස් (වැල්ලවත්ත, බම්බලපිටිය, කොල්ලුපිටිය) එකේ චීස් කොත්තුව.

        මිරිස් ටිකක්වත් නොදා තනිකරම කිරි දමල හදන චීස් කොත්තුවක් සමග ලයිම් ජූස් දෙකක් කියන්නෙ මගෙ සහ මගෙ හාමිනේගෙ ප්‍රියතම කෑමවේලක්

  14. dayal-bathee said, on මාර්තු 7, 2012 at 6:24 පෙ.ව.

    නියමයි!
    හැබයි අරුනි, පබිලිස් මහචාර්‍ය තුමා නොවෙයි කවුරු දැම්මත්, මොනව තිබුනත්, සද්දේ නැත්නම් කොත්තුව රහ නෑ

    • අනිවා . . කොත්තුවේ මෙවුව එක තියෙන්නෙ සද්දෙ

      • Ravi said, on මාර්තු 7, 2012 at 7:27 පෙ.ව.

        කොත්තු සද්දෙ ගැන කියනකොට මතක් උනේ…. හෙහ්, හෙහ්,

        අපි අනුරාධපුරේ ඉන්දැද්දි නිතරම යන ඒ පළාතෙම සුප්‍රසිද්ධ කොත්තු කඩයක් තිබ්බ.

        අපි ඔන්න අමර පදමට එහෙම ඇවිල්ල යනව කොත්තු කන්ට.

        කොත්තු බාස් අහනව ” මොකක්ද මහත්තය අද?…සුදු අසුපිටද?…බිංදුමතිද?…එහෙම නැත්නම් පිපී පිපී රේණු නටන ද? ”

        ඉතිං අපි කියනව ” ම්ම්, අද සුදු අසු පිට හොඳයි ”

        ඔන්න මිනිහ දෙනව අර තහඩු කෑලි දෙක අරගෙන…සුදු අසුපිට තාලෙට.. 🙂

        අපි කරන්නෙ කොත්තුව දානකල් මිදුලෙ ඒ තාලෙට නටනව….හෙහ්, හෙහ්,

        සුදු අසු පිට උඩ නැඟලා,
        මංගල සතේ තියා…
        බන්දා රන් තොරණින්,
        කැන්දා මා යන්නේ….. 🙂

    • arunishapiro said, on මාර්තු 7, 2012 at 8:52 පෙ.ව.

      dayal-bathee,

      කෑම තෝරලා දුන්නම එහෙම හදනවා බලන සම්පූර්ණ අත්දැකීමක් ලබන්නට හැකියාවක් ලැබුන එක ගැන මාත් සතුටු වෙනවා.

      හැබැයි රවී කියන “සුදු අසුපිට නැඟලා” තාලය නම් තිබ්බෙ නැහැ, මට ඇහුනෙ රබන් පදයක්නෙ!!!

      • Mobileman said, on මාර්තු 7, 2012 at 2:01 ප.ව.

        ප්රි යා සූරියසේනගේ සඳ තාරකා හඬාවී සින්දුවට ඉන්ට්රොඒඩක්ෂන් මියුසික් එක තමයි කොත්තු ගහන මියුසික් එක. අනිත් ඒව එච්චර හරියන්නෙ නෑ.

  15. කොත්තුව ඉතින් ජාතික ආහාරය වගේ කෑමක් නේ , පබිලිස් මහත්තයගේ සුපිරි කොත්තු නම් කාලා නැතුවා , අපි කන කොත්තු නම් හදවතින් කැවත් ඇඟට එච්චරම හොඳයි කියන්න නම් අමාරුයි !

  16. pissa palaamalla said, on මාර්තු 7, 2012 at 7:45 පෙ.ව.

    කොහොමද ගනන් හිලව් කියලත් දැම්මනම්…

    • arunishapiro said, on මාර්තු 7, 2012 at 9:04 පෙ.ව.

      pissa palaamalla,

      ඔය ගැන සටහනක් ලියන්න දෝ නොලියම්දෝ කියා සිත සිතා හිටියෙ.

      මම ලංකාවේ ජීවත්වුන කාලයේ දී අපි ගනන් හිලව් ඇහැව්වෙ නැහැ. එහෙම ඇසීම ඉතා ලැජ්ජා විය යුතු කාරණයක් හැටියට එදා සැලකුණා.

      පිරිමියෙකු ගෙන් පඩිය අහන්නේ නැහැ, ගැහැණියකගෙන් වයස අහන්නේ නැහැ. දෙන තෑගිවල ගණන් හොයන්නෙ නැහැ.

      ඒත් අද පාවිච්චි කරන ඕනෑම දෙයක ගාන කීය ද කියා ඇසීම සිරිතක් වෙලා. කිසිම පැකිළීමක් නැතිව එහෙම අහන එක මට පුදුමයක්. මම අදිමදි කරන්නෙ පුරුද්දට, ගාන කිව්වම කැතයි වගේ හැඟීමක් හිතට එන නිසා.

      එතැන හදලා දෙන විදියට පලා කොත්තු හෝ මාංශ ඇති කොත්තුවක ගාන රුපියල් 1100/- ඊට මස් හෝ මාළු වැඩියෙන් දානවා නම් රුපියල් 150/- ක් 250/- ක් ඒකට එකතු වෙනවා. ඒ මට මතක හැටියට.

  17. සිරිසුමන said, on මාර්තු 7, 2012 at 7:51 පෙ.ව.

    මොකක්ද බොල මංගල සතේ කියන්නේ? මංගල රුපියල් නැත්ද? හනේ බොල!

  18. henryblogwalker said, on මාර්තු 7, 2012 at 8:02 පෙ.ව.

    වැඩේ ඉතින් රස වුනාට අපි කීයෙන් කීදෙනාටද ඔය තැනට ගිහිල්ලා කොත්තුවක් කන්න ආර්ථිකයක් තියෙන්නෙ?

    • arunishapiro said, on මාර්තු 7, 2012 at 9:06 පෙ.ව.

      henryblogwalker,

      කතාව ඇත්ත. ඒත් මම ගිය තැන්වල ඇතිවෙන්න ලාංකිකයෝ හිටියා. සමහර තැන්වල වැඩියෙන් හිටියෙ ලාංකික අය.

      මෙහෙම නිවාඩුවකට ආවම කාලා යනවා මිසක් හැමදාම ඔහොම කන්නෙ නැහැ!!!!!

      ඇමෙරිකාවේ උපයලා ලංකාවේ ජීවත් වෙන්න බැරි තරමට මෙහෙ බඩු ගනන් වැඩියි. ඔයාලා කොහොම ඉන්නවා ද මන්දා?

      • henryblogwalker said, on මාර්තු 7, 2012 at 10:40 පෙ.ව.

        Even I work in Maldives Aruni, All the money saved runs out in a flash in Sri lanka.

      • kumaraya said, on මාර්තු 7, 2012 at 11:09 පෙ.ව.

        අරුණි එහෙම කිව්වෙ ඇත්තටම ද …?
        දැන් පේනවනෙ … අපි මේ රටේ කොච්චර අමාරුවෙන් ද රෝල් වෙන්නෙ කියලා…
        ඇමරිකාවෙදි ගොඩක් හම්බ කරන [අපි හිතාගෙන ඉන්න විදියට] ඔයත් ඔහොම කියනකොට ඉතින් කවර කතා ද … ?

        • arunishapiro said, on මාර්තු 7, 2012 at 1:01 ප.ව.

          kumaraya,

          ඔව් kumaraya, මම ඒ ගැන කළින් කොතරම් මේ අඩවියෙන් ම කියා තියෙනවා ද? ඇමෙරිකාවේ වියදම අඩුයි, බඩු ලාභයි, පහසුකම් වැඩියි ඒත් කොත්තු නෑ තවම.

  19. subash said, on මාර්තු 7, 2012 at 9:27 පෙ.ව.

    මටත් කොත්තු ගැන් ගොඩක් අත්දැකීම් තියෙනව. ඔයාලත් එක්ක ලඟදි බෙදාගන්නම් බ්ලොග් එකක් ලියලා. මම තනියම කොත්තු හදලා තියෙනව රොටියේ ඉඳලා. ඒ තරම් අමාරු නෑ බලාගෙන හිටියොත්. මම සින්ගපූරුවෙදිත් කොත්තු හැදුවා. අපේ කට්ටිය පුදුමාකාර සතුටකින කෑවේ.

    • arunishapiro said, on මාර්තු 7, 2012 at 12:54 ප.ව.

      subash,

      කොත්තුව නැඟලා යන්නෙ ඔක්කොම එකට දාලා හදන්න පුළුවන් පහසුවටත් වෙන්නැති.

      කොත්තු කොටද්දී ඔයා ගහන තාලේ මොකක් ද?

  20. chandi said, on මාර්තු 7, 2012 at 11:39 පෙ.ව.

    හදවතින් හදපු හදවතින් කාපු කොත්තු රොටි කාල නංගි ආයෙත් යනව. මට වචනයක් හරි කතා කරන්නවත් ලැබුන එක ලොකු සතුටක්. මගෙ අවිවේකී බවත් කාලයත් අපේ හමුවීමට හරස් උන එකටනම් ලොකු කණගාටුවක් හිතේ තියෙනවා. නමුත් ලබන සැරේ ආවහම නොවැරදීම අපේ නිවහනටත් ගොඩ වෙන්න කියන සුහද ආරාධනාවත් එක්කම තෙරුවන් සරණින් යහතින් ගිහින් එන්න කියල සමුදෙන්නම් සෙනෙහසින්ම. (ගෙදර කොත්තුවක් හදන්න හොඳම රසට දේවල් දමලා රු.300 ක් වත් යන්නෙ නෑ නංගි. D: )

    • arunishapiro said, on මාර්තු 7, 2012 at 1:05 ප.ව.

      chandi,

      කතා කරන්න ලැබීම සතුටක් චාන්දි අක්කා, වෙනත් දවසක තවත් තැනක අපි හමුවේවි!

      ඔව් චාන්දි අක්කා කියන කතාව හරි, ගෙදර රසට හදාගන්න වැඩි වියදමක් යන්නෙ නැහැ, අනික හදවතින්ම හදනවානේ.

  21. ඔබ නොදු‍ටු ලොවක් said, on මාර්තු 7, 2012 at 3:08 ප.ව.

    පබිලිස් උන්නැහෙගේ කෑමක් නං ඉතින් අහලා වැඩක් නෑ…කාලම බලන්න ඕනේ…..

  22. ඔයා කොහොමද අරුණි අක්ක ඇමරිකාවෙ කොත්තු නෑ කියන්නෙ ???
    මෙතනින් බලන්න එමිනෙම් කියන කොත්තු සින්දුව

    බෝනස් නම්බර් එක . . මේ ඉන්දියාවෙ කොත්තු ගැන අමිතාබ් භච්චන්ගෙ අදහස

    • arunishapiro said, on මාර්තු 14, 2012 at 11:09 පෙ.ව.

      ඕනමැන්ටල් (දුලිප් සිකුරාජපති),

      ඔය වගේ වැඩ දැකලා වෙන්නැති සමහරු ඇමෙරිකාව ලංකාවේ සම්පත් බලෙන් අරන් යනවා කියලා හිතන්නෙ!!!!

  23. Nihal Gurusinghe said, on මාර්තු 7, 2012 at 5:10 ප.ව.

    කොත්තු රොටී කියන්නේ ලොකු සද්දෙන් හදන කෑමක්. හෝමාගම හෝටලයක් තිබුණා පාර අයිනේ රස කොත්තු රොටී හදන. අත් වැසුම් හෝ හිස් වැසුම් නොපැළඳ කොත්තුව කොටන කොට මට ඇසෙන්නේම ” රටට සෙතක් – මට විපතක් ” කියන තාලයයි.
    මමත් ගෙදරදී ඉඳ හිට කොත්තු රොටී හදනව. අර වගේ සද්දෙ නැති උනාට රසය ඒකමයි. ඉතිරි වුනු මස් හොදි හෝ මාළු හොදි , බිත්තර , තක්කාලි , ලූණු යොදා.. ගෝදමබර රොටී නැති නිසා මම ගන්නේ ” ටොටියා” totilla කැබලියි. ඔබත් ට්‍රයි කර බලන්න.

    • arunishapiro said, on මාර්තු 14, 2012 at 11:10 පෙ.ව.

      Nihal Gurusinghe,

      ඉතින් නිහාල් කොස් කොත්තු කාලා ආයේ ඇමෙරිකන් පිටි වලින් හදන ඒවා කන්නෙ කොහොම ද? දැන් පබ්ලිස් සූපවේදියා මෙහෙ එනකම් බලාගෙන ඉන්නවා.

  24. ඩිලාන් said, on මාර්තු 7, 2012 at 5:22 ප.ව.

    ඉතාලියේ ලාංකිකයෝ වැඩියෙන් ඉන්න නගර හැම එකේම ලාංකික කෑම කඩයක් තියන නිසා සද්දේ නැතත් ,කොත්තු වගේ කොත්තු කෑමේ හැකියාවක් තියනවා, අද අපි ගෙදර හදා ගන්නවා අපිට ඕනා විදිහට රෙසිපිය ගත්තේ නෙට් එකෙන්මයි,වැඩේ සාර්තකයි හැබැයි සද්දේ නෑ,වියදම පොඩ්ඩක් වැඩී

    • arunishapiro said, on මාර්තු 14, 2012 at 11:14 පෙ.ව.

      ඩිලාන්,

      නිව් යෝර්ක් හෝ ලොස් ඇන්ජලීස් පැත්ත ගැන සොයා බලන්න ඕනා. සමහර විට කොත්තු හදන තැන් ඇති කියා හිතෙනවා.

      ඔව් ඩිලාන් ගෙදර හදා ගන්නත් බැරිකමක් නැහැ නේන්නම්.

  25. Observer said, on මාර්තු 7, 2012 at 11:45 ප.ව.

    අපේ ලොකු බෑණන්ඩිය සුද්දප්පු කෙනෙක්, ලංකාවට ගියාම ඕනෙම හෝටලේකට ගියාම බලන්නෙ කොත්තු තියෙනවද කියල.

    අපිත් ගෙදර හදනව කොත්තු, ගෝදම්බ රොටි වෙනුවට මෙහෙ ගන්න තියෙනව, සුපර් මාකට් වල චපාති.

    ලඟදි වියට්නාමේ ඉඳල මෙහෙ විසිට් එකකට ආව ‘නෙලුම් විල ‘ ලියන බින්ඩි කියල දීල ගියා ඔබීට චපාති හදන හැටිත්.

  26. සපතේරු උන්නැහේ said, on මාර්තු 8, 2012 at 1:30 පෙ.ව.

    මෙහේ වුනත් Sri Lankan signature dish කියල මාකට් කරන්නෙ බිත්තර ආප්ප… ඒත් ඉන්දියන් කාරයොත් ආප්ප හදනව… කොත්තු නම් මම දැකල නෑ කිසිම වෙනත් ජාතිකයින් හදනව… මම නම් හිතන්නෙ ඒක නියම signature dish එකක්….

    මේ පෝස්ට් එකට ඇවිත් තියෙන කොමෙන්ට්ස් ගොඩ දැක්කම හිතාගන්න පුලුවන්නෙ කොත්තු කොයි තරම් ජනප්‍රියද කියල….

    • arunishapiro said, on මාර්තු 14, 2012 at 11:18 පෙ.ව.

      සපතේරු උන්නැහේ,

      කොත්තු හැමෝම රස විඳලා තියෙනවා වගේ, මේ මම තමයි අන්තිමට එකතු වෙන්නෙ. දැන් පබ්ලිස් සූපවේදියා කොත්තු උත්සවේ අරන් ලෝකේ වටේ ගියාම මම වගේ ඉතිරි වෙලා හිටිය ටික දෙනාටත් අවස්ථාවක් පෑදෙයි ජනප්‍රියත්වය තව වැඩි කරන්න.

  27. අංජන said, on මාර්තු 8, 2012 at 8:37 පෙ.ව.

    ආයෙ කියන්න බෑ කොත්තු නොකෑ කට කියල…
    කොත්තු ඔහොම කාල නෑ, හැබැයි ඔය කියල තියෙන අමතර දේවල් මම ගොඩක් කැමතිම කෑම. විශේෂයෙන් කොහිල…
    දිව නටනව වගේ.

    • arunishapiro said, on මාර්තු 14, 2012 at 11:20 පෙ.ව.

      අංජන,

      ඔව් ඔව් විශේෂයෙන් කොහිල. කොහිල දළු තෙම්පරාදුවට මාත් ආසයි.

      අනික කොහිල කට්ලට්ස්. අපි පුංචි කාලේ පාසැල් කැන්ටිමේ විකුණුවා … තෙලෙන් බැද්දට පස්සෙ ගුණ නැති වුනා ද දන්නෑ … ඒත් කමක් නැහැ හරිම රසයි.

  28. රාජ් said, on මාර්තු 13, 2012 at 3:40 පෙ.ව.

    සතියකින් ඇවිත් නෑ!


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: