අරුණි ශපීරෝ‍ වෙතින්

ඩොලර් 94,000 ක විස්කි බෝතලේ

Posted in Uncategorized by arunishapiro on මාර්තු 16, 2012

පාරිභෝගික කැමැත්ත හසුරුවන්නට ගත් සෑම උත්සාහයක්ම ලෝකයේ අසාර්ථකය. එහෙත් ඒ බව නොදන්නා අය, ඉතිහාසය කියවා නැති අය, තවමත් පාරිභෝගික කැමැත්ත කුමක්දැයි තමන්ට කිව හැකි යයි සිතති. එය බලහත්කාරයෙන් හෝ බිය ගන්වා හෝ වෙනස් කළ හැකි යැයි සිතති.

අද නිව් යෝර්ක් නගරයේ ඇපල් අලෙවිහල ඉදිරිපිටින් දකිනා සජීවී විකාශනත්, චීනයේ ඇපල් අලෙවිහල් ඉදිරිපිටින් දකිනා සජීවී විකාශනත් හමුවේ වැඩි පාරිභෝගික කැමැත්ත කුමකට දැයි පැහැදිලිය. “අයිපෑඩ් එකක් කන්නටදැයි?” අහනා අයට මෙය පැහැදිලි කර දිය නොහැකිය.

ඇමෙරිකාවේ බඩුවක් ගන්නට, එක කඩයක් ඉදිරියේ 245 දෙනෙක් පෝලිමේ හිටගෙන හිටියා යැයි කීම අතිශය වැදගත් ප්‍රවෘත්තියකි!!!

ඊයේ නිව් යෝර්ක් නගරයේ නිදහස් දූපතේ දී තවත් පාරිභෝගික කැමැත්තක් පැහැදිලිව ප්‍රකාශ වුණි. ඒ වසර 55 ක් පැරණි Glenfiddich Janet Sheed Roberts Reserve -1955 විස්කි බෝතලයක් වෙන්දේසියේ අලෙවියයි. විස්කි බෝතලයේ නිෂ්පාදනය සීමාසහිත විලියම් ග්‍රාන්ට් සහ පුත්‍රයෝය. ඔවුන් විස්කි හදන්නේ 1887 දී සිට.

ග්ලෙන්ෆිඩිච් කොම්පැණිය 1955 අළුත් අවුරුද්ද ලබද්දී විස්කි බැරලයක් පුරවයි. එය අංක 29 වැනි ඇසුරුම්ගාරයේ 1955 සිට 2011 දක්වා කල් තැබෙයි. කාලයාගේ ඇවෑමෙන් පැසුණු විස්කි 2011 නොවැම්බර් මාසයේ දී බෝතල් 15 ක් පුරවන්නට සමත් වෙයි. එයින් පාරිභෝගික කැමැත්ත ඇති අය වෙනුවෙන් අලෙවියට බෝතල් 11 ක් ලොවට ඉදිරිපත් කෙරෙයි.

2011 දෙසැම්බර් මාසයේ දී එංගලන්තයේ දී වෙන්දේසි වූ බෝතල් අංක 1 ට බ්‍රිතාන්‍ය පවුම් 46,850/- ක් කැමැත්තෙන් ගෙවන්නට පාරිභෝගිකයෙක් ඉදිරිපත් විය. බ්‍රිතාන්‍ය හැරී කුමාරයාගේ අනුග්‍රහයෙන් පැවැත්වූ උත්සවයක දී දෙවැනි බෝතලයට බ්‍රිතාන්‍ය පවුම් 44,000/- ක් ලැබුණි.

ඊයේ නිව් යෝර්ක් නගරයේ විකුණුනේ අංක 3 වැනි බෝතලයයි. ඊට ඇමෙරිකන් ඩොලර් 94,000/- ක මිලක් ලබන්නට වෙන්දේසිකරුවෝ සමත් වූහ. එය මිල දී ගත්තේ මහේෂ් පටෙල් ය. මේ ඇමෙරිකාවේ වෙන්දේසි කරන මේ එකතුවේ පළමු බෝතලයයි.

මත්පැන් යැයි කිව්වාම ඇබිත්තක් වත් තොල නොගාම හිස් අවුල් කරගන්න අයට: මේ වෙන්දේසි සේරමෙන් ලැබෙන සල්ලි යන්නෙ පුන්‍ය කටයුතු වලට!!!!

Advertisements

49 Responses

Subscribe to comments with RSS.

  1. පූසා said, on මාර්තු 16, 2012 at 9:14 පෙ.ව.

    අපිත් බොන්නේ රටේ සංවර්ධනයට දායක වෙන්න ඕන නිසා!

  2. අංජන said, on මාර්තු 16, 2012 at 9:43 පෙ.ව.

    ලංකාවෙ නම් ඔවට පින් කියල කියන්නෙ නෑ. හින්ඩු කෝවිලක් තිබුන තැන බුදුපිලිමයක් තියන එක, රටේ ඉන්න ඉහලම ප්‍රබූන්ට අරලිය ගහ මන්දිරේ සීල් ගන්න සෙට් කරන එක, කිසිම සීලයක් නැති හමුදුරු හොරු දාස් ගානකට කන්න දෙන එක, … වගේ දෙවල් පින් තොග.
    මරුම වඩේ තමයි. චන්දෙ කාලෙට වඩිම බොරු කියල දිනන මිනිහ තමයි,…. දියසෙන් කුමාරය. තව කිව්වෑකි, අපේ ලෙටික පිච්චෙනව විතරයි.

  3. කිරිපුතා said, on මාර්තු 16, 2012 at 9:53 පෙ.ව.

    ඊලඟ බෝතලේ ගන්නෙ ලංකාවෙන්….

  4. Mobileman said, on මාර්තු 16, 2012 at 10:03 පෙ.ව.

    පාරිභොගික කැමැත්ත වෙනස් කළ හැක්කේ දක්ෂ ඇඩ්වර්ටයිසිං කාරයෙකුට පමණකි. අසාර්ථක වී ඇත්තේ දක්ෂ නැති අය සහ දක්ෂතාව අඩු අයයි. කිසිම විශේෂත්වයක් නැති දේකට ඇඩ්වර්ටයිසිං මගින් පාරිභෝගික කැමැත්ත ලබාදීමට හැකියැයි මෙයින් අදහස් කරනු නොලැබේ.

    • arunishapiro said, on මාර්තු 17, 2012 at 10:27 පෙ.ව.

      Mobileman,

      කොකා කෝලා කොම්පැණියේ New Coke කතන්දරේ දන්නෙ නැතිව ඇති ද කියලා හිතෙනවා. ඒ වගේ සෑහෙන්න වියදම් කරපු, සෑහෙන්න දැවැන්ත වෙළඳපොලක් අයිති කරගත් කොම්පැණි වලින් ද පාරිභෝගික කැමැත්ත හසුරුවන්න නොහැකි වූ අවස්ථා සොයා ගැනීම පහසුයි. කොතරම් දක්ෂ වෙළඳ ප්‍රචාරකයෙකු වුවත්, ඊට කොතරම් මුදල් වැයට හැකි වුවත්, පාරිභෝගික කැමැත්ත යන්න හසුරුවන්න නොහැකියි.

      ලංකාව වගේ සීමා බාධක වලින් යුතු වෙළඳපොලක දී මෙය වටහා ගැනීම දුෂ්කරයි.

      • Sudath said, on මාර්තු 18, 2012 at 3:36 ප.ව.

        කිසිම විශේෂත්වයක් නැති දේකට ඇඩ්වර්ටයිසිං මගින් පාරිභෝගික කැමැත්ත ලබාදීමට හැකියැයි මෙයින් අදහස් කරනු නොලැබේ

        • arunishapiro said, on මාර්තු 19, 2012 at 7:46 පෙ.ව.

          Sudath,

          ලෝකයේ හැම තැනම විකුණන, හැම රටකින් ම එක් කෙනෙක් හරි බොන්න කැමති කෝකා කෝලා වලින් ම උදාහරණයක් දුන්නෙ ඒකනෙ. කිසිම විශේෂත්වයක් නැති දෙයක් නෙමෙයි, විශේෂත්වයක් ඇති වූවකට ද ඇඩ්වර්ටයිසිං මඟින් පාරිභෝගික කැමැත්ත ලබා දීමට නොහැකි බව පෙන්වන්න.

  5. Buwa said, on මාර්තු 16, 2012 at 10:35 පෙ.ව.

    ලංකාවෙදි නම් පාරිභෝකයගේ කැමැත්තට වඩා ලද දෙයින් සැනසීම තමයි , විශේෂයෙන්ම සේවා අංශයේ . අන්තර්ජාල සබඳතා ,සැටලයිට් /කේබල් රූපවාහිනි විකාශ ආදි තාක්ෂණික දේවල් වල පාරිභෝගිකයාගේ කැමැත්ත , අවශ්‍යතාවය සහ ඔහුගේ සතු උපකරණ වලට සරිලන්න සේවා සපයන්නා අසමත් , අයිපැඩ් එකක් ගත්තත් ලංකාවෙදි ඒතරම් වැඩක් නොවෙන්නෙ ඒ නිසා

    • arunishapiro said, on මාර්තු 17, 2012 at 10:36 පෙ.ව.

      Buwa,

      එකඟ වෙනවා මාත්. ලංකාව ඇතුලත තියෙන්නෙ මනාව විකෘති කරන ලද වෙළඳපොලක්. රථවාහන ගැනීම පමණක් සලකා බැලුවොත්: වාහන පර්මිට් විකුණන එකම බලන්න. වෙළඳපොල සම්පූර්ණයෙන්ම අවුල් කරගෙන. ඔය අවුල් ලිහන්න ලෙහෙසියෙන් බැහැ. එච්චරට විකෘතියි, එච්චරට ඔඩු දුවලා ගිහින් වෙළඳපොල යනු කුමක්දැයි නොදන්නා තත්වයකට පත්වෙලා තියෙන්නෙ.

  6. කාරියකරවන said, on මාර්තු 16, 2012 at 1:48 ප.ව.

    අන්ද්‍රොයිද තාක්ෂණය සහිත පුවරු පරිගණකයක භාවිතා කරන්නන්නට ඇති පහසුව සලකා බැලූ විට අයි-පෑඩයේ ඇත්තේ මොන ලබ්බක්දැයි සිතෙන මට, ඊට ඇති පුදුමාකාර ඉල්ලුම ගැන ඇත්තේ ඉමහත් විස්මයකි. ඇත්තටම මේ පාරිභෝගිකයන් රැවටී ඇත්තේ අයි-පෑඩ් මෙවලමේ බාහිර ඔපයටම විය නොහැකි ද? හැරී පොටර් නැමැති සිල්ලර මායා කථා මිලදී ගන්නට, ළමයින් සමඟ වැඩිහිටියන්ද පෝලිමේ සිටි බටහිර දේශ වල, මාධ්‍ය ප්‍රචාරය නැමැති මායාවෙන් උඩ දැමූ තාක්ෂණික පුවරුවක් මිලදී ගන්නට මිනිසුන් පෝලිමේ සිටීම එක අතකට පුදුමයක් ද නොවේ. ලංකාවේ ජනතාවට මුදල් නොමැති කම නිසා හෝ එවැනි පිස්සුවක් තවම වැළඳී නො තිබීම ගරු කටයුතුය.

    • arunishapiro said, on මාර්තු 17, 2012 at 10:49 පෙ.ව.

      කාරියකරවන,

      ඔයාත් හරියට වීරවංශ වගේ කතා කියනවා!!!!

      පරේටෝ ප්‍රශස්ථය ගත්තම, හැරී පොටර් නිසා ආර්ථිකය දියුණු කරගත්තේ ජේ.කේ. රෝලින්ස් විතරක් නෙමෙයි. ඒ හා සම්බන්ධව ලෝකයට ඉදිරිපත් කෙරුණු තවත් භාණ්ඩ හා සේවා ගණනාවක් එයට එකතු වී ඔවුන්ගේ උත්සාහයන් වලින් ආර්ථික දියුණුවක් ලැබුවා. උදාහරණයක් jelly belly වලට Bertie Bott’s Every Flavor Beans විකුණන්නත් ලැබුනානේ.

      අළුත් අයිපෑඩ්: features a stunning Retina display, Apple’s A5X chip with quad-core graphics, and a 5-megapixel iSight camera with advanced optics for capturing amazing photos and 1080p HD video. And iPad 2 is now available at a more affordable price, starting at just $399, ටික අමතක කරමු. අයිපෑඩ් එකේ apps ecosystem එක කොච්චර විශාල ද? ඇප් කඩෙන් නොමිලේ සහ සල්ලි වලට ගන්න පුළුවන් ඇප්ස් 585,000 කට වඩා ගණනක් තියෙද්දි සහ අයිපෑඩ් වලටම හදපු ඇප්ස් 200,000 ගණනකට වඩා තියෙද්දී ඇන්ඩ්‍රොයිඩ් පුවරුවට හදපු ඇප් තියෙන්නෙ කොච්චර සොච්චමක් ද?

      ජේ. කේ. රෝලින්ස් හැරී පොටර් පොත් ලියපු නිසා සහ ඇපල් සමාගමේ අයිපෑඩ් ජනප්‍රිය වෙච්ච නිසා වෙනත් කර්මාන්ත කොතරම් ගණනකට ද එයින් අළුත් රස්සාවල් බිහිකර ඔවුනට ලාභ උපයන ආදායම් ලබන්නට හැකියාව ලැබෙනවා ද?

      //ලංකාවේ ජනතාවට මුදල් නොමැති කම නිසා හෝ එවැනි පිස්සුවක් තවම වැළඳී නො තිබීම ගරු කටයුතුය.// අයියෝ!!!

      • කාරියකරවන said, on මාර්තු 17, 2012 at 4:33 ප.ව.

        මටත් පැවසීමට ඇත්තේ “අයියෝ, ශපීරෝ මැතිනියනි” කියාය. 🙂 මන්ද යත් අයි-පෑඩය පිළිබඳව කළ කරුණු දැක්වීමට අමතරව ඔබතුමිය ඉහත ලියා ඇති දේවල් “යන්නේ කොහෙද? මල්ලෙ පොල්.” ආකාරයේ පිළිතුරු වන බැවිනි.

        මගේ ඩෙස්කු පරිගණකයේ සිට අයි-පෑඩයට ගොනුවක් පිටපත් කර ගැනීමට ගොස් හා ඉ-ලිපියක අමුණා එවා තිබූ ඇමුණුමක් අයි-පෑඩයේ තැන්පත් කර ගැනීමට ගොස් මා විඳි අකරතැබ්බයන් දන්නේ මා පමණක් වන බැවින්, එහි ඇති පරිශීලකයාට මිත්‍රශීලීවීම හෙවත් යූසර් ෆ්‍රෙන්ඩ්ලිනස් යනුවෙන් ඉංගිරිසියෙන් අරුත් ගැන්වෙන දෙය ගැන වැඩි දුර පැවසීමෙන් වළකිමි. 🙂

        මා පවසා ඇත්තේ, “පාරිභෝගික ඉල්ලුම ඇති වන්නේ හොඳම භාණ්ඩයටය” වැනි හැඟීමක් අරුත් ගැන්වෙන සේ ඉහත ලිපියේ ඇති සඳහන නිවැරදි නොවන බවක් මිස අදාල භාණ්ඩ ජනයාට ප්‍රිය වීමෙන් හෝ ප්‍රිය කරවීමෙන් ලැබෙන ප්‍රතිලාභයක් නොමැති බව නොවේ. පාරිභෝගක භාණ්ඩයක් සඳහා වෙළඳ පළක් නිර්මාණය වීමෙන් එල ලබන කොපමණ පිරිසක් බිහි වේ ද යන්න එයට අදාල නො වන්නේය. ඕනෑම භාණ්ඩයකට වෙළඳ පළක් බිහි වීම මඟින් එයින් එල ලබන පිරිසක් බිහි වන බව සරල සත්‍යයක් නො වේද?

        දැනටමත් වෙළඳ පළේ ඇති උපකරණයක නව සැකසුමක් මිලදී ගැනීමට කැලිෆෝනියා ප්‍රාන්තයේ සිට මෙල්බර්න් නුවරට අහස් යාත්‍රා වෙන් පියඹා ගොස් තවත් පැය ගණනාවක් එහි පෝලිමේ ලගින්නන් (http://bit.ly/w6j6lZ) බිහි වීම ම, පෙන්නුම් කරන්නේ මෙය පාරිභෝගික කැමැත්තක් නො ව පාරිභෝගික උමතුවක් බව නො වේ ද? මෙවැනි හැසිරීමක් ලංකාවේ දී නම් “පිස්සුවක්” ලෙස නිවැරදිව අර්ථ දැක් වුන ද, ඇමරිකාවේ පුවත්පත් කාරයන්ට එසේ නො පෙනී එය වීරකමක් ලෙස පෙනෙන්නේ, එම සිද්ධිය ද, ඔවුන්ට තවත් විකිණිය හැකි පාරිභෝගික භාණ්ඩයක් වන බැවිනි.

        අයි-පෑඩ් උපකරණයට මේ ඇති පාරිභෝගික ඉල්ලුම, තමන්ට එයින් ලැබෙන ප්‍රයෝජනය නිසා ඇතිවූ උනන්දුවක් නො ව, උමතුවක් ලෙස තේරුම් ගන්නට‍”:, ශපීරෝ මැතිනියට හැකි වේවා යි පතමි. ඒ කෙසේ වුව ද, මෙ වැනි පාරිභෝගික භාණ්ඩ උමතු වැඩි වැඩියෙන් නිපැයුම නූතන මාධ්‍යයේ කාර්ය භාරය බැවින් ඔබතුමිය ද එයට සම්මාදම් වීමේ පුණ්‍ය කර්මය නම් නියත වශයෙන් සාක්ෂාත් කරගෙන ඇති බව මගේ අවංක හැඟීම ය. 🙂

        කුමන ආකාරයක දියුණු පාරිභෝගික භාණ්ඩ පැවතුන ද, තමාට අවශ්‍යතාවට ගැලපෙන දේ පමණක් තෝරාගෙන පරිහරණය කර ඒවාට නො ඇලී සිටීමට, බුදු දහමින් පෝෂිත වුන, අල්පේච්ඡතාවය අරුත් ගැන්වුන සමාජයක ජීවත් වන අපට හැකි වුව ද, බටහිර වැසියන්ට නො හැකි වීම, එක අතකින් බැලූ කළ ඔවුන් ගේ වරදක් නො වේ.

      • Buwa said, on මාර්තු 18, 2012 at 3:59 පෙ.ව.

        //මගේ ඩෙස්කු පරිගණකයේ සිට අයි-පෑඩයට ගොනුවක් පිටපත් කර ගැනීමට ගොස් හා ඉ-ලිපියක අමුණා එවා තිබූ ඇමුණුමක් අයි-පෑඩයේ තැන්පත් කර ගැනීමට ගොස් මා විඳි අකරතැබ්බයන් දන්නේ මා පමණක් වන බැවින්, එහි ඇති පරිශීලකයාට මිත්‍රශීලීවීම හෙවත් යූසර් ෆ්‍රෙන්ඩ්ලිනස් යනුවෙන් ඉංගිරිසියෙන් අරුත් ගැන්වෙන දෙය ගැන වැඩි දුර පැවසීමෙන් වළකිමි//

        මේකට නම් තමන්ගේ බැරි කම කියලත් කියන්න පුලුවන් , මමත් පෞද්ගලිකව කැමති ඇන්ඩ්‍රොයිඩ් වලට ඒත් අනික් මනුස්සයෙකුට අයි පැඩ් එකට ආදරය කරන්න තියන අයිතියට උමතුවක් කියල ගරහන්න මම කැමති නෑ .

        • arunishapiro said, on මාර්තු 19, 2012 at 7:43 පෙ.ව.

          Buwa,

          අපේ ගෙදර ඇපල් භාවිත කරන අයත් අන්ඩ්‍රයොඩ් තාක්ෂණය පාවිච්චි කරන අයත් දෙගොල්ලෝම ඉතා සතුටින් සාමයෙන් ජීවත්වෙනවා!!! තමන් ඒ තාක්ෂණයෙන් කුමන දෙයක් කරන්නේ ද යන්න මත තමයි ඔවුන්ගේ කැමැත්ත නිෂ්පාදනය වෙලා තියෙන්නෙ. අනිකාට ගරු කරන සමාජයක අපි ජීවත්වෙන නිසා “උමතුවක්” කියන්නෙ නැතිව ඒකට අපි කියන්නෙ “කැමැත්ත” කියලයි.

    • අමා said, on මාර්තු 20, 2012 at 8:38 පෙ.ව.

      අනිත් ඒවා ගැන කියන්ට දන්නේ නැහැ. හැබැයි හැරී පොටර් පෝලිම් තිබුනේ බටහිර රටවල විතරක් නෙවි. ලංකාවෙත් තිබුනා. අනිත් රටවල් වල නිකුත් වෙන දිනේම ලංකාවෙත් නිකුත් උනා. නිකුත් කරේ විජිත යාපා පොත් හල. කලින්ම පොතක් reserve කරලත් උදේ පාන්දර කස්ටිය පෝලිමේ හිටියා බම්බා හන්දියේ!

      පුද්ගලිකව නම් මාත් Android රසිකාවියක් 😀

      //ලංකාවේ ජනතාවට මුදල් නොමැති කම නිසා හෝ එවැනි පිස්සුවක් තවම වැළඳී නො තිබීම ගරු කටයුතුය.//
      ලංකාවේ ජනතාවට ඇපල් පිස්සුව නැති උනාට වෙන පිස්සු ඇත්තෙම නැද්ද? 🙂

      • arunishapiro said, on මාර්තු 20, 2012 at 3:20 ප.ව.

        අමා,

        පොත් ගන්න විතරක් නෙමෙයි ඇයි ලංකාවේ හැරී පොටර් සාද වලට විකිනිච්ච කොස්ටියුම් කන්දරාව.

        ඒවා ගැන කොහොම ද

        //කුමන ආකාරයක දියුණු පාරිභෝගික භාණ්ඩ පැවතුන ද, තමාට අවශ්‍යතාවට ගැලපෙන දේ පමණක් තෝරාගෙන පරිහරණය කර ඒවාට නො ඇලී සිටීමට, බුදු දහමින් පෝෂිත වුන, අල්පේච්ඡතාවය අරුත් ගැන්වුන සමාජයක ජීවත් වන අපට හැකි වුව ද, බටහිර වැසියන්ට නො හැකි වීම, එක අතකින් බැලූ කළ ඔවුන් ගේ වරදක් නො වේ.//

        කියන අය දන්නෙ.

        අමා නංගි, ඔයා Android රසිකාවියක් බව දැනගැනීම ලොකු සතුටක්. හැමෝම එකම දේවල් වලට රසිකත්වය දැක්වුව හොත් විවිධත්වයක් නැති ලෝකය කොතරම් අවසනාවන්ත එකක් වෙයි ද!!!

        අනික ලංකාවේ ඇපල් පිස්සුව නැහැයි කියන්නෙ කවුද? ඇමෙරිකාවේ අයට තරම්, චීනයේ අයට තරම් නැති වුනාට ලංකාවේ හැටියට තියනවා. මම ලංකාවට අරන් ආපු ඇපල් ලැප් එකයි, ඇපල් අයිෆෝන් එකයි නිසා කොච්චර පිස්සු වැටිච්ච අය හමු වුනා ද?!!!! 😀

        අනික, වෙන පිස්සුත් තියෙනවා!!!!

  7. N.S.A. Niriella said, on මාර්තු 16, 2012 at 1:52 ප.ව.

    පුණ්‍ය කටයුතු කියන්නෙ ප්‍රතිලාබයක් බලාපොරොත්තු නොවී කරන සුබ සාධන කටයුතුවලට. ලංකාවෙදි පුණ්‍ය කටයුතු කියන්නෙ තව්තිසාවෙන් ඇනෙක්සියක් ගන්න එකතුකරන මුට්ටිකාසි වගේ දේකට, ඒ කියන්නෙ ප්‍රතිලාබයක් බලාපොරොත්තුවෙන් කරන කටයුත්තකට….

    • arunishapiro said, on මාර්තු 17, 2012 at 10:53 පෙ.ව.

      N.S.A. Niriella,

      ඉස්සර නම් ලංකාවේ හිටියා මත්පැන් විකුණලා හොයන සල්ලි වලින් පුන්‍ය කටයුතු වලට ආධාර නොගන්න අය: දැන් එහෙම අය නැහැ මයෙ හිතේ.

      දානයක් දුන්නම ලැජ්ජා හිතෙන්න කරන පිං පුද කිරීම් වැඩියි. මම තව්තිසාව තියා ඊ ළඟ ආත්මයක් වත් විශ්වාස කරන්නෙ නැහැ කිව්වම ආයේ පුන්‍ය කටයුතු කරන්නෙ අහවල් දේකට ද කියලා අහන අයත් ඉන්නවා!!!

  8. Ravi said, on මාර්තු 16, 2012 at 3:29 ප.ව.

    පුණ්‍ය කටයුතු වල ලංකාවෙ නම් යෙදෙන්නෙ ප්‍රතිලාභයක් බලාගෙනම තමයි. ඒ වැරදි අරමුණට යොමු කරන්නෙ අපේ හාමුදුරුවරුමයි. පින්කමක් අවසානෙදි කියන්නෙ මෙහෙමනෙ ” මේ රැස් කරගත්තාවූ කුසල බල මහිමයෙන් දෙව් මිනිස් සැප කෙළවර…අමා මහ නිවන් සම්පත්තිය සාක්ෂාත් කර ගැනීමට හේතු වාසනා වේවා !!! ” 🙂 🙂

    ඒ කියන්නෙ බෞද්ධයාගෙ එකම පරමාර්ථය නිවන නෙව, ඒත් එකටත් බයයි… හෙට නිවන් යන්ට කැමති නැහැ. නිවං යන්ටත් ඕන….. ඒත් ඒකටත් දානව පොඩි Rider එකක්…දෙව් මිනිස් සැප කෙළවර……:)

    මේ ලෝකෙයි දිව්‍ය ලෝකෙයි ඔක්කොම සැප විඳල අන්තිමට තමයි නිවං යන්න ඕන … 🙂 🙂

  9. ඔබ නොදු‍ටු ලොවක් said, on මාර්තු 16, 2012 at 4:31 ප.ව.

    ගල් බෝතලේකුත් දැං ඩොලර් 10 පැනලා මගේ හිතේ….

    • arunishapiro said, on මාර්තු 17, 2012 at 10:57 පෙ.ව.

      ඔබ නොදු‍ටු ලොවක්,

      මතට තිත නිසා ගමේ ගොයියොන්ටයි තිත කොළඹ හෝටල් හා නගරයේ සමාජශාලා වලට යන්න ඇහැකි අනිත් අයට නෙමෙයි.

  10. රූ said, on මාර්තු 16, 2012 at 11:07 ප.ව.

    අන්තිම කතාව කිව්ව එක නම් වටිනවා…
    කොහොම වුනත් දක්ෂ විකුණුම් කරුවෙක් තමන්ට ඕන විදිහට පාරිභෝගිකයාගේ කැමැත්ත වෙනස් කරනවා..
    හොඳින් බැරිනම් නරකින්..

    • arunishapiro said, on මාර්තු 17, 2012 at 11:02 පෙ.ව.

      රූ,

      ලංකාවේ ඇතුලත එහෙම පෙනෙන්නෙ ලංකාවෙ ඇතුලත තියෙන්නෙ අමුතුම විකෘති වෙළඳපොලක් නිසා. රජයේ සීමා බාධක වලින් සහ ඥාති හා ඇඳුනුම්කම් මත දුවන වෙළඳපොල ක්‍රමයක්. එහි දී දක්ෂ විකුණුම්කරුවෙක් කියන්නේ ඇමෙරිකාවේ යම් තාක් දුරකට වත් තියෙන “නිදහස් වෙළඳපොලේ” වූ දක්ෂ විකුණුම්කරුවෙක් නෙමෙයි.

      ලංකාවේ දී දක්ෂයා යැයි සැලකෙන්නාට ඇත්තේ රජයේ සීමා බාධක වලින් ගැලවෙන්නට, හිල් වලින් පනින්නට අවශ්‍ය ඥානය මිසක් අලෙවිකරණය හෝ වෙළඳ ප්‍රචාරණය ගැන වූ ඥානයක් නෙමෙයි. ඉතින් ඒ අය සේවය කරන කොම්පැණියකින් පාරිභෝගික කැමැත්ත වෙනස් කරනවා යැයි පෙනුනාට ඒක රටේ විකෘති වෙළඳපොල ක්‍රමෙය් ලක්ෂණයක් මිසක් කොම්පැණියේ මහ ලොකු හැකියාවක් නෙමෙයි.

  11. Gold fish said, on මාර්තු 16, 2012 at 11:30 ප.ව.

    මත්පැන් හැමතිස්සෙම මත්පැන් වෙන්නේ නෑ… වෙලාවල් තියෙනවා ඒවා හොඳ බෙහෙත් වෙන.

    අක්කා අර අනිත්ම නොදා හිටියනම් හොඳයි. ත්‍රිපිටකේ ඔලුව උඩ තියා ගත්ත අයට පුළුවන් ඒක තවත් ‘පොයින්ට් එකක්’ කරගන්න.

    • arunishapiro said, on මාර්තු 17, 2012 at 11:04 පෙ.ව.

      Gold fish,

      ඔව්, ඔව් යාළු මාළුවෝ විස්කි බෝතලේත් පුළුවන් තුවාලයක් සුද්ද කරන්න පාවිච්චි කරන්නට!!!!

      ත්‍රිපිටකේ ඔළුව උඩ තියාගෙන ඉන්න එකයි වැරැද්ද, ඒක පොඩ්ඩක් කියවලා බැලුවා නම් හරි.

  12. නවම් said, on මාර්තු 17, 2012 at 1:23 පෙ.ව.

    අපරාදෙ අර අන්තිම පේලිය දැම්මෙ. නැත්නං මෙතන බලන්න තිබුන සෙල්ලම හෙහ් හෙහ්…..

    යම් භාණ්ඩයකට ඇති පාරිභෝගික කැමැත්ත ව්ධිමත් වෙළඳ ප්‍රචාරණ ක්‍රමයකින් වෙනස් කරන්න බැරි කමක් තියනවද ඒ හා සමාන අනිකුත් නිශ්පාදනයන්ට වඩා ? බහුතරයක් විසින් පාවිච්චිකරනවා යැයි එන ඇඟවීමම භාණ්ඩයක අලෙවිය වැඩිකිරීමට බලපන්නෙ නැද්ද ?

    • arunishapiro said, on මාර්තු 17, 2012 at 11:13 පෙ.ව.

      නවම්,

      මමත් මේ දවස්වල “අලප්ඩියුසි වෙම්වා!” කිය කියා ඉන්නේ!!!!

      ඔව්, මිනිසා නම් වූ අපූර්ව සත්වයාගේ හැඟීම් එක්ක බැඳිච්ච පාරිභෝගික කැමැත්ත සර්වප්‍රකාරයෙන් වටහා ගන්නට සමත් වූවෙක් තාම ලොව බිහිවෙලා නැහැ. ඒ නිසා කොතරම් මුදල් වැය කළත්, කොතරම් විධිමත් වූවත් වෙළඳ ප්‍රචාරණ ක්‍රමයකින් පාරිභෝගික කැමැත්ත වෙනස් කරන්න ජගතෙක් නැහැ. යම් භාණ්ඩයකට ඇති කැමැත්ත නිශ්චිතව ම ඇයි දැයි කියන්න, ඒ හා සමාන අනෙකුත් භාණ්ඩ වෙළඳපොලේ තියෙනවා නම්, ඉතා දුෂ්කරයි.

      බහුතරයක් විසින් පාවිච්චිය කරන බව ඇඟවීමෙන් වෙන්නෙ තමන් විසින් සොයා නොබලන අය (ලෝකයේ වැඩියෙන් ඉන්නෙ එහෙම අය) එය පරිහරණය පටන් ගැනීම. හරියට ක්‍රිකට් ක්‍රීඩකයා රැවුල කපන ආම්පන්නය අනිත් අයත් ගන්න යෑම වගේ. ඒත් එය කෙටි කාලීනයි. රැල්ල ගසා ගිහින් තව රැල්ලක් එනවා. කාලාන්තරයක් තිස්සේ පරිහරණය වෙන්නෙ වැඩි පිරිසක් විසින් තමන් විසින් සොයා බලා හොඳ යැයි තීරණය කරපු භාණ්ඩ හා සේවා. අනිත් අය අර රැල්ලෙන් රැල්ලට ගිහින් අන්තිමේ දී මේක හොයාගන එතැන නතර වෙනවා.

      • Sudath said, on මාර්තු 18, 2012 at 3:46 ප.ව.

        //බහුතරයක් විසින් පාවිච්චිය කරන බව ඇඟවීමෙන් වෙන්නෙ තමන් විසින් සොයා නොබලන අය (ලෝකයේ වැඩියෙන් ඉන්නෙ එහෙම අය) එය පරිහරණය පටන් ගැනීම//
        ලෝකයේ වැඩියෙන් ඉන්නෙ එහෙම අය

        ඒකනෙ.

        • arunishapiro said, on මාර්තු 19, 2012 at 7:48 පෙ.ව.

          Sudath,

          ඇයි ලියපු ඉතිරි ටික අමතක කරන්නෙ?

          //ඒත් එය කෙටි කාලීනයි. රැල්ල ගසා ගිහින් තව රැල්ලක් එනවා. කාලාන්තරයක් තිස්සේ පරිහරණය වෙන්නෙ වැඩි පිරිසක් විසින් තමන් විසින් සොයා බලා හොඳ යැයි තීරණය කරපු භාණ්ඩ හා සේවා. අනිත් අය අර රැල්ලෙන් රැල්ලට ගිහින් අන්තිමේ දී මේක හොයාගන එතැන නතර වෙනවා.//

  13. maathalan said, on මාර්තු 17, 2012 at 1:25 පෙ.ව.

    ගාන ඇහුවම ඩෝප් උනා….

  14. Prabath said, on මාර්තු 17, 2012 at 2:19 පෙ.ව.

    ග්ලෙන්ෆෙධිෂ් විස්කි කොහොමත් හොඳයි. සින්ගල් මෝල්ට් විස්කි. මම දැනට බීල තියෙන්නේ අවුරුදු 18 ක් පරණ ඒවා විතරයි. ජොනි බ්ලූ වලට වඩා ඒක හොඳයි. බොනකොට නීට් බොන්න ඕන. නීට් බොන්න බැරිනම් විතරක් අයිස් කෑල්ලක් ඩා ගන්න.
    go scotch

  15. ඩිලාන් said, on මාර්තු 17, 2012 at 4:27 පෙ.ව.

    වටිනා දේවල් වල වටිනාකම තේරුම් ගන්න අපි දැන ගන්න ඕනා

    • arunishapiro said, on මාර්තු 17, 2012 at 11:20 පෙ.ව.

      ඩිලාන්,

      ඥාති සබඳතා වලින්, දැන ඇඳුනුම්කම් වලින්, පළාතේ අහවලාගේ ලියුමෙන් දුවන සමාජයක කුසලතාවය කියන එක කුමක්දැයි දන්නෙ අල්පයයි. ඒ නිසා යම් භාණ්ඩයක් හෝ සේවාවක් 17 වැනි ශ. ව. සිට අද දක්වා වැඩි දියුණු කරගෙන, සූක්ෂම නිෂ්පාදනයෙන් හා පාරිභෝගික කැමැත්ත දිනාගෙන ආවේ කෙසේදැයි කියන්න වැටහීමක් කෙසේත් ම ඇති කරන්න අපහසුයි.

      ඉතින් ඩිලාන්, වටිනා දේවල් මොනවා ද කියන එක දැනගන්න ඕනානේ ඒවායේ වටිනාකම තේරුම් ගන්න.

  16. Dulip Sikurajapathy said, on මාර්තු 17, 2012 at 3:10 ප.ව.

    සුරාවේ ගුනයත්
    එහි ඇති මිහිරි රසයත්
    බොන සුදනෝ මිසක්
    නොබාන අනුවන දනෝ නොදනිත්

    ආන්න එහෙමයි අපේ පැරැන්නො කියල තියෙන්නෙ

  17. Sudath said, on මාර්තු 18, 2012 at 3:49 ප.ව.

    අමෙරිකාවෙ දැන්වීම් ප්‍රචාරක සමාගම් වැහීගෙන වැහීගෙන යනවද?

    • arunishapiro said, on මාර්තු 19, 2012 at 7:50 පෙ.ව.

      Sudath,

      වීරවංශගෙ කතාව ඇහිලා දැන් ලංකාවේ බිස්නස් නැති වෙලා බංකොළොත් වෙයි කියන බයටම වැහීගෙන වැහීගෙන යනවා!!!!!

  18. Inesh said, on මාර්තු 19, 2012 at 2:28 පෙ.ව.

    එතකොට දෑන් ලන්කවේ,,මොනවහරි විකුනනවා නම් හොදම ක්‍රමය මොකද්ද?


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: