අරුණි ශපීරෝ‍ වෙතින්

සෞන්දර්ය ඉසව්වක සිට නිදහස නැවත කියවමු

Posted in Uncategorized by arunishapiro on මාර්තු 21, 2012

නිදහස පිළිබඳ සංසන්දනාත්මක ඇගැයීමක් -අශෝක හඳගම

64 වන නිදහස් සමරුව වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ පැවැත්වූ උත්සවයේ දී පැවැත්වූ දේශනය

සම්ප්‍රදායක් විදියට අපි හැම පෙබරවාරි 04 වෙනි දා ව ක ම මහ බැංකු පරිශ්‍රයට ඇවිත්, නිදහස් උත්සවය ජාතික නිදහස් උත්සවයට සමගාමීව චාම් ව පවත්වනවා. අප අතරින් කවුරුහරි තෝරාගත් කෙනෙක්, නිදහස නිමිති කරගන අදහස් දැක්වීමක් කරනවා. මෙය හොඳ පුරුද්දක්. නිදහස අරමුණු කරගන පැයක් දෙකක් හෝ ප්‍රයෝජනත්ව ගත කරන්න එය අවකාශයක් සලසනවා.

නිදහස තරම් මනුෂ්‍යයා අගය කරන මනුෂ්‍යයාට වුවමනා කරන තවත් දෙයක් නැහැ. මිනිසුන් තමන්ගේ නිදහස වෙනුවෙන් ජීවිතය වුව ද පූජා කරන්නේ ඒ නිසා. ඒත් මනුෂ්‍යත්වය අර්ථ දැක්වෙන්නේ නිදහසත් ඊට එරෙහි ව තහනමත් සමඟයි. මේ නිදහසේ සහ තහනමේ සීමාවන් විසිනුයි රටක සංස්කෘතිය සලකුණු කරන්නේ.

දරුවකු මවුකුසින් බිහිවුනු පමණින්, ඒ දරුවා මවගේ ශරීරයෙන් ගැලවෙන්නෙ නැහැ. දරුවා මවගේ ශරීරයෙන් ගලවා සමාජයට ඇතුළත් කරන්නේ ‘තහංචිය’ විසින්. දරුවකු ‘ගැහැණු’, ‘පිරිමි’ බව ලබන්නේ ලිංගේන්ද්‍රියන්ගේ වෙනස නිසා ම නොවෙයි. ‘නිදහස’ සහ ‘තහනම’ විසින් ලකුණු කෙරෙන අර්ථදැක්වීම්වල වෙනස නිසා. මේ වෙනස හරියට අර්ථදැක්වුනේ නැති ඔලුවල ලිංගික ව්‍යාකූලත්වය ඇතිවෙනවා. පෙරදිග ගැහැණියක්, අපරදිග ගැහැණියකගෙන් වෙනස් වෙන්නේ තහංචියේ සහ නිදහසේ සීමාවන්වල වෙනස නිසා.

මන්නාරම කෝනේශ්වරම් කෝවිලේ කාලි මෑණියන්ගේ පූජාවට කුකුල්ලු, එළුවෝ මරණ එකට බෞද්ධ අපි විරුද්ධ එය බෞද්ධ පිළිවෙතට අනුව තහනමක් නිසා. එහෙත් දරුවන් නැති අයට දරුවන් ලබාදෙන, ලෙඩ රෝග සුවකරන බලයක් කාලි අම්මාට ඇතැයි විශ්වාස කරන බැතිමත් පූජාවකට එසේ සතුන් ඝාතනය කිරීම පූජාවක්. එම බැතිමතුන්ගේ අඩවියට බලහත්කාරයෙන් ඇතුලු ව සතුන් මුදාගැනීම බෞද්ධ අපට වීරකමක්. ඒත් ඒක ම ඒ බැතිමත් ප්‍රජාවට කරන හතුරුකමක්.

වැදි රජුන්ගේ අවසරය නොමැතිව ධනුද්ධර කුමාරයා මනමේ කුමරිය සමඟ හිමගිරි වන අඩවියට පිවිසීම දේශසීමා රීති උල්ලංඝනයක්. වීසා නොමැතිව ඇතුලුවුනා වැනි යමක්.

මාගේ අවසර නොම ගෙන///
ආව ද තා මගෙ විජිතෙටා
දෙරණ හෙළා සුන් කර තොප
ගොදුරු කරමි කැනැහිලුන්ට …”

කියා වැදි රජු ධනුද්ධරට තර්ජනය කරන්නේ ඒ නිසා. එසේ ‘තහනම’ කඩා හිමගිරට ඇතුලුවන්නන්ට කැලේ නීතියට අනුව දඬුවම මරණයයි. ආයුධ සන්නද්ධව වැදි සේනාවක් සමඟ සිටියත්, අත්අඩංගුවට ගෙන මරා දැමිය හැකියාව තිබුණත්, ධනුද්ධර යනු රජ කුමරකු බැවින්, ඔහුට ජීවිතය සඳහා අවස්ථාවක් දීම පිණිස ද්වන්ධ සටනකට ආරාධනා කිරීම වැදි රජුගේ ‘සදාචාරයයි’. සටනින් ඇද වැටුනු ධනුද්ධරට කඩු කොපුවත්, වැදි රජුට කඩුවත් පිරිනැමීමෙන්, මනමේ කුමරිය අතින් බිඳ වැටෙන්නේ නාගරික විවාහ සදාචාරයේ විශ්වසනීය බන්ධනයයි.

මුස්ලිම් ගැහැණියක් සිරුර හිසේ සිට දෙපතුල දක්වා වසා ගෙන හිසට පර්දාවකුත් පැළඳගන ඉන්නවා දකින සිංහල අපට ඒ කාන්තාවට මානව හිමිකම් අහිමි වීම පිළිබඳ දුකක් ඇතිවෙනවා. ඇගේ සිරුර පැහැදිලිව දකින්නට බැරි නිසා. ඒ කාන්තාවට එම ඇඳුම ප්‍රශ්නයක් නොවේ නම්, ඇය එසේ හැඳ පැළඳ ඉන්නේ කැමැත්තෙන් නම්, අපට ඇත්තේ අහවල් රුදාවක් ද කියලා අපි අපෙන් අහන්නේ නැහැ. එහෙත් Deep cut, Sleeveless හැට්ටයක් ඇඳගන, පෙකනියෙන් පහළ පදාසයක් නිරාවරණය වන පරිදි ඉනෙනුත් පහළින් සාරියක් දවටාගන ඉන්න සිංහල තරුණියක් දුටුවිට, එම දසුන රහසේ රස විඳිමින් ම අපේ අය කේන්තියෙන් විරෝධය පලකරනවා.

මේ අනුව ‘මනුෂ්‍යත්වය’ යනු සංස්කෘතිය විෂයයෙහි සීමාවන්ට අනුව සාපේක්ෂව අර්ථ දැක්වුනු මිනිස් ජීවිතයයි. සතුන්ට කිසි දිනෙක මනුෂ්‍යත්වයට ළඟාවිය නොහැක්කේ, උන් සංස්කෘතියක් ගොඩනංවන්නේ නැති නිසා. ඔවුන් සහජයෙන් උරුමවන කිසියම් හැසිරීම් රටාවකට අනුව ජීවත්ව මිය යනවා. එහෙත් මිනිසා තමන් ජීවත්වන පරිසරයට අනුව යමින් ද, එය වෙනස්කර ගනිමින් ද, සංස්කෘතිය ගොඩනගා ගන්නවා. ඔහු සතුන් ගේ ලෝකෙයන් ගැලවෙන්නේ මේ නිසා. සංස්කෘතික තහංචිය නිසා හික්මවෙන මිනිසා, තමන්ගේ නිදහස වෙනුවෙන් සදාතනික අරගලයක නිරත වෙනවා. මනෝ විශ්ලේෂණයේ දී නම් මෙය හඳුන්වන්නේ කප්පාදුව නිසා අහිමිවන ආශාව හොයාගන යනවා කියලයි.

ඒ අද දිනයේ මගේ අදහස් දැක්වීම සඳහා මා සකසා ගත් පූර්විකාවයි.

ඉංග්‍රීසින්ගෙන් දේශපාලන නිදහස ලබා අප ගෙවන 64 වන අවුරුද්දේ ආර්ථිකය පිළිබඳවත්, අපේ අපේක්ෂා සහ වැඩ පිළිවෙල පිළිබඳවත් වඩාත් බරසාර විස්තරාත්මක කතාවකට අපි අවුරුද්දේ වැඩ පටන්ගන්න කොට ම සවන් දුන්නා. ඒ අධිපතිතුමා 2012 වර්ෂය සඳහා මහ බැංකුවේ ප්‍රතිපත්ති සහ වැඩපිළිවෙල පිළිබඳව පැවැත් වූ විස්තරාත්මක කතාවට. ඒ කතාවට සවන් දුන්නාට පසු තව කෙනෙකුට එවැනි කතාවක් කිරීමට ඉඩක්වත්, වුවමනාවක්වත් ඉතිරිවෙන්නෙ නැහැ. එය ඒ තරම් ම විස්තරාත්මක නිසා.

මං අද නිදහස් දවසේ, වෙනත් අභ්‍යාසයක් කරන්නට සිතාගත්තා. එනම්, නිදහස යන සංදර්භය ඇතුලෙ චිත්‍රපටියක් සහ කවියක් ගීතයක් රස විඳින්නට. ඒ අසුරු කරගන අපේ නිදහස තුළට වෙන කෝණයකින් එබෙන්නට.

චිත්‍රපටිය 2009 වර්ෂයේ දී තිරගත වුනු සුප්‍රකට හොලිවුඩ් රංගන ශිල්පියෙකු සහ අධ්‍යක්ෂකවරයෙකු වන Clint Eastwood අධ්‍යක්ෂණය කළ Invictus චිත්‍රපටිය. Invictus කියන වචනයේ සරල ඉංග්‍රීසි තේරුම undefeated කියන එකයි. සිංහලෙන් අපරාජිත. මේ නම චිත්‍රපටය සඳහා උකහා ගැනෙන්නේ Invictus යන නමින් ම එන අතිශය සුප්‍රකට වික්ටෝරියානු කවියකින්. කවියා William Ernest Henley. වසර 1847 සිට 1903 දක්වා කාලය තුල ජීවත්වුනා. ඔහු මේ කවිය රචනා කරනකොට වයස අවුරුදු 26 ක තරුණයෙක්. එහෙත්, ඒ වන විට මේ හිරිමල් තරුණයාගේ ජීවිතය අස්ථි-ක්ෂයරෝගයෙන් බැටකමින්, එක් පාදයක් ද ඉවත්කරනු ලදුව රෝගී ඇඳකට සීමා කරනු ලැබ තිබුනා.

Out of the night that covers me, Black as the Pit from pole to pole, I thank whatever gods may be
For my unconquerable soul.
In the fell clutch of circumstance I have not winced nor cried aloud. Under the bludgeonings of fate My head is bloody, but unbowed.
Beyond this place of wrath and tears Looms but the Horror of the shade, And yet the menace of the years Finds, and shall find, me unafraid.
It matters not how strait the gate,
How charged with punishments the scroll. I am the master of my fate:
I am the captain of my soul.

එහි සරල සිංහල පරිවර්තනයක් මේ.

ධ්‍රැවාන්තය මැද
කළුවර ආගාධයක් වැනිය
මා වසාගත් ඝන අඳුර
කවුරුවුනත් ඔබ දෙවියනි,
මම ඔබව පසසමි
මගේ අපරාජිත ආත්මය වෙනුවෙන්

රුදුරු ග්‍රහණයන්ට අසු වී
ඇද වැටුනු විට
වේදනාවෙන් නොහැකුළුනෙමි
හඬ නගා නො හැඬුවෙමි
බලහත්කාරයෙන් මුගුරු පහර මැද උනිමි
ලේ වැකුණු මුත් නොනැමුණු හිසින්

කඳුලින් රෝෂයෙන් පිරුණු
මේ බිමෙන් එහා
අවිශද ව පෙනන්නේ අන් කිසිවක් නො ව
භීතියේ සේයාවයි
බියෙන් ද අනතුරුවලින් ද පිරි වසර ගණනක් ගෙවූ මුත්
දැනෙයි නිශ්චිත ව මා නො බිය බව

අරමුණු වෙත ළඟාවීම
අසීරු වුව ද කෙතරම්
ලියැවුනු චෝදනා හා දඬුවම්
කම්නැත කුමක් වුවත්
මම වෙමි මගේ ඉරණමේ ස්වාමියා
මම වෙමි මගේ ආත්මයේ නියමුවා

(පරිවර්තනය -දිලිනි නිලංගා විලත්ගමුව)

මේ කවියේ හැම පදයක් ම වෙන වෙනමත් සමූහ වශයෙනුත් නොයෙකුත් කාර්යයන් සඳහා ආදර්ශ පාඨ සහ උපශීර්ෂ ලෙස යොදාගෙන තියෙනවා. එය කොතරම් බහුලව භාවිතාවේ යෙදෙනවා ද කියනවා නම් Oxford ශබ්දකෝෂයේ unbowed යන අතීත ක්‍රියාවේ තේරුම පැහැදිලි කරන්න යොදාගන තියෙන්නෙ මේ කවියේ එන “My head is bloody, but unbowed” යන පදයයි. මේ කවියේ විවිධ කියවීම් අසන්නට දකින්නට කැමති අය YouTube හි Invictus Reading සොයන්න.

මේ කවිය එන Invictus චිත්‍රපටිය, නෙල්සන් මැන්ඩේලා චරිතය වටා තැනුනු චිත්‍රපටියක්. චිත්‍රපටිය සඳහා පාදක වන්නේ John Carlin ගේ Human factor: Nelson Mandela and the Game that Changed the World පොත.

සිරගෙයින් නිදහස්ව 1994 මැතිවරණය ජය ලබා දකුණු අප්‍රිකාවේ ජනාධිපති බවට පත්වන නෙල්සන් මැන්ඩේලා, වර්ණභේදවාදයේ කෲරත්වයෙන් තුවාල ලබා කලු සහ සුදු වශයෙන් වෙන්වුනු දකුණු අප්‍රිකානු ජාතිය එක අරමුණකට, එක හැඟීමකට ගොනු කරන්නට 1995 වසරේ දී දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන ලෝක කුසලාන රග්බි තරඟාවලිය යොදාගන්නේ කෙසේ ද කියන සත්‍ය සිදුවීම වටායි චිත්‍රපටය ගොඩනැගෙන්නේ. චිත්‍රපටයේ මැන්ඩේලාගේ භූමිකාව රඟපාන්නේ සුප්‍රකට හොලිවුඩ් නලු Morgan Freeman. ඔහු කොතරම් හොඳින් මේ භුමිකාවට පනපොවනවා ද කියතොත්, මැන්ඩේලා යන නමට අනුරූපව දැන් මගේ හිතේ මැවෙන්නේ ඇත්ත මැන්ඩේලා නෙවෙයි. මේ Freeman ගොඩනගන මැන්ඩේලා යි.

එහි එන ආරම්භක දර්ශනයක් මේ වගෙයි. හිරෙන් නිදහස් ව එන මැන්ඩේලාගේ මෝටර් රථය ඇදී එන මාර්ගයේ, එක් පසක කලු ජාතික ළමයින් පයට පාවහන් නොමැතිව පාපන්දු ක්‍රීඩාකරමින් ඉන්නවා. ඔවුන් ක්‍රීඩාව නවතා මැන්ඩේලාගේ රථ පෙරහැරට හුරේ දමමින් ආචාර කරනවා. අනෙක් පස හොඳින් රගර් බූට්, ජර්සි ඇඳගෙන විධිමත්ව රගර් ක්‍රීඩාකරන සුදු ජාතික ළමයින් පිරිසක් ද ඉන්නවා. ඔවුන් ක්‍රීඩාව නවතා මැන්ඩේලා රැගත් රථ පෙරහැර ධාවනය වන දෙස බලා සිටිනවා. ළමයින් අතර සිටින සුදු පුහුණුකරු ළමයින්ට කියනවා, “මතක තියාගනිල්ලා මේ රට බල්ලන්නට ගිය දවස අද යි,” This is the day that this country went to dogs, කියලා. තවත් අවස්ථාවක මැන්ඩේලා දකිනවා දකුණු අප්‍රිකානු කණ්ඩයාම ක්‍රීඩාකරන රගර් තරඟයක දී අප්‍රිකාවේ කලු ජාතිකයන්, දකුණු අප්‍රිකානු (අප්‍රිකානාස්) කණ්ඩායමට එරෙහි සිය විජාතික කණ්ඩායම දිරිගන්වන අයුරු.

මැන්ඩේලා නිදහස්ව එන්නේ, වර්ණභේදවාදයට එරෙහි ව අරගලය ජයග්‍රහණය කරමින්. කලුජාතියට එරෙහිව සුදු ජාතියේ පීඩාව ජයගත් තමා මේ අලුත් තර්ජනයේ අවදානම ජයගන්නේ කොහොම ද කියන එකයි මැන්ඩේලා ඉදිරියේ පැවති අභියෝගය. ඔහු ඒ සඳහා යොදාගන්නේ ඉදිරියේ එන ලෝක කුසලාන රගර් තරඟාවලිය.

ඔහු ඒ සඳහා රැඩිකල් පියවර ගනනක් ගන්නවා. කලු ජාතික ආරක්ෂක නිලධාරීන්ගේ විරෝධය නොතකා ජනාධිපති ආරක්ෂක සේවාවට බෝතා (මැන්ඩේලාට පෙර දකුණු අප්‍රිකාවේ සුදු ජාතික ජනාධිපති) ගේ ආරක්ෂක නිලධාරීන් අනුයුක්ත කරගැනීම, කලු ජාතිකයින් වෛරයෙන් ගිනියම් කල අප්‍රිකානාස් රගර් කණ්ඩායමේ කොළ සහ කහ පැහැති රගර් ජර්සිය ද හැඳ අවසාන තරඟයේ කණ්ඩායම් හඳුනාගැනීමේ පෙරෙට්ටුවට සහභාගීවීම ඉන් සමහරක්.

Invictus නම් කවිය, මේ මෙහෙයුමේ දී මැන්ඩේලා උපකාරී කරගන්නේ කොහොම ද?

Invictus ධෛර්යය, අපරාජිත අධිෂ්ඨානය කැටිවුනු රණකාමී කවියක්. මැන්ඩේලා වසර 27 ක සිය සිරගත දිවිය තුල ජීවිතය සහ තමා යෙදී සිටින අරගලයේ ජයග්‍රහණය සඳහා ආත්ම ශක්තිය නො සිඳවා පවත්වා ගත්තේ මේ කවියේ සාරය සහ හැඟීම ඇසුරින්. ඔහුට ජයග්‍රහණය සඳහා අවැසි අධිෂ්ඨානය සහ උද්වේගය සැපයූ කවිය, දකුණු අප්‍රිකානු රගර් කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් ද උත්තේජනය සපයනු ඇතැයි ඔහු විශ්වාස කරනවා. දකුණු අප්‍රිකානු රගර් කණ්ඩායමේ නායකයා Francois Piennar (Matt Damon විසින් පනපොවන) සිය නිල නිවසට කැඳවන මැන්ඩේලා ඔහුට එම කවිය තමන්ට සිර ගෙදර තුල දී ජීවත්වීමට ආස්වාදයත්, ජයග්‍රහණය සඳහා අධිෂ්ඨානයත් සැපයූ අයුරු ගැන පහදා දෙනවා. මැන්ඩේලා ජයග්‍රහණය ලැබුවේ Piennar ද අයත්වන සුදු අප්‍රිකානාස් වෙතින් කලු ජාතිකයින් වෙත මුදාහැරි කෲර වරණභේදවාදී පීඩනයෙන් සමස්ත අප්‍රිකාව ම මුදා ගනිමින්. මැන්ඩේලා සමඟ සාමිචීයේ ගතකරන Piennar දැඩි ලෙස අධිෂ්ඨාන සහගත සහ හැඟීම්බර වෙනවා. ඔහු තරඟයට පෙර මැන්ඩේලා සිරගත කර සිටි, රොබින් දූපතේ සිර මැදිරියට යනවා. සිරමැදිරියේ සිට, ගල්වැඩපොලේ සිට මැන්ඩේලා මේ කවිය මුමුණමින් ඉන්නා අයුරු Piennar ට ඇසෙනවා. මැවී පෙනෙනවා. අවසානයේ මුලු අප්‍රිකාව ම එක ම සිහිනයක එක ම උරුමයක කොටස්කරුවන් බවට පත්කරමින් දකුණු අප්‍රිකානු Springbok කණ්ඩායම, ප්‍රබල නවසීලන්ත All Blacks පරදා රගර් ලෝක කුසලානය දිනාගන්නවා. චිත්‍රපටය අවසානයේ, මැන්ඩේලාගේ රථය ජයපැන් බොන අප්‍රිකානුවන් මැදින් ගමන් කරනවිට ඔහු දකිනවා කලු-සුදු වෙනසක් නැතිව මිනිසුන් ප්‍රීතියෙන් එකට ගුලි වී නටන හැටි. එම දර්ශනය දකින මනුෂ්‍යත්වය පිළිබඳ උත්තරීතර හැඟීම, දයාව රැඳුනු හදවතක් සහිත ඕනෑම කෙනෙකුගේ ඇසට කඳුලක් නැගෙන එක වළක්වන්න බැහැ. යම් ඇසකට කඳුලක් නොනැගෙනවා නම් එම ඇස උරුම ශරීරය මිනිස් ආත්මයක් දරා ගන්නට සුදුසු එකක් නොවෙයි. මේ චිත්‍රපටයක දර්ශනයක් වුනත්, ඇත්තට ම ලෝක කුසලාන රගර් තරඟයෙන් පස්සෙ ඇතිවුන තත්වය.

දකුණු අප්‍රිකාව එසේ නිදහස ලැබුවේ, සුදු ආධිපත්‍ය්‍යෙන්. කුරුඳු, ගම්මිරිස් වැනි කුලු බඩු සහ තවත් කෘෂිකාර්මික බෝග සොයාගන පැමිණි යුරෝපීයයන් පෙරදිග සිය යටත්විජිත බවට පත්කරගත්තා. ඔවුන් ම අප්‍රිකානු මහාද්වීපයට කඩා වැදුනේ රත්තරං සහ වන ජීව සම්පත හොයාගන. මේ ආක්‍රමණ මෙසේ සිදුවීම මානව සංවර්ධනයේ ඵෙතිහාසික අවශ්‍යතාවකට අනුව සිදුවූවක්. එය ගෙවී හමාර අතීත මොහොතක්. කාර්මික විප්ලවය විසින් ගෙනදුන් ජයග්‍රහණ සමස්ත මානව සංහතියේ ම ජයග්‍රහණ. ඒවා පෙරදිග ට, අප්‍රිකාවට ගලා ආවේ ආක්‍රමණ විදියට. ඒත්, ඒ වගේ ම ආක්‍රමණ වලින් ගැලවී විමුක්තිය ලැබීමේ විද්‍යාව සහ දැනුම ගලා ආවේත් ඒ ප්‍රභවයන්ගෙන්මයි. යටත්විජිතවාදයෙන් ගැලවීමේ ඥානය යටත් විජිතවලට ලැබුනේ ද යටත්විජිත පියාගෙන්, Colonial Father ගෙන් ම යි.

මැන්ඩේලා මෙය හොඳින් දැන සිටියා. ඔහු වසර 27 ක් සිරබත් කමින් අරගල කළේ දකුණු අප්‍රිකාව නැවත ගෝත්‍රික සමාජයකට කැඳවාගෙන යන්නට නොවෙයි. නව විද්‍යාවේ, දැනුමේ සහ සංවර්ධනයේ ජයග්‍රහණ සමස්ත දකුණු අප්‍රිකානු ජනතාවටම තහවුරු කරන්නටයි. කලු සහ සුදු වශයෙන් බෙදුනු දකුණු අප්‍රිකානු ජාතිය සහ කලු සහ සුදු අතර විසිරුණු වර්ණාවලියක රැඳුනු දේදුනු ජාතිය (Rainbow Nation) බිහිකරන්නටයි. ඒ වෙනුවෙන්, සිය කොලෝනියල් තාත්තාගෙන් ලැබුණු දායාද ඔහු සිය උරුමයක් ලෙස ගත්තා. ඒවා අතාර්කික ලෙස බැහැර කළේ නැහැ. දියුණු සම්භාව්‍ය ඉංග්‍රීසි සාහිත්‍යයේ කවියක් සිය විමුක්ති සටනට ආස්වාදය ගෙන දෙන උත්තේජකයක් ලෙස යොදාගත්තා. දැවැන්ත අප්‍රිකානු ආර්ථිකය ශක්තිමත් කළ සුදු නිෂ්පාදක ප්‍රජාව අප්‍රිකානුවන් ලෙස ම නව අප්‍රිකාවට අවශෝෂණය කරගත්තා. සුදු ජාතිකයන් විසින් අතීතයේ කලු ජාතිකයන් මත පැටවුනු පීඩාව කොතරම් ද කියනවා නම් මුලු අප්‍රිකාවම ලේ විලක් බවට පත්කරන්නට තරම් වෛරයක්, තරහක් කලු අප්‍රිකානුවන් තුල පහසුවෙන් අවුලුවන්නට හැකියාව අප්‍රිකානු ජාතික කොන්ග්‍රසයටත් නෙල්සන් මැන්ඩේලාටත් තිබුනා. එහෙත්, මැන්ඩේලාගේ පැතිරුනු දේශපාලන දෘෂ්ඨියත්, අනාගතය පිළිබඳ ප්‍රගතිවාදී දැක්මත් විසින් එය වළකනු ලැබුණා.

ඊට වඩා ටිකක් වෙනස් අත්දැකීමක් අපට ඉන්දියාවෙන් හමුවෙනවා. අපි දන්නවා, මහත්මා ගාන්ධි සහ රවීන්ද්‍රනාත් තාගෝර් කියන්නෙ ඉන්දීය නිදහස් අරගලයේ සුවිශේෂී ම චරිත දෙකක්. මේ දෙන්නා ම, ඉන්දීය නිදහස් සටන පෝෂණය කරන්න දායක වුනත්, දෙදෙනා හිටියේ දෘෂ්ඨිමය ස්ථාවරයන් දෙකක.

මහත්මා ගාන්ධි යනු අතිශය අවිහිංසාවාදී නායකයකු බව අපි කවුරුත් දන්නවා. මහත්මා නායකත්වය සැපයූ ඉන්දියානු නිදහස් අරගලයේ සටන් ක්‍රියාමාර්ගය වුනේ අවිහිංසාවාදයයි. එහෙත්, ඔහුගේ අවිහිංසාවාදය තුල පවා මතුකෙරුණු ‘දේශප්‍රේමය’ ඇතැම් විට, වෛරය දෙසට තල්ලු කෙරෙන අනතුර රවින්ද්‍රනාත් තාගෝර් දුටුවා.

“දේශප්‍රේමය අපගේ අවසාන අධ්‍යාත්මික නවාතැන්පොල විය යුතු නැහැ. මගේ නවාතැන්පොල වන්නේ උත්තරීතර මනුෂ්‍යත්වයයි. දියමන්ති මිලට මං වීදුරු මිල දී ගන්නෙ නැහැ. ඒ වගේ ම, මං ජීවතුන් අතර සිටින තුරු දේශප්‍රේමය ට මනුෂ්‍යත්වය යටකරන්නට ඉඩ තියෙන්නේ නැහැ” කියා තාගෝර් වරක් පැවසුවා.

දේශපාලනය සහ සංස්කෘතිය පිළිබඳවත්, ජාතිකත්වය සහ අන්තර්ජාතිකත්වය පිළිබඳවත්, සම්ප්‍රදාය සහ නූතනත්වය පිළිබඳවත් තාගෝර්ගේ ආකල්ප ඔහුගේ ගීතාංජලී පද්‍ය සංග්‍රහයේ එන පහත කවියෙන් තරම් පැහැදිලි වෙන තැනක් නැහැ.

Where the mind is without fear and the head is held high;
Where knowledge is free;
Where the world has not been broken up into fragments
By narrow domestic walls …..;
Where words come out from the depth of truth
Where tireless striving stretches its arms towards perfection Where the clear stream of reason has not lost its way
Into the dreary desert sand of dead habit;
Where the mind is led forward by thee
Into ever-widening thought and action
Into that heaven of freedom, my Father, let my country awake

එහි අනුවාදයක් මහගම සේකර කවියා විසින් ගීතයකට ගොනුකලා. පණ්ඩිත අමරදේව සංගීතය සපයා අමරදේව සහ සුනිල් එදිරිසිංහ එක්ව ගායනා කරන එම ගීතය යි මේ.

පටු අදහස් නම් පවුරින් ලෝකය
කැබෙලි වලට නො බෙදී
ඥානය නිවහල් වී
බියෙන් තොර ව හිස කෙලින් තබාගෙන
සිටිනට හැකි කොහිදෝ
ඒ වූ නිදහසේ ස්වර්ග රාජ්‍යයට
මාගේ දේශය අවදි කරනු මැන පියාණනේ

සත්‍යය පතුලින් ගලනා
පිරිසිදු වචන කොහිද ඇත්තේ
ගතානුගතිකව පැවතෙන සිරිතේ
මරු කතරට වැදිලා
නිර්මල ජල ධාරාව තර්කයේ
සිඳී ගිලී නොගියේ
ඒ වූ නිදහසේ සවර්ග රාජ්‍යයට
මාගේ දේශය අවදි කරනු මැන පියාණනේ

පසු නොබසින වීරිය පිරිපුන් බව
දෙසට දෑත විදහා
සදා දියුණු වන සිතිවිලි උදෙසා
කම් කටයුතු උදෙසා
ඉදිරිය වෙත ඔබ මා සිත යොමවා
ඇත්තේ කොතැනකදෝ
ඒ වූ නිදහසේ ස්වර්ග රාජ්‍යයට
මාගේ දේශය අවදි කරනු මැන පියාණනේ.

තාගෝර් තුල වූ නිදහස සඳහා වූ අනුරාගය යමෙකු අතීතයේ සිරකරුවකු කරන අහේතුක සම්ප්‍රදාය වීමට පැහැදිලි ව ම එරෙහි වූවක්. අතීතිය කෙරෙහි අප තුල ඇති වන්දනාමය භක්තිය, “කණුවට ගැට ගැසූ බිලි පූජාවට කැපුනු එළුවකුට සමාන යැයි” වරක් තාගෝර් පැවසුවා. අතීතය නැමති කණුවට ගැට ගැසුනු පසු දිවි ගලවා ගැනීම සඳහා පැනයාමට ඉඩක් නැහැ. මරණය නියතමයි.

අතීතයේ අධිකාරීත්වය තාගෝර් සිය ‘කර්තාර් භුත්’ (නායකයාගේ අවතාරය -The Ghost of the Leader) නමින් වූ සිය උපදේශ කතාවෙන් (දෘෂ්ඨාන්තයකින් -parable) විශිෂ්ඨ ලෙස පැහැදිලි කරනවා.

එක්තරා මනඃකල්පිත දිවයිනක ගෞරවාන්විත නායකයකු මියයන මොහොතේ කණගාටුවට පත්වන වැසියන් පැමිණ ඔහුගෙන් ඉල්ලා සිටිනවා “නායකතුමනි ඔබ මියගියාට පසුත් අපත් සමඟම අපට ගුරුහරුකම් දෙමින් අප අතරම රැඳෙන්නට” කියා. ඔහු එම ඉල්ලීමට එකඟවෙනවා. එහෙත් ටික කලකින් ඔහුගේ අනුගාමික වැසියන් තේරුම් ගන්නවා තමන්ගේ දෛනික හැසිරීම් හුදු පුද පූජා සහ යාතුකර්ම සඳහා පමණක් සීමා වී ඇති බව. තමන් ඉදිරියට තල්ලු නොවන බව. අවසානයේ වැසියන් ගිහින් භූත නායකයාගෙන් ඉල්ලා සිටිනවා සිය ආධිපත්‍යයෙන් තමන් නිදහස් කරන ලෙස. නායකයා ඔවුන්ට දෙන පිළිතුර වන්නේ, “මම ඉන්නේ උඹලාගේ ඔලු තුල විතරයි. උඹලාගේ ඔලු මගෙන් නිදහස් කරගනිල්ලා” කියලා.

ඉන්දියානු ආර්ථිකය ගොඩනගන්න නම් හැම ගෙදරක ම රෙදි වියන රෝදය කරකවන්න කියන ගාන්ධියානු ආර්ථික දැක්මටත් තාගෝර් කැමැත්තක් දැක්වූයේ නැහැ. රජයේ සහනාධාර නොමැතිව මේ රෙදි රෝදය කරකරවන්න බැහැ. එසේ කලත් ඉන් ඉන්දියානු ආර්ථිකය ඉදිරියට තල්ලු කරන්නට බැහැ කියන ඉදිරිවාදී දැක්ම මතයි තාගෝර්ගේ තර්කය පදනම් වූයේ. මහත්මා කතාකලේ මිනිස්සුන්ගේ හැඟීම්වලට. තාගෝර් බුද්ධියට. ඒත් තාගෝර් ගාන්ධිට අසීමිතව ගෞරව කළා.

ඉන්දියානු නිදහස් අරගලයට නායකත්වය දුන් “දේශපාලනඥයෙකු ලෙස සංවිධායකයකු ලෙස මිනිසුන්ගේ නායකයකු ලෙස සහ සදාචාරවැදියෙකු ලෙස විශිෂ්ඨතම වන ගාන්ධි, ඔහු තුල පවත්නා මහා මිනිසත්කම පරයා නැග එන්නේ නැහැ” යනුවෙන් ‘ගාන්ධි නම් වූ මිනිසා‘ නමින් 1938 දී තාගෝර් විසින් කල රචනාවේ දී ඔහු ගාන්ධි ව අගයනවා. එහෙත්, ගාන්ධිගේ අවිහිංසා ව්‍යාපාරය තුල අතිශයෝක්තියට නැංවෙන අන්ධ විශ්වාසය, සහේතුකත්වය මඟ හැරීම වැනි අතාර්කික බලවේගවල නැඟ ඒම වෙනුවෙන් අපට පසු කලෙක වන්දි ගෙවීමට සිදුවන බවට තාගෝර් අනතුරු අඟවා තිබෙනවා.

අවාසනයේ ඉන්දියාව නිදහස ලබන්නේ, එකම ගිනිජාලාවක්, ලේ වැගිරීමක් මැද. මේ ව්‍යසනය දකින්නට තරම් තාගෝර් අවාසනාවන්ත නැහැ. ඔහු ඉන්දියාව නිදහස ලබන්නට හය වසරකට පෙර එනම් 1941 දී මිය යනවා. තාගෝර්ගේ මරණය ආරංචි වන නේරු ‘සිරගෙයි සටහන්’ වල ලියනවා

“ලෝකයේත්, ඉන්දියාවේත් ඉදිරියේ දී ඇතිවිය හැකි අතිශය භයංකාර සිදුවීම් නොදැකම ඔහු අද මිය ගිය එක හොඳයි. ඔහු අනන්තවත් කනස්සල් හා දුක්මුසු වනු ඇති” කියලා.

ඒ වගේ ම පශ්චාත් නිදහස් ඉන්දියාව තුල ප්‍රජානත්ත්‍රවාදය තහවුරු වී ඇති ප්‍රමාණය පිළිබඳව තාගෝර් තරමක් සෑහීමකට පත්වනු ඇති කියලා පසුකලෙක ආර්ථික විද්‍යාවට නොබෙල් තෑග්ග දිනූ අමර්ත්‍යා සෙන් Thargoe and his India කියන රචනාවේ දී පවසනවා. ඔහු මේ රචනාව සකස් කරන්නේ 50 වෙනි ඉන්දියානු නිදහස් සමරුවට සමගාමීව New York Review of Books සඟරාවට. දේශපාලනය තුල ‘සිතීමේ නිදහසත්’ ප්‍රකාශනයේ හා භාෂණයේ නිදහසත් පශ්චාත් නිදහස් ඉන්දියාව තුල මේ වන තෙක් පවත්වාගන ඇති ආකාරය පිළිබඳව ද තාගෝර් සතුටු වනු ඇතැයි අමර්ත්‍යා සෙන් පවසනවා. තාගෝරා හා සංසන්දනය කළ හැකි බුද්ධිමතෙක්, ප්‍රාඥයෙක් අපට සමකාලීනව ලංකාවෙන් හමුවෙනවා නම්, ඒ ආනන්ද කුමාරස්වාමි විතරයි. ඔහු විශිෂ්ඨ පර්යේෂකයෙක්. ඔහුගේ ‘මධ්‍යාකාලීන සිංහල කලා’ පොත මට මතකයි. අපේ තාත්තාගේ තාත්තා, මගේ අත්තා, ගමේ නොයෙක් සැරසිලි කරනෙකාට අත්පොතක් හැටියට පාවිච්චි කරනවා. ඒක අපේ ජන ජීවිතය තුලට ම කිඳාබැසි කෘතියක්.

අවාසනාවට අපගේ නිදහස් සටනට දෘශ්ඨිමය පදනමක් උත්තේජනයක් සකසා ගන්නට Invictus වගේ කවියක්වත්, ගීතාංජලී වගේ කවියක්වත් හමුවෙන්නේ නැහැ. ලංකාව කියන්නෙ, කොළඹ නගරය කියන්නේ විවිධ ජන වර්ගවල මිනිසුන් ජීවත්වුනු අතිශය සුන්දර රටක්. පුරවරයක්. අපි උපේක්ෂාවෙන්, උපහාසයෙන් ඒ වගේ ම ආදරයෙන් විවිධ ජාතීන්ගේ සම පැවැත්ම ඉවසා දරා සිටියා. 1913 තරම් ඈතක ලියුවුණු පහත ගීතය, ඒ ජන විවිධත්වයේ අපූර්වත්වය පිළිබඳ පැහැදිලි හැඟීමක් අපට ගෙනෙනවා.

ශාන්ත ජෝන්ගේ වීදියේ කඩේ, හෙවත් St. John’s මාළු මාකට් එකේ ගීතය!

සාන්ත ජෝන්ගේ වීදියේ කඩේ
මාළු වෙළඳාම මාළු වෙළඳාම
සාන්ත ජෝන්ගේ වීදියේ කඩේ

මාළු කඩේ වටේ ගෑණු – පාළු නැතුව ඉඳිති පේණු …
සවස දෙකේ සිටලා රෑ -නවය දහය පසුවෙන තුරු
ඉස්සන් කූනිස්සන් හාල්මැස්සන් පොකිරිස්සන් යස
හොඳ බලයන් ඇට නඟුලන් බෝ ලාබෙට බෝ විකිණේ

සාන්ත ජෝන්ගේ වීදියේ කඩේ …

මෙව්ව ගන්ඩ තම්බිලා තම්බි – අප්පුල ආයලා සිඤ්ඤෝර්ල …
බොහොවු ජාති දෙමළ ඉංග්‍රීසි – තුපහින්ද අරාබි එති
නෙක නෙක දිග රන්පාටැති නන් මාළුත් විකිණෙති…
රටලබු වම්බටු කරපිංච ද සේර ද විකුණන්නෙය…

සාන්ත ජෝන්ගේ වීදියේ කඩේ …

(සිරිලක තුල සිංහල අපේ පින්වත් නාමෙට ගෞරව
මේ පද බැන්දේ සතොසින් ඒ ජෝශප් ඇන්ඩෲය මම)

එවකට කොළඹ තිබුණු ආර්ථික පසුබිමත්, ජන විවිධත්වයත් මේ ගීතයේ උප පෙළ තුල විද්‍යමාන වෙනවා.

මාළු කඩේ වටේ ගෑණු – පාළු නැතිව ඉඳිති පේණු
සවස දෙකේ සිට රෑ – නවය දහය පසුවෙන තුරු

ශාන්ත ජෝන්ගේ වීදියේ ගැහැණු අයට රෑ වෙනකල් බයක් නැතිව පාළු නැතිව ඉන්න පුළුවන්. මේ මාළු කඩේ දවල් දෙකේ ඉඳලා රෑ දහය විතර වෙනකල් විවෘතයි. කොළඹ රාත්‍රියේත් ඇහැරිලා ඉන්නේ. ඒ වගේම, මේ මාළු කඩේ මාළු ගන්න එන අය, එහි විකුණන්න තියන මාළු වගේ ම විවිධයි.

ඉස්සන් කූනිස්සන් හාල්මැස්සන් පොකිරිස්සන් යස
හොඳ බලයන් ඇට නඟුලන් බෝ ලාබෙට බෝ විකිණේ

විවිධ වර්ගයේ විවිධ තරාතිරමේ මාළු මෙහි තියෙනවා. මේවා ගන්න එන්නේත් විවිධ වර්ගවල විවිධ පංතිවල මිනිසුන්.

මෙව්ව ගන්ඩ තම්බිලා තම්බි – අප්පුල ආයලා සිඤ්ඤෝර්ලා
බොහොවු ජාති දෙමළ ඉංග්‍රීසි = තුපහින්ද අරාබි එති

ඉතින් මේ ගීතය ලියන රචකයා මේ විවිධත්වය වාර්තා කරන්නේ ආඩම්බරෙන්

සිරිලක තුල සිංහල අපේ පින්වත් නාමෙට ගෞරව
මේ පද බැන්දේ සතොසින් ඒ ජෝශප් ඇන්ඩෲය මම

කියලයි රචකයා තම ගීතයේ පදවල අයිතිය තහවුරු කරන්නෙ.

ඒත් අවාසනාවට ලෝක බෞද්ධ පුනරුදය වෙනුවෙන් විශිෂ්ඨ සේවාවක් කල අනගාරික ධර්මපාල වැනි වියතකුගේ මුවින් පිටවෙන්නෙ මෙහෙම කියමන්

“මතක තියා ගනිල්ලා,
කවද හරි සුද්දෝ මේ රට දාලා යනවා.
උන් යන්නෙ උන්ගේ දරුවෝ වගේ කළු සුද්දෝ
විසි තිස් දාහක් බෝ කලාට පස්සෙයි.
ඊට පස්සෙ මේ අපේ රට පාලනය කරන්නෙ,
මේ කළු සුද්දෝ.

උන් සිංහල භාෂාවට,
සිරිත් විරිත්වලට වෛර කරනවා.
උන් උඹලගෙ දරුවන්ට උගන්වාවි
ජාති, ආගම්, භාෂා භේදයක් එපා කියලා.
දෙමළත්, මරක්කලයත්, හම්බයත්, කොච්චියත්
බෝරාකාරයත් එකය කියලා.
එහෙම කියලා උන් ඉංග්‍රීසියම රජ කරාවි.
පන්සල් වටේ පල්ලි කෝවිල් හදාවි.

උඹලා,
උඹලා වෙනුවෙන් දියසේන කුමාරයලා
ඉපදෙනකල් බලා ඉන්නවා.
උපදින්න ඉන්න දියසේනලා
තිඹිරිගෙයි දී ම මරා දමන්න
මේ කළු සුද්දන්ට පුළුවන් බව මතක
තියාගනිල්ලා.
අපේ හාමුදුරුවරුන්ට උන් එදාට ඉනා බේත් දෙනවා.
ඉන් පස්සෙ උඹලගෙ කොල්ලො කෙල්ලන්ට
ඇටි කෙහෙල් කාපු රිලව් වගේ
නියෝ නියෝ ඉන්න සිද්ධ වේවි.”
-අනගාරික ධර්මපාල

අනෙකා පිළිබඳ වෛරයක් ඇති කරන අපේක්ෂාවක් බුද්ධාගම පිළිබඳ ප්‍රමාණාත්මක දැනුමක් තිබු ධර්මපාලතුමන්ට නොතිබෙන්නට ඇති. එහෙත් පසුකලෙක මෙම කියුම් අපේ සමාජය තුල වැපුරුවේ වෛරයේ බිජුවයි. අපට නිදහස හම්බවෙනකොට ලේ වැගිරීමක් වුනේ නැහැ. ඒත් නිදහස ලබලා දශකයක් ගෙවී යන්නටත් පෙර අපි එහි ඵල නෙලීම ආරම්භ කලා. අන්තිමට නිදහස ලබලා දශක තුනක් කෙළවර වුනු තැන අපව තල්ලු වී ගියේ බිහිසුණු යුද්ධයකට. මේ යුද්ධයේ දී සුනුවිසුනු වී ගියේ අපට අහිමිව ගියේ දේපල, සම්පත් සහ අගනා මිනිස් ජීවිත පමණක් නෙවෙයි. අපගේ ගැඹුරු නිසංසල අධ්‍යාත්මය ද ඉරිතලා ගියා.

අවුරුදු 30 කට ආසන්න කාලයක්, අපගේ නිදහස් ජීවිතයෙන් හරියට ම භාගයකට ආසන්න කාලයක් අපි මේ වෙනුවෙන් ලෙයින් කඳුලින් වන්දි ගෙව්වා.

වාසනාවට මහා විනාශයකට පස්සෙ වුනත් ඒ කුරිරු යුද්ධය අවසන්වෙලා තියනවා. අලුත් හුස්මක් අරන්, අලුත් විදියකට ජීවිතය පටන්ගන්නට අවස්ථාවක් ලැබිලා තියනවා. ලෝකය ආර්ථික සහ දේශපාලනික වශයෙන් ඉතිහාසයේ දරුණුතම කුණාටුවක් පසු කරමින් සිටින විට අපට ඒ කුණාටුවට හසු නොවී මඟහැර ඉන්නට පුළුවන් වෙලා තියනවා.

සතුටු විය හැකි ආර්ථික පරිසරයක් රටේ ඇති වෙලා තියනවා. ආර්ථික වර්ධනය සතුටුදායක මට්ටමක පවතිනවා. උද්ධමනය මෙල්ල කරන්නට පුළුවන් වෙලා තියනවා. විදේශ සංචිත සහනදායි මට්ටමක පවත්වා ගන්නට හැකි වෙලා තියනවා. ක්‍රීඩාංගන ඉදිවෙනවා. ෂොපින් මෝල් හැදෙනවා. සංචාරක හෝටල් හැදෙනවා. නගරයේ මඩ වගුරු දර්ශනීය විල්, පොකුණු බවට පත්වෙනවා. ජීවිත දෙගොඩතලාගෙන “හයි වේ” ගලා බසිනවා.

රටේ ආර්ථිකයේ ප්‍රමාණාත්මක වර්ධනීය බව විදහා දක්වන දර්ශකවල පිළිබිඹුව යහපත්. ඒත් මේ දර්ශකවලින් පෙන්නුම් නොකෙරෙන, එහි දිස්නය නිසා නොපෙනෙන, නොසලකා හැරෙන, කිසියම් ජන සමාජයක සංස්කෘතික ශක්තිමත් බව පෙන්වන කිසිදු දර්ශකයක් වර්ධනීය දිශාන්තියක් පෙන්නුම් කරන්නෙ නැහැ.

මා දන්නා හඳුනන, උගත්, සැලකිය යුතු වැටුපක් ලබන රැකියාවක් කරන අයකුගේ දියණියට, උපන් දින දෙකක් තියනවා. එකක් පාසල සහ ගුරුවරු යහලු යෙහෙළියන් සඳහා වන එක. අනෙක උත්සව, නැකත්, සුභ මුහුර්ති සැකසීම සඳහා භාවිතා කරන එක. දෙවැනි එකයි ඇත්ත උපන් දිනය සහ වේලාව. මුල් උපන්දිනය පාසලට ඇතුලත් කිරීම සඳහා ව්‍යාජ ලෙස සැකසූ එකක්. මට හමු වූ තවත් අයෙකුට අදහාගත නොහැකි අධ්‍යාපන සුදුසුකම් තිබෙනවා. වාහනයක සුක්කානමට අත තබාවත් නැති අය ළඟ රියැදුරු බලපත්‍ර තිබෙනවා. අඩු මුදලකට, වැඩි මහන්සියක් නැතිව උප්පැන්න සහතිකයේ සිට උපාධි සහතිකය හරහා මරණ සහතිකය දක්වා ලියකියවිලි අවශ්‍ය නම් කෙනෙකුට සකස් කරගන්න පුළුවන්. අවශ්‍ය නම් සෝවාන්, සකෘදාගාමී, අරහත් ආදී වශයෙන් වූ මාර්ගඵල ද ලබා ගන්න පුළුවන්. සල්ලි තිබේ නම්, ජීවිතය මේ තරම් පහසුවුනු වකවානුවක් ඉතිහාසයේ කවර කලෙකවත් තිබුනා ද කියලා සැක සහිතයි.

සල්ලි මිනිස්සුන්ට ‘නිදහස’ ගෙනැත් දීලා තියනවා. ඒ නිදහස ශිෂ්ඨත්වයේ ‘තහංචි’ කඩා බිඳ දමනවා. මනුෂ්‍යත්වය අර්ථ දැක්වෙන්නේ නිදහසේ සහ තහංචියේ සීමාවන් තුල කියලා මං මගේ කතාව පටන් ගන්නකොටම කියා සිටියා. නිදහස විසින් අපි පරිකල්පනයේ අනන්ත විශ්වය වෙත තල්ලු කරනවා. තහංචිය හෙවත් තහනම විසින් අප ඒ අනන්ත විශ්වයේ නූල කැඩුනු සරැංගලයක් සේ ඉබගාතේ ගසාගන යෑම වළකනවා.

නිදහස ලබන්න ඉස්සර මේ තහංචිය පැනවුනේ, යටත්විජිත පියාගෙන්. ඔහුගේ නීතියෙන්. ඔහු හඳුන්වා දුන් අධ්‍යාපනයෙන් ලැබුණු දැනුමින් සහ ශික්ෂණයෙන්. ඔහු පාරවල් හදලා ඒ පාරවල්වල ගමන් කරන පිළිවෙල කියා දුන්නා. හුරතලේට, ආරක්ෂාවට බල්ලන් ඇති කරන කොට බල්ලන් දඩාවතේ යන එක ඉබාගතේ බෝවන එක ගැන පරිස්සම් වන්නට අනතුරු ඇඟවූවා. එය අධෛර්ය කරන්න බලු බද්ද කියලා එකක් හඳුන්වා දෙනකොට, අපේ අය විරුද්ධ වුනා

“ගමේ ගෙදරකට සෙනේ ඇතිව සිටි බලු කුක්කට මොන බදු ද අනේ
තනේ තියන කිරි ටිකටත් බද්දක් ගෙවන්න වේවි ද ඉදිරි දිනේ …”

කියලා.

අද බල්ලන් තිස් ලක්ෂකයක් මරා දමන්නෙ නැතිව දඩාවතේ යන බලු ප්‍රශ්නය විසඳන්නට නොහැකි බව රජය වටහාගෙන තියනවා.

මේ ලාභයට පහසුවට හමුවන ජීවිතය තුල සල්ලි වලින් පිරවිය නොහැකි අඩුවක් තියනවා. චීන ආධාර ඇතිව “නෙළුම්පොකුණක්” ඉදිකරගත හැකියි. එහෙත් එම නෙළුම්පොකුණ වේදිකාවේ රඟ දක්වන්නට සිංහල (හෝ දෙමළ) ඔපෙරාවක් නිර්මාණය කිරීමට නිර්මාණකරුවෙක්, එහි රඟන්නට ගයන්නට සිය ගණනක නළු නිළියන් පහසුවෙන් බිහිකරගන්න බැහැ. එවැනි කෘතියක් විඳීමේ රසිකත්වය චීනයෙන් හෝ යුරෝපයෙන් සල්ලි වලට හදිසියේ මිල දී ගන්න බැහැ. විඳීමේ සම්ප්‍රදායක් හරහා බිහිවන රසිකයකු ව්‍යාජ අධ්‍යාපන සහතිකයක් හරහා බිහිකරගන්න බැහැ. ලෝකයේ දියුණු ම සිනමා කැමරාව මිලියන ගණන් මුදල් ගෙවා ගෙන්වාගන්න පුළුවන්. එහෙත්, එම කැමරාව භාවිතා කර වටිනා සිනමා කෘතියක් කිරීමේ නිර්මාණශීලිත්වය ලාභයට ආනයනය කරන්නට බැහැ. මිලියන ගණන් වැයකර ක්‍රිකට් ක්‍රීඩාංගන ඉදිකරගත හැකියි. එහෙත් ලෝක මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩකයකු බිහි කිරීමේ, විනයගත වැඩ පිළිවෙලක් සම්ප්‍රාදයගත කිරීම පහසුවෙන් කරන්නට බැහැ. ජයසූරිය වගේ අති දක්ෂ ක්‍රීඩකයෙකු හදාගන්න පුළුවන් වෙයි. ඒත් මඩුගල්ල වගේ, වෙත්තමුනි වගේ ක්‍රිකට් ක්‍රීඩා කරන මහත්මයකු පහසුවෙන් හදාගන්න බැහැ. ලෝකේ තියන හොඳම මෝටර් රථය ආනයනය කරන්න පුළුවන්. ඒත් ඒ වාහනය පදවන විනයට කෙනෙක් පහසුවෙන් හුරුකරන්න බැහැ. හිස් මුදුනේ සිට දෙපතුල දක්වා වැසෙන ඇඳුමක් ඇඳීම නීතිගත කරන්න පුළුවන්. එහෙත් ඒ ඇඳුමට යටින් ඇවිදින නිරුවත් මිනිසා හික්මවන්නට එම නීතියටම පුළුවන් කමක් නැහැ. ඒ සඳහා අධ්‍යාපනය තුල ගැඩගැසුනු ශික්ෂණයක් ඕනෑ.

ජාති ආගම් වශයෙන් වෙන් නොකෙරැනු එක ම හෘද සාක්ෂියක් බෙදාගත හැකි ශික්ෂණයක් අපට තිබුනා කිදහස ලැබෙනකොට. මහාචාර්ය සරත්චන්ද්‍ර මනමේ නාට්‍ය්‍යට ගී තනු සොයාගන්නේ යාපනේ වඩුකොට්ටෙයි ගමේ කුත්තු නාට්‍ය කණ්ඩායම් වලින්. ඒ නාට්‍යකරුවන්ට ඒ ගී තනු ලැබුනේ ගොන්සාල්වේස් පියතුමාගෙන්. සිංහල නාට්‍ය්‍යේ මුද්‍රාව බඳු වු විශිෂ්ඨ මනමේ නාට්‍ය්‍යේ සම්භවය හමුවූයේ ජාති, ආගම් වශයෙන් නොබෙදුනු පොදු ලාංකීය මිනිසාගේ හෘද සාක්ෂිය තුලයි.

පොඩි කාලේ ඉඳලම වෙසක් එකට වෙසක් කූඩු තොරන් හදන්නටත්, නත්තලට නත්තල් ගස්, ගවලෙන හදන්නත් මං පුරුදුවෙලා හිටියා. අදටත් මං ඒක කරනවා. එහෙම මට ‘මේ බුදුන්ගේ දේශයයි’ කියලා පිටුපස වීදුරුවේ හරහට ලොකු අකුරින් ගහගත්ත බස් එකක් කහ ඉරි, රතු එළි නොතකා, තනි ඉර ඩබල් ඉරි කපාගන ධාවනය වෙනවා දකිනකොට බය හිතෙනවා. ඒ මං දන්නා බුදුන්ට දේශයක් තමා බිම් අඟලක්වත් නැති නිසා. බස් එක පිටිපස්සෙ එහෙම ලොකු අකුරින් ගහලා තියෙන්නෙ තමන්ට විඳින්නට නොවෙයි. එය තමන්ට පෙනෙන්නෙ නැහැ. එය පෙනෙන්නෙ පිටිපස්සේ එන ක්‍රිස්තියානිකාරයාට, හිංදු භක්තිකයාට, මුසල්මානුවාට.

පොදු ශ්‍රී ලාංකික හෘද සාක්ෂිය දෙදරවන මෙවැනි දර්ශන දකිනකොට මට බය හිතෙනවා. ඒ බය ඔබ හැමෝටමත් දැනෙනවා නම්, ආයෙත් මේ රටේ යුද්ධයක් ඇති නොවී වළක්වාගන්න අපට පුළුවන් වේවි. මගේ සතුට, උද්දාමය තව කෙනෙකුගේ නෙතට කඳුලක් උපදවනවා නම්, එය මොකක්දෝ වරදක්. අඩුවක් පිළිබඳ හැඟවීමක්. අප ඒ වරද වටහාගත යුතුයි. ඒ අඩුව පුරවා දැමිය යුතුයි. තමා නො විඳින අනෙකා විඳින සතුට මොකක්ද කියන කුතුහලය අප මරා දැමිය යුතුයි. මැන්ඩේලා දමනය කරගන සිටියේ ඒ කුතුහලයයි. ගාන්ධිට නොපෙනුන තාගෝර් දැක්ක අනතුරු ඒකයි. ධර්මපාලතුමන් අතින් මඟහැරුන සත්‍ය්‍ය ඒකයි. ආනන්ද කුමාරස්වාමි ට වඩා නෙළුම්පොකුණ අපට ලොකුවට පෙනෙන්නේ ඒ නිසයි. යුද්ධය නිම වුනත්, යුද්ධයක් ඇතිවිය හැකි බවට තියෙන අවිශ්වාසයෙන් අපිට ගැලවෙන්න බැරි ඒකයි.

අප නො විඳින අනෙකා විඳින සතුට මොකක්ද කියන කුතුහලයෙන් ගැලවුනාමයි අපට, අප විදින සතුට පරම සතුට බවට පත්කරගත හැකි වන්නේ.

“ඒ වූ නිදහසේ ස්වර්ග රාජ්‍යයට
මාගේ දේශය අවදි කරනු මැන පියාණනේ”

Advertisements

26 Responses

Subscribe to comments with RSS.

  1. ඔබ නොදු‍ටු ලොවක් said, on මාර්තු 21, 2012 at 5:50 ප.ව.

    ඔය ස්වර්ග රාජ්ජේ මේ කපේ එන එකක් නෙමේ…

    • arunishapiro said, on මාර්තු 22, 2012 at 7:18 පෙ.ව.

      ඔබ නොදු‍ටු ලොවක්,

      //අරමුණු වෙත ළඟාවීම
      අසීරු වුව ද කෙතරම්
      ලියැවුනු චෝදනා හා දඬුවම්
      කම්නැත කුමක් වුවත්
      මම වෙමි මගේ ඉරණමේ ස්වාමියා
      මම වෙමි මගේ ආත්මයේ නියමුවා//

  2. My life as a Gaijin! said, on මාර්තු 21, 2012 at 7:47 ප.ව.

    හඳයාගේ මත වාද පිළිබඳව එකඟ නොවන තැන් තිබුනාට , උඩ දේශණය තුළින් ඔහු මතු කරන කරුණු පිළිබඳව පුළුල් සමාජ කතිකාවක් ගොඩනැගීමත් විශේසයේන්ම සිංහල සමාජය ,වාර්ගික සහයොගිකතාවයක් සහ සැමට නිදහස්ව නිවහල්ව ජීවත් විය හැකි රටක් වෙනුවෙන් ඉටුකල යුතු යුතුකම් බොහොමයක් තියෙනවා කියන කාරණය අපට  මතක් කරලා දෙනවා.අවාසනාවකට බහුතරයක් හඳයා මතුකරන අදහස් දිහා බලන්නේ වපර ඇහෙන්.

    • arunishapiro said, on මාර්තු 22, 2012 at 7:22 පෙ.ව.

      My life as a Gaijin!,

      ඔව්, හඳයා හදන චිත්‍රපටි වගේම ඔහු ලියන වෙනත් දෑත් කියවන්නේ නැතිවම විවේචනය කරන අය ඇති තරම් ඉන්නවා.

      වෙනත් හැම දෙයක්මත් එහෙමයි, තමන් විසින් සොයා බලන්නෙ නැතිව විවේචනය කරන අය වැඩියෙන් ඉන්නෙ සිංහලෙන් කියවන ලියන අය අතරයි.

  3. kevin perera said, on මාර්තු 21, 2012 at 10:13 ප.ව.

    //අප නො විඳින අනෙකා විඳින සතුට //හඳගම මෙතන සතුට යන වචනයෙන් හඳුන්වන්නේ නිසැකයෙන්ම Happiness කියන දෙය නොවෙයි ප්‍රංශ මුල් අරුතින්ම “Jouissance” යන්න විය යුතුය.( අරුණි හඳයගෙ පුද්ගලික මිතුරෙක් නේ ඕන නම් අහල තහවුරු කරගත්තෑකි) Jouissance යන්න සිංහලට හෝ ඉංග්‍රීසියට පරිවර්තනය කරන්න බැහැ.

    හඳගමට වෙනස්ව මගේ ස්ටයිල් එකට මේ //අප නො විඳින අනෙකා විඳින සතුට // මං පැහැදිලි කරන්නේ මෙහෙමයි.

    නලින්,වීරවංශ පරපුරේ දේශප්‍රේමී කුතුහලය හඳගමගේ(//අප නො විඳින අනෙකා විඳින සතුට //) සංකල්පය ඔස්සේ පැහැදිලි කරොත් හරියට මෙන්න මේ වගෙයි

    බටහිර ඇමරිකානු පර සුද්දන් පස්සා පැත්ත (පු#) කඩදාසි වලින් පිසදමමින් පස්ස පැත්ත (පු$) සීතල ඇල්දියෙන් සෝදන මට වඩා ලබන, මා නොවිඳින සතුට(Jouissance ) කුමක්ද?

    • arunishapiro said, on මාර්තු 22, 2012 at 7:50 පෙ.ව.

      kevin perera,

      😀 මම අහලා යවන්නම්!!!

      නවම් මල්ලි ලියපු “අලප්ඩියුසි” වගේ එකක් වෙන්නැති; දුක වගේ ම සතුට කියන එකත් නිර්වචනය පහසු නැහැ.

  4. රූ said, on මාර්තු 22, 2012 at 1:52 පෙ.ව.

    //පොදු ශ්‍රී ලාංකික හෘද සාක්ෂිය දෙදරවන මෙවැනි දර්ශන දකිනකොට මට බය හිතෙනවා.//
    මේ ප්‍රකාශය සැක සහිත තැන් බොහොමයි..මේ දේවල් කරද්දී හෘද සාක්ෂියක් තිබෙනවාද? තිබුනා වුවත් මේ සිදුවන සිදුවීම් සමඟ එය දෙදරනවාද කියා..

    කොහොම වුනත් මේ කතිකාවත බෙදා ගත්තාට තුති අරුණි..

  5. Observer said, on මාර්තු 22, 2012 at 6:16 පෙ.ව.

    කියෙව්වා, සරත් අනුර ටත් ෆෝවඩ් කළා

  6. dawkinssdodo said, on මාර්තු 22, 2012 at 10:46 පෙ.ව.

    මට මතකයි මාඝාත බලන්න ගියා හඳගමගේ.
    මාඝාත කියල නීතියක් තිබුනලු අනුරාධපුර සමයේ.
    ඒකෙ තේරුම “මරන්න එපා” කියන එකලු!

  7. Uchitha said, on මාර්තු 23, 2012 at 11:26 පෙ.ව.

    Thank you for sharing this. One of the best for a long time.

  8. dharshana said, on මාර්තු 24, 2012 at 1:00 පෙ.ව.

    නිදහස කියන එකත් ඒ ඒ සංස්කෘතියේ අර්ථ දැක්වෙන්නේ ඒ ඒ ආකාරයට. නිදහස් දිනයේ සමරන්නේ ජාතික නිදහසක් මිස පුද්ගල නිදහසක් නොවේ. කොහොම වෙතත් ඒ ඒ සංස්කෘතිවලින් අන්‍ය සංස්කෘතිවලට සීමා දානවා. ඒ තම සංස්කෘතියේ ආරක්ෂාව පිණිස. ප්‍රංශයේ මුස්ලිම් කතුන්ට පර්දාව ඇදීමට තහනම් කෙරෙන්නේ ඒ පදනමින් (වාසනාවකට තාම අපේ රටේ එවැනි තත්වයක් නැහැ. මම ලගදී දැක්වා ඔස්ට්‍රේලියාවෙත් එවැනි නීති දමනවා කියලා තිබ්බා). මෙහිදී වැදගත් වන්නේ රටේ ප්‍රධාන සංස්කෘතිය මොකක්ද කියන එක. බටහිර රටක ප්‍රධාන වන්නේ ක්‍රිස්තියානි සංස්කෘතියයි. ඉස්ලාම් රටක ඉස්ලාම් සංස්කෘතියයි. ලංකාවේ නම් (නමට හෝ) බෞද්ධ සංස්කෘතියයි. ඒ ඒ රටේ ඇදුම් සහ ඇවතුම් පැවතුම් ගැන සීමා පැනවෙන්නේ එකී ප්‍රධාන සංස්කෘතියට සාපේක්ෂවයි. නමුත් මෙතුමා කියන්ඩ උත්සාහ කරන්නේ පමණක් අමුතු සීමා ඇති බවක්. නමුත් හැම රටේම මෙවැනි සීමා තිබෙනවා. ඒ ඒ සංස්කෘතිවල වෙනස තමයි එතැන තිබෙන්නේ.

    • arunishapiro said, on මාර්තු 24, 2012 at 9:30 පෙ.ව.

      dharshana,

      //නිදහස් දිනයේ සමරන්නේ ජාතික නිදහසක් මිස පුද්ගල නිදහසක් නොවේ.// පුද්ගලයෙක් නැත්නම් ජාතියක් තියනවා ද?

      • kevin perera said, on මාර්තු 25, 2012 at 12:26 පෙ.ව.

        No human race is superior; no religious faith is inferior. All collective judgments are wrong. Only racists make them – Elie Wiesel
        මා කුඩා කල අපේ පුංචි අම්මලා නැන්දලා උසස් පෙල හදාරන සමයේ බෞද්ධ සංස්කෘතිය කියා විෂයක් ඔවුන්ට තිබුනා මතකය.

        අරුණි අහන්නේ පුද්ගලයෙක් නැත්නම් ජාතියක් තියනවා ද?කියල. මං අහන්නේ ජාතියක් නැත්නම් රජෙක් ඉඳීවිද? ජාතියක් නැතිව පුද්ගලයෙක් ඉන්න පුලුවන් නමුත් ජාතියක් නැතිව රජෙක්ට පවතින්න බැහැ. පුද්ගලයෙක්ට රජයක් ඕන නැහැ ජාතියකට නේ රජයක් ඕන වෙන්නෙ. තමන්ගේ පැවැත්ම උදෙසා ජාතිය වැදගත් වන්නේ රජාට විතරයි පුද්ගලයාට ජාතියේ ඇති වැඩක් නැහැ.

  9. dharshana said, on මාර්තු 24, 2012 at 1:01 පෙ.ව.

    පූර්ණ නිදහස තිබෙනවා යැයි කියන ඕනෑම බටහිර රටක රැගුම් පාලක මණ්ඩල තිබෙනවා. ඒ ඇයි? තම සංස්කෘතියට තර්ජනයක් එල්ල විය හැකි දේ පාලනය කිරීමට මිසක් වෙන දේකට නොවේ

    • arunishapiro said, on මාර්තු 24, 2012 at 9:28 පෙ.ව.

      dharshana,

      ඇමෙරිකාවේ රැඟුම් පාලක මණ්ඩලය කොහේද තියෙන්නෙ කියලා හොයාගන්න බැරිවුනා. එය ඇත්තේ කොහේදැයි ඔබ දන්නවා ද?

      ඇමෙරිකාවේ 1901 සිට තහනම් වූ චිත්‍රපට ලැයිස්තුවක් මෙන්න. තහනම් වූ කාලයන්, තහනම් වූ නගර හා ඊට හේතු වගේ ම ඒවා නැවත දර්ශනයට අවසර ලැබි තොරතුරු එහි සඳහන්. ඇමෙරිකාව පුරා සම්පූර්ණයෙන් තහනම් වූ චිත්‍රපටියක් එතැන නැහැ.

      ලෝකයේ රටවල් වලින් ඒ ඒ රටවල තහනම් කරන චිත්‍රපට ලැයිස්තුවක් මෙතැනින් බලන්න.

      ඇමෙරිකාවේ සංස්කෘතියට තර්ජනයක් එල්ල කරන්න පුළුවන් මොන වගේ දෙයකින් ද හැබෑටම?!! කෙනෙකුට එහෙම යැයි හිතන්න පුළුවන් හැම අංශයකින් ම ඇමෙරිකන් අයෙක් විසින් ම හදපු නිර්මාණයක් දැනටමත් හොයාගන්න පහසුයි කියලා මම හිතන්නෙ.

  10. Indaka said, on මාර්තු 25, 2012 at 10:04 පෙ.ව.

    හුඟක් හොඳ ලිපියක් වගේම වැදගත් අදහස් කීපයක්. ගොඩක් ස්තුතිය් හඳගම මහතාට හා ඔබතුමියට මෙය පල කිරීම ගැන.

    බුද්දිමත් සමාජයේ ප්‍රගතිශීලී අදහස් දරන (පොදුවේ කියනවා නම් ශිෂ්ටත්වයේ සාපේක්ෂ උපරිමයක් කරා දැක්මක් ඇති , නිදහස් අදහස් ඇති ) මිනිසුන් සෑම විටම තමන් පෙනිසිටින්නවූ දැක්ම සඳහා නිරන්තර වෙහෙසවීමක් පෙන්නුම් කරති . ඒත් එම සමාජ උන්නතිය සඳහා වූ කාර්යාවලියේදී , ඇතැම් විට ඔවුන් තාත්වික බාවයෙන් ඔබ්බට යාමක් පෙන්නුම් කරය් . එමෙන්ම අනෙකාගේ නිදහස වෙනුවෙන් උත්තරීතර ලෙස පෙනීසිටින මිනිසුන් අමතක කරන දෙයනම් , නිවරදි පද්දතියක සාපේක්ෂ රාමුවකින් තොරව ධරණීය නිදහසක් අර්ථ නොදැක්වෙන බවය් ; එනම් ඇතිකරන්නාවූ පුතුල නිදහස මගින් ඇතිවන සමාජය තුල එම නිදහස නිර්ලජ්ජි ලෙස අවභාවිත කරන්නාවූ පරිසක් (lumpons or පාදඩයන්) විසින් නිදහස තුලින්ම අන්තවාදී හා ප්‍රතිගාමී සමාජයන් ඇති කරි . එනම් නිසි පද්දතියක (system) මෙහෙයුම් ක්‍රියාවලියකට (monitoring and control process) යටත් නොවී ජනතා නිදහසක් සමාජයක් තුල දිගුකාලීනව පැවතිය නොහෙක . තනි පුද්ගල නිදහසක් සඳහා මෙවන් සීමාවන් අර්ථ නොදැක්වෙන නමුදු , පුද්ගලයන් දෙදෙනෙකු ගේ සිට මිලියන ගණන් වූ සමාජයන් සඳහා සාපේක්ෂ සීමා කිරීම් ප්‍රයෝගිකව අවශ්‍යවේ. අප විසින් පටලව ගන්න කරුණාද එයය් . ඇමෙරිකාවේ තනි ඉර හෝ ඉරි දෙක කපමින් අනතුරුදායක ලෙස වාහන drive කරන්නන් කෙටි කලක් තුල නීතිමය ක්‍රියාදාමයකට යටත් කරා පොදු සමාජයට නීතිය හා යහපාලනය සඳහා වූ දනාත්මක ඉන්ගියන් (signals ) සපයන අතර එය කාගෙවත් නිදහස සීමාවීමක් ලෙස කිසිවෙකු නොදකී . එවන් වූ පද්දතියක් තුල කාලයත් සමග පොදුවේ මිනිසුන් තුල සංස්කෘතීන් හා උපසංස්කෘතීන් බිහිවන අතර ඒවා නීතිය හා සාමය සඳහාම ඉවහල්වන ලාක්ෂණික මිසක් කිසිවිටෙක පවතින්නාවූ පද්දතියට විරුද්ද නොවේ.අම්පාරේ ඉන්ටර්නෙට් කැෆේ එකකට ගිය මුස්ලිම් ගැහැණු ළමයින් දෙදෙනාගේ ජීවත්වීමේ නිදහස සඳහා අධිකරණයට මැදිහත් වීමට සිදුවූ අතර, එසේ නොවුනේ නම් ආගමික ඇදහීමේ නාමයෙන් මිනිස් ජීවිත දෙකක් විනාශ කිරීමට නිදහස ලබා දෙන්නෙමු; ඔව් එහෙත් එය ඇතැමෙකුට පිරිසකගේ ආගමක් ඇදහීමේ නිදහසට බාදා කිරීමක් ලෙස දැකිය හැක; අවසන් ප්රකතිපලය නම්, වියුහගත පාලනයකින් තොර නිදහස තුලින්ම අන්තවාදයට සමාජය තල්ලු කිරීමය. මෙවන් වූ දහස් ගණන් අනතවාදී ආගමික පීඩිතයන් ගෙන අපි කතා නොකරන්නෙමු (එය ආගමික නිදසට බාධා කිරීමකි!). නුගේගොඩදී ගුටිකා බුලත් කෙල ප්‍රහාරයකට ලක්වූ නීතිවේදියා ගේ සිදුවීම පද්දතියක කඩාවැටීම නිසා අන්තවාදයේ ආරම්භක අවස්ථාය.

    ප්‍රංශයේ පර්දාව තහනම් කරමින් නීතිය පැනවුයේ ආරම්භික වශයෙන් පද්දතිය අවබාවිත කරන්නවුන්ට ඉඟියක් ලබාදීමටය . එමෙන්ම ප්‍රංශයේ නිතර දැකිය හැකි දෙයක් නම් 3 දෙන බැගින් ආයුද සන්නද්ද සොල්දාදුවන් සිවිල් ජනයාගේ ඇඟේ හැපෙන නොහැපෙන මට්ටමින් පාරවල් තුල දිවා රාත්‍රී සැරිසරය් . එය අපගේ දැක්ම අනුව තැතිගන්වන සුළුය , පුද්ගල නිදහසට හා නිවහල් සිතිවිලි වලට බාධා කරය් ; නමුත් පොදු බහුතරය අන්තවාදී අවභාවිතයන්ගෙන් රැක ගැනීම සඳහා සියල්ලෝම ඒවා ඉවසා සිටිති. ඊට වඩා වෙනස් දැක්මක් ඇති UK සමාජය තුල police නිලදාරීන් pistol එකක් වත් පාරේ ගෙනියන්නේ නැත. ඊට සහයකයක් ලෙස UK සමාජයතුළ police හා ආරක්ෂණ සේවා තමන්ගේම ප්රිසේ (community) කොටසක් ලෙස සලකමින් අනතුරු පිලිබඳ නිරන්තර අවදියෙන් සිටීමක් දැකිය හැක: අවසන් ප්‍රතිපලය = පොදු බහුතර සමාජයේ නිදහස හා සාමයය්. එක එක රටවල් ඒවා ඇති කරගන්න ආකාරයන් වෙනස් අතර සාපේක්ෂ නිදහස සීමා වීම් හෝ සීමා නොවීම් දැකිය හැක.

    යුරෝපීය රටවල් ආගම සඳහා වූ සත්ව ඝාතන තහනම් කරමින් නීති ගෙන එමින් මානව ශිස්ටචාරයේ නීතිමය පද්ධතියක් තුල උපරිම දැක්මක් ලබා දේ. නමුත් කාලි මෑණියන්ට සතෙකු මරා දරුවෙකු ලබාගැනීමේ අහිංසක අයිතිය යන icing තැවරු විට එය ආගමික නිදහස සීමා කිරීමකි. පරිභෝජනවාදී ආරථික ක්‍රමයක් තුල සිරවී ඇති චින්තකයන් තමන්ගේ පැවැත්ම සඳහා නිදහස හා අයතීන් මිනිසුන්ට පමණක් අය්තිදෙයක් ලෙස දකින අතර එම නිදහස අනෙකුත් ජීවින්ටත් ලැබිය යුතු බවක් නොපෙන්වයි. හරක් මස් kilo එකක් සැදීමට ධාන්‍ය kilo 6k වැය වෙන බවත් එබැවින් එය අසාර්ථක බවත් පවසන නුතන විද්‍යාව “Stem Cells ” මගින් කෘතීම මස් නිපදවීමේ පර්යේෂණ සාර්ථක ලෙස සිදුකරයි. එවන් වූ විප්ලවකාරී නිදහස් දැක්මක් ඇති නුතන විද්‍යාව තුලින් බොහොමයක් ගැටළු සඳහා විසදුම් ලබා දෙමින් “test tube ” තුලින් දරුවන් ඇතිකරමින් අපගේ ප්‍රශ්න විසඳන විට, හුදෙක් මිත්‍යා විශවාස කරපින්නාගෙන යන ආගමික , සංස්කෘතික හෝ වාර්ගික අමන ක්‍රියාවන් හි නුතන සමාජයට නොගැලපීම ප්‍රශ්න නොකරමින් අපි ඒවා හුදෙක් මිනිසුන්ගේ අයිතීන් ලෙස දකින්නෙමු. මෙවන් වූ විසංවාදී සිරවීමක් තුල අපට කිසිදිනෙක ප්‍රාථමික ගෝත්‍රික ආශාවන්ගෙන් මිදුණු සමාජයන් දැකිය නොහැකිවාක් මෙන්ම , හඳගම , ඔබ , අපි වෙනි තවත් පරම්පරා ගණනකට ඉදිරියටත් මෙවැනි අදහස් කීමට ඉතුරු කරන්නෙමු!

    P.S. කාර්මික විප්ලවය හා ආර්ථික නිදහස තුලින් බටහිර සමාජයන් නිදහස් චින්තනයට අවශ්‍ය මුලික යටිතල පහසුකම් සපයා දුන් අතර එහි අතුරු පලයක් ලෙස අතු පතර විහිදීගිය මහා වෘක්ෂයක් වූ නුතන දැනුම හා නිදහස් චින්තනය බිහිවිය. එහි ප්‍රතිලාභ විඳිමින් එවන් වූ සමාජයක් කරා ශ්‍රී ලාංකිකයන් ගෙනියන්නට වෙර දරන අපි කිසි දිනෙක ලංකාවේ සමාජයේ අති බහුතර පිරිස වෙලාගෙන ඇතී ඌන යතිතල පහසුකම් හෝ සංවර්ධනයේ ප්‍රතිලාභ ගෙන කතා නොකරන්නෙමු. මහබැංකුවේ 64 වෙනි නිදහස් දෙසුමේදී % කීයක් අද අන්තර්ජාලය බවිත කරන්නේද, දැනුම පැතිරවීම හා නිදහස් චින්තනය වර්දනයට මහබැංකුව ප්‍රමුඛ ප්‍රතිපත්ති සම්පාදකයන් ගත් සාධනීය පියවරයන් ගැන අපි ප්‍රශ්න නොකරන්නෙමු. මෙම දෙසුමට පෙරත් ඉන් පසුත් කිසිදු වෙනසක් නැතුව පරිගණකයක් අතින් අල්ලවත් නැති ලාංකීය පාසල් සිසුන් ඔවුන්ගේ පරිසරයට ඔවුන්ව ළිං මැඩියන් සේ දක්කාගෙන යාමට ඉඩදෙමින් තම ඉදිරි ජීවිත සකස් කරගන්නා අතර , හරවත් දෙසුමක් හඳගමගෙන් අසා ඇතිවූ ස්වයං වින්දනයත් (happiness) සහිතව මහබැංකු සේවකයන් (ඉහල සිට පහලට) නැවතත් තමන්ගේ එදාවේල පිරිමහගනීමේ ආකල්පයන්ට පනදෙමින් ජීවත්වෙනවා ඇත. විනිමය අනුපාත පාලනය කෙරීමට 1 billion $ විනාස කල කබ්රාල් මහතාගෙන් ඒගැන නොඅසන අපි, ඒ මුදලින් ලංකාවේ ජන සමාජයේ නිදහස් දැක්ම වැඩිදියුණු කිරීමට කලහැකිව තිබු දේ ගෙන සතුටින් අමතක කරන අතර, තවත් හරවත් ලෙස එවන්වූ අමන ක්‍රියාවන් කිරීමට ඔවුන්ට නිදහස (comfort zone) සපයන්නෙමු.

    නිදහස ඇත්තෙන්ම අපුරුය !

    • kevin perera said, on මාර්තු 25, 2012 at 6:11 ප.ව.

      @ Indaka
      මගේ මතය තමයි කරුණු කියල දැනුවත් කරල මිනිස්සු වෙනස් කරන්න බැහැ. හඳගම , ඔබ , අපි පරම්පරා ගණනක් කිව්වත් ඔච්චර තමයි. ගෝත්‍රිකයන් මිත්‍යා දෘෂ්ඨිකයන් වඳවී හැලී යන ආර්ථික ක්‍රමයක් අපි ක්‍රියාත්මක කල යුතුයි.
      // හුදෙක් මිත්‍යා විශවාස කරපින්නාගෙන යන ආගමික , සංස්කෘතික හෝ වාර්ගික අමන ක්‍රියාවන්//
      // ප්‍රාථමික ගෝත්‍රික ආශාවන්//
      ඉන්දික කියන්නේ මේවා වෙනස් කරන්න ඕන නීතිය සහ බලය යොදාගෙනද?
      මං කියන්නේ සාමූහික ගෝත්‍රික සංකල්ප පද්ධති සහ සාමූහික ගෝත්‍රික විනිශ්චයන් වෙනුවට පුද්ගලික නිදහස පදනම කරගත් සමාජ ජය ගන්නා, තලේබාන් සමාජ ලොවින් තුරන් වී යාම ඉක්මන් කරන නිදහස් ආර්ථික ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමයි කල යුත්තේ.

  11. කසුන් දීප්ත said, on මාර්තු 25, 2012 at 3:19 ප.ව.

    දේශප්‍රේමය සහ මනුෂ්‍යත්වය

    ” “දේශප්‍රේමය අපගේ අවසාන අධ්‍යාත්මික නවාතැන්පොල විය යුතු නැහැ. මගේ නවාතැන්පොල වන්නේ උත්තරීතර මනුෂ්‍යත්වයයි. දියමන්ති මිලට මං වීදුරු මිල දී ගන්නෙ නැහැ. ඒ වගේ ම, මං ජීවතුන් අතර සිටින තුරු දේශප්‍රේමය ට මනුෂ්‍යත්වය යටකරන්නට ඉඩ තියෙන්නේ නැහැ” කියා තාගෝර් වරක් පැවසුවා. ” –
    අපේ රටේ මේ දේ තේරුම් ගන්න පුළුවන් කී දෙනෙක් ඉන්නවද කියල හිතෙනකොට දුකත් හිතෙනව. සාහිත්‍යයට පුළුවන් මේ දේ තේරුම් ගන්නෙ කොහොමද කියල මිනිස්සුන්ට පෙන්වන්න. ඒත්, මෙහි ද සඳහන් පරිදි, රසිකත්වය පිළිබඳ ගැටලුව එනව..

    මාක්ස්, ලෙනින් වගේ අයගෙත් අදහස් මේ හා සමානයි වගේ පේනව. “දේශප්‍රේමය සහ මනුෂ්‍යත්වය” වචන දෙක එකට ඇහෙද්දි මට මතක් වෙන්නෙම ගුනසේන විතාන ශූරීන් ව. ඒ වචන දෙක හඳගමගෙ හඬිනුත් ඇහුව නම් තව අදහස් ටිකක් මට ගන්න තිබුණා. හඳගම ඉස්සරහ පු‍ටුවක මාත් දේශනය අහන්න ඉඳගෙන හිටිය නම් හොඳයි. ආසයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ උත්සවයේ දී මේක අහගෙන හිටපු අයගෙන් සෑහෙන තරම් පිරිසක් වත්, ඒ වචන තෙරුම් ගන්න උත්සාහ කළා ද කියන එක තමා වැදගත්.

    මෙම ලිපිය රස ය. ස්තූතියි. දේශනය ඊටත් වඩා රස විය යුතු ය.

  12. Shanthi Chandrasekera said, on මාර්තු 29, 2012 at 6:23 ප.ව.

    Deshapremya kiyanne wairaya pathiraweemai e wenuwata manussakama pathiraweema uthum deyaki. Ashoka handagama wani minisun thawa upadeewa kiya pathanawa. thanks Aruni oyata mewani lipiyak kiyawanna awasthawa labadunnata.

  13. Charmi said, on අප්‍රේල් 16, 2012 at 3:19 ප.ව.

    කාලෙකට පස්සෙ හිතට වදින යමක් කියවන්න දුන්නට ගොඩක් ස්තුතියි අරුණි

  14. sithuminir said, on අප්‍රේල් 19, 2012 at 2:13 පෙ.ව.

    A very good speach…. Thank you Aruni n Handaya…


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: