අරුණි ශපීරෝ‍ වෙතින්

වෙනත් වෙලාවක, වෙනත් තැනක ඇහැරුනොත්, ඔබට වෙනත් අයෙක් සේ ඇහෙරෙන්න පුළුවන් ද?

Posted in Uncategorized by arunishapiro on මාර්තු 22, 2012

පහත දමන්නේ ප්‍රංශයේ සෝර්බෝන් විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්නා, ජාත්‍යන්තර නීතිය සඳහා එම්. ඒ. උපාධියක් ඇති කමායා ජයතිස්ස ඉංග්‍රීසියෙන් ලියූ ලිපියක මා කළ පරිවර්තනයයි.

කමායා ජයතිස්සගේ පින්තූරයක් හොයා ගන්න බැරි වුනා. නැත්නම් ඒක දානවා මේ සටහන එක්ක.

***

එකිනෙකාට ගරු කරනා සංස්කෘතියකින් හා ඉවසීම මත ශ්‍රී ලාංකික අනන්‍යතාවයක් ගොඩනඟන්න -කමයා ජයතිස්ස

“ඔබ වෙනත් වෙලාවක, වෙනත් තැනක ඇහැරුනොත්, ඔබට වෙනත් අයෙක් සේ ඇහැරෙන්න පුළුවන් ද?” -Chuck Palahniuk

යුද්ධයෙන් පසුව ඇති ශ්‍රී ලාංකික අනන්‍යයතාවයක් යැයි මා හඳුන්වන්නට කැමති වූවක් ඇතැයි විශ්වාස කරනා අය ස්වල්පයකි. ඇත්තෙන්ම, අපි අතර වැඩියෙන් ඉන්නේ තමන්ව ඒ අයගේ ජාතියෙන්, සමහර අය ඒ අයගේ ආගමෙන්, ඔවුන් විශ්වාස කරන ඇදහිලි හා බලාපොරොත්තු වගේ ම සමහරු තමන් ඉපදුන රට අනුව තමන් හඳුන්වා ගන්නා අයයි. එහෙත්, පරිසිද්ධිය වන්නේ අප යම් කොටසකට හෝ තවත් කොටසකට පමණක් අයිති නොවීමය. අපි එකිනෙකාගෙන් වෙනස් වෙමු. එසේම අපි අප තුල ද යම් යම් විවිධත්වයන් පවත්වා ගෙන යමු. අපි හැමෝම අනේක වූ අනන්‍යතාවන් වලින් සුවිශේෂී ලෙසින් වූ එකතුවකින් හැදුණු අය වෙති. ඒවාට අයිති අපි හැමෝටම ඒවා එක හා සමානව වැදගත් වූ දෑ නොවේ. ඉතින් එහෙනම් කෙසේද අයෙක් මේ අනන්‍යතාවය නම් වූ විපාටප්‍රේණික මතිය නිර්වචනය කරනුයේ?

සමාජයීය පැත්තකින් ගත් කල අයෙකුට කියන්න පුළුවන් අනන්‍යතාවය යනු අපි කවුදැයි සහ අපිට කවුරු වෙන්න ද උවමනා යන්න නිර්වචනය කරන්නක් බව. අපි කොහෙන් එන්නේ ද අපි කොහාට ද යන්නේ යන්න ද නිර්වචනය කරන්නක් බවත්. නමුත්, අනන්‍යතාවය යනු අපිට උරුමයෙන් ලැබෙන්නක් හෝ අප තුල ස්වභාවයෙන් ම තියෙන්නක් නොවේ. එය අවිවාදිකව සියල්ලන්ගේම හවුලේ අගයන්, විශ්වාසයන් හෝ සැලකිල්ලට භාජනය වෙන කාරණයන් හි එකතුවක් නොකරයි. අයෙක් යම් අනන්‍යතාවයක් උරුම කරගන්නවා යැයි කීම -එය ශ්‍රී ලාංකික අනන්‍යතාවයක්, සිංහල හෝ ද්‍රවිඩ අනන්‍යතාවයක්, ඉස්ලාමීය හෝ ක්‍රිස්තියානි අනන්‍යතාවයක්- (අඩු වශයෙන් යම් දුරකට) සාවද්‍ය්‍යය.

අනන්‍යතාවය යනු අපි ගොඩනඟා ගත්, අපි ඒකීය පුද්ගලයන් හැටියට අපි වෙනුවෙන් ම ගොඩනඟා ගන්නා වූවකි. එය අනුන් අපිව දකිනා ආකාරයත් අපි අනුන්ව දකිනා ආකාරයත් අනුව වූවකි. ඒ නිසා අපේ අනන්‍යතාවයේ හැඩය සම්පූර්ණයෙන් ම අපේ ජීවිත කාලය තුල දී, (බොහොම දුරකට) අපි ජීවත්වෙන පරිසරය අනුව පරිනාමය වෙමින් පවතින්නකි.

අනන්‍යතාවයක් හඳුනාගන්නට දරන උත්සාහය අපි සැවොම අපගේ ජීවිතයේ යම් අවස්ථාවක දී අත්දකින්නෙමු. එක්කෝ ඒකීය පුද්ගලයන් වශයෙන් නැත්නම් ජාතියක් වශයෙන්. ඒකීය පුද්ගලයා හෝ කල්ලිය අනුව බහු (ශ්‍රී ලාංකික) අනන්‍යතාවයන් දකින්නට පුළුවන.

ඒ නිසා හැමට පොදු අනන්‍යතාවයක් නිර්වචනයට යන අවශ්‍යතාවයේ දී, අයෙක් අපේ සමාජයීය-ආර්ථික විවිධත්වයන් වගේ ම අපේ ආගමික, දේශපාලනික, සංස්කෘතික හා භූගෝලීය වූ සමානාත්මතාවයන් හා විෂමාත්වතාවයන් එකතු කර ගන්නේ නම් එයින් අවසානයේ දී අපිට බහුජාතික වූ ඉවසීම හා සහයෝගයෙන් ගොඩනැඟි ශක්තිමත් බවක් ලැබෙනු ඇත.

අද, උතුර හා නැඟෙනහිර යළි ගොඩනඟන්නට දරන දැවැන්ත උත්සාහය මැද්දේ රට මානසිකව තවමත් දෙකට බෙදී සිටිති. උතුර හා දකුණ අතර කැඩී යාම තවමත් ඇති අතර, එකතුවක් තවමත් දකින්නට නැත. ඉතින් සාමය නැත්නම් ශ්‍රී ලාංකික අනන්‍යතාවයක් ගොඩනඟන්නට හොඳ වෙන කුමන අරමුණක් ද?

යුද්ධයෙන් පසු දැක්ම අනුව, අපි කෙසේ ද “ශ්‍රී ලාංකේය” යන්න නිර්වචනය කරනුයේ? වඩා වැදගත්, අපි කෙසේද හැමෝම එකතු කළ හැකි, අපේ ඒකීය වූ පුද්ගලත්වයත් වගේ ම ජාතියත් යන විෂමයන් දෙකම අඩංගු වූ අනන්‍යතාවයක් ගොඩනඟන්නට යම් සමානාත්මතාවයක් සොයා ගන්නේ?

යුද්ධයෙන් පසු ශ්‍රී ලංකාව නොහොත් කෙසේද අප “යළි අනන්‍යතාවයක් ගොඩනඟන්නේ”?

අලෙවිකරණයේ දී, යම් නිෂ්පාදනයක් නැවත වෙළඳපොලට ඉදිරිපත් කරන්නට පෙර, ඒ හා ඇති ගැටළු මොනවා දැයි සොයා බලා ඒවා නිරාකරණය කළ යුතුය. මේ වෑයමේ දී වූ දෘශ්ටිය කුමක් ද? එය තවත් වසර 5 කින් 10 කින් බලාපොරොත්තු වෙන්නේ කුමක් ද? එසේම වඩා වැදගත්, කෙසේ ද මේ දෘශ්ටිය සාක්ෂාත් කරගන්නේ?

ශ්‍රී ලාංකික අන්‍යන්‍යතාවය නිෂ්පාදනයක් ලෙස සලකා ඉහළ දැක්වූ ක්‍රමවේදයට අනුචිත කරන්නට ගන්නා වෑයමක දී අයෙක් එවිට ලංකාවේ දෘශ්ටිය කුමක් දැයි ඇසිය යුතුය. අපි කුමක් කරන්නේ ද, ඒකීය පුද්ගලයන් වශයෙන් හෝ යුද්ධයෙන් පසු ජාතියක් වශයෙන් හෝ තව වසර කිහිපයකින් අපේක්ෂා කරන්නේ කුමක් ද? වැඩි වශයෙන් ම, පොදු අනන්‍යතාවයක් (එවැන්නක් ඇත්නම්) අපි කෙසේ ද එය ගොඩනඟන්නේ? මීට අපිට මානසික හා චර්යාත්මක වූ හැදියාවේ පදනම් වශයෙන් වූ වෙනසක් තරුණ පරම්පරාවට සාමූහිකව තමන්ගේ කියා අයිඩියලොජියක් ගොඩනඟා ගැනීමෙන්, පොදු අනන්‍යනතාවයක් තුලින් තමන්ගේ ම වූ විවිධත්වයක් දකින්නට ලැබීමෙන් රටේ පවත්වා ගත හැකි සාමයක් උදා කරගත හැකිය.

ඒත් කුමක් ද යුද්ධයෙන් පසු ශ්‍රී ලංකාව යන්නෙන් අදහස් වෙන්නේ? අද, ලාංකිකයෙක් යැයි කියා ගැනීම මීට දශක තුනකට පෙර දී ලාංකිකයෙක් යැයි කියා ගැනීමට වඩා සන්දර්භානුගතව වෙනස් ය, එය වසර දෙකකට පෙර යුද්ධය අවසන් වෙද්දී තමා ලාංකිකයෙක් යැයි කියා ගැනීමටත් සන්දර්භානුගතව වඩා වෙනස් ය. එය තවත් ශතවර්ෂ කාර්තුවකින් පසු තවත් වෙනස් විය හැකිය. කෙසේ වෙතත්, වර්තමාන යුද්ධයෙන් පසු තත්වය ගනිද්දී, (ශ්‍රී ලාංකික අනන්‍යන්‍යතාවය නැවත නිර්වචනය කිරීම අත්‍යාවශ්‍ය වූවක් පමණක් නොව එය සමාදානයට අත්‍යවශ්‍ය වූවක් වෙයි. අනන්‍යතාවය ගැන වූ ගැටළු කතාබහෙන් තොරව සමාදානයක්, සමානාත්මතාවයක් හෝ වෙනස් සැලකීම් ගැන කතා කිරීමට නොහැකිය.

මෙය විශේෂයෙන්ම සත්‍යය වනුයේ අපේ රට කාලයක් ගත වී ගිය සිවිල් යුද්ධයක්, එහි සංඝටකයන් අතර, රටවැසියන් අතර වූ යුද්ධයක්, නිමාකර ඇවිත් ඇතැයි යන සාධකය අප සැලකීමේ දී ය. අධ්‍යනයන් අද පෙන්වන්නේ, “වෙනත් සාධක නිසා නොව, ආගමික හා ජාතිවාදී වූ ඉවසීම් නොමැතිකම නිසාවෙන් පමණක් මේ ශතකයේ වැඩි ජනතාවකට දොම්නස ළඟා වී ඇත. ජාතිවාදී වූ අරගල නිසාවෙන් මිසක මෙතරම් කාලාන්තරයක් තිස්සේ අධික ලෙසින් අයිතීන් අහිමි වන්නට වෙනස් කිසිම සාධකයක් හේතු වී නැත. (The Right to a Culture of Tolerance, Report of the Advisory Commission, The Commonwealth Human Rights Initiative, chaired by Dr. Kamal Hossain, 1997, p.18)

යුද්ධයෙන් පසු ශ්‍රී ලංකාව කියා යමක් ඇත්නම්, අපි කතා කරනුයේ ජාතිය නම් වූ සංදර්භයෙන් ද, එසේ නම් ශ්‍රී ලාංකිකයෙක් යැයි කියනුයේ ශ්‍රී ලාංකික ජාතියට අයිතිවීමෙන් ද? එහෙත් නැවතත්, අපිට ශ්‍රී ලංකාව ‘එක’ ජාතියක් හැටියට ගත හැකිද? මේ ඊනියා ජාතිය රට ඇතුලත් රටින් පිටතත් කෑලි කෑලි වලට කැඩී ගොස් නැති ද? නැත්නම් ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂය නිර්වචනය කරන පරිදි, “අයෙක් හෝ පුද්ගලයෙක් හෝ යමක් යනු තීරණය කරන්නේ එහි ගතිලක්ෂණ” නම් එය අනන්‍යන්‍යතාවය ද? එසේනම්, අපි කතා කරනුයේ භූගෝලීය වශයෙන් ද, නැත්නම් ජනවාර්ගික ද? මට පෙනෙනා විදියට මේ මත දෙකම එක ප්‍රහේලිකාවක කැබලි වෙති; මෙහි දකින්නට නොමැති කැබැල්ල වනුයේ අත්‍යවශ්‍යම වූ මැද කෑල්ලයි, එනම් යුද්ධයෙන් පසු ශ්‍රී ලාංකිකයන් යැයි අපිව හඳුන්වන පොදු සාධකයයි.

අයෙක් තමන්ට ලැබෙනා මේ ‘නව’ අනන්‍යතාවයෙන් කුමක් කරන්නේ ද යන්නත් වටහා ගත යුතුයි. මෙවැනි මතයක පරමාර්ථය කුමක්දැයි නිර්වචනය ඉතා වැදගත්ය. අද යුද්ධයෙන් පසු ඇති වී තිබෙන එකතැන ඇණහිටීම විසඳාලන්නට අවශ්‍ය වන්නේ පොදු අනන්‍යතාවක් සොයා යෑම බව මගේ විශ්වාසයයි. අගයන්නට හැකි වුවද, තවමත් යුද්ධයෙන් පසු වෙහෙස වැඩියෙන් යොදා ඇත්තේ භෞතික වූ යටිතල පහසුකම් හා සංචාරක කටයුතු සඳහා ය. එහෙත් අනන්‍යතාවය ගොඩනැඟීම (ඊට වඩා වැඩි වැදගත්කමකින්) නැත්නම් ජාතිය ගොඩනැඟීමේ, සමඟිය, සාමය සහ චිරස්ථායීත්වය සඳහා වැදගත් විය යුතු වෙයි.

බහු-ජාතීත්වයට අත දීමෙන් සමඟිය සඳහා ප්‍රතිපත්ති

“රටක් තම ඒකීය වැසියාගේ හා කල්ලියේ බහුවිධි අනන්‍යතා හඳුනාගන්නවා ද එයින් පටු වර්ගවාදී මත දක්වන රටකට වඩා වැඩියෙන් දිගු කාලීන සාමය, චිරස්ථායීත්වය හා සංවර්ධනය උදා කර ගනියි.” (Ibid, p. 40)

රාජ්‍යයේ භූමිකාව අනන්‍යතාවයක් සම්බන්ධයෙන් ප්‍රධාන වෙන්නකි. කාලයාගේ ඇවෑමෙන්, ශ්‍රී ලංකාව උත්සාහ කරතත්, සාර්ථකව ජයගන්නට නොහැකි වී ඇත්තේ එහි විවිධත්වයන් එයටම ආවේණික වූ එක දියවෙන උණු හට්ටියකට එකතු කරගන්නට ය. මේ හට්ටිය ඉතාමත් කැඩෙන බිඳෙන සුළු වූවකි. ඉතින් කෙසේද රට තමන්ගේ අනන්‍යතාවය කැඩී බිඳී යෑමෙන් ගැලවෙන්නේ?

සාමය ගොඩනැඟීමේ ක්‍රියාවලියට නව අනන්‍යතාවයක් හදන රජය මඟින් මෙහෙයවන මහජන ප්‍රතිපත්ති අවශ්‍යය. එය සමාජීය-ආර්ථික වූ සංවර්ධනය වේගවත් කරන්නට උදව් දෙනවා පමණක් නොව ජාත්‍යන්තර සැලකිල්ලටත් එසේම “ශ්‍රී ලාංකිකත්වය” නම් වූව අවසානයේ පුරවැසියා තුල තහවුරු කරන්නටත් එය මනෝවිද්‍යාත්මක දැඩිසේ බලපානු ඇත.

මෙයට සමාජයේ සෑම වාර්ගික සහ ආගමික වූ කල්ලි අතර සමාජීය සමානාත්මතාවයක් වර්ධනය කිරීම අවශ්‍ය වෙයි. එය පටන් ගත යුත්තේ අධ්‍යාපන අංශයේ ප්‍රතිසංස්කරණ තුලිනි. විෂමතාවන්, සෑම සමාජයකම කොටසක් පැත්තකට දැමීමට යොදා ගන්නා අවිය, මුලින් ම අත්දකින්නේ පාසැලේ දී ය. කිසිම මහජන පාසැලක්, යම් ආගමක් තවත් ආගමක් අබිභවා වැදගත් යැයි කියන්නට වේදිකාවක් කරගත යුතු නොවේ. ඒ වෙනුවට, මානුෂීය අගයන් හා ආචාර ධාර්මික වූ සිද්ධාන්ත පහළ පංතිවල සිට දී ම කියා දෙන්නට අවධාරණය කළ යුතු වේ. මෙය UNESCO වැනි සංවිධාන වලින් අගය කරන සංකල්පයකි. මෙය එතැනින් රටටත් ගෙන යා හැකිය.

ගොඩනැඟිලි කොතරම් නිර්මාණශීලිත්වයෙන් අසාමාන්‍ය වූවත් ශ්‍රී ලාංකිකයන් අතර අභ්‍යන්තර සාමය ඇති කරලීමට සමත් නොවේ. ඒ වෙනුවට, අපිට අවශ්‍ය වන්නේ අපේ විවිධත්වය පිළිබිඹු කරන බහුවිධ-ජනවාර්ගික මහජන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරලීමය. උදාහරණයක් හැටියට භාෂාව අපේ එදිනෙදා ජීවිතයේ දී හෝ නැත්නම් රැකියාවක් ලබාගැනීමට එරෙහිවන සාධකයක් විය යුතු නොවේ. අපිට අපේ වැසියන් සමඟ, විශේෂයෙන් ම අපේ රටේ වැසියන් සමඟ කතාබහට නොහැකි නම්, එහෙම නම් අපි කෙසේ ද සමාජීය සමානාත්මතාවයක් ගැන කතා කරන්නේ?

අනාගමික (secularism) සංකල්පය මෙහි යම්තාක් දුරකට විසඳුම වෙතැයි වෝල්ටෙයර්, ඩිඩරෝ සහ මොන්ටෙස්කියු වැනි ප්‍රංශ අවලෝකන චින්තකයෝ එකඟ වෙන්නට ඉඩ ඇත. අපි, ශ්‍රී ලාංකිකයෝ වශයෙන් ආගම අදහන හැටි පෙන්වන්නට වැඩි වැදගත්කමක් දී ආගමේ ඇති අධ්‍යාත්මික පැත්තට නිසි අවධානයක් දී නැත. මෙය බුදුරජාණන්වහන්සේ ද අප තුල ස්ථාපනය කරන්නට උත්සාහයක් ගත්තකි: “සාමය එන්නේ ඇතුලෙනි. එය පිටතින් පමණක් සොයන්නට නොයන්න.”

වෙනස්කම් නිසා සහ ප්‍රතික්ෂේපය නිසා බොහෝ දුරට සුළු ජාතීන්ව ඔවුන් ජීවත්වන විශාල සමාජයෙන් මුළුගැන්වී තවත් පැත්තකට තල්ලු වී ඉච්ඡාභංගත්වයෙන් තෙරපනු ලබයි. එසේ පැත්තකට කිරීම නිසා අළුත් සේ ම අවිචාරී වූ අනන්‍යතාවයක් සොයා යන්නට උවමනාවක් ඔවුන් තුල ඇති කරයි. ඒ නිසා සුළු ජාතීන් මෙන් ම ඩයස්පෝරාව ද එකතු කර ගැනීම වඩා හොඳ ශ්‍රී ලංකාවක් ගොඩ නැඟීමට අත්‍යවශ්‍ය වෙයි.

*********

*****

පරිවර්තනය එතැනින් නිමාවෙයි.

පහුගිය දවසක ලංකාවේ නැඟිටිද්දී, ජපානයේ නැඟිටිද්දී හෝ අද ඇමෙරිකාවේ දී නැඟිටිද්දී මම ඇහැරුනේ මගේ ම වූ අනන්‍යතාවයෙන්. ඇමෙරිකාවට පය ගහද්දී සුපුරුදු පරිදි ඇමෙරිකන් ආගමන විගමන නිලධාරීන් “වෙල්කම් හෝම්” කියද්දී මගේ අනන්‍යතාවය එකිනෙකාට ගරු කරන සංස්කෘතියකින් හා ඇමෙරිකන් රජයට කැමති තරම් බනින්න ඉඩක් දීලා තියෙන ඉවසීම මත ගොඩනැඟි ඇමෙරිකන් අනන්‍යන්‍යතාවයට හිමිකම් කියන පුරවැසියෙක් යැයි කියා සිතට දැනුනේ දැඩි සතුටක්.

මිනිසා හිතන විදිය වෙනස් කරන්න පුළුවන් ද? නැත්නම් මිනිසා අතර කිහිප දෙනෙක් වෙනස් විදියකට හිතන්න කැමත්තක් තිබිච්ච නිසාම ඒ අය තමන් වටා නිතිපතා දකිනා විදිය නැතිව වෙනස් විදියකට හිතන අය සොයා යනවා ද?

කමයා ජයතිස්ස විසින් බහුවිධ-ජනවාර්ගික මහජන ප්‍රතිපත්ති රජය ප්‍රධානත්වයෙන් ගෙනැවිත් රටක් වෙනස් කරන්න පුළුවන් යැයි සිතුවත්, මගේ අදහස කොතරම් ප්‍රතිපත්ති ගෙනාවත් හිතන්නේ තමන්ගේ මොළයෙන් නිසා ඒක වෙනස් කරගන්න කැමැත්තක් පුද්ගලයා තුල යළි ඇති වෙන තුරා රටේ වෙනසක් ද සිදු නොවේවි!

වෙනත් වෙලාවක, වෙනත් තැනක ඇහැරුනොත්, ඔබට වෙනත් අයෙක් සේ ඇහෙරෙන්න පුළුවන් වෙන්නෙ වෙනත් අය සේ හිතලා බලන්නත් කැමැත්තක් ඇත්නම් විතරයි.

Advertisements

8 Responses

Subscribe to comments with RSS.

  1. kathandarakaraya said, on මාර්තු 22, 2012 at 8:28 පෙ.ව.

    ලංකාව නව මාවතකට ගෙනියන්න හොඳ අවස්ථාවක්…!!!

  2. buddie-බුඩී said, on මාර්තු 22, 2012 at 1:00 ප.ව.

    බූඩි නම් කැමති කොහේ හිටියත් එකම අනන්‍යයයතාවකින් ඉන්න. ඒ කියන්නේ එකම බ්‍රෑන්ඩ් එකකින්. අනන්‍යයයතාව කියන එකට බ්‍රෑන්ඩ් එක කියන එක හරියටම හරි නෑ.
    බූඩි හිතන්නේ මෙහෙමයි, ලංකාවේ කොච්චර ජාති හිටියත් ඒයගේ බ්‍රෑන්ඩ් එක වෙන්න ඕනේ ශ්‍රී ලංකන් කියන එක. එතකොට මේ ප්‍රශ්නේ ඉවරයි. නැතිව ලංකා සිංහලවත්, ලංකා දෙමලවත් කිය කියා ජාති බෙදා ගන්න එක නෙමේ. ජාතිය ශ්‍රී ලාංකික එච්චරයි. මේක අපි ඔක්කොගෙම රට. අනිත් අය හිතන විදිහට හිතන්න ඕනේ නැත්නම් කවදාවත් අනිත් අයව තේරුම් ගන්න හම්බෙන්නෙත් නෑ.

    • arunishapiro said, on මාර්තු 23, 2012 at 9:25 පෙ.ව.

      buddie-බුඩී,

      දන්නා කෙනෙක් මේ දවස්වල පී.එච්.ඩී. නිබන්ධනයක් ලියනවා, ද්‍රවිඩ අය අතර ඇති කුලමල භේදය සහ ලංකාවේ අවසන් වූ යුද්ධය ගැන වූවක්.

      පහුගිය දවසක තවත් දන්නා කෙනෙක් නුවර ගිහින් උඩරට පරම්පරා ගැන දේශනයක් කළා, උඩරැටියන් ද නොදන්නා ඔවුන්ගේ විස්තර.

      ඔය පුංචි රට ඇතුලේ ඇති වර්ගීකරණ කොයිතරම් ද? ඒවා දැනගැනීම සතුටක්. ඒත් තවමත් ඒවායෙන් බෙදී වෙන් වී සිටිනවා යැයි දැකීම දුකක්.

  3. චතුර විජේකෝන් said, on මාර්තු 22, 2012 at 3:54 ප.ව.

    අපි ඔක්කොම මිනිස්සු කියලා බ්‍රෑන්ඩ් කළොත් ඔයිට වැඩිය තාර්කිකයි කියලත් හිතෙනවා.. ජීවිතේ පළමු වතාවට අහපු වචන ගොඩාක් තිබුණා..

    Identity කියන අර්ථයෙන් ගත්තාම නං ඔය කියන බෙදීම කලාපීය ලක්ෂණ වලින් තමයි මූලිකව හැදෙන්නේ.. ඒත් පස්සෙ එකතු වෙච්ච විවිධ නිර්නායකත් එක්ක කණ්ඩායම් අනන්‍යතාවයක් ගොඩ නඟා ගන්න මනුස්සයා උත්සාහ කරලා තියෙන බව තමයි පේන්නේ.. ඉතිං ඕනෑ නං එක එක්කෙනාට වෙන වෙනම අනන්‍යතාවයක් තියෙනවයි කියලා තර්ක කරන්නත් පුළුවං.. හැබැයි ඔය හැමෝටම තමන්ගේ මුතුන් මිත්තන්ගෙන්, සංස්කෘතියෙන් උරුම වුණු දේවලුත් අඩුවක් නැතුව තියෙනවා කියන එක කියන්ටම ඕන..

    • arunishapiro said, on මාර්තු 23, 2012 at 9:27 පෙ.ව.

      චතුර විජේකෝන්,

      සංකීර්ණ සත්වයෙකි මිනිසා. ඔව්, සරල වෑයම හා සාර්ථක වෑයම වන්නේ ද ‘මිනිස්’ බව සැලකිල්ලට ගැනීම තමයි.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: