අරුණි ශපීරෝ‍ වෙතින්

උවමනාවන්ට එරෙහි වගකීම

Posted in Uncategorized by arunishapiro on මාර්තු 26, 2012

අයිතීන් (rights) ගැන බොහෝ විට ඇසෙන්නේ උවමනාවන් (needs) පිරිමැසීම සම්බන්ධයෙන් ය. එහෙත් අයිතියක් අයෙකුට ලැබෙන්නේ කෙසේ ද? යම් දැයකට උවමනාවක් ඇති පමණින් ඊට අයිතියක් ලැබෙනවා ද?

වැඩිදෙනාගේ චන්දයෙන් පාලනය වෙන රටක වැඩි පිරිසක් ඔවුනට “අයිතියක්” ඇතැයි කියා ගත් පමණින් ඒවා අනිත් අයගෙන් බලහත්කාරයෙන් ලැබීමට ඔවුන්ට “අයිතියක්” ඇත් ද?

මට යමක් උවමනා වූ පමණින් මට එයට අයිතියක් කියන්නට නොහැකි ය. එනම් යම් ජීවන රටාවක් මට උවමනා වූ පමණින් මට එය ලැබිය යුතු යැයි අයිතියක් කියන්නට නොහැකි ය. මම එය උපයා ගත යුතුය.

රිසි වූ දැයක්, කැමැත්තක්, උවමනාවක් යනාදියෙන් මට ලැබිය යුතු “අයිතියක්” කුමක් ද යන්න තීරණය වන්නේ කෙසේ ද?

වැඩිදෙනාගේ කැමැත්තෙන් අයිතීන් තීරණය වූ කල වගකීම පෑල දොරෙන් පලා යයි. එවිට කිසිවෙක් වගකීමක් නොගෙන හැමෝම අයිතීන් පමණක් ඉල්ලති. කොමියුනිස්ට් ලෝකය කඩා වැටුනේ මේ නිසා ය.

රුසියාවේ කොමියුනිස්ට් සහෝදරයන්ට විරෝධ වූවන් මරණයට ගොදුරු වුණි. සයිබීරියාවට යැවුණි. කොමියුනිස්ට් සහෝදරයන්ට කැමති වූ හා එරෙහි වූවත් කිසිත් නොකී පිරිසක් සමඟින් කරන ලද රටේ නිෂ්පාදනය පාලනයේ සිටි සහෝදරයන්ගේ කැමැත්ත අනුව බෙදා දැමුණි. අවසානයේ දී නිෂ්පාදනයේ වගකීම ගන්නට කිසිවෙක් නොවිණ. හැමෝම බෙදා දීමේ වගකීම පමණක් ගත්හ.

කොමියුනිස්ට් චීනයේ උගතුන් හා දැනුමක් තිබි අය මරා දමා, සිරගත කර, නගරවලින් පිටුවහල් කර දමන ලදි. ඒවාට කැමති වූවන් හා ඒවා ගැන කිසිවක් නොකී පිරිසක් සමඟින් කරන ලද රටේ නිෂ්පාදනය පාලනයේ සිටි වැඩිදෙනාගේ කැමැත්ත අනුව බෙදා දැමුණි. අවසානයේ දී නිෂ්පාදනයේ වගකීම ගන්නට කිසිවෙක් නොවිණ. හැමෝම බෙදා දීමේ වගකීම පමණක් ගත්හ.

යමක් ලැබීමට “අයිතියක්” තිබෙනා විට එය ලබාගන්නට වෑයමක් දැරීමේ උත්සාහය නොහොත් “වගකීම” යන්න නැති වී යයි.

කවුරුන් හෝ නිෂ්පාදනය නොකරන්නේ නම් බෙදා දෙන්නට ද දැයක් නැත.

වැඩිදෙනාගේ උවමනාවන් සැලකිල්ලට පාත්‍ර වන කල සුළු පිරිසකගේ උවමනාවන් නොතැකී යයි. කාලයෙන් කාලයට එක එක කර්මාන්ත, ගොවියන්, තාක්ෂණය හා පරිසරය යන ක්ෂේත්‍රයන්ගේ උවමනාව සැලකිල්ලට ලක් වෙද්දී අනිත් ක්ෂේත්‍ර වල උවමනාවන් නොතැකී යයි. ලෝකයේ කිසිම රජයකට සියළු ක්ෂේත්‍රයන්හි දියුණුව සලසන ක්‍රම වේදයක් සඳහා අවශ්‍ය තොරතුරු සියල්ලම සලකා බලන්නට නොහැකිය. ඒ ඒ ක්ෂේත්‍රයේ දියුණුව සලසන ක්‍රම වේදයන් වඩාත් ම හොඳින් දන්නේ ඒ ඒ ක්ෂේත්‍රයේ ඉන්නා අයයි.

එහෙත් මධ්‍යගත සැලසුම් වලින් ආර්ථිකය හසුරුවන්නට බැරි බව ඉතිහාසය යළි යළිත් පෙන්වා තිබිය දී ඒ උත්සාහයන් වල තවමත් ලෝක ආණ්ඩු නිරත වෙති. ආණ්ඩු සමඟ හැප්පී පාඩම් ඉගෙන ගත් ලෝක පුරවැසියන් ආණ්ඩුවලටම වගකීම බාර දී තමන් වගකීමෙන් ඉවත් වෙති.

වගකීම නිසා ලෝකය දුවන බව නොදකින, යමකට තමන්ට අයිතියක් ඇතැයි සිතනා අය, ඒවා නොලැබෙන විට තමන්ට අවැඩක් සිද්ධ වූවා, තමන්ව වංචා කළා, තමන්ට අසාධාරණයක් වූවා යැයි සිතන්නට ගනියි. එවිට තමන් විසින් අයිතියක් ඇතැයි සිතූ දැය නොලැබීමේ හේතුව ලෙස තවත් පුද්ගලයෙකුට, තවත් ජන කොටසකට, විදේශීය කුමන්ත්‍රණකරුවන්ට!!! දෝෂාරෝපණ එල්ල කිරීම හැදියාව වෙයි.

තමන්ට ලැබිය යුතු එහෙත් නොලැබුණ අයිතිය ලබා ගන්නට ඔහු විප්ලවයේ යෙදෙයි. ඉල්ලීම්, විරෝධතා, සටන් පෙලපාලි වලින් නැත්නම් බලහත්කාරයෙන් උදුරා ගන්නට ද පෙළඹේ.

අනුන්ව වෙනස් කිරීම දුෂ්කර වූ කාර්යයක් නිසා අවසානයේ එවැනි පිරිස් ඉච්ඡාභංගත්වයෙන්, පරාජයෙන්, අනුන්ගේ ඉත්තන් බවට පත් වී තවත් තමන් සතු බලය අඩු වී කරකියා ගන්නට නොහැකිව සිටිති.

සතුට සඳහා අවශ්‍ය වූ ධනාත්මක සිතුවිලි එවැන්නෙකු තුල නැත. කාලයාගේ ඇවෑමෙන් අනිත් අයට ඊර්ෂ්‍යා කරන, බලාපොරොත්තු සුන් වූ, හැම දැයක් ගැන ම මැසිවිලි කියන, විෂාදයෙන් පෙළෙන්නෙක් ලෙසින් එවැනි පුද්ගලයා කාලය ගෙවයි.

මිනිස් ස්වභාවය මෙසේ යැයි දත් ඇමෙරිකාවේ ආදී නිර්මාතෘවරු, ජනතාව විසින් ජනතාව පාලනය කරන ආණ්ඩුවක් ගෙනැවිත් අයිතීන් නිර්වචනය කළේ ඉතාමත් කෙටියෙනි, සවිස්තරාත්මකව ය, එසේම තර්කානුකූලව ය.

මූලික හා ප්‍රධාන ම වූ අයිතිය නම් පුද්ගලයාට තම ජීවිතයට ඇති අයිතියයි. එය තවකෙකු පැහැර ගන්නට යන්නේ නම් එයට එරෙහිව සටන් කළ හැකි අයිතියයි.

අයිතියක් යනු සද්ගුණ සිද්ධාන්තයකින් නිර්වචනය වෙන්නකි. සද්ගුණය ගැන දැනීමක් නැති යුගයක ලෝකයේ කිසිවෙකුගේ අයිතියක් ගැන කතාබහක් ද වූවා යැයි සිතන්නට බැරි ය!!!

සමාජයක ජීවත්වෙන මිනිසාගේ නිදහස් ක්‍රියාවක් සඳහා සෙසු සමාජයෙන් ලැබෙන අවසරය අයිතියකි.

ජීවත්වන්නා ජීවිතය රැක ගැනීමටත්, තමන්ගේ සතුට සොයා යන්නටත්, තමන් විසින් කරන කටයුතු වල දී අනිකාගේ අයිතිය කප්පාදු නොකරන්නේ නම් එහි දී සැමගේ අයිතීන් රැකේ. එසේ සැමගේ අයිතීන් රකින්නට නම් සමැගේ වගකීම් කුමක්දැයි දන්නා පිරිසක් අවශ්‍යය.

යම් දේපලකට අයිතියක් කියත හැකි හැකියාව, තමන්ගේ ජීවිතය රැක ගැනීමේ හා තමන්ගේ සතුට සොයා යන ගමනේ කොටසකි. නිෂ්පාදනයේ හෝ ඉපැයීමේ වගකීමෙන් සමාජයට දායක වන්නේ නම් පමණක් ඒ තැනැත්තාට දේපලකට අයිතියක් කියත හැකිය. එසේ නැතිව උපන් නිසා ජීවිතය හැරෙන්නට මේ මේ දෑ වලට අයිතියක් ඇතැයි කියන්නට යෑමෙන් යමක් ලබාගන්නට, එය තබාගන්නට, එය පරිහරණයට හා එහි අයිතිය අත්හැර දමන්නට යන අවස්ථා සියල්ලේ දී ම එකෙකුගේ අයිතියක් හා තවකෙකුගේ අයිතියක් අතර ඇතිවෙන ඝට්ටනයේ දී යුක්තිය හා සාධාරණය ඉටු කරන විසඳුමක් නොලැබේ.

Advertisements

9 Responses

Subscribe to comments with RSS.

  1. kavikaari said, on මාර්තු 26, 2012 at 7:04 පෙ.ව.

    වැඩිදෙනාගේ කැමැත්තෙන්??රටේ වැඩි දෙනා බුද්ධිමතුන් නම් කම් නැත.

    • arunishapiro said, on මාර්තු 27, 2012 at 7:03 පෙ.ව.

      kavikaari,

      බුද්ධිමතුන් කවුදැයි නිර්ණය කරන එක කොච්චර අසීරු ද? එයට සමත් විජට්ටුවක් නැති නිසා නංගි වැඩිදෙනාගෙ කැමැත්ත තමයි ඉතිරිව තියෙනා එකම මාර්ගය වෙන්නෙ. වැඩිදෙනා හරිමඟට ගෙන ඒම බුද්ධිමතුන්ගේ ම වෑයම වෙන්න ඕනා. නැත්නම් අන්තිමට හැමෝම බංකොළොත්. හැමෝම විනාශයි.

  2. W.A. Wijewardena said, on මාර්තු 26, 2012 at 8:15 පෙ.ව.

    Property rights is one of the important rights of an individual to be guaranteed by the state, if that nation wishes to grow into prosperity. That is because people do not have incentive to develop common property, but to use them if another has developed the same. Aruni has very smartly brought this vision to our attention. Good work.

    • arunishapiro said, on මාර්තු 27, 2012 at 7:13 පෙ.ව.

      W.A. Wijewardena,

      දිනෙන් දින අහිමි වන දේපල අයිතිය ඇමෙරිකාවේ සිද්ධ වේ යැයි කවදා සිතුවක් ද!!!! අද මෙහෙත් එන්නේ තව තවත් දේපල අයිතිය අහිමි කරමින් රටගොඩනඟනවා යැයි කියන පිළිවෙත්. ඒවායෙන් රටත් වැසියාත් දෙකම දුප්පත් නෙමෙයි බංකොළොත්ම වෙන බව වැඩිජනතාව දකිනා වේගය කොතරම් වැඩිවේවිද යන්න මත අනාගතය කොතරම් අඳුරු ද දීප්තිමත් ද යන්නත් තීරණය වේවි.

  3. Hiranya said, on මාර්තු 26, 2012 at 10:10 පෙ.ව.

    ආයුබෝවන් අරුණි,

    //තමන්ට ලැබිය යුතු එහෙත් නොලැබුණ අයිතිය ලබා ගන්නට ඔහු විප්ලවයේ යෙදෙයි. ඉල්ලීම්, විරෝධතා, සටන් පෙලපාලි වලින් නැත්නම් බලහත්කාරයෙන් උදුරා ගන්නට ද පෙළඹේ.//

    ඔබ අදහස් කළේ මෙලෙස අයිතීන් ඉල්ලා සිටීම ඵල රහිත බවද? කිසිවෙක් අසාධාරණයට ලක්වුවන් වෙනුවෙන් මෙලෙස හඬ නැගීම වගකීමක් ලෙස තකනවා නම්? ‘වගකීම’ යන්නටත් නිර්වචයක් හෝ පැහැදිලිව දැක්විය හැකි ආකාරයක් තියනවද?

    • arunishapiro said, on මාර්තු 27, 2012 at 7:19 පෙ.ව.

      Hiranya,

      ආයුබෝවන් Hiranya!

      නැහැ, කිසිසේත්ම අයිතීන් ඉල්ලා සිටීම ඵල රහිත නැහැ. ඉල්ලීම්, විරෝධතා, සටන් පෙලපාලි වලින් ලබා ගැනීමත් වගකීමක් ගැනීමක් තමයි.

      වගකීම යන්න මා අර්ථ දැක්වුවේ තමන්ගේ උන්නතිය සඳහා තමන් විසින් යමක් කිරීම ලෙසයි.

  4. praveena said, on මාර්තු 26, 2012 at 6:40 ප.ව.

    //යමක් ලැබීමට “අයිතියක්” තිබෙනා විට එය ලබාගන්නට වෑයමක් දැරීමේ උත්සාහය නොහොත් “වගකීම” යන්න නැති වී යයි.//

    යමක් කිරීමට ලබා ගැනීමට දරනා උත්සාහය වගකීමද? මම හිතුවේ ‘වගකීමක්’ යනු අපෙන් අනිවාර්යයෙන් ඉටු විය යුතු දෙයක් බවයි.

    • praveena said, on මාර්තු 26, 2012 at 10:21 ප.ව.

      උදාහරණ: දෙමව්පියන්ගේ වගකීම ලමුන් වෙනුවෙන් ඉටු කලයුතු දේවල් කිරීම.
      ළමුන්ගේ වගකීම බැරි කාලවලදී දෙමව්පියන් බලාගැනීම

      මම තේරුම අරන් තියන හැටි හරිද මන්දා…?

      • arunishapiro said, on මාර්තු 27, 2012 at 7:45 පෙ.ව.

        praveena,

        යමක් ලබාගැනීමට දරණ උත්සාහය වගකීමක් හැටියට සැලකෙනවා. අපේ පැවැත්ම වෙනුවෙන් යමක් කිරීම අපෙන් අනිවාර්යයෙන් ඉටුවිය යුත්තක් නේද?

        එහෙම බලද්දී …. දෙමව්පියෝ වෙත දරුවන්ගේ වගකීම රඳවන්න බැහැ. මොකද කිසිම කෙනෙකුට තවත් කෙනෙකුගේ උන්නතිය සලසන්න බැරි නිසා. “කළ යුතු දේවල් කිරීම” මොනවා ද? ධනවත් හා දුප්පත් දෙමාපියන් අතරින් සිද්ධ වන්නේ වෙනස් වූ කළ යුතු දේවල් ද? උගත් හා නූගත් දෙමාපියන් අතින් සිද්ධ වන්නේ වෙනස් වූ කළ යුතු දේවල් ද? එතකොට “තමනට හැකි පමණින්” යන්න කොච්චරක් දැයි තීරණය කරන්නේ කවුරුන් ද?

        දරුවන් තමන්ගේ ‘වගකීම’ ලෙස සැලකීම ආචාර ධාර්මික, සදාචාරාත්මක වූ ගුණයක්. මිනිසා ශිෂ්ඨාචාර වීම නිසා ඇති වූවක්. ඒත් ඒ නිසාවෙන් දෙමාපියන්ගේ වගකීම ළමුන් වෙනුවෙන් ඉටු කළ යුතු දේවල් කිරීම යන්න හරියට රජයක වගකීම එහි පුරවැසියන් වෙනුවෙන් ඉටු කළ යුතු දේවල් කිරීම වැනි “ලස්සන” ඒත් “ඵලක් නැති” කතාවක් බවට පත්වෙනවා.

        ස්වභාවික නීතියේ වගකීමක් ස්වභාවයෙන්ම ඇත්තේ තමන්ට තමන් ගැන පමණයි. අනුන් ගැන වගකීමක් ගැනීම තම කැමැත්ත හා ඕනෑකම අනුව සිද්ධ වෙන්නක්. තෝමස් හොබ්ස් කියවන්න වෙනවා. අපි සමාජයක ජීවත්වෙන නිසා, ශිෂ්ඨාචාර වූ නිසා, ගිවිසුම් වලට එළඹෙන නිසා අපි අනිත් අයගේ අයිතියට ද ගරු කරන්න, හිස නමන්න සිද්ධ වෙනවා. ඒකත් ස්වභාවික නීතියක්. එහෙම කියන්නෙ ජෝන් ලොක්. මේ දෙක අතර ඝට්ටනයෙන් අපේ කැමැත්ත මත තීරණය වෙන ලෝකයක් තමයි සාර්ථක වෙන්නෙ.

        නමුත් දෙමාපියෙක්, වෙනත් අයෙක්, වෙනත් සංවිධානයක්, රජයක් විසින් අපි වෙනුවෙන් තීරණය කරන්න යෑම නිසා අපි විසින් තීරණ ගන්නා වගකීම අත්හැර දමා අනුන් කියන දේවල් කරමින් සිටීමෙන් ලෝකය සාර්ථක වෙන්නෙ නැහැ.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: