අරුණි ශපීරෝ‍ වෙතින්

මරියානා අගලට දාපු කුකුල් කුණ

Posted in Uncategorized by arunishapiro on අප්‍රේල් 2, 2012

හඳට ගිහින් ඇති සංඛ්‍යාව 12 ක් දෙනෙක් යැයි සැලකේ. එහෙත් ලෝකයේ මුහුදු පත්ලේ ගැඹුරුම තැනට ගිහින් ඇත්තේ පුද්ගලයෝ තිදෙනෙකි. Don Walsh සහ Jacques Piccard දෙදෙනා එතරම් පතුලකට ගියේ 1960 දී ය. 2012 මාර්තු 26 වැනිදා එහි පතුලට බැස්සේ “ඇවතාර්” චිත්‍රපටය නිර්මාණය කළ James Cameron තනිවම ය.

අඩි 35,576 ක් යැයි කියන්නේ ජෙට් යානාවක් යන ඉහළකි. සැතපුම් 7 කට පමණ කිට්ටු යැයි කියන්නේ මවුන්ට් එවරස්ට් තරම් ඉහළකි. 2010 වසරේ හොලිවුඩ් චිත්‍රපට වලින් වැඩිම ආදායමක් ලැබූ අය වූයේ ජේම්ස් කැමරන් ය. කුමක් වෙන්නේ දැයි සිතන්නට ඉඩක් නොදෙන තරම් ක්ෂණයකින් මරණය කරා යා හැකි වූ, ඒ තරම් මුහුද පතුලකට ගිහින් බලන්නට රුදාවක් ඇත්තේ ලෝකයේ සුළු පිරිසකට වීම අරුමයක් නොවේ. එයට නිර්මාණශීලී ධනකුවේරයෙක් ඉදිරිපත් වීම තවත් මිනිස් ස්වභාවයේ ඇති අපූර්වත්වය කියා පාන්නකි. මිනිසා තුල වූ දැවෙන කුතුහලයෙන් අසීරූ කාර්යයන් සාක්ෂාත් කරන්නට පුරෝගාමීන් වීමට ඉදිරියට එන්නේ ලොව ස්වල්පයක් බව පෙන්වන්නකි.

ඔහු පතුලට ගිහින් ට්විටර් පණිවුඩයක් ලෝකයට යවයි: “මේ දැන් ආවේ මුහුදේ ගැඹුරුම තැනට. බිංදුවට ම බැසීම මේතරම් හොඳ යැයි දැනුනේ නැහැ කිසිදාක. මම දකින දේවල් ඔයාලත් එක්ක බෙදාගන්න ඉවසුම් නැහැ.” (“Just arrived at the ocean’s deepest pt. Hitting bottom never felt so good. Can’t wait to share what I’m seeing w/ you.”)

මරියානා අගලට දාපු කුකුල් කුණ කටු පමණක් ඉතිරි කර කා දමා ගිය අඟලකට වඩා දිග නොවූ කබලු මත්ස්‍ය්‍යන් (ඉස්සන්, පොකිරිස්සන් වැනි) එහි පත්ලේ දී දැක ගන්නට ජේම්ස් කැමරන්ට හැකිවුණි.

හඳ ගමන් වලින් දියුණු වූ තාක්ෂණයෙන් අදටත් මිනිස් ජීවිතයේ උන්නතිය සලසන දෑ බිහිවෙද්දී, මේ මුහුදු පත්ලේ ගවේෂණ වලින් හෙට දිනයේ කුමක් බිහිවේද?

ලෝක ජනගහණයෙන් සියයට විස්සක් ලෝකයේ සම්පත් වලින් සියයට 70-80 ක ප්‍රමාණයක් පරිහරණය කරනවා යැයි අවලාද ඇසේ. ලෝකයේ ඇති ආහාර පිණිස නිපදවන මස් වලින් සියයට 45 ක් කන්නේ සියයට විස්සක ජනතාවක් බව අවලාද ඇසේ. සියයට විස්සක් විසින් විදුලි බලයෙන් සියයට 80 ක් පාවිච්චි කරනවා යැයි ඇසේ. සියයට විස්සකට ලෝකයේ ඇති මෝටර් රථ වලින් සියයට 87 කට අයිතිය කියනවා යැයි ද ඇසේ.

පෘතුවියේ වාසය කරනා වැසියන්ට පෘතුවිය බෙදා දී ඇත්තේ සාධාරණ වූ ක්‍රමයකට ද? කවුද? එහෙම බෙදා දීමක් පටන් ගත්තේ කවදා ද? ආක්ටික් පෙදෙස්වල (ස්වීඩන්, ඩෙන්මාර්ක්, නොර්වේ, ඇලස්කා, අයිස්ලන්තය, කැනඩාව, රුසියාව යනාදී) ජීවත්වන්න යැයි එහි ජීවත්වන අයට කවුරු හරි කිව්වා ද? තවත් අයට පෙන්සිල්වේනියාවේ ජීවත් වෙන්නට හෝ සවුදි අරාබියේ ජීවත්වෙන්නට යැයි කවුද කීවේ? හැමදාම ඉර අව්ව පායා බැස යන හැම ගහක් කොළයක් ම ඖෂධයක් හෝ ආහාර වලට ගත හැකි රටක ජීවත් වෙන්නට යැයි එහි පුරවැසියන්ට කවුද කීවේ?

තමන් ජීවත්වන රටේ ස්වභාවික සම්පත් වල අයිතිය තමන්ටත් තවත් රටක ස්වභාවික සම්පත් වල අයිතිය ඔවුන්ටත් යැයි සම්මතය වෙයි. ඒවා තිබි පමණින් ප්‍රයෝජනවත් නැත. ඒවා මිනිස් උවමනා සපුරාලන්නට වැඩි දියුණු කළ යුතු වේ. එනම් මිනිස් ඥානයක් සම්පත් වලට එකතු විය යුතුයි. එවිට සම්පත් පවතින නිසා නොව, වැඩි දියුණු කිරීමෙන් පසු ගණුදෙනු වලින් අනුන් හා බෙදා ගැනීම ගැන පමණක දී සාධාරණත්වය ගැන කතාබහ කළ හැකි වෙයි.

කැනේඩියානු ජේම්ස් කැමරන් ඇමෙරිකාවේ හොලිවුඩ් චිත්‍රපටි වලින් වැඩියෙන් ම ආදායමක් ලබන්නා වූයේ රටක ස්වභාවික සම්පත් වලට හිමිකම් කියමින් උපන් නිසා ද නැත්නම් සාධාරණ ගණුදෙනු වලින් ද?

යම් ස්වභාවික වූ දැයකට හිමිකමක් දැරීම පමණකින් එයින් අනිත් අය වැඩ ගන්නා නිසා එය සම්පතක් යැයි සලකා කන්න බොන්න ඔඩොක්කුවට වැටෙන තෙක් බලා ඉන්නා ලෝකයක සම්පතක් යනු ස්වභාවයෙන් පවතින දැයකට මිනිස් ඥානය එකතු වීම නිසා බිහි වූවක් බව දකින්නේ ස්වල්ප දෙනෙකි.

ස්වභාවික සම්පත් වලට මිනිස් ඥානය එකතු කර භාණ්ඩ නිපදවා ඒවා මුලින් ම ඉදිරිපත් වූයේ මුදල් ගෙවා ගන්නට හැකි වූ ධනවතුන් වෙතය.

ලෝකයේ රථවාහන අයිතිය එකමත් එක කාලයක සියයට සියයක්ම සතුවූයේ ධනවතුන්ට පමණක් නොවේ ද?!!! ලෝකයේ වයර්ලස් ෆෝන් අයිතිය එකමත් එක කාලයක සියයට සියයක්ම වූයේ ධනවතුන්ට නොවේ ද?!!! කුමන රාජ්‍ය ප්‍රතිපත්ති වලින් ද මෙය වෙනස් වූයේ?!!!

මරියානා අගලට කුකුල් කුණක් දා කන්න එන්නේ මොන ජීවීන් දැයි සොයන්නට ලෝකයේ ඉන්නේ කී දෙනෙක් ද?!!!!

වැඩි විස්තර සහ ඡායාරූප සඳහා යන්න National Geographic අඩවියට.

Advertisements

40 Responses

Subscribe to comments with RSS.

  1. නලින්ගේ පන්තියේ මොනිටර් said, on අප්‍රේල් 2, 2012 at 11:24 පෙ.ව.

    සිංහල භූගෝල පොත්වල තියෙන්නේ ‘මරියානා අගාධය’ කියල යි.

    • arunishapiro said, on අප්‍රේල් 2, 2012 at 11:30 පෙ.ව.

      නලින්ගේ පන්තියේ මොනිටර්,

      මේ සෝමපාල ජයවර්ධනගේ “සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය” අනුවයි.
      අගල/අගළ: (noun) ditch, trench, moat
      අගාධ: (adjective) deep, bottomless, unfathomable

      • නලින්ගේ පන්තියේ මොනිටර් said, on අප්‍රේල් 2, 2012 at 1:13 ප.ව.

        සමාවන්න, සෝමපාල ජයවර්ධනගේ “සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය” එතරම් පරිපූර්ණ එකක් නොවේ.

        ‘අගාධය’ යනු සාගරයේ ගැඹුරුතම කොටස යි.

        ‘අගල’ යනුවෙන් පොළොව මතුපිට දිගට කණින වළක් නැතහොත් නගරයක් හෝ බලකොටුවක් හෝ ආරක්ෂා කිරීමට ඒ වටා කරවන දිගු වළක් (හෙවත් පරිඛාවක්) හැඟවේ. එය සාගර පතුළේ ලක්ෂණ සම්බන්ධයෙන් නොයෙදවිය හැක්කකි.

        ‘අගාධය’ සංස්කෘතයෙන් ආ තත්සම ශබ්දයක් වන අතර එයින් ව්‍යුත්පන්න කරගෙන තිබෙන පාරිභාෂික පද අතර අගාධසාමුද්‍ර (abyssopelagic), අගාධමිතිය (bathymetry), අගාධමානය (bathometer), අගාධ (abyssal), අගාධ-නිතල (abyssobenthic) යනාදිය වේ.

        • arunishapiro said, on අප්‍රේල් 2, 2012 at 5:27 ප.ව.

          නලින්ගේ පන්තියේ මොනිටර්,

          ගුණපාල මලලසේකර ඉංග්‍රීසි-සිංහල ශබ්දකෝෂයේ ද එන්නේ trench යන්නට අගල සහ abyss යන්නට අගාධය කියාය. අගාධය විස්තර කරන මලලසේකර පතුලක් නැති ගැඹුරක් ගැන කතා කරයි. පතුලක් නැත්නම් ජේම්ස් කැමරන් එහි ගියේ කොහොම ද?!!!!

          මා ළඟ ඇති Sanskrit-English Dictonary, Sir Monier Monier-Williams (1899) පිටු 592 දක්වන අන්දමට परिखन (pari-khān) යන්නෙන් දැක්වෙන්නෙ trench යන්නය. එහි 4 වැනි පිටුවට අනුව अगद (agadá) යන්නෙන් දැක්වෙන්නේ healthy නොහොත් free from disease යන්නය.

      • නලින්ගේ පන්තියේ මොනිටර් said, on අප්‍රේල් 2, 2012 at 1:32 ප.ව.

        සිංහල ප්‍රවෘත්ති පත්‍ර වල ද ඇත්තේ ‘මරියානා අගාධය’ කියා යි.

        බලන්න:

        http://www.lankadeepa.lk/index.php/articles/33781

        http://www.dinamina.lk/2012/03/27/_art.asp?fn=w1203274

        http://www.lankapuvath.lk/sinhala/index.php?Itemid=542&catid=81:2010-09-06-09-44-44&id=12481:2011-01-17-11-20-37&option=com_content&view=article

        http://www.malkakulu.com/2012/03/blog-post_31.html

      • යාපා said, on අප්‍රේල් 2, 2012 at 11:55 ප.ව.

        @අරුණි,
        “healthy නොහොත් free from disease” කියන එකට සිංහලෙන් කියන්නේ අගද කියලයි. ගද කියන්නේ රෝගය නැතිනම් ව්‍යාධිය කියන එකයි. එතකොට ව්‍යධියක් නැතිකම අගද වෙනවා. අරුණි දේවනාගරී අකුරින් (अगद) පෙන්වා ඇත්තෙත් අගද කියන වචනය මිස අගාධ කියන වචනය නෙමේ.

        ජර්මන් බස දන්න කෙනෙක් හැටියට මා දන්නවා ඉංග්‍රීසියෙන් trench (සාගරයේ trench, ගොඩ බිම trench නොවේ) කියන පදයට ඒ භාෂාවෙන් කියන්නේ Tiefseerinne කියා කියලා. ඒක ඉංග්‍රීසියට හැරෙව්වොත් කියවෙන්නේ deep sea channel නැතිනම් deep sea groove කියලා. ඉතිං ඒකෙන් පේන්නේ එකම දෙයට එක එක භාෂාවල එක එක විදියට යෙදුම් සහ පද සම්මත වෙලා තියෙන බවයි. සිංහලෙන් සම්මත වෙලා තියෙන්නේ මරියානා අගාධය කියලයි. අගල කිව්වහම අපේ හිත්වල මැවෙන්නේ නොගැඹුරු කාණුවක් වගේ දෙයක්.

        • arunishapiro said, on අප්‍රේල් 3, 2012 at 10:12 පෙ.ව.

          යාපා,

          ඉතාමත් ස්තූතියි පැහැදිලි ප්‍රතිචාරයකට.

          ඔව්, දෙවනාගිරි අකුරින් හොයාගන්නට ලැබුනේ ‘අගද’ යන්න පමණයි. “අගාධ” දෙවනාගිරි අකුරු වලින් ලියන්නේ හෝ සංස්කෘත ශබ්දකෝෂයක තියෙන්නේ කොතැනක ද? මගේ දැනුම වැඩි කර ගැනීම පිණිස උදව් කරන්නේ නම් බෙහෙවින් කෘතඥ වෙමි.

          අපි trench යන්නට අගාධය පාවිච්චි කළොත් එතකොට අපි abyss යන්නට කුමන සිංහල වචනය පාවිච්චි කරන්නෙමු ද?

      • Vishva Kumara said, on අප්‍රේල් 3, 2012 at 3:55 පෙ.ව.

        Malalasekara Dictionary? Just don’t use it. Use the Oxford Dictionary.

        • arunishapiro said, on අප්‍රේල් 3, 2012 at 10:18 පෙ.ව.

          Vishva Kumara,

          ආයුබෝවන්!

          මම ඇමෙරිකන් ඉංග්‍රීසි වල දී වැඩියෙන් පාවිච්චි කරන්නෙ Merriam-Webster එක, ඔක්ස්ෆර්ඩ් නෙමෙයි. ඒත් දෙකෙන් ම එක වචනයක දී ඇමෙරිකන් අය පොඩ්ඩක් වෙනස් විදියට ලිව්වාට වචනයක් ගත්තම එකඟ වෙන අර්ථ තමයි වැඩියෙන් තියෙන්නෙ.

      • යාපා said, on අප්‍රේල් 5, 2012 at 1:22 පෙ.ව.

        @ අරුණි,

        >>>අපි trench යන්නට අගාධය පාවිච්චි කළොත් එතකොට අපි abyss යන්නට කුමන සිංහල වචනය පාවිච්චි කරන්නෙමු ද?<<<

        අරුණිගේ පැනයට මම පිළිතුරක් දෙන්නම්, නමුත් මට ඊට කලින් කියන්න වඩා ගැඹුරු වන්නේ trench ද එහෙම නැත්නම් abyss ද කියා.

        • arunishapiro said, on අප්‍රේල් 5, 2012 at 10:17 පෙ.ව.

          යාපා,

          මා දැක්වූ සිංහල, ඉංග්‍රීසි හා සංස්කෘත ශබ්දකෝෂයන් හි සඳහන් අර්ථ වලින් මා වටහා ගත්තේ මෙසේයි:

          trench කියන්නෙ කටේ පළලට වඩා පහළට ගැඹුරු වූ වළක්; ගැඹුර කොතරම් දැයි දන්න තැනක්.

          abyss කියන්නෙ ගැඹුර කොතරම් දැයි නොදන්නා තරම් පාතාලයක්.

          “Abyss” derives from the Greek word ἄβυσσος, meaning bottomless; එහෙම නම් ගැඹුර කොතරම් දැයි දන්නා තැනේ ගැඹුරට වඩා පතුලක් නැති ගැඹුරේ ගැඹුර වැඩියි නේද?

    • Ravi said, on අප්‍රේල් 2, 2012 at 4:18 ප.ව.

      .@ නලින්ගෙ පන්තියේ මොනිටර්

      මොනිටර් එක්ක මමත් එකඟයි.ඉංගිරිසියෙන් මරියානා සහ පිලිපීන වැනි සාගරයේ ඉතා ගැඹුරු ආවාට වන් ස්ථාන වගේම පොළව මතුපිට කෙරෙන නොගැඹුරු කැණීමක් උනත් හැඳින්වෙන්න යෙදෙන්නෙ Trench කියන එකම වචනයයි.

      ඒත් අගල කිව්වම අපේ හිතේ ඇතිවෙන්නෙ නොගැඹුරු කාණුවක් වගෙ හැඟීමක්…ඊට වඩා අගාධය කිව්වම ඉතාම ගැඹුරු, පතුල නොපෙනෙන වගෙ හැඟීමක් ඇතිවෙනව…

      • arunishapiro said, on අප්‍රේල් 2, 2012 at 5:29 ප.ව.

        Ravi,

        එතකොට ජේම්ස් කැමරන් හදපු The Abyss (1989) චිත්‍රපටියට අපි දාන නම මොකක් ද? 😀

      • Sudath said, on අප්‍රේල් 3, 2012 at 10:16 පෙ.ව.

        අරුණිගෙ ලිපි වල අඩුපාඩු පෙන්නන්නට ඉස්සෙල්ලා පහුගිය පෝස්ට් දෙකකට (ගෘහස්ථ රඟ මඬල, රජු කිසිදා මිය නොයයි) මං දාපු කමෙන්ට්ස් සහ ඒවාට අරුණි දීල තියෙන පිළිතුරු කමෙන්ට්ස් කියවන ලෙස නලින්ගෙ පන්තියෙ මොනිටර් ඇතුළු සියළු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා.

        ආගාධයට අගල කියපු එක ගැන මගේත් කට කහන නමුත් දුර දිග හිතලා ප්ලාස්ටරයක් අලවාගත්තා.

        • arunishapiro said, on අප්‍රේල් 3, 2012 at 10:28 පෙ.ව.

          Sudath,

          අවමානයක් හෝ ගැරහීමක් නොකර වචනයක අර්ථය, එය පාවිච්චි වෙන විදිය හා එහි සුලමුල සොයා යෑමේ දී මා හිතුවේ සුහද සංවාදයක් සිද්ධ වෙනවා යැයි කියායි. කවුරුත් කියූ පමණින් නොව මූලාශ්‍ර වලින් සොයා ගැනීම මගේ සිරිතක්. ඒකයි මම නිතරම කොහෙන් දැයි ආවේ කොතැනක දැයි එහෙම සඳහන් වෙන්නේ කියා අහන්නෙ. එහෙම වෙද්දී //කට කහන නමුත් දුර දිග හිතලා ප්ලාස්ටරයක් අලවාගත්තා// යැයි කීමෙන් ඔබ කියන්නේ කුමක් ද?

      • Ravi said, on අප්‍රේල් 6, 2012 at 7:44 පෙ.ව.

        .@ Aruni,

        / එතකොට ජේම්ස් කැමරන් හදපු The Abyss (1989) චිත්‍රපටියට අපි දාන නම මොකක් ද? 😀 /

        ඒකට කියන්නෙත් අගාධය ම තමයි… 🙂

        දැන් ඔන්න සීගිරිය වටේට තියෙන්නෙ නම් අගලක්…දිය අගලක්…

        • arunishapiro said, on අප්‍රේල් 6, 2012 at 8:55 පෙ.ව.

          Ravi,

          ලොකු අගල් තියෙනවා, පොඩි අගල් තියෙනවා. මුහුද යට වතුරින් පිරී ඇති අගල් තියෙනවා. ගොඩබිම හදපු දිය අගල් හා දිය නැති අගල් තියෙනවා. ඒ ඔක්කොම හරි.

          ඒත් “පතුලක් නැති” කියන හැඟීම ඇති වචනයක් පතුල කොතරම් දැයි දැනගත හැකි තැනකට දැම්මොත් අපි කඟවේනාට (unicorn) කියන්නෙ හිස මත කරකැවී ගොස් ඉහළට දික් වී පිහිටා ඇති අඟක් ඇති සුදු අශ්වයෙක් කියලා ද? කඟවේනා ලොවේ නැති සතෙක්. ඒ වගේ ම පතුලක් නැති අගලක් ලොවේ නැති වූවක් නිසයි අගාධය යන වචනය ඊට වැටෙන්නෙ.

          මම රවීට කිව්වොත් මට ගෙයකට ප්ලෑන් එකක් හදලා දෙන්න දිය අගලක් එක්ක කියා ඔයාට පුළුවන් ඒක කරන්න. ඒත් මම රවීගෙන් ඉල්ලුවොත් අගාධයක් එක්ක ගෙයක් හදාගන්න ප්ලෑන් එකක් ඇඳලා දෙන්න කියා ඔයා මට මරියානා අගල තරම් ගැඹුරු වෙන්න ඕනෑ දැයි අහයි ද?!!!

      • Ravi said, on අප්‍රේල් 6, 2012 at 9:34 පෙ.ව.

        මෙතන වැඩේ අරුණි මේකනෙ…යම් වචනයක් ඇහුන හෝ කියෙව්ව වහාම අපෙ හිතේ ඇඳෙනව චිත්ත රූපයක්…ඒ අපි ඉගෙන ගත්තු විදිහට හෝ කාලාන්තරයක් තිස්සෙ සම්මතයක් විදිහට භාවිතා කරපු නිසා වෙන්න පුළුවන්…හතේ පන්තියෙ සමාජ අධ්‍යයනය විශයට මරියානා සහ පිලිපීන අගාධ ගැනයි මම ඉගෙන ගත්තෙ…මරියානා අගල ගැන නෙවෙයි 🙂 ඒ නිසා මරියානා අගල කිව්වම මගෙ හිතේ ඇඳෙන්නෙ මරියානා අගාධය කිව්වම ඇඳෙන චිත්ත රූපය නෙවෙයි 😦

        මරියානා අගලට දාපු කුකුල් කුණ කිව්වම මට එකපාරටම හිතෙන්නෙ කැමරන් මේ ගෙයක් හදන්ඩ කපපු අත්තිවාරම් කාණුවකට වගෙ එකකට කුකුලෙක් දාලයි කියල…ඊගාවට උත්සාහයක් දරල හිතාගන්න ඕන නෑ, මේ කියන්නෙ සාගර පතුලේ ගැඹුරුම තැන ගැනයි කියල….:) 🙂

        තමන් කැමති වචනයක් යොදන්නට ඔබට ඇති අයිතියට ගරු කරමින් උත්සාහයක් ගෙන ඔබ අගල යනුවෙන් පවසන්නේ මම අගාධය යයි හඳුන්වන දෙයම යයි සිතා ගනිමි 🙂

        • arunishapiro said, on අප්‍රේල් 6, 2012 at 9:43 පෙ.ව.

          Ravi,

          අපි සංවාදයෙන් ඉදිරියට යන්න නම්, සංවාදයකින් අදට වඩා දැනුමක් හෙට එකතු කරගන්නට කැමැත්තේ නම්, එසේ යැයි සිතන එහෙත් එසේ නොවන (ඊනියා) වචන, අදහස්, මතිමතාන්තර වලින් අයින් වෙන්න ඕනෑ නේද?

          තමන් කැමති වචනයක් යොදන්නට රවීට ඇති අයිතිය එක්ක එහි නිවැරදි අර්ථය පිළිගැනීම හා ඝට්ටනයක් තියෙනවා ද?

          සිතේ ඇඳෙන චිත්ත රූපය හරි වචනයේ තේරුම වැටහීමත් සමඟ වෙනස් වී නොයාවි ද?

          එහෙම නොවෙන්නේ නම් අපි හැමදාමත් ඊනියා වචන, අදහස් හා මතිමතාන්තර වල හිර වී සිටින්නෙමු ද?

          මේවා මා හිතන විදියට රවී හිතන්න ඕනා කියනවා නෙමේ. රවී ම ඕවට උත්තර හිතලා බලන්න කියන ආරාධනවක් පමණයි. කුමක් තෝරාගත්ත ද අපේ හිතවත්කමට බාධාවක් නැහැ 😀

      • Ravi said, on අප්‍රේල් 6, 2012 at 10:04 පෙ.ව.

        / මේවා මා හිතන විදියට රවී හිතන්න ඕනා කියනවා නෙමේ. රවී ම ඕවට උත්තර හිතලා බලන්න කියන ආරාධනවක් පමණයි. /

        මුළු හදින්ම එකඟයි අරුණි, කිසිම අවුලක් නැහැ, ඒත් මම තවමත් හිතන්නෙ සෝමපාල ජයවර්ධන මොනව කිව්වත් Mariana Trench කිව්වම ඒකට මරියානා අගාධය තමයි වඩාත් සුදුසු කියල 🙂

        / කුමක් තෝරාගත්ත ද අපේ හිතවත්කමට බාධාවක් නැහැ /

        Huh, you think you could get rid of me that easily?….perish the thought madam, perish the thought 😀

      • යාපා said, on අප්‍රේල් 11, 2012 at 1:00 ප.ව.

        ‘අගාධය’ යන පදය සම්බන්ධයෙන් රවි දරණ අදහසට මමත් 100%ක් ම එකඟ වන නිසාත්, මා කියන්නට අදහස් කළ දේ රවි විසින් කියා ඇති නිසාත් වැඩිදුර යමක් කීමට මට නැහැ. කොහොම නමුත් සගර පතුළේ ඇති භූ ලක්ෂණයක් හැඳින්වීමට ඉංග්‍රීසියෙන් යෙදෙන trench යන පදය භාවිතාවට ආ ආකාරය විමසා බැලීම වටිනවා.

        මේ පදය පළමු වතාවට භාවිතා කර ඇත්තේ 1920 ගණන්වල මුල හරියේ. පළමුවන ලෝක යුද්ධ සමය අද තරම් මාරාන්තික අවි නොතිබුණු කාලයක්. සතුරාගේ මැෂින් තුවක්කු ප්‍රහාරවලින් ආරක්ෂා කිරීමට යොදා ගැනුණේ දිගට කපන ලද අගල්.Trench warfare යනුවෙන් ප්‍රචලිත වුණේ මේ ක්‍රමයයි. ඉතින් යුද්ධය අවසාන වූ අලුත, සාගර පතුළේ පිහිටි ගැඹුරු නිම්නස්ථානයක් වැනි ලක්ෂණයක් හැඳින්වීමට මේ පදය යොදා ගැනීම එක අතකට පුදුමයක් නොවේ. ඇත්ත වශයෙන්ම සාගර ජලය හිස් කළොත් මේ අගාධ සාමාන්‍ය නිම්න විදියට දිස් වේවි. එතකොට පාකිස්ථාන්යේ ස්වොට් නිම්නයටත් trench කියන්න පුළුවනිද කියන ප්‍රශ්නය එනවා.

        සාගරය ගැන වැඩිය නොදන්නා කාලේ කවුරුත් හිතුවේ සාගර පතුළ තැනිතලාවක් කියලයි. අදටත් ඒ තැනිතලාවට කියන්නේ abyssal plain කියලයි. එහෙම බැලුවහම trench යන්න abyss යන්නට වඩා ගැඹුරුයි. එහෙත අරුණි හරියටම කිවූ විදියට abyss යන්න trench යන්නට වඩා ගැඹුරින් වැඩි විය යුතුයි.

        මගේ මතය නම් සාගර පතුළේ ඇති ඔය භූ ලක්ෂණයට ඉංග්‍රීසියෙන් යෙදෙන trench යන්න වැරදියි. Abyss යන්න තමා එයට යෙදිය යුතු නියම පදය! ඒ නිසා එයට යෙදෙන ‘අගාධය’ නමැති සිංහල පදය නිවරද්‍යතාවෙන් වැඩියි.

        ජේම්ස් කැමරන්ගේ චිත්‍රපටියට සිංහලෙන් යෙදිය යුතු නම තමා “අගාධය”. එයට ජර්මන් භාෂාවෙන් දී ඇති නම වන්නේ “මරණයේ අගාධය” යන්නයි.

        • arunishapiro said, on අප්‍රේල් 11, 2012 at 3:15 ප.ව.

          යාපා,

          අගාධයක් යනු ගැඹුරක් නොදන්නා පතුලක්, සත්‍ය ලෝකයේ පෙන්වන්නට නොහැකි වූවක්. පතුල නොදැනීම භයංකර නිසා වෙන්නැති ජර්මන් අය ඒකට මරණයේ අගාධය කියලා දාන්න ඇත්තෙ!!!

          ඒත් මෙහි දී අගල (trench) යනු //සාගර පතුලේ පිහිටි ගැඹුරු නිම්නස්ථානයක් යැයි හැඳින්වීමට// ද බැහැ. නිම්නයක් (basin) යනු ගැඹුරට වඩා පළලට ප්‍රමාණයෙන් වැඩියි. අගලක වෙනස පලල අඩු වී ගැඹුර වැඩිවීමයි.

          යුද්ධ වල දී අගල් කැපුනේ පලල අඩු වී ගැඹුර වැඩිවීම නිසා හැංගෙන්නට, බේරෙන්නට හැකියාව ඇති නිසයි. යුද්ධ කිරීම නිසා රට රටවල් අගාධයට වැටුනත් ඒක වෙන්නෙ ආර්ථිකය උඩකින් පහළකට වැටිලා මිසක් පුරවැසියන් හෝ සොල්දාදුවන් අගලකට වැටෙනවා වගේ උඩක සිට පහළකට වැටීම නිසා නෙමෙයිනෙ 😀

          //ඇත්ත වශයෙන්ම සාගර ජලය හිස් කළොත් මේ අගාධ සාමාන්‍ය නිම්න විදියට දිස් වේවි.// හිමාලය තරම් උස කන්දක් කවදා තැනිතලාවක් (valley) විදියට දකින්න ද? හිමාලයේ උස හා තරම් වූ ගැඹුරක් කවදා නිම්නයක් (basin) විදියට දකින්න ද?

          abyss සහ abyssal plain යන්න එකක් නෙමෙයි.

          අගල ගැන මම කියන අර්ථ ගැන නොසලකා ඔබට අගාධය හුරු වූ නිසා පමණින් ඔබ මගේ තර්කය බැහැර කරනවා. ඒත් Da bin ich überfragt කියන තැනට මම තාම ඇවිත් නැහැ!!!

          Oceanic basin පින්තූරය

      • යාපා said, on අප්‍රේල් 11, 2012 at 11:00 ප.ව.

        අරුණි,
        මම ‘අගාධය’ කියන පාරිභාෂික පදයට හුරු වී ඇතුවා විතරක් නොවේ, එය ඒ භූ ලක්ෂණය ඉතා නිවැරදිව විස්තර කරන බව කීමට හැකි da bin ich überzeugt කියන තැනටත් ඇවිත් තියෙනවා!!!

  2. Pathum Herath said, on අප්‍රේල් 2, 2012 at 11:38 පෙ.ව.

    දේශපාලනයේ ඇද කුද සහ මිනිසුන්ගේ වැරදි සොයමින්, එක එක පුස් මත ප්‍රකාශ කරමින් සහ ඒ ඒ මත සාධාරණීකරණය කිරීම පිණිස වාද විවාද කිරීමට කාලය ගත කරමින් පවතින පද්ධතියේ හිල් ගැන අවලාද කියමින් දවස ගෙවන අපිට ඔය තත්වයට හිතන්න තව කාලයක් යයි කියලයි මගේ නම් හැඟීම…

    ජීවිතය ඇත්තේ මේ මොහොතේ මිස අන් කිසි තැනක නොවන බව අවබෝධකර ගත් මිනිසුන් මෙලොව සහ පරලොව දෙකම දිනමින් සතුටින් ජීවත් වන විට පරලොව පූජකයින්ට බාර දී මෙලොව දේශපාලකයින් ට බාර දී සිටින මිනිසුන්ට අඩුපාඩුවක් මිස හොඳක් දකින්නට සිත පහදවා ගැනීමට තව බොහෝ කාලයක් යයි…

    මදක් ආත්මාර්තකාමී වී තමාගේ ජීවිතය තමා ගොඩනඟා ගැන්ම හැර වෙනත් විකල්පයක් මට නම් නොපෙනේ.

    • arunishapiro said, on අප්‍රේල් 2, 2012 at 11:48 පෙ.ව.

      Pathum Herath,

      ආයුබෝවන්, ඉතාමත් ස්තූතියි. ඔබ වැනි සටහන අවබෝධ කරගත් ප්‍රතිචාර වලින් පෙනී යන්නේ ඔබ සහ මා වැනි අය නොමඳව සිටින බවයි. එය මහත් සතුටක්. ගමන දුෂ්කරයි. නිමාව කොතැනින් දැයි දන්නේ නැහැ. ඉක්මණින් සාක්ෂාත් නොවූවත් මෙසේ ගමනේ ආරම්භයක් නැත්නම් එයත් “ඇඩ්වෙන්චර්” එකක් නොවෙයිනෙ.

      • Pathum Herath said, on අප්‍රේල් 2, 2012 at 11:58 පෙ.ව.

        හිතවත් අරුණි අක්කා,

        ඔබ මට වඩා බොහෝ දැනුම් තේරුම් ඇති අයෙක් බව මගේ වැටහීමයි.. ජීවිතයේ මේ සරල දේවල් අවබෝධකර ගැනීම මිනිසුන්ට මෙතරම් අපහසු ඇයිදැයි අවංකවම හිතා ගන්න අමාරුයි… කතා කරල බැලුවොත් ඕනෑවටත් වඩා දේවල් දන්නවා නමුත් එක මොහොතකට හිතන පතන විදිය මදක් වෙනස් කරගෙන කොටුවෙන් පිට පොඩ්ඩක් බලන්න තේරෙන්නෙ නෑ…

        මම හැබැයි මිනිසුන්ට වැරදිච්ච තැන හොය හොය දඟලන්නේ නෑ.. මට වැරදෙන තැන් ගැන සිහියෙන් ඉදන් ඒවා හදා ගන්න එක තමා කරන්නේ… ආත්මාර්තකාමී කම හොඳයි..

    • Ravi said, on අප්‍රේල් 2, 2012 at 4:15 ප.ව.

      .@ Pathum Herath,

      පැතුම්, මගෙත් ස්තූතිය ඔබේ වැදගත් අදහස් දැක්වීමට

      / මදක් ආත්මාර්තකාමී වී තමාගේ ජීවිතය තමා ගොඩනඟා ගැන්ම හැර වෙනත් විකල්පයක් මට නම් නොපෙනේ. /

      තමන් උත්සාහවත්වී කරගත් දෙයක් තමන්ට තියෙයි…වෙන නෑ විකල්පයක්…ඒකට එහෙම උත්සාහයක් නොදරන වැඩි දෙනෙක් කියන්නෙ ආත්මාර්ථකාමී කම කියල නම් වෙන මොනව කියන්නද? කණගාටුවෙන් උනත් කියන්න තියෙන්නෙ So be it, who cares ? කියල තමයි 🙂 🙂

  3. Gold fish said, on අප්‍රේල් 2, 2012 at 11:41 පෙ.ව.

    ඊළඟට කව්ද…???

    • arunishapiro said, on අප්‍රේල් 2, 2012 at 12:03 ප.ව.

      Gold fish,

      එක පැත්තකින් Virgin Galactic, SpaceX, Orbital වගෙ කොම්පැණි අජටාකාශයට එක්කන් යන පුද්ගලික ගමන් වලට ලැහැස්ති වෙද්දී අනිත් පැත්තෙන් සල්ලි ගෙවලා මුහුද පතුලට යා හැකි ගමන් ද අනාගතයේ දවසක බිහි නොවී තියෙන එකක් නැහැ.

      ගගනගාමීන් නොවන අයට අජටාකාශ ගමන් යා හැකි නම්, 57 හැවිරිදි ජේම්ස් කැමරන්ට මුහුද පතුලට යා හැකිනම්, ඊ ළඟට යාළු මාළුවාට වුනත් දවසක යන්න පුළුවන්!!!!!

  4. දූපත් වැසියා said, on අප්‍රේල් 2, 2012 at 12:36 ප.ව.

    කවුද හිතුවෙ වන්නියෙ අපිටත් ඉන්ටනෙට් ඇවිත් ඔන්ලයින් බ්ලොග් ලියන්න චාන්ස් එකක් එයි කියල. කාලයේ තාලයට ජීවිතේ වෙනස්වේ.
    මරියානා අගාදේ වගේ අපායට ලග තැන්වලට යන්න අමාරුවක් මට නෑ.. මැරිලා හරි උඩහට, දිවිය ලෝකෙ පැත්තට යන්න තියනව නම්. අම්මප කියන්න බෑ, මරුනහම බොඩිය අභ්‍යවකාශයට විසි කරන කොම්පැනියක් ඇමරිකාවේ තියනවලු නේද?

    • arunishapiro said, on අප්‍රේල් 2, 2012 at 5:58 ප.ව.

      දූපත් වැසියා,

      //කාලයේ තාලයට ජීවිතේ වෙනස්වේ.// සැබැවින් ම. ඒ කාලේ මහා අධිරාජ්‍යයක් තිබුණට එංගලන්තෙ ඔටුන්න පැළඳි අයටත් තිබ්බෙ නෑනේ ඉන්ටනෙට්!!!

      ලෝකය වටකුරුයි නේද? මන්දාකිණියේ උඩ තියෙන්නෙ කොයි පැත්තෙ ද?!!!!

      විද්‍යා ප්‍රබන්ධ වල දී අහන්න ලැබුනාට තාම එහෙම කරන ඇමෙරිකන් කොම්පැණියක් ගැන අහන්න ලැබිලා නැහැ. තමන්ට රොකට් එකක් හදලා මෘත ශරීරයක් යවන්න පුළුවන් නම් මිසක්.

  5. buddhiprasadh said, on අප්‍රේල් 3, 2012 at 2:32 පෙ.ව.

    අවුරුදු 35/40 හෙදී දැං අපි වයසක මිනිස්සු කියන අයට ජේම්ස් මාමා වීරයෙක්. හැබැයි එහෙම නොහිතන මටත් ජේම්ස් මාමා වීරයෙක්.

    මිනිහෙක් දිගින් දිගටම සාර්ථක වෙත්දිත් ඊලගට කරන වැඩ කොටස නිවුටල් එකේ යන්න නොදී නැවත නැවත පරණ පුරුදු කැපවීමෙන් වැඩ කරනවා කියන්නෙ ඒ මනුස්සයාව අපි මතක තියාගත්තට පාඩු නෑ.

    • arunishapiro said, on අප්‍රේල් 3, 2012 at 10:20 පෙ.ව.

      buddhiprasadh,

      ධනවත් වූ පමණින් තවත් ධනය එක්කාසුවට නොගිහින් ජීවිතය අවදානමට ලක් කරමින් මුහුදු පත්ලේ ගවේෂණයේ යෙදීම; අහෝ, කාල් මාක්ස් හිටියා නම් පෙන්වන්න.

  6. Shanthi Chandrasekera said, on අප්‍රේල් 4, 2012 at 12:42 ප.ව.

    Nikan bakan nilagena kisiwadak nokara inna minisun danwathunta hullanawac `apoi unta thiuena dewal` kiya, hamadama hingakanna uthsaha karanawa . eth buddhimath, ugathun nawa soyaganeemkarala danawathun wenawa .duppath minisa duppath une kumak nisada kiya hoya baluwoth e siyalla ounge waradinmai. mama waradi wenna puluwan. Jemes cameron wage minisun danawathun une nikamma nowei uthsahawantha wela ewani minisun loketa asirwadayak . oba kiyana paridi matath hithenawa Aho Kal max hitiyanam kiya,eth samaharu mata viruddai. danawadaya thula surakaama thiyenawa kiya, any way thanks oyage share kireemata.

    • arunishapiro said, on අප්‍රේල් 7, 2012 at 9:06 පෙ.ව.

      Shanthi Chandrasekera,

      මෙතැන දී //දුප්පත් මිනිසා දුප්පත් වුනේ කුමක් නිසා ද කියා හොයා බැලුවොත් ඒ සියල්ල ඔවුන්ගෙ වරදින් තමයි// යන්න පහදා ගන්න තාම බහුතර ලෝකය සමත් නැහැ. හැම විටම වැරැද්ද කා හරි හෝ පටවන්න හුරු වී ඇති රටාව ලෝකයේ වැඩියෙන් ම පැතිර ගියේ හරියට ම කොයි කාලයේ ද?!!! වැඩ නොකර නිකං බලාගෙන ඉන්න මිනිසුන් ජීවත්වන නිසා පමණින් ඔවුන්ව රැකිය යුතු යැයි අදහසක් ලොව පැතිර ගිය කාලයේ පටන් ද?!!!

      ඔව්, උත්සාහවන්තයෝ හැමදාම ලෝකයට ආශීර්වාදයක්.

  7. Pathum Herath said, on අප්‍රේල් 7, 2012 at 1:07 පෙ.ව.

    අපරාදේ අරුණි අක්ක සම්මත අකුරු හතර දාල හරි වචනේ මාතෘකාවට දැම්මනම් මේ සටහනෙන් මීට වඩා වැදගත් දෙයක් මිනිස්සු තේරුම් ගන්න තිබ්බා.. හි හි..

    • arunishapiro said, on අප්‍රේල් 7, 2012 at 9:19 පෙ.ව.

      Pathum Herath,

      ඒකත් ෂුවර් නැහැ පැතුම් මල්ලි … එහෙත් මෙහෙත් සම්මතයට පටහැනිව දිගු කාලයක ගමනක් යමින් ඉන්නෙ … සම්මතය කොච්චර වැරදි වුවත් එයින් අහක් වෙන්න අපහසුවීමත් මිනිස් ස්වභාවයක්!!!!


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: